රාවය

රවි කිව්වත් නොකිව්වත් ජනමාධ්‍යවේදීන් වත්කම් ප්‍රකාශ කළ යුතුයි

රවි කිව්වත් නොකිව්වත් ජනමාධ්‍යවේදීන්  වත්කම් ප්‍රකාශ කළ යුතුයි

ලසන්ත රුහුණගේ

පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් අසම්පූර්ණ වාර්තා මාධ්‍යවල පළවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීම් කිහිපයක් සිදුවී තිබුණේ සැප්තැම්බර් 8 වැනි සිකුරාදාය. එම අදහස් දැක්වීම්වලට එක්වෙමින් රවි කරුණානායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණේ ජනමාධ්‍යවේදීන්ගේද සුපිළිපන්භාවය උදෙසා වත්කම් හා බැරකම් ලබාගැනීම සිදුකළ යුතු බවය. එහිදී කතානායක කරු ජයසූරිය ප්‍රකාශ කර තිබුණේ ඔහුට ජනමාධ්‍යවේදීන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා ගැනීමට නියෝගයක් දීමට අධිකාරී බලයක් නොමැති බවයි. එම අදහස් දැක්වීම්වලටම එක්වෙමින් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කර තිබුණේ ජනමාධ්‍යවේදීන්ගේ වත්කම් බැරකම් ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් භාරගත යුතු බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක විසින් ජනමාධ්‍ය වේදීන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගත යුතු බවට කරන ලද එම ප්‍රකාශය ජනමාධ්‍යවේදීන්ගේ දැඩි අවධානයට යොමුවී තිබුණු අතර ඒ සම්බන්ධයෙන් මුලින් මා අමතන ලද්දේ ලන්ඩන් කාර්යාලයේ බීබීසී සංදේශයේ මාධ්‍යවේදියෙකු විසිනි. ඉන්පසු එදිනම මා අමතන ලද්දේ රටේ එෆ්එම් සේවාවකින්ය. පසුදා මා අමතන ලද්දේ පෞද්ගලික රූපවාහිනී ප්‍රවෘත්ති සේවාවකි. මේ සියල්ලන්ම ජනමාධ්‍ය සංවිධානයක ප්‍රධානියකු වශයෙන් මාගෙන් කරන ලද විමසීම්වලදී තේරුම් ගියේ, වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය යුතු බවට වූ අලුත් නීතියක් ජනමාධ්‍යවේදීන් සම්බන්ධයෙන් රවි කරුණානායක මන්ත්‍රීවරයා යෝජනා කර ඇති බවත්, ඊට මාගෙන් පැහැදිලි කිරීමක් හෙවත් අදහස් දැක්වීමක් අවශ්‍ය බවත්ය.
එම ප්‍රශ්න කිරීම් හමුවේ මා ඔවුන්ට පැහැදිලි කර දුන්නේ, රට තුළ දැනටමත් ක්‍රියාත්මක වත්කම් බැරකම් නීතිය අනුව ජනමාධ්‍ය ආයතනවල කර්තෘ මණ්ඩල සාමාජිකයන් සිය වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය යුතු බවයි. එහෙත් එය ක්‍රියාවේ යෙදවීමක් සිදු නොවන බවද මම කීවෙමි. වැඩිදුරටත් මා කීවේ, ඡන්ද අපේක්ෂකයන් හා රජයේ මාණ්ඩලික මට්ටමේ නිලධාරීන් හැරුණු විට එම නීතිය අනුව ජනමාධ්‍යවේදීන්ට අමතරව දේශපාලන පක්ෂවල නිලධාරී මණ්ඩල මෙන්ම, වෘත්තීය සමිතිවල නිලධාරී මණ්ඩලද සිය වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය යුතු බවයි.

බීබීසී සේවාව මාගේ ප්‍රකාශය පළකර ඇති අතර, අනෙක් එෆ්එම් සේවාව මා කළ පැහැදිලි කිරීම් විකාශනය කළේදැයි නොදන්නෙමි. පෞද්ගලික රූපවාහිනී ප්‍රවෘත්ති සේවාව මාගෙන් ලබා ගත් අදහස් දැක්වීම විකාශය නොකළ බව ඒ පිළිබඳව සොයා බැලීමේදී දැනගන්නට හැකිවිය.
මාගෙන් ලබාගත් ප්‍රකාශය පළනොකිරීමට හේතුව, රවි කරුණානායක මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය අභියෝගයට ලක්වන, ඊට ප්‍රතිවිරුද්ධ ප්‍රකාශයක් මාගෙන් නොලැබීම විය හැකිය. මා මගේ පැහැදිලි කිරීම්වලදී කීවේ, වත්කම් බැරකම් නීතියට දැනටමත් ජනමාධ්‍යවේදීන්ද ඇතුළත් බව සමහර විට නොදැන රවි කරුණානායක මන්ත්‍රීවරයා එම ප්‍රකාශය කරන්නට ඇති බවය.
එසේම මා තවදුරටත් පැහැදිලි කළේ, පසුගිය අවුරුදු කිහිපයේදී වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමට යෑමේදී රාවය කර්තෘ මණ්ඩලයේ අත්දැකීම්ය. එක් අවස්ථාවකදී ජනමාධ්‍ය අමාත්‍යාංශය දැනුම්දුන්නේ, තම අමාත්‍යාංශයේ සේවකයන්ගේ අවශ්‍යතාවට මිස අපට ලබාදීමට වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමේ ආකෘති පත්‍ර තමන් සතුව නොමැති බවය. තවත් අවස්ථාවක දැනුම්දුන්නේ, අප පුරවා භාරදෙන වත්කම් බැරකම් ප්‍රකාශ ගබඩා කර තබා ගැනීමට තමන්ට පහසුකම් නොමැති බවය. එක් අවස්ථාවක අපෙන් ඇසූයේ, අනෙක් කිසිම ජනමාධ්‍යවේදියකු වත්කම් ප්‍රකාශ භාර නොදෙන තත්ත්වයක් යටතේ, රාවය කර්තෘ මාණ්ඩලිකයන් පමණක් වත්කම් ප්‍රකාශ භාරදෙන්නේ ඇයිද කියාය. අවසාන වරට පසුගිය වසරේදී ප්‍රකාශ කළේ, අපගේ වත්කම් බැරකම් ප්‍රකාශ පෝරම පුරවා අප වෙතම තබාගන්නා ලෙසය. එම අත්දැකීම් එසේ වුවද වත්කම් හා බැරකම් නීතිය අනුව පුවත්පත් හිමිකරුවන්, කර්තෘවරුන් හා කර්තෘ මාණ්ඩලිකයන් සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ භාරදිය යුත්තේ ජනමාධ්‍ය විෂයභාර අමාත්‍යාංශයේ ලේකම්වරයාටය.

රවි කරුණානායක මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය දෙස බැලූ විට පෙනෙන්නේ ජනමාධ්‍ය සම්බන්ධයෙන් ඔහුට ඇති යම් අමනාපයක් එම ප්‍රකාශය තුළ ගැබ්වී ඇති බවය. මන්ද වත්කම් හා බැරකම් නීතිය ගැන නොදැන ඔහු එහිදී එම ප්‍රකාශය කරන බැවින්ය. ජනමාධ්‍ය සමාජයද තමන්ට එරෙහි ප්‍රකාශයක් ලෙස එම ප්‍රකාශය බාරගෙන ඇත්තේ එබැවින්ය. පසුගිය කාලයේදී මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වූ වාර්තාකරණයන් තමන්ට එරෙහිව සිදුවූ වාර්තාකරණයක් ලෙස රවි කරුණානායක මන්ත්‍රීවරයාට සිතෙන්නට ඇත. තමාගේ දින චරියාවේ සෑම මොහොතක්ම ආවරණය කරමින්, මහජනතාවට අවැදගත් වුවද ඒවා ප්‍රවෘත්ති බවට පත්කරන තමාගේම වූ ලෙස පැවති නාලිකා තමන්ට ද්‍රෝහි වූවා යැයි ඔහුට සිතෙන්නට ඇත. තමන්ගෙන් ආධාර උපකාර ලබාගත් ජනමාධ්‍ය හා ජනමාධ්‍යවේදීන් තමාට ද්‍රෝහිවූවා යැයි ඔහුට සිතෙන්නට ඇත.
සිය ප්‍රකාශයේදී රවි කරුණානායක මහතා ප්‍රකාශ කළ එක් කරුණක් සම්බන්ධයෙන් අපගේ විශේෂ අවධානය යොමුවිය යුතුය. ඒ, ජනමාධ්‍යවේදීන් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය යුත්තේ ඔවුන්ගේ සුපිළිපන්භාවය උදෙසා යැයි ඔහු කළ ප්‍රකාශයය. ඇත්ත. සුපිළිපන්භාවය පරීක්ෂා කිරීමේ හා තහවුරු කිරීමේ එක් ක්‍රමවේදයක් වශයෙන් යම් පුද්ගලයෙක් සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම සඳහන් කළ හැකිය. ඒ අනුව මෙන්ම වත්කම් හා බැරකම් පනතේ විධිවිධාන අනුවද ජනමාධ්‍යවේදීන් සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ කළ යුතුය. ඒ දේශපාලනඥයන් ඇතුළු සමාජ පරීක්ෂාවට ලක්විය යුතු පුද්ගලයන් පිළිබඳව විමසිල්ලෙන් සිටින්නේ ජනමාධ්‍යවේදීන් බැවින්ය. ඒ නිසාම තමා සම්මතයේ පිහිටා සිටීම ජනමාධ්‍යවේදීන්ගේ ශරීර සෞඛ්‍යයට යහපත්ය. එහෙත් මේ සම්බන්ධයෙන් පුවත්පත් කතුවැකි ලියැවුණේද, දේශපාලනඥයන් ඇතුළු පිරිසගෙන් මත විමසීම් සිදුකර තිබුණේද ජනමාධ්‍යවේදීන් සිය වත්කම් බැරකම් නොදිය යුතු පිරිසක් ලෙස දක්වමින්ය.
මා සිතනා ආකාරයට මේ රටේ අතිබහුතරයක් ජනමාධ්‍යවේදීන්ට ඔවුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ කිරීම පිළිබඳව ගැටලුවක් නැත. මන්ද ඔවුන්ට සඟවන්නට කිසිවක් නැති බැවිනි. ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සමාජය පිළිබඳව ඇත්ත කතා කළහොත්, එය සිය අයිතිවාසිකම් අහිමි එක් සුවිශේෂී වෘත්තීය කොටසක්ය. අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා සංවිධානය වීම අතින් ඔවුන් ඉන්නේ දුප්පත්ම තැනය. සමාජයේ පහළම රැකියා ක්ෂේත්‍රයක් වන සනීපාරක්ෂක කම්කරුවන් පවා අද රට තුළ ජනමාධ්‍යවේදීන්ට වඩා සංවිධානගත වී ඇත. ජනමාධ්‍යවේදීන් බහුතරයකගේ වැටුප්, දීමනා පහසුකම්, සේවා සුරක්ෂිතතාව, ආරක්ෂාව හා සේවා කොන්දේසි පිළිගත හැකි මට්ටමක නොපවතී. ඒ අනුව රටේ අනෙකුත් ක්ෂේත්‍රයන්හි සේවකයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ හඬ සමාජගත කරන්නේ තමන්ට අයිතිවාසිකම් අහිමි ජනමාධ්‍යවේදීන්ය. ඒ පිළිබඳව කාටවත් දොස් කියා පල නැත. තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සංවිධානය වීමත් පෙරට ඒමත් කළ යුත්තේ ජනමාධ්‍යවේදීන්මය. එය නායකත්වයකට පමණක් කළ හැකි දෙයක් නොවේ. ඊට සාමාජිකත්වයක් අවශ්‍යය.

වත්කම් හා බැරකම් විෂයේදී කලබලයට පත්විය යුත්තේ ඉහතින් සඳහන් කළ ආකාරයේ ජනමාධ්‍යවේදීන් බහුතරය නොවේ. දේශපාලනඥයන්ගේ ව්‍යාපාරිකයන්ගේ හෝ වෙන යම් පුද්ගලයන්ගේ වැටුප් හෝ දීමනා ලැයිස්තුවල සිටින පුද්ගලයන් හා රජයෙන් හෝ වෙනත් අයගෙන් නිවාස ඉඩකඩම් හෝ වෙනත් වරදාන ලබාගත්, ලබාගන්නා පුද්ගලයන්ය. පොදුවේ තමා සතු දේපළ උපයා ගත්තේ කෙසේදැයි සාධාරණ ලෙස පෙන්විය නොහැකි පුද්ගලයන්ය. එවැනි ප්‍රශ්නයක් නැති කිසිවකුත් එයට බියවිය යුතු නැත.

වත්කම් හා බැරකම් පනත අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබූ විනිශ්චයකාරවරු සහ රජයේ නිලධාරියෝ, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලැබූ රජයේ නිලධරයෝ, අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පත් කරනු ලැබූ අධිකරණ නිලධරයෝ හා රජයේ නිලධරයෝ, අමාත්‍යාංශවල හා ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවල මාණ්ඩලික නිලධාරීහු, රාජ්‍ය සංස්ථාවල සභාපතිවරු, අධ්‍යක්ෂවරු, මණ්ඩලවල සාමාජිකයෝ සහ මාණ්ඩලික නිලධරයෝ, පළාත් පාලන ආයතනවල තෝරා පත් කරනු ලැබූ සාමාජිකයෝ සහ මාණ්ඩලික නිලධරයෝ, පිළිගත් දේශපාලන පක්ෂවල නිලධරයෝ, ලියාපදිංචි වෘත්තීය සමිතිවල විධායක නිලධරයෝ, ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය, පළාත් සභා, සංවර්ධන සභා හා පළාත් පාලන ආයතන ඡන්ද අපේක්ෂකයෝ, ප්‍රවෘත්ති පත්‍රවල අයිතිකරුවෝ, කර්තෘවරු සහ කර්තෘ මණ්ඩල සාමාජිකයෝ හා කොටස්වලින් බහුතරයක් රාජ්‍ය හෝ රාජ්‍ය සංස්ථාවක් මගින් දරන්නා වූ සමාගම්වල සභාපතිවරු, අධ්‍යක්ෂවරු හා මාණ්ඩලික නිලධරයෝ සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ කළ යුත්තෝය.

එහෙත් ප්‍රායෝගිකව මේ පිරිස අතරින් වත්කම් හා බැරකම් ප්‍රකාශ පිළිබඳව කතාබහ ඇතිවන්නේ ඡන්ද අපේක්ෂකයන්ටත් වඩා තේරී පත්වන මහජන නියෝජිතයන් සම්බන්ධයෙන්ය. රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ අනෙකුත් පුද්ගලයන් සිය වත්කම් හා බැරකම් නිසියාකාරව ලබාදෙනවාද යන්න නිවැරදිව කිව නොහැකි අතර වෘත්තීය සමිති විධායක නිලධාරීන් හා ජනමාධ්‍යවේදීන් සිය වත්කම් බැරකම් නිසියාකාරව නොදෙන බව ලියුම්කරුගේ පෞද්ගලික අවබෝධයය.
එසේම මේ ආකාරයට ප්‍රකාශයට පත්කරන වත්කම් හා බැරකම් ප්‍රකාශ නියමිත ගාස්තුවක් ගෙවා ගෙන්වාගෙන බැලීමට හා සහතික පිටපතක් ලබාගැනීමට මහජනයාට හැකියාව ඇති බවටද 1991 වර්ෂයේදී ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර ඇත.
ඉහත සඳහන් පුද්ගලයන්ගේ සුපිළිපන්භාවය පරීක්ෂා කිරීමට එය මහජනයාට ලැබෙන හොඳ අවස්ථාවකි. එහෙත් විවාදයට ලක්වී ඇත්තේ මේ ආකාරයට ලබාගන්නා වත්කම් හා බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධියට පත් කළ හැකිද නැද්ද යන්නය.