රාවය

“බලහත්කාරී අතුරුදන්කැරැවීම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීමේ පනතට” එරෙහි ‘සුදු වෑන්’ චින්තනයට යහපාලනයත් යට වීම

“බලහත්කාරී අතුරුදන්කැරැවීම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීමේ පනතට” එරෙහි ‘සුදු වෑන්’ චින්තනයට යහපාලනයත් යට වීම

“බලහත්කාරී අතුරුදන්කැරැවීම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීමේ පනතට”
එරෙහි ‘සුදු වෑන්’ චින්තනයට යහපාලනයත් යට වීම

බලහත්කාරී අතුරුදන් කැරැවීම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීම පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තියක් තිබේ. එම ප්‍රඥප්තියට අත්සන් කළ පාර්ශ්වකාර රාජ්‍යයක් වශයෙන්, ලංකාව 2016 මැයි මාසයේ දී එම ප්‍රඥප්තිය භාර ගත්තේය. (අපරානුමත කෙළේය.) එසේ හෙයින් එම ප්‍රඥප්තිය තුළ අඩංගු වරද හෙවත් ‘බලහත්කාරී අතුරුදහන් කැරැවීම’ අපරාධයක් වශයෙන් මේ රටේ දේශීය නීති පද්ධතියට ඇතුළත් කර ගැනීමේ වගකීමක් ලංකාවේ රාජ්‍යයට තිබේ. ඒ අනුව, ඉහත කී පනත අද (21) පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිතව තිබුණි. එහෙත්, මීට පෙර වෙනත් අවස්ථාවලදී විවිධ වැදගත් තීන්දු සම්බන්ධයෙන් මේ යහපාලන ආණ්ඩුව පස්ස ගැසුවා සේම, මේ පනත ගෙන ඒමත් දැන් කල් දමා තිබේ.
වාර්තාගතව ඇති පරිදි, ලංකාවේ පුරවැසියන් 65,000 ක් තවමත් ආගිය අතක් නැත. මේ අපරාධය සම්බන්ධයෙන් ලංකාව ලෝකයේ දෙවැනි තැන ගනී. මේ අපරාධය හෙවත් ‘බලහත්කාරී අතුරුදහන් කැරැවීමක්’ යනු කුමක් ද යන්න යෝජිත පනත් කෙටුම්පතේ 3 (1) වගන්තිය යටතේ මෙසේ දැක්වෙයි:
“යම් තැනැත්තෙකු රජයේ නිලධාරියෙකු වශයෙන් සිටිමින් හෝ රජයේ බලය පැවරීමක් මත ක්‍රියා කරමින් හෝ රජයේ බලය පැවරීම, සහාය සහ අනුදැනුම ඇතිව ක්‍රියා කරමින්-
(අ) වෙනත් යම් තැනැත්තෙකු සිර භාරයට ගන්නා, රඳවා තබා ගන්නා, අයුතු ලෙස සිර කර තබා ගන්නා, පැහැරගෙන යන, අපහරණය කරන, හෝ වෙනත් යම් ආකාරයකින් එම තැනැත්තාගේ නිදහස අහිමි කරන, සහ
(ආ) 1. එම සිර භාරයට ගැනීම, රඳවා තබා ගැනීම, අයුතු ලෙස සිර කර තබා ගැනීම, පැහැරගෙන යාම, අපහරණය කිරීම, හෝ නිදහස අහිමි කිරීම පිළිගැනීම ප්‍රතික්ෂේප කරන හෝ,
2. එවැනි වෙනත් යම් තැනැත්තෙකුගේ ඉරණම සඟවන හෝ
3. එකී වෙනත් යම් තැනැත්තෙකුගේ තදනන්තර හෝ වර්තමානයේ සිටින ස්ථානය හෙළිදරව් කිරීම පැහැර හරින හෝ ප්‍රතික්ෂේප කරන නැතහොත් වලංගු හේතුවක් නොමැතිව හෙළිදරව් කිරීමට නොහැකි වන යම් තැනැත්තෙකු බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමේ වරදට වැරදිකරුවෙකු වන්නේය.”
2010 ජනවාරි 20 වැනි දා රාජගිරියේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගත් නාවුක හමුදා නිලධාරීන් අයත් වන්නේ මේ කියන අපරාධ අර්ථකථනයටයි. තවත් විදිහකින් කිවහොත්, රාජපක්ෂ කාලයේ ‘සුදු වෑන්’ සංස්කෘතිය සමස්තයක් වශයෙන් ඊට අයත් වෙයි.
මේ අනුව, කෙනෙකු අතුරුදහන් කිරීමත්, එසේ කළ බව නොපිළිගැනීමත්, අතුරුදහන් කළ පුද්ගලයාගේ තොරතුරු වැසැංගීමත් යන ප්‍රධාන සාධක තුනෙන් මේ අපරාධය සමන්විත වන්නේය.
කෙනෙකුව නීත්‍යනුකූලව අත්අඩංගුවට ගන්නා අවස්ථාවකදී පවා එම පුද්ගලයාගේ නිදහස අහිමි කරනු ලැබීමක් සිදු වන බව අපි දනිමු. එහෙත් මේ කියන වරද යටතට ගැනෙන්නේ, එසේ යම් පුද්ගලයෙකුගේ නිදහස අහිමි කරනු ලැබූ බව වසංගන්නේ නම් සහ එම පුද්ගලයාගේ වර්තමාන හෝඩුවාවන් වසංගන්නේ නම් පමණි. ත්‍රස්තවාදයට හෝ වෙනත් වරදකට සම්බන්ධ යැයි සැක කරන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම මේ නීතිය නිසා වැළකී යනු ඇතැයි ඊනියා ‘දේශප්‍රේමීන්’ කියන කතාව සාවද්‍ය වන්නේ එබැවිනි. ඕනෑම පුද්ගලයෙකු, ත්‍රස්තවාදය හෝ වෙනත් ඕනෑම වරදකට සැකකරුවෙකු වශයෙන් අත්අඩංගුවට ගත හැකි වෙතත්, එසේ අත්අඩංගුවට ගත් බව සහ එම පුද්ගලයාව දැනට රඳවා තබාගෙන සිටින්නේ කොතැනක ද යනාදී තොරතුරු අදාළ පුද්ගලයාගේ පවුලේ අයට දන්වා සිටීමේ නීත්‍යානුකූල වගකීමක් බලධාරීන්ට තිබෙන බව මෙයින් අවධාරණය කෙරේ.
මෙම පනත සම්මත වුවහොත්, අපේ රටේ පුරවැසියෙකුට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයක නඩු පැවරිය හැකි වන බව, ඊනියා ‘දේශප්‍රේමීන්ගේ’ තවත් තර්කයකි. මේ වනාහී, සමස්ත ජාත්‍යන්තරය වැඩ කරන්නේ අපේ රටේ නීතියක් අනුව යැයි කීමට සමාන ය. අපේ රටේ මෙවැනි නීතියක් හෝ පනතක් තිබුණත් නැතත්, මෙවැනි වරදක් සම්බන්ධයෙන් පියවර ගැනීමේ නීතිමය හැකියාවක් සහ බලයක් ජාත්‍යන්තරයට තිබේ. එය ‘විශ්ව අධිකරණ බලය’ නමින් හැඳින්වෙයි. ඇත්ත වශයෙන්ම නම්, මෙවැනි පනතක් සම්මත කර ගැනීමෙන් සිදුවන්නේ අර ‘දේශප්‍රේමීන්’ නගන මැසිවිල්ලේ අනිත් පැත්තයි. එනම්, මේ කියන වරද විභාග කිරීමට තරම් ප්‍රමාණවත් නීතියක් අපේ රටේ තිබේ නම් සහ ඒ නීතිය යටතේ අපේ රටේ අධිකරණය කටයුතු කරයි නම්, අපේ පුරවැසියෙකුට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට ලෝකයේ කිසි රටක් හෝ ජාත්‍යන්තර අධිකරණයක් හෝ ඉදිරිපත් වන්නේ නැති බවයි. හැම විටකම ජාත්‍යන්තර අධිකරණය ක්‍රියාත්මක වන්නේ, දේශීය නීතිය සහ අධිකරණය ක්‍රියාත්මක නොවන තත්වයන් යටතේ පමණි.
අතුරුදහන් කැරැවීම් ගැන මනා අවබෝධයක් ලංකාවේ දකුණට ලැබුණේ, 1987-90 කාලයේ ය. එහෙත් උතුර 1983 සිට තවමත් එය අත්විඳී. දකුණේ අතුරුදහන් කැරැවීම්වලට එරෙහිව ජාත්‍යන්තරය වෙත ගිය (කු)ප්‍රකට පුද්ගලයා වන්නේ මහින්ද රාජපක්ෂයි. ඒ, 90 දශකය ආරම්භයේදී ය. ලංකාවේ ත්‍රිවිධ හමුදාව විසින් රාජ්‍ය අනුග්‍රහය යටතේ මර්දනයක් දියත් කරන්නේය යන චෝදනාව ඔහු එදා ජාත්‍යන්තරයට ගෙන ගියේය.
1990 ඔක්තෝබර් 25 වැනි දා ඔහු පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයක් හැන්සාඞ් වාර්තාවේ මෙසේ සඳහන් වෙයි: “මේ රටේ අම්මලාගේ දුක කඳුළ මං ජාත්‍යන්තරයට අරගෙන ගියා. මට අයිතියක් නැද්ද ඒ ගැන කතා කරන්න? ඒ අම්මලාගේ දුක කඳුළට තමයි රටවල් දොළහක්ම ඇහුම්කන් දුන්නේ.” එදාම ඔහු පාර්ලිමේන්තුවේදී මෙසේ ද කියයි: “ආණ්ඩුව මානව හිමිකම් ප්‍රතික්ෂේප කරනවා නම්, අපි ජිනීවා නුවරට විතරක් නෙවෙයි, මේ ආණ්ඩුවට විරුද්ධව ලෝකයේ ඕනෑම තැනකට, අපායට වුණත් යනවා. මේ රටේ අහිංසකයන්ගේ අඳෝනාව ලෝකයේ කොයි තැනක වුණත් අපි හඬ නගන්න ඕනේ”.
1991 ජනවාරි 25 වැනි දා ඔහු පාර්ලිමේන්තුවේ කළ කතාව හැන්සාඞ් වාර්තාවේ මෙසේ සඳහන් වෙයි: “අපිට ආධාර දෙන රටවල්වලින් අපි ඉල්ලා හිටියා ඒ ආධාර දෙන්න කලින් ඇයි ලංකාවට කොන්දේසි පනවන්නේ නැත්තේ කියලා. අපේ ඒ ඉල්ලීම අද මල්පල ගැන්විලා තියෙනවා.”
එවැනි ‘කීර්තිමත්’ ඉතිහාසයක් ඇති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ නීති මහාචාර්ය ජී. ඇල්. පීරිස්, වර්තමාන පනත සම්මත වුවහොත් අපේ රණවිරුවන් උදර්පණය කිරීමට හෙවත් වෙනත් රටවල්වලට භාර දීමට සිදුවනු ඇතැයි කියති. මේ වනාහී, සැබෑව අමුවෙන් වසං කොට, විකෘතියක් මතු කිරීමකි. ඇත්ත වශයෙන්ම, වෙනත් රටක් විසින් යම් අපරාධයක් සම්බන්ධයෙන් අපේ පුරවැසියෙකු ඉල්ලා සිටියහොත් ඔහුව එම රටට භාර දීමට අදාළ නීති දැනටමත් අපේ රටේ තිබේ. ඊට අමතරව, ‘ක්‍රෑර වධ හිංසාවන්ට එරෙහි ජාත්‍යන්තර ප්‍රඥප්තියට’ අනුව ලංකාව, 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ පාලන කාලයේ නීතියක් සම්මත කර ගත්තේය. එදා අධිකරණ ඇමති වශයෙන් සිටියේ ජී. ඇල්. පීරිස් ය. වර්තමානයේ ඔවුන් විසින් විවේචනයට ලක්කරන ‘අතුරුදහන් කැරැවීමෙන් ආරක්ෂා කිරීමේ පනතේ’ සඳහන් වන මීට අදාළ කොන්දේසිය, මුළුමණින්ම, ඉහත කී ‘ක්‍රෑර වධහිංසාවන්ට එරෙහිව’ 1994 ජී. ඇල්. පීරිස් විසින් සම්පාදනය කරන ලද නීතියම වන්නේය. ඒ මෙසේ ය: “මේ පනතේ 3 වැනි හෝ 4 වැනි වගන්තිය යටතේ වූ වරදක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හෝ වරදකරු කරනු ලැබූ යම් තැනැත්තෙකු උදර්පණය කිරීම සඳහා යම් සම්මුති රාජ්‍යයක ආණ්ඩුවක් විසින් හෝ වෙනුවෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව වෙත ඉල්ලීමක් කරනු ලැබූ අවස්ථාවක, අමාත්‍යවරයා විසින්, ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනුවෙන්, එම වරද සම්බන්ධයෙන් එම තැනැත්තාට නඩු පැවරීමට හෝ එම තැනැත්තා උදර්පණය කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ගෙන ඇති හෝ ගැනීමට යෝජනා කරනු ලබන පියවර පිළිබඳව, ඉල්ලුම් කරනු ලබන රාජ්‍යයේ ආණ්ඩුවට නොපමාව දැනුම් දිය යුතුය.” ඉහත කී ජී. ඇල්. පීරිස්ගේ නීතියත්, වචනයක් නෑර මෙයම ය.
1990 දී දකුණේ තරුණයන් අතුරුදහන් කැරැවීමට එරෙහිව ජාත්‍යන්තරයට ගිය මහින්ද රාජපක්ෂම තමාගේ පාලන කාලයේදී සිදු වූ දකුණේ සහ උතුරේ මිනිසුන් අතුරුදහන් කැරැවීමට පක්ෂව අද පෙනී සිටීම අපූරු ය. එදා, දකුණ මර්දනය කළ හමුදා නිලධාරීන් ‘රණවිරුවන්’ වශයෙන් නොසැළකූ සහ ජාත්‍යන්තර අධිකරණයට එම හමුදා නිලධාරීන් ගෙන යාම සඳහා ජිනීවා ගිය ඔහු, අද තමා සහ තමාගේ සහෝදරයා (ගෝඨාභය) යටතේ පැහැරගෙන ගිය සහ අතුරුදහන් කරවනු ලැබූ සිද්ධි සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හමුදා නිලධාරීන් ‘රණ විරුවන්’ වශයෙන් ආරක්ෂා කිරීමටත්, පුද්ගලයන් පැහැරගෙන යාමේ සහ බලහත්කාරයෙන් අතුරුදහන් කැරැවීමේ ‘සුදු වෑන් අයිතිය’ තවදුරටත් රාජ්‍යයට තබා ගැනීමටත් ඉදිරිපත් වී සිටීම ආහ්ලාදජනක ය.
මේ සියලු කරුණු එසේ තිබියදී, වර්තමාන ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත්, ඉහත කී පනත ඒ මහින්ද රාජපක්ෂට හෝ ගෝඨාභය රාජපක්ෂට බලපාන්නේ නැතැයි කීම, එකී ඉතිහාසය තුළ ඝාතනයට ලක්වූ දහස් ගණන් මිනිසුන්ට ද්‍රෝහී වීමක් මිස අන් කවරක් ද? පසුගිය දා අගමැතිවරයා ප්‍රකාශ කොට ඇති පරිදි, මේ කියන පනත අදාළ වන්නේ එය සම්මත කරගනු ලබන දිනයෙන් ඔබ්බට හෙවත් අනාගතයට පමණි.
මුලින්ම, අපට මෙවැනි නීතියක් සහ ප්‍රඥප්තියක් අවශ්‍ය කළේ ඇයි? අතීතයේ කරන ලද අතුරුදහන් කැරැවීම් අරභයා වින්දිතයන්ට යුක්තිය ඉෂ්ට කැරැවීමටත්, නැවත එවැනි දේවල් ඇති නොවන තැනට වගබලා ගැනීමටත් ය. එසේ තිබියදී, මෙය අතීතයට බලපාන්නේ නැතැයි කීම, රාජපක්ෂවාදී අපරාධකරුවන් ආරක්ෂා කිරීමේ ප්‍රතිඥාවක් මිස වෙන දෙයක් නොවේ. තමන්ගේ අභිමතය පරිදි ක්‍රියා කිරීම සඳහා නීතියේ බාධක අස්සේ සැඟවීමට බලන ඇතැම්හු, ‘අතීතයට බලපාන නීති’ පැනවීම අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කළ නොහැකි දෙයකැයි කියති. එය අර්ධ සත්‍යයකි. තම මතය සනාථ කිරීම සඳහා ඔවුන් උපුටා දක්වන්නේ, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි වගන්තියේ (6) වැනි අනුවගන්තියයි. ඒ මෙසේය: “යම් ක්‍රියාවක් කළ හෝ යම් නොකර හැරීමක් සිදු වූ අවස්ථාවේදී ඒ ක්‍රියාව හෝ නොකර හැරීම වරදක් නොවී නම්, ඒ ක්‍රියාව හෝ නොකර හැරීම සම්බන්ධයෙන් කිසිම තැනැත්තෙකු වරදකට වරදකරුවෙකු නොවිය යුත්තේය”. එහෙත් එම වගන්තියේම ඉතිරි කොටස ඔවුහූ වසං කරති. ඒ මෙසේ ය: “යම් ක්‍රියාවක් කළ හෝ යම් නොකර හැරීමක් සිදු වූ අවස්ථාවේදී එය ජාතීන්ගේ සම්මතයෙන් පිළිගත් පොදු නෛතික මූලධර්ම අනුව සාපරාධී ක්‍රියාවක් හෝ නොකර හැරීමක් වූ විට, ඒ ක්‍රියාව හෝ නොකර හැරීම සම්බන්ධයෙන් කවර වූ හෝ තැනැත්තෙකු නඩු විභාගයට භාජනය කොට දඬුවම් කිරීමට මේ ව්‍යවස්ථාවේ ඇතුළත් කිසිවකින් හානියක් නොවන්නේය.”
එසේ නම්, “ජාතීන්ගේ සම්මතයෙන් පිළිගත් පොදු නෛතික මූලධර්ම අනුව” අතීතයටත් බලපාන අන්දමින් කටයුතු කිරීමට බාධාවක් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් නොපැනවෙන බව පැහැදිලි ය. ඉතිං, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මේ කියන පනත අනාගතයට පමණක් බලපාන ලෙස ගෙන ඒමට තතනන්නේ වෙන කිසිවක් නිසා නොව, මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු හිටපු පාලකයන්ගේ ඊනියා ‘දේශප්‍රේමී’ චින්තනය, මොවුන්ගේ ද චින්තනය වී ඇති නිසා මිස අන් කවරක් නිසා ද?■