රාවය

ගුවන් විදුලිය මගේ ගෙදර වගේ / රංගන ශිල්පිනී ෆර්නි රෝෂිණි

ගුවන් විදුලිය මගේ ගෙදර වගේ / රංගන ශිල්පිනී ෆර්නි රෝෂිණි

ටිරන්කුමාර බංගගම ආරච්චි ඡායා/අසංක රූපංජන

ෆර්නිගේ පුංචි සංදියේ මතකය මතකයට නගමුද?
තාත්තාගේ රස්සාව නිසා පුංචි කාලේ අපිට එක තැන රැඳෙන්න බැරි වුණා. තැනින් තැන තමයි ජීවිතය ගෙවුණේ. තාත්තා අල්ලස් කොමසාරිස් දෙපාර්ත මේන්තුවේ සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්ත මේන්තුවේ වැඩ කළේ. ඉතින් සමහර කාලවල අවුරුද්දෙන් අවුරුද්දට ගෙවල් මාරු කළා.

ගම කොහෙද?
හොරණ. ඒත් පුංචි කාලේ හොරණ ඉන්න බැරි වුණා. තාත්තාගේ රැකියාව මාරුවීම් නිසා කාලයක් පානදුර හිටියා. කාලයක් කොළඹ හිටියා. තව කාලයක් අළුබෝමුල්ලේ හිටියා. කුරුස හන්දියේත් කාලයක් හිටියා. සංක්‍රමණික ජීවිතයක් තිබුණේ. කොළඹ පදිංචියත් එක්ක මුල්ම පාසල වුණේ කොල්ලුපිටියේ ශාන්ත අන්තෝනි විiාලය. ඊට පස්සේ තාත්තා හොරණ ඉඳලා රස්සාවට යන්න ගත්තාට පස්සේ අපේ ස්ථිර පදිංචිය හොරණ වුණා. මම හොරණ තක්ෂිලා මධ්‍ය මහා විiාලයට ගියා. උසස් පෙළට හැදෑරුවේ කලා විෂයයන්.

පුංචි කාලේ ඉඳලා කලාවට සම්බන්ධද?
කලාවට නැඹුරුවක් තිබුණා. ඊට වඩා ක්‍රීඩාවට. නෙට්බෝල් වොලිබෝල් ක්‍රීඩාවලට ලොකු උනන්දුවක් තිබුණා. ඒ අතර සංගීතයට කැමති වුණා. අම්මාගේ ලොකු ආශාවක් තිබුණා මාව සංගීතය පැත්තෙන් ඉදිරියට යවන්න. කොහොම හරි මං සෞන්දර්ය විශ්වවිiාලයට සුදුසුකම් ලැබුවා. ඒත් රැකියාව ලැබුණ හින්දා විශ්වවිiාලය අතඇරලා රස්සාවට ගියා.

මොකක්ද රස්සාව?
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දෙවැනි ශ්‍රේණියේ වැඩසටහන් නිෂ්පාදිකාවක් විදියට තමයි රස්සාව ලැබුණේ.

ඒ ඔබ බලාපොරොත්තු වෙච්ච රස්සාවද?
ඔව්! ගුවන් විදුලියට එන එක තමයි මගේ හීනය වෙලා තිබුණේ. ඒක නිසා තමයි විශ්වවිiාලයට නොගිහින් මේකට ආවේ. ගුවන් විදුලියට ආස වෙන්නේ මම පුංචි කාලේ වැඩි කාලයක් ගත කළේ ගුවන් විදුලියේ හින්දායි. ළමා රංග පිඨයට, රේඩියෝ සඟරාවට, සරස්වතී මණ්ඩපයට, ළමා පිටියට හැම එකටම මම සහභාගි වුණා. කොටින්ම ගුවන් විදුලියේමයි හැදුණේ.

ගුවන්විදුලිය සමඟ බැඳෙන පසුබිම නිර්මාණය වුණේ කොහොමද?
මගේ නැන්දා (තාත්තාගේ නංගී) වැඩ කළේ ගුවන් විදුලි සංස්ථාවේ. එයාගේ නම කුසුම් පෙරේරා. මම කොල්ලුපිටිය ඉස්කෝලේ යනකොට තාත්තා වැඩකළේ අල්ලස් කොමසාරිස් දෙපාර්ත මේන්තුවේ. ඉතින් තාත්තා කරන්නේ ඉස්කෝලේ ඇරුණ ගමන් මාව නැන්දා ළඟට ගෙනත් දාන එක. ඉතින් ආයේ හවස තාත්තා වැඩ ඇරෙනකම් ගුවන් විදුලියේ. ඉතින් ගුවන් විදුලිය මගේ ගෙදර වගේ වුණා.

ගුවන් විදුලියේ පතාක චරිත ඔබ පුංචි කාලෙම දකිනවා.
ඔව්! ප්‍රේමකීර්තී ද අල්විස් මහත්තයාව දකින්න ලැබුණා. ඒ වගේම අශෝක තිලකරත්න, කේ.ඩී.කේ. ධර්මවර්ධන, සුජාතා ගුණවර්ධන, චන්දන තිලකරත්න, මර්සි එදිරිසිංහ, බර්ටි ගුණතිලක, ඇනස්ලි ඩයස්, සැමුවෙල් රුද්‍රිගු වගේ අය නිතර යනවා එනවා.
ඒ කාලේ රසවිඳපු නාට්‍යවලට පසුකාලීනව හඬකැවීමෙන් මටත් දායක වෙන්න පුළුවන් වුණා. ගුවන් විදුලිය කියන්නේ විශ්වවිද්‍යාලයක්. ඒ නිසා ආයේ අමුතුවෙන් විශ්වවිiාලයට යන්න ආශාවක් ඇති වුණේ නැහැ. මම විශාරද දක්වා සංගීතයත් කළා. මම පූර්ණ සේවා අභ්‍යාසලාභී ගුරුවරියක් ලෙසත් කටයුතු කළා. ජාතික නැටුම් සංගීත අවසාන විභාගයත් කළා. ඒ මොකක් කළත් ආශාව තිබුණේ ගුවන් විදුලියට. ගුරු වෘත්තියේ මාස හයක් විතර ඉන්නකොට ස්ථිර කරන්න හැදුවා. ඒ හැම එකම දාලා ගුවන් විදුලියටම ආවා. ඒ තරමටම මම ඒකට ආශා කළා.

නිළියක් වුණේ මේ අතරෙදිද?
ඒකත් අහම්බයෙන් වගේ වුණේ. මම ගුවන් විදුලියේ නාට්‍ය කරනකොට රවින්ද්‍ර කෝදාගොඩ මහත්තයා කිව්වා ඔයා හොඳ හඬ කවන එකට වඩා වේදිකාවටයි කියලා. ඒ ඔස්සේ මම සුදර්ශියට යන්න එන්න ගත්තා. එතැනදී පතිරාජ එල් එස් දයානන්දගේ ‘බාල්කයේ තීන්දුව’ කියන නාට්‍යයට සම්බන්ධ වුණා. ඒත් ඒ නාට්‍යය පෙන්වන්න බැරි වුණා. එහෙම ඉන්නකොට හඳුනගත්ත තව පිරිස් නිසා ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘ට්‍රෝජන් කාන්තාවෝ’ නාට්‍යයේ ‘ශේලේනා’ කියන චරිතයට කෙනෙක් හොයනවා කියලා දැනගන්න ලැබුණා. මම පිටපත එහෙම බලලා ධර්මසිරි මහත්තයාගෙන් ඇහැව්වා මම සුදුසු වෙයිද කියලා. බලමු කිව්වා. දවස් පහෙන් පුරුදු වෙලා මම ඒ චරිතය කළා. ඉන් පස්සේ මම සෑහෙන කාලයක් ට්‍රෝජන් කාන්තාවෝ එකේ රඟපෑවා. එතැනින් පටන් ගත්ත ගමන් මං දයානන්ද ගුණවර්ධන, කේ.බී. හේරත්, ජයලත් මනෝරත්න, ලූෂන් බුලත්සිංහල, නිශ්ශංක දිද්දෙණිය වගේ පතාක යෝධයෝ එක්ක වැඩ කළා. එක මම ලබපු භාග්‍යයක්.

හෙමින් යන ගමනක් නේද තියෙන්නේ.
ඔව්! මම නිර්මාණ තෝරා බේරාගෙන කරන්නේ. ලැබෙන හැම එකම කරන්නේ නැහැ. ඒ වගේම වේදිකාව තමයි මගේ ප්‍රමුඛ තැන. වැඩිපුරම දායක වෙලා තියෙන්නේ වේදිකා නාට්‍යවලට. කොහොමත් මම කැමතිත් වේදිකාවට. ඒ තරමට ඒකට ඇබ්බැහි වේලා. හෙමින් යනකොට නිදහසේ ගිමන් හැරලා හොඳ ගමනක් යන්න පුළුවන්. ඒ වගේම ලොකු දුරක් යන්න පුළුවන්.

නිළියටද ගුවන් විදුලි සංස්ථාවේ රැකියාවටද දැන් වඩා කැමති.
නිළිකම කියන්නේ එක පැත්තක්. මම මගේ වෘත්තියට තමයි වඩා කැමති. මම අද ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රකාශන අංශයේ සහකාර අධ්‍යක්‍ෂිකාවක්. ඒක බොහෝ මිනිසුන්ට සේවයක් කළ හැකි වෘත්තියක්. ගුවන් විදුලිය කියන්නේ මහජන සේවයක්. ඉතින් අපි අදටත් සල්ලි දීලා බලෙන් ගුවන් විදුලිය අස්සවන්නේ නැහැ. ඒ වෙනුවට අපි හොඳ වැඩසටහන් කරනවා. ඒ නිසා මම ගොඩක් තෘප්තිමත් රැකියාව ගැනයි. මට ලොකු මුදල්වලට වෙන ආයතනවලට කතාකළත් මේක දාලා යන්න බැරිකමක් තියෙනවා. මගේ සේවය අවංකව උපරිමයෙන් කරනවා. ඒක වගකීමක් විදියටයි මම සලකන්නේ. නිළිකම එතැනදී දෙවැනි තැනටයි මම දාන්නේ.

ගුවන් විදුලියේ ස්වර්ණමය යුගය ඉවර වුණා නේද?
ස්වර්ණමය යුගයේ ඉතිරි වුණ අයට අද ඉන්නේ දයා ද අල්විස්, කුසුම් පීරිස්, තිලකා රණසිංහ, කමල් දේශප්‍රිය වගේ අයයි. එතැනින් පස්සේ ඒ යෂ්ටිය අපි ගත්තාට අපිට ඒ ගමන යන්න බැරි වුණා. ඒ මොකද දේශපාලනය මේකට රිංගලා මේක විනාශම කළා. මාරුවන දේශපාලනයත් එක්ක සභාපතිලා මාරු වුණා. ඒ අය එක්කම ඒ අයගේ පිරිසක් ඇතුළට ආවා. ඒ නිසා දක්‍ෂයන්ට වඩා හිස් මිනිස්සු මේවායේ පිරුණා. අපි පුංචි කාලේ දැක්ක සරසවිය අද නෑ.

නිළියක් විදියට වේදිකාවට වැඩි බරක් දාන එක අපහසු නැද්ද?
ලොකු වෙහෙසක්. මේකේ රැඳිලා ඉන්න සැහෙන කැපකිරීමක් ඕනෑ. මම ඒ කැපකිරීම කරනවා. ඉතින් කොච්චර වෙහෙස වුණත් මම ආශාවෙන් ඒකේ නියැලෙනවා.

නිළියක් විදිහට ඔබව මිලක් තියෙනවාද?
ඔව්! මම මගේ වටිනාකම් තියාගෙන තමයි ඉදිරිපත් වෙන්නේ. හැම දේටම මිලක් තියෙනවා. එහෙනම් නිළියටත් ඒ වටිනාකම් තියෙන්න ඕනෑ. ඒ නිසා මගේ කැපකිරීම බාල කරන්න මම කැමති නැහැ. මේකට නිශ්චිත මිලක් තියෙනවා.

ඔබට මේ ගමන එන්න බලපෑ විශේෂ චරිතයක් ඉන්නවාද?
ඔව්! ඒ මගේ මහත්තයා. ගුවන් විදුලිය නිසාම තමයි මට ඔහුව ලැබුණේ. ඔහු නිසා තමයි මම නිළියක් වුණේ. ඔහුයි ඊට යොමු කළේ. මගේ දක්‍ෂතා තේරුම්ගෙන මට ඉදිරියට යන්න ඔහු ලොකු තල්ලුවක් දෙනවා. මම අදටත් ක්‍රීඩාවේ නියැලිලා ඉන්නවා. ඒත් ඔහු නිසාමයි. මගේ සාර්ථකත්වය පිටුපස ඉන්න යෝධ ශක්තිය ඔහුයි.
නිළියක් විදියට විවිධ යෝජනාවන්ට ලක් වෙනවා.
අපෝ ඔව්! කොහොම හිටියත් විවිධ අයුතු යෝජනා එනවා. වක්‍රාකාරව එන ඒවා වැඩියි. කැමති අයට ඒවා බාර ගන්න පුළුවන්. ඒක තීරණය වන්නේ තමන් මත. එතැනදී මම සූක්‍ෂ්මව ඒවායින් ලිස්සලා යනවා. කෙටිකාලීන වාසියට ඉදිරියට යන්න ඒ අවස්ථා ගන්නවාද, හෙමින් ගමනක් යමින් ඒවා ප්‍රතික්‍ෂේප කරනවාද කියන එක එක එක්කෙනාගේ තීරණ. මම ගැන කියනවා නම් මම ඒ ඔළුවේ කැක්කුම් හදාගන්න දේවල් බාරගන්නේම නැහැ. මොකද මට ගෙදර ගිහිල්ලා හොඳට නිදාගන්න ඕනෑ. ඒ නිසා එන ඒවා නොතේරෙනවා වගේ ඉන්නවා. එහෙම ඉන්න එක ලේසියි. එහෙම ඉන්න කොට ඉන්න පුළුවන්.

ඔබ හඬ කැවීම් ශිල්පිනියක් වෙන විදිය මතක් කරමුද?
විපුල් ධර්මප්‍රිය අද ජීවතුන් අතර නෑ. එයා තමයි මාව අතුල රන්සිරිලාල් මහත්තයා ළඟට යොමු කළේ. එතැනදී මට දීර්ඝ කතා මාලාවක් වන රාමායනයේ පුංචි චරිතයක් ලැබුණා. එතැනින් ලොකු ගමනකට පාර කැපුණා. අදත් මම චරිත විශාල ප්‍රමාණයකට හඬ කවනවා.

මේ දිනවල ඔබේ හඬ අපි අහන චරිත මොනවාද?
‘අධිරජ ධර්මාශෝක’ එකේ අශෝකගේ අම්මා ධර්මාගේ චරිතයට හඬ කවන්නේ මම. ස්වප්නා ටෙලිනාට්‍යයේ ‘මීනා,’ සූරයන්ගේ සූරයා නාට්‍යයේ ‘දුෂ්ටි සුචී’ හඬ මුසු කරන එක අමාරු වැඩක්. මොකද අපි ඒ චරිතයේ හැඟීම් තේරුම් ගන්න ඕනෑ. ඒත් මම ආශාවෙන්ම කරන දෙයක් හඬ කැවීම. මම ඒ චරිතය තුළ ජීවත් වෙමින් තමයි ඒක කරන්නේ.

චිත්‍රපටයක නිරුවත් චරිතයකට කතාකළොත් ඔබ එකඟ වෙනවාද?
මොන චරිතය වුණත් මම එකඟ වෙන්නේ නෑ. ඒ වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි. මේ ලංකාව නිසා. ලංකාවේ මිනිස්සු තවම චරිතයක් දිහා දියුණු විදිහට බලන්න දියුණු නැහැ. ඉතින් කවුරු හරි නිරුවත් ජවනිකාවක් කළොත් ඒක රඟපෑමක් විදිහට බාරගන්න දියුණු නැහැ. ඉතින් එහෙම සමාජයක චරිතයක් කරලා මුළු ජීවිතයම විනාශ කරගන්න මම කැමති නැහැ. ලංකාවේ හොඳට වඩා නරක බාර ගන්නවා වැඩියි. චරිතයකට ඒ තරම් කැපකිරීමක් කරන්න ඕනෑ නැහැ කියන තැනයි මම ඉන්නේ.

ගායිකාවක් වීමේ සිහිනයට මොකද වුණේ.
ඒක තවම තියෙනවා. කවදා හරි හැබෑ කර ගන්න ගන්න ඕනෑ පියවර ටිකෙන් ටික ගනිමින් ඉන්නවා. කාලයත් එක්ක ඒ දේවල් වෙයි. එතකං ඉවසනවා.

ඔබගේ විවාහය පළමු ප්‍රේමයද?
අපෝ නෑ. ඉස්කෝලේ යන කාලේ ඕනෑ තරම් තිබුණා. ඒවාට ගෙදරින් ගුටිත් කෑවා. මම ස්වභාවයෙන්ම දඩබ්බර ළමයෙක්. ඉතින් ඒ සම්බන්ධතා වැඩි කල් පැවතුණේත් නැහැ. මම ටිකක් වලියට බරයි. (හිනා)

ෆර්නිගේ ජීවිතය තෘප්තිමත්ද?
ගොඩක් තෘප්තිමත්. මම හරිම සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්. ජීවිතය අරගෙන ආපු දෙයක් නෑ වගේම අරගෙන යන දේකුත් නැහැ කියලා මම දන්නවා. ඉතින් මම ගොඩක් දේවල් දිහා බලන්නේ ඒ තේරුම් ගැනීම ඇතුළේ. ලොකු දුකක් මගේ ජීවිතේ නැහැ. ඒ නිසා හෙට වුණත් ජීවිතේ දාලා යන්න දුකක් නැහැ. මගේ චරිතවල වගේම අනෙක් අයගේ ජීවිත දිහා බලලා මගේ ජීවිතය කියවනවා. මම හිතනවා මොන දේ කළත් අමාරුම දේ තමයි ජීවිතය තේරුම ගන්න එක. ඒක තේරුම් ගත්තාම තෘප්තියක් දැනෙනවා.

ආර්ථිකමය වශයෙන් ෆර්නි සාර්ථකද?
ජීවත්වන්න සෑහෙන තරමට මුදල් තියෙනවා. ඊට එහා මහා පරිමාණයෙන් ගොඩ ගහගන්න උනන්දුවක් නැහැ. ඒක කරදරයි. එහෙම ආශාවකුත් නැහැ. හැබැයි දැනුම වැඩිකර ගන්න ඒක ගොඩනගා ගන්න තමයි ආශාව. තවමත් මම ක්‍රීඩාවෙහි නියැලෙන නිසා ජය පරාජය දෙකම විඳගන්න පුරුදුයි. ඒ නිසා ලොකු ආර්ථිකයක් පසුපස දුවන්නේ නැහැ. ඒකේ තේරුමක් නැහැ.

ෆර්නි දේශපාලනයට කැමති නැද්ද?
ඒක පෙනෙන්න කරන්න ආස නෑ. එහෙම පෙනී සිටින්න තරම් වටින දේශපාලන පක්‍ෂත් අපිට නැහැ. ඒ නිසා කලාකරුවෙක් විදිහට එක පිලක හිටගන්න මම ආස නෑ. ඔය පක්‍ෂ දේශපාලනය නැති තරමට මම ආසයි. මතින් තොර වගේ ඔය පක්‍ෂ දේශපාලනයෙන් තොර රටක් තියෙනවා නම් ආසයි. (හිනා)

ෆර්නි ඇයි කලාව කරන්නේ.
මගේ තුළ තියෙන මොක්දෝ හිස්කමක් පුරවන්න. ඒක පුරවාගන්නේ මම කලාවේ නියැලිලා. ඒ නිසා මම කලාව තුළ දිගටම නියැලෙනවා.■