රාවය

නොමිලේ දෙන අක්‍ෂි කාච අඳුරු වෙන හැටි

නොමිලේ දෙන අක්‍ෂි කාච අඳුරු වෙන හැටි

රේඛා නිලුක්ෂි හේරත්

අක්ෂි කාච නොමිලේ ලැබෙන බව කියමින් සැත් කම්වලට මුහුණදුන් රෝගීන් සෞඛ්‍ය අමාත්‍යවරයා වර්ණනා කරන වෙළෙඳ දැන්වීම් වරින් වර ගුවන්විදුලියේ, පුවත්පත්වල මෙන්ම පුවරුවලද දකින්නට ලැබෙයි. එහෙත් අපට දකින්නට ලැබුණේ සැත්කම් ප්‍රමාදවීම ගැන සෞඛ්‍ය අමාත්‍යවරයා පතුරු ගසන රෝගීන්ය.

අප සමඟ කතාබහ කළ කරාපිටිය සහ මහනුවර රෝහල්වල ඉහළ නිලධාරීන් පැවසුවේ සති දෙකක පමණ සිට අක්ෂි කාච ලැබෙන්නේම නැති බවයි. කොළඹත් තත්ත්වය එබඳුය. අක්ෂි කාච දැමීම පෙර කෙරුණු ප්‍රමාණයෙන් අඩක්වත් දැන් කෙරෙන්නේ නැත.

“කාචෙ සල්ලිවලට ගන්න කිව්වා නම් අපි අරගෙන ඔපරේෂන් එක කරනවානෙ. රුපියල් විසි තිස්දාහක් යයි වැඩිම වුණොත්. දැන් මේ පිනට කාච දෙන්න පටන් අරගෙන. ඒකෙන් අපට වෙලාවට ඔපරේෂන් එක කරගන්නත් නෑ.” අප සමඟ කතාබහ කළ අක්ෂි කාච සැත්කමක් වෙනුවෙන් කොළඹ ජාතික අක්ෂි රෝහලේ පොරොත්තු ලේඛනයේ සිටින රෝගියෙකු කීවේ එසේය.
“අපට යමක් කමක් තියෙනවා. ඔපරේෂන් එකට සල්ලි වියදම් කරන්න පුළුවන්.” ඔහු එසේ කියයි.
ඔහුට වෛද්‍යවරුන් පවසා ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය නොමිලේ කාච දෙන්නට පටන්ගත් පසුව කාච වෙලාවට නොලැබෙන නිසා සැත්කම් පරක්කු වෙන බවයි. මේ ප්‍රමාදය නිසා වියදම් කිරීමේ හැකියාවක් ඇත්තවුන් පෞද්ගලිකව මේ සැත්කම් කිරීමට යොමුවෙන තත්ත්වයක්ද පවතින බව කීවේ කොළඹ අක්ෂි රෝහලේම සුළු සේවකයෙකි.

“මෙතැන පරක්කු වෙද්දී සල්ලි වියදම් කරන්න පුළුවන්කමක් තියෙන කෙනෙක් නම් ප්‍රයිවෙට් කරනවා. ප්‍රයිවෙට් කරන්නේත් මේවායේ ඉන්න දොස්තරලාමයි. ඉස්සර මෙතැන අක්ෂි කාච සැත්කම් උනන්දුවෙන් කරපු අයට දැන් ඒ උනන්දුව නැහැ.” ඔහු කීවේ එසේය.
අසූදාහක් පමණ වියදම් කිරීමේ හැකියාව ඇතැයි කීවාට මෙසේ පෞද්ගලිකව අක්ෂි කාච සැත්කම් කරන්නට යොමුවෙන්නෝ මහා ධනවත්තු නොවෙති. ණය තුරුස්වී අසීරුවෙන් රුපියල් අසූදාහක් ගළපාගෙන සැත්කම්වලට යොමුවෙන්නෝ බොහෝය. මෙසේ පෞද්ගලිකව සැත්කම් කරන අය සෞඛ්‍ය ඇමතිවරයාටම දෙස්දෙ වොල් තියන්නේ, ඒ වියදමෙන් බාගයකටත් අඩුවෙන් රජයේ රෝහලක් හරහා කරගන්නට තිබුණු සැත්කම් සඳහා අවස්ථාව නැති කර දැමූ බව කියමිනි.
අප සිහි තබාගත යුත්තක් තිබේ. ඒ තමන්ගේ ඇස් දෙක වෙනුවෙන් වුවද, රුපියල් අසූදාහක් තබා ඉන් අඩක්වත් වියදම් කරගන්නට බැරි පුරවැසියන් සාතිශය බහුතරයක් මේ රටේ සිටින බවයි. ඔවුන්ට පරණ ක්‍රමය යටතේ තිබුණු එකම විසඳුම අන්ධවීම පමණි. අක්‍ෂි කාචයක් හරහා පෙනීම ලබාගැනීමේ සැත්කම ඔවුනට හීනයක්ම පමණක් විය. එවැනි පසුබිමක වර්තමාන ආණ්ඩුව නොමිලේ අක්‍ෂි කාච දෙන්නට තීන්දු කිරීමම විප්ලවකාරී පියවරකි. රටේ කිසි දාක නොසිදුවුණකි. එක පැත්තකින් එය අක්‍ෂි කාච මාෆියාවටද එරෙහි වීමකි. නොමිලේ අක්ෂි කාච දෙන්නට ගත් ඓතිහාසික තීන්දුව නැවත ආපස්සට හරවන්නට නොව, අඩුපාඩු සියල්ල මඟහරවාගෙන ක්‍රියාත්මක කරන තැනට අප කල්පනා කළ යුත්තේ ඒ නිසාය. අපි මේ සිදුවීම්වල සුලමුල සොයා බැලුවෙමු.

ඉන්දියානු කාචයක්
නොමිලේ අක්ෂි කාච ලබාදීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ මැදිහත්වීමෙන් පසුගිය කාලයේ ගත් යහපත් ප්‍රතිපත්තිමය තීන්දු අතර යහපත්ම තීන්දුවකි.
දැන් එය මන්දගාමී වෙන්නට හේතුව රජය විසින් ටෙන්ඩර් කැඳවා මිලදී ගෙන වෛද්‍ය සැපයුම් අංශය හරහා ලබාදුන් අක්ෂි කාච වර්ගය අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් විසින් ප්‍රතික්ෂේප කිරීමයි. ඔවුන් කියා තිබුණේ ඒ අක්ෂි කාචය ප්‍රමිතියෙන් තොර එකක් බවයි. ඒ වනවිට ඒ වර්ගයේ අක්ෂි කාච 9000කට වැඩි ප්‍රමාණයක් ආනයනය කර තිබුණි. එය ඉන්දියානු කාච වර්ගයකි. ලංකාවේ ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියද එම කාචයට ලැබී තිබුණි. එහෙත් වෛද්‍යවරුන් ඒ කාචය පාවිච්චි කිරීම ප්‍රතික්ෂේප කරමින් රෝගීන් බියගන්වා තිබුණේ ඒ අක්ෂි කාචය දැමීම භයානක බව කියමිනි. අක්ෂි කාච සැත්කම් ඇනහිටීමට හේතුව වී තිබුණේ එයයි.
මේ ගැන සෞඛ්‍ය සේවයේ වෘත්තිය සමිති ක්‍රියාකාරිකයෙකුද වන අක්ෂි රෝහලේ සේවය කරන නිලධාරියෙක් මෙසේ කීය.

“සෞඛ්‍ය ඇමති වරයාගේ මැදිහත්වීමෙන් ආණ්ඩුව අක්ෂි කාච නොමිලේ ලබාදෙන්න පටන් ගනිද්දී විශේෂඥ වෛද්‍යවරු විරුද්ධ වුණා බාල කාච දෙනවා කියලා. ඒකට හේතුව මෙයාලා ලොකු බිස්නස් කළා අක්ෂි කාච සැත්කම්වලදී. ඔයා මෙහෙම සරලව හිතන්න. රෝගියෙක් ඇවිත් ඩොක්ටර්ගෙන් තමයි අහන්නේ මගේ ඇහැට හොඳ අක්ෂි කාචය මොකක්ද කියලා. ඩොක්ටර් කියයි මේ කාචය ගන්න කියලා. එතකොට අක්ෂි කාච ව්‍යාපාරිකයන් කොච්චර කළත් ඩොක්ටර්ස්ලාගේ කටට තමන්ගේ සමාගමේ කාචය දෙන්න ඕනෑ. ඒකට මොනවද කරන්න ඕනෑ. ඩොක්ටර්ස්ලා වෙනුවෙන් හොඳට වියදම් කරන්න ඕනෑ. මම මේ කතාවෙන් කියන්න යන්නේ ඩොක්ටර්ස්ලා මාර සත්තු ජාතියක් කියලා නෙවෙයි. අනෙක් ඕනෑම තැනක වගේ ඩොක්ටර්ස්ලාත් මේකෙන් තමයි හම්බ කළේ. ලොකු ලොකු ජීවිත නඩත්තු කළේ. මේකට බඬේ පාර වදිනවා එක පාරම ආණ්ඩුවෙන් අක්ෂි කාච දෙන්න පටන් ගත්තොත්.”

සැබැවින්ම අක්ෂි කාචවල අවුලක් නිසා හෝ ඉහත නිලධාරියා කී හේතුව නිසා හෝ අක්ෂි සැත්කම් නැවතුණේය. රෝගීහු නොමිලේ දුන් අක්ෂි කාචයට බියවූහ. අන්තිමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දිවයිනේම විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන් සිටින අක්ෂි ශල්‍ය වෛද්‍ය වරුන්ගේ ආයතනයට වඩා සුදුසු අක්ෂි කාච විශේෂයක් යෝජනා කරන්නැයි දැනුම් දී තිබුණි. එම ආයතනයෙන් ඒ සඳහා කමිටුවක් පත්කර තිබුණු අතර කමිටුව දිගු කාලයක් වැය කොට ඇමෙරිකානු අක්ෂි කාච වර්ග දෙකක් සුදුසුයැයි යෝජනා කර ඇත. ඒ මාස ගණනාව පුරාම අක්ෂි කාච සැත්කම් ප්‍රමාද වී තිබුණි.

සැත්කම් ප්‍රමාද වෙයි
අප සමඟ අදහස් දැක්වූ අක්ෂි විශේෂඥ වෛද්‍යවරයෙක් ඒ පිළිබඳව මෙසේ පැවසීය.
“ඇසේ සුද ඉවත් කරලා ඇසට කාචය දැමීමක් තමයි මේ සැත්කම්වලදී කරන්නේ. තරංගයකින් ඇසේ කාචය ඉවත් කරලා ඒ වෙනුවට කෘත්‍රිම කාචයක් දානවා. ආණ්ඩුවෙන් දෙන්නේ කාචයක්. දැන් ආණ්ඩුවෙන් දෙන කාචයක මිල රුපියල් 16,000ක් පමණ වෙනවා. එහෙත් ප්‍රශ්නය තියෙන්නේ මේක ලබාදීමේ පටිපාටියේයි. 25ක් ඕඩර් කළොත් 10ක් 12ක් තමයි ලැබෙන්නේ. කාචයක් එක්ක සැත්කමට අවශ්‍ය ජෙල් එකක් දෙනවා. සාමාන්‍යයෙන් ඒ ජෙල් එකක් එළියෙන් ගත්තොත් රුපියල් 4000ක් පමණ වෙනවා. කලින් දුන්නේ ඉන්දියන් කාචයක්. ඒ කාචය රුපියල් 450ක් විතර වෙන්නේ. දැන් දෙන එක තමයි වටිනාකමින් සහ ප්‍රමිතියෙන් වැඩි. මේ සැත්කමම පෞද්ගලිකව කළොත් රුපියල් 80000ක් වෙනවා. ඇමෙරිකාවේ ඇල්කන් සහ විස්ටා කියන වර්ග දෙකේ කාච තමයි දැන් දෙන්නේ. කාච හැමෝටම ලැබෙන්නෙ නැති නිසායි සැත්කම් පරක්කු වෙන්නේ. ඒ කාලේ සැත්කම් 50 ක් කළා නම් ඒකෙන් බාගයක්වත් දැන් කෙරෙන්නේ නැහැ.”
සැත්කම් සඳහා අක්ෂි කාච ප්‍රමාද වී ලැබීම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙක් මෙසේ පැහැදිලි කළේය.

“ඉන්දියානු කාචය නොමිලේ ලබාදුන්නේ වෛද්‍ය සැපයුම් අංශය හරහායි. දැන් අක්ෂි කාච රජයෙන් ආනයනය කරලා නැති හින්දා වෛද්‍ය සැපයුම් අංශයට ඒවා දෙන්න බැහැ. අපි මේ වෙද්දී අක්ෂි කාච සඳහා ටෙන්ඩර් පටිපාටියට ගිහින් ඉන්නවා. හැබැයි ඒක අවසන් වෙන්න කාලයක් යනවා. ඒ වෙන තුරු අපි අක්ෂි වෛද්‍යවරු නිර්දේශ කරලා තියෙන අක්ෂි කාච වර්ග දෙක දැන් දෙන්නේ ඔසුසල් හරහා. යම් රෝහලක් තමන්ට කරන්න තියෙන සැක්කම්වලට කලින් ඔසුසලට අවශ්‍ය කාච ප්‍රමාණය දැනුම් දෙන්න ඕනෑ. අක්ෂි කාච හැම එකක්ම එක වගේ නැහැ. එක එක ඝනත්වයෙන් යුතු කාච තියෙනවා. එතකොට ඉල්ලන හැම ඝනත්වයෙන්ම අක්ෂි කාච වෙලාවට සපයන්න ඔසුසලට බැරිවෙනවා. තියෙන කාච ටික විතරයි එවන්නේ. ඒ නිසා තමයි මේ ප්‍රමාදය ඇතිවෙලා තියෙන්නේ.”

අප සමඟ තවත් නිලධාරියෙක් මෙසේ කීය.
“ඩොක්ටර්ස්ලා නිර්දේශ කරලා තියෙන කාචය ගොඩක් මිල අධිකයි. ප්‍රමිතියෙන් යුතු කාචයක් ඊට වඩා ගොඩක් අඩු මිලට ගන්න පුළුවන්. දැන් ඒ කාචයම ගන්නවා නම් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලොකු මුදලක් වියදම් කරන්න වෙනවා. වෛද්‍යවරු මේ කාචයම නිර්දේශ කරන්නෙ ඇයි කියන එක ප්‍රශ්නයක්.”

අවුල් ජාලාවක්
දැන් අක්ෂි කාච මිලට ගැනීම සහ සැත්කම් කිරීම අවුල් ජාලාවක් වී ඇත. ඇතැම් නිලධාරීන් මෙන්ම වෘත්තිය සමිති චෝදනා කරන්නේ වෛද්‍යවරුන් විසින් දැන් සිදුකළ හැකි සැත්කම් ප්‍රමාණයවත් කිරීමට උනන්දුවක් නොදක්වන බවයි. මේ සියල්ල නිසා පෝලිම්වල රස්තියාදු වෙන්නේ රෝගීන්මය.
අප සමඟ කතාබහ කළ අක්ෂි කාච සැත්කම් කරගන්නට නොහැකිව පොරොත්තු ලේඛනයේ සිටි බොහෝදෙනෙකු පෞද්ගලි කව ඒ සැත්කම් කරගත නොහැකි නිසා පෝලිමේ සිටින්නවුන්ය.
“මම කීයක් හරි හොයාගන්නේ රෙදි මහලා. මගේ ඇස්වල ප්‍රශ්නය නිසා දැන් ඒක කරගන්න විදියක් නෑ. ආණ්ඩුවේ හොස්පිට්ල් එකෙන් නොමිලේ ඔපරේෂන් කරන නිසායි මම ආවේ. සල්ලිවලට කාච ගන්න වුණා නම් මම එන්නේ නෑ. සෞඛ්‍ය ඇමතිතුමා ලොකු පිනක් කරගත්තේ නොමිලේ කාච දෙන්න පටන් අරගෙන. ඒත් මම පස්සේ තමයි දැනගත්තේ මගේ ඔපරේෂන් එක කරගන්න සෑහෙන කාලයක් යයි වගේ. ඔපරේෂන් පරක්කුයිලු. කාච නැහැලු. කාචේ ලැබෙනකන් අපේ ප්‍රශ්න බලාගෙන ඉන්නෙ නෑනෙ. මට ඉක්මනට ඔපරේෂන් එක කරගන්න ලැබුණොත් ඇඳුම් මහන්න පුළුවන්. ජීවිතේ ගැටගහගන්න පුළුවන්.” කොළඹ පදිංචිකාරියක වන මවක කී කතාවකි මේ. මෙවැනි පුද්ගලයන් බොහෝය.

අක්ෂි කාචයක් නොමිලේ ලබාදීම යනු විශාල සේවයකි. ලංකාවේ වේගයෙන්ම වැඩිවන ජනගහනය වන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේද මූලික අවශ්‍යතාවකි. ඔවුන්ගේ ජීවිත සැහැල්ලු කරන්නට මෙන්ම ඔවුන් ආර්ථික ක්‍රියාවලියට දායක කරගන්නටද අක්ෂි කාච සැත්කම් නොමිලේ සහ කාර්යක්ෂමව කිරීම අත්‍යවශ්‍ය කාරණයකි.

දැන් නිතිපතා අක්ෂි කාච නොමිලේ ලැබෙන බවට දැන්වීම් නම් ප්‍රචාරය වෙයි. එහෙත් සැත්කම් සිදුවෙන්නේ නැත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැනි සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන මහා ආදරයකින් කටයුතු කරන වෘත්තිය සමිතිද මේවා ගැන කතා කරන්නේ නැත.
ආණ්ඩුව වෛද්‍ය වරුන්ගේ ආධිපත්‍යයට යටවෙනවාද, නැත්නම් වඩා සුදුසු කාචයක් අඩු මිලට මිලදී ගන්නවාද නැත්නම් තවදුරටත් රෝගීන් අපහසුතාවට පත් කරමින් මේ ක්‍රමයම පවත්වාගෙන යනවාදැයි අප දන්නේ නැත. සෞඛ්‍ය ඇමතිවරයා කෙළින් පියවරක් ඉක්මනින් ගත යුතුය. නොමිලේ ලබාදීමේ ප්‍රතිපත්තිය යහපත්ය. කුමන බාධා ආවත් ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුතුය.■

රවී කුමුදේශ්
ශ්‍රී ලංකා වෛද්‍ය රසායනාගාර නිලධාරීන්ගේ සංගමය
අක්ෂි කාච සැත්කම් කිරීමේදී ඒක යට ලොකු මුදලක් සංසරණය වෙනවා. ඔය කාචය සල්ලි දීලා ගන්න කාලේ කාචය ගන්න කම්පැනිය එක්ක දොස්තර සම්බන්ධයි. කාචය විතරක් නෙවෙයි ඔය සැත්කමට ගන්න ජෙල් එකක් තියෙනවා. ඒ ජෙල් එකෙන් පොඞ්ඩයි සැත්කමට පාවිච්චි කරන්නේ. ඒත් සම්පූර්ණ ජෙල් එකක් රෝගීන් ලවා ගෙන්න ගන්නවා. ඒකෙන් ටිකක් පාවිච්චි කරලා ඉතිරි ටික නැවත කම්පැනියටම දෙන්න පුරුදුවෙලා හිටියා. ඒ වගේ විශාල බිස්නස් එකක් මෙතැන තිබුණා. ඒකට කාච නොමිලේ දුන්න හින්දා අභියෝගයක් එල්ල වුණා. වෛද්‍යවරු කියන්න ගත්තා ඒ කාච විශ්වාස නෑ කියලා. ආණ්ඩුව දුන්නාට බෑ. රෝගීන් වෛද්‍යවරු කියන එක විශ්වාස කරනවා මිසක් අනවශ්‍ය අවදානම් ගන්නේ නෑ.
ඖෂධයක් මිලදී ගන්න තීරණය කරද්දී ඒකට සම්බන්ධ වෙනවා ඒ ඒ ක්ෂේත්‍රවල විශේෂඥ වෛද්‍යවරු. ඉතින් ඒ වෛද්‍යවරුම වගකියන්න ඕනෑ මොකක් හරි ප්‍රමිතියෙන් තොර ඖෂධයක් හරි උපකරණයක් හරි ගෙන්වුවොත්. ඉන්දියානු කාචය ගෙනාවෙත් ඒ ක්‍රමයටමයි. ඉතින් එයාලාම ප්‍රමිතියෙන් යුතුයි කියලා ඒවා ගෙන්වලා පස්සේ එයාලාම රෝගීන්ට කියනවා ප්‍රමිතියක් නෑ කියලා. අක්ෂි විශේෂඥ වෛද්‍යවරුන් මේකට අදාළව ලොකු බලයක් තියාගෙන ඉන්නවා. එයාලා තමයි කරන සැත්කම් ප්‍රමාණය තීරණය කරන්නේ. දැන් අක්ෂි කාච සැත්කම් කිරීම අඩුවෙලා. ඉතුරු ලෙඞ්ඩු පෞද්ගලික අංශයේ සැත්කම් කරයි කියලා වෛද්‍යවරු බලාගෙන ඉන්නවා. අනික යම් වෛද්‍යවරයෙක් වැඩිපුර සැත්කම් කළොත් ඒකටත් අනෙක් අය බාධා කරනවා. දවසකට සැත්කම් කරන ප්‍රමාණය තීරණය කරන්නේත් විශේෂඥ වෛද්‍යවරු. අනික ඒ වෛද්‍යවරුන්ම සැත්කමකදී හැම දෙයක්ම කරනවා. ඒත් බොහෝ රටවල විශේෂඥ වෛද්‍යවරයා සැත්කමක අත්‍යවශ්‍ය කටයුතු සහ මෙහෙයවීම් විතරයි කරන්නේ. අනෙක් වැඩ කරන්නේ අනෙක් නිලධාරීන්. ඉතින් විශේෂඥ වෛද්‍යවරු තනියෙන් සියල්ල නොකර අනෙක් අයගේත් සහයෝගය අරගෙන වැඩකළොත් දැන් පවතින තත්ත්වය වෙනස් කරන්න පුළුවන්.■