රාවය

ගබ්සාව: ගැහැනු සිරුර ගැන නීති පනවන පිරිමි පූජ්‍ය පක්ෂය

ගබ්සාව: ගැහැනු සිරුර ගැන නීති පනවන පිරිමි පූජ්‍ය පක්ෂය

ගබ්සාව පිළිබඳ ලංකාවේ වර්තමාන නීති තත්වය විස්තර කළ හැකි එක් ආකාරයක් මෙසේ ය. යම් පිරිමියෙකු ගැහැනියක දූෂණය කිරීමේ වැරදිකරුවෙකු වූ විට, දණ්ඩ නීති සංග්‍රහයේ 363 වගන්තිය යටතේ ඔහුට වසර 7 සිට 20 දක්වා වන සිරදඬුවමක් ලැබේ. යම් හෙයකින්, එම දූෂණය හේතුවෙන් අර කියන ගැහැනිය ගැබ් ගත්තොත්, ඒ ‘වරදට’ මුළු ජීවිත කාලයටම ඇයට දඬුවම් කරනු ලැබේ. මන්ද යත්, ලංකාවේ නීතිය තුළ ගබ්සාව නීති විරෝධී වන බැවිනි.

පසුගිය දවසක, මැල්කම් රංජිත් කාදිනල් පියතුමා සහ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නායක හිමියන් ඇතුළු බෞද්ධ, කතෝලික සහ ඉස්ලාම් පූජ්‍ය පිරිසක් ගබ්සාව ගැන ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කොට තිබුණි. යහපාලන ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිත ගබ්සාව පිළිබඳ අලුත් නීති සංශෝධනයක් ඒ මගින් ඔවුන්ගේ විවේචනයට ලක්විය. ස්ත්‍රී දූෂණයක් හේතුවෙන් ඇති වන ගැබ් ගැනීමක් හෝ බරපතළ ජාන විකෘතියක් සහිත ගැබ් ගැනීමක් අවසන් කිරීමට (ගබ්සාවකට) නෛතික අයිතිය පවරා දීමට මේ යෝජිත නව නීතිය මගින් අපේක්ෂා කෙරේ. දැනට පවතින නීතිය අනුව ගබ්සාවක් කළ හැක්කේ, ගර්භනී මවගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා පමණි. මෙය, 1883 සුදු පරිපාලනය යටතේ ඇති කරගෙන අද දක්වා නොවෙනස්ව පවත්වාගෙන එන නීතියකි. ඉහත කී පූජ්‍ය පක්ෂය කියන්නේ ඒ ‘සුද්දාගේ’ නීතිය තවදුරටත් එසේම පවත්වාගෙන යා යුතු බව ය. හැබැයි ඒ ‘සුද්දා’ පවා ඔවුන්ගේ රටවල්වල ඒ නීතිය වෙනස් කරගෙන දැන් බොහෝ කාලයක් ගත වන බව අපේ පූජ්‍ය පක්ෂයට ගෝචර නොවෙයි.

ගබ්සාව යන්න, නීතිමය ප්‍රශ්නයකට අමතරව, ඉතිහාසය පුරා, සදාචාරමය ප්‍රශ්නයක්, දාර්ශනික ප්‍රශ්නයක් සහ සමාජ ප්‍රශ්නයක් වශයෙන් සාකච්ඡාවට භාජනයව ඇති සංකීර්ණ කාරණයකි. එක පැත්තකින්, ‘ජීවිතයක්’ උදුරා ගැනීම නැමැති බරපතළ සදාචාරමය ප්‍රශ්නය ආගම පැත්තෙන් මතු කෙරෙන අතර, අනිත් පැත්තෙන්, ‘ජීවිතයක්’ බිහි කිරීමේ භෞතික හැකියාව අභ්‍යාස කිරීමට හෝ නොකිරීමට ගැහැනියට ඇති අයිතිය පිළිබඳ කාරණය තිබේ. ඉහත වාක්‍යයේ ජීවිතයක් යන වචනය පෙරළුෑ කොමා සහිතව යෙදුවේ උවමනාවෙන්මයි. මන්ද යත්, ‘ජීවිතය’ යන්න ඇරඹෙන්නේ කිනම් නිශ්චිත මොහොතකින් පසුව ද යන කාරණය, ගබ්සාව පිළිබඳ සදාචාරමය/ආගමික කාරණයේ අරටුව වශයෙන් පවතින බැවිනි.

ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 297 යටතේ, සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය නැමැති වරදට දඬුවම විසි අවුරුද්දක් දක්වා වන සිර දඬුවමකි. දණ්ඩ නීති සංග්‍රහයේ 306 යටතේ, ගබ්සා කිරීම හෙවත් දරුවෙකු ඉපදීම වැළැක්වීමේ වරදට දඬුවම අවුරුදු දහය දක්වා වන සිර දඬුවමකි. මෙයින් පෙනී යන්නේ, මනුෂ්‍යයෙකු ඝාතනය කිරීම සහ කළලයක් ‘ඝාතනය’ කිරීම අතර යම් වෙනසක් ඇති බව නීතියේදී පිළිගැනෙන බවයි. හෙවත්, ඉපැදුණු කෙනෙකු ඝාතනය කිරීම සහ ඉපැදීම වැළැක්වීම අතර වෙනසක් ඇති බව නීතියේ පිළිගැනෙන බවයි. කොටින් කිවහොත්, ගබ්සාවක් යනු මනුෂ්‍ය ඝාතනයක් නොවන බවයි.

ජීවිතය පටන් ගන්නේ කොතැනින් ද යන ප්‍රශ්නයට යම් ප්‍රවේශයක් මේ ආශ්‍රයෙන් අපට සකසා ගත හැකිය. ශුක්‍රාණුවක් සහ ඩිම්බාණුවක් එක් වන මොහොතේ සිට පටන් ගැනෙන ක්‍රියාවලිය, දරුවෙකු වශයෙන් ජීවියෙකු මෙලොවට බිහි වන මොහොත දක්වා දිවෙයි. ක්‍රියාවලියක් යනු එකිනෙකින් වෙනස් තනි සිදුවීමක් හෝ සිදුවීම් කිහිපයක් හෝ නොව, එකිනෙකට ඈඳුණු ක්‍රියා සන්තතියකි. මේ නිසා ජීවීභාවය බිහි වන නිශ්චිත මොහොත මේ යැයි එකහෙළා කිව නොහේ. ඇත්ත වශයෙන්ම, ජීවීභාවය සහ පුද්ගලභාවය අතර විශාල වෙනසක් ඇත. මේ ජනනීය ක්‍රියා සන්තතිය (ගැබ් කාලය) තුළ කළලයට ස්වාධීන ‘පුද්ගලභාවයක්’ නොතිබීම විශේෂ ලක්ෂණයකි. හෙවත්, එම කළල ක්‍රියාවලිය ගැබිණි ගැහැනිය මතම පරායත්ත වන, ගැබිණි ගැහැනියගේ සිරුරේම අංගයක් වන බවයි. එබැවින්, එම දරා ගැනීම පිළිබඳ කායික සහ මානසික වගකීම පැවරෙන එකම පුද්ගලයා ඇය වන බැවින්, එය ඉවරයක් කිරීමේ (ගබ්සා කිරීමේ) අවසාන අයිතියත් ඇය සතු විය යුතු බව, කැමති වුවත් නැතත්, කෙනෙකු පිළිගත යුතුව තිබේ. එම ගැබ නිර්මාණය කිරීමේ ශුක්‍රාණුව දායාද කළ පිරිමියාට පවා එහිදී හිමිවන්නේ, සහභාගී හෝ සහයෝගී අයිතියක් පමණි. මන්ද යත්, දරු ගැබ දරන්නා සහ දරුවා වදන්නා ඔහු නොවන බැවිනි. ගැහැනිය යනු ඔහුගේ ශුක්‍රාණුව පෝෂණය කිරීම සඳහා පවතින අනිවාර්ය භාජනයක් නොවන බැවිනි.

අප මේ කතා කෙළේ, අන්‍යොන්‍ය එකඟත්වයෙන් ලිංගික සංසර්ගයේ යෙදුණු සහ ඒ හේතුවෙන් කළලයක් පිළිසිඳ ගත් සහ එම කළලය ආරක්ෂා කර ගැනීමේ හෝ අවසන් කිරීමේ අයිතිය පිළිබඳ ජීව විද්‍යාත්මක පැතිමානයක් ගැනයි. දියුණු ලෝකයේ රටවල මේ කාරණය පිළිබඳ නීති පද්ධති එකී ජීව විද්‍යාත්මක පදනම සැලකිල්ලට ගනිමින් පසු ගිය දශක කිහිපය තුළ වර්ධනය වී තිබේ. ඒ අනුව, ලංකාවේ මෙන් ගර්භනී මවගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමේ හේතුව මත පමණක් ගබ්සාව අනුමත කරන යුරෝපයේ එකම රට අයර්ලන්තය පමණි. අනික් සෑම රටකම, ගැබ් ගැනීමෙන් සති 12-14 දක්වා වන කාලයක් තෙක්, විශේෂ හේතු දැක්වීමක් නොමැතිව ගබ්සා කර ගැනීමේ පූර්ණ අයිතිය ගැහැනුන්ට ලබා දී තිබේ. දූෂණය කිරීමක් නිසා ගැබ් ගත් අවස්ථාවකදී මීටත් වැඩි කාලයක කළලයක් අවසන් කර ගැනීමේ අයිතිය පවා එවැනි රටවල ගැහැනුන්ට තිබේ.

අපේ යෝජිත නව නීතියේ එක් පැතිමානයක් මෙයයි. යම් ගැහැනියක දූෂණයට ලක්වීමෙන් ගැබ් ගනිතැ යි සිතන්න. (අවශ්‍ය නම්, මේ කියන්නේ වයස 10 ක හෝ 12 ක දැරියක තමන්ගේම පියා හෝ බාප්පා අතින් දූෂණයට ලක්වීමකැ යි සිතා ගන්න). එම දූෂකයාගේ දරුවා ඇය දරා සිටිය යුතු යැයි ද, වැදිය යුතු යැයි ද, හදාවඩා ගත යුතු යැයි ද කියන කෙනෙකු වෙතොත්, ඔහු කාදිනල්වරයෙකු වේවා, මහාචාර්ය සංඝයා වහන්සේ කෙනෙකු වේවා, අන්‍යාර්ථයෙන් කියන්නේ වෙනකක් නොව, අර දූෂකයාගේ දායාදය වින්දිත ගැහැනිය/දැරිය විසින්ම සදහට දරා ගත යුතු බව නොවේද? දූෂණය යන හුදු ක්‍රියාව තුළ ගැහැනිය විඳවන්නේ විනාඩි කිහිපයක් පමණි. එහෙත් මෙවැනි ආගමික උපදෙස් අනුව රටක් වැඩ කළොත් අර ගැහැනියට මුළු ජීවිත කාලයමත් නිරයක පැසවන්ට වන්නීය. එසේ වන්නේ, වැඩියත්ම, අර ගැහැනියට පෙරලා පරිභව කරන්නේත්, ඇයට සහ ඇගේ ‘නොවන’ දරුවා සමාජයෙන් නෙරපන්නේත්, මේ කියන පූජ්‍ය පක්ෂයේ ‘අනුශාසනා’ මත ගොඩනැගුණු පුරුෂ මූලික සමාජයක් විසින්ම වන බැවිනි.

වතිකානුව මේ මෑතක් වන තෙක්, ගබ්සාවට පමණක් නොව, උපත් පාලන කොපු පාවිච්චියටත් විරුද්ධව සිටියේය. අප්‍රිකාවේ දස දහස් ගණනින් ඒඞ්ස් රෝගයෙන් ගැහැනු පිරිමි මියයද්දී පවා, එම උවදුර පැතිරීම ක්ෂණිකව පාලනය කළ හැකි හදිසි ක්‍රමය වන්නේ හැකි තාක් උපත් පාලන කොපු පාවිච්චිය ප්‍රචලිත කිරීමෙන් බව වෛද්‍ය විද්‍යාවෙන් පෙන්වා දෙද්දී පවා, වතිකානුව උපත් පාලන කොපුව මහා පාපයක් වශයෙන් සලකා තහනම් කෙළේය. මන්ද යත්, මනුෂ්‍යයා බිහි වීම වළක්වන නිශ්චිත මොහොත, පිළිසිඳ ගැනීමටත් කලින්, එනම් පිරිමියාගෙන් ශුක්‍රාණුව පහ වන මොහොතේම එළෙඹෙතැයි වතිකානුව විශ්වාස කිරීමයි. එබැවින් ශුක්‍රාණු වෙන තැනකට යැවීම (කොපුවක් තුළට යැවීම) මහා ‘පාපයක්’ බවට පත්විය. කෙසේ වෙතත්, එම වතිකානුව අද වන විට යම් තරමකින්වත් කාදිනල් රංජිත් පියතුමාට වඩා ඉදිරියට ගොස් ඇති බවක් පෙනෙන්ට තිබේ.

වර්තමාන ලෝකයේ වසරකට මිලියන 46 ක් පමණ ගබ්සා කිරීම් වාර්තා වෙයි. ඉන් අඩකට ආසන්න ප්‍රමාණයක් නීති විරෝධීව සිදු කර ගන්නා ගබ්සාවන් ය. ගබ්සාව ලංකාවේ තහනම් නිසා දිනකට නීති විරෝධී ගබ්සා 1000 ක් පමණ සිදු කෙරෙතැ යි දළ වශයෙන් ගණන් බලා තිබේ. ඒවායින් සමහරක් සිදු කෙරෙන්නේ එරඬු දඬු හෝ අපිරිසුදු බයිසිකල් ස්පෝක් වැනි දේවල්වලින් බව ද කියැවේ. ලංකාවේ මාතෘ මරණවලින් සියයට 6 ක් පමණ සිදුවන්නේ එසේ නීති විරෝධීව සහ නිසි සෞඛ්‍ය ආරක්ෂණයෙන් තොරව සිදු කෙරෙන ගබ්සාවන් හේතුවෙන් බවට විවිධ අධ්‍යයනයන් සාක්ෂි දරයි.

මේ දේවල් පිළිබඳ ‘විශේෂඥ’ උපදෙස් සපයන ඉහත කී පූජ්‍ය පක්ෂයේ අයවළුන් සැලකිල්ලට ගත යුතු එක කාරණයක් තිබේ. ඒ මෙසේ ය:
අවුරුද්දකට ලෝකයේ සිදුවන අනාරක්ෂිත ගබ්සා කිරීම් මිලියන 20 න් සියයට 95 ක් සිදුවන්නේ දුප්පත් රටවල ය. ගබ්සාව පිළිබඳ වටහා ගත යුතු සකල අර්ථය එතැන තිබේ. මෙතරම් අනවශ්‍ය ගැබ් ගැනීම් සංඛ්‍යාවක් ඇති වන්නේ සහ ඒවා අනාරක්ෂිත ආකාරයෙන් අවසානයක් කර දැමීම සිදුවන්නේ දුප්පත් රටවලම වන්නේ ඇයි? දුප්පත්කම තුළ අනාරක්ෂිත ලිංගික සහවාසයට පසුබිම සලසනවා මෙන්ම, එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇති වන ගැබ් ගැනීමක් ගැහැනියකට දිගට දරා සිටීමට බැරි තරමේ සමාජ වටපිටාවකුත් මෙවැනි දිළිඳු රටවල පැවතීම ඊට හේතුවයි. එය, අධ්‍යාපනය, ලිංගික අවබෝධය, සමාජ ආකල්ප සහ ආර්ථික මට්ටම වැනි කරුණු මත කෙලින්ම රඳා පවතී. එසේම, ගබ්සාවට නීතියෙන් අවසර ඇති සහ ඒ සඳහා පහසුකම් සපයා ඇති රටවල ගබ්සාවකදී සිදු වන මරණ සංඛ්‍යාව ගබ්සා ලක්ෂයකට එකකි. අනිත් අතට, ගබ්සාව නීති විරෝධී වන සහ ඒ නිසාම අනාරක්ෂිත ගබ්සා කිරීම් සඳහා යොමු වන රටවල සිදුවන මරණ සංඛ්‍යාව ගබ්සා ලක්ෂයකට 330 කි. මේ කියන කිසිවක් සැලකිල්ලට නොගෙන, දූෂණයට ලක් වූ ගැහැනියක පවා එම දරු ගැබ දරා ගත යුතු යැයි කියන, ජීවිත කාලයම ඇය ‘තමාගේ නොවන’ දරුවෙකුත් කරේ එල්ලාගෙන සමාජ අපවාදයට ලක්විය යුතු යැයි කියන යම් දහමක් වේ නම්, එය මනුෂ්‍යයන් වෙනුවෙන් දේශනා කෙරෙන දහමක් විය නොහැක්කේය.■