රාවය

මතක සූරාවලියක එතුණු කච්චතිව්

මතක සූරාවලියක එතුණු කච්චතිව්

කේ. සංජීව ඡායා : රුවන් මීගම්මන

සඳ බලන වෙලාවට ඒ 32 පාරෙන් කොළඹ එන්න ඩිමෝ බට්ටෙක්ගේ පිටේ නැග්ග අතීතයකට පස්සේ මම ආයෙත් යාල්පානම් ගියා. කළපු සර සරයට කන්දෙන්නේ නැතුවම දියවර දෙකට බෙදලා උතුරේ ඉඳලා දකුණට පාරක් එළලා. ඒ මදිවාට අද නම් පැත්තකින් අහසේ හඳ පලුවකුත් එල්ලලා. ඒ හඳම කළපුවටත් බැහැලා. මේකුළු උනත් කැටි ගැහිලා සුදට සුදේ කළුවට කළුවේ බලං ඉන්නවා, යකඩෝ මුන්ට නම් පිස්සු කියලා. අපි කුරිකඞ්ඩුවාන් ඉඳලා කොළඹ එනවා. පස්ස රත්වෙනවා. ඇටකටු කෑලි බෑලි එහෙට්ට මෙහෙට්ට ගාටනවා. ඒ අතීතය… වර්තමානයේ යාල්පානම් ගියේ වෙන වැඩකට. හැබැයි මෙදාත් යාල්පානම් පුන්කුඩතිව් ඉසව් පසුකර කුරිකඞ්ඩුවාන්වලටම ගියා. බූසියට කොණ්ඩ ගස් ඔළුව උඩ තියාගෙන හී ගස් වගේ අහස අල්ලන්න උස ගිය තල් ගස් මහත්තුරු හැම තැනම රා බෙදනවා. කුරිකඞ්ඩුවාන් ළඟ වාඩියක තල් රා උගුරක මම නතර වෙනවා. කනමුහුද ළඟම. ගොළුමුහුද ඈතින්. ඊළඟට එක එක දූපත්. හැබැයි මගේ ඇස් ඉස්සරහා මම කැමතිම දූපත් එකක්වත් නැහැ. ඩෙල්ෆ්ට් කෝ? කච්චතිව් කෝ? මම අහනවා. පෙරකඩ නැත්තං ඉර මුහුදේ හැංගුණාට පස්සේ. නැත්තන් දම්පාට කොළපාට, රතුපාට, නෙක පාට තවරගෙන හඳ බලන්න අහස සැරසෙන වෙලාවේ, තල් රා උගුර සීතල කරන වෙලාවේ, මගේ මතකය යන්නේ කච්චතිව් දූපතට.
මාර්තු මාසේ දවසක්. මාර්තු 12 තමයි මට මතක විදිහට කච්චතිව් සාන්ත අන්තෝනි පල්ලියේ වාර්ෂික මංගල්‍යය තිබුණු දවස. ඊට කලින් දවස තමයි අපි කච්චතිව් යන්න කුරිකඞ්ඩුවාන්වලට ගොඩබැස්ස දවස. නාවික හමුදාව ඩෝන්ගාලා අපිව කච්චතිව් ගිහිං බැස්සුවා. සාන්ත අන්තෝනි මුනිඳු වෙනුවෙන් ඉදිවුණ පල්ලිය, සුරුවම, මුහුද. ඊළඟට එතැන අපි. මාරියාවත් පුලුක්කනට හැරිලා. මුළු දූපතම කාන්තාරකරණය වෙන මොහොතක් ඒක. කටු පඳුරු කඩොල් නෙක ගස් වැල් වැල්ලෙන් නැගෙන ටෝනේඩෝ වැලිවලා, පොදි පොදි මිනිස්සු ගෑනු ළමයි බමයි, හිස බමන මතින් මත්වෙනවා. ඉඳගන්න සීතල වතුර වීදුරුවකට මුව විවර කරන්න අපි සරනවා. බෝට්ටු එනවා එනවා. මිනිස්සු පිරෙනවා පිරෙනවා. අපි සෙවණක් හොයනවා හොයනවා. මිනිස්සු ටෙන්ට් පුරුද්දනවා. වැල්ල හාරනවා. පුංචි බූටෑව වළලු අත් මතින් පෙහෙළි වෙනවා. අපි දැන් මෙහා කොණේ. අපොයි දෙයියනේ මුළු ඇඟම කරවෙනවා. හැබැයි සාන්ත අන්තෝනි මුනිඳුන් වෙනුවෙන් ආපු අයට නම් කිසි කමක්කාරියක් නැහැ. මේ දූව… එතැන තමයි ස්වර්ගය. මට හිතෙනවා. දැන් අහස කළු සළුව අපිට උඩින් එල්ලලා. හැබැයි වටෙන් පිටෙන් එල්ලෙන විදුලි බුබුළු මුළු දූවම කානිවල් එකක් කරලා. දැන් යකඩ කටිං නික්මෙන දමිළ බසින් ගැයෙන ගීත ගීතිකා කරිජ්ජ සුවඳත් එක්ක මුසුවෙලා.

කැස්බෑවාගේ දූපත
කච්ච කියලා දෙමළෙන් කියන්නේ කැස්බෑවාට. සමහරු කියනවා මේ වචනයේ මුල තියෙන්නේ පාලි භාෂාවේ කියලා. ඒ කච්ඡලෑ කියන වචනේ. එකේ තේරුමත් කැස්බෑවා තමයි. එතකොට මේ දූපත කැස්බෑවාගේ දූපත වෙන්න ඕනෑ. මේ අවට තියෙන්නේ සේතු සමුද්‍රම්. මුහුදු ජීවින්ගෙන් කාලයක් හොඳටම පොහොසත් වෙලා හිටිය මුහුදක් මේක. හැබැයි අපේ ධීවරයෝ කියන්නේ දැන් මේක මළ මුහුදක් කියලා. ඒ ඉන්දියන් ට්‍රෝලින් හින්දා. ට්‍රෝලින් කියන්නේ මුහුදේ තියෙන හැම බඩකඩුත්තුවම ගොඩට පොම්ප කරන්න හදාගත්ත විනාශයක්.

හරි ආයෙත් කච්චෙට යමු. දැන් අපි මේ දූපතේ ඉතිහාසය හොයනවා. මේක අයිති ලොකු අයියාටද නැත්තං චූටි නංගියාටද කියලා අයියායි නංගියි අස්සේ ලොකු රණ්ඩුවක් තියෙනවා කාලෙක ඉඳලා. මේ රණ්ඩුව අස්සේ ලොකු අයියා කියනවා මේ දූපත ඉස්සර අයිති වෙලා තිබුණේ රාමනාදපුරම් රාජ්‍යයට කියලා. එතකොට ඒකට උත්තර දෙන නගා කියන්නේ 1766 අවුරුද්දේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ලන්දේසින් එක්ක ගහපු ගිවිසුමේ යාපා පටුනයි ආසන්න රටවල් සමූහයයි ලන්දේසීන්ට පාවා දෙනවා කියලා කියනකොට ඒක අස්සේ මේ දූපතත් තිබුණා කියලා. වර්ෂ 1857 ජෝන් ඇරෝස්මිත් කියන සුද්දා අඳින ලංකාවේ සිතියමෙත් මේ දූපත ලකුණු කරලා තිබෙන නිසා මේක තමන්ට අයිතියි කියලා. කොහොම හරි බ්‍රෝහියර්ගේ පොත් අස්සේ ඉන්න සිතියම් අස්සෙත් කච්චතිව් තියෙන්නේ ලංකාවේ. යාල්පානම් පැරණි පරිපාලන වාර්තා වුණත් කියන්නේ මේ කතාවම තමයි. හැබැයි මට නම් හිතෙන්නේ කච්චතිව් ඉතිහාසය ලියවෙන්නේ ඉන්දියාවේ ලංකාවේ සංක්‍රමණික ධීවරයන්ගේ පෑනෙන්. ඒකයි ඇත්ත. මුහුදු යනකොට කුණාටු එනකොට වෙහෙසට හැම දේකටම මේ මිනිස්සු සහෝදරයෝ වගේ මේ දූපතේ විඩක් නතරවුණා. අයියායි නංගියි සුද්දාගේ මාංචුවෙන් ගැලවුණාට පස්සේ තමයි මෙහෙම මේ දූවට රණ්ඩුව පටන් ගත්තේ. කොහොම හරි 1974 සිරිමා ඉන්දිරා ගිවිසුමෙන් කච්චතිව් නිල විදියටම අයියාගෙන් නංගිට ලැබෙනවා. හැබැයි ඉතිං රණ්ඩුව තවමත් එහෙමමයි. ඒක ඉතිං අයියාගෙයි නංගිගෙයි ඉතිහාසය වගේම තමයි.
අපේ කතාව කැස්බෑවාගේ පිටේ නැගලා මහ මුහුදටම ගියා. දැන් මේ විදියට මගේ මතක වෙරළේ මතක රැලි නැගෙන්නේ මේ දූපතේ තිබෙන කතෝලික දේවස්ථානය, සාන්ත අන්තෝනි පල්ලිය හින්දා.

පල්ලියක අතීතය
සාන්ත අන්තෝනි මුනිවරයා කියන්නේ මුන්නක්කරේ හැමෝම ළඟ ඉන්න දෙවියා. හරියට සපරගමුවට සුමන වගේ. මෙයා ළඟට ඇවිත් දුක කිව්වාම සුටුස් ගාලා දුකට පිහිට වෙනවා. ඒක තමයි මේ මිනිස්සුන්ගේ විශ්වාසය. අපි මොනවා කිව්වත් මනුස්සයාගේ හිත අස්සෙන් මේ මිථ්‍යාව උදුරලා විසිකරන්න බැහැ. අපි හැමෝම චුට්ටකට හරි මොහොතකට හරි මේ මිථ්‍යාවට ඉඩ දීලා බලාගෙන ඉන්න කැමතියි. එක පැත්තකින් මනුෂ්‍ය වර්ගයාගේ ඉතිහාසය කියන්නේම නොපෙනෙන බලවේගවලට කන්දීපු ඉතිහාසයකට.

“මම මුලින්ම මෙතැනට ආවේ දැනට අවුරුදු 40කට කලින්. ඒ කාලේ මම මේ පල්ලියට දෙවතාවක් ආවා. මේ මගේ මගේ 4වැනි ගමන. ඉස්සර මෙච්චර දියුණු නැහැ. ජැටියක්වත් නැහැ. වතුරේ බැහැලා තමයි පය ගැහැව්වේ. දැන් සේරම දියුණුයි. පල්ලියත් අලුතින් හැදුවා. මීට අවුරුදු 40කට කලින් මෙතැන බිස්නස් කළේ ඉන්දියාවේ අය. මුදල් පරිහරණයක් තිබුණේ නැහැ. එයාලා ගෙනාපු බඩුවලට අපේ බඩු හුවමාරු කරගත්තා. එතකොට මේ මංගල්‍යය කියන්නේ මේ රටවල් දෙකේ නිෂ්පාදන හුවමාරු වන පොළක්. අද ඒ තත්ත්වය දකින්න අමාරුයි. අනික වතුකරේ දෙමළ මිනිස්සු එයාලාගේ ඉන්දියාවේ ඉන්න නෑදෑයෝ අවුරුද්දකට සැරයක් මෙතැනදී මුණගැහුණා.ට් කොච්චිකඬේ චන්ද්‍රනාත් ජෙගන් මහත්තයා මේ කියන ඉතිහාසය දැන් ඉතිහාසයම විතරයි.
මේ පල්ලියේ ඉතිහාසය ගැන කතා කළොත්, 1900 මුල මුලින්ම මෙතැන සුරුවමක් තියලා තියෙන්නේ ඉන්දියාවේ ධීවරයෝ. ඒ පන්න කරලා විඩාවට මෙතැනට ආවාට පස්සේ. ඊළඟට මසුන් බෝට්ටුවට ගෙනත් දෙන්න කියලා, කුණාටුව මගහැරලා දෙන්න කියලා සාන්ත අන්තෝනිට යාතිකා කළා. කොහොමත් මේ පල්ලි ඉතිහාසය අස්සේ 1974ට කලින් මේ දූපතේ කෙරුම්කාරයෝ ඉන්දියාවේ රාමේෂ්වරම් කතෝලික ධීවරයෝ.. අද නම් ඒක ලංකාවේ නාවික හමුදාව අතේ තමයි තියෙන්නේ. 1974 මුල් එකඟතාවට පස්සේ සාමාන්‍යයෙන් මේ දූපත දෙරටේම සහෝදර ධීවරයන්ට නිදහස් භූමියක් වුණා. හැබැයි අද මෙබිම මේ විදිහට නිදහස් වෙන්නේ සාන්ත අන්තෝනි මංගල්‍යයට විතරයි. මේ මංගල්‍යයට ගොඩක් එන්නේ දකුණු ඉන්දියාවේ දමිළ ධීවරයෝ..
ඉතිං මේ ධීවර සමඟිය මේ මඟුල අස්සේ මුහුද වගේ කෑගහන්නේ කොහොමද කියලා බලන්න තමයි අපි එදා කච්චතිව් ගියේ. හැබැයි වැඩක් වුණේ නැහැ. ඉන්දීය ධීවරයෝ 2017 මංගල්‍යයට ආවේ නැහැ. ඔවුන් මෙදා පාර මේ මඟුල වර්ජනය කළා. ඒ මොකද කියලා බලනකොට තමයි දැනගන්න හම්බවුණේ, ලංකාවේ නාවික හමුදාව වෙඩි තියලා ඉන්දීය ධීවරයෙක් මැරුණා., ඒකට විරුද්ධව තමයි මේ වර්ජනය කියලා… ඉතිං සුන්දර මිනිස් ප්‍රාණින් ටිකක් සුන්දර කොදෙව්වක මුණගැහෙන්න තිබුණු අවස්ථාව මුහුදට සේදිලා ගියා.

රාණි සබන් හුටපටය
“මගෙන් අහන්න, මගෙන් අහන්න, මම හොඳට කියලා දෙන්නම්.. මේ ලොක්කෝ කියන එවුන් අපිට එන්න කලින් කිව්වා නම් ඉන්දියන් මිනිස්සු මෙදාපාර එන්නේ නැහැ කියලා, අපි මේ බඩුත් අරගෙන බිස්නස් එන්නේ නැහැ. මම නුවර ඉඳලා ආවේ. ලක්ෂ දෙක රාණි සඳුන් සබන් අරගෙන ආවා. බෝට්ටුවට විසිදාහක්. මගෙන් මේ සේරම අතින් කයිට් මේ පාර.”

මංගල්‍ය කඩපොළ.. දුවිලි වලාකුළු.. තවමත් රංචු රංචු මුහුදෙන් ගොඩවෙන මිනිස්සු. මුලින් ලියපු කතාව නුවර මුස්ලිම් ව්‍යාපාරික තරුණයෙකුගේ. මොකද්ද මේ රාණි සඳුන් සබන් කතාව. අපි සොයාගෙන ගියා. විදුලි බුබුළු එළියට දිලෙන ඇස් පසාරු කරන දූවිලි කැට. මුහුදට දිග පේළි කඩ අට්ටාල. පනහට බෙදන සරුවත් බොන්නට පොරකන මහ සෙනඟ. මේ අස්සෙන් අස්සෙන් අපි පීරුවා. රාණි සඳුන් සබන් කැට ගොඩගහපු කඩ, බූන්දි කඩ, චීන ටොයිස් බඩු කඩ අස්සෙන් අපි රාණි ගැන කතාකරන්න රත්නපුරේ කමර්දීන් හොයාගත්තා.

“මම මේ රත්නපුරේ ඉඳලා කච්චතිව් බිස්නස් ආපු 6 වැනි අවුරුද්ද. 2016 ඉන්දියන් අය 6000ක් ආවා. 2015දී 4500ක් ආවා. ඉන්දියන් අය ආවාම වැඩිපුර ගෙනියන්නේ රාණි සඳුන් සබන්. ඊළඟට සිද්ධාලේප. ඊළඟට චයිනීස් ටොයිස් බඩු. මට හින්දි පුළුවන්. ඒ නිසා මම දන්නවා මට මේ දූපතේදී කොල්කටාවේ මිනිස්සු, බොම්බේ මිනිස්සු, කේරලේ මිනිස්සු හමුවෙලා තියෙනවා. රමේෂ්වරන්වල අයට අමතරවට්.

මෙදාපාර මේ කිසි කෙනෙක් නැහැ. බිස්නස් ආපු ව්‍යාපාරිකයෝ දිහා සාන්ත අන්තෝනි මුනිඳුවත් බැලුවාද සැකයි. කොහොම හරි වාර්ෂික මංගල්‍යය ජයටම. හැබැයි හරි පාලුවට, මැදියමත් පැනලා හිමිදිරි පහන් තරුව මුහුණ බලනකම් තිබුණා මතකයි. සුමියුරු ගීතිකා සංගීතය වෙරළේ හැපෙන පෙරළෙන රල සංගීතයත් එක්ක මුහුවෙලා ඔපෙරාවක් වගේ තවමත් මට ඇහෙනවා. කච්චතිව් කිව්වාම මට තවමත් මතක් වෙන්නේ සාන්තිය සුවය පතාගෙන ආපු භක්තියෙන් තෙමුණු මුහුණු… මම මෙදාපාර කුරිකඞ්ඩුවාන් ගියාම හිතුවේ ඉන්දියන් සහෝදරත්වය අත්විඳින්න ලබන අවුරුද්දෙත් එනවා කියලා. ඉතිං මම මෙදාපාර කච්චතිව් ගියේ නැහැ, හැබැයි මතකයෙන් කච්චතිව් වින්දා. දැන් තල් රා සුවය ඇඟට දැනෙන වෙලාව. මුහුද නිහඬයි. තැනක දෙතැනක කණමැදිරි එළි මිනි විතරයි. හරියට ඇස් දහසකින් කච්චතිව් අපි දිහා බලං ඉන්නවා වගෙයි….■