රාවය

මෛත්‍රීව 2025 තෙක් තියාගන්න උත්සාහයක්

මෛත්‍රීව 2025 තෙක් තියාගන්න උත්සාහයක්

තරිඳු උඩුවරගෙදර

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා හා ශ්‍රීලනිපයට හානි නොවන ආකාරයේ එකඟතාවක් ඇති කර ගැනීම සඳහා 2025 දක්වා මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපති ධුරය දැරීමට අවස්ථාව ලබා දී විශේෂ බලතල කිහිපයක් ඒ දක්වා ජනාධිපතිවරයාට පැවරීම සඳහා දේශපාලන පක්ෂ නායකයන් කිහිපදෙනෙකු අතර සාකච්ඡා ඇති වී තිබේ.

දැනට ජනාධිපති ධුරයේ සිටින මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලය 2020 ජනවාරි 09 වැනිදා තෙක් බලපැවැත්වෙන අතර 2019 අගදී නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමටත් එම ව්‍යවස්ථාව අනුව එක්වරම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකර පියවර කිහිපයකින් එය සිදු කිරීමටත් යෝජනා කර ඇත.

ඒ අනුව 2019 සිට 2020 ජනවාරි දක්වා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලය ක්‍රියාත්මක වන අතර 2020 ජනවාරි 09 වැනිදායින් පසුව ජනාධිපතිවරණයක් වෙනුවට නව ක්‍රමය අනුව පාර්ලිමේන්තුව තුළ ඡන්දයක් පවත්වා ජනාධිපතිවරයා පත් කරගැනීමට අදහස් කර ඇත. එහිදී ප්‍රධාන පක්ෂවල එකඟතාවයන් මෛත්‍රීපාල සිරිසේන මහතාම ජනාධිපති ධුරයට පත්කර ගැනීමට සාකච්ඡා කර ඇත.

ජනාධිපති තනතුර සඳහා 2020 – 2025 ධුර කාලය සඳහා යම් විශේෂ බලතල පැවරිය යුතු බවටත් 2025 න් පසුව එම බලතල පාර්ලිමේන්තුවට පැවරිය යුතු බවටත් එකඟතාවක් ඇති කරගැනීම සඳහා එම දේශපාලන නායකයෝ උත්සාහ කරති. අගමැතිවරයා මේ වන විට එසේ විශේෂ බලතල කිහිපයක් 2025 දක්වා ජනාධිපති ධුරයට පැවරීමට එකඟ වී ඇත. දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතාද එම එකඟතාවය මත සාකච්ඡා කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පැවසුවේ තමන් නියෝජනය කරන එක්සත් වාමාංශීක පෙරමුණ පසුගිය දිනවල සාකච්ඡා මට්ටමේ පැවති එම යෝජනාවට එකඟතාව පළ කරන බවයි. ඉදිරියේදී ඒ සඳහා අනෙක් පාර්ශවයන්ගේ එකඟතාව ලබාගැනීමට උත්සාහ කරන බවත් ඔහු කීය.■