රාවය

දුවගේ පස්සනේ දිවූ කුලේ

දුවගේ පස්සනේ දිවූ කුලේ

ජගත් ප්‍රේමචන්ද්‍ර

අවුරුදු 47ක් වන එස්.එම්. කුලරත්න දරුවන් අට දෙනෙකුගෙන් යුත් පවුලේ හත්වැනියා. අඩුපාඩු කොතරම් තිබුණත් කුලරත්නලාට වැටිලා ඉන්න තැනක් තිබුණා. ඒ පිය උරුමයෙන් ලැබුණ ඉඩම සහ ගෙය. ලිපිනය වුණේ පුහුල්හේන, කුමාරකට්ටුව. හලාවත-වෙන්නප්පුවට කිට්ටුව.
මේ බරසාර පවුලේ කවුරුත් ඉගෙනීම් කටයුතු කළේ යලට මහට. ඒ පවුලේ ආදායම අනුව. කුස්සියේ අඩුපාඩු පිරිමහන්න අවශ්‍ය වෙද්දි එක එක්කෙනා ඉගෙනීම් කටයුතුවලින් ඉවත් වෙලා කැත්ත උදැල්ල අතට ගත්තා. දෙමටපිටියේ පිහිටි කුඩා පාසලකට ගිය කුලරත්නත් හයේ පන්තියෙන් පස්සේ ඒ දේ ම කළා.

මේ ආකාරයෙන් කාලය ගතකළ කුලරත්නත් පවුලක් පංසලක් වුණා. දැන් කුලරත්න දරුවන් දෙදෙනෙක්ගේ තාත්තා කෙනෙක්. වැඩිමලා දුව, දෙවැන්නා පුතා. මේ වෙද්දි කැත්ත උදැල්ල පසෙකින් තැබූ කුලරත්න ඉතා තියුණු වක් පිහියකින් සමන්විත දිගු උණ ලීයකට තම ජීවිතයේ බර පටවා තිබුණා. රැකියාවට නම් දී තිබුණේ කෙක්කෙන් පොල් කැඩීම.

කුලරත්නලා පොල් කඩන්නේ කණ්ඩායමක් ලෙසින්. මේ කණ්ඩායමට 5 දෙනෙක් ඉන්නවා. අක්කර ගණනට තමයි කුලිය නියම වෙන්නේ. එක් කෙනෙක්ගේ දවසක ආදායම රුපියල් 1500ක් 2000ක් විතර වෙනවලු. නිවැසියන් සිවු දෙනා සේ ම කුලරත්නගේ ආබාධිත අක්කාත් ඉන්නේ කුලරත්නලා සමඟ. පවුලේ අඩුපාඩු පිරිමසා ගන්න බිරිඳ සේ ම බැරි බැරි ගාතෙන් හරි අක්කාත් හරි හරියට උදව් කළා. ඔවුන් බොහෝ විට කළේ කඩයප්පන් සෑදීමයි.

ජීවිතය මේ විදිහට සරිවෙද්දි කුලරත්නගේ වැඩිමලී කාවින්ද්‍යා නෙත්මිණි, ක්‍රීඩාවට දක්ෂතා දක්වනවා. මුලින් ම පොල් රුප්පා අතර දුව ගිය කාවින්ද්‍යා දෙමටපිටියේ කා අතරත් ප්‍රසිද්ධ වෙන්නෙ දුවන්නට හපන්නියක් ලෙසින්. කාවින්ද්‍යාගේ මේ දිවීම කෙසේ ද කියනවා නම් දෙමපිටියේ පාසලෙන් ඇයට හලාවත කන්‍යාරාමයේ ඉගෙන ගන්නට යෑමට අවස්ථාවක් උදාවෙනවා. කාවින්ද්‍යා මේ වනවිට මීටර් 800, 1500 සහ අර්ධ මැරතන් තරග සඳහා සමස්ත ලංකා තරග සහභාගීත්වයට සුදුසුකම් ලබා තිබෙනවා.

කාවින්ද්‍යාගේ මේ පාසල් වෙනස් වීමේ අවස්ථාව කුලරත්නගේ ජීවිතයේත් විශාල පරිවර්තනයකට ලක් වෙනවා. දැන් ලොකු දුව හලාවතට පාසල් යනවා. දිවීමෙන් ම දිනාගත් පාසල නිසා ඇයට දෙමටපිටියේ දී ට වඩා ක්‍රමවත්ව හලාවත දී දිවීම ආරම්භ කරන්න වෙනවා.

කාවින්ද්‍යාගේ මේ දිවීම හලාවත දී සේ ම දෙමටපිටියේදීත් සිදු වෙනවා. හලාවතට නොයන දවස්වල ඇය පොල් රුප්පාවලට ගොම්මන් අඳුර එනතුරුම පුහුණුවීම් කරනවා. තට්ට තනියම. මේක කාවින්ද්‍යාගේ අම්මාට, කුලරත්නගේ බිරිඳට හිසරදයක් වෙනවා. ගෑනු ළමයෙක් අඳුර වැටෙන තුරු පොල් රූප්පාවල කරක් ගහනවාද? ඒ හිසරදය චෝදනාවක් සේ තැබෙන්නේ කුලරත්නගේ හිස මත.
ඒකෙන් බේරෙන්න, ගොම්මන් යාමය පොල් රුප්පාවලට එබිකම් කරන කොට ම කාවින්ද්‍යාගේ තනියට කුලරත්න ඇය පුහුණු කිරීම් කරන තැන්වලට යනවා. දින දෙක තුනක් මේ ක්‍රමේ කරද්දි කුලරත්නට එපා වෙනවා. ඒත් ගෙදරින් තමා හිස මත තැබෙන හිසරදයට වඩා මේ රස්තියාදු ගැසීම හොඳ බවකුයි කුලරත්නට දැනෙන්නේ.

රස්තියාදු ගැසීම දුවත් සමඟ දිවීම දක්වා වෙනස් වෙනවා. මේ සෙල්ලම ඇතැමුන්ගේ හිනාවටත් ලක් වුණා. ඒත් දුවගේ ආරක්ෂාව ගැන හිතද්දි කුලරත්නට ඒ දේවල් එතරම් ගණනක් වුණේ නැහැ. අනිත් එක ඒ දිවීම කුලරත්නට අමුතු දෙයක් වුණේ නැහැ. මොකද කුලරත්න ගම හරහා දිවීම් තරගවලට ඊට පෙර සහභාගී වී සිටි නිසා.

‘මගේ ක්‍රීඩා දිවියේ පුහුණුකාරිනිය වන්නේ මගේ දුව. දුව හලාවතින් ඇවිත් හවස් යාමයේ පුහුණුවීම් වුණේ තනියම නිසායි මම එතැන හිටියෙ. පස්සෙ මමත් ඇයත් සමග පුහුණු කිරීම් කරන්න හුරු වුණා. මේ දවස්වල ගමේ සහ ඒ කිට්ටුව ගම්වල අවුරුදු උත්සවවල ගම හරහා දිවීමේ තරගවලට සහභාගී වුණා. ඒවලටත් සහභාගී වුණේ දුව දුවපු නිසා. ඒවායින් ජයග්‍රහණය කරලාත් තියෙනවා…’
අපේ කතානායක එස්.එම්. කුලරත්නගේ කතාව ආරම්භ වෙන්නේ එතැනින්. තම දියණියගෙන් ගුරු හුරුකම් ලැබූ කුලරත්න මේ මස 20 වැනිදා චීනයේ දී ආරම්භ වන ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගාවලිය සඳහා සුදුසුකම් ලැබ සහභාගී වීමට නියමිතයි. ඒ සඳහා මේ වන විට පොල් කඩන කෙක්ක පසෙක තබා පුහුණුවීම් ලබන බවකුයි ඔහු පවසන්නේ.

කුලරත්න හා හා පුරා කියා සමස්ත ලංකා තරගයකට සහභාගී වන්නේ 2016 වසරේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැති ජාතික ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගාවලියට. එහිදී මීටර් 800, 1500 සහ 5000 ඉසව්වලින් රිදී පදක්කම් දිනා ගැනීමටත් උස පැනීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමටත් කුලරත්න සමත් වෙනවා.

‘මට මේ තරගාවලියට සහභාගී වෙන්න අවස්ථාව උදාකරලා දෙන්නේ පොල් කඩන්න ගිහිල්ලා හිතවත් වූ දිනේෂ් කුමාර මහත්තයා. ඔහු මමත් දුවත් පුහුණුවෙනවා දැකලා තමයි මට මේ යෝජනාව කරන්නේ. ගමේ අවුරුදු උත්සවවල දුවලා තිබුණාට ඔය පිට්ටනිවල ජැන්ඩියට ඇඳගෙන දුවන්න මුලින් ම මගේ එතරම් කැමැත්තක් තිබුණෙ නැහැ. සපත්තු දෙකක්, දුවන්න සුදුසු ඇඳුමක් පවා තිබුණෙ නැහැ. මේ නිසා මම වැඬේ අතඅරින තැන හිටියේ. ඒත් දිනේෂ් මහත්තයා දිගින් දිගට ම මට ඇවිටිලි කළා, දුවත් කිව්වෙ දුවන්න ම කියලා. අවසානයේ මම දිව්වා.’ තමන්ගේ ප්‍රථම තරගය සම්බන්ධයෙන් කුලරත්න පැවැසුවේ එවැන්නක්.

මෙම ජයග්‍රහණයත් සමග කුලරත්නට සිංගප්පූරුවේ පැවැත්වෙන ප්‍රවීණයන්ගේ තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව උදා වෙනවා. ඒත් ඊට සහභාගී වීමට අවශ්‍ය කිසිවක් ම කුලරත්නට තිබුණේ නැහැ. අඩුම තරමින් දාගෙන යන්න හෝ තරගවලට සහභාගී වෙන්න අවශ්‍ය සපත්තු දෙකක්වත් නැහැ. කුලරත්න මේ අඩුපාඩු මහා හිසරදයක්. ඒත් තමන්ට ලැබුණ අවස්ථාව මග හැර ගන්නත් බැහැ. මේ ගැන අඞ්ඩඞ්ඩාවට හිතමින් සිටි කුලරත්නගේ ශක්තිමක් කරමින් ඊටත් තල්ලු කරන්නේ දුව.

‘මමත් දුවත් ඒ අවුරුද්දේ ඒ කිට්ටුව ගම්වල තිබුණ අවුරුදු උත්සව සෑම එකකට ම සහභාගී වුණා. අපි ඒ තරගවලින් ෆෑන් 7ක්, රයිස් කුකර්, ගෑස් කුකර්, පිඟන් සෙට් වගේ දේවල් දිනුවා. ඒ අතුරින් ගෙදරට අවශ්‍ය යම් යම් දේවල් තියාගෙන ෆෑන් 5ක් සහ අනෙකුත් දේවල් විකුණලා තමයි දුවන්න සුදුසුයි කියන සපත්තු ගත්තේ. ඒ වගේ ම දුවන්න සුදුසු ඇඳුම් දෙක තුනකුත් ගත්තා. ගමනට සු`ඵ මුදලකුත් ඉතිරි කර ගත්තා.’

ඒත් ඒ මුදල ගමනට මදි. ඊට පසුව කුලරත්න මුහුණ දෙන්නේ ගමනට අවශ්‍ය මුදල් සොයා ගන්නේ කොහොමද කියන ප්‍රශ්නයටයි. ඒක තරගාවලියට සහභාගී වනවාට වඩා අපහසු වූ බවකුයි කුලරත්න පැවැසුවේ. කෙසේ හෝ හිතවතුන් සේ ම හිතවතුන්ගේ හිතවතුන්ගේ ද උදව් උපකාරයෙන් කුලරත්න සිංගප්පූර් ගමනට සහභාගී වෙනවා. එහිදී කුලරත්න සහභාගී වූ මීටර් 800 සහ මීටර් 1500 ඉසව්වලින් 5 වැනි ස්ථානයන් ද මීටර් 5000 ඉසව්වෙන් 8 වැනි ස්ථානය ද දිනා ගන්නවා.

සංචාරයෙන් පසුව කුලරත්නට ප්‍රදේශයේ යම් පිළිගැනීමක් ලැබෙනවා. පුහුණුවීම්වල දී අර පෙර කී හිනා වුණ අයත් කුලරත්න සමග හදවතින් ම හිනාවෙනවා. කුලරත්න නැවත කලින් වගේ ම රස්සාවත් කරගෙන පුහුණුවීම් ද පු`ඵ පු`ඵවන් විදිහට කරගෙන යනවා.
ඊට පස්සෙ නැවත කුලරත්නට බෘනායි සංචාරයක් හිමි වෙනවා. එහිදී ඔහු රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගන්නවා. ඒ මීටර් 5000 සහ මීටර් 400 සහාය දිවීමේ ඉසව්වලින් දෙවැනි ස්ථානයන් ද මීටර් 800 සහ මීටර් 1500 ඉසව්වලින් තෙවැනි ස්ථානයන් ද දිනා ගනිමින්. කුලරත්න ශ්‍රී ලංකාව දිනවන පදක්කම්ලාභියෙක් වෙන්නේ එම සංචාරයෙන් අනතුරුවයි.

‘කිසිම තාක්ෂණයක් නොදැන දුවන්න ගත්ත මම මේ තැනට ගෙනාවේ මගේ දුව. ඇයගේ ගුරු හුරුකම් මගේ මේ දක්ෂතා මතු වෙන්න හේතුවෙක් වෙන්න ඇති. මෑත කාලීනව දුවගේ පුහුණුකරු සංජය මහතා මටත් යම් යම් දේවල් කියලා දෙනවා. ඒ අනුව උදේ හවස පුහුණුවීම් කරනවා. ඒ වගේ ම අඩු පාඩුවක් නොවෙන්න රස්සාවත් කරනවා.’
දැන් කුලරත්නගේ ඉලක්කය එළැඹෙන චීන සංචාරය. එහි දී මෙතෙක් තමා දිනූ රිදී පදක්කම් රනින් බබලවන්න.
අවශ්‍ය වන්නේ කුලරත්නගේ මේ දිවිල්ලට අත්වැලක්.■