රාවය

වන සතුන් ගැන වාදය

වන සතුන් ගැන වාදය

වික්ටර් අයිවන්

සංකේතාත්මක වැදගත්කමක් ඇති සිද්ධීන් තුනක් පසුගිය සතියේදී අසන්නට ලැබුණි. අහංගම ඉදිකෙරෙමින් තිබූ තට්ටු පහක ගොඩනැගිල්ලක් කඩා වැටුණි. පානමේදී බි්‍රතාන්‍ය ජාතික ජනමාධ්‍යවේදියකු කිඹුලකුගේ රුදුරු ගොදුරක් බවට පත්වී මරණයට පත්විය. දඩාවතේ යන බල්ලකු දිළිඳු නිවසක බිම නිදා සිටි බිලිඳකු ආහාරයට ගන්නට දරන ලද උත්සාහය නිසා මරණයට පත්විය.

මිනී කන කිඹුලන් ගැනද දඩාවතේ යන බල්ලන් ගැනද තත්ත්වයෙන් බාල සිමෙන්ති ගැනද අපි මීට පෙර සාකච්ඡා කර ඇත්තෙමු.

ප්‍රමිතියෙන් බාල සිමෙන්ති
ලංකාවට ආනයනය කොට ප්‍රමිති සහතිකය යටතේ වෙළෙඳපොළේ විකුණමින් තිබූ සියලු සිමෙන්ති වර්ගවල සිමෙන්තිවල තිබිය යුතු සම්පීඩතා ශක්තිය නැති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව සොයා ගන්නා ලද්දේ මීට වසර හතරකට ඉහතදීය. එම දෙපාර්තමේන්තුව එම නිගමනයට පැමිණියේ වෙළෙඳපොළේ විකුණමින් තිබූ සිමෙන්ති සාම්පල් දින 28 සම්පීඩතා පරීක්ෂණයකට ලක්කිරීමෙන් පසුවය. ලංකාවේ පිළිගත් ප්‍රමිතිය අනුව සිමෙන්තිවල තිබිය යුතු සම්පීඩතා ශක්තිය 42.5ත් 62.5ත් අතර විය යුතුය. එහෙත් පරීක්ෂාවට ලක් කළ සියලු සිමෙන්තිවල තිබී ඇත්තේ තිබිය යුතු සම්පීඩතා ශක්තියට වඩා 20%කටත් වඩා අඩු මට්ටමකය.
සිහි මොළේ ඇති කවර රටක් වුවත් එවැනි සොයා ගැනීමකින් පසුව බලවත් කම්පනයකට පත්වී ඒ වරද ගැන සොයා බලා ඒ වරදට සම්බන්ධ සියලුදෙනාට දඬුවම් කොට ඒ වරද නිවැරදි කිරීම සඳහා ක්‍රියාකරන්නේය. එහෙත් ලංකාවේ එය එසේ වූයේ නැත. එසේ නොවීම පුදුමයට හේතුවන්නේද නැත. එම විෂයේදී දේශපාලනඥයන් පෙන්නුම් කර තිබෙන අන්ධභාවය තේරුම් ගත හැකිය. එහෙත් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ උගතුන් පෙන්නුම් කර තිබෙන අන්ධභාවය තේරුම් ගත යුත්තේ කෙසේද?

සිමෙන්ති ඉදිකිරීම් කටයුතු සඳහා යොදා ගැනෙන ප්‍රධාන මූලද්‍රව්‍යයකි. අද අප ඉන්නේ සරල ගොඩනැගිලි ඉදිකරන යුගයක නොව සංකීර්ණ හා දැවැන්ත ගොඩනැගිලි ඉදිකරන යුගයකය. එසේ ඉදිකරන දැවැන්ත හා සංකීර්ණ ඉදිකිරීම් සඳහා යොදා ගැනෙන්නේ නිසි ප්‍රමිති තත්ත්වයක නැති බාල සිමෙන්ති නම් ඒ නිසා ඇතිවිය හැකි විනාශය සුළුපටු නැත.
ලංකාව ඇද වැටී තිබෙන තැන ඉතාමත් අවාසනාවන්තය. ලංකාවට ආනයනය කෙරෙන සිමෙන්තිවල තිබිය යුතු ප්‍රමිති තත්ත්වය ආරක්ෂා කරගැනීමටවත් බැරිතරමට ලංකාව අසාර්ථක රටක් බවට පත්වී තිබේ. හොංකොංවලද රජයේ තට්ටු නිවාස කඩා බිඳ වැටුණු යුගයක් තිබුණි. එහි තිබෙන දූෂණ මර්දන කොමිසම ඒ ගැන පූර්ණ පරීක්ෂණයකට ගියේය. ඒ තත්ත්වයට වගකිවයුතු නිලධාරීන් හඳුනාගෙන ඔවුන්ට උපරිම මට්ටමකින් දඬුවම් දුන්නේය. එසේම තට්ටු නිවාස තැනීමේදී පවත්වාගෙන යායුතු ප්‍රමිති තත්ත්වයක්ද හඳුන්වා දුන්නේය. ඒ මගින් නිසි ප්‍රමිතියකින් තොරව ගොඩනැගිලි තනන සම්ප්‍රදායද නැති කළේය.

අපේ රටේ ද විවිධ මාදිලියේ කොමිෂන් සභා ඇතත් ඒවා රටේ ගමන් මගේ යහපත් වෙනසක් ඇති කිරීමට හේතුවී නැත. ලංකාවටද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමක් ඇතත්, එය තනා තිබෙන්නේ අඩුම වශයෙන් ලෝකයේ තිබෙන හොඳම දූෂණ මර්දන කොමිසම ලෙස සැලකිය හැකි හොංකොංවල තිබෙන දූෂණ මර්දන කොමිසමවත් ආදර්ශයට නොගෙනය. ඒ හා සමානව ලංකාවේ ස්වාධීන මැතිවරණ කොමිසම නිර්මාණය කර තිබෙන්නේද ලෝකයේ තිබෙන හොඳම මැතිවරණ කොමිසම ලෙස සැලකිය හැකි ඉන්දියානු මැතිවරණ කොමිසම ආදර්ශයට නොගෙනය. ලංකාව කල්පනා කරන විදියේ ලොකු අවුලක් තිබෙන බව ඉන් තේරුම් ගත හැකිය.

පුනරුදයේ අපේක්ෂා
පුනරුද ව්‍යාපාරයේ එක් වැදගත් අපේක්ෂාවක් වනුයේ ලංකාවේ ජනතාව කල්පනා කරන ආකාරයේ සරල වෙනසක් නොව, ගැඹුරු වෙනසක් ඇති කිරීමය. එය අපේක්ෂා කරන්නේ පුද්ගලයාගෙන් පටන් ගෙන පවුල දක්වාද, පවුලේ සිට සමාජය දක්වාද, සමාජයේ සිට උත්තර නිර්මිතය දක්වාද විහිද යන ගැඹුරු වෙනසකි. ගෙදර උයන පිහන ක්‍රමයේ සිට රටේ ආහාර රටාව දක්වාම විහිද යන වෙනසකි. ගමේ ගොවිතැනින් පටන් ගෙන රටේ කෘෂිකර්මය දක්වා විහිද යන වෙනසකි. පාසලේ සිට සමස්ත අධ්‍යාපන ක්‍රමය දක්වාම විහිද යන පරිවර්තනයකි. පුනරුදය අපේක්ෂා කරන්නේ පුංචි පරිවර්තනයක් නොව අහස පොළොව තරම් විශාල මහා පරිවර්තනයකි. සිතුම් පැතුම්වල පමණක් නොව, සමාජ චර්යාවන්ගේද, ආයතන ක්‍රමවලද සමාජ රටාවේද ඇති කරන මහා පරිවර්තනයකි.

රටේ හැම දෙයක්ම තිබෙනුයේ අක්‍රමවත්, දූෂිත හා අකාර්යක්ෂම තත්ත්වයකය. චින්තනමය වශයෙන්ද පුද්ගලයා, පවුල, සමාජය හා රාජ්‍යය තිබෙන්නේ වැඩවසම් හා ආචීර්ණ කල්පිතව සිතන තැනකය. පුනරුද ව්‍යාපාරයේ එක් වැදගත් ඉලක්කයක් වනුයේ ඒ හැම තැනකම මහා විපර්යාසයක් ඇති කිරීමට හේතුවන පුපුරනසුලු අදහස් සමාජගත කිරීමය. සියලු පිපිරීම් අපේක්ෂා කරනුයේ මොලේ, හදවතේ හා හිතේය. පුනරුදයේ අපේක්ෂාව වනුයේ වැඩවසම් ලෙස සිතන මිනිසකු වෙනුවට නූතන ලෙස සිතන මිනිසකු තැනීමය. වර්ග භේදයෙන්, කුල භේදයෙන් හා ආගම් භේදයෙන් තොර සියලු මිනිසුන්ට හිමි මනුෂ්‍යත්වයට ගරු කරන, නවීන ලෙසත් තර්කානුකූල හා සාධාරණ ලෙසත්, බහුත්වවාදී ලෙසත් සිතන, උසස් රුචිකත්වයකින් යුතු සංස්කෘතික මිනිසුන් තැනීමය. පුනරුද ව්‍යාපාරය මේ මොහොතේ කරමින් සිටිනුයේ එවැනි පරිවර්තනයක් සඳහා අවශ්‍ය ශක්තිමත් වටාපිටාවක් ඇති කිරීමට හේතුවන පුපුරනසුලු අදහස් සමාජ ගතකිරීමය.

ගමේ අසරණකම
පුනරුද ව්‍යාපාරය ගමට යන ගමන ආරම්භ කරන අවස්ථාව වන විට ගම තිබුණේ ගමේ මිනිසුන්ට අඩු වැදගත්කමක්ද, වන සතුන්ට වැඩි වැදගත්කමක්ද ලැබී තිබුණු තත්ත්වයකය. නියඟය, ගංවතුර වැනි ස්වාභාවික විපත්වලට අතිරේකව වන සතුන්ද ගම්මුන්ගේ ජීවිත අසරණභාවයට පත් කරන මහා සාධකයක් ලෙස ක්‍රියාකරමින් තිබුණි. නීතිය ක්‍රියාත්මක වූයේද ගමේ මිනිසුන්ගේ ආරන්ෂාව මුල් කොටගෙන නොව වන සතුන්ගේ ආරක්ෂාව මුල්කොටගෙනය. අලින් ඇති ප්‍රදේශවලදී අලියාද, මිනීකන කිඹුලන් ඇති ප්‍රදේශවලදී කිඹුලාද, පොදුවේ ගත්විට වඳුරන්, රිලවුන්, වල් ඌරන්, මොනරුන් හා දඬු ලේනුන් ග්‍රාමීය සමාජයේ කෘෂිකර්මයට හා ජන ජීවිතයට උපරිම මට්ටමෙන් හානි කළහ.
ගම්මුන්ට තුවක්කු නොතිබුණි. බලධාරීන් පමණක් නොව නීතියද වැදගත් කොට සලකන ලද්දේ මිනිසුන් නොව වල් සතුන්ය. පරිසරවාදී උගතුන් වැදගත් කොට සැලකුවේද මිනිසුන් නොව වල් සතුන්ය. වල් සතුන් සම්බන්ධයෙන් රටේ ක්‍රියාත්මක වන ප්‍රතිපත්තිය කොතරම් අන්තවාදී තැනක තිබුණේද කියනවා නම් මිනී කන කිඹුලන් මරණ මිනිසුන්ට පවා දැඩි දඬුවම් දුන්නේය. වල් ඌරු මස් ළඟ තබා ගන්නා මිනිසුන්ට පවා දඬුවම් කළේය. ගම් වදින අලි රංචුවක් ගමට කරන මහා විනාශය ගැන හෝ වල් ඌරන්, රිලවුන් හා වඳුරන් කරන හානිය ගැන කිසිම හැඟීමක් බලධාරීන්ට නොතිබුණි. වනාන්තරවල පමණක් ජීවත් විය යුතු වල් සතුන් ගමේ ජීවත් වන සතුන්ට බවට පත්ව තිබුණේය. වල් සතුන්ගේ ගහණය පාලනය කරන ක්‍රමයක් නොතිබීම නිසා උන්ගේ ගහණයේ ලොකු වර්ධනයක් ඇතිවී උන් කෘෂිකර්මයට කරන හානියේ තරමද විශාල වී වන සතුන් කෘෂිකර්මය විනාශ කරන බලවත් සාධකයක් බවට පත්වී තිබුණි.

මේ සියල්ලට අතිරේකව රසායන පොහොර භාවිතය හා කෘෂි රසායන භාවිතය විධිමත් කරන තැනකට යනවා වෙනුවට වස විස නැති ධාර්මික ගොවිතැනක නාමයෙන් පවත්වාගෙන ගිය කෘෂිකර්ම පිළිවෙත ගමේ කෘෂිකර්මය අවුල් ජාලාවක් බවට පත්කිරීමට හේතුවී තිබුණි. එම මනෝරාජික වැඩසටහනේ නිර්මාතෘවරුන්ට කෘත්‍රිම පොහොරවල තිබෙන රසායනික බව දැකීමේ හැකියාව තිබුණද ස්වාභාවික පොහොරවල තිබෙන රසායනික බව දැකීමේ හැකියාව නොතිබුණි. රසායනික පොහොරවල තිබෙන බැර ලෝහ දැකීමේ හැකියාව තිබුණද ගොමවල තිබෙන බැර ලෝහ දැකීමට අසමත් වී තිබුණි.

කෘෂිකර්මයට හානි කරන වන සතුන් සම්බන්ධයෙන් හා වස විස නැති ධාර්මික ගොවිතැනක නාමයෙන් පවත්වාගෙන යමින් තිබූ මෝඩ වැඩපිළිවෙළට එරෙහිව මතවාදී තලයේ හඬ නගන එකම ව්‍යාපාරය වූයේ පුනරුද ව්‍යාපාරයයි. පුනරුද ව්‍යාපාරය ශාඛා ගොඩනගන ලද ගම් ප්‍රදේශවල පැවති සාකච්ඡා සභාවලදී එම ප්‍රශ්න සාකච්ඡාවට ලක්වූ අතර පුනරුදය ඔවුන්ගේ දැවෙන ප්‍රශ්න පිළිබඳව කරන අර්ථකථනයන් ඔවුන්ගේ බලවත් පිළිගැනීමට හේතුවූ බවද පැහැදිලිව පෙනෙන්නට තිබුණි. ඒ ගැන පුනරුදය නඟමින් තිබුණු හඬට ඔවුහු තමන්ගේ හඬද එකතු කරමින් සිටියෝය.

ආණ්ඩුවේ ඇස් ඇරීම
පුනරුදය ග්‍රාමීය ප්‍රදේශවල මතවාදී තලයේදී පවත්වාගෙන ගිය සංවාදය ආණ්ඩුව කෙරෙහිද බලපෑවේය. ගම්වල පවත්වන ලද පුනරුද සාකච්ඡා සභාවල වා තරංග ආණ්ඩුව කෙරෙහිද බලපෑවේය. දීර්ඝකාලීන නින්දකට වැටී සිටි ආණ්ඩුව ඒ නිසා යම් පමණකට අවදි කිරීමකට හේතුවිය. දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවලදී පුනරුදය ව්‍යාපාරයේ ඇතිවෙමින් තිබූ වර්ධනය ගැනද ආණ්ඩුව දැන සිටියේය. වස විස නැති ගොවිතැනක නාමයෙන් පවත්වාගෙන ගිය වැඩසටහන කෘෂිකර්මයට ඇති කර තිබූ හානිය ගැනද ආණ්ඩුවට අත්දැකීම්වලින් ලබාගත් අවබෝධයක් තිබුණි. සමාජයේ රජ කළ උපාසක ආකල්ප නිසා වන සතුන් පිළිබඳ ප්‍රශ්නයට අතගැසීමට ආණ්ඩුව බිය වුවත් වන සතුන් කෘෂිකර්මයට කරන හානිය ගැනද කිසියම් ප්‍රමාණයක අවබෝධයක් ආණ්ඩුවට තිබුණි.

ආණ්ඩුව පළමු කොට වස විස නැති ධාර්මික ගොවිතැනක නාමයෙන් පවත්වාගෙන ගිය වැඩසටහන නතර කළේය. ඉන්පසු වන සතුන්ගෙන් සිදුවී තිබෙන හානිය ගැන කෙරෙන සංවාදයන් සඳහා නිල ප්‍රකාශකයෙකු කරළියට ගන්නේය. නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන මහතා ඒ ගැන කතා කරන ප්‍රකාශකයෙකු බවට පත්වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. එහිදී ඔහුට තමන්ගේ අදහස් ලෙස පළකරන්නට සිදුවූයේද පුනරුද ව්‍යාපාරය සමාජගත කෙරෙමින් තිබුණු අදහස්ය. ඔහු ආණ්ඩුවේ ප්‍රකාශකයෙකු ලෙස එසේ කියන විට ආණ්ඩු විරෝධී බලවේගයන්ද ඔහුට එරෙහිව ප්‍රතිචාර දක්වන්නට වීම නිසා එය උණුසුම් වාද විවාදයන්ට හේතුවන තත්ත්වයක් ඇති කිරීමට හේතුවිය. අනුන්ගේ අදහසක් තමන්ගේ අදහසක් ලෙස පළකිරීම සදාචාරාත්මක අර්ථයෙන් හොඳ දෙයක් නොවූවද ඔහුගේ ක්‍රියාව පුනරුද ව්‍යාපාරයේ සතුටකට මිස අසතුටකට හේතුවූයේ නැති බවද කිව යුතුය. පුනරුද ව්‍යාපාරය වැදගත් කොට සලකනුයේ ව්‍යාපාරයේ පුපුරනසුලු අදහස් සමාජ ගතකිරීමය. ඒ අර්ථයෙන් එම නියෝජ්‍ය ඇමතිවරයා අතින් වැදගත් කාර්යභාරයක් ඉටුවීයැ’යි කිව හැකිය.

එහෙත් එම ඇමතිවරයා සමඟ කෙරුණු රාවයේ පළවූ සංවාදය ගැන නම් සතුටු විය නොහැකිය. ඇමතිවරයා රාවයට කතා කරන්නට පෙර වෙනත් පුවත්පත්වලට සේ ම රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකාවන්ට කතා කර තිබුණි. රාවය පුනරුද ව්‍යාපාරයේ නිල පුවත්පත නොවූවද උණුසුම් විවාදයකට හේතුවී තිබෙන මේ අදහස් මුලින්ම ප්‍රකාශයට පත්වූයේ රාවය මගිනි. පුනරුද ව්‍යාපාරය පිළිබඳව රාවය දරන නිල මතය කුමක් වුවද ගම හා වන සතුන් පිළිබඳ ආන්දෝලනාත්මක සංවාදයකට හේතුවන අදහස් පළවූයේ රාවයට මා ලියන කොලම හරහාය. ඒ නිසා වෙනත් ඕනෑම ජනමාධ්‍යයකට වඩා ඇමතිවරයා සමඟ අර්ථවත් හා මහජන උනන්දුවට හේතුවන හොඳ සංවාදයක් කිරීමේ ඇත්ත හැකියාව තිබුණේ රාවයටය. එසේ කිරීමට රාවය සමත් වී නම් එය රාවයේද යහපතට හේතුවන්නට ඉඩ තිබුණි. එහෙත් එහි පළවූ සංවාදය එම මට්ටමේලා සැලකිය හැකි හොඳ සංවාදයක් නොවීය. දැන හෝ නොදැන එම සංවාදය වාර්තා කළ රාවයේ පුවත්පත් කලාවේදියා මගේ අදහස් විස්තර කර තිබුණේද ඒවාට ග්‍රාම්‍ය හා ගොරහැඬි පෙනුමක් ලැබෙන ආකාරයටය. එහි පළවූ එක් සඳහනක් මෙසේය.

“ඔය කාරණය ගැන පසුගිය කාලයේදී වික්ටර් අයිවන් මහතා අදහස් පළ කළා. ඔහු නම් පෙන්වා දෙන්නේ ගොවීන්ට ජනාවාසවලට එන සතුන්ව මරන්න අවසර දෙන්න ඕනෑ කියලයි.” ජනාවාසවලට එන සියලු සතුන් මරන්න අවසර දිය යුතු බව මා කිසිවිටෙකත් කියා නැත. මරන්න ඉඩදිය යුතු බව කියා ඇත්තේ වල් ඌරන් සම්බන්ධයෙන් පමණය. අනෙක් අතට මැරීම යන්නෙන් මා අදහස් කළේ ඒ මගින් සියලු සතුන් නැතිභංග කිරීම නොව උන්ගේ ගහණය පාලනය කිරීමය. රාවයේ එම පුවත්පත් කලාවේදියා හිතාමතාම එසේ කර තිබෙනවා කියා මම නොකියමි. මතභේදයට හේතු නොවන කාරණා වාර්තා කිරීමේදී දක්වන සැලකිල්ලට වැඩි සැලකිල්ලක් මතභේදයට හේතුවන කාරණා වාර්තා කිරීමේදී දැක්විය යුතුය. අනෙක් අතට ඇමතිවරයා වන සතුන් පිළිබඳව කරන ලද විග්‍රහය පුනරුදයේම විග්‍රහය බව ඔහු දැන සිටිය යුතුව තිබුණි. ඒ ගැනද ඔහු ප්‍රශ්න කළ යුතුව තිබුණි. මක්නිසාද යත් කැමැත්ත අකමැත්ත කුමක් වුවත් එම අදහස් සමාජගත කර තිබුණේ පුනරුදයේ සාකච්ඡා සභාවලට අතිරේකව රාවය හරහා වීම නිසාය.

අනතුරු හා ප්‍රෝටීන් මන්දපෝෂණය
විවාදයට හේතුවී තිබෙන වන සතුන් පිළිබඳ විෂය ග්‍රාමීය ජන ජීවිතය කෙරෙහි බලපා තිබෙන වැදගත් හා ලොකු ප්‍රශ්නයකි. එම විෂය පුනරුද ව්‍යාපාරය විසින් සාකච්ඡාවට ලක් කරන තෙක් වෙනත් කිසිදු ව්‍යාපාරයක් විසින් සාකච්ඡාවට ලක් නොකරන ලද විෂයක් ලෙසද සැලකිය හැකිය. වඳුරන්, රිලවුන්, මොනරුන්, වල් ඌරන් බැලූ බැල්මට පෙනෙන්නේ අහිංසක වන සතුන් ලෙසය. එහෙත් උන් කෘෂිකර්මයට කරන හානියේ තරම අතිවිශාලය.

ලංකාවේ සිදුවන අනතුරුවල මූලාශ්‍ර ගැන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද සංඛ්‍යාලේඛන සමූහයක් පසුගිය සන්ඬේ ටයිම්ස් පුවත්පතේ වාර්තා කර තිබුණි. ඒ අනුව ලංකාවේ සිදුවන සියලු අනතුරුවලින් සියයට 35.9ක්ම සතුන් නිසා සිදුවන අනතුරු ලෙස සැලකිය හැකිය. එහෙත් අපි හිතන්නේ අනතුරු වැඩි හරියක් සිදුවන්නේ රථවාහනවලින් කියාය. සතුන්ගේ සපාකෑම් නිසා සිදුවන අනතුරුවල අනුපාතිකය මුළු අනතුරුවලින් සියය 31.1කි. සර්ප සපාකෑම්වලින් සිදුවන අනතුරුවල අනුපාතිකය සියයට 1.5කි. සත්ව ප්‍රහාර නිසා සිදුවන අනතුරුවල අනුපාතිකය සියයට 1.3කි. සතුන්ගෙන් සිදුවන අනතුරුවලින් පසුව ප්‍රමුඛ වන්නේ ඇද වැටීම් නිසා සිදුවන අනතුරුය. එහි අනුපාතිකය සියයට 18.0කි. මාර්ග අනතුරුවලට හිමිවනුයේ තුන්වැනි තැනය. සියලු අනතුරුවලින් සත්ව අනතුරු සියයට 35.9ක් වන විට මාර්ග අනතුරුවල අනුපාතිකය සියයට 15.9කි.
ලංකාව ලොකු ප්‍රෝටීන් මන්දපෝෂණයකින් පෙළෙන රටකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කේ. සමරසිංහ මහතා පුවත්පතකට කියා තිබෙන ආකාරයට ලංකාවේ ප්‍රෝටීන් මන්දපෝෂණයේ අනුපාතිකය සියයට 30කි. එම සඳහන දුටුවිට ලංකාවේ මස් පරිභෝජනය ගැන සොයා බැලීමේ කුහුලක් මට ඇතිවිය. ලැබුණු ප්‍රතිඵලය නම් මගේ පුදුමයට හේතු නොවීය. ලංකාව හා තෝරාගත් රටවල් කිහිපයක ඒක පුද්ගල වාර්ෂික මස් පරිභෝජනය මෙසේය.
ලංකාව කිලෝ 6.3

කාම්භෝජය කිලෝ 12.9
තායිලන්තය කිලෝ 25.8
මියන්මාරය කිලෝ 32.8
වියට්නාමය කිලෝ 48.9
ස්විට්සර්ලන්තය කිලෝ 74.7
ස්වීඩනය කිලෝ 80.2
නෙදර්ලන්තය කිලෝ 85.5
ඕස්ටේ්‍රලියාව කිලෝ 111.5

ලංකාවේ උපාසක මත න්‍යායවාදී ජනතාව මුලාකර තිබෙන තරම ඒ සංඛ්‍යා ආශ්‍රයෙන් තේරුම් ගත හැකිය. මොළේ වර්ධනය හා ප්‍රෝටීන් ආහාර අතර ගැඹුරු සම්බන්ධයක් පවතී. ලංකාව ලොකු චින්තන දුගීභාවයකින් පෙළෙන රටකි. ගණිතයට අදක්ෂ රටකි. නව නිපැයුම්වලදී ලංකාව ඉන්නේ පහළම තත්ත්වයකය. ඒ සියල්ල කෙරෙහි ප්‍රෝටීන් ඌනතාවද, ප්‍රෝටීන් ඌනතාව කෙරෙහි රටේ රජකරන උපාසක ආකල්පද බලපා තිබෙන්නේයැ’යි කිව හැකිය. ලංකාව සැලකිය හැක්කේ අඩුම තරමින් වල් ඌරෙකු මරා ගත් මිනිසකුට උගේ මස් ටිකවත් කන්න ඉඩ නොදෙන මෝඩ රටක් ලෙසය.

අදහස්වලට තිබෙන බලවත්කම
දැන් අපිට කරුණාරත්න පරණවිතාන ඇමතිවරයාගේ සංවාදයට නැවත යා හැකිය. ලංකාවේ වනාන්තරවල තබාගත හැකි අලි ගහණයට වැඩි අලි ගහණයක් රටේ සිටින බවට හා අතිරික්තය පිටරටවලට හෝ විකුණන තැනකට යාය යුතු බවට ඔහු කරන ලද ප්‍රකාශය ලොකු විවාදයකට හේතුවී තිබේ. ලංකාවේ වනාන්තරවල ජීවත් විය හැකි උපරිම අලි සංඛ්‍යාව 4000ක් බවත්, ලංකාවේ අලි 6000ක් සිටින බවත් පළමුවරට කීවේ ආනමඩුවේ පැවති පුනරුද සාකච්ඡාවේදී ලංකාවේ සුළු හාල් මෝල් හිමියන්ගේ සභාපති ආර්.එච්.එම් අබේකීර්ති මහතාය. එය ලංකාවේ අලි ප්‍රශ්නයේ නියම ස්වභාවය පෙන්නුම් කරන ප්‍රකාශයක් වීම හේතු කොටගෙන ඔහු ඉදිරිපත් කරන ලද එම අදහසට ඇතුළත් දත්තවල සත්‍යතාවක් තිබේදැයි සොයා බලා එය සත්‍යයක් වීම නිසා එය මහජනයාගේ දැනගැනීම සඳහා මාගේ කොලමේ ඒ ගැන සඳහන් කළෙමි. රටේ අලි ප්‍රශ්නය ඒ ආකාරයෙන් විග්‍රහ කිරීම වෙනුවෙන් කිසියම් ගෞරවයක් ලැබිය යුතු නම් එය ලැබිය යුත්තේ පරණවිතාන ඇමතිවරයාට නොව ඉහත කී අබේකීර්තිටය.

පුනරුද ව්‍යාපාරය සමාජ ගත කෙරෙමින් තිබෙන බොහෝ අදහස් පිළිගත් සාම්ප්‍රදායික අදහස්වලට වඩා මුළුමනින් වෙනස් අදහස් වුවත් එම පුපුරනසුලු අදහස් දැනටමත් මහජනයා කෙරෙහි පමණක් නොව ආණ්ඩුව කෙරෙහිද බලපා තිබෙන බව ඇතිවී තිබෙන එම සංවාදය ආශ්‍රයෙන් තේරුම් ගත හැකිය. පුනරුද ව්‍යාපාරය පැළ කරමින් තිබෙන්නේ පැළ නොවන බීජ නොව හොඳින් පැළවී ඉක්මනින් වැඩී මහ ගස් බවට පත්වන බීජය. පුනරුද ව්‍යාපාරය සමාජ ගතකරමින් තිබෙන පුපුරනසුලු අදහස් බොහෝ ප්‍රමාද වී නොව වේගවත් විප්ලවකාරී කාර්යභාරයක් ඉටුකරන අදහස් බවට පත්වෙමින් තිබෙන බවද ඇතිවී තිබෙන එම විවාදය ආශ්‍රයෙන් තේරුම්ගත හැකිය. පුනරුද ව්‍යාපාරය සමාජ ගතකරමින් තිබෙන වෙනත් අදහස් ද විප්ලවකාරී ලෙස බලපානු ඇතැයි සිතිය හැකිය.

ආහාර රටාව හා බෝග වගාව
පුනරුද ව්‍යාපාරයට ලංකාවේ පවතින ආහාර රටාව ගැන පමණක් නොව බෝග වගා රටාව ගැනද විශේෂ විචාරයක් තිබෙන්නේය. එය වී වගාව දකින්නේ ලංකාවේ ගොවීන් දුප්පත් කිරීමට හේතුවී තිබෙන බෝග වගාවක් ලෙසය. ලංකාවේ පරිභෝජනයට අවශ්‍ය සියලුම සහල් වියළි කලාපයේ පමණක් නිපදවිය හැකිය යන මතයද එය දරයි. ඒ අනුව තෙත් කලාපයේ සියලු කුඹුරු ඉඩම් ඒවාහී පහත්බිම් තත්ත්වය එසේම තබාගෙන වෙනත් ආර්ථික භෝග වගාවන් හා වෙනත් විවිධ කෘෂි ව්‍යාපාර සඳහා යොදාගැනීමේ හැකියාවද අවධාරණය කරයි. ඒ සමඟ ලංකාව තමන්ගේ ආහාර රටාවද වෙනස් කරගත යුතු බව පුනරුදයේ මතය වේ. බත් කන ප්‍රමාණය අඩු කොට මස් මාළු බිත්තර එළවළු හා පලතුරු කන ප්‍රමාණය වැඩි කර ගත යුතුය.

අප කන ආහාර අපගේ ශරීරය කෙරෙහි පමණක් නොව මොළය කෙරෙහිද බලපායි. ආහාරවලදී දැන් සැලකිල්ලට ගන්නේ ශරීරය හෝ බඩ පමණය. ආහාරවලදී මොළයද වැදගත් කොට සලකා ක්‍රියා කරන ආහාර රටාවකට අප මාරුවිය යුතුය. ලංකාවේ අඥානභාවය කෙරෙහිත්, අලසකම හා අකාර්යක්ෂමතාව කෙරෙහිත් අපේ වර්තමාන ආහාර රටාව බලපා තිබෙන්නේ යැයි කිව හැකිය. අප එම තත්ත්වයෙන් ඉක්මනින් අත් මිදිය යුතුය.

ලංකාව චින්තනමය වශයෙන් දුප්පත් රටකි. විද්‍යාවේදීද පමණක් නොව කලාවේදීද දුප්පත්ය. ශ්‍රම ඵලදායකත්වය තිබෙන්නේද පහළම තත්ත්වයකය. ඒක පුද්ගල ඖෂධ පරිභෝජනය තිබෙන්නේද ඉහළම මට්ටමකය. ලංකාව දියවැඩියා රෝගයෙන් පෙළෙන ජාතියක් ලෙසද සැලකිය හැකිය. ඒ සියලු දෝෂ කෙරෙහි අපේ ආහාර රටාව බලපා තිබෙන්නේයැ’යි කිව හැකිය.

තුන්වේලටම බත් කන සංකල්පය වී ගොවිතැනේ යහපතට හේතුවනු ඇතත්, රටේ පොදු යහපතට හේතුවන්නේ නැත. අපට බත් කන ප්‍රමාණය අඩු කොට මස්, මාළු, බිත්තර, එළවළු හා පලතුරු කන ප්‍රමාණය වැඩි කළ හැකි නම් වී ගොවිතැනට ලැබෙන වැදගත්කම අඩු වී ආර්ථිකයේ එළවළු වගාවට, පලතුරු වගාවට, මස් කර්මාන්තයට හා මාළු කර්මාන්තයට ලැබෙන වැදගත්කම වැඩිවී ඒ දේවල් මත යැපෙන ගොවීන්ගේ උපයන ආදායම්ද ඉහළ යනු ඇත. එවිට අපේ ජාතියේ ඥාන ශක්තිය සේ ම තරගකාරී හැකියාවද ඉහළ යනු ඇත.■