රාවය

ස්ටෝරීස් නොහොත් ඉංග්‍රීසියෙන් ලියන අපේ කතා

ස්ටෝරීස් නොහොත් ඉංග්‍රීසියෙන් ලියන අපේ කතා

දිලීප අබේසේකර

අමුතු නමකින් යුතු ‘ඉන්ග්ලිෂ් පේෂන්ට්’ චිත්‍ර පටය ගැන ඔබ අසා ඇති. ඊට පාදක වන්නේ එනමින්ම! 1992 ලොව විශිෂ්ටතම ඉංග්‍රීසි සාහිත්‍ය කෘතිය සඳහා වන ‘බුකර් ප්‍රයිස්’ ත්‍යාගයෙන් සම සම්මානිත නවකතාවය. එය ලියූ කැනඩාවේ වෙසෙන නාට්‍යකරුවකු හා නළුවකුද වන මයිකල් ඔන්ඩච්චි, මේ ත්‍යාග මුදලින් කළේ තමන් උපන් රටේ බිහිවන විශිෂ්ටතම ඉංග්‍රීසි සාහිත්‍ය නිර්මාණ වෙනුවෙන් වාර්ෂිකව ත්‍යාග පිරිනැමීම සඳහා සිය මවගේ නමින් අරමුදලක් පිහිටුවීමයි. එතුමියගේ නම ඩොරිස් ග්‍රේෂන්ය. ඒ අපේ ග්‍රේෂන් ත්‍යාගයේ කතාවයි.
ලංකාවේ උපන් ඔන්ඩච්චි ලෝකප්‍රකට කතුවරයෙකු බැවින් ඔහුගේ මැදිහත් වීමෙන් ඇරඹුණු ග්‍රේෂන් ත්‍යාගයද ජාත්‍යන්තර තලයේදී අවධානයට ලක් වේ. විසිපස් අවුරුද්දකට ආසන්න කාලයක් තුළ ග්‍රේෂන් ජූරියෙන් තෝරා ගැනුණු කෘති ඉන් එහා ඉසව් කරා ගිය අවස්ථා බොහෝය. ශෙහාන් කරුණාතිලකගේ ‘චයිනමන්’ (2008) පොදු රාජ්‍ය මණ්ඩලීය සාහිත්‍ය සම්මානය ඇතුඩ්ළු තවත් ජාත්‍යන්තර සම්මාන රැසක් දිනා ගනිමින් අමෙරිකා වේත්, ඉන්දියාවේත් පළ කරනු ලැබිජ්්‍ර. විවිමරී වැන්ඩපූටන් ලියූ ‘නතිං ප්‍රිපෙයාස් යූ’ (2007) කවි ඵකතුව 2009 කාව්‍ය සඳහා වන සාක් සම්මානය ලත් කෘතිය වේ. ‘මිඞ්ල් ඔෆ් සයිලන්ස්’ (2000) නමැති රුවන්ති ඩී චිකේරාගේ නාට්‍ය පිටපත එක්සත් රාජධානියේදී ද, සුමති සිවමෝහන්ගේ ‘ඉන් ද ෂැඩෝ ඔෆ් ද ගන්’ (2001) ඉන්දියාවේදීද සම්මානයට පත් වී. ‘සෑම්ස් ස්ටෝරි’ (2001) නමින් එල්මෝ ජයවර්ධන ලියූ නවකතාව ඉන්දියාවේ හා සිංගප්පූරුවේ පළ කරන ලදුව පසු කලෙක, ‘සැමීගේ කතාව’ නමින් චිත්‍රපට ගත වී නිව්යෝක් සිටි ජාත්‍යන්තර සිනමා උළෙලේ දී එහි රංගනය වෙනුවෙන් ජගත් චමිලට ඉහළම සම්මානය හිමි කර දුන්නේය. නිහාල් ද සිල්වාගේ ‘රෝඞ් ෆ්‍රොම් එලිෆන්ට් පාස්’ (2003) කෘතිය රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනාගත් අතර ඵයින්ද ජාත්‍යන්තරයේ ප්‍රදර්ශනය කළ චිත්‍රපටයක් බිහි වූ බව සිහිපත් කළ යුතු වේ.

එතෙක් මෙතෙක් ග්‍රේෂන් ත්‍යාගලාභීන් අතර සිබිල් වෙත්තසිංහ, පුන්‍යකාන්ති විජේනායක, කාල් මලර්, ත්‍යාගරාජා අර්සනායගම්, ගාමිණී අක්මීමන, විසාකේස චන්ද්‍රසේකරම්, ජගත් කුමාරසිංහ, මධුභාෂිණී දිසානයක, මාලින්ද සෙනෙවිරත්ත, රජීව විජේසිංහ, ඩෙලොන් වීරසිංහ, ප්‍රශානි රඹුක්වැල්ල, ලාල් මැදවත්තගෙදර, විහඟ පෙරේරා වැනි හුරුපුරුදු නම් රැසකි. මේ අතරින් අප හොඳින්ම දන්නා නම තිස්ස අබේසේකරය. ‘බි්‍රඟින් ටෝනි හෝම්’ නමින් ඔහු ලියූ ස්වයං චරිතාපදානමය, තුන් ඈඳුතු කතාවයි 1995 ග්‍රේෂ්න් ත්‍යාගය දිනූයේ. සිනමාකරුවකු මෙන්ම සිනමාලෝලියකුද වූ ඔහු ලෝක සිනමාවේ සිත්ගත් චිත්‍රපටයක නම සිය දියණිජ්්‍රයකට තැබුවේය. ඒ චාරුලතායි. මෙවර ග්‍රේෂන් ත්‍යාගයට හිමිකම් කියන ‘ස්ටෝරීස්’ නමැති චාරුලතා අබේසේකර – තේවරතන්ත්‍රි ලියූ නවකතාව පිළිබඳ අතුරු කතාවකි ඒ.

‘ස්ටෝරීස්’ නම් කර ඇත්තේ කතා නොහොත් අන්දර රැසක් යන අරුතිනි. එක් කතාවක් තුළ තවත් කතා ගැබ් වී ඇති බව අපි දනිමු. කෙනකුගේ ජීවිතය තවත් බොහෝ අයගේ දිවි පවත් හා සම්බන්ධ වන්නා සේම ඒවායේ ප්‍රතිඵලයක්ද වේ.

මේ කතාව වැඩි කතාබහක් නැති දැරියක ගැනය. මවගේ අකල් මරණයෙන් හා ස්කොට්ලන්ත ජාතික පියාගේ සිය රට යාමෙන් බාලවියේදී තනිවන ඈ හැදී වැඩෙන්නේ සබරගමුවේ වංශවත් පවුලක නෑදෑයන් සමගයි. කුඹුරු හා රබර් යායකින් හෙබි වත්තක සිය සුනඛ සගයාත් සමග නිදැල්ලේ සැරිසරන ඇයගෙන් පළවන්නේ සාමාන්‍ය දැරියකගේ ලක්ෂණ නොවේ. නිසි කලට බහ තෝරන්නේ නැතත් ඈ ගහ කොළ හා කතාකරයි. ගෙදර අයගේ නැති වූ දේවල් සොයා දෙන්නට ඇයට විශේෂ හැකියාවක් තිබේ. කිහිප වතාවකදී ලෙඩුන්ද සුවපත් කරන්නීය. ඇගේ කතාව ඔස්සේ නෑදෑයන්ගේ රහස්ද, ගම්වාසීන්ගේ ජීවිතද, එකල රටේ තොටේ සිදුවූ දෑද කෙමෙන් දිගහැරේ. හරියටම ලුවිස් කැරල්ගේ ‘පුදුමලන්තයට ගිය ඇලිස්’ (ඇලිස් ඉන් වොන්ඩලන්ඞ්) සල්මන් රෂ්ඩිගේ ‘මැදියම් රැයේ දරුවන්’ (මිඞ්නයිට්ස් චිල්ඩ්‍රන්) හමුවන්නා සේය.

රන්වන් කෙස් හා නිල්වන් ඇස් ඇති මේ සියුමැලි දැරිය මුණගස්වා කෙමෙන් ඇගේ ගුප්ත ලෝකය තුළට කතුවරිය අප කැඳවාගෙන යන්නේ පෙර පාසල් ගුරුවරියකගේ සීරුවෙනි. මුලින් මුලින් දැරිය සිය හරිතමය මිතුරන් හා කරන කතාබහ, ගනුදෙනු ඇගේ නෑදෑයන් මෙන් අපද අපහසුතාවට පත් කළත් ඉක්මජ්්‍රනින්ම ඒ, මේ කෙලි පොඩිත්තගේ හැටි යැයි සිතන්නට පෙළඹේ. තනිපංගලමේ අවදානම් දෑ කරන්නට යොමුවන ඈ ගැන විටෙක ඇතිවන්නේ බියකි. කතාව දිගටම කියවාගෙන යන්නට සිත්වන ඵක් හේතුවක් නම් අවසානයේ මේ දැරියගේ ආරක්ෂාව තහවුරු වනු ඇතැයි යන අපේක්ෂාවය. එහෙත් ඈට ඒ ගැන වගක් නැති.
” They waded across
the river, child an dog,
and jumped from rock to
rock in deeper places.
They could still do that,
but when the monsoons
came, the river would
swell up, and they would
have to swim across. The
bank on the other side was
a long, wide, flat rock.
There were white patches
here and there on it, where
villagers had pounded the
dirt out of their clothes.
Thin flakes of left-behind
soap lay in several
crannies. Muthu collected
all of them. She did not
want them falling in the
river and getting into the
eyes of the pretty fish. She
hated soap on her face;
and imagined that fish
would feel the same way.”, (44 පිටුව)
(දැරියත් බල්ලාත් ගඟ හරහා ඇදුණේ ගැඹුරු තැන්වලදී ගලින් ගලට පනිමින්. තාමත් ඵහෙම කරන්න පුළුවන්කම තිබුණාට වැහි කාලෙට නම් දිය කඳ වැඩිවෙලා දෙන්නට ගඟ හරහා පීනන්න වේවි. ගඟේ ඵහා ඉවුර දිග පළලැති ගල්තලාවක්. ගම්මුන් රෙදි අපුල්ලපු තැන් සුදුැ, ගැහිලා තිබුණා. ගල් අස්සේ සබන් පතුරු. මුතූ ඵ්වා ඵකතු කළේ සබන් ගඟට වැටිලා අර ලස්සන මාලූන්ගෙ ඇස්වලට යනවට අකමැත්තෙන්. මූණේ සබන් ගානවට ඈ කැමති නෑ. මාලූන්ටත් ඵහෙම වෙන්න ඇති කියා ඈට හිතුණා.)

ළමයකුගේ ලෝකය තුළ ඕනෑ දෙයකට ඉඩ තිබේ. එබැවින් එය අප දන්නා ලෝකයට වඩා බොහෝ වෙනස් තැනකි. අපට නිකම්ම නිකම් පැරණිජ්්‍ර නුග ගසක් ඔවුනට දිගු රැවුලක් ඇති නත්තල් සීයා කෙනකු මෙන් පෙනෙන්නට බැරි නැත. (101 පිටුව) එවැනි ගසක් (කෙනකු) හා ඔවුන් කතාබහ කිරීම අරුමයක් නොවේ. ගස ඔවුන් හා පෙරළා කතා නොකරතැයි නිශ්චිතවම අපට කිව හැකිද? වැඩිහිටියන් වූ පසු අප විසින් ‘නොපෙනෙන ලෝකය’ ලෙස වෙනම මානයක තැන්පත් කරනු ලබන්නේ මෙවැනි ළමා කල අත්දැකීම්වල ශේෂ විය හැකිය. ලෝකය යනු තමන්ගේ අත්දැකීමයි.

නිදහස්කාමී, නිර්මාණශීලී දෙමාපියන්ගේ දියණිජ්්‍රයක, මොරටු විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු උපාධිධාරිනියක, ගුරුවරියක මෙන්ම සිය දරුවන් සිව් දෙනාත් සැමියාත් සමග ආගන්තුක රටවල දිවි ගෙවා ඇති කතුවරියගේ ප්‍රකාශයට පත්වන පළමු නවකතාවයි මේ. ග්‍රේෂන් ත්‍යාගය එලෙසින් බොහෝ අලුත් ලේඛක ලේඛිකාවන්ගේ දොරට වැඩුම වී ඇත්තේය. ශෙහාන් කරුණාතිලක එවැන්නෙකි.
භාෂාත්මක හා ආකෘතිමය අත්හදාබැලීම් ග්‍රේෂන් ත්‍යාගලාභී කෘතිවල දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණ දෙකක් වේ. සිංහල ලේඛකයෙකු වූ ජගත් කුමාරසිංහගේ ‘කයිඩ චෙට්ටි ස්ටී්‍රට්’ (2003) ඉංග්‍රීසියේ භාෂා රීති රැසක් අබිබවා ගිය අතර එය අයත් වනුයේ ‘ස්ටී්‍රම් ඔෆ් කොන්ෂන්ස්’ නොහොත් මනසේ ගලායාම අනුව ලියන ශෛලියටය. ‘ද ජෑම් ෆෘට් ටී්‍ර’ (1993) ලියූ කාල් මලර් භාවිත කළේ ශ්‍රී ලංකාවේ බර්ගර් ජාතිකයන්ට ආවේණිජ්්‍රක ඉංග්‍රීසියයි. මෙබඳු නැවුම් භාෂා හැසිරවීමක් ‘ස්ටෝරීස්’ තුළද සියුම් ලෙසින් දක්නට ලැබේ.
මව් නැති දැරිය ටිකෙන් ටික පරිසරය හා සොබාදහමේ කතාබහට සංවේදී වන අයුරු එක් තැනක මෙසේ දක්වා ඇත:
The paddy in the field
went hmmm, haaa,
hmmm. The stream
teased, bubble, drip,
tinkle. A bulbul on the
banyan tree would call,
asking “Can you find my
mah-ma? Caaaan you ..?
Can you, can you, caaaan
you?
(51 පිටුව)
(…. කුඹුරේ ගොයම් හම්ම්… හාාා… හම්ම්… ගෑවා. දියපාර පෙණ පුම්බලා, පුපුරවලා, සිලි සිලි ගාමින් කළේ විහිළුවක්. නුග ගහේ හිටි කෙවිලිය ඇහුවෙ මයෙ අම්මා, කෝ කෝ?… හොයා දියෝ, හොයා දියෝ කියලයි…)
‘ස්ටෝරීස්’හි භාෂාත්මක ගෙත්තම කදිමට නිරූපණය වන අවස්ථාවකි මේ. කතාවේ අන්තර්ගතයට අදාල යෙදුම එනම්, කෙවිලියගේ වැළපුම එන්නේ සිංහලයෙනි. ඉන් ඉංග්‍රීසි ලියවිල්ලට අමුතු ජීව ගුණයක් එක්වන්නේය. ඕනෑම භාෂාවක යෙදුම් වෙනත් භාෂාවකට අලුත් වන්නා සේම ඒවා සියුම් ලෙස සුදුසු තැනදී භාවිත කිරීම නිර්මාණයේ නැවුම් බවට හේතු වේ.
තවත් තැනක, දැඩි චරිතයක් වන දැරියගේ අත්තම්මා වලව්වේ සේවකයන් වෙත හෙළන්නේ මෙබඳු දෝස්මුරයකි:
“I will not allow any
more misfortunes to
befall my children. And if
any of you fail to conduct
yourself in a way that will
protect our family honour,
don’t call me the bad
one!” (79 පිටුව)
(මගෙ දරුවන්ට තවත් කරදර වෙන්න මං ඉඩ තියන්නෑ. උඹල එකෙක් හරි අපේ නම්බුව ආරක්ෂා නොවෙන විදියට වැඩ කරල තිබුණොත් මං නරක ගෑනිජ්්‍ර කියන්නෙපා)
විටෙක පල නොකියා පලා බෙදන උපන් රටේ පරිසරය විසිතුරු ලෝකයක් කරගන්නා මුතූ අට හැවිරිදි වියේදී එයට සමු දෙන්නට පෙර තවත් බොහෝ අසිරිමත් සිදුවීම් දිග හැරෙයි. ඒ සියල්ල සොබාදහමට හා දෛවයට සම්බන්ධය. නමුත් මේ කිසිැ, අවස්ථාවකදී භාවාතිශය නොවීම ‘ස්ටෝරීස්’හි වඩාත්ම අගය කළ යුතු ගුණයයි.
ගමේ ගොයම් පාගන, රබර් කිරි කපන අයුරු විස්තර කරන ආකාරයෙන්ම පේන කීම, ශාන්තිකර්ම හා පගා දෙන අන්දමත් කතුවරිය අප හමුවේ තබන්නේ එය හොඳ හෝ නරක ලෙසින් නොදකින දරුවකුගේ බඳු දුරස්ථ දැක්මකින්ය. දේශපාලන යෙන් ඔද්දල් වූ ජන සමාජයක් හැටියට අප තවමත් අපහසුතාවට පත්කරවන 83 ජූලිය මෙහි නිරූපණය වන්නේ උතුම් මිනිස් ගුණ ධර්ම ක්‍රියාත්මක වන අවස්ථාවක් ලෙසයි. බටහිර රටක වුව තිගැස්මෙන් කතා කරන මාතෘකාවක් වන ළමා අපචාරයකට සම්බන්ධ සිද්ධියක් ඉතා සීරුවෙන් කතාවට සම්බන්ධ කර ඇත්තේය. අහඹු තැනක, මරණය නම් අප හැම පෙළන ධර්මතාව විග්‍රහ කර ඇති සැහැල්ලුව අතිශයින් රම්‍ය වේ.
The little people of the
paddy knew that their
days were numbered as
harvesting drew nearer,
but it did not seem to
bother them at all. They
saw death merely as a
change of from, a shift
from one life to another ,
and no spirit was ever sad
about dying. (115 පිටුව)
(…. අස්වනු කාලෙ ළං වෙද්දි තව ටික දවසයි තියෙන්නේ කියල ගොයම දැනගෙන හිටියත් ඒ අයට ඒව ගාණක් නෑ. මේ විදිය වෙනස් වෙනවා. එක ජීවිතේකින් තව ජීවිතේකට යනවා වගේ තමයි ඒ අය මරණෙ දැක්කෙ. ඉතිං කවුරුවත් දුක් වුණේ නෑ.)
මෙවර ග්‍රේෂන් ජූරිය ‘ස්ටෝරීස්’ සඳහා ගෙන හැර දක්වන හේතු පාඨයේ මෙසේ සඳහන් වේ:
‘.. එකිනෙකා හා වෙඩ්ළුණු චරිත ගොන්නක දෛවය හමුවේ පාඨකයන් ප්‍රමෝදයට පත්කරන වර්ණවත් වියමන උදෙසාත්, සමීපත්වය මෙන්ම පෞද්ගලිකත්වය ඉක්මවා යන ස්වභාවයද සාර්ථකව රඳවාගත් කතා හුයක් ගෙතීම උදෙසාත්, නිර්මාණාත්මක භාෂා භාවිතයෙන් ප්‍රබන්ධ කතාව නැවතත් කාව්‍යාත්මක කිරීම උදෙසාත්ය.’
මෙසේ වාර්ෂිකව ඔවුන් තෝරාගනු ලබන්නේ ලංකාවෙන් ලෝකයට යා හැකි, නොහොත් ජාත්‍යන්තර තලයේ කෘතියකි.
විසිවැනි සියවසේ මුල සිටම ආනන්ද කුමාරස්වාමි වැනි ජාත්‍යන්තර කීර්තියට පත් ලේඛකයෝ අපට සිටියහ. එහෙත් ඒ අතර ඉංග්‍රීසියෙන් ප්‍රබන්ධ කතා ලියූ කිසිවකු සිටියේ නැති. ලංකාවේ ජීවන විත්ති සිය මතක ඇසුරෙන් ලියූ ජිනදාස විජේතුංගගේ ‘ග්‍රාස් ෆො මයි ෆීට්’ නූතන ලෝකයේ අවධානය දිනාගත් අපේ මුල්ම ප්‍රබන්ධාත්මක කෘතිය විය හැකි වේ. පසු කලෙක රටේ අගමැති වූ ඇස්ඩබ්ලියුආර්ඩී බණ්ඩාරනායක ඉංග්‍රීසියෙන් රහස් පරීක්ෂක කතා ලියා ඇත. ‘මහහේනේ රීරියකා’ ලෙසින් පසුව පරිවර්තනය වන්නේ ඉන් එකකි. විජේතුංග මෙන් ලංකාවෙන් පිටත ජීවත් වෙමින් 1960-90 අතර කාලයේදී ප්‍රබන්ධ කතාකරුවන් ලෙස නමක් දිනාගත් දෙදෙනෙකි කොලින් ද සිල්වා සහ රෝස්මරී රොජර්ස්. ද සිල්වා ‘වින්ඞ්ස් ඔෆ් සිංහල’ වැනි ඉතිහාස කතා ලියූ අතර ලංකාවේ ඉපදී ඇමරිකාවේ ජීවත්වන සුප්‍රකට රෝස්මරී රොජර්ස් වැඩි වශයෙන් ලියා ඇත්තේ මෙරට අත්දැකීම් පිළිබඳව නොවේ.

ලංකාවේ ජීවත් වෙමින් සිය ප්‍රබන්ධ කතා සඳහා ජාත්‍යන්තර ප්‍රකාශකයකුගේ අවධානය මුල්වරට දිනාගන්නට සමත් වී යැයි සැලකෙන්නේ ජේම්ස් ගුණවර්ධනය. ශ්‍රී ලංකා ගුවන්විදුලියේ සේවය කළ ඔහුගේ ‘වන් මෑඞ් බිඞ් ෆො ෆ්‍රීඩම්’ (1990) සුප්‍රකට පෙන්ගුයින් ප්‍රකාශනයක් ලෙසින් එළිදක්වන ලදි. ප්‍රබන්ධකරණය නිසා විදෙස් රටක මහත් සම්භාවනාවට පත්වූ ශ්‍රී ලාංකික ලේඛිකාවකි යැස්මින් ගුණරත්න. ඔස්ටේ්‍රලියානු රජයෙන් ඇයට ‘ඕඩර් ඔෆ් ඔස්ටේ්‍රලියා’ ගෞරව සම්මානය හිමිවන්නේ ‘අ චේන් ඔෆ් ස්කයිස්’ වැනි ඉතා ජනප්‍රිය වූ නවකතා ලිවීම හේතුවෙනි.

දැන් සාහිත්‍ය ලෝකය හොඳින් දන්නා ශ්‍රී ලාංකික නම් සහ කෘති රැසකි. රොමේෂ් ගුණසේකරගේ ‘රීෆ්’ (1994), ජින් අර්සනාගයගම්ගේ ‘ඕල් ඉස් බර්නින්’ (1995), ශ්‍යාම් සෙල්වදුරෙයිගේ ‘ෆනී බෝයි’ (1994), මයිකල් ඔන්ඩච්චිගේ සොයුරු ක්‍රිස්ටෝපර් ඔන්ඩච්චිගේ ‘ද මෑන් ඊටර් ඔෆ් පුනානෙ’ (1992), මිෂෙල් ඩි ක්‍රෙස්ටර්ගේ ‘ද හැමිල්ටන් කේස්’ (2003), නයෝමිනී මුණවීරගේ ‘දි අයිලන්ඞ් ඔෆ් තවුසන්ඞ් මිරර්ස්’ (2012) ලෝකය පුරා සාහිත්‍ය උළෙලවලදී බොහෝ සම්මාන හා නිර්දේශ දිනාගන්නට සමත්ව ඇත. මේ මොහොත වන විට ‘අශෝක් ෆෙරි’ නම් ආරූඪ නාමයෙන් ලියන ශ්‍රී ලාංකික නවකතාකරුවාගේ කෘතියක් ඉන්දියාවේ ඩී.එස්.සී සාහිත්‍ය සම්මානය සඳහා නිර්දේශ වී ඇති බව සැලයි.

මෙසේ අවධානයට ලක්වන්නේ අන් කිසිවක් නොව අපේ රටේ වර්තමාන ජීවන අත්දැකීම්ය. එහි ඇති විවිධත්වය එම නිර්මාණවල මෙන්ම නිර්මාණ කරුවන්ගේ නම්වලින් ප්‍රකට වේ. ජාත්‍යන්තර තලයේදී එය සාරවත් ලක්ෂණයක් බව අප තේරුම් ගත යුතුයි. ඉංග්‍රීසියෙන් අප වෙන්කරනු වෙනුවට එකතු කර ඇත්තේය, කොටු කරනු වෙනුවට නිදහස පෙන්වා දී තිබේ. සුප්‍රකට සිනමා තිරකතා රචකයකු වන රොබට් මැකී සිය විෂය පිළිබඳ ලියූ ‘ස්ටෝරි’ නම් වූ කෘතියේ පෙන්වා දෙන අන්දමට ලෝකය දැන් නැවුම් නිර්මාණාත්මක කතා සොයා හැරෙන්නේ පෙරදිගටය. ලොව පුරා සැරිසරමින් පොත් ලියන්නට ගෙදර එන අපේ සම්මානනීය නවකතාකරු ශෙහාන් කරුණාතිලක කියන්නේ කතා ඇත්තේ මෙහි බවයි. ලංකාවෙන් ලෝකයට යන දේ අතර කතන්දර තිබීම කෙතරම් අරුමයක්ද? චාරුලතාගේ ‘ස්ටෝරීස්’ ඒ අතරට එක්වන්නට බොහෝ දුරට ඉඩ තිබේ.
උපුටාගැනීම් : ‘ස්ටෝරීස්’ – චාරුලතා අබේසේකර තේවරතන්ත්‍රි (2017)
ආශ්‍රිත තොරතුරු :‘ද ලිටරරි එන්සයික්ලොපීඩියා’, ‘විකිපීඩියා’, ‘ගූගල්’,
ආචාර්ය හර්ෂණ රඹුක්වැල්ල, ආචාර්ය ශ්‍රීනාත් ගනේවත්ත.■