රාවය

ගැහැනු කවුරුද සටන් නොකරන

ගැහැනු කවුරුද සටන් නොකරන

රේඛා නිලුක්ෂි හේරත්

ඇය ලියකියවිලි තොගයක් රැගෙන කිහිප වතාවක්ම කාර්යාලයට පැමිණියාය. ඇගේ කතාව කීවාය. මම ඉන්පසුව ඇය වතාවක් හමුවුණෙමි. තම කතාව නම් ගම් සහිතව ලීවොත් ඇයට යුක්තිය ඉටු කරවාගත හැකිවනු ඇතැයි ඇය විශ්වාස කළාය. එහෙත් එයින් ඇගේ තත්ත්වය දරුණු වීමක් මිස යහපතක් නොවෙනු ඇතැයි කිහිප වතාවක්ම කියන්නට උත්සාහ කළෙමි. එහෙත් ඇය නිතිපතා කතා කරන්නීය.

ඇයට අසාධාරණයක් වී ඇති බව සැබෑය. එහෙත් ඇගේ තොරතුරු රටකට හෙළිදරව් කිරීම ඒ අසාධාරණය දෙගුණ තෙගුණ වීමක් මිස වෙන කිසිවක් වෙන්නේ නැත. අනෙක් අතට මේ වනවිට ඇගේ නඩුව විභාගයට ගනිමින් පවතියි. ඒ නිසා ඇයට වෙන යහපතක් නැත. ඇගේ කතාව පුවත්පතෙහි වාර්තා නොකරන්නට හේතුව එයයි. ඒ වන විට මේ කාරණය අධිකරණයක් ඉදිරියේ නඩු විභාගයකට භාජනය වුණු කාරණයක්ද විය. එසේ ඇගේ කතාව ඇගේ හිස මත පැටවුණු බරක් පමණක් විය. එහෙත් එවැන්නක් වාර්තා නොකර සිටීම අප සිත්වලට මහා බරක් බවට පත්වෙයි.
ඇගේ නම් ගම් නැතිව හෝ ඒ කතාව ලිවිය යුතුයැයි සිතුණේ, ඇය විඳි අත්දැකීම මත, ඇතැම් විට ‘යුක්තිය’ ලිඛිතව තිබුණත් ප්‍රායෝගිකව ළඟාකර ගැනීමට මොනතරම් අපහසුදැයි තේරුම් ගන්නට ඇගේ කතාවෙන් හැකිවනු ඇතැයි සිතුණු නිසාය. මේ නවකතාවලත් එන ජාතියේ තවත් එක් කතාවකි. එහෙත් ඇය අගමැති කාර්යාලය සහ ජනාධිපති කාර්යාලය ඇතුළු හැකි සෑම ආයතනයකටම ලියූ ලිපි මා ඉදිරියේ තබමින් කියන්නේ තමාගේ කතාව තව කතාවක් වෙන්නට ඉඩ නොදී යුක්තිය ඉටු කරන ලෙසයි. යුක්තිය ඉටුවීමෙනුත් ඇති ඵලය කුමක්ද? ඇය තමන්ගේ ජීවිත කාලය තුළ ඉපැයූ දේ මෙන්ම තමාට උරුමයෙන් ලැබුණු දේපළද ලක්ෂ ගණනක් විනාශ කරගෙන, ණයකාරියකද වී ඇතිනම්. නිවසින්ද ඇයව බාර නොගන්නේ නම්. මේ සිදුවීම නිසා මුළු අනාගතයම අඳුරු කරගන්නට සිදුව ඇත්නම්. සැබැවින්ම මේ සියල්ල ඇය ‘දූෂිත’ නිසාය.

ඇගේ කතාව
“මම වැඩ කළේ කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ. පිරිමි ළමයෙක් මගේ පස්සෙන් ඇවිත් මට ආදරෙයි කිව්වා. ඉතින් කාලයක් එයා පස්සෙන් එද්දී මම එයාට කැමති වුණා. නිතර එයාව මුණගැහුණා. එයා මගෙන් රුපියල් තිස්දාහක ණයකුත් ඉල්ලගත්තා. අපි එකිනෙකාට ආදරය කළා. මම එයාව විශ්වාස කළා. එයා දවසක් මාව මුණගැහෙන්න වෑන් එකක ආවා. මට නඟින්න කිව්වා. මාව අරන් එයා පාළු තැනකට ගියා.”

ඇය පවසන්නේ ඔහු ඇයට ලිංගික සම්බන්ධතාවකට කතා කොට ඉඟි කළ බවයි. එහෙත් ඇය එය ප්‍රතික්ෂේප කළ බවයි. ඉන්පසුව ඔහු බලහත්කාරයෙන් ලිංගිකව එක් වූ බවයි. මේ කතාව විශ්වාස කරන්නට අපට ඇති එකම සහතිකය ඇගේ වචනය පමණි. එහෙත් අප මේ ලියන සටහනේ ප්‍රශ්න කරන්නේ ඇය ලිංගික හිංසනයකට ලක් වුණාද නැද්ද කියන එක නොවේ. එය තීරණය කරන්න පුළුවන් වෙන්නේ නීතිය ක්‍රියාත්මක කරවන ආයතන ටික ක්‍රියාත්මක වුණාට පසුවය. ඇය නීතිය ඉදිරියට ගිය පසුව ඇයට මුහුණදෙන්නට සිදුවුණ අත්දැකීම් පෙළයි අකුරු කරන්නට අවශ්‍ය වී තිබුණේ.

“ඒ සිද්ධියෙන් පස්සේ එයා මාව මුණගැහුණේ නෑ. එයා ෆෝන් එක ආන්සර් කළෙත් නෑ. පස්සේ මගේ අංකය එයා වෙන පිරිමි අයට දීලා තිබුණා. කොල්ලෝ සැරෙන් සැරේ ඇවිත් මට අයුතු යෝජනා කරන්න පටන් ගත්තා.”
ගමකින් කොළඹට පැමිණ තනිව සිටින තරුණියකට මුහුණදෙන්නට සිදුවන මෙවන් අත්දැකීම් ජීවිතයක් විනාශ කරවන්නට සමත්ය. තනිව සිටින තරුණියක එයින් වාසි ගැනීමට සූදානම් පිරිමින් තොගයකට විවෘත වූ විට විඳින්නට ලැබෙන අත්දැකීම් ගැන දන්නේ තනිව සිටින තරුණියන්මය. අසභ්‍ය කෙටි පණිවුඩ, දුරකථන ඇමතුම් ඇයට ලැබෙන්නට පටන්ගෙන ඇත. ඇය අමතක කරන්නට සූදානම් අතීතය ගැන නීතිය ඉදිරියට යා යුතුයැයි ඇයට සිතෙන්නට පටන්ගන්නේ ඉන් පසුවය.

“මම එයා ගැන හොයන්න ගත්තා. මගේ යාලුවෙක් කීවා මේ කොල්ලා ආමි එකේ වැඩ කරන්නේ කියලා. එයා මට කියලා තිබුණෙ නෑ එයා ආමි එකේ ඉන්නේ කියලා. මට එයා කියලා තිබුණේ බැඳලා නැහැ, වයස අවුරුදු 34යි කියලා. මම පස්සේ දැනගත්තා එයා බැඳපු කෙනෙක්, වයස අවුරුදු හතළිස් ගාණක් කියලා. මම එයා ඉන්නවා කිව්ව කෑම්ප් එකට ගියා. එයාව හෙව්වා. එතැන හිටපු නිලධාරියෙක් මා එක්ක කතා කළා. මම මට වුණ අසාධාරණය කිව්වා. ඒ නිලධාරියා කිව්වා එක්කෝ අදාළ කෙනා එක්ක කතා කරලා පෞද්ගලිකව ප්‍රශ්නය විසඳාගන්න, නැත්නම් පොලීසි ගිහින් නීතිය හරහා මොනවා හරි කරන්න කියලා.
පස්සේ මම කටුනායක පොලීසියට ගියා.”
පොලිස් නිලධාරීන් ඇයගේ පැමිණිල්ල බාරගෙන ඇය රැවටූ හමුදා නිලධාරියා පොලීසියට එවන ලෙස හමුදා කඳවුරට දන්වා ඇත.

පොලිස් පැමිණිලි
“මම දවස් ගණන් පොලිසියට ගියත් එයා පොලිසියට ආවේ නැහැ. හැමදාම මම රස්තියාදු වුණා විතරයි.”
මේ වෙද්දී ඇය මුහුණදුන් සිදුවීම, ඇය වටා සිටි බොහෝ දෙනෙකුද කාර්යාලයේ සිටි අයද දැනගෙන හමාරය. කාන්තාවක ලිංගික අතවරයකට ලක්වීම හෙවත් සමාජ භාෂාවෙන් කීවොත් දූෂණය වීමක් ඇගේ අනාගතය අඳුරු කරවන සිදුවීමකි. එතැන් පටන් ඇය දෙස බලන ඕනෑම කෙනෙකු ‘දූෂිත’ පුද්ගලයෙකු දෙස බලන බැල්මෙන් ඇය දෙස බලන්නට පටන්ගනියි. ඇයටත් මුහුණදෙන්නට සිදුව ඇත්තේ ඒ අත්දැකීමටයි.
“ටික දවසකට පස්සේ එයා කටුනායක පොලිසියට ආවා. පොලිසිය ඉස්සරහ වරද පිළිගත්තා. එදා ප්‍රශ්න කිරීම්වලින් පස්සේ මට තේරුණු විදියට මම හිතුවා නීතිය ක්‍රියාත්මක වෙයි කියලා. ඒත් මම පස්සේ දැනගත්තේ, මම පැමිණිල්ල ඉවත් කරගත්තා කියලා පොලිසියෙන් පැමිණිල්ල අයින් කරලා කියලා.”
ඇය ඉන්පසුව යන්නේ නුගේගොඩ පොලිස් කාන්තා කාර්යාංශයටයි. ඔහු නුගේගොඩ පොලිස් කාන්තා කාර්යාංශයට පැමිණියේය.

“කාන්තා කාර්යාංශයේ ඉහළ නිලධාරියෙක් මේ පුද්ගලයාට දැඩිව අවවාද කළා. මගෙන් අරගත්ත සල්ලි නැවත ලබාදෙන්න කියලා කීවා. පස්සේ ඔහුගෙන් කාන්තා කාර්යාංශය ලියුමක් ගත්තා, මගෙන් ගත්ත සල්ලි ආපහු දෙනවා කියලා. හැබැයි මට ඕනෑවෙලා තිබුණේ සල්ලි නෙවෙයි. සාධාරණයක්. මට නැවත කිසිම කරදරයක් කරන්නේ නැහැ කියලාත් ලියුමක් ගත්තා. මම එදා හිතාගෙන ආවා මට කිසි ප්‍රශ්නයක් ඇති වෙන එකක් නැහැ කියලා. ඒත් එදා ඉඳන් මට කරදර වැඩිවුණා. මෙයා මගේ පස්සෙන් පැන්නුවා. මගේ පපුවට පිහිතලයක් තියලා තර්ජනය කළා. පස්සේ මට ආරංචිවුණා ගමේ අපේ ගෙදරට පොලිසියෙන් ඇවිල්ලා කියලා. පොලිසියෙන් මගේ විස්තර එහෙම ගෙදර අයගෙන් අහලා. ගෙදරින් බයවෙලා මට කරදරයක් වෙලාද කියලා.”
ඇය නීතිය ඉදිරියට යෑමෙන් පසුවත් අසාධාරණයට ලක්වෙද්දී නැවත නුගේගොඩ පොලිස් කාන්තා කාර්යාංශයට සහ බස්නාහිර පළාතේ ඉහළ පොලිස් නිලධාරියෙකුද මුණගැසෙන්නට ගියාය. ඇගේ පැමිණිල්ලට ඔවුන් ඇහුම්කන් දුන්නත්, සාධාරණය ඉටු කරදෙන බව පොරොන්දු වුණත් වෙනසක් සිදුවී නැත. ඇගේ තත්ත්වය තව තවත් බරපතළ වී ඇත. සේවය කරන ස්ථානයෙන් ඇය ඉවත් කර ඇති අතර පොලිසියෙන් ඇගේ බෝඩිමට නිතර පැමිණීම නිසා එතැනින්ද ඉවත් වෙන්නට සිදුව ඇත.
“මම තේ කොළ පැකට් කරන කර්මාන්ත ශාලාවක දවසේ පඩියට වැඩට ගියා.”
බොහෝ විට සමාජයෙන් කොන්වීමට සිදුවන අයට අවසානයේ තේ කොළ පැකට් කරන කර්මාන්තශාලාවල වැඩට යන්නට සිදුවෙයි. බොහෝවිට සංක්‍රාන්ති ලිංගික කාන්තාවන් මෙන්ම ලිංගික අතවරවලට ලක්වීම වැනි හේතු නිසා සමාජයෙන් කොන්වන තරුණියන්ට රැකියාව කරන්නට සිදුවෙන්නේ මෙවන් තැන්වලය. අපේ කතා නායිකාවත් දැන් තේ කොළ පැකට් කරන කර්මාන්තශාලාවක වැඩ කරන බව ලියා තැබිය යුතුය.

මේ සිදුවීම්වලින් පසුව ඇය පොලිස් ස්ථාන කිහිපයකටම පැමිණිලි කර ඇති අතර ඇතැම් තැන්වලින් ඇය එලවා දමන්නටත් කටයුතු කර ඇත. අන්තිමේදී ඇය මේ පුද්ගලයාට එරෙහිව පෞද්ගලිකවම නඩු පවරන්නට තීරණය කර ඇත. ඇය නඩුවට සූදානම් වී නීතිඥවරයෙකුට ගාස්තුද දුන් පසුව කටුනායක පොලිසියෙන් නඩු පවරන බවට ඇයට දැනුම් දී ඇත. එහෙත් පසුව ඇයට දැනගන්නට ලැබී ඇත්තේ නඩුව පවරා ඇත්තේ ඇයට ලිංගික බලහත්කාරකම් කිරීම ගැන නොව, ව්‍යාජ තොරතුරු පොලිසියට ලබාදෙමින් ව්‍යාජ පුද්ගලයෙකු ලෙස පෙනී සිටීම ගැන බවයි.

අධිකරණය ඉදිරියට
අවසානයේ ඇය සිවිල් ක්‍රියාකාරිකයන් මෙන්ම යුක්තිය ගැන උනන්දුවක් ඇති නීතීඥවරුන් කිහිපදෙනෙකුම හරහා කළ බලපෑම් හමුවේ වසර තුනකට පමණ පසුව ඇගේ නඩුව අධිකරණය ඉදිරියට ගැනීමට හැකිව ඇත. දැන් ඇය අධිකරණය ඉදිරියේ පෙනී සිටියි. එහෙත් බොහෝ ආයතනවලින් ඇය බලාපොරොත්තුව වූ සහයෝගය ලැබෙන්නේ නැත. නඩුව තව බොහෝ කාලයකට ඇදී යනු ඇත. හමුදාවේ යම්කිසි ඉහළ නිලයක්ද දරන විත්තිකාරයාට අධිකරණය වෙනුවෙන් කරන්නට වෙන වියදම් දරාගත හැකිවුණත් ඇය සතු විශාල මුදලක් මේ වෙද්දී අධිකරණය වෙනුවෙන් යට කරන්නට සිදුව ඇත. ඇයට අධිකරණය ගැන දැඩි විශ්වාසයක් තවමත් ඇති බව පෙනෙයි. ප්‍රමාද වී හෝ අධිකරණයෙන් යුත්කිය ඉටුවනු ඇතැයි ඇය විශ්වාස කරන්නීය. ඒ විශ්වාසය වැදගත්ය. අනාගතයේ මෙවන් සිදුවීම් නොවනු පිණිස අධිකරණය ඉදිරියේ තබාගන්නා මේ විශ්වාසය වැදගත් වනු ඇත.

“ඔයා නඩුව දින්නොත් ඒක ලොකු දෙයක්. එතකොට අපි මේක තව ටිකක් ලොකුවට ලියමු. වෙන මාධ්‍යවලටත් කියමු. තව එක සිදුවීමක් හරි නවත්වන්න ඒකෙන් පුළුවන් වෙයිනේ.”
ඇය වෙනුවෙන් මා කළ යෝජනාව එයයි. මේ සටහන ලියැවෙන්නේද ඇයට සිදුවුණායැයි කියන අසාධාරණය ගැන කුමන බාධක තිබුණත් ඇය යුක්තිය වෙනුවෙන් තනිව සටන් කළ නිසාය.
ලංකාවේ සම්ප්‍රදායක් ඇත. ලිංගිකව කුමන හිංසනයට පත්වුණත් කාන්තාවක් නිහඬව සිටිය යුතුය. කාන්තාවක ලිංගික හිංසනයකට ලක්වීම ගැන නඩුවක් අධිකරණය ඉදිරියට ගියත් අධිකරණයේ සාමාන්‍ය ප්‍රශ්න කිරීම්වලින් පසුව ඇයට ලබාදෙන්නට සිදුවන පිළිතුරු නිසා අවසානයේදී විනාශ වෙන්නේ කාන්තාවගේ ජීවිතයමය. ඇය, ‘දූෂණය’ වන්නට තෝරාගත්තාක් මෙනි. ඇයට රෝගයක් මෙන් ‘දූෂිත’ බව වැළඳුණාක් මෙනි. බොහෝවිට තමන්ට සිදුවන මෙවන් සිදුවීම් ගැන නිහඬව ඉන්නට කාන්තාවන් උත්සාහ කරන්නේ ඒ නිසාය.

තමන්ට විඳින්නට සිදුවන ලිංගික හිංසනයකට එරෙහිව සටන්කිරීම නිසා ගෙවන්නට සිදුවන මිල විශාලය. සාමාන්‍යයෙන් තරුණියකට විවාහය සහ ඉන්පසුව ගෙවන්නට බලාපොරොත්තුවෙන සාම්ප්‍රදායික ජීවිතය මෙවන් සිදුවීම් නිසා අහිමිවෙයි. ඇය සමාජය ඉදිරියේ ‘දූෂිත’ නිසා ඇයට කිසිසේත් සාමාන්‍ය ජීවිතයක් උරුම නැත. බොහෝවිට මිතුරියන්ද ඇය වැන්නියන් ආශ්‍රය කරන්නට අකැමති වෙන්නේ ‘දූෂිත’ නාමය තමන්ටත් ගෑවෙන නිසාය. අපේ කතා නායිකාව නිවසෙන්ද ප්‍රතික්ෂේප කර ඇත්තේ ඇය ‘දූෂිත’ නිසාය. අපට නම් ඇය පෙනෙන්නේ දූෂිත තරුණියක ලෙස නොවේ. සැබැවින්ම ඇය ‘දූෂිත’ තරුණියක් නොවේ. ඇය තමන්ට සිදුවන අසාධාරණයන්ට එරෙහිව සටන් කරන වීර කාන්තාවකි.■