රාවය

ඇමති ඇමති මේ අහන්න

ඇමති ඇමති මේ අහන්න

ඒ. වික්‍රමසුරිය

තවමත් කතාබහ ක්‍රිකට්ය. අර්ජුන දිවා රාත්‍රී නොබලා ක්‍රිකට් බේරා ගන්නට වෙහෙසෙනු පෙනේ. ක්‍රිකට්වලට ආදරය කරන අය තනතුරු බාර නොගන්නා බව අර්ජුන මේ දවස්වල කියන කතාවය. එය මොන තරම් කුහක ප්‍රකාශයක්ද යන්න අමුතුවෙන් කිව යුතු නොවේ. අර්ජුනගේ සටනේ අරමුණ ක්‍රිකට් පුටුව තමන්ට ගැනීමය. එය කිසිවකු අතට යනවාට කැමති නැත. මේ අර්ජුන දේශපාලනය දක්වා දුර ගෙනා සිහිනයය. කෙසේ හෝ ඔහු ඉටු කර ගන්නට යනුයේ ඔහුගේ අභිප්‍රායය. එය ක්‍රිකට්වලට ඇති අවංක ආදරය ලෙස සිතීම මුලාවකි.

මෙහි ඇති අපූරුතම වැඬේ නම් අර්ජුන නොබෝදා මහනායක හිමිවරුන් දැනුවත් කිරීමය. අර්ජුනගේ දැනුවත් කිරීමෙන් සියල්ල දැනුවත් වන මහානායක හිමිවරුන් අර්ජුනගෙන් ක්‍රිකට් බාර ගෙන එය බේරා දෙන ලෙස ඉල්ලු බවද අර්ජුන එම ගමනින් පසු පැමිණ කීවා මතකය. හෙට තිලංග මහා නායක හිමිවරු බැහැ දැක ක්‍රිකට් ගැන පහදා දුනහොත් පිළිතුර කුමක් වනු ඇත්ද? හැම ප්‍රශ්නයක්ම මහා නායක හිමිවරු දැනුවත් විය යුතුද? හැම ප්‍රශ්නයකටම විසඳුම මහානායක හිමිවරුන්ගෙන් බලාපොරොත්තු විය යුතුද? ක්‍රිකට් කණ්ඩායම තේරීම හෝ ක්‍රිකට් රැක ගැනීම මහා නායක හිමිවරුන්ගේ වැඩක්ද? එහි සිටිය යුතු සභාපති තීරණය දෙනුයේ මහානායක හිමිවරුද? එසේ නම් අර්ජුන දැන් ක්‍රිකට් සභාපති පුටුවෙහි වාඩි ගත යුතුය. මන්ද එය බාරගෙන ක්‍රිකට් බේරා දෙන ලෙස මහානායක හිමිවරුන් ඔහුගෙන් ඉල්ලා සිටි නිසාය. ක්‍රිකට් වෙනුවෙන් අර්ජුනගේ පෙනී සිටීම අන්තිම කුහකය. විකාරසහගතය.

ඒ තත්ත්වය එවැනි කතා නිර්මාණය කරන අතර ක්‍රිකට් තරග පාවා දීම ගැන කතාබහක්ද ඇවිළේ. එය ක්‍රීඩකයන්ගෙන් කෙලවර වන විට කිසිදු නිලධාරියකු එයට හසු නොවේ. තිලංග වැනි පාලකයකු ඉදිරියේ එවැනි දෑ සරලය. මෙරට ක්‍රිකට් බේරාගන්නට නම් අර්ජුනට මෙන්ම තිලංගටත් එම තැන නොදිය යුතුය. අර්ජුන තිලංගට නගන චෝදනා නිවැරදිය. එහෙත් අර්ජුන කියන නිසාම එයට අද වටිනාකමක්ද නොපවතී. මන්ද තිලංග සේම අර්ජුනද බලයෙන් මත්වූවන් බව ඔප්පු කොට ඇති බැවිනි.

කොදෙව්වන් එංගලන්තයට පරාජය වන තුරු දෙවියන් යැදි ක්‍රිකට් පරිපාලනයේ සිට ක්‍රිකට් කරනවුන් හැමදේම පිනට බාර දී පින්නු යේ සිටීමට දක්ෂයෝය. දැන් කොදෙව්වන් පරාදය. එබැවින් අපට ලෝක කුසලාන තරගාවලියේ අවසන් අටට බඩගාගෙන රිංගිය හැකිය. අනෙකාට කෙළවන තෙක් බලා සිට තැන ගැනීම ලාංකීය අනන්‍යතාවක් බව කලක සිට ඔප්පු කරනු ලැබේ. මේ එවැනි අවස්ථාවක්මය. අර්ජුන මහානායක හිමිවරු හමු වීමත් ක්‍රීඩා අමාත්‍යවරයා දැනුම් ඇත්තන් ළංකරගෙන ක්‍රිකට් දියුණු කිරීමේ වැඩපිළිවෙළක් වෝටර්ස් එජ්හි කල් මරමින් සැදු බැවින් දැන් ක්‍රිකට් ගොඩ යනු ඇත. දැන් ඇත්තේ ටික කලක් කරබා ගෙන බලා සිටින්නටය.

ක්‍රීඩා ඇමතිවරයා වැඩසටහන වෙනස් කළ යුතුව තිබුණේ ක්‍රිකට් ලෙස නොව සමස්ත ක්‍රීඩාව ලෙසය. ක්‍රීඩා ඇමතිවරුන් යනු මෑත කාලයේ ක්‍රිකට් ඇමතිවරුය. දයාසිරි ඇමතිවරයාත් එයින් වෙනස් වී නැත. ක්‍රිකට් පරිහානියට විසඳුම් සෙවිය යුතුය. එය එකම රාජකාරිය කර නොගත යුතුය. එයට ඇමතිවරයා බල කළ යුත්තේ එම සංගමයටය. අද සංගමය පැත්තකය. සංගමය බේරා ගන්නට ඇමති මරාගෙන මැරෙන ප්‍රතිපත්තියකය. තිලංග නොවී එතැන වෙන කෙනකු සිටියේ නම් වෙන සංගමයක් නම් අමැතිවරයා මෙතරම් බිලි බෝයි වනු ඇත්ද? ඒ ප්‍රශ්නද ඉතිරි වී ඇත.
අද මලල ක්‍රීඩාවේ නියැලෙන අයට නිසි පුහුණුවක් ලබන්නට ජාත්‍යන්තර තලයේ ක්‍රීඩාංගණයක් නැත. එහි නැවත වැඩ පටන්ගෙන ඇත. ඒ මෑතකදීය. එතරම් බරපතළ කාරණයක් දෙස ඇමති අද ක්‍රිකට් දෙස බලන ඕනෑකමින් බැලුවේ නම් මෙලහකට බොහෝ දෑ විසඳී ය. ක්‍රීඩා ඇමතිවරයා තිලංග හමුවේ අසරණ වී ඇති බව ඕනෑම පොඩි එකකුට පෙනෙන දෙයකි.

ක්‍රීඩා ඇමතිවරයා ක්‍රිකට් ඇමති නොවී ක්‍රීඩා ඇමති වෙන්නැයි ඉල්ලමු. සමස්ත ක්‍රීඩාවම වළපල්ලට යද්දී ක්‍රීඩා ඇමතිවරයා ක්‍රිකට්වලම එල්ලී සිටී. අද ක්‍රිකට් සභාපති තිලංගද? දයාසිරිද? යන පැනය මතුවේ. ඒ තරමට දයාසිරි ක්‍රිකට් බදාගෙනය. තිලංග කිව යුතු සියල්ල කියනුයේ ඇමතිය. ඇමති ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය නිලධාරියාද නොදැන වුව ඔහු ඒ තැනට තිලංග දමා ඇත. ඒ නිසාම අද ක්‍රීඩාවම තුට්ටු දෙකට වැටී ඇත. එක ක්‍රීඩාවක සංවර්ධනයක් දැකිය නොහැකිය. ක්‍රිකට් තරග කිහිපයක පරාජයෙන් වල්මත් වී ඇති බලධාරිහු සමස්ත ක්‍රීඩාවම විනාශ වී ඇතිමුත් ඒ ගැන උනන්දු නොවෙති. උනන්දු වන්නට ඒ ගැන දැනුවත් විය යුතු මුත් දැනුවත් වනුද නොපෙනේ. ඇමති ඒ පිළිබඳ දැනුවත් වනුයේ කවදාද?■