රාවය

අපට ඉඩ දෙන්න

අපට ඉඩ දෙන්න

තම්බිරාසා නඩරාසා /තරිඳු උඩුවරගෙදර

අපි කව්රුත් කතෝලි කයො. කොයි දේටත් අපට අපේ පල්ලිය තිබුණා. දැන් අපට අපේ දූපතට පය ගහන්න දෙන්නේ නෑ. පල්ලියට යාගන්න හැටියක් නෑ. මේ මොන ජීවිතයක්ද? වෙන මොනවත් එපා, අපේ ඉඩකඩං අපට දෙන්න. ඉපදිච්ච දූපතේ අපට සමාදානෙන් මැරෙන්ඩ දෙන්න. එච්චරයි අපි කියන්නේ.” සෙබමාලෙයි ඉසෙකියේල් මහතා කියයි. අසූහය හැවිරිදි ඉසෙකියේල් මහතාගේ දැන් බලාපොරොත්තුව වෙන්නට ඇත්තේ ජීවිතේ සැඳෑ සමය තමන්ගේ බිමෙහි ගෙවා මියැදී එහිම භූමදාන වෙන්නටය. එය අතිශය අහිංසක ඉල්ලීමකි.
ඔහුට මේ නම ලැබෙන්නට ඇත්තේ පෘතුගීසි සම්භවය නිසාය. ඔහු මේ කියන්නේ ඉරණමඩු දූපත ගැනයි. ඔවුහු ඉරණමඩු දූපතේ පදිංචිව සිටියාහුය. දැන් ඔවුන්ට තමන්ගේ නිවසට යෑම තහනම් කර ඇත. ඉසෙකියේල් මහතා ඇතුළු මෙහි පදිංචිකරුවන් වසර ගණනාවක් තිස්සේ ඉරණමඩුහි පදිංචිව සිටි බවට සාක්ෂි ඕනෑ තරම්ය. ඉතින් ඒ අයිතිය අහිමි කරන්නට යුක්තිගරුක ආණ්ඩුවකට හැකියාවක් ඇතැයි අපි නොසිතන්නෙමු.
“මම තමයි මෙතැන ඉන්න අයගෙන් දූපතේ හිටපු පරණම පදිංචිකාරයා. මම ඉපදුණෙත් එහේ. කොයිතරම් ලස්සන ජීවිතයක්ද අපට තිබුණේ? හොඳ සරුවට ධීවර රස්සාව තිබුණා. අපේ ඉඩකඩං තිබුණා. හරක්, එළුවො හිටියා. අපි ඔක්කොම එකා වගේ සමාදානෙන් ජීවත් වුණා. අපේ ජීවිත කාලෙ කිසිදාක පොලිසි ගාණෙ, උසාවි ගාණෙ ගියේ නෑ. ප්‍රශ්නයක් වුණාම ගමේ වැඩිහිටියො එකතුවෙලා කතාබස් කරලා විසඳගත්තා. මිනිහෙක් වරදක් කළොත් අවවාද කරලා හදාගත්තා.” ඉසෙකියේල් මහතා අතීතයට යයි.

ඉරණමඩු දූපත
උතුරු පළාතේ කිළිනොච්චි දිස්ත්‍රික්කයේ පූනගරිවල පිහිටි ඉරණමඩු දූපතේ පදිංචිව සිටි ජනතාව පසුගිය මැයි මාසයේ සිට අඛණ්ඩ උපවාසයක යෙදෙන්නේ තමන්ගේ ඉඩම්වල අයිතිය ඉල්ලා සිටිමිනි. පූනගරිවලම ඉරණමඩු දූපතේ සිට කිලෝමීටර් 12ක් ඇතින් පිහිටි ඉරණමාදා නගරයේ නාවික හමුදා කඳවුර ඉදිරිපිට සිට ඔවුහු මේ සත්‍යග්‍රහයෙහි යෙදී සිටිති. ඔවුන් 1992 දී යුද්ධය නිසා ඉඩම් අත්හැර ගොස් ඇත. එසේ අත්හැර යද්දී පවුල් 192ක් සිටි බව කියයි. ඔවුන් සේ දූපත හැර ගොස් පදිංචිව ඇත්තේ ඉරණමාදා නගරය දැන් පිහිටා ඇති ස්ථානය වන එකල මුලංගාවිල් නමින් හැඳින්වූ ප්‍රදේශයේය. ඉරණමඩු දූපත අහිමිවූ ඔවුන්ට එකල රජයෙන් පවුලකට අක්කරය බැගින් ඉඩම්ද ලබා දී ඇත. එහෙත් එකල ඔවුන්ට ඉරණමඩු දූපතට යන්නට එන්නට තහනමක් තිබී නැත. ධීවර කටයුතු කරන්නට, ඉඩකඩම් ගැන සොයා බලන්නට ඔවුන්ට තහනමක් තිබී නැත. මේ මිනිසුන් ධීවර රැකියාව කර තිබුණේ තමන්ට හිමිව තිබූ ඉරණමඩු දූපත අසලය. 2007 වන තුරු මෙසේ සිටි මේ මිනිසුන්ට අවසන් යුද්ධයේ ආරම්භයත් සමඟ ඒ ප්‍රදේශය අත්හැර යන්නට සිදුව ඇති අතර මුල්ලිවෛයික්කාල් දක්වා වූ මාරාන්තික ගමනෙහි ඔවුන්ටද ගමන් කරන්නට සිදුව ඇත. යුද්ධයෙන් පසුව නැවත ඔවුන්ට පැමිණෙන්නට අවසරය ලැබී ඇත්තේ 2009 වසර අවසානයේදීය. ඒ පැමිණීමෙන් පසුව ඔවුන්ට ඉරණමාදා නගරයෙහි පදිංචි වෙන්නට අවසරය ලැබී ඇතත් ඉරණමඩු දූපතට යෑම තහනම් කර ඇත. දැන් ඔවුන් ඉල්ලන්නේ යුද්ධය අවසන්ව ඇති නිසා තමන්ගේ ඉඩම් පිහිටි ඉරණමඩු දූපතට යන්නට අවසරය ලබා දෙන ලෙසයි.

“අපේ හරක්, එළුවන් හිටියේ අපේ ගමේ. ධීවර රස්සාව කළේ අපේ ගමේ. ඉරණමාදාවල අපට ජීවත්වෙන්න පහසුකම් නෑ. අනික අපේ ගම තියෙද්දී වෙන තැන්වල ඉන්න අපි කැමති නෑ.” ගම්වාසීන් කියන්නේ එසේය.
දූපතට යෑම තහනම් කරන්නට හේතුව ලෙස රජය පාර්ශ්වයෙන් කියන්නේ නාවික හමුදා කඳවුරක් දූපතෙහි ඇති නිසා කඳවුරෙහි ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බැවින් දූපතට යන්නට අවසර නොදෙන බවයි. “අපේ දූපත අක්කර 500ක් වෙනවා. හමුදාව ඉන්නේ අක්කර හයක විතරයි. ඒ නිසා අපි ඉල්ලන්නේ අපේ ඉඩම් දීලා ඉතිරි කොටසේ හමුදා කඳවුර තියාගන්න කියලා. දැන් කොළඹ නගරයේ හමුදා කඳවුරු නැද්ද. හමුදා කඳවුරු තියෙනවා කියලා කොළඹ මිනිස්සුන්ව අයින් කරනවාද. අනික අපට යුද්ධය කාලයේත් ඉඩමට යන්න පුළුවන් වුණා නම් දැන් බාධා කරන්නේ ඇයි. අපි අහිංසක මිනිස්සු.”

කීනා එලිසබෙත් 54 හැවිරිදි මවකි. ඇය මෙසේ කියන්නීය.
“ඉන්දියානු හමුදාව හිටපු කාලෙත් අපි දූපතේ හිටියා. 92 අවුරුද්දේ මුහුදේ ගැටුම් වැඩිවෙන කොට නේවි එක අපට කිව්ව ආරක්ෂාවට ගොඩබිමට යන්න කියලා. ඒ මිස කව්රුවත් අපට දූපත තහනම් කළේ නෑ. ගෑනු අය, ළමයි මෙහේ ඉද්දි පිරිමි අය රස්සාව කළා. දේපළ බලන්න ආවා ගියා. 2008 වෙනකල්ම අපි ඒ විදියට දූපතට ආවා ගියා. යුද්දෙ අවසාන කාලෙ අපිට එක එක කඳවුරුවල ඉන්න වුණා. ඒ තැන්වලත් අපේ ගමේ අය එකටමයි හිටියෙ. යුද්දෙ ඉවරවෙලා 2008 එකොළොස්වෙනි මාසෙ අපි ආපහු ආවාට පස්සේ, අපට දූපතට යන්න දුන්නේ නෑ. අපි අහන්නේ, කොහොමද එහෙම වුණේ? යුද්ද කාලෙ නැති ප්‍රශ්නයක් දැන් ආවේ කොහොමද?”
ඉරණමඩු වෙත මාසයකට පමණ පෙර ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන ගියේය. සත්‍යග්‍රහයෙහි යෙදෙන මිනිසුන්ගේ ඉල්ලීම්වලටද ඇහුම්කන් දුන්නේය. ඉන්පසුව ඔහු ඉඩම් ලබාදෙන බවට පොරොන්දුවක්ද දුන්නේය. එපමණක් නොව ජනාධිපතිවරයාද මීට පෙර කිහිප වතාවක්ම පොරොන්දු වී තිබුණේ උතුරු පළාතේ ජනතාවට අයත් ඉඩම් නිදහස් කරන බවයි. එහෙත් සැබෑ තත්ත්වය යාපනය, කන්කසන්තුරේ ආශ්‍රිතව ඉඩම් නිදහස් කළත් බොහෝ තැන්වල ඉඩම් තවමත් නිදහස් කර නැති බවයි. විශේෂයෙන් සමහර ඉඩම් කිසිදා නිදහස් කිරීමේ බලාපොරොත්තුවක් නැති බව පෙනෙයි. ඉරණමඩු දූපතත් එවැන්නකි.

එස් වේදනායගන් කියන්නේ ජනාධිපතිවරයා දුන් පොරොන්දුව ඉටු කළ යුතු බවයි.
“92දී අපි මෙහාට ආවෙ පවුල් 193යි. දැන් පවුල් 340ක් ඉන්නවා. මෙහේ ආවාට පස්සෙ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. දූපතේ ඉඳලා රස්සාවෙ යනකොට තෙල් වියදම අඩුයි. මෙහේ ඉඳලා යන්න විසාල වියදමක් යනවා. අනික, එහේ අය ඉද්දි ගෑනු අය, ළමයි, ඒ ඔක්කොම ධීවර වැඩවලට සම්බන්ධ වුණා. දැන් පිරිමි අය විතරයි රස්සාවෙ යන්නේ. අපේ පරම්පරා ගාණක්, ඕන්ද කාලෙ ඉඳලාම දූපතේ ජීවත් වුණා. අපිට ඔප්පු තිරප්පු තියෙනවා. යුද්දෙ ඉවරවුණ ගමන් අපේ පුරුදු ජීවිතේට යන්න අපි බලාගෙන හිටියා. ජනාධිපතිතුමා ඡන්දෙදි පොරොන්දු වුණා අපට ඉඩම් ආපහු දෙන්න. ඒත් අපි තවම බලා ඉන්නවා. අපි කොළඹ ගිහිල්ලාත් උද්ඝෝෂණ කළා. අපේ ඉඩම් ආපහු දෙනතුරු අපි සත්‍යග්‍රහ කරනවා.”

ඉරණමාදා දැන් එහි පදිංචිකරුවන්ට ප්‍රමාණවත් නැත. අවතැන් වෙද්දී 192ක්ව සිටි පවුල් සංඛ්‍යාව දැන් 340ක් දක්වා වැඩිවී ඇත. පුද්ගලයන් දෙගුණයක් වී ඇත. එපමණක් නොව ඉරණමාදාහි පදිංචි අවතැන්වූවන් අතර වැන්දඹු කාන්තාවන් මූලික කරගත් පවුල් 60කට වැඩි ප්‍රමාණයක් වෙයි.
ධීවර කටයුතු කරන්නට ප්‍රමාණවත් පහසුකම්ද ඉරණමාදාවල නැත. ඉරණමඩු සිට මුහුදට යද්දී රුපියල් 500ක් පමණ ධීවර යාත්‍රාවක ඉන්ධනවලට වියදම් වෙද්දී දැන් රුපියල් 2000ක් පමණ ඉන්ධනවලට වියදම් වන බව ඔවුහු කියති. එපමණක් නොව දූපත අසල එකල ධීවර කටයුතු කරන්නට ඉඩ දුන්නත් පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට නාවික හමුදාව එයටත් අවසර නොදීම නිසා ඉරණමඩුවාසීන් තවත් අපහසුතාවට පත්ව ඇත.

උරුමය
සියවස් අටකට වැඩි ඉතිහාසයක් ඉරණමඩුහි පදිංචිකරුවන්ට වෙයි. එහි පදිංචිකරුවන් පාණ්ඩ්‍ය රජ පෙළපතේ පරවේණියෙන් පැවත එන බව ඓතිහාසික කෘතිවල සඳහන්ය. 1551 පෘතුගීසි වකවානුවේ මේ දූපතෙහි මුත්තිකුලිප්පු, සංගුකුලිප්පු, අට්ටකුලිප්පු, හාවයිව ලෛයි, කඩක්කාලන්, වලර්පු යන රැකියාවන් ආරම්භ කර ඇති බව කියැවෙයි. 1542 දී ශාන්ත ෆ්‍රැන්සිස් සේවියර් විසින් මෙම ජනතාව කතෝලිකයන් ලෙස බෞතිස්ම කර ඇත. මෙම ගම්වාසීන් අතර තවමත් එකල සිට පැවත එන ප්‍රනාන්දු, කෘස්, නාගර්, වාස් වැනි නාමයන් සහිත පවුල් වෙසෙති. කතෝලික මීසම යටතේ 16 වැනි සියවසේ සිට ඉරණමඩුහි ශාන්ත මරියා දේවස්ථානය ක්‍රියාත්මක වී ඇත. 1899 පෙබරවාරි මාසයේ නිකුත් කළ ගැසට් නිවේදනයකට අනුව 1834 නොවැම්බර් 13 දින ඉරණමඩු දූපත කතෝලික සභාවටද එහි මීසම් ජනතාවද පවරා ඇත. ගැසට් පත්‍රය හරහා මේ ඉඩම් ජනතාව අතට පත්කර ඇත.

මන්නාරම් කළපුවට උතුරින් මුලංගාවිල් ප්‍රදේශයට බටහිරින් ඇති මේ දූපත ධීවර කර්මාන්තයට ඉතා සුදුසු පරිසරයකින් හෙබි, මත්ස්‍ය කර්මාන්තයට ප්‍රසිද්ධියක් උසුලන ප්‍රදේශයකි. වර්ග කිලෝමීටර් 8කින් දූපත සමන්විතය. ඉරණමඩු දූපත්වාසීන් දූපත අත්හැර යද්දී ස්ථිර නිවාස, රෝහලක්, තැපැල් කාර්යාලයක්, දේවස්ථාන දෙකක්, අපොස සාමාන්‍ය පෙළ දක්වා වූ පාසලක් සහිත සුන්දර කුඩා නගරයක්ව තිබුණි. බැටළුවන් 10,000කට වැඩි ප්‍රමාණයක්, එළහරකුන් 4500ක්, අශ්වයන් 15ක් පමණ, සුදු එළුවන් 1500කට වැඩි ප්‍රමාණයක්, පොල් ගස් 1000කට වැඩි ප්‍රමාණයක් විසින් ඒ දූපත සමෘද්ධිමත් කර තිබුණි. එපමණක් නොව ඉරණමඩු දූපතේ ජල අවශ්‍යතාවන් සම්පූර්ණ කිරීම සඳහා වර්ෂා කාලයේ වැටෙන ජලය වර්ෂාව නැති මාස හයක පමණ කාලයක් දක්වා ගබඩා කිරීම සඳහාද පහසුකම් සහ තාක්ෂණය තිබී ඇති බව එහි විසූවෝ කියති.

අයිතීන්
තමා කැමති තැනක ජීවත්වීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති අයිතියකි. ඒ අයිතියත් අහිමි මිනිසුන් විශාල ප්‍රමාණයක් උතුරෙහි වෙසෙයි. දෙමළ මිනිසුන් 2015 ජනවාරි අටවැනිදා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ බලාපොරොත්තු රැසක් පොදි බැඳගෙනය. මූලිකම බලාපොරොත්තුවක් වුණේ තමන්ගේ මහපොළොව යළි ලබාගැනීමේ අහිංසක ආශාවයි. දැන් කිසිවෙකුට එය මතක නැති බව පෙනේ. සයිටම් අරගලය, දූෂණ, ආර්ථිකය ඇතුළුව වෙන බොහෝ ප්‍රශ්න පෙර පැමිණ තිබේ. එදා ජාතික ගැටලුව ගැන කතා කළ අයත් අද නිහඬය. එහෙත් දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක් ලැබුණොත් ආර්ථික වශයෙන් ලැබෙන්නට නියමිත ලාභය ගැන කිසිවෙකුට තැකීමක් නැත.

ඉරණමඩු ජනතාව දිළිඳුකමේ අන්තයට වැටී තමන්ගේ ඉඩම් අහිමි කිරීමට ලක්ව අසරණව සත්‍යග්‍රහවල යෙදෙයි. රටක් සංවර්ධනය වෙනුවෙන් යෙදවිය හැකි ශ්‍රම බලකායක් මෙසේ අතෘප්තිමත්ව මූලික අයිතීන්වත් නැතිව සිටින පසුබිමක 2025 වෙද්දී ආර්ථිකය ගොඩගන්නට සැලසුම් හදන නායකයන්ව අපට නම් පෙනෙන්නේ නරක විහිළුවක් මෙනි. පුරවැසියන් තෘප්තිමත් නොවන පසුබිමක රට තනන හැටි සැලසුම් කිරීම රටේ නායකයන්ගේ මෝඩකම, නැතිනම් කුහකකම මිස අන් යමක් නොවේ.■