රාවය

එක මල්පැණි සිංදුවක් කළොත් ආ ගමන ඉවරයි / ඉන්දික රුවන්

එක මල්පැණි සිංදුවක් කළොත් ආ ගමන ඉවරයි / ඉන්දික රුවන්

රේඛා නිලුක්ෂි හේරත්

ඉන්දික රුවන් ජනප්‍රිය තරුණ ගායකයෙකි. ඔහු ‘රූනි’ යන නමින්ද බොහෝ දෙනෙක් හඳුනති. ‘ගගන සරන්නට කියා’ නම් වූ සමනල සංධ්වනිය චිත්‍රපටියේ ජනප්‍රිය ගීය සමඟ බොහෝ දෙනෙකු ඔහු හඳුනාගන්නට ඇත. ‘සප්ත ස්වරයයි, මගෙ ගිටාරෙ අරගෙන, ඇනා සර්ගෙව්නා, දුඹුරු ළමිස්සී’ ඇතුළු නිර්මාණ රැසක ගායකයා ඔහුය. ඉන්දික රුවන් හුදෙක් ජනප්‍රියත්වය පසුපස නොගොස් හොඳ නිර්මාණ කරන්නට වෙහෙසෙන තරුණයෙකි. ඒ නිසාම සිංහල ගීයෙන් ඈත්ව බටහිර, ඉන්දියානු ගීයට ඇදීයන තරුණ රසික ප්‍රජාව අතරේද ඔහු ජනප්‍රියව සිටියි.

ඉන්දික රුවන් හෙවත් රූනි අද උපයාගෙන ඉන්නා ජනප්‍රියත්වය, මුදල් සහ වටිනාකම් සියල්ල පිටිපස්සෙ තියෙන්නේ මොනවාද?
හැකියාව තියෙනවා කියන එක මට විශ්වාසයි. ලොකු සල්ලිකාරයෙක් නෙවෙයි නම්, පවුල් පසුබිමකුත් නැත්නම් මේ ක්ෂේත්‍රයේ ඉස්සරහට එන්න නම් අංක එකට තියෙන්න ඕනෑ හැකියාව. යාළුමිත්‍රකම්වලට ගායකයො හදන්න බෑ. හැබැයි හැකියාව විතරක් නෙවෙයි, යම් වාසනාවකුත් ඕනෑ. නිසි තැන නිසි වෙලාවට ඉන්න වාසනා ගුණයක් තියෙන්න එපැයි. ඒ දෙක විතරක් තිබුණත් මදි. ලොකු කැපකිරීම් සහ වෙහෙසක් තියෙන්න ඕනෑ.

ඔබේ ජීවිතේ ඇතුළේ ඔය කැපකිරීම, වාසනාව, හැකියාව වැඩකළේ කොහොමද? අතීතය කෙටියෙන් මතක් කරමුද?
මම කුරුණෑගල හිටියේ. මම හැදුණෙ ගම්උදාවෙන් ලැබුණු ගෙවල් පිරුණු ගමක, පුංචි නිවසක. අම්මා, තාත්තා, අයියා සහ නංගි හිටියේ. අපව හදන්න තාත්තලා ගොඩක් මහන්සි වුණේ ආර්ථික අපහසුතා මැද්දේ. යම් පමණකට ඉගෙනගත්තා. හැබැයි ආසාව තිබුණේ වෙන දේකට. ගායනයට නම් නෙවෙයි. පාපන්දුවලට. ඉස්කෝලේ ඉවරවෙලා පාපන්දු ක්‍රීඩකයෙක් විදියට සෙල්ලම් කරන්න ගත්තා. රස්සාව වුණෙත් ඒක. ඒ ගැන ගෙදරින් හැමදාම බැනුම් තමා ලැබුණේ. අවුරුදු විසිඑක වෙනකං ඔහොම ගෙවුණා. ආර්ථික අපහසුතා වැඩිවෙද්දී ගෙදරින් රස්සාවක් කරන්න කියලා බරබරේ දැම්මා. ඒ නිසා බුක්ෂොප් එකක රස්සාවට ගියා. ඔය කාලේ අයියා කෙනෙක් බුක්ෂොප් එකට ආවා පොතක් අරගෙන ෆොටෝකොපි ගහන්න. පොතේ තිබුණේ ඉංග්‍රීසි සිංදු හතළිස් ගණනක පදමාලා. මම අර අයියාගෙන් ඉල්ලුවා සිංදුවක් කියලා පෙන්වන්න කියලා. එයා සිංදුවක් කීවා. මම ආස වුණා. මමත් ෆොටෝ කොපියක් ගහගෙන සිංදු පුරුදුවෙන්න ගත්තා. පොතේ තියෙන සිංදු හතළිස් ගාණම අහලා කියන්න පුරුදුවුණා. සිංදු කියන්න පුරුදුවෙන්න සම්පූර්ණ කාලය වෙන්කළා. බුක්ෂොප් එකේ ජොබ් එක හැර අතිරේක කාලය වැයවුණේ සිංදු කියන්න පුරුදුවෙන්න. එතැන තමයි කැපවීම තිබුණේ. ආසාව මිසක් තරුවක් වෙන්න බලාගෙන නෙවෙයි. ගැයීම මට ලෝකෙ උපරිම සතුට වුණා. පාපන්දුත් අත්හැරියා.

ගායකයෙක් වුණේ කොහොමද?
මම පටන්ගත්තේ එළිමහන් ප්‍රසංගවලින් සහ සුපර් ස්ටාර් තරගවලින්. හැබැයි ඒ පාර මට විවෘත වුණේ නැහැ වාසනාවකට හෝ අවාසනාවකට. දවසක් ගමේ මියුසිකල් ෂෝ එකක් තිබුණා. යාළුවන්ගේ ඉල්ලීම පිට මම බැක්ස්ටී්‍රට් බෝයිස්ලාගේ ක්විට් ප්ලේයින් ගේම්ස් කියන සිංදුව වේදිකාවේ කිව්වා. සෑහෙන ප්‍රතිචාර ආවා. සතුට වැඩිකමට මට එදා රෑ නින්ද ගියේත් නෑ. ආසාව උඩ මම රශ්මි කියන බෑන්ඞ් එකක සිංදු කියන්න අවස්ථාවක් හොයාගත්තා. ගිටාර් පන්තියකට ගිහිල්ලා මියුසික් ටිකක් විතර ඉගෙනගත්තා. ඔය අතරේ සුපර්ස්ටාර් දෙවැනි අදියරට ගියා. ඒකේ අන්තිම හතළිස් අටට ආවා. ආයෙමත් සීසන් තුනට ආවා. ඒකෙදීත් අන්තිම විසිහතරෙදී විතර කැපිලා ආයෙමත් ගමට ගියා.

ඔය අවාසනාව වාසනාවක් වුණේ කොහොමද?
දර්ශන රුවන් දිසානායක කියන තරුණ, දක්ෂ සංගීතඥයා ගමට ආ නිසා. ඔහු කුරුණෑගලට ආවේ වෙන දෙන්නෙකුට සිංදු හදන්න. මම එදා එයාව මුණගැහුණා. මගේ කටහඬ අහපු ඔහු මං වෙනුවෙන් ස්පැනිෂ් වගේ ආරෙට යන සිංදුවක් සහ රෂියන් ටියප් එකේ සිංදුවක් නිර්මාණය කළා. දර්ශනට මාව සෙට් වුණා. මම නිතර කොළඹ එන්න ගත්තා. අයිටීඑන් එකේ හෙයිඩි කියන නාට්‍යයේ තේමා ගීතය මට ලැබුණා. ඒක ජනප්‍රිය වුණත් මාව කවුරුත් හඳුනගත්තේ නෑ. ඔය අතරේ තමයි සමනල සංධ්වනිය ආවේ. මාව ජයන්ත චන්ද්‍රසිරි මහත්තයාට හඳුන්වලා දීලා, දර්ශන මට ‘ගගන සරන්නට’ ගීය ගයන්න දුන්නා. සිංදුව වොයිස් කරද්දී ජයන්ත චන්ද්‍රසිරි මහත්තයා වගේම අමරසිරි පීරිස් මහත්තයාත් හිටියා. දෙන්නාම මගේ කටහඬ ගැන සුබ පැතුවා. හිරු සිනමා සම්මාන උළෙලේදී මට හොඳම පසුබිම් ගායනයට සම්මානය ලැබුණා. ඉතිං ඒ සිංදුවට හැකියාව තිබුණා මාව වෙනම තලයකට ඔසවන්න.

ගගන සරන්නට ගීය නිසා ජනප්‍රිය වුණත් ඔබ ඊට කලින් සිංදු කිහිපයක්ම කරලා තිබුණා නේද?
මම විශ්වාස කරන විදියට මම කළ හොඳම ගීය ගගන සරන්නට නොවෙන්න පුළුවන්. හොඳම ගීය මොකක්ද කියලා මම දන්නේ නෑ. හැබැයි තව ලස්සන සිංදු ගොඩක් තියෙනවා. මේ සිංදුව ජනප්‍රිය වෙන්න ගීයේ ලස්සන විතරක් නෙවෙයි, පසුබිමත් බලපෑවා. ඒකයි මම කිව්වෙ, ලස්සන කටහඬක් තිබුණාට මේ ක්ෂේත්‍රයේදී මදි. මිනිස්සු රසවත් සිංදු හොයන්නේ සිංදුව අහලා විතරක් නෙවෙයි.

ගගන සරන්නට ජනප්‍රිය වෙද්දී ඔබ සාර්ථක වෙන්න ගත්තාද?
එහෙම වුණේ නෑ. සිංදුව මිසක් මාව කවුරුත් අඳුනාගත්තේ නෑ. බොහෝදෙනෙක් හිතුවේ මේක අමරසිරි පීරිස් මහත්තයා හෝ උද්දික ප්‍රේමරත්න කිව්වා කියලා. දර්ශන රුවන් මට කිව්වා ඔයා සිංදුවට වීඩියෝවක් කරන්න කියලා. මට සල්ලි තිබුණේ නෑ. මම ජයන්ත චන්ද්‍රසිරි මහත්තයාගෙන් රූප දර්ශන ටිකක් ඉල්ලගත්තා. ඔහු වීඩියෝවකට ගැළපෙන්න එඩිට් කරලා පවා දර්ශන ටිකක් දෙන්න කාරුණික වුණා. මම වීඩියෝවක් කරලා ටීවී චැනල්වලට දුන්නා. මම මීට කලිනුත් සිංදු අරගෙන ටීවී, රේඩියෝ චැනල් පස්සෙ ගිහින් තියෙනවා. අනන්ත රස්තියාදු වුණත් එක්කවත් දාන්න නැතිව ඇති. අඩුගාණේ සෙකියුරිටි එකෙන් ඇතුළට ගියාද දන්නෑ ඒවා. ඒත් ගගන සරන්නට ප්ලේ නොකර බැරි සිංදුවක්. මුලින්ම සිංදුව හිරු ටීවී එකේ චාට් ෂෝ එකේ ගියා. මිනිස්සු අහන්න ගත්තා. ඒකෙන් මගේ සලකුණ තියන්න මට හැකිවුණා. ඊට පස්සේ මම කළ සිංදුවලට තැනක් ලැබෙන්න ගත්තා. දැන් සිංදු අරගෙන මීඩියා පස්සේ යන්නේ නෑ. මේල් එකකින් සිංදුව යැව්වත් එයාලා ගන්නවා.

ඒ කියන්නේ දැන් ඔබට ලොකු පිළිගැනීමක් තියෙනවාද?
එහෙමම නැහැ. ලංකාව පුදුම රටක්. කොච්චර කැපවුණත් සමහර දේවල් ලැබෙන්නේම නෑ. මම ගායන පැළැන්තියකින් එන්නේ නැහැනේ, මගේ තාත්තා හරහා ගොඩනැඟුණු සම්බන්ධතාත් නෑ. මාව උස්සන්න එෆ්එම්, රූපවාහිනී නාලිකාත් නෑ. හිට් වෙන්න තරම් සල්ලිත් නෑ. ඉතින් මම අවුරුදු තිස්හයේදී ගගන සරන්නට සිංදුවත් එක්ක ජනප්‍රිය වෙන්න කලින් සංගීත ක්ෂේත්‍රයෙ ඉහළට එන්න අවුරුදු පහළොවක් තිස්සේ උත්සාහ කරද්දී, ගොඩක් තැන්වල වුණේ මාව කපලා දාන එක. එතැනින් පස්සේ අමාරුවෙන් නමක් හදාගත්තාට දැන් වුණත් මාව කපන්න පුළුවන් හැම හේතුවක්ම හොයාගන්න සමහරු උත්සාහ කරනවා. ජනප්‍රිය සංස්කෘතියේ විතරක් නෙවෙයි. ඔය හොඳයි කියලා කියන, ප්‍රබුද්ධයි සංස්කෘතිය ඇතුළේත් ඒක තියෙනවා. කවුරුත් වරදවා වටහාගන්න එපා. හොඳ අය ගොඩාක් ඉන්න බව ඇත්ත. ඒත් සමහර තැන්වල ඉන්නේ, අපි වගේ අය කොහෙන්ද කඩාපාත්වුණ කරදරකාරයො විදියට සලකලා හලලා දාන අය.

විවිධ සිංදු රැලි යනවා එනවා. ඔබ ඒවාට ගයන්නේ නැත්තේ ඇයි? ඔබ සිංදුවක් කියන්නේ මොන තත්ත්වයන් බලලාද?
ඔය මල්පැණි සිංදු රැල්ල පරිප්පු හොද්දක් වගේ නම්, ඒක අස්සේ රසට හැපෙන කරවල කෑල්ලක් වගේ මගේත් තව තරුණ නිර්මාණකරුවන් කිහිපදෙනෙකුගේත් ගීතවලට අනන්‍යතාවක් තියෙනවා. මගේ කටහඬත් එක්ක ලැටින් සංගීතය යනවා. ඒ නිසා මගේ සාර්ථක නිර්මාණ අතරේ ලැටින් මියුසික් එක්ක යන සිංදු තියෙනවා. රුසියානු, ඉංග්‍රීසි වගේ ශෛලීන් මට ගැළපෙනවා. ඔපෙරා වගේ බටහිර ආරයන් මට ගැළපෙනවා. අනෙක් පැත්තෙන් තවමත් එළියට නොදාපු රොක්, සෙමි රොක් ශෛලීන්වල ගීත කිහිපයක් කරන්න මට හැකිවුණා. ඒ ටික තමයි මගේ සීමාව. මගේ හැකියාව. ලෝකෙ වගේම ලංකාව ඇතුළෙත් ශ්‍රේෂ්ඨතම ගායකයො ගන්න. එයාලා තමන්ගේ හැකියාව, හඬ පරාසය ඇතුළේ මිසක් ඉන් පිට සිංදු කළේ නැහැනේ. ඉතින් මම වුණත් මොන සිංදු රැල්ල ආවත් මට ගැළපෙන නිර්මාණ මිසක් වෙන වෙන නිර්මාණ කරන්න යන්නේ නෑ. දැන් ගායකයන්ට සල්ලි හොයන්න ක්‍රම තියෙනවා. එක රැයින් මාර ජනප්‍රිය වෙන්නත් පුළුවන්. හැබැයි ඒ සල්ලි කඳුවලට වඩා හිත පිරෙන්න නිර්මාණ කිරීමයි වැදගත්. එක රැයින් ජනප්‍රිය වෙන්න බැරිවෙයි. ඒත් කාලය ගෙවෙද්දී ප්‍රතිඵල ලැබෙයි. මට සිංදු කිහිපයක් ඇවිල්ලා තියෙනවා. ඔයා එන්න එපා, ඇවිල්ල යන්න එපා, මගේ හිත රිදෙනවා වගේ පල් වෙච්ච වචන දාපු රැල්ලට යන සිංදු. රින්ග්ටෝන්, ප්‍රසංග වේදිකාවට ගැළපෙන මල්පැණි සිංදු. ලොකු මුදල් කඳු එක්ක ඒවා එන්නේ. හැබැයි මම ඒ අයටත් උත්තර දුන්නේ තව ටිකක් හොඳ නිර්මාණයක් කරමු, මේවා බැහැ කියලා. මොකද එක මල්පැණි සිංදුවක් කළොත් මම ආපු ගමන සම්පූර්ණයෙන් ඉවරයි. මගේ මහන්සිය වතුරේ. මට ආයේ කවදාවත් ගොඩ එන්න බැරිවේවි.

ඔබ එළිමහන් ප්‍රසංග දකින්නේ කොහොමද?
මම ප්‍රසංග වේදිකාවේ රැඳෙන්නත් තිබුණා. ප්‍රසංග වේදිකාවේ තියෙන්නේ මියුසික්වලට වඩා ටිකක් වෙනස් දෙයක්. මට මියුසික් ගැන උනන්දුවයි වැඩිපුර තිබුණේ. මගේ කටහඬ මිනිස්සුන්ට විඳින්න සලස්වන්නෙ කොහොමද කියලායි මම හිතුවෙ. ඉතින් මම එළිමහන් ප්‍රසංගවලට කැමැත්තක් දැක්වුවේ නෑ. ඒත් මම ආවේ ඒවායින්. සමහරවිට මම එතැනම ඉන්නත් ඉඩ තිබුණා. එළිමහන් ප්‍රසංගවල තත්ත්වය ශෝචනීයයි. ගායනය එක්ක සංගීතය කිසිම සම්බන්ධයක් නෑ. එළිමහන් ප්‍රසංගවල මියුසික් පැත්තෙන් වැඩක් කරන්න උත්සාහ කරන අයත් ඉන්න බව ඇත්ත. හැබැයි ගොඩක් වෙලාවට මම කියපු සිංදුවක් ඇහුවාම මමද මේක කිව්වේ කියලා හිතෙනවා. අනෙක් පැත්තෙන් ප්‍රසංගයක් බලන්න එන්නේත් සාමාන්‍ය මිනිස්සු. එයාලාට හරියන්නෙ නටන්න ගැහුවොත් තමයි. පන්ච් එකට සිංදු ටිකක් කියන එක තමයි එතැන වෙන්නේ.

හැබැයි ඔබ එළිමහන් ප්‍රසංගවලට යනවා නේද?
මට ආර්ථික පැත්තේ ගැටලුත් තියෙනවා. ඉතින් මට වැඩි කැමැත්තක් නැතිවුණත් අතරින් පතර එළිමහන් ප්‍රසංගවලටත් යන්න වෙලා තියෙනවා. මගේ සිංදු රින්ගින්ටෝන්වලට විකුණලා නෑ. මට ශ්‍රවණාගාරවල ප්‍රසංගවලට හැම වෙලාවෙම ආරාධනා ලැබෙන්නෙත් නෑ. මම තනියම ප්‍රසංගයක් කළොත් මිනිස්සු එන්නේත් නෑ. මට තියෙන විකල්පය මොකක්ද? ඉතින් මම සිය පාරක් හිතලා සාපේක්ෂව ටිකක් හරි හොඳට මියුසික් කරන ගෘප් එකක් එක්ක ප්‍රසංගයකට ඉඳහිට යනවා.
ඔබ කිව්වා ශ්‍රවණාගාර ප්‍රසංගවලට ආරාධනා ලැබෙන්නෙ නැහැ කියලා.
කොන්සර්ට්වලට සිංදු කියන්න පුළුවන්, නිර්මාණ තියෙන දක්ෂ තරුණයෝ පිරිසක් ඉන්නවා. හැබැයි ගායකයන් කිහිපදෙනෙක්ට තමයි අවස්ථාව ලැබෙන්නේ. සමහරු බයයි අලුත් අයට අවස්ථාව දෙන්න. සමහරුන්ගෙ සාධාරණ බියක් ඇති අපව දැම්මොත් මිනිස්සු නෑවිත් ප්‍රසංගය අසාර්ථක වෙයි කියලා. මාව එකතුකරගත්තොත් ප්‍රසංගයට වෙනසක්, රසයක් එකතුවෙයි කියලා කෙනෙක් හිතනවා නම් මාව ගනියි.

ඔබේ සිංදුවල නැවුම් පදමාලා වගේම වෙනස් සංගීත රචනා තියෙනවා. සිංදුවකට වචනවල සහ සංගීතයේ තියෙන වටිනාකම ගැන ඔබට උනන්දුවක් තියෙනවා නේද?
මම ගොඩක් උනන්දු වෙනවා වචන ගැන. මට ජයන්ත චන්ද්‍රසිරි, අමිල තේනුවර, රවී සිරිවර්ධන, චරිත දිසානායක, සුරම්‍යා මාපිටිය වගේ එකිනෙකට වෙනස් සහ මහන්සිවෙලා යමක් ලියන අයගෙ වචන ලැබිලා තියෙනවා. මට ආස හිතෙන, මාවත් රිද්දන වචනවලට මම කැමතියි. එහෙම එකක් හැඟීම් එක්ක ගයන්න පුළුවන්. එහෙම දැනෙන්නෙ නැත්නම් මම ඒ සිංදු කියන්නෙ නෑ. දර්ශන රුවන්, නයන කරුණානායක, නවරත්න ගමගේ, මහේෂ් විතාන වගේ දක්ෂ සංගීතඥයෝ එක්ක වැඩකරන්න මම වාසනාවන්ත වුණා.

දැන් ඉන්න තැන ගැන හිතන්නේ මොනවාද? අනාගතය ගැන හිතෙන්නේ මොකක්ද?
අදටත් මම මහා මුදලක් හොයන්නෙ නැති බව ඇත්ත. හැබැයි මට හිතට සතුටක් තියෙනවා. මම බස්වල ආවා ගියා. දැන් පොඩි වාහනයක් ගත්තා. ගෙදරට යමක්කමක් කරගන්න පුළුවන්. තව හොඳ නිර්මාණ කරන්නත්, ලෝකය සහ සංගීතය ගැන ඉගෙනගන්නත් තමයි හීන දකින්නෙ. දක්ෂ සංගීතඥයන් හා පද රචකයන් එක්ක වැඩ කරන්න ලොකු ආසාවකින්, ලොකු උණකින් මම ඉන්නවා. මගේ කටහඬෙන් නොගත් ප්‍රයෝජන තියෙනවා නම් ගන්න මම කැමතියි.■