රාවය

කාර්දිනල්වරයාගේ ආගමික ගබ්සාව

කාර්දිනල්වරයාගේ ආගමික ගබ්සාව

නීල් ක්‍රිස්ටෝෆර්

ඕනෑ ම කෙනකුට ඕනෑ ම මතයක් දැරීමට අයිතියක් හා නිදහසක් තිබිය හැකිය. එහෙත් ඒ කවර මතයක් වුවත් සබුද්ධික මනුෂ්‍යයා වර්ධනය කැරගත් ශිෂ්ටත්වයට සාපේක්ෂකව උරගා බලා එම මතය ශිෂ්ට ද අශිෂ්ට ද මානුෂික ද අමානුෂික ද සුගතිගාමී ද ප්‍රතිගාමී ද කියා නිගමනය කළ හැකිය, එසේ කළ යුතුය. ඒ අනුව ගබ්සාව සම්බන්ධ නීති සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය සාපේක්ෂක ව මනුෂ්‍යත්වයේ සුගන්ධය ද, ඊට එරෙහි මැල්කම් රංජිත් කාර්දිනල්වරයාගේ අදහස වනචාරීත්වයේ දුර්ඝන්ධය ද විහිදුවන බව නිර්භය ව ම කිව හැකිය.

2017 සැප්තැම්බර් මස 3 දා කේ. ඩබ්ලිව් ජනරංජන විසින් සැපැයුණු ‘ගබ්සා කළ යුත්තේ කාර්දිනල්ට ඕනෑ විදිහට ද?’ යන ලිපියේ පිටපත බැගින් සර්වාගමික පූජක ප්‍රජාව අතට පත් කළ යුතුය. චේතනාන්විත ව, අපරාධකාරී ලෙස, බලහත්කාරී ලෙස අහිංසක ස්ත්‍රියකගේ යෝනිය තුළට මුදා හරින ශූක්‍රාණුවකින් හට ගන්නා කළලයක් පිළිබඳ ශ්‍රද්ධාවත් කාර්දිනල්වරයාගේ හදවත කම්පා වී තිබෙන බව පෙනෙයි. එතුමාට ඇති වී තිබෙන මේ අරුම පුදුම රුදාව විමසා බැලිය යුතු වෙයි.
දහස් ගණන් කතෝලිකයන් සකල විධ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන්ගෙන් පරිපීඩිතව සුසුම් හෙළමින් සිටින විට ඔවුන්ගේ ඇසට වැලි ගසා, කිතු හිමියන්ට නිගා කරමින් මුදල් කඳු ගණන් ගොඩ ගසා ගන්නා කතෝලික සභාවේ නායකයා පළ කරන මේ අදහස සරල මතිකත්වයෙන් බැහැර නොකළ යුතුය. එහි පත්ලේ ඇත්තේ ඔහුට සවිඥානිකව හෝ අවිඥානිකව හෝ ඔහු තුළ බල පවත්වන පුරුෂ ලිංගවාදයේ අධිපතිත්වයයි. :ීමචරුප්ජහ දf ඡය්කකද-ජැබඑරසිප* එය කයින් විසි එක් වැනි සියවසේ ජීවත් වෙමින් සිටියත් මනැසින් ප්‍රතිගාමී ව අතාර්කික, වනචාරී පුරුෂෝත්මවාදය වමනය කිරීම හැර අන් කිසිවක් නොවේ.

කාර්දිනල්වරයා බෞද්ධයකුටත් වඩා බෞද්ධයකු ලෙසින් මවා පෑම් කරමින් ඊනියා දේශප්‍රේමී සිතාම්බර පටයෙන් සැරැසී කරන මේ ප්‍රකාශය බලන්න: “සමහර ධනවාදී රටවල මිනිස්සු අනෙක් අයට කියනවා ලෝකයේ ජන ගහනය බොහොම වැඩිය, අඩු කරන්න කියලා. තුන්වැනි ලෝකයේ රටවල දරුවන් ප්‍රමාණය අඩු කරන්න අපි මුදල් දෙනවා කියනවා. එන්.ජි.ඕ. අයට මුදල් දෙනවා මේ ප්‍රචාරණ කටයුතු ඉදිරියට ගෙන යන්න. යුරෝපාකරයේ සුදු මිනිසුන්ට ආත්මාර්ථකාමී වෙන්න අපේ දරුවන් බිලි දෙන්න බෑ.”

කාර්දිනල්වරයා තොත්ත බබකු මෙන් මේ කරන ප්‍රකාශය පට්ටපල් බොරුවකි. ජන ගහන වර්ධනය පාලනය කිරීමේ සවිඥානික අවශ්‍යතාව මතු වූයේ ප්‍රසවවේදය, නාරිවේදය පිළිබඳ නව පර්යේෂණ කරමින් තිබුණු යුරෝපීය ධනවාදී රටවල ය. විශේෂයෙන්ම උපත් පාලනය පිළිබඳ කෙස් පැලෙන කුහක තර්ක කතෝලික ධර්ම විසාරදයන් අතර 1960 දශකයේදී පැවැතිණි. 1962දී විසි තුන් වැනි ජුවාම් පාප්වරයා විසින් උපත් පාලනය පිළිබඳ කතෝලික සභාවේ ප්‍රතිපත්තිය කවරක් විය යුතුදැයි අධ්‍යයනය කිරීමට කොමිසමක් පත් කැරිණි. එම කොමිසමේ සාමාජික සංඛ්‍යාව 68 දෙනකු දක්වා හය වැනි පාවුළු පාප්වරයා විසින් වැඩි කෙරුණේ තුන් වැනි ලෝකයේ දරුවන් බිලි බා ගන්නට දැයි කාර්දිනල්වරයාගෙන් අසනු කැමැත්තෙමි. ඒ කාලය වන විට ශ්‍රී ලංකාව වැනි තුන් වැනි ලෝකයේ රටවල උපත් පාලනය පිළිබඳ ලොකු හඬක් නො තිබිණි. ඒ හඬ නැගුණේ ධනවාදී යුරෝපයෙනි. ඒ හඬට අන්දමන්ද වූ කතෝලික පූජක තන්ත්‍රය අදාළ ප්‍රශ්නයට නිර්ලජ්ජිත විකල්ප යෝජනා ඉදිරිපත් කළ බව කාර්දිනල්වරයාට මතක් කර දෙනු කැමැත්තෙමි.

දොළොස් වන පියුස් පාප්වරයා 1951 දී ප්‍රකාශ කළේ, උපත් පාලන ක්‍රමයක් වශයෙන් ඔසප් චක්‍රයේ සරු කාලය මඟ හැර සංසර්ගයේ යෙදීම අනුමත කළ හැකි බවයි. ‘දෙවියන් විසින් එක් කරනු ලැබූවෝ මනුෂ්‍යයා විසින් වෙන් නොකෙරෙත්වා’ යන ඊනියා ප්‍රතිපදාවෙහි පිහිටා දික්කසාදයට ඉඩ නොදුන් කතෝලික සභාවට, එසේ දෙවියන් විසින් එක් කැරුණු දෙදෙනකුට ස්වාභාවික මනෝ-කායික අවශ්‍යතා සන්තර්පණය කර ගැනීමට ඇති පරම අයිතිය ඔවුන් කෙරෙන් උදුරා ගැනීමේ තනි අයිතිය පැවැරුණේ කවර ස්වාභාවික යුක්ති ධර්මයකට අනුකුලව දැයි පෘතග්ජන අපට පහදා දෙන මෙන් කාර්දිනල්වරයාගෙන් ඉල්ලා සිටිමි.

අදාළ සංවාදයේ දී බයිබලය පදනම් කැර ගනිමින් මතු වූ තවත් නිර්ලජ්ජිත පුවතක් මෙසේය. “යුදා ඕනාන්ට කතා කොට, නුඹේ සහෝදරයාගේ භාර්යාව වෙත පැමිණ මළ සහෝදරයා වෙනුවට ඈ පාවා ගැනීමෙන් නුඹේ යුතුකම ඉෂ්ට කර නුඹේ සහෝදරයාට වංශයක් උපදවාපන්නැයි කීයේ ය. ඕනාන් ඒ වංශය තමාට අයිති නොවන බව දැන තමාගේ සහෝදරයාගේ භාර්යාව වෙතට පැමිණ කල්හි තමාගේ සහෝදරයාට වංශය නොදෙන පිණිස එය (ශූක්‍ර තරලය – ලේඛකයාගේ යෙදුවි.) බිම වැගිරවූවේය.” (බයිබලයේ උත්පත්ති කතාව 38: 7-10) එම උපක්‍රමය ද විකල්පයක් වේ දැයි සාකච්ඡාවට ගැනිණිෟ

සබුද්ධික ලාලසාවෙන් යුක්ත එක ම සත්ත්වයන් යැයි සැලැකිය හැකි ස්ත්‍රී පුරුෂයන් ශිෂ්ණ-යෝනි මාර්ග සංසර්ගයට උපක්‍රමික, ශිෂ්ට විකල්පයන් හරහා තම මනෝ ලිංගික ආශාවන් සපුරා ගනිමින් මනෝ ලිංගික විකෘතිතා මඟ හරවා ගන්නා බව කාර්දිනල්වරයාට මතක් කැර දෙනු කැමැත්තෙමි.
අපි දැන් ගබ්සාව දෙසට යළි හැරෙමු : මෙහිදී ජනරංජනගේ නිර්භීත ප්‍රකාශයක් උපුටා දක්වමි. “මේ පූජ්‍යයන්ට හා පූජකයන්ට ඕනෑ ඕනෑ විදියට රටේ නීති හදන්නට හා ගලවන්නට පුළුවන් නම් රටේ පරමාධිපත්‍යය හිමි සාමාන්‍ය මහ ජනතාවක් සිටිය යුතු නැත.” විකෘති මැතිවරණ ක්‍රමයක් හරහා හෝ මහජනතාවගේ බහුතරයක අභිමතයෙන් පාර්ලිමේන්තුවට හා කැබිනට් මණ්ඩලයට බලය පැවරී ඇත්තේ ජනතා පරමාධිපත්‍යය ක්‍රියාවට නැංවීමට යි. ඒ අනුව කාර්දිනල්වරයා මේ කරන්නේ ජනතා පරමාධිපත්‍යය අභියෝගයට ලක් කිරීමයි.

ජනරංජන සඳහන් කරන ආකාරයට ගබ්සාවට අවම වශයෙන් අවසර දිය යුතු අවස්ථාවන් වශයෙන් වෛi විශේෂඥවරුන් (ඊනියා බ්‍රහ්ම චර්යාව රකිනා පූජකයන් නොව) දක්වන්නේ කාන්තාවකගේ කුසෙහි මාරාන්තික ලෙස විකෘති වී ඇති කළලයක් පිළිසිඳ ගැනීමත්, දූෂණයට හෝ අතවරයකට ලක් වීමේ ප්‍රතිඵලයක් හැටියට කාන්තාවක ගැබ් ගැනීමත් ය.

එකී ප්‍රථම අවස්ථාවේදී එ නම් මාරාන්තික ලෙස විකෘති වී ඇති කළලය මළ දරු උපතක් බවට පත් වන විට හෝ මව මිය ගිය විට හෝ එම මරණය කාර්දිනල්වරයා යුක්ති යුක්ත කරන්නේ කෙසේද? යම් හෙයකින් එකී කළලය විකෘති දරුවකු ලෙස බිහිවුවහොත් ඒ වැනි දරුවන් රැක බලා ගැනීමේ මධ්‍යස්ථානයක් කාර්දිනල්වරයා ආරම්භ කරන්නේද?

අකතෝලිකයන් අමතක කරමු. කතෝලික කාන්තාවක හෝ දැරියක හෝ දූෂණයකට ලක් වීමේ ප්‍රතිඵල වශයෙන් පිළිසිඳෙන දරුවන්ගේ අනාගතය පිළිබඳ කාර්දිනල්වරයාගේ පිළිවෙත හෙළි කළ යුත්තේය.

විකෘති කළල බිහි වීම වැළැක්වීම සඳහා උපහාසාත්මක විකල්පයක් කාර්දිනල්වරයාට යෝජනා කරනු කැමැත්තෙමි. ඒ නම් හැම කතෝලික යුවළක්ම සංසර්ගයට පෙර පූජකයකු හමු වී විකෘති කළලයක් ඇති නොවන්නට ආශීර්වාද ලබාගැනීමයි.

උපත් පාලනයට හා ගබ්සාවට විරුද්ධ නම් සහ එය පාප කර්මයක් නම්, තවත් එක් උපහාසාත්මක විකල්පයක් ලෙස යෝජනා කළ හැක්කේ අනවශ්‍ය ලෙස ගැබ් ගන්නා මව්වරුන් තමන් දරිද්‍රතාවේ පත්ලේ ගිලී සිටින නිසා දරුවන් පෝෂණය නොකළ හැකි බැවින් ඔවුන් රහසේ මරා දැමීම හෝ මහ මඟ දමා යෑම හෝ නොකොට අගරදගුරු මැඳුර ඉදිරියේ හෝ දෙව් මැඳුරු ඉදිරියේ දමා යෑමයි.■