රාවය

පුනරුදයේ සංවාද

පුනරුදයේ සංවාද

වික්ටර් අයිවන්

මීට සති දෙකකට ඉහතදී රාවයේ පළවූ ‘චින්තනයේ දුගීකමේ ඓතිහාසික වටාපිටාව’ යන ලිපියට හා එහි ඉංග්‍රීසි පරිවර්තනයට (එය පසුගිය සතියේ සන්ඬේ අයිලන්ඞ් පුවත්පතේ පළකර තිබුණි.) දුරකතන, ඊමේල් හා එස්එම්එස් පණිවුඩ මගින් ලැබී තිබෙන හා ලැබෙමින් තිබෙන ප්‍රතිචාරවල ප්‍රමාණය මගේ පුදුමයට හේතුවන තරම් විශාලය. බොහෝ දෙනකු කියා ඇත්තේ එය ඇස් අරවන වර්ගයේ විශ්ලේෂණයක් වන බවය. එම ලිපිය කියවූ අය මා විසින් ලියා පළ කර තිබෙන ‘ජාතියේ ඛේදවාචකය’ නමැති පොත් පිංචද, ඉංග්‍රීිසියෙන් කියවන්නකු නම් එම පොතේ ඉංග්‍රීසි පරිවර්තනය වන .ඔයැ ඔර්ටසජ ඡකසටයඑ දf ් භ්එසදබ. නමැති පොත් පිංච ද කියවිය යුතුය. චින්තනමය වශයෙන් ලංකාවේ සිටින නොදියුණු හා පසුගාමී තත්ත්වයද ඒ කෙරෙහි බලපා තිබෙන හේතූන් ද නිවැරදි ලෙස තේරුම් ගැනීමෙන් තොරව ලංකාව මුහුණදී තිබෙන අවුල් ජයගනිමින් ලංකාව නවීන රටක් බවට පත්කළ නොහැකිය.

ප්‍රශ්න කිරීමට ලක් කළ යුතුව තිබෙන හැම දෙයක්මත් ප්‍රශ්න කිරීමකට ලක් කිරීම පුනරුද ව්‍යාපාරයේ වැදගත් ප්‍රතිපත්තියක් ලෙස සැලකිය හැකිය. සමාජ ප්‍රගමනයට අවශ්‍ය අවස්ථාවලදී ඉතාමත් ශුද්ධ වූ දේවල් ලෙස සැලකෙන දේවල් පවා ප්‍රශ්න කිරීමට පුනරුද ව්‍යාපාරය බියවන්නේ නැත. අපේ සිතුම් පැතුම් හා ආකල්ප සේ ම චින්තනයේ පවත්නා පටුභාවයද වෙනස් කරගැනීමට හැකිවනු ඇත්තේ එවැනි ප්‍රශ්න කරන ප්‍රවේශයකින් පමණය. සත්‍යය සොයා යන ගමනේදී තර්ක කිරීමට ලැබෙන වැදගත්කම අපට කියාදී තිබෙන්නේ සොක්‍රටීස්ය. ඔහු එම අයිතිය වෙනුවෙන් ජීවිතය පූජා කළ ප්‍රථමයා ලෙස සැලකිය හැකිය.

පුනරුද ව්‍යාපාරය අනගාරික ධර්මපාලතුමාගේ හා ආරුමුගම් නාවලර්තුමාගේ චින්තනය විවේචනය කරන විටත්, ආණ්ඩුවේ වස විස නැති ධාර්මික කෘෂිකර්ම ප්‍රවේශය විවේචනය කරනවිටත්, කෘෂිකර්මයට හානි කරන වන සතුන් සම්බන්ධයෙන් පවත්වාගෙන යන උපාසක පිළිවෙත විවේචනය කරනවිටත්, කෘෂිකර්මයේදී වී වගාවටද, ආහාරවලදී බත්වලටද ලබාදී තිබෙන ප්‍රමුඛ වැදගත්කම විවේචනය කරන විටත් පුනරුද ව්‍යාපාරය මහජනයාගේ කෝපයට හේතුවී පුනරුද ව්‍යාපාරය මහජනයා අතින් විනාශයට පත්වන ව්‍යාපාරයක් වනු ඇතැයි සිතන අය පවා සිටියෝය. එහෙත් එම විෂයයන්හිදී අප කරන විවේචනයන් මහජනයාfාග් බුද්ධි ප්‍රබෝධයට මිස, ඔවුන්ගේ කෝපයට හේතුවූයේ නැත. අප එහිදී කරන ලද විවේචනයන් ජනප්‍රිය විශ්වාසයන්ට පටහැනි වුවද මහජනයා පුළුල් ලෙස කරුණු සලකා බලන තැනකට ගෙන ගියේය. එම න්‍යාය පුනරුදය ව්‍යාපාරය ශක්තිමත් කිරීමට මිස එය දුර්වල කිරීමට හේතුවූයේ නැත.

රජය හා වන සතුන්
වන සතුන්ගෙන් කෘෂිකර්මයට හා ග්‍රාමීය ජන ජීවිතයට සිදුවී තිබෙන හානිය අළලා මා ලියන ලිපි කියවන දන්ත වෛද්‍යවරයෙක් දුරකතනයෙන් මා අමතා කතා කොට ඒ සම්බන්ධයෙන් අනුගමනය කළ හැකි අපූරු ප්‍රතිපත්තියක් මට යෝජනා කළේය. මෙම දන්ත වෛද්‍යවරයා හොඳ කියවන්නෙකු ලෙස සැලකිය හැකිය. ඔහු කියවන දේවල් අතර තිබෙන හොඳම දේවල් මගේ කියවීම සඳහා ද ඔහු මට ඊමේල් කොට එවන්නේය. මෙය ඔහු කිසියම් දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන යමින් තිබුණු ප්‍රතිපත්තියක් ලෙසද සැලකිය හැකිය. එම වෛද්‍යවරයාගේ නම සේන ද සිල්වාය. ඔහු ජීවත්වන්නේ මහනුවරය.

ඔහු මට යෝජනා කළ අදහස ඉතාමත් අපූරුය. එය වන සතුන්ගෙන් බැටකන ග්‍රාමීය ජනතාවගේ විශේෂ අවධානය යොමුවිය යුතුව තිබෙන හොඳ යෝජනාවක් ලෙස සැලකිය හැකිය. දුලබ වන සතුන් රජය ආරක්ෂා කළ යුතුය. එවැනි සතුන් මරන්නට මහජනයාට ඉඩ නොදිය යුතුය. එසේම මහජනයාට හානි නොකරන තත්ත්වයක තබා ගැනීමේ වගකීම රජයට ඇත්තේය. එවැනි වන සතුන්ගෙන් මහජනයාට හානි සිදුවූ අවස්ථාවලදී සිදුවූ අලාභය රජයෙන් අය කරන ක්‍රමයක් ඇති කළ යුතුය. මෙය අධිකරණ තීන්දු මගින් ස්ථාපිත කර තිබෙන බොහෝ රටවල්වල ක්‍රියාත්මක වන අයිතියකි. රජයේ ආරක්ෂාව ලබන වන සතුන් මිනිසුන්ට හෝ ඔවුන්ගේ වගාවන්ට හානිකරන අවස්ථාවකදී පෙරළා ආරක්ෂාව සඳහා පහරදීමේ අයිතියක් මහජනයාට නැත්නම් එම වන සතාගේ භාරකාරයා වශයෙන් ඌ කරන හානියට රජය වන්දි ගෙවිය යුතුය. නිවසක ඇති කරන බල්ලෙකු පිටස්තරයෙකු සපාකෑ අවස්ථාවකදී බල්ලාගේ අයිතිකරු එම බල්ලා සපා කෑ පුද්ගලයාට සුදුසු වන්දියක් ගෙවන්නට නීතිමය වශයෙන් බැඳී සිටින්නේය. එම ධර්මතාව රජය ආරක්ෂා කරන වන සතුන් සම්බන්ධයෙන්ද ක්‍රියාත්මක විය යුතුය. මෙම අයිතිය උසාවි ක්‍රියාමාර්ග මගින් ස්ථාපිත කරගත යුතු අයිතියක් බව ඔහු කියා සිටියේය. මා හිතන්නේ එම දන්ත වෛද්‍යවරයා ඉදිරිපත් කළ අදහස බැරෑරුම් මහජන අවධානයට ලක්විය යුතු නඩු පැවරීම් මගින් ස්ථාපිත කරගත යුතු අයිතියක් කියාය.

රජය ආරක්ෂා කරන සතුන් මහජනයාට හෝ ඔවුන්ගේ වගාවන්ට හානි කරන අවස්ථාවලදී මහජනයා රජයට එරෙහිව නඩු පවරා වන්දි ඉල්ලා සිටින තැනකට යා යුතුය. උසාවි ක්‍රියාමාර්ග ඔස්සේ එම අයිතිය තහවුරු කරගත හැකි නම් රජය භාරයේ සිටින වන සතුන් මහජනයාට හිරිහැර නොකරන ආරක්ෂිත තත්ත්වයක තබාගැනීමට රජය ක්‍රියාකරනු ඇතැයි සිතිය හැකිය.
වන සතුන් සම්බන්ධයෙන් ලංකාවට ඇත්තේ මහජන ආරක්ෂාව මුළුමනින් නොසලකා වන සතුන් ආරක්ෂා කරන ප්‍රතිපත්තියක්ය. මිනීකන කිඹුලන්ට සිත්සේ මිනිසුන් මරා කෑ හැක. ආරක්ෂාව සඳහාවත් මැරීමේ අයිතියක් මහජනයාට නැත. එසේ කරන අයට දැඩි දඬුවම් දෙන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වේ. මිනී කන කිඹුලන්ට මහජනයා ජීවත් වන ප්‍රදේශවල ජීවත්වන්නට ඉඩ නොදිය යුතුයි යන ප්‍රතිපත්තියක්ද ආණ්ඩුවට නැත. මිනී කන කිඹුලන් සිටින ගංගා උන් සඳහාම වෙන් කොට දී එම ගංගා පරිහරණය කිරීම මහජනයාට සීමාකර තිබේ. මෙය වල්බූරු ප්‍රතිපත්තියක් බව අමුතුවෙන් කිවයුතු නැත. අනිකුත් වන සතුන් සම්බන්ධයෙන්ද ක්‍රියාත්මකවන්නේ එවැනි මෝඩ ප්‍රතිපත්තියකි. ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන මිනිසුන්ට හා වගාවන්ට හානිකරන වන සතුන්ගේ ගහණය පාලනය කරන ප්‍රතිපත්තියක් රටට නැත. රටට ඇත්තේ ඒ සියලු සතුන්ට නිදහසේ වර්ධනයවීමට ඉඩදීමේ ප්‍රතිපත්තියකි. නීතිය අනුව වල් ඌරන් මැරීම තහනම් නැතත් උන් මරන අය පොලිසිය අත්අඩංගුවට ගනී. වල් ඌරකු මැරූ පුද්ගලයකු මරන ලද ඌරා සමඟ පොලිසියට ගෙනයන දර්ශනයක් රූපවාහිනී නාලිකාවක විකාශය විය.

අලින්ගේ ගහණය වනාන්තරවල ජීවත්විය හැකි සංඛ්‍යාවට වඩා 50%කින් පමණ වර්ධනය වී තිබේ. අලින්ගේ ගහණය පාලනය කරන ක්‍රමයක්වත් අතිරික්තයද ඉවත් කරන ක්‍රමයක්වත් රටට නැත. දොස්තර සේනගේ යෝජනාව ක්‍රියාත්මක කළ හැකි නම් මිනිසුන්ගේ ආරක්ෂාව මුළුමනින් නොසලකා වන සතුන්ගේ ආරක්ෂාව ගැන පමණක් සලකා ක්‍රියාත්මක වන ප්‍රතිපත්තිය සමබර කළ හැක. එවිට රජය නීතියෙන් ආරක්ෂා කිරීමට බැඳී සිටින සතුන් මිනිසුන් හා ඔවුන්ගේ වගාවන්ට හානි කරන අවස්ථාවලදී වන්දි ගෙවීමට රජයට සිදුවන්නේය. එය රජයට ඉසිලීමට පහසු නැති වැය බරක් වන නිසාම වන සතුන් පිළිබඳ පවත්වාගෙන යන ප්‍රතිපත්තිය සමබර තත්ත්වයකට ගැනීමට ආණ්ඩුව පොළඹවයි. මෙම විෂයය ක්ෂේත්‍රය ජනහිතකාමී නීතිඥයන්ටද අලුතෙන් දක්ෂතා පෙන්වන ක්ෂේත්‍රයක් බවට පත්කරගත හැකිය.

පුනරුද ව්‍යාපාරය
පුනරුදය ව්‍යාපාරය ශාඛා ගොඩනගන තැනකට ගියේ 2016 වසරේ දෙසැම්බර් මැදදීය. පළමු පුනරුද ශාඛාව ගොඩනගන ලද්දේ දෙසැම්බර් 16 වැනිදා මාරවිලදීය. දෙවැනි ශාඛාව ගොඩනගන ලද්දේ දෙසැම්බර් 17 වැනි දින පොල්පිතිගමදීය. 3 වැනි ශාඛාව ගොඩනගන ලද්දේ දෙසැම්බර් 18 වැනිදා මහනුවරදීය. ආරම්භක ශාඛා තුන ගොඩනගන ලද දිස්ත්‍රික්ක තුනේම ගතවී තිබෙන කෙටි කාලය අනුව ගත් විට සතුටුවිය හැකි තරමේ හොඳ ව්‍යාප්තියක් සිදුවී ඇතැයි කිව හැකිය. ඒ හැම දිස්ත්‍රික්කයකම ශාඛා 20කට ආසන්න හෝ ඊට වැඩි ගණනක් තිබෙන අතර දිස්ත්‍රික් කමිටු ක්‍රමයක්ද ක්‍රියාත්මක වේ. දිස්ත්‍රික් කමිටු ගොඩනගා ඇත්තේ ශාඛාවලින් තෝරාගත් නියෝජිතයන්ගෙනි. රටක් වශයෙන් ගත් විට පිහිටුවා තිබෙන ශාඛා සංඛ්‍යාව 140කට ආසන්නය. ගතවී ඇති කාලය මාස 10ක් ලෙස සලකන විට මසකට ගොඩනගා තිබෙන සාමාන්‍ය ශාඛා සංඛ්‍යාව 14කි. ශාඛා ගොඩනැගීමේදී වැඩියෙන් බර තබා ඇත්තේද දුෂ්කර ප්‍රදේශවලටය.
ශාඛා ගොඩනගන සාකච්ඡා සභා මගින් අපේක්ෂා කළේ පුනරුද මතවාදයට තිබෙන පිළිගැනීම උරගා බැලීමකට ලක්කිරීමය. ඒ සමඟ සාකච්ඡා සභාවලට එන මිනිසුන් අතර සිටින මුතු මැණික් වැනි දක්ෂ හොඳ මිනිසුන් හඳුනා ගැනීමය. එවැනි අය විශේෂ වශයෙන් හඳුනා ගැනීමට අවශ්‍ය වූයේ ගොඩනගමින් තිබෙන අත්තිවාරම සඳහා එවැනි මිනිසුන් අවශ්‍යවීම නිසාය. ඒ මගින් අපේක්ෂා කරන්නේ ලෞකික අර්ථයෙන් ශක්තිමත් සාදු ජන ව්‍යාපාරයක් ඇති කර ගැනීමය. වර්ග, ආගම් හා කුල භේදයෙන් තොර සාධාරණ ලෙසත්, තර්කානුකූල ලෙසත් සිතන මිනිසුන්ගේ සැබෑ මහජන ව්‍යාපාරයක් තැනීමය.

පුනරුද ව්‍යාපාරය දරන අදහස්වල විශේෂ ස්වරූපය නිසාම පුනරුද ව්‍යාපාරය මහජනයාගේ පිළිගැනීමට හේතු නොවනු ඇතැයි සිතන අය සිටියේය. ආකල්පවලින් ඉතාමත් පසුගාමී තත්ත්වයක සිටින මහජනයා පුනරුද ව්‍යාපාරය පතළ කරන නවීන හා පෙරළිකාර අදහස් භාර නොගනු ඇතැයි ඔවුහු සිතුවෝය. විදේශ ආධාර සංවිධානවලින් මුදල් ආධාර ලබාගැනීම ප්‍රතික්ෂේප කරන පිළිවෙත නිසා පුනරුද ව්‍යාපාරයට අල්ලාගෙන සිටීමට නොහැකි වනු ඇතැයි කියා සිතන අයද සිටියෝය.

මේ වන විට ඒ සියලු අදහස් බොරු කිරීමට පුනරුද ව්‍යාපාරය සමත් වී තිබෙන්නේ යැයි කිව හැකිය. ගම පුනරුද ව්‍යාපාරයට පහර දී එලවා ගත්තේ නැත. ඒ වෙනුවට සිදුවූයේ ආදරයෙන් වැලඳ ගැනීමයි. සිංහල ජනතාව අතරට පමණක් නොව, දෙමළ හා මුස්ලිම් ජනතාව අතරටද යෑමට පුනරුද ව්‍යාපාරය සමත් වී තිබේ. පුනරුද ව්‍යාපාරයේ දෘෂ්ටිය ඒ සියලුදෙනාගේ පිළිගැනීමට හේතුවී තිබේ. ඒ අර්ථයෙන් ගත්විට පුනරුද ව්‍යාපාරය සියලු ජනවර්ග එක ධජයක් යටතට ගනිමින් නූතන ලාංකේය ජාතිය ගොඩනගන ව්‍යාපාරය බවට පත්වී තිබෙන්නේයැ’යි කිව හැකිය.
පුනරුද ව්‍යාපාරය ලොකු ආර්ථික දුෂ්කරතාවන්ගෙන් තොරව මාස 10ක කාලයක් අල්ලා ගෙන සිටීමට පුළුවන් වූයේ ස්වශක්තියෙන් මිස විදේශ ආධාර සංවිධානවලින් ලබාගන්නා අරමුදල්වල ශක්තියෙන් හෝ කළු සල්ලිකාරයන්ගෙන් ලබාගන්නා ආධාරවලින් නොවේ. විදේශ ආධාර සංවිධානයකින් ලබාගන්නා මුදල් ආධාරවලින් තොරව මෙවැනි ව්‍යාපාරයක් පවත්වාගෙන යා නොහැකි බවට පැවති ජනප්‍රිය විශ්වාසය මුළුමනින් බොරු කිරීමට පුනරුදය ව්‍යාපාරය සමත් වී තිබෙන්නේ යැයි කිව හැකිය.

පුනරුදය ව්‍යාපාරය ආරම්භ කෙරුණේ පුද්ගලයන් කිහිපදෙනකුගෙනි. අද වර්ණවත් පුද්ගලයන් කිසියම් විශාල සංඛ්‍යාවකින් සමන්විත ව්‍යාපාරයක් බවට පත්වී තිබෙන්නේයැ’යි කිව හැකිය. තවමත් පුනරුද ව්‍යාපාරයට වැඩ කරන්නේ වෙළෙඳ දැන්වීම් හා තාප්පවල අලවන පෝස්ටර්වලින් තොරවය. ප්‍රවෘත්ති සාකච්ඡාවලින් තොරවය. පුනරුද ව්‍යාපාරයේ අවම ඉලක්කය සාමාජිකයන් දශ ලක්ෂයකි. ශාඛා 200යේ ඉලක්කය ද සපුරා ගැනීමෙන් පසුව ලොකු ඉදිරි පිම්මක් පැනීමට අපේක්ෂා කරයි. ශාඛා 200යෙන් අපේක්ෂා කරන්නේ ව්‍යාපාරයට ශක්තිමත් අත්තිවාරමක් තනා ගැනීමය. එම අත්තිවාරම තැනෙනු ඇත්තේ එම සාකච්ඡා සභාවලදී හඳුනා ගන්නා මුතු මැණික් වැනි විශේෂ මිනිසුන්ගෙනි. අත්තිවාරම තනා අවසන්වීමෙන් පසුව ඒ මත පුනරුදයේ මහා මහජන මන්දිරය ක්‍රමවත් හා විධිමත් ලෙසත් වේගවත් ලෙසත් ඉදිකෙරෙනු ඇත. මෙය දේශීය අර්ථයෙන් පමණක් නොව ජාත්‍යන්තර අර්ථයෙන් ගත්ත ද සමාජ දේශපාලන තලයේ සිදුකරමින් තිබෙන නවමු අත්හදා බැලීමක් ලෙස සැලකිය හැකිය. පුනරුද ව්‍යාපාරය පරණ සමාජ ක්‍රමය හා එහි උත්තර නිර්මිතය තුළ රහිත කරන්න අපේක්ෂා කරන්නේ ආණ්ඩු බලයෙන් හෝ බාහු බලයෙන් නොව බුද්ධි බලයෙනි. ඇතිවී තිබෙන පරණ සමාජය තුළ නව විකල්ප සමාජය මතුකර ගනිමින් එය පෝෂණය කරන අතර සංඛ්‍යාවෙන් විශාල ප්‍රධාන සමාජය බවට පත්කර ගනිමින් පරණ සමාජ ක්‍රමය එහි උත්තර නිර්මිතය සමඟ නිෂ්ප්‍රභ කිරීම පුනරුද ව්‍යාපාරයේ අපේක්ෂාවයි. ඒ අරමුණ ජයගැනීමට අපේක්ෂා කරන්නේ ලේ හලන ගොරහැඬි විප්ලවයකින් නොව සාමකාමී චින්තන විප්ලවයකිනි.

නැගෙනහිර ගමන
පසුගිය සති අන්තයේ පමණක් (22 වන සිකුරාදා සිට 23 වන ඉරිදා දක්වා) අම්පාර හා මඩකළපුව යන දිස්ත්‍රික්ක දෙකේ ගොඩනගන ලද ශාඛා සංඛ්‍යාව අටකි. දැන් පුනරුදයට අම්පාර දිස්ත්‍රික්කයේ පමණක් ශාඛා 15ක් තිබෙන්නේය. 23 වන සෙනසුරාදා ඒරාවූර්වලදී ශාඛාවක් ගොඩනැගීම සඳහා කෙරෙන සාකච්ඡාව ආරම්භ කරන ලද්දේ උදේ හතටය. එදින ශාඛා ගොඩගන වැඩසටහන අවසන් කරන ලද්දේ රාත්‍රී 10.30ටය. මේ ගමන ආවරණය කළ දුර ප්‍රමාණය කිලෝමීටර් 1009කි. මේ ගමන කුලී වාහනයකින් ගියේ නම් ඒ වෙනුවෙන් පමණක් රුපියල් 35,000ක පමණ මුදලක් වැය කරන්නට සිදුවනු නොවැළැක්විය හැකිය.

මේ ගමන තමන්ගේ වාහනයෙන් අප රැගෙන ගියේ පිළියන්දල පාලිත අබේරත්නය. සියලු ඉන්ධන වියදම් දරන ලද්දේද ඔහු විසිනි. එය පාලිතගේ හතරවැනි ගමන විය. එහි ගිය හතරදෙනාගේ කණ්ඩායමට නුවර නවරත්න බණ්ඩාර ද, රාවයේ නඩරාසාද විය. නඩරාසා රාවයේ සේවකයෙකි. රාවයේ ගබඩාකරු ලෙස ක්‍රියාකරන්නේ ඔහුය. ඔහු රාවයේ පැරණි සේවකයෙකි. මඩකළපුවේ පැවති සාකච්ඡා සභා සංවිධානය කර තිබුණේ ඔහුය.

වාලච්චේනේ කරුවාගනේ පැවති සාකච්ඡා සභාවක් අවසන් කර තිබූ අවස්ථාවකදී සභාවේ කෙනෙකු අසන ලද ප්‍රශ්නයකට මා දෙන ලද පිළිතුරක් සාකච්ඡා සභාවේ සිටි එක් පුද්ගලයෙකුගේ බලවත් විරෝධයට හේතුවීම නිසා එම සාකච්ඡා සභාව උණුසුම් මුහුණුවරක් ගැනීමට හේතුවිය. ඔහුගේ විරෝධයට හේතුවූ මාගේ ප්‍රකාශය වූයේ දෙමළ ජනතාව ඇද වැටී තිබෙන ඛේදජනක තත්ත්වයට සිංහල නායකයන් පමණක් නොව දෙමළ ජනයා මනෝරාජික ආස්ථානයකට කැන්දාගෙන ගිය ප්‍රභාකරන් දක්වා වන සියලු දෙමළ නායකයන්ද වගකිව යුතු බවය. එම සාකච්ඡා සභාව අවසන්වීමෙන් පසුව දැනගන්නට ලැබුණු පරිදි මාගේ එම ප්‍රකාශයට විරෝධය පළ කළ තරුණයා මා වෙත දෙමළ භාෂාවෙන් ඉදිරිපත් කරන ලද ප්‍රශ්නය වී ඇත්තේ ප්‍රභාකරන්ට දක්ෂ නායකයකු වශයෙන් ජාත්‍යන්තර වශයෙන් පවා පිළිගැනීමක් ලැබී තිබියදී ප්‍රභාකරන් සම්බන්ධයෙන් එවැනි ප්‍රකාශයක් කරන්නට මට තිබෙන අයිතිය කුමක්ද යන්නයි. එම ප්‍රශ්නය මා වෙත ඉදිරිපත් නොකොට මාගේ කතාව දෙමළ භාෂාවට පරිවර්තනය කළ සෙල්වදොරේ හා නඩරාසා ඊට පිළිතුරු දෙන්නට උත්සාහ කළේය. එසේ නොකොට එම ප්‍රශ්නය මා වෙත ඉදිරිපත් කළේ නම් එවැනි තත්ත්වයක් ඇති නොවන්නට ඉඩ තිබුණේ යැයි මම සිතමි. ප්‍රශ්නය නගන ලද එම තරුණයා කිසියම් ප්‍රමාණයකට බීමත්ව සිටින බව පෙනෙන්නට තිබුණු අතර ඔහු එල්ටීටීඊ ක්‍රියාකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන පුනරුත්ථාපනය කොට නිදහස් කරන ලද කෙනෙකු බවද දැනගන්නට ලැබුණි. එම ප්‍රශ්නයේදී ඔහුට එහි සිටි තවත් තරුණයෙකු ආධාර කළ අතර එක් කකුලක් නැති ඔහුද පුනරුත්ථාපනය කොට නිදහස් කර හරින ලද තරුණයෙකු බවද අසන්නට ලැබුණි. මෙම තරුණයින් දෙදෙනාගේ ක්‍රියා කලාපය මා තුළ කෝපයක් ඇති කිරීමට හෝ භීතියක් ඇති කිරීමට හේතුවූයේ නැත. විජේවීර ගැන පවා බැතිමත් ආකල්පයක් ඇති අය සිංහල සමාජයේද සිටිති.

ප්‍රභාකරන් පිළිබඳව මගේ මතය මීට පෙර දෙමළ ප්‍රදේශවල පවත්වන ලද සාකච්ඡා සභාවලදී ප්‍රකාශ කර ඇත්තෙමි. ඒ දේ යාපනේ හා කිළිනොච්චියේ පැවති සාකච්ඡා සභා දෙකේදීද ඉන්පසු තිරුක්කෝවිල්වල පැවති සාකච්ඡා සභාවේදීද සිදුවිය. එසේ කළේ වැරදීමකින් නොව හිතාමතාය. එහෙත් ඒ කිසිම තැනකදී ප්‍රභාකරන් ගැන කරන විවේචනයන් ඔවුන්ගේ විරෝධයට හේතුවූයේ නැත. ප්‍රභාකරන්ගේ බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් පසුත් උතුරු නැගෙනහිර තිබෙනුයේ සිදුවූ දේවල් සන්සුන්ව හැරී බැලීමට පුළුවන් තත්ත්වයක නොව දෘෂ්ටිමය වශයෙන් අන්දමන්ද වූ තත්ත්වයකය. දෙමළ භාෂාවෙන් පළවන පුවත්පත් පවා තිබෙනුයේ සිංහල දකුණේ පළවන සිංහල පුවත්පත්වලටත් වඩා පසුගාමී තත්ත්වයකය. උතුරේ දැන් පවතින එම තත්ත්වය බොහෝ කල් නොපවතිනු ඇති අතර සිදුවූ දේවල් ගැන සංවාද කරන තත්ත්වයක් ඉක්මනින් ඇතිවනු ඇතැයි සිතිය හැකිය. පුනරුද ව්‍යාපාරය දෙමළ ජනතාව අතර වැඩකිරීමෙන් අපේක්ෂා කරනුයේද ඔවුන් ව්‍යාපාරයේ වැදගත් කොටස්කරුවන් පිරිසක් බවට පත්කර ගැනීම පමණක් නොව දෙමළ ජනතාවගේ සවිඥානකත්වයද දියුණු තත්ත්වයකට ගැනීමය.
පුනරුද ව්‍යාපාරය කරමින් සිටිනුයේ දෘෂ්ටිමය අරගලයකි. වර්තමානයට නොගැළපෙන සාම්ප්‍රදායික මතවාදයන්ට එරෙහිව කරන දෘෂ්ටිමය අරගලයේදී අනගාරික ධර්මපාල, ආරුමුග නාවලර් වැනි අය හා වාමාංශික හා දක්ෂිණාංශික නායකයන් පමණක් නොව, විජේවීර හා ප්‍රභාකරන් වැනි කැරලිකාර නායකයන්ද සාකච්ඡාවට ලක්විය යුතුය. රටට ගැළපෙන පොදු ජාතික දෘෂ්ටියක් තනාගැනීමට හැකිවනු ඇත්තේ එවිටය.

අපි මඩකළපුවේ කරන වැඩ අවසන් කොට ආපසු එමින් සිටියදී ප්‍රභාකරන් වෙනුවෙන් සාකච්ඡා සභාවේ පෙනී සිටි තරුණයා පසුව දක්වන ලද ප්‍රතිචාරයක් ගැන අසන්නට ලැබුණි. ඔහු එදින සවස නඩරාසාගේ නිවසට ගොස් සාකච්ඡා සභාව සංවිධානය කළ නඩරාසාගේ මස්සිනා හමුවී තමන් මෙම ප්‍රශ්න කිරීම කළේ කතා කළ පුද්ගලයා කව්දැයි හරිහැටි නොදැන බවත් තමන්ගේ හැසිරීම ගැන තමා කනගාටු වන බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.

පීඩිත මඩකළපුව
පුනරුද ව්‍යාපාරයට අම්පාරේ කිසියම් පදනමක් තිබුණද, මඩකළපුවට ගියේ පළමු වතාවටය. එහි ගිය ගමන නිසා මඩකළපුව දිස්ත්‍රික්කයේ දොරටු පුනරුදය ව්‍යාපාරයට විවෘත වූයේ යැයි කිව හැකිය.
මඩකළපුවේ පැවති සාකච්ඡා සභාවලදී වැඩියෙන්ම සාකච්ඡාවට ලක්වූයේ මඩකළපුවේ දෙමළ ජනතාවට මුහුණ දෙන්නට සිදුවී තිබෙන ප්‍රශ්න ගැනය. රාජ්‍ය නොවන සංවිධානවල එකතුවක් වෙනුවෙන් පැවති සාකච්ඡා සභාවකදී ඊට සහභාගි වූ අයෙකු (කේ. ගනේෂ්මූර්ති) ප්‍රොජෙක්ටරයක් යොදාගෙන මඩකළපුවේ පවතින තත්ත්වය ගැන විනාඩි පහක පමණ ඉදිරිපත් කිරීමක් කරන ලදි.
ඒ අනුව මුලතිව් දිස්ත්‍රික්කය ලංකාවේ වැඩිම දුප්පත්කමක් ඇති දිස්ත්‍රික්කය ලෙස සැලකිය හැකිය. එහි දුප්පත්කමේ අනුපාතිකය සියයට 30ක් තරම් විශාලය. මොනරාගල දිස්ත්‍රික්කය දෙවැනි ස්ථානය හිමි කරගෙන සිටින අතර එහි දුප්පත්කමේ අනුපාතිකය සියයට 21කි. තුන්වැනි ස්ථානය හිමිවී තිබෙන්නේ මන්නාරමටය. එහි දුප්පත්කමේ අනුපාතිකය සියයට 23.63කි. මඩකළපුව දිස්ත්‍රික්කය හතරවැනි ස්ථානය හිමිකරගෙන තිබෙන අතර එහි තිබෙන දුප්පත්කමේ අනුපාතිකය සියයට 19.97කි.

ලංකාවේ දුප්පත්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10න් හතරක්ම තිබෙන්නේ මඩකළපුව දිස්ත්‍රික්කයේය. එම දුප්පත් කොට්ඨාස 10න් දුප්පත්කමින් 1 වැනි හා දෙවැනි ස්ථානය හිමිකරගෙන තිබෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙක තිබෙන්නේද මඩකළපුව දිස්ත්‍රික්කයේය. ඒ පිළිවෙළින් මන්මුනායි (බටහිර) හා කෝරළේ පත්තුව (දකුණ) යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකය. පළමුව සඳහන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දුප්පත්කමේ අනුපාතිකය සියයට 45කි. දෙවැනි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දුප්පත්කමේ අනුපාතිකය සියයට 37.7කි.
වර්ගය අනුව ගත් කල දැන් ලංකාවේ දුප්පත්ම වර්ගය ලෙස සැලකිය හැක්කේ උඩරට වතුකරයේ දෙමළ ජනතාව නොව උතුරු නැගෙනහිර දෙමළ ජනතාවය. වතුකරයේ දෙමළ ජනතාව අතර දුප්පත්කමේ අනුපාතිකය සියයට 8.50ක් වන විට උතුරු නැගෙනහිර දෙමළ ජනතාව අතර තිබෙන දුප්පත්කමේ අනුපාතිකය සියයට 12කි. අභ්‍යන්තර යුද්ධය උතුරු නැගෙනහිර දෙමළ ජනතාව කෙරෙහි බලපා තිබෙන විනාශකාරී ස්වභාවයේ තරම ඒ ආශ්‍රයෙන් තේරුම් ගත හැකිය. දුප්පත්කම පහළ යනවා වෙනුවට දුප්පත්කමේ ශීඝ්‍ර වර්ධනයක් මඩකළපුව තුළ දැකිය හැකිය. 2005 වසරේදී මඩකළපුව දිස්ත්‍රික්කයේ දුප්පත්කමේ අනුපාතිකය තිබී ඇත්තේ සියයට 10.6ක මට්ටමකය. 2015 වන විට එය සියයට 19.7 දක්වා සියයට 09.1කින් වර්ධනය වී තිබේ.

මඩකළපුවේ පැවති සාකච්ඡා සභාවකදී අසන්නට ලැබුණු පුදුමයට හේතුවන කරුණක් වනුයේ සමෘද්ධිලාභී පවුල් අතර උසස් පෙළ පන්තිවල අධ්‍යාපනයක් ලබන දරුවන් සිටී නම් එවැනි පවුල්වලට දෙන සමෘද්ධි සහනාධාරය කපා හරින බවය. එය කිසිසේත්ම විය නොහැකි දෙයක් බව මා කියා සිටි විට එහි සිටි බොහෝ දෙනෙක් තරයේ කියා සිටියේ එය බොරුවක් නොව සත්‍යයක් බවය. එය සත්‍යයක් නම් එය බිහිසුණු හා නින්දාසහගත ප්‍රතිපත්තියක් වන බව අමුතුවෙන් කිවයුතු නැත. එය සමෘද්ධි බලධාරීන්ගේ වහා අවධානයට ලක්විය යුතු ප්‍රශ්නයක් ලෙස සැලකිය හැකිය.
ඔවුන් ඉදිරිපත් කරන දුක්ගැනවිලි අතර තිබුණු තවත් වැදගත් දුක්ගැනවිල්ලක් වූයේ එහි ආරම්භ කරන නව ව්‍යාපාරවලදී රක්ෂා ලබාදීමේදී දිස්ත්‍රික්කයේ අයට ප්‍රමුඛ වැදගත්කමක් ලබා නොදී පිටස්තරයන්ට රක්ෂා ලබාදෙන ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවය. යුද්ධ කාලයේදී ආරක්ෂක හමුදා පවරා ගන්නා ලද ඉඩම් නැවත පැරණි හිමිකරුවන්ට ලබානොදීමේ ප්‍රශ්නයද එහි තිබෙන පුපුරනසුලු තවත් ප්‍රශ්නයක් ලෙස සැලකිය හැකිය.

පළාතේ දේශපාලනය බලඅධිකාරියේ පාලනය මුස්ලිම්වරුන් අතට පත්වීම තුළ දෙමළ ජනතාවට කුඩම්මාගේ සැලකිලි දක්වන තත්ත්වයක් ඇතිවී තිබෙන බවද ඔවුන් කීවේය. ඔවුන් කියන අන්දමට සංවර්ධන වැඩසටහන්වලදී වැඩි වැදගත්කමක් ලබාදී ඇත්තේ මුස්ලිම් ප්‍රදේශවලටය. දෙමළ ප්‍රදේශවලට ලබාදී ඇත්තේ අඩු වැදගත්කමකි. දෙමළ ප්‍රදේශවල පාසල්වල හා ආරෝග්‍යශාලාවල තත්ත්වය මුස්ලිම් ප්‍රදේශවල තිබෙන පාසල්වල හා ආරෝග්‍යශාලාවල තත්ත්වයට වඩා පහත්ය. පළාත් සභා මට්ටමින් ලබාදෙන රක්ෂාවලදීද වෙනස්කම් සිදුවන බව ඔවුන් කීවේය. දිසාපතිවරයා දෙමළ වුවත් ඔහු පවා මුස්ලිම් දේශපාලන බලවතුන් සමඟ කල්ලි ගැසී ක්‍රියාකරන බව කීවේය.
අන්තර් වාර්ගික සම්බන්ධතාවල ඇතිවී තිබෙන පිරිහීමේ තරම ඒ ආශ්‍රයෙන් තේරුම් ගත හැකිය. භේද ඇත්තේ මහ ජාතිය හා සුළු ජාතීන් අතර පමණක් නොවේ. සුළු ජනවර්ග අතරද භේද පවතී. නූතන ලාංකේය ජාතිය ගොඩනැගීමට නම් ජනවර්ග අතර තිබෙන භේද දුරු කළ යුතුය. ඔවුන් අන්‍යොන්‍ය අවබෝධයෙන් හා ගෞරවයෙන් ක්‍රියාකරන තැනකට ගත යුතුය.■