රාවය

කිම් ද බිය වන්ට කාරණ?

කිම් ද බිය වන්ට කාරණ?

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයට පිහිටුවීමට දිනයක් නියම කරමින්, එනම් සැප්තැම්බර් 15 වැනි දා නියම කරමින් ජනාධිපතිවරයා ගැසට් නිවේදනය නිකුත් කිරීම පැසසුම් කටයුතු කාරණයකි. එහෙත්, එම පනත සම්මත කොට, කාර්යාලය පිහිටුවීම සඳහා අවුරුද්දකටත් වැඩි කාලයක් ගතවීම නම් අප ලජ්ජා විය යුතු කාරණයකි. කොහොම නමුත්, කාර්යාලය පිහිටුවීමේ තීන්දුව හුදෙක් ඒ කාර්යාලය පිහිටුවීමට ඇති අවශ්‍යතාව නිසා ම කළ දෙයක් හැටියට පිළිගන්නට අමාරු ය. ලංකාවේ සංක්‍රාන්තික යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලියේ මඳ වේගය ගැනත්, නිසි පියවර නිසි අවස්ථාවල දී නොගැනීම ගැනත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරයා, ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරය ආරම්භයේ දී කළ බලපෑම් සහගත කතාව, කාර්යාලය වහවහා පිහිටුවීමට ජනාධිපතිවරයා යොමු කරන්නට හේතු වන්නට ඇත. ඊට අමතර ව, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වීම සඳහා ජනාධිපතිවරයා නිව්යෝර්ක් නුවරට යෑමට පෙර, මේ අත්‍යවශ්‍ය කාර්යාලය පිහිටුවීමට සිදුවන්නට ද ඇත.
කොහොම වුණත්, අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය දැන් මහජනතාවගේ අයිතියකි. පසුගිය ගැටුම් සහිත කාලයේ සමීපතමයන් අතුරුදන්වීම නිසා පීඩාවට පත්වුණු, ඔවුන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටින ජනතාවට අයිති කාර්යාලයකි. එය ඉතා ඉක්මනින් සක්‍රිය වනු දැකීම සියල්ලන්ගේ ම ප්‍රාර්ථනය යි.

එහෙත්, බලහත්කාර අතුරුදන් කිරීම්වලින් පුද්ගලයන් ආරක්‍ෂා කර ගැනීමේ ජාත්‍යන්තර සම්මුතිය පනත් කෙටුම්පත මේ වන විට මුහුණ දී ඇත්තේ දුර්දසාවකට ය. ජුලි 5 වැනි දා එය පළමු වරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට නියමිත ව තිබුණත්, ඊට පෙර දින මහනුවර දී ත්‍රෛනිකායික භික්‍ෂූන් දැක් වූ විරෝධය නිසා, ඉදිරිපත් කිරීම ආපස්සට ගන්නට ජනාධිපතිවරයා තිරණය කළේ ය. සැප්තැම්බර් 21 වැනි දා එය යළිත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ව තිබුණත්, එදින ද එසේ නොකරන ලෙස ජනාධිපතිවරයා ම උපදෙස් දී තිබේ. ඔහු මේ තීරණය ගෙන ඇත්තේ, පසුගිය කාලය පුරා ම මේ පනත් කෙටුම්පත ගැන අන්තවාදීන් හා ස්වෝත්තමවාදීන් විසින් මවන ලද රකුස් වෙසට බිය වීමෙන් බව නම් පැහැදිලි ය. අන්තවාදී භික්‍ෂූන්ට, ඊනියා රණවිරුවන්ට බිය වී ආණ්ඩුවේ යම් යම් සාධනීය පියවර පවා ආපස්සට ගැනීම ජනාධිපතිවරයා බොහෝ විට ප්‍රකට කර තිබෙන හැසිරීමකි. මේ තත්ත්වය ඉතාම කනගාටුදායක ය.

ජනවාරි 8 වැනිදා පොදු අපේක්‍ෂකයාට සහාය දුන්නේ සියලු වර්ගයේ ස්වෝත්තමවාදයන්ට, ජාතිවාදයන්ට, ආගම්වාදයන්ට හා අන්තවාදයන්ට විරුද්ධ මහජනතාව බව ජනාධිපතිවරයා තේරුම් ගත යුතු ය. ඒ සහාය ලබා ගත් ජනාධිපතිවරයා හැසිරිය යුත්තේ, ඒ සියලු අන්තවාදයන්ට ප්‍රතිපක්‍ෂ ව ය. එසේ හැසිරීම සඳහා විශාල ශක්තියක් අවශ්‍ය වන අතර, ඒ ශක්තිය ඔහු පිටුපස නිසැකව ම තිබෙන මහජන බලය යි. ඒ මහජන බලයේ තරම හා වුවමනාව නොසලකා ජනාධිපතිවරයා හැම අන්තවාදයකට ම නැමෙන්නට, බිය වන්නට ගියහොත්, ලංකාව යනු ඇත්තේ ජනවාරි අටෙන් හත පැත්තට මිස, නවය පැත්තට නොවේ.

යුද්ධයෙන් බැට කෑ ජනතාවට යුක්තිය ඉටු කිරීමට එරෙහි වන්නෝ අන්තවාදී අතළොස්සකි. භික්‍ෂූන් වේවා, පූජකයන් වේවා, වෙනත් පුද්ගලයන් වේවා එවැනි අන්තවාදීන්ට නැමී අත්‍යවශ්‍ය සාධනීය පියවර කිසිසේත් හකුළා ගත යුතු නැත. මේ සියලුම අය ජනවාරි 8 වැනි දා බලයෙන් පහ කරන ලද ඒකාධිකාරී රෙජිමයේ හිතවත්තු හා ආධාරකරුවෝ ය. ජනාධිපතිවරයා ඔවුන්ට කන් දුන් නිසා අලුතෙන් ඔවුන් ජනාධිපතිවරයා වෙත දිනා ගත හැකි වන්නේ නැත. ඔවුන් සිටින්නේ ඔවුන්ට හුරුපුරුදු තැන ම ය. එනම්, රට අඳුරට ගෙන යන පරණ වැඩවසම් රජකු යටතේ ය. ඔහුගේ වහලුන් වශයෙනි.

ජනාධිපතිවරයා සිට ගත යුත්තේ ඒ අන්තවාදීන් සමඟ නොවේ. තමාට ශක්තිය සැපයූ, රටේ බහුතරයක් වන අන්තවාදයට එරෙහි යුක්තිගරුක මහජනතාව සමඟ ය. ජනාධිපතිවරයා ඉටු කළ යුත්තේ ඒ මහජනතාවට වුණු පොරොන්දු සහ ජාත්‍යන්තරයට වුණු පොරොන්දු ය. ඒවා ඉටු කිරීමේ දී අර කී අන්තවාදීන් ප්‍රලය වී කලබල කරන්නට ගැනීම බලාපොරොත්තු විය යුත්තකි. ඔවුන්ට ඒ හැර කිසිවක් කළ හැකි නොවේ. කළ හැම දෙයක් ම කර තිබියදීත්, ජනවාරි 8 වැනිදා පරාජය වී නම්, ඒ බලය තවත් දියාරු වී තිබෙන අද වැනි කාලයක, ඔවුන්ට කළ හැකි දෙයක් ඇත්තේ ම නැති තරම් ය.

ඒ නිසා, දකින දකින බොරු අවතාරවලට බය නොවී, එක්සත් ජාතීන්ගේ මහමණ්ඩලයේදී කියූ පරිදි ම, ශක්තිමත් ගමනක් යෑම ජනාධිපතිවරයාගේ කාර්යය වන්නේ ය. මක් නිසා ද යත්, ජනාධිපතිවරයා නියෝජනය කරන්නේ රාජපක්‍ෂ කාලයේ මෙන් රජකු හා වැඩවසම් පවුලක් නොව, මේ රටේ ප්‍රගතිශීලී මහජනතාවගේ අභිලාෂයන් නිසා ය.■