රාවය

ආණ්ඩුවේ ගුණ වැයීම ප්‍රමාණවත් නෑ – ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති සුදර්ශන ගුණවර්ධන

ආණ්ඩුවේ ගුණ වැයීම ප්‍රමාණවත් නෑ – ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති සුදර්ශන ගුණවර්ධන

තරිඳු උඩුවරගෙදර

සුදර්ශන ගුණවර්ධන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිවරයාය. ඔහු හිටපු ආණ්ඩුව සමයේ විපක්ෂයේ සිටිමින් ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, සංහිඳියාව ඇතුළු ප්‍රතිපත්ති මත හිඳිමින් ආණ්ඩුව විවේචනය කළ ප්‍රමුඛ සිවිල් ක්‍රියාකාරිකයෙකි. මේ රජයේ ඉහළ තනතුරක් බාරගැනීම සහ ඒ තනතුරෙහි රාජකාරි කිරීම සම්බන්ධයෙන් ලද දේශපාලනික අත්දැකීම් සහ පෞද්ගලිකව ලද අත්දැකීම් සම්බන්ධයෙන් ඔහු සමඟ කළ සංවාදයකි.

ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ධුරය බාරගැනීම ඒ තරම් ගෞරවයට ලක්වෙන තීරණයක් නොවෙන තැනට ඔබ බාරගනිද්දී ඒ තනතුර තිබුණේ. ගුවන්විදුලිය බාරගැනීම ඔබේ දේශපාලනය පැත්තෙන් විග්‍රහ කරගන්නේ කොහොමද?
අපි කරමින් ඉන්නේ දෘෂ්ටිවාදී ක්ෂේත්‍රයේ දේශපාලන අරගලයක්. ඒ අරගලය කළේ ඒ වෙද්දී හිටපු රෙජීමය කියලා කියපු ආණ්ඩුව පරාජය කරන්න පමණක් නෙවෙයි. දෘෂ්ටිවාදීමය වශයෙන් ඒ ආණ්ඩුව නියෝජනය කරපු අදහස් පරාජය කිරීමේ අරමුණ තමයි අපට තිබුණේ. මට පෙනුණු විදියට ඒ ආණ්ඩුව තුන් ආකාරයකින් ශක්තිමත් වෙලා තිබුණා. සිංහල ජාතිකවාදී අදහස්, අධිරාජ්‍ය විරෝධී අදහස්, අනෙක් පැත්තෙන් සමාජවාදී ජනප්‍රියවාදී අදහස්. මේ තුනම එකතුවුණ හොඳ දෘෂ්ටිවාදී බලයක් ඒකට තිබුණා. ඉතිහාසයේ එක් අවස්ථාවක අපට ඒක පෙරළන්න ලැබුණා. අලුත් ආණ්ඩුවක් ආවා. හැබැයි දෘෂ්ටිවාදී අරගලය එතැනින් අවසන් වුණේ නැහැ. ඒක තවදුරටත් කරන්න වෙනවා. ඉතින් ඒ අරගලය කරද්දී ආණ්ඩුව එක්ක වැඩ කිරීමත් යම් දුරකට ඉල්ලනවා. මම මේ ආණ්ඩුව පත්වුණාට පස්සේ අවුරුදු දෙකක් සිවිල් සංවිධානයක නායකයෙක් විදියට වැඩ කළා. ඒ අතරේ ජාතික රූපවාහිනියේ උදෑසන වැඩසටහනක් විතරක් කළා. හැබැයි අර දෘෂ්ටිවාදය වෙනුවෙන් මම පෙනී හිටියා. ඒ අතරේ තමයි අවුරුදු දෙකකට පස්සේ මට මේක බාරගන්නැයි මංගල සමරවීර ඇමතිවරයාගෙන් ආරාධනාවක් ලැබුණේ. ඉතින් මම ඒක බාරගත්තා. ලංකාවේ රාජ්‍ය මාධ්‍ය ආයතන හතරක් තියෙනවානේ. ලේක්හවුස්, ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය කියන ආයතන තුනම ලාබ ලබන තැනක තියෙනවා. ඒ හතර අතරින් රේඩියෝ කියන එක ගත්තාම යල් පැනගියායැයි කියන තත්ත්වයක් වගේම කලින් හිටපු සභාපතිවරුන්ගේ අදහස් එක්ක ඉතාම අවුල් තත්ත්වයක තිබුණේ. හැබැයි මට බාරදුන්නේ මේක. මම මේක බාරගත්තා.

සිවිල් සමාජ අවකාශය තුළ අපට හමුවෙන බොහෝදෙනෙක් වගේ නෙවෙයි, ගුවන්විදුලිය අහන අය වගේම ගුවන්විදුලියේ වැඩකරන අයගෙන් බහුතරයත් දෘෂ්ටිවාදීව කලින් ආණ්ඩුව නියෝජනය කරපු අදහස්වලම ඉන්න අය. හිටපු ආණ්ඩුව ජාතික මතයක් විදියට මේ ජාතිකවාදී අදහස් සාමාන්‍ය ජනතාව අතරට යවලා තියෙනවා. එයට විරුද්ධ සුළුතරයේ මතය අරගෙන ගිහින් බහුතරයේ මතය එක්ක ගනුදෙනු කිරීම පිළිබඳ ඔබේ අත්දැකීම මොකක්ද?
අපි සිවිල් සංවිධානයක් විදියට වැඩ කළත් දකුණේ තමයි වැඩ කළේ. සිංහල බහුතරය වුණ සාමාන්‍ය ජනතාව අතරේ තමයි වැඩ කළේ. එතැනදීත් මම තේරුම් ගත්තා දෘෂ්ටිවාදීව එයාලා ඉන්නේ අනිත් පැත්තේ. ඒ කාලයේත් මගේ කාර්යමණ්ඩලයේ බහුතරය හිටියේ ඒ දෘෂ්ටිවාදයට පක්ෂව. ඒ නිසා ඒ වගේ අයත් එක්ක වැඩ කිරීම මට අමුත්තක් වුණේ නැහැ. හිටපු ආණ්ඩුව කාලයේ ආණ්ඩුවට පක්ෂ වීම ජයප්‍රිය වෙන්නට හේතුවක් වුණා. මේ ආණ්ඩුව කාලයේ ආණ්ඩුවට පක්ෂ වුණාම ජනප්‍රිය වෙන්නේ නෑ. රේටින්ස් වැටෙනවා. පොඞ්ඩක් විරුද්ධ වෙන්න ඕනෑ. විරුද්ධ වුණාම ලේසියි. හැබැයි විරුද්ධ වෙන එක අතරේ ආණ්ඩුව වැටෙන එක විතරක් නෙවෙයි වෙන්නේ. අපි ප්‍රවර්ධනය කරපු දෘෂ්ටිවාදයත් කඩාගෙන වැටෙනවා. ඉතින් මගේ අදහස විපක්ෂය විදියට හිටපු වත්මන් ආණ්ඩුව විසින් පිළිගත්තු, අප විසින් ප්‍රවර්ධනය කරපු අදහස වෙනුවෙන් පෙනී ඉන්නට රජයේ යාන්ත්‍රණය යොදාගත්තාට කමක් නැහැ

ඔබට මේ තනතුර පැවරෙද්දී ආණ්ඩුවෙන් පවරපු වගකීම මොකක්ද? ඔබ වැඩකරන්න්නේ මොන විදියටද?
මට අගෝස්තු 19 වැනිදා තමයි තනතුර බාර දුන්නේ. මට තනතුර දුන්න අමාත්‍ය මංගල සමරවීර කියන්නේ මා එක්ක හිටපු සටන් සගයෙක්. ඒ වෙලාවේ ඔහු කිව්වේ සුදර්ශන මම ඔබට දෙන්නේ වරප්‍රසාදයක් නෙවෙයි, අභියෝගයක්. ඔබ මේ ආයතනයත් එක්ක ප්‍රජාතන්ත්‍රවාදය, සමාජ සාධාරණත්වය, සංහිඳියාව වෙනුවෙන් න්‍යායපත්‍රය ඉදිරියට අරගෙන යන්න කියලා ඔහු කිව්වා. අනෙක් පැත්තෙන් මේකේ ලාභ ලබාදෙන්න කියලා ඔහු නොඉල්ලුවත් මේකේ පාඩුව අඩු කරලා දෙන්න කියලා ඔහු කිව්වා. මම විවෘත මනසකින් වැඬේ බාරගත්තා. මම යූඇන්පීකාරයෙක් නෙවෙයි, ශ්‍රී ලංකාකාරයෙක් නෙවෙයි. මම ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව, සමාජ සාධාරණත්වය, මානව අයිතීන් වෙනුවෙන් වෙනම න්‍යාය පත්‍රයක් තියෙන කෙනෙක්. මම එතැනදී හිතුවේ දැන් සමාජය බෙදිලානේ තියෙන්නේ. මම මේ කියන්නේ ජනවාර්ගික බෙදීම ගැන නෙවෙයි, ෆේස්බුක් භාෂාවෙන් ටොයියෝ, බයියෝ වගේ බෙදීම් ගැන. මේ බෙදීම් හැමදාම ගෙනියන්න බෑ. අවසන් කරන්න ඕනෑ. මේ ආයතනයේත් එවැනි බෙදීමක් තියෙනවා. ඉතින් මම හිතුවේ මේක ඇතුලේ මම ඒ බෙදීම්වලට උඩින් ඉන්නවා. හැබැයි මම උඩින් කිව්ව විදියේ සමාජ සාධාරණත්වය පිළිබඳ න්‍යාය පත්‍රයක් එක්ක වැඩ කරනවා.

මේ ආයතනය ස්වාධීනද නැද්ද කියන එක ලොකු සංවාදයක්. ඔබ වැඩ බාරගනිද්දී ඔබේ ස්වාධීනත්වය අර්ථකථනය කරගත්තේ කොහොමද?
මම ඕක නිතර කල්පනා කරපු දෙයක්. බොහෝ දෙනෙක් ස්වාධීනත්වය කියන එක නිරපේක්ෂ දෙයක් විදියට සලකනවා. හැබැයි ස්වාධීනත්වය සාපේක්ෂ දෙයක්. ස්වාධින ආයතන කියන ඒවා පවත්වාගෙ යන්න පුළුවන් වෙන්නේ අපට ජාතික අභිලාෂයක් තියෙන තත්ත්වයක් ඇතුලේ. අපේ රටේ අවාසනාවකට ජාතික අභිලාෂයක් කියන එක හොයන්න බෑ. මේක ජනවාර්ගික අභිලාෂයන් බවට පත්වෙලා. වර්තමානයේ ටී.එන්.ඒ., ජේවීපී වගේ පාර්ශ්වවලත් එකඟතාවත් එක්ක යම් දුරකට ජාතික අභිලාෂයක් තිබුණත් ඒකාබද්ධ විපක්ෂය මේ ජාතික අභිලාෂයට එරෙහිව වැඩ කරනවා. මගේ ස්වාධීනතාව තියෙන්නේ කලින් කිව්ව ජාතික අභිලාෂය ආරක්ෂා කරනවා කියන ප්‍රතිපත්තියේ ඉඳන් ජාතික අභිලාෂයට එරෙහි ප්‍රතිගාමී බලවේගය මතවාදීව පරද්දන්න ඕනෑ. මම මේ ආයතනය ප්‍රජාතන්ත්‍රවාදය, සංවර්ධනය, සංහිඳියාව වෙනුවෙන් පාවිච්චි කරනවා. මම උදාහරණයට ගන්න කැමති කතාවක් තියෙනවා. ගුවන් විදුලිය සංස්ථාවක් බවට පත් කරලා තියෙන්නේ හැට හයේදී. සංස්ථාවක් බවට පත් කරන්නේ වඩා ස්වාධීනත්වයෙන් සහ වාණිජ අභිලාෂයක් එක්ක කටයුතු කරන්න. නෙවිල් ජයවීර මහත්තායව තමයි සභාපති බවට පත් කරන්නේ. පස්සේ කාලයක පාලිත පෙරේරා මහත්තයා ඔහුව ඉන්ටවීව් කරනවා. එතැනදී අහනවා ඔබට බලපෑම් එල්ලවුණේ නැද්ද කියලා. ඒ වෙලාවේ නෙවිල් ජයවීර මහත්තයා කියන්නේ මට බලපෑම් එල්ලවුණේ නැහැ. එක්කෝ ඒ ආණ්ඩුව හොඳයි. නැත්නම් ඔවුන් දැනන් හිටියා මට බලපෑම් කරලා වැඩක් නැහැ කියලා. මම මටත් දාගන්නේ ඒක. එක්කෝ මේ අය හොඳ මිනිස්සු. නැත්නම් ඔවුන් හිතනවා මම ස්වාධීනයි කියලා. හැබැයි නෙවිල් ජයවීර මෙහෙම කියනවා. ඒ ආණ්ඩුවට ප්‍රතිපත්තියක් තිබුණා. ඒ තමයි වගා සංග්‍රාමය මුල් වෙච්ච ප්‍රතිපත්තිය. ඒක ප්‍රවර්ධනය කරන්න ඔහු මැදිහත් වුණා. ඉතින් මමත් හිතන්නේ එහෙම. මට ආණ්ඩුව කියන ඕන දේකට නැවෙන පතෝල න්‍යායක් නෑ. ඕන එකක් දාන්න මම ලෑස්ති නෑ. සිවිල් සමාජය හදලා විපක්ෂය බාර අරගෙන ආණ්ඩු බලය ලබාගන්න හේතුවුණ න්‍යායපත්‍රය වෙනුවෙනුයි මම පෙනී ඉන්නෙ.

දැන් මිනිස්සු රජයේ මාධ්‍ය අහන්න සූදානම් කියලා හිතනවාද?
අංක එකේ හිටපු රජයේ රූපවාහිනී නාලිකාවක් පහළට ගිහින් දැන් පෞද්ගලික මාධ්‍ය ආයතනයක් අංක එකට ඇවිත්. ඒ පෞද්ගලික මාධ්‍ය ඒකාබද්ධ විපක්ෂයට ප්‍රසිද්ධියේ සහාය දක්වනවා. ඉතින් රජයේ නාලිකාවලට උභතෝ කෝටිකයක් එනවා. අපට පරණ ලයින් එකට යන්නත් බෑ. අලුත් ලයින් එකේ ඉඳන් ආදායම් හොයන්නත් බෑ. මෙතැනත් එහෙම තමයි. මේ ඉන්න ඕඩියන්ස් එක වැටෙයි කියලා බයක් තියෙනවා. හැබැයි මම හිතන්නේ ඕඩියන්ස් එක වැටුණාට කමක් නෑ. අපි අරගලයක හිටියා. ඒකේ හිටපු අයගේ මාධ්‍ය බවට මේක පත් කරන්න ඕනෑ. ලක්ෂ 62ද ලක්ෂ 58ද ලොකු කියන එක ප්‍රශ්නයක් වෙලානෙ දැන්. මට නම් 62 ලක්ෂය ලොකුයි. ඒක එක පක්ෂයකට අයිති නොවෙන්න පුළුවන්. දැන් ඒ අය එකම මතයක නොසිටින්නත් පුළුවන්. ඒ අය ස්වාධීනයි. හැබැයි 62 ලක්ෂය ලොකුයි. ඒත් ඒ පිරිසගේ අදහස් වෙනුවෙන් තමා මාධ්‍යයක් නැත්තේ. ඉතින් 58 ලක්ෂයට අමතන ගමන් 62 ලක්ෂය වෙනුවෙන් පෙනී ඉන්න නාලිකාවක් බවට මේක පත් කරන්නයි මට ඕනෑ. ලක්ෂ 62ට ආණ්ඩුවේ ගුණ වැයීම ප්‍රමාණවත් නෑ. ඒ අයට විවේචනාත්මකව මේ සියල්ල දෙස බලන්න ඕනෑ.

සමාජ මාධ්‍ය ඇතුලේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ගැන ලොකු සංවාදයක් ඇතිවෙලා. ඔබ සමාජ මාධ්‍ය ඇතුලේ ක්‍රියාකාරී වෙන්නට පටන්ගත්තේ ඉන්ටර්නෙට් තියෙන යුගයක තරුණ අයව රේඩියෝ අහන්න යොමු කරවාගන්නට සැලසුමක් විදියටද?
මම උත්සාහ කළේ මෙතැනට අලුත් අදහස් හා යෝජනා ගෙන්වාගන්න. මම ෆේස්බුක්වල ඉන්න තරුණ අය එක්ක සංවාදයකට ගියා. පෞද්ගලික ෆේස්බුක් ගිණුම හරහා මම විවෘත ආරාධනයක් කළා මේ වැඬේට උදව් කරන්න යෝජනා අරගෙන එන්න කියලා. මට විශාල ප්‍රතිචාරයක් ලැබුණා. සමාජ මාධ්‍ය ඇතුලේ මට ආපු ප්‍රතිචාරවලට මම ඇහුම්කන් දුන්නා. මම උත්තර දුන්නා. ගුවන්විදුලියේ සභාපතිවරයාම ඇවිත් සමාජ මාධ්‍යවල අදහස් දක්වනකොට, ඕනම කෙනෙක්ට ප්‍රතිචාර දක්වනකොට බොහෝ දෙනෙක් උනන්දුවුණා. මට හිතෙන්නේ මම එක්තරා විදියකට ප්‍රජාව එක්ක සම්බන්ධ වුණ ගුවන්විදුලියක් හැදුවා. ප්‍රජාව එක්ක සම්බන්ධ වෙන්න ලොකු කණ්ඩායමක් අරගෙන ගමකට යන්න ඕනේ නැහැනේ. මම විවේචනත් මගේ වෝල් එකට ෂෙයා කළා. රටෙන් පිට ඉන්න විශාල පිරිසක් මා එක්ක සම්බන්ධ වුණා. අද දක්වාම විශාල මැසේජ් ප්‍රමාණයක් එනවා. ඉදිරියේදී මට මගේ පෞද්ගලික ගිණුම පරිහරණය කරන්න වෙන කෙනෙක්ට දෙන්න වෙනවා. මොකද දැන් මේක මට තනියෙන් හසුරුවන්න බැරි තරම් ප්‍රතිචාර තියෙනවා. ඒ සියල්ල ලොකු වෙනසක් කරන්නට හේතුවුණා. මම ඒ අයගේ යෝජනා මත සිංදු වෙනස් කළා මම. සිංදු ඉල්ලීම්, යෝජනාවලට ඉඩ දුන්නා. එතැනදී හමුවුණු විවිධ අය එක්ක විවිධ වැඩ පටන්ගත්තා. සමාජ මාධ්‍යවල හිටපු දක්ෂයන්ව මෙතැනට ගේන්න මම උත්සාහ කළා.

ඔබට ආයතනය ඇතුළෙන් සහයෝගයක් ලැබුණාද?
අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තමයි මෙතැන ප්‍රධාන විධායක නිලධාරියා. මම එක් විදියකට ගත්තොත් දේශපාලන පත්වීමක් ලබපු මඟපෙන්වන්නෙක්. අධ්‍යක්ෂ ජෙනාරාල් විදියට ඉන්නේ ඒරානන්ද හෙට්ටිආරච්චි මහත්තයා. අපි අධ්‍යක්ෂ මණ්ඩලය දැනුම්වත් කරමින් දෙන්නා අතර හොඳ සංවාදයක් තියාගනිමින් වැඩ කරනවා. එතුමා ලොකු කාර්යභාරයක් කරනවා.

වැඩසටහන් විදියට ඔබ විශාල වෙනස්කම් රැසක් මේ වෙද්දී කරලා තියෙනවා. ඉදිරියේදීත් වෙනස්කම් කරන්න බලාපොරොත්තු වෙන බව කියනවා. කරපු වෙනස්කම් කෙටියෙන් කියන්න පුළුවන්ද?
මම පිටින් වැඩසටහන් සම්භාෂකයන් ගෙනාවා. වැඩසටහන් මෙහෙයවන අයගේ රැකියාවන්වලට මොනාවත් වෙලා නැහැ. ඒත් පිටින් දැනුම සහ හැකියාව තියෙන සම්පත්දායකයන්ව ගෙනාවා. සුභාරතී වැඩසටහනට කේ.ඩබ්ලිව්. ජනරංජන මහතා ආවා. තව කාලීන වැඩසටහන්වලට අජිත් පැරකුම් ජයසිංහ වගේ මහත්වරු ආවා. ප්‍රවෘත්ති විකාශය ගැන බලන්න මම වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ ඉන්න ෆ්‍රෙඩී ගමගේ මහත්තයාගෙන් උදව් ගත්තා. පත්තර කියවන වැඩසටහනට ජීවනී කාරියවසම්ගේ සහයෝගය ගත්තා. සතියේ දිනවලට උදෑසන වැඩසටහනට පළමු වතාවට කාන්තාවක් පමණක් පත්තර කියවන වැඩසටහනක් විකාශය වෙන්න පටන්ගත්තා. ගොඩක් අයගේ විවේචන මැද ඒක දැන් යනවා. මගේ වැඩි ආසාව තිබුණේ වැඩසටහන් පැත්තට. මම සිටි එෆ්.එම්. එකත් එක්ක මම වැඩ පටන්ගත්තා.