රාවය

බලය බෙදීම රට බෙදන්න හේතුවක් නොවෙයි – පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක

බලය බෙදීම රට බෙදන්න හේතුවක් නොවෙයි – පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක

තරිඳු උඩුවරගෙදර

විසිවැනි සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍ය වුණ පසුබිමක ආණ්ඩුව තුනෙන් දෙකක ඡන්දයකින් පළාත් සභා මැතිවරණ ක්‍රමයට අදාළ පනත සම්මත කරගත්තා. ජවිපෙ මේ සිදුවීම් දකින්නේ කොහොමද?
ජනතා විමුක්ති පෙරමුණත් හිටපු ස්ථාවරයක් තමයි පළාත් පාලන ඡන්දය පැවැත්වෙන්න ඕනෑ. අනෙක් පැත්තෙන් පළාත් සභා ඡන්ද එක විට පවත්වනවා නම් අපේ සහයෝගය දෙනවා, හැබැයි නිශ්චිත කාලයක් ඇතුළත. ඒ කියන්නේ ඡන්ද ඕනෑ විදියට කල් දාන්න දෙන්නේ නෑ. මේ පළාත් නවයේ ඡන්ද කොටස් හයකට විතර පැවැත්වීම පහුගිය කාලයේ ලංකාවේ කළ විකෘතියක්. ඒකෙන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ඡන්ද පැවැත්වූ විකෘති ක්‍රමය අපි දැක්කා. ඒක වෙනස් වෙන්නම ඕනෑ. ඒකට සහාය දැක්වීමේ වැරැද්දක් නෑ. ඒ කාරණය මත තමයි, පක්ෂයක් වශයෙන් අපි සියලුම පළාත් සභා එක් දිනක පවත්වන යෝජනාවකට සහ අඩුම තරමේ අවුරුද්දක් ඇතුළත සියලුම පළාත් සභා ඡන්ද පවත්වන්න ඕනෑ කියන කොන්දේසි දෙක මත සහයෝගය දෙන්න එකඟ වෙලා හිටියේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව එක්ක ඒ අවස්ථාව නැතිවුණා. ඊයේ (20වැනිදා) ඉදිරිපත් කළ පනතේ ඇති කරුණු ගැන අපි වැරැද්දක් දකින්නේ නෑ. මේ පනතේ මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් ඇතිකරන බව කියනවා. ඊට අමතරව මැතිවරණ තුනම එකම ක්‍රමයක් යටතේ පවත්වන්න යෝජනා කරනවා. කාන්තා නියෝජනය වගේ දේවල්වල අඩුපාඩුවක් අපි දකින්නේ නෑ. හැබැයි ගැටලුව තියෙන්නේ ගෙනා විදිය. පළාත් සභා මැතිවරණ ක්‍රමයේ සංශෝධන පනත ගෙනා විදිය කැතයි. ඇත්තටම මේ විදියට කරන්නේ නැතිව මේ කටයුත්තම දේශපාලන පක්ෂ සහ ජනතාව එක්ක සාකච්ඡා කරලා කරගත හැකිව තිබුණා. හැබැයි ආණ්ඩුවට දේශපාලනික වශයෙන් සැලසුමක් නැතිකමයි, හිතෙන හිතෙන විදියට කරන්නට යෑමයි නිසා පාර්ලිමේන්තු සම්ප්‍රදායට එරෙහිව වැඩකළ ස්වභාවය මතුවුණා. මේකේ සාධනීය යෝජනා තිබුණත් මේ තරම් මේක වෙනුවෙන් කැපවීමේ සැබෑ අරමුණ ඡන්දය කල් දමාගැනීම. ශ්‍රීලනිපය ඇතුළේ තියෙන බල ගැටුම මේක මේ විදියට කල් දැමීමට ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා.

ජවිපෙ පනතට සහයෝගය දෙන්න පදනම් කරගත්ත හේතුව මොකක්ද?
අපට පනතේ අඩංගුව පැත්තෙන් ගැටලුවක් නෑ. අනෙක් පැත්තෙන් විශාල උද්ඝෝෂණයක් තිබුණේ නැහැ පළාත් සභාවල කාන්තා මන්ත්‍රීවරුන්ගේ ප්‍රමාණය සීයට විසිපහක් විය යුතුයි කියලා. එහෙත් මේකෙන් ඒ කටයුත්තත් ඉටුවුණා. මේක ගෙනා විදියේ කැත ස්වභාවයෙන් සිදුවුණ අඩුවට වඩා මේකෙන් මැතිවරණය එක්වර කෙසේ වෙතත් කොටස් දෙකකට හෝ පවත්වන්න ඉඩකඩ ලැබීමත් යෝජනාවල යහපත්කමත් නිසා අපි සහයෝගය දෙන්න තීරණය කළා.

මේ පනත නිසා අනවශ්‍ය විදියට ඡන්දය කල් යයිද කියන එක තමයි දැන් ජනතාවට තියෙන ප්‍රශ්නය. මේකට සහාය දුන්න කණ්ඩායමක් විදියට ජවිපෙ දෙන සහතිකය මොකක්ද?
පනතට දාලා තියෙන නීතිමය තත්ත්වය එක්ක බැලුවාම සීමා නිර්ණය කොමිසමට දීලා තියෙන කාලය මාස හතරයි. පනත අද හෝ හෙට කතානායකවරයා අත්සන් කළාම ජනාධිපතිවරයා සති දෙකක් ඇතුළත සීමා නිර්ණය කොමිසම පත් කළ යුතුයි. ඊට පස්සේ අභියාචනයට මාස දෙකක කාලයක් තියෙනවා. ඔක්තෝබර් පළමුවැනිදා ජනාධිපතිවරයා කොමිසම පත් කළා කියලා හිතුවත්, අප්‍රේල් මැද වෙද්දී සීමා නිර්ණය කොමිසමේ සහ අභියාචනා කොමිසමේ කටයුතු අවසන් කළ යුතුයි. මේකේ කාලය දීර්ඝ කරන්න අයිතියක් නෑ. අධිකරණ තීන්දුව අනුව නීතියෙන්ම ඒ වන විට අවසන් කළ යුතුයි. සීමා නීර්ණය හෙමින්ම කළත් ඔය කාලය වෙද්දී ඒ කටයුතු අවසන් කරලා ජුනි හෝ ජුලි මාසය වෙද්දී මැතිවරණය තියන්න පුළුවන්. අපේ ඉල්ලීම තියෙන්නේ ඒ අවස්ථාවේදී, ඉන් මාස කිහිපයකට පස්සේ මැතිවරණ පැවැත්වීමට නියමිතව තියෙන පළාත් සභාවල ඡන්දත් එකතුකරලා එකට ඡන්දය පවත්වන්න කියලා. අඩුම ගාණේ පළාත් සභා පහ හයකවත් ඡන්ද එකට පවත්වන්න කියලා තමයි අපි ඉල්ලන්නේ.

ජවිපෙ මේ පනතට සහාය දුන්නේ පළාත් පාලන මැතිවරණයත් කල් යන පසුබිමක. පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සිදුවෙන්නේ කුමක්ද?
ආණ්ඩුව පැත්තෙන් පනත සංශෝධනය කරගන්නට තිබුණු උනන්දුව පළාත් පාලන ඡන්දය වෙනුවෙන් තියෙන බව පෙනෙන්නේ නැහැ. ඒ නිසා අපි ඊයේ පැහැදිලිවම පාර්ලි මේන්තුවේදී අගමැතිවරයා ලවා ප්‍රකාශයක් කළා. අනුර කුමාර දිසානායක සහෝදරයා දින වකවානු සහිතව මැතිවරණය පැවැත්වීමට ගත යුතු පියවර ගැන විස්තර කළා. මෙහෙම කෙටියෙන් ඒ පියවර ටික විස්තර කරන්න පුළුවන්.
අලුතින් වැඩිවුණ සභිකයන් ප්‍රමාණය මහනගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා පනත්වලට ඇතුළත් කළ යුතුයි. ඒ සංශෝධනය පසුගිය සැප්තැම්බර් 11 වැනිදා ගැසට් කරලා තියෙනවා. සැප්තැම්බර් 25න් ගැසට් කාලය අවසන් වෙනවා. ඉන්පසුව මේක පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කරන්න පුළුවන්. ඉන්පසුව සතියක කාලයක් දෙන්න ඕනෑ උසාවි යන ජනතාවට උසාවි යන්න. කවුරුත් නඩුවක් දැම්මොත් සති තුනක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙන්න ඕනෑ. ඔක්තෝබර් විසිහතර වෙද්දී ඒක ලැබෙන්න ඕනෑ. ඔක්තෝබර් අවසාන සතියේ මේ පනත් තුන සම්මත කරන්න පුළුවන්. මේවාට විශාල විවාදයක් ඇතිවෙන්නේ නෑ. ඒ සම්මත කරලා කතානායකවරයාගේ අත්සන ලැබුණාම ඇමතිවරයාට බලය ලැබෙනවා මේ සියලු ආයතන නැවත සංස්ථාපනය කරන ගැසට් එක ගහන්න. මේ පිළිවෙළට ගියොත් නොවැම්බර් මුල වෙද්දී ගැසට් එක ගහන්න පුළුවන්. ඉන්පසුව මැතිවරණ කොමිසමට බලය ලැබෙනවා ඡන්දය ප්‍රකාශ කිරීමට අදාළ දින ප්‍රකාශ කිරීම් සියල්ල කරන්න. අපි ඊයේ මේ කැලැන්ඩරයට පාර්ලි මේන්තුව එකඟ කරගත්තා. මේ දින සමහර ඒවා වැටෙන්නේ පාර්ලිමේන්තු දිනවල නෙවෙයි. එහෙත් ඒ දිනවල විශේෂයෙන්ම පාර්ලි මේන්තුව මේක වෙනුවෙන්ම කැඳවනවා කියලා එකඟ වුණා. දෙවැනි කාරණය විසර්ජන පනත ඉදිරිපත් කරන දවසේ හෝ කමක් නෑ මේක විවාද කරලා සම්මත කළ යුතුයි කියලත් එකඟ වුණා. ඉතින් අපට පැහැදිලිව කියන්න පුළුවන් ආණ්ඩුවට දැන් කට්ටි පනින්න බැ. ඉතින් කොමිසම ප්‍රකාශ කළ පරිදි සාපෙළ විභාගය ගැනත් කල්පනා කරලා දෙසැම්බර් හෝ ජනවාරියේ ඡන්දය පවත්වන්න පුළුවන්. දිනය නියම කිරීමේ බලය කොමිසමට තියෙනවා.

පාර්ලිමේන්තු මැතිවරණය වෙනස් කිරීමටත් මේ වගේ යෝජනාවක් ගෙනල්ලා මැතිවරණය කල් දමන්න උත්සාහ කරාවිද?
පාර්ලිමේන්තු මැති වරණ ක්‍රමය එහෙම වෙනස් කරන්න බෑ. ඒක ජනමත විචාරණයකට ලක්විය යුතුමයි. ඒක අපි දකින්නේ නව ව්‍යවස්ථා සංශෝධනයත් එක්කම කරන්න ඕනෑ දෙයක් විදියට. අපි තේරුම් ගන්න ඕනෑ මේ ආණ්ඩුවට හොරකම් කරන්නයි නූල් සූත්තර දාන්නයි තියෙන උනන්දුව මේ වගේ පොදු ජනතාවට වැදගත් වෙන විදියේ පනත්, ක්‍රම වෙනස් කරන්න උනන්දුවක් නෑ කියලා. එහෙම වුවමනාවක් තිබුණා නම් මේවා මෙහෙම වෙන්නේ නෑ.

විගණන පනත ජනතා විමුක්ති පෙරමුණෙන් ඉදිරිපත් කරන බව කිව්වා. ඒ සම්බන්ධයෙන් වැඩකටයුතු තියෙන්නේ මොන තත්ත්වයේද?
අපි පනත හදලා ඉවරයි. හැබැයි ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු ආකෘතියක් තියෙනවා. ඒකේ දෙමළ සහ ඉංග්‍රීසි පරිවර්තනය කළ යුතුයි. ඇත්තටම එළියේ ඉන්න නීති පරිවර්තකයන් ලංකාවේ අඩුයි. එහෙත් අපි ඉන්න අයට ඉදිරිපත් කරලා තියෙනවා. අපි හිතනවා ඔක්තෝබර් මාසයේදී ඒක ඉදිරිපත් කරන්න හැකිවේවි කියලා.

නව ව්‍යවස්ථා යෝජනාවට අදාළ මෙහෙයුම් කමිටුව පාර්ලිමේන්තුවට 21 වැනිදා ඉදිරිපත් වෙන්න නියමිතව තිබුණා. ඒ යෝජනාවෙන් වෙන්නේ මොකක්ද? ඒ ගැන ජවිපෙ මතය මොකක්ද?
ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියන තැන අපි ඉන්නවා. හැබැයි ඒකෙන් ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි. නව ඡන්ද ක්‍රමයක් ඇතිවිය යුතුයි. විවිධ ජනවර්ග නියෝජනය කරන ජනතාවගේ අයිතිවාසිකම් පුළුල් විය යුතුයි කියන පදනමෙන් අපි නව ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියන එකට සහයෝගය දුන්නා. ඒ නිසා අපි ක්‍රියාකාරීව ව්‍යවස්ථා සම්පාදන කටයුතුවලට දායක වුණා. මෙහෙයුම් කමිටු වාර්තාව සම්බන්ධයෙන් අපේ නිරීක්ෂණ පහුගිය සති දෙකකට කලින් ලබාදුන්නා. විවිධ දේශපාලන පක්ෂවල අදහස් උදහස් යෝජනා එකතු කරගත්ත වාර්තාවක් ඉදිරිපත් වෙනවා. පාර්ලිමේන්තුව තීන්දු කරන දවසක් හෝ කිහිපයක් පාවිච්චි කරලා මේ පිළිබඳ විවාද කරලා තීන්දුවක් ගන්න ඕනෑ.

තීරණාත්මක සාධකයක් විදියට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම කියන කාරණය පාවිච්චි කරනවාද?
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම තමයි අංක එක. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකරන ව්‍යවස්ථා යෝජනාවලියකට අපේ සහයෝගය නැතිවෙයි.

ශ්‍රීලනිපය යෝජනා කරනවා විධායක ජනාධිපතිවරයාගේ බලය අඩු කළත් ජනාධිපතිවරණයකින් පත්කරගන්නා ක්‍රමයක් ඕනෑ කියලා. හැබැයි ලංකාවේ පවතින ක්‍රමය ඇතුළේ ජනාධිපතිවරණයකින් පත්වෙන ජනාධිපතිවරයෙකුට විශාල බලයක් හිමිවෙනවා. ඒ නිසා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවෙන් පත් කරගන්නා ක්‍රමයක් අත්‍යවශ්‍යයි. ජවිපෙ මේ ගැන හිතන්නෙ කොහොමද?
අපි ඇත්තටම දකින්නේ මේ යෝජනාව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාත් ඔහුගේ කණ්ඩායමත් ජනවරම පාවාදෙමින් කරන අමුම අමු කුමන්ත්‍රණයක් විදියට. වෙනම ඡන්දයකින් ජනාධිපතිවරයා පත් වෙනවා නම් ඔබ කීවා වගේ අනිවාර්යයෙන් ඔහුට සුවිශේෂී බලයක් ලැබෙනවා. ශ්‍රීලනිපය ඒක කියන්නේ තමන්ට ඒ ක්‍රමය වාසිදායක වෙයි කියලා හිතලා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න එපා කියලා ශ්‍රීලනිපය කිව්වත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට කියන්න බෑ එහෙම. අපි කියන්නේ ශ්‍රීලනිපය අකැමති වුණත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ව්‍යවස්ථා යෝජනාවක් ජනමත විචාරණයට ඉදිරිපත් කරලා බලමු. විධායක ජනාධිපති ක්‍රමය ගැන ජනතාව ඉන්නේ ශ්‍රීලනිපය කියන මතයේද කියලා විමසලා බලමු. ශ්‍රීලනිපයේ බල අවශ්‍යතා වෙනුවෙන් දුර්දාන්ත විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යන්නට අපි එකඟ නෑ.

ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව විසින් ඉදිරිපත් කරන බලය බෙදීම පිළිබඳ යෝජනා සම්බන්ධයෙන් ජවිපෙ දරන අදහස මොකක්ද?
අපි පැහැදිලිවම කියලා තියෙනවා අපේ රටේ ජනවාර්ගික ගැටලු විසඳන්නට පළාත් සභා ක්‍රමයෙන් ලබාදීලා තියෙන විසඳුමක් නෑ. විශේෂයෙන් මුස්ලිම් පක්ෂ දීලා තියෙන අදහස්වලින් පෙනෙනවා ඔවුන් සැලකිය යුතු බියකින් ඉන්නවා කියලා පළාත් සභාවලදී දෙමළ දේශපාලනික පක්ෂවල බලය ගැන. ඉතින් ජාතික ප්‍රශ්නය විසඳන්න බලය බෙදීම විසඳුමක්යැයි අපි සිතන්නේ නැහැ. අපි 13 වැනි සංශෝධනයට විරුද්ධ වුණේ මේකෙන් ජාතික ප්‍රශ්නය විසඳෙන්නේ නැති නිසාත් ඒ වෙලාවේ 13 වැනි සංශෝධනය ඉන්දීය ආණ්ඩුවේ බලපෑමෙන් ගෙනා නිසාත් ඒ වෙලාවේ එල්ටීටීඊය හිටිය තත්ත්වයේ හැටියට ඒකෙන් රට බෙදීමේ අවදානමක් තිබුණු නිසාත්. අද තියෙන තත්ත්වයේ හැටියට රට බෙදන්නට තරම් බලය බෙදීම හේතුවක් නෙවෙයි. දැන් පළාත් සභාවලින් රට බෙදීම ගැන අනතුරක් නෑ. ඒ නිසා ජවිපෙ වශයෙන් අපි ඉන්න ස්ථාවරය තමයි යම් යම් කරුණුවලට යටත්ව අපි මේකට සහයෝගය ලබාදෙනවා කියලා. මූලික වශයෙන් මේ ව්‍යුහය නිසා රට බෙදෙන්නේ නැහැ කියන ස්ථාවරයේ අපි ඉන්නවා.■