රාවය

මානව හිමිකම් කවුන්සිලය 36: ලංකාවට කොහොමද?

මානව හිමිකම් කවුන්සිලය 36: ලංකාවට කොහොමද?

පසුගිය සැප්තැම්බර් 11දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 36 වන සැසිවාරය ආරම්භවූයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නොසිතූ ආකාරයේ මැදිහත්වීමක් සමඟය. මහකොමසාරිස් සෙයිඞ් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යමක් ප්‍රකාශ කරනු ඇතැයි අදහසක් තිබූ නමුත් ඔහු වක්‍ර නමුත් අනතුරු ඇඟවීමක් කරනු ඇතැයි අනුමාන කළ නොහැකිව තිබුණි.
මෙවර සැසිවාරයේ ආරම්භක දේශනය කරමින් සෙයිඞ් කියාසිටියේ ශ්‍රී ලංකාව මානව හිමිකම් කවුන්සිලයට වූ පොරොන්දු ඉටුකර නැති බවයි. එමෙන්ම යුද සමයෙහි සිදුකළ බවට කියැවෙන මානව හිමිකම් කෙළෙසීම් පරීක්ෂා කරන දේශීය යාන්ත්‍රණයක් පිහිටුවීමට ශ්‍රී ලංකාව දක්වන අසමත්කම විසින් අන්තර් ජාතික අධිකරණ බලය කෙරෙහි විශ්වාස කරන්නට සිදුවන බවයි. මෙම මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ වාර්තා තුනක්ද ශ්‍රී ලංකා ආණ්ඩුවේ වාර්තා තුනක්ද තිබේ. මෙම වාර්තාවන්හි සඳහන් කරුණු අන්තර් ජාතික අධිකරණයකට යොමු කළ යුතු බව මහකොමසාරිස් සෙයිඞ්ගේ ඇඟවීම විය.
අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය වහාම පිහිටුවන සේ සෙයිඞ් එම දේශනයෙදීම ඉල්ලාසිටි අතර ඉන් පැය 48ක් ගතවීමටත් පෙර ජනාධිපති සිරිසේන එම ඉල්ලීම ඉටුකිරීමෙන්ම පෙනීගියේ මානව හිමිකම් කවුන්සිලය සෙල්ලමට ගත යුතු නැති බව ආණ්ඩුව දන්නා බවයි.
එහෙත් එම ගැසට් නිවේදනය නිකුත් කළ අන්දම (සිරිසේන කළේ ව්‍යවස්ථාවෙන් ඔහුට බලය දී නැති වැඩකි. ඔහුට ජාතික සංහිඳියාව පිළිබඳ අමාත්‍යාංශය අයත් නැත.) දැන් අධිකරණය හමුවට යෑමට නියමිත අතර එසේ වුවහොත් අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම තවත් කල් යනු ඇත. එපමණක් නොවේ. එම කාර්යාලය පිහිටුවීමට නම් අදාළ ඇමැතිවරයා විසින් ඒ සඳහා නාමයෝජනා මහාජනයාගෙන් කැඳවිය යුතු අතර ඉන්පසු ව්‍යවස්ථා මණ්ඩලය විසින් නිසි පුද්ගලයන් ඊට පත්කළ යුතුය. තවම ඊට සූදානමක්වත් නොපෙනේ.
මෙම සරල උදාහරණය විසින් වුව පෙන්වන්නේ ආණ්ඩුවට අවශ්‍යව තිබෙන්නේ අතුරුදන්වූවන් පිළිබඳ ප්‍රශ්නය විසඳීමට වඩා කෝඳුරු තෙල් හත්පට්ටයකුත් තව ටිකක් සොයමින් අතපත ගෑම බවයි.
යුද සමයෙන් ඉතිරිවූ මානව හිමිකම් ප්‍රශ්න විසඳීම පිණිස සංක්‍රමණීය යුක්ති ක්‍රියාදාමයක් ආරම්භ කරන බවට පොරොන්දු දී යළි රටෙහි මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන බව පෙන්වීම මගින් 2015 වසරෙහිදී ශ්‍රී ලංකාව මානව හිමිකම් කවුන්සිලයෙහි මහත් පිළිගැනීමක් ඇතිකර ගත්තේය. එකල විදේශ ඇමැතිවූ මංගල සමරවීර ‘ප්ලස් දෙ නැසියොන්’ නමින් හැඳින්වෙන මානව හිමිකම් කවුන්සිල ගොඩනැගිල්ලෙහි ගමන්කළේ සාඩම්බරයෙනි. ඔහු එක්තරා විදිහක බලාපෙරොත්තුවෙහි දේශපාලන සංකේතයක් බඳුවිය.
දැන් සංක්‍රමණීය යුක්ති ක්‍රියාදාමය ගැන සමරවීර විසින් කවුන්සිලයට දෙන ලද එම පොරොන්දු බොහෝ කොටම පවතින්නේ ජිනීවා සුළඟෙහි පමණි. එමෙන්ම ශ්‍රී ලංකාව විසින් කවුන්සිලයෙහි දිනාගන්නා ලද බොහෝ මිතුරන් අතර සැකසංකා බෝවීමට පටන්ගෙන තිබේ. දැන් මතුවෙමින් එන්නේ වගවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අව්‍යාජභාවය පිළිබඳ ප්‍රශ්නයයි.
2009 වසරේ සිට ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනා ගෙනඒමට මානව හිමිකම් කවුන්සිලයෙහි මුලිකත්වය ගත් රටවල් තුනම වන ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ බි්‍රතාන්‍යය සිය අදහස් දක්වමින් කියාසිටියේ අන්තර් ජාතික වශයෙන් දෙන ලද මානව හිමිකම් පොරොන්දු ඉටුකිරීමට ආණ්ඩුව ඉක්මන් පියවර ගත යුතු බවයි.
එක්සත් ජාතීන්ගේ සංගමයේ මානව හිමිකම් විශේෂ නියෝජිතයනට මෙරටට පැමිණ සිය ක්ෂේත්‍රයන්ට අදාළව කරුණු සොයාබැලීමට සම්පුර්ණ නිදහස ලබාදීම ශ්‍රී ලංකාව මානව හිමිකම් කවුන්සිලයෙහි ලකුණු ලබාගෙන ඇති එක් ක්ෂේත්‍රයකි. රාජපක්ෂ සමයෙහි එවැනි නියෝජිතයනට දොර වසා තිබූ අතර ජීඑස්පී ප්ලස් සම්බන්ධයෙන් මෙරටට පැමිණීමට නියමිතවූ එවැනි පරීක්ෂණ දූත පිරිසක් පවා තහනම් කරන ලදහ.
කිරි කළයට ගොම දාගැනීම අතින් කප්ගසා තිබෙන මේ ආණ්ඩුව එලෙස ලබාගත් ලකුණු අවම කරගෙන ඇත්තේ මෙම විශේෂ නියෝජිතයන් විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ සහමුලින්ම වාගේ නොසලකා හැරීම මගිනි. එපමණක් නොව විජේදාස රාජපක්ෂ ඇමැතිව සිටි කාලයෙහි එලෙස ශ්‍රී ලංකාව විසින්ම ආරාධනය කර ගෙන්වාගත් මානව හිමිකම් නියෝජිතයනට ප්‍රසිද්ධියේ බැණවැදීම පුරුද්දක් කරගෙන තිබුණි.
ආරම්භක දිනයේදීම කවුන්සිලයට සිය වාර්තාව ඉදිරිපත් කළ සත්‍යය, වගවීම, හානිපූරණය සහ නිර්පුනරාවර්තනයන් සහතික කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි ග්‍රීෆ් ශ්‍රී ලංකාවට වර්ණනාවක් එක් කළේය. එනම් එළඹෙන ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවෙහි සංචාරයක නිරත වන ලෙස තමාට ආරාධනාවක් ලැබීම සතුටට කරුණක් බවයි. එමෙන්ම තමා ඉල්ලීම් කර තිබියදීත් තවමත් ආරාධනා කර නැති රටවල් ගණනාවක්ද සඳහන් කරමින් එම රටවල්ද මෙම පියවර අනුගමනය කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බවද ඔහු කියාසිටියේය.
ඔක්තෝබර් 10-23 අතර කාලය ශ්‍රී ලංකාවෙහි සත්‍යය, වගවීම, හානිපූරණය සහ නිර්පුනරාවර්තනයන් සහතික කිරීම (වෙනත් වචනයෙන් කියන්නේ නම් සංක්‍රමණීය යුක්තිය) පිළිබඳව කරුණු සොයා බලනු ඇති පැබ්ලෝ පෙනුමින්ද හැසිරීමෙන්ද ස්වරයෙන්ද නිවුණු ගුණ ඇති මහත්මයෙකි. සංක්‍රමණීය යුක්තිය පිළිබඳ මුල් පෙළේ විද්වතෙකු වන පැබ්ලෝ ශ්‍රී ලංකාවෙහිදී සිය ක්ෂේත්‍රයට අදාළ බොහෝ පිරිස් හමුවනු ඇත. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඔහු මීට පෙරද කියා ඇති පරිදි හමුදා විසින් අල්ලාගෙන සිටින දෙමළ ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම, අතුරුදන්වූවන්ගේ ප්‍රශ්නයට විසඳුම් සැපයීම සහ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සාර්ථක සංක්‍රමණීය යුක්ති ක්‍රියාදාමයක් සඳහා අවශ්‍ය ප්‍රාථමික කොන්දේසි බව යළි කියා සිටීමට බොහෝ ඉඩ තිබේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනත් පනතක් මගින් විස්ථාපනය කිරීම දිගින් දිගටම පමාවීමද ඔහුගේ සැලකිල්ලට ලක්වනු ඇත.
පැබ්ලෝගේ සංචාරය පසුපසින්ම වාගේ දෙසැම්බර් මැදදී, නීති විරෝධී රඳවාගැනීම් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ වැඩ කණ්ඩායමෙහි දූත පිරිසක්ද ශ්‍රී ලංකා සංචාරයක නිරතවනු ඇත. දීර්ඝ කාලයක් නඩු නොපවරා රඳවා සිටින දෙමළ ජාතික සිරකරුවන් පිළිබඳ ප්‍රශ්නය එම දූත පිරිස විසින් විමසා බලනු ඇති අතර කුප්‍රසිද්ධ ජෝෂප් කඳවුර සහ ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරෙහි ගන්සයිඞ් බිංගෙය යනාදිය ද ඔවුන්ගේ අවධානයට ලක්වනු ඇත.
මෙම සංචාර දෙකෙහිම වාර්තා බොහෝ විට ලබන මාර්තුවෙහි පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසිවාරයට ඉදිරිපත් කැරෙන්නට ඉඩ තිබේ. දැනට පවතින තත්ත්වය යටතේ එම වාර්තා ශ්‍රී ලංකාවට වාසිදායක වනු ඇතැයි සිතිය නොහැක.
තවද මෙම නොවැම්බරයෙහි පැවැත්වෙන, ශ්‍රී ලංකාව පිළිබඳ තුන්වන කාලාන්තරීය විශ්ව සමාලෝචනයෙහි (ඔයැ ඹබසඩැරි්ක ඡැරසදාසජ ඍැඩසැඅ – ඹඡඍ) වාර්තාවද ඉදිරිපත් කැරෙනු ඇත්තේ 2018 මාර්තු සැසිවාරයටය. මේ සියල්ලටම උඩින් මහ කොමසාරිස් සෙයිඞ් විසින් පසුගිය 2015 සැප්තැම්බරයේදී ශ්‍රී ලංකාවෙ සමදායකත්වයෙන් සම්මත වූ 34/1 යෝජනාව ක්‍රියාත්මක කිරීම පිළිබඳ වාර්තාවක් ද ඉදිරිපත් කරනු ඇත. ඔහුගේ ස්ථාවරය දැනටමත් විවේචනාත්මකය.
මේ සියලු කරුණු පෙන්නුම් කරන්නේ ජිනීවා මානව හිමිකම් කොමිසමෙහි දැනටමත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෝදුවන සැකසංකා, තත්ත්වය මෙලෙසම පැවතුණහොත් මාර්තු මාසය වන විට වඩා ඉහළ යා හැකි බවයි. එය ශ්‍රී ලංකාවට හොඳ නැත. ශ්‍රී ලංකාව අන්තර් ජාතික තලයේ දිනාගත් නම දැන් දියාරු වෙන්නට පටන්ගෙන තිබේ. එසේ වෙතත් තවමත් සමස්තයක් ලෙස කවුන්සිලයේ සමාජික රටවල් ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන්නේ යහපත් ආකල්පයකි. එහෙත් දැන් එය වෙනස් වන්නට පටන් ගනිමින් තිබේ.■