රාවය

මෙහෙයුම් කමිටු යෝජනාවලට දේශපාලන පක්‍ෂ ඉදිරිපත් කළ අදහස්

මෙහෙයුම් කමිටු යෝජනාවලට දේශපාලන පක්‍ෂ ඉදිරිපත් කළ අදහස්

තරිඳු උඩුවරගෙදර

ව්‍යවස්ථාවකට සුජාතභාවය හිමිවෙන්නට නම් සියලුදෙනාගේ අදහස්වලට ඇහුම්කන් දී සියලුදෙනාගේ සහයෝගය ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට හිමිවිය යුතුය. මේ වන විට ඉදිරිපත් කර ඇති මෙහෙයුම් කමිටු අතුරු වාර්තාවට රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු කණ්ඩායම් සහභාගි විය. ඒකාබද්ධ විපක්ෂයත්, ජවිපෙත්, ශ්‍රීලනිපයත්, එජාපයත්, හෙළ උරුමයත්, මුස්ලිම් කොංග්‍රසයත් වෙනත් සුළුතර පක්ෂත් මෙහෙයුම් කමිටුවේ රැස්වීම්වලට ක්‍රියාකාරීව සහභාගි විය. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාත් ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයාත් මේ කමිටුවේ ක්‍රියාකාරී සාමාජිකයෝ වූහ.

ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව තම අවසන් වාර්තාව සකස් කිරීමෙන් පසුව එහි ඇති කරුණුවලට එකඟ නොවෙන සාමාජිකයෝ තම අදහස් මෙහෙයුම් කමිටු වාර්තාවට වෙනම එකතු කළෝය. එක්සත් ජාතික පක්ෂය හැර අනෙක් පාර්ශ්වයන් තම අදහස් ඉදිරිපත් කර ඇත. ඔවුන්ගේ අදහස වුණේ, මෙහෙයුම් කමිටුවේ අදහසට පිටින් කියන්නට දෙයක් තම පක්‍ෂයට නැති බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ඒකාබද්ධ විපක්ෂය, හෙළ උරුමය තම අදහස් තනිව ඉදිරිපත් කර තිබුණි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, රිෂාද් බදියුදීන් මහතාගේ සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය, මනෝ ගනේෂන් – දිගම්බරන් – රාධක්‍රිෂ්ණන් ඇතුළු දෙමළ ප්‍රගතිශීලී සන්ධානය සහ ඩග්ලස් දේවානන්දා ඇතුළු ඊපීඩීපී පක්ෂය එක්ව යෝජනා ඉදිරිපත් කර තිබුණි. එම ඒකාබද්ධ යෝජනා අතරිනුත් ඩග්ලස් දේවානන්දා සහ රිෂාද් බදියුදීන් පාර්ශ්ව කරුණු කිහිපයක් පමණක් වෙනම දක්වා තිබුණි.

මේ සටහන සැකසෙන්නේ නව ව්‍යවස්ථාවක් පිළිබඳ ක්‍රියාවලියට විවිධාකාරයෙන් සහභාගි වෙමින් මේ පාර්ශ්වයන් විසින් දක්වා තිබුණු එකිනෙතකට වෙනස් අදහස් ඇසුරෙනි. මෙම ලිපියේදී රාජ්‍යයේ ස්වභාවය, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දියයුතු ආකාරය ගැනි කියැවෙන නවවැනි වගන්තිය, ජාතික ගීය සහ විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ යෝජනා සැලකිල්ලට ගත් අතර ඉදිරි සතියේදී බලතල බෙදීමේ මූලධර්ම ඇතුළු තවත් වැදගත් යෝජනා සැලකිල්ලට ගැනීමට බලාපොරොත්තු වෙමු.
ව්‍යවස්ථාවක්ද? සංශෝධනයක්ද?

සියල්ලට පෙර නව ව්‍යවස්ථාවක් පිළිබඳ අදහසටම ආණ්ඩුවේ දෙවැනි ප්‍රධාන පාර්ශ්වය වන ශ්‍රීලනිපය එකඟ වී නැති බව සිහිතබා ගත යුතුය. ශ්‍රීලනිපය තම යෝජනා සහ අදහස් අතර නිරන්තරයෙන්ම සඳහන් කර ඇත්තේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ලෙස නොව ව්‍යවස්ථා සංශෝධනයක් ලෙසයි. විශේෂයෙන් මැතිවරණ ක්‍රමය පිළිබඳ සඳහන් කරද්දී ශ්‍රීලනිපය කියන්නේ මැතිවරණ ක්‍රමය පිළිබඳ ව්‍යවස්ථා සංශෝධනයක් මුලින් සම්මත කළ යුතු බවයි. ශ්‍රීලනිපය තම වාර්තාවෙන් පරිබාහිරවද නව ව්‍යවස්ථාවක් වෙනුවට ජනමත විචාරණයකට නොයන අන්දමේ ව්‍යවස්ථා සංශෝධනයක් පමණක් කළ යුතු බව කියයි. ඒකාබද්ධ විපක්ෂයත් තම යෝජනාවලියෙහි ප්‍රථමයෙන් සඳහන් කරන්නේ ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ජනමත විචාරණයකට යෑම සඳහා ජනවරමක් ලැබී නැති බවයි. නව ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමට නම් ජනමත විචාරණයක් අවැසි නිසා ඒකාබද්ධ විපක්ෂයද ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා එකඟ වී නැති බව පැහැදිලි වෙයි.
අනෙක් පාර්ශ්ව සියල්ලම නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙක් එකඟතාව දක්වති. ඒ අතරින් ජනතා විමුක්ති පෙරමුණ දැඩිව පෙන්වාදෙන්නේ පවතින ව්‍යවස්ථාව වෙනුවට නව ව්‍යවස්ථාවකට යා යුතු බවයි. ඔවුන් පෙන්වන්නේ දැන් පවතින ව්‍යවස්ථාව 19 වතාවක් සංශෝධනය වූ විකෘතියක් නිසා හැත්තෑඅටේ ව්‍යවස්ථාවට තව තවත් පැලැස්තර දමමින් ඉදිරියට ගෙන යා නොහැකි බවයි.

ඒකීයභාවය
දිගින් දිගටම ව්‍යවස්ථාවෙහි ඒකීයභාවය පිළිගත යුතු බවට සිංහල ජාතිකවාදීහු තර්ක කළෝය. අනෙක් පැත්තෙන් දෙමළ ජාතිකවාදීන් දිගින් දිගටම පෙන්වාදුන්නේ ලංකාව ෆෙඩරල් රාජ්‍යයක් ලෙස පිළිගත යුතු බවයි. මේ දෙපාර්ශ්වය අතර එකඟතාවක් ජාතියේ ඉදිරිගමන සඳහා අත්‍යවශ්‍ය විය. අනෙක් පැත්තෙන් වසර ගණනාවක් තිස්සේ පැවති ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම සඳහා කළ යුතු අත්‍යවශ්‍ය මූලික වෙනස්කමක් ලෙස සන්ධීය ආකාරයේ ව්‍යවස්ථාවක් ඇති කරගත යුතු බව දකුණේ විද්වතුන් අතරද පිළිගැනීමට ලක්වූවකි.

මෙහෙයුම් කමිටු වාර්තාව යෝජනා කරන්නේ එවැනි සන්ධීය රාජ්‍යයක් නොවේ. ඇතැම් දෙමළ ජාතිකවාදීන් මෙන්ම දෙමළ ජාතික සන්ධානයත් ඉල්ලන සන්ධීය රාජ්‍ය ව්‍යුහය මෙහෙයුම් කමිටුව විසින් පිළිගෙන නැත. යෝජනා කර ඇත්තේ ජාතිකවාදීන් විසින් ඉල්ලා ඇති ඒකීය රාජ්‍ය ක්‍රමයකි. දෙමළ ජාතික සන්ධානය මෙහෙයුම් කමිටු වාර්තාවේ ඇති මේ යෝජනාවට වෙනස් යෝජනාවක් ඉදිරිපත් කර ඇත. ‘ශ්‍රී ලංකාව පළාත් ඒකාබද්ධ වූ රාජ්‍යයක් විය යුතුය. එක්සත් නොබෙදුණු හා නොබෙදිය හැකි රටක් යන රාමුව තුළ ශ්‍රී ලංකාව සන්ධීය රාජ්‍යයක් විය යුතුය.’ එය දෙමළ ජාතික සන්ධානයේ යෝජනාවයි. ශ්‍රී ලංකාව යුනයිටඞ් රිපබ්ලික් ඔෆ් ශ්‍රී ලංකා යනුවෙන් හැඳින්විය යුතු බව ඔවුහු යෝජනා කරති. ඒ අනුව ශ්‍රී ලංකා එක්සත් ජනරජය යනුවෙන් සිංහලෙන්ද ඓක්‍ය ඉලංගෛ කුඩියරසු යනුවෙන් දෙමළින්ද හැඳින්විය යුතු බව මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පාර්ශ්වය ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවලියෙන් කියයි.

එහෙත් ඔවුන් එකඟ වී ඇත්තේ ප්‍රධාන පාර්ශ්වයන් එකඟ වන්නේ නම් මෙහෙයුම් කමිටුවේ දක්වා ඇති අන්දමට රාජ්‍යයේ ස්වභාවය පවත්වාගෙන යෑමට සහාය දෙන බවයි. ඒ අතින් මේ ව්‍යවස්ථා යෝජනාව ජාතිකවාදීන්ගේ අදහස්වලට මඳක් එහාට ගිය වෙනස්කම්වලට දෙමළ ජනතා නියෝජිතයන්ගේ කැමැත්ත ලබාගැනීමක් ලෙසත් හැඳින්විය හැකිය.

යුනිටරි යන වචනය ඓතිහාසිකව වෙනස් වී ඇති බව මෙහෙයුම් කමිටු වාර්තාව පෙන්වාදෙයි. අප විසින් ඒකීය රටක් යන යෙදුමට දී ඇති අර්ථය ව්‍යවස්ථානුකූලව යුනිටරි යන වචනයට දැන් ලැබෙන්නේ නැත. අයර්ලන්තය සහ ස්කොට්ලන්තය ඇතුළත් බි්‍රතාන්‍යය යුනිටරි රාජ්‍යයකි. එහෙත් දැන් ස්කොට්ලන්තය බි්‍රතාන්‍යයෙන් වෙන්වීමට සූදානම් වෙයි. යුනිටරි යන වචනයෙන් දැන් විස්තර වෙන්නේ නොබෙදිය හැකි රටක් යන්න නොවේ. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රමයක් පමණි. එහෙත් ඒකීය යන්නෙන් නොබෙදිය හැකි රටක් යන්න මනාව විස්තර වෙයි. එබැවින් ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි යෙදුමෙහිද ඒකීය යන වචනය යෙදිය යුතු බව මෙහෙයුම් කමිටුවෙහි යෝජනා කර ඇත. දෙමළ පිටපතෙහි ඔරුමිත්ත නාඩු යන වචනය යෙදිය යුතු බව එම වාර්තාව කියයි.
‘ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයකි’ යන වචනය ඉංග්‍රීසි සහ දෙමළ පරිවර්තනවලත්, ඒකීය යන සිංහල වචනයම තිබිය යුතු බව ශ්‍රීලනිපය පෙන්වාදෙයි.

එහෙත් ඒකීය රාජ්‍යය යන්න වෙනුවට ඉංග්‍රීසි සහ දෙමළ පිටපත්වල වෙනත් අර්ථයන් එන නම් යෝජනා කර ඇති බව ඒකාබද්ධ විපක්ෂය කියයි. ඔවුන්ගේ අර්ථකථනය ඔරුමිත්ත යන්නෙන් ‘එකතුවුණ රට’ අර්ථය එන බවයි. එයින් මීට පෙර බෙදී තිබුණු බවට ඇඟවුමක් එන බව ඔවුහු කියති. ඉංග්‍රීසි පිටපතෙහි ඒකීය යන සිංහල වචනය සඳහන් කිරීමට ඔවුහු බිය පළකරති. ඒකීය යන්න ඉංග්‍රීසි භාෂාවෙන් අර්ථයක් නොදෙන වචනයක් බව ඔවුනගේ අදහසයි. එහෙත් මෙහෙයුම් කමිටුව පෙන්වාදෙන්නේ සියලු පිටපත්වල ඒකීය යන්නෙහි තේරුම ලෙස ‘කිසිදා නොබෙදිය හැකි, නොබෙදන රටක්’ යන අර්ථය ව්‍යවස්ථාවෙන්ම පැහැදිලි කළයුතු බවයි.

ඒකාබද්ධ විපක්ෂය යෝජනා කරන්නේ ඒකීය යන්නට අර්ථකථනය ලෙස මධ්‍යගතව උත්තරීතර පාර්ලිමේන්තුවක් තිබීම, වෙනත් ද්විතීයක ස්වාධිපත්‍යයික ආයතන නොමැති බව යන්න සඳහන් විය යුතු බවයි.

නවවැනි වගන්තිය
බොහෝ අය විසින් සංවාදයට ලක් කර තිබුණේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදෙන බවට ව්‍යවස්ථාවේ තිබුණු නවවැනි වගන්තිය ඉවත් කරනු ඇතිද යන්නයි. මෙහෙයුම් කමිටු වාර්තාව විසින් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදෙන වගන්තිය පැවතිය යුතු බව පෙන්වාදෙන අතර එම වගන්තියට සංශෝධනයක් එකතු කරමින් අනෙකුත් ජනවර්ගයන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කළයුතු බවට පෙන්වාදී ඇත. එහෙත් නවවැනි වගන්තිය වෙනස් නොකළ යුතු බව ශ්‍රීලනිපය කියයි. ඒකාබද්ධ විපක්ෂයත් කියන්නේ එයමයි.

ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් විය යුතු බව දෙමළ ජාතික සන්ධානය යෝජනා කරයි. එහෙත් අනෙක් සියලු කණ්ඩායම් එකඟ වෙන්නේ නම් සියලු ජනවර්ගවල අයිතීන් ආරක්ෂා වෙන පසුබිමක බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලැබිය යුතු බවට වගන්ති ඇතුළත් කිරීම ගැන දෙමළ ජාතික සන්ධානය එකඟතාව පළ කරයි. ඔවුන් ඉල්ලන්නේත් ශ්‍රීලනිපය සහ ඒකාබද්ධ විපක්ෂය ප්‍රතික්ෂේප කරන්නේත් අනෙක් ජාතීන්ටද සමාන අවස්ථාව දිය යුතු බවට ඇති කරුණයි.

ඊපීඩීපී පක්ෂයද යෝජනා කරන්නේ ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් විය යුතු බවයි. එහෙත් ඊපීඩීපීය සමඟ එක්ව යෝජනා ඉදිරිපත් කළ අනෙක් පක්ෂ තුන ඒ පිළිබඳව කියන්නේ මෙසේය. ‘ශ්‍රී ලංකා ජනරජය බුද්ධ දර්ශනය සඳහා ප්‍රමුඛස්ථානය දෙනු ඇති අතර ඒ අනුව 10වැනි සහ 14 වැනි ව්‍යවස්ථා හරහා සෑම ආගමකටම ලබා දී ඇති අයිතිවාසිකම් සහතික කරමින් බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම හා පෝෂණය කිරීම රජයේ වගකීම වනු ඇත.’

ජාතික හෙළ උරුමය පවසන්නේ, ශ්‍රී ලංකාව නිරාගමික රාජ්‍යයක් වශයෙන් පැවති බවත් නවවැනි වගන්තිය හරහා බුද්ධාගම රාජ්‍යය ආගම බවට පත්කර නැති බවත්ය. එය හුදු වචන සැරසිල්ලක් පමණක් බව ඔවුහු කියති. එහෙත් එම වගන්තිය බුද්ධාගම සහ රාජ්‍යය අතර බැඳීම සංකේතවත් කරමින් පවත්වාගෙන යා යුතු බවත්, අනෙකුත් ජාතීන්ගේ මූලික අයිතිවාසිකම් රැකෙන වගන්ති හරහා එම අයිතිවාසිකම් ආරක්ෂා විය යුතු බවත් හෙළ උරුමය පවසයි.

ජාතික ගීය
ජාතික ගීය සම්බන්ධයෙන් මෙහෙයුම් කමිටුව වැදගත් යෝජනාවක් ඉදිරිපත් කරයි. දැනටත් ව්‍යවස්ථාවේ දෙමළ පිටපතෙහි සඳහන් වන පරිදි ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ අදහසක් වන ජාතික ගීයේ දෙමළ පර්වර්තනය ව්‍යවස්ථාවේ පිටපත් තුනටම ඇතුළත් කළ යුතු බවට කමිටුව යෝජනා කර ඇත. ඒ ගැන ශ්‍රීලනිපය විරුද්ධ නැත. ජාතික හෙළ උරුමයත් එයට කැමැත්ත පළ කර ඇත. එහෙත් ඒකාබද්ධ විපක්ෂය පමණක් එයට විරෝධය පළ කර ඇත.

විධායක ජනාධිපති ක්‍රමය
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බව ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතිඥා දී ඇතත් ශ්‍රීලනිප යෝජනාවලියෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළ යුතු බව කියයි. එය ඔවුන්ගේ වචනවලින් මෙසේය. ‘අද පවතින ආකාරයේ විධායක ජනාධිපතිධූරය සම්පූර්ණයෙන් අහෝසි කිරීම ප්‍රඥාගෝචර නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතයයි. විශේෂයෙන් විශාල බලතල ප්‍රමාණයක් පළාත් සභාවලට පවරාදෙන අවස්ථාවකදී රටේ ඒකීයභාවය ආරක්ෂා කිරීම සඳහාත් රටේ ස්ථාවරභාවය ආරක්ෂා කිරීම සඳහාත් අද ලෝකයේ විවිධ රටවල සිදුවන ත්‍රස්තවාදී හා බෙදුම්වාදී ක්‍රියාවලියන් පිළිබඳ සැලකිල්ලට ගනිමින් රටේ ස්ථාවරභාවය පවත්වාගෙන යාම සඳහාත් රටේ ස්ථාවරභාවය රැකගැනීම සඳහාත් බලතල ප්‍රමාණයක් සහිතව යම් ජනාධිපතිවරයෙකු කෙලින්ම ජනතා ඡන්දයෙන් තෝරාගත යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතයයි. එවිට රටේ සෑම කොට්ඨාසයකටම පටු ජාති ආගම්වාදයෙන් තොරව ජනාධිපතිවරයා තෝරාගැනීමේ ක්‍රියවලියේ කොටස්කාරයෙකු වීමට අවස්ථාවක් ලැබෙන හෙයින් එය ජාතික සංහිඳියාව සඳහා ප්‍රායෝගික වූ ක්‍රමවේදයක් වේ.’

මීට අමතරව විධායක ජනාධිපති ක්‍රමයට පක්ෂව තවත් පාර්ශ්වයන් කිහිපයක් අදහස් දක්වා ඇත. ජාතික හෙළ උරුමය කියන්නේ පළාත් සභා ක්‍රමය පවත්නා තත්ත්වයක් තුළ විධායක ජනාධිපති ක්‍රමය අනිවාර්යයෙන් පවත්වාගෙන යා යුතු බවයි. ‘පාර්ලිමේන්තු ක්‍රමය අවශ්‍යයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී බවටත් ජනාධිපති ක්‍රමය අවශ්‍යයෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී බවටත් සමහර වාමවාදී කොටස් අතර ඇති මතය පදනම් විරහිත එකකි.’ හෙළ උරුමය කියයි.

සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය, දෙමළ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ඊපීඩීපී සහ ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළ යුතු බව යෝජනා කරයි. ඔවුන් දැඩිව යෝජනා කරන්නේ විධායක ජනාධිපති ක්‍රමය අනුව ජනාධිපතිවරයා වෙනම ජනාධිපතිවරණයකින් තෝරා පත් කරගත යුතු බවයි. ඔවුන්ගේ යෝජනාව සිංහල, ශ්‍රී ලංකා දෙමළ, මුස්ලිම් සහ මලය දෙමළ හෙවත් ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ යන ප්‍රජාවන් අතරින් ජනාධිපතිවරයා පත්වෙන ප්‍රජාව හැර අනෙක් ප්‍රජාවන් නියෝජනය කරන උපජනාධිපතිවරුන් තිදෙනෙකු සිටිය යුතු බවයි.
ආචාර්ය ජයම්පති වික්‍රමරත්නගේ යෝජනාවලියෙහි ඔහු මෙසේ සඳහන් කරයි.

‘විධායක ජනාධිපති පාලන ක්‍රමය අහෝසි කිරීමට මම පක්ෂ වෙමි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සහ දෙවැනි මන්ත්‍රී මණ්ඩලයෙන් සමන්විත ඡන්ද විද්‍යාලයක් විසින් ජනාධිපතිවරයාව පත්කරනු ලැබිය යුතුය. ජනාධිපතිවරයා සාමාන්‍යයෙන් අගමැතිවරයාගේ උපදෙස් අනුව කටයුතු කළ යුතු නමුත් ජනාධිපතිවරයා අගමැතිවරයාගේ අදහස් විමසීමෙන් අනතුරුව යම් යම් බලතල ක්‍රියාවේ යෙදවීම සම්බන්ධයෙන් මාගේ විරෝධයක් නොමැත.’

විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කළයුතු බවට ජවිපෙද දැඩිව කරුණු දක්වා ඇත. දෙමළ ජාතික සන්ධානය මෙහෙයුම් කමිටු වාර්තාවෙහි කරුණුවලට එකඟවන නිසා ඒ පිළිබඳව තම යෝජනාවලියෙහි කිසිවක් සඳහන් කර නැත.

අගමැතිවරයා
සමස්ත යෝජනාවලිය පිළිබඳ එක්සත් ජාතික පක්ෂය කිසිදු යෝජනාවක් ඉදිරිපත් කර නැත. ඔවුන් පවසන්නේ මෙහෙයුම් කමිටු වාර්තාවෙහි ඇති කරුණු සමඟ තමන් එකඟවන බවයි. එහෙත් එක්සත් ජාතික පක්ෂයේ යෝජනා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ මෙහෙයුම් කමිටුවේ වාර්තාවට ඇතුළත් කර ඇතැයි පෙනෙන්නේ අනෙක් සියලු පාර්ශ්වයන් එකඟ වී නැති අගමැතිවරයා පත් කරගැනීම සඳහා වෙනම මැතිවරණයක් පිළිබඳ යෝජනාව නිසාය. මෙහෙයුම් කමිටු වාර්තාවෙහි අගමැතිවරයා පත් කරගැනීම සඳහා වෙස්ට්මිනිස්ටර් ක්‍රමය, මහමැතිවරණයේදී අගමැති අපේක්ෂකයා නම් කිරීමේ ක්‍රමවේදය සහ තුන්වැනි යෝජනාවක් ලෙස අගමැතිවරයා සඳහා මැතිවරණයක් පැවැත්වීම ගැන යෝජනා කර ඇත. මෙය එක්සත් ජාතික පක්ෂය මීට පෙර ඉදිරිපත් කළ ව්‍යවස්ථා කෙටුම්පතෙහි තිබුණු යෝජනාවකි. අප කළ විමසීම්වලදී අනෙක් සියලු පාර්ශ්වයන් එම යෝජනාවට දැඩි විරෝධය පළ කර ඇති බව දැනගන්නට ලැබුණි.
මේ යෝජනාව ශ්‍රීලනිපය තම යෝජනාවලියෙන් තරයේ ප්‍රතික්ෂේප කරයි. ඔවුන් පෙන්වන්නේ අග්‍රාමාත්‍යධුරය වෙස්මිනිස්ටර් ක්‍රමයටම තෝරාගත යුතු බවයි. එනම් පාර්ලිමේන්තු මැතිවරණයෙන් පත්වෙන කණ්ඩායම් අතරින් වැඩි පිරිසකට අග්‍රාමාත්‍යවරයා තෝරාපත්කර ගැනීමේ හැකියාව තිබිය යුතු බවයි. ජවිපෙද අගමැතිවරයාට විශේෂ තත්ත්වයක් යෝජනා වෙන අන්දමේ යෝජනා ප්‍රතික්ෂේප කරයි. දෙමළ ජාතික සන්ධානය හැර අනෙක් පාර්ශ්වයන්ද වෙස්ට්මිනිස්ටර් ක්‍රමයට අගමැතිවරයා තෝරාපත් කරගත යුතු බව පෙන්වාදෙති.
විවිධ පක්ෂ විවිධ යෝජනා ඉදිරිපත් කර ඇති පසුබිමක වැදගත් වෙන්නේ මේ විවිධ යෝජනා අතරින් සියල්ලන්ට එකඟවිය හැකි යෝජනා මත ව්‍යවස්ථාව සකස් කිරීමයි. ඒ සඳහා නායක මට්ටමෙන් නිරන්තරයෙන් සාකච්ඡා ඇතිකරගැනීම මෙන්ම මේ යෝජනා පිළිබඳ මහජන මතයට කන්දීමත්, මහජනයා තුළ ඇති වැරදි අවබෝධයන් නිවැරදි කිරීමත් අත්‍යවශ්‍ය වෙයි. ඒ සියල්ලට කාලයට බාරදිය හැකිය. එහෙත් කාලය වේගයෙන් දිවයන බවත් දැනටමත් වසර දෙකක්ම ගෙවී ගොස් ඇති බවත් සිහිතබාගත යුතුය.■