රාවය

විද්‍යා ප්‍රබන්ධකරුවන් බියකරු අනාගතයන් ගැන අනතුරු අඟවනවා!

විද්‍යා ප්‍රබන්ධකරුවන් බියකරු අනාගතයන් ගැන අනතුරු අඟවනවා!

2017 අගෝස්තු මාසයේ පැවැති තෙවන වාර්ෂික Lanka ComicCon ජනප්‍රිය සංස්කෘතික උළෙලේදී මුල් වරට මෙරට විද්‍යා ප්‍රබන්ධ ගැනත් එක් සාකච්ඡා මඩුල්ලක කථාබහ කැරුණා.
විදෙස්ගතව සිටි නිසා ඇරයුම් ලැබුවද එයට සම්බන්ධ වීමට මට නොහැකි වුණත් මේ ක්ෂේත්‍රය ගැන තරුණ පිරිස අතර උනන්දුවක් මතු වීම හොඳ ලකුණක්.
විද්‍යා සන්නිවේදනයේ සහ විද්‍යා ප්‍රබන්ධකරණයේ පැතිකඩ ගැන ටික කලකට පෙර එස්.එම්. බන්දුසීල සූරීන් සමග මා කළ සංවාදය, මේ තීරු ලිපියේ පාඨකයන් සමග අද බෙදා ගන්නවා.
එස්. එම්. බන්දුසීල, ලොව සම්භාවනීය මට්ටමේ විද්‍යා විචාර සහ විද්‍යා ප්‍රබන්ධ කෘතීන් සිංහලට පරිවර්තනය කිරීමේ දශක ගණනාවක සිට යෙදී සිටින ප්‍රවීණ ලේඛකයෙක්.
1967දී විදුමිණ සතිපතා විද්‍යා පුවත්පතේ මුල් කතුවරයා ලෙස ක්‍රියා කළ බන්දුසීලයන් පසුව රජයේ රැකියාවක් කරන අතර තම කාලය හා මුදල් යොදවමින් විද්‍යා හා විද්‍යා ප්‍රබන්ධ පොත් පරිවර්තන පළ කිරීමට පිවිසියා. 1970දී ඩෙස්මන්ඩ් මොරිස්ගේ The Naked Ape කෘතිය ‘නිරුවත් වානරයා’ නමින් සිංහලයට පෙරළීමෙන් ඇරැඹුණු ඔහුගේ විද්‍යා සාහිත්‍ය මෙහෙවර අඩසියවසකට ආසන්න කාලයක් පැතිර තිබෙනවා.
බන්දුසීලයන් වඩාත් ම සිංහල පාඨකයන් අතර ජනාදරයට පත්වූයේ ආතර් සී. ක්ලාක්ගේ විද්‍යා ප්‍රබන්ධ නවකථා හා කෙටිකථා ගණනාවක් සිංහලට පෙරැළීම නිසායි. එයට අමතරව ක්ලාක්ගේ ප්‍රධානතම අනාගතවේදී විද්‍යා කෘතිය වූ Profiles of the Future ඔහු කාණ්ඩ දෙකකින් සිංහලට පරිවර්තනය කළා.
ඔබ ඉංග්‍රිසි විද්‍යා හා විද්‍යා ප්‍රබන්ධ කෘති සිංහලට පරිවර්තනය කිරීමට යොමු වූයේ ඇයි?
විද්‍යාව හැදෑරූ කෙනෙක් ලෙස මා හැම විට ම විද්‍යාත්මක කරුණු හා විවිධ විද්‍යාත්මක මත වාද ගැන උනන්දු වුණාා. විද්‍යා ප්‍රබන්ධ කියවීමට යොමු වූයේ විද්‍යාවේ අනාගතය පිළිබඳ කිසියම් අදහසක් ඒවායින් ලබා ගත හැකි වූ නිසයි. විද්‍යා ප්‍රබන්ධ කියවීමෙන් මම ලැබූ ආස්වාදය නිසා ඒවා සිංහලට පරිවර්තනය කර ඉංග්‍රීසි නොදත් පාඨකයාටත් ඒවා හඳුන්වා දිය යුතු යයි හිතුවා.
ආතර් සී ක්ලාක් ඉංග්‍රීසි බස ව්‍යක්ත ලෙස හැසිර වූ ලේඛකයෙක්. ඔහුගේ කෙටිකථා හා නවකථා සිංහලට පෙරළිමේදී ඔබ මුහුණ දුන් අභියෝග මොනවාද?
ඔව්. එතුමාගේ ඉංග්‍රීසි මෙන් ම අනාගත විද්‍යාත්මක නිපයුම් පිළිබඳ අදහස් සිංහලට පරිවර්තනය කිරීම අභියෝගයක් තමයි. ඒ නිසා ක්ලාක් මහතාගේ ඉංග්‍රීසි යෙදුම් ඒ ආකාරයටම සිංහලට ගෙන ඒමට මට හැකි වූවා යයි මම හිතන්නේ නැහැ. ඒත් හැකි තාක් දුරට එතුමාගේ අදහස් නිවැරදිව සිංහලෙන් ඉදිරිපත් කිරීමයි මගේ අරමුණ වූයේ.
ක්ලාක්ගේ ප්‍රබන්ධ අතරින් ඔබ මුලින් ම පරිවර්තනය කළේ කුමන කෘතිය ද? එයට ලැබුණු පාඨක ප්‍රතිචාර කෙසේ වී ද?
ප්‍රබන්ධ අතරින් මම මුලින් ම පරිවර්තනය කළේ විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යයේ නොමැකෙන නමක් තබා ඇති කෘතියක් වන 2001: ්ASpace Odyssey. එහි පරිවර්තිත නම “2001: අභ්‍යවකාශ වීර වාරිකාව”යි. එයට ඉතා හොඳ පාඨක ප්‍රතිචාරයක් ලැබුණු නිසා එම කථා මාලාවේ අනිත් ප්‍රබන්ධත් (2010, 2061 හා 3001) පරිවර්තනය කළා. මේ සියල්ල ම පාඨකයන් අතර ඉතා ජනප්‍රිය වුණා.
ක්ලාක්ගේ විද්‍යා ප්‍රබන්ධ නවකථා දුසිමක් පමණ ඔබ අතින් සිංහලට පෙරළී තිබෙනවා. පරිවර්තනය වැඩිපුර ම අභියෝගාත්මක වූ කෘතියක් තිබේද? ඒ කුමන හේතු නිසා ද?
මා දැනට පරිවර්තනය කර ඇති පොත් අතරින් වඩාත් ම දුෂ්කර පරිවර්තනය වුයේ Rendezvous with
Rama නම් ග්‍රන්ථයයි. මම එය ”රාමා හමුව” නමින් පරිවර්තනය කළා. මෙම ප්‍රබන්ධය ලියා ඇත්තේ අභ්‍යවකාශයේ සිට පොළොවට එන යානයක් වටායි. පරිවර්තනය දුෂ්කර වූයේ ක්ලාක් විස්තර කර ඇති එම යානයේ තාක්ෂණය අප නොදන්නා ඉතා සංකීර්ණ අනාගත තාක්ෂණයක් වීමත් බාහිර බුද්ධියක් හමුවීමේ දාර්ශනික ගැටලු ආදියත් නිසායි.
ක්ලාක් සියුම් උපහාසයට මෙන්ම ඉංග්‍රීසි වචන සමග සෙල්ලම් කිරීමට (puns) සමතෙක්. පරිවර්තනයේදී ඔබ එබඳු තැන් සිංහලට නැගුවේ කෙලෙස ද?
ඒක ඉතා ම දුෂ්කර කාර්යයක්. සමහර තැන්වලදී නම් ගැළපෙන වාක්ප්‍රයෝග යොදා ගන්නට හැකි වුණා.
ක්ලාක් විද්‍යා ප්‍රබන්ධ නවකථා මෙන් ම කෙටිකථා රැසක් ද ලියා තිබෙනවා. ඔබේ ප්‍රියතම ක්ලාක් නවකථාව හා කෙටි කථාව කුමක් ද? එයට හේතු දැක්විය හැකි ද?
මා වැඩියෙන් ම කැමති ක්ලාක්ගේ නවකථාව වන්නේ Songs of Distant Earth නම් විද්‍යා ප්‍රබන්ධයයි. මා එය “මිහිකතේ ගීතය” යන නමින් පරිවර්තනය කළා. ක්ලාක්ගේ බොහෝ විද්‍යා ප්‍රබන්ධවල අපට හමුවන්නේ සුපිරි තාක්ෂණයක් හා ඒවායේ ඇලීගැලී ජිවත් වන හා ඒවා ගැන ම වාද විවාද කරන චරිතයි. ඒත් මේ කථාව එයට වඩා වෙනස් මෙන් ම වඩාත් හැඟීම්බර කථාවක්. මෙම කථාවට පදනම් වී ඇත්තේ පෘථිවි අභ්‍යවකාශගාමියෙක් හා ඔවුන් ගොඩ බසින වෙනත් ග්‍රහලෝකයක රූමතියක් අතර ඇතිවන ආදරයයි. මම හිතන්නේ ක්ලාක්ගේ විද්‍යා ප්‍රබන්ධ අතර මෙය සුවිශේෂයි.
එතුමා ලියා ඇති කෙටිකථා අතරින් මම වඩාත් ම කැමති Into the Comet නම් ප්‍රබන්ධයටයි. එය ලියා ඇත්තේ ධූමකේතුවක් පරීක්ෂා කිරීමට යන යානාවක පරිගණකය ක්‍රියා විරහිතවීම වටායි. පරිගණකය වෙනුවට (පුරාණ ගණනය කිරීමේ මෙවලමක් වන) ඇබකස සිය ගණනක් යොදා ගනිමින් ඔවුන් යානයේ ගමන් මග ගණනය කර ගන්නවා. එය සියලු බාධක මැද මිනිස් හැකියාව ජය ගන්නා ආකාරය විදහා දක්වන කථාවක්.
සමහර විචාරකයන් කියන්නේ ප්‍රබන්ධ චරිත ගොඩනැංවීමේදී ක්ලාක් එතරම් උනන්දුවක් හෝ අවධානයක් දක්වා නැති බවයි. ඔබේ අදහස කුමක්ද?
මෙය ක්ලාක්ගේ ප්‍රබන්ධ සම්බන්ධයෙන් පමණක් නොව පොදුවේ විද්‍යා ප්‍රබන්ධ සම්බන්ධයෙන් නැගෙන චෝදනාවක්. මම දකින හැටියට නම් මෙයට හේතුව විද්‍යා ප්‍රබන්ධවල චරිතවල තැන ගන්නේ අදහස් හා සංකල්ප වීමයි. විද්‍යා ප්‍රබන්ධවලදී අපට හමුවන්නේ සාම්ප්‍රදායික චරිත නොවෙයි. උදාහරණයක් හැටියට කතානායකයා පරි ගණකයක් වන ප්‍රබන්ධයක, සාම්ප්‍රදායික චරිත නිරූපණයක් බලා පොරොත්තු විය හැකි ද?
ක්ලාක්ගේ ප්‍රබන්ධ හරහා මානව සංහතියේ දිගු කාලීන පරිණාමය ගැන කුමන ඉඟි අපට ලද හැකි ද?
ක්ලාක්ගේ සියලු ම පොත්වල මානවයාගේ අනාගතය ගැන ඇත්තේ සුබවාදී ආකල්පයක්. 2001 අභ්‍යවකාශ චාරිකාවේ මෙය ඉතා පැහැදිලිව දක්වා තියෙනවා. ලෙයින් මසින් සැදුණු මිනිස් සිරුරට වඩා ශක්තිමත් ලෝහ හා ප්ලාස්ටික් යොදා ගැනීමේ සිට විශ්වයේ රජවරුන් වීම දක්වා ක්ලාක් විස්තර කරන මිනිස් අනාගතය ඉතා සුභවාදීයි. 3001 ග්‍රන්ථයේ විස්තර කරන ‘මොළ වැස්ම’ (brain cap) වැනි උපකරණ තවම නිපදවා නැති නමුත් ඉලෙක්ට්‍රොනික ක්‍රම මගින් කෙළින් ම දැනුම ලබා ගැනීම තව දුරටත් ප්‍රබන්ධයක් නොවෙන බව දැන් පැහැදිලියි. ක්ලාක් ලියා ඇති ආකාරයට ක්‍රමයෙන් බුද්ධිමත් යන්ත්‍ර හා බද්ධ වීමෙන් උත්තර මිනිසෙක් (Post-Human) බිහි වන බවට දැන් සාක්ෂි තියෙනවා.
ක්ලාක් ජීවිත කාලය පුරා සිය ප්‍රබන්ධ හා විද්‍යා කෘතීන් හරහා ප්‍රතිපත්තිමය ස්ථාවරයන්හි රැඳී සිටියා. ප්‍රචණ්ඩත්වයට එරෙහි වීම එයින් එකක්. එය නිර්මාණවල මතු වුණේ කොහොම ද?
ඔව්. එතුමා හැම විට ම හිංසාව හා ප්‍රචණ්ඩත්වයට විරුද්ධව කථා කළා. ඔහුගේ ප්‍රබන්ධවල ප්‍රධාන චරිත බොහෝ විට ප්‍රචණ්ඩත්වය හෙළා දැක්කා. මනුෂ්‍යයන්ට පමණක් නොව සියලු ම සතුන් කෙරෙහිත් අප අවිහිංසාවාදී විය යුතු යයි එතුමා විශ්වාස කළා. මෙය ඉතා පැහැදිලිව ම දැකිය හැකි අවස්ථාවක් තමයි ෘැැDeep Range නම් විද්‍යා ප්‍රබන්ධය. මෙයත් සිරිල් සී පෙරේරා මහතා “ගැඹුරු මුහුද” යන නමින් සිංහලට පරිවර්තනය කර තියෙනවා.
ක්ලාක්ගේ විද්‍යා ප්‍රබන්ධ පොදුවේ සලකා බලන විට ශ්‍රී ලංකාවේ අඩ සියවසක් වාසය කිරීමේ බලපෑම ඔහුගේ නිර්මාණ හරහා විද්‍යමාන වන්නේ කෙසේද?
ඔහුගේ එක් කෘතියකට එනම් Fountains of Paradise නම් කෘතියට පදනම් වී ඇත්තේ ශ්‍රී ලංකාවයි. මම එය ‘පාරාදිසයේ උල්පත්’ යනුවෙන් පරිවර්තනය කළා. මෙහිදී එතුමා සීගිරිය, ශ්‍රීපාදය හා ලංකාවේ ඇති ජනප්‍රවාද ඉතා ම නවීන විද්‍යාත්මක සංකල්පයක් වන අභ්‍යවකාශ සෝපානය සමග මුසු කර නිර්මාණය කර ඇති ප්‍රබන්ධය සුවිශේෂ කථාවක්. එයට අමතරව අපේ සමාජයේ දක්නට ඇති අහිංසාව වැනි අදහස් එතුමාගේ කෘතිවල ප්‍රබල ලෙස දක්නට ලැබෙනවා.
විද්‍යා ප්‍රබන්ධ යයි එවකට හඳුන්වනු නොලැබුව ද එම කථාවල මූලික ගුණාංග අඩංගු අපූරු කථාන්තර විවිධ සංස්කෘතීන්ගෙන් හමු වෙනවා. මේ සඳහා පෙරදිග රටවල හා මෙරට උදාහරණ දැක්විය හැකි ද?
ඔව්. රාමායණය හා මහාභාරතය වැනි කථාවල (මිසයිල වැනි) විද්‍යා ප්‍රබන්ධ ලක්ෂණ දකින්නට ලැබෙනවා. අපේ උම්මග්ග ජාතකයේ වුවත් යමක් එබූ පමණින් සියලු දොරවල් වැසී යන උමං ගැන සඳහන් වෙනවා.
විද්‍යා ප්‍රබන්ධ (science fiction) හා මායාරූපී කථා ( science fantasy) බොහෝ දෙනා පටලවා ගන්නවා. මේ දෙක වෙන් කර හඳුනා ගන්නේ කෙසේ ද?
විද්‍යා ප්‍රබන්ධ හා මායාරූපී කථා අතර ඇත්තේ ඉතා නොපැහැදිලි අනියත සීමාවක්. නමුත් මූලික වශයෙන් විද්‍යා ප්‍රබන්ධය යනු අප දන්නා කරුණු මත පදනම්ව අනාගතයේ සිදුවිය හැකි සංසිද්ධියක් වටා ගෙතූ ප්‍රබන්ධයක්. මායාරූපී කථාවකට එවැනි පදනමක් නැහැ. නමුත් එක් යුගයකදී මායාරූපී කථාවක් ලෙස පෙනෙන දෙයක් තවත් කාලයකදී විද්‍යා ප්‍රබන්ධයක් වීමටත් ඉඩ තියෙනවා.
උදාහරණයක් හැටියට ආතර් ක්ලාක් විසින් ම වරක් පෙන්වා දී ඇති ආකාරයට 1938ට (පරමාණුක ශක්තිය සොයා ගැනීමට) පෙර ලෝහ කැබලි දෙකක් එකිනෙක ගැටීමෙන් යෝධ ශක්තියක් නිපදවිය හැකි යයි ලියා තිබුණේ නම් එය මායාරූපී කථාවක් වෙනවා. ඒත් දැන් පරමාණුක ශක්තිය එදිනෙදා කටයුතුවලට යොදා ගන්නා දෙයක්.
විද්‍යා ප්‍රබන්ධ හුදෙක් අනාගත කථාවලට පමණක් සීමා වන්නේ නැහැ. එසේ නොවී අනිකුත් දිශාවලට විද්‍යා ප්‍රබන්ධ කලාව විහිද ගොස් ඇති සැටි කෙටියෙන් පහදා දිය හැකි ද?
මුල් විද්‍යා ප්‍රබන්ධ වැඩි වශයෙන් ම ලියවුණේ අනාගතය හා අභ්‍යවකාශ ගමන් වටායි. මෙම සාහිත්‍යාංගය ක්‍රමයෙන් පරිණත වන විට විද්‍යාවේ අනිකුත් අංශවලටත් එය විහිදි ගියා. අද විකල්ප ඉතිහාසය, කාල තරණය, රොබෝවන්, සයිබෝර්ග්, යන්ත්‍ර බුද්ධිය, බලක්ෂේත්‍ර, සයිබර් අවකාශය, ජාන විද්‍යාව, උත්තර මානවයන් (Post-Humans) වැනි විද්‍යාවේ විවිධ අංශ වටා විද්‍යා ප්‍රබන්ධ ලියැවෙනවා.
නුදුරු අනාගතයේ බිහි විය හැකි සියල්ල යන්ත්‍රවලින් කෙරෙන සමාජයක මිනිසාගේ කාර්යභාරය කුමක් ද? ඉලෙක්ට්‍රොනික ක්‍රමවලින් කෙළින් ම මොළයට දැනුම ලබාගත හැකි වුවහොත් අධ්‍යාපන ක්‍රමවල අනාගතය කුමක් වේ ද? මිනිස් මොළ එකිනෙකට සම්බන්ධ කළ හැකි වූ විට පුද්ගලික රහස්‍ය බවක් (privacy) පවත්වා ගත හැකි ද? කෘත්‍රිම ඉන්ද්‍රියන් භාවිතයට ගැනීමේ සාමාජීය බලපෑම් මොනවාද? මොළයේ ඇති සියලු තොරතුරු පරිගණකයක් තුළට ගෙන ආ විට මිනිසාට සිදු වන්නේ කුමක්ද ? ආදි වශයෙන් වත්මන් තාක්ෂණික නිපයුම් නිසා ඇති විය හැකි ප්‍රශ්න ගැන ප්‍රධාන සාහිත්‍ය ධාරාවේ නියුතු කිසිම ලේඛකයෙක් සාකච්ඡා කරන බවක් පෙනෙන්නේ නැහැ. මිනිස් වර්ගයාටත්, මිනිස් අනාගතයටත් ඉතා වැදගත් වන මෙවැනි තේමාවන් ගැන ලියන්නේත් සාකච්ඡා කරන්නේත් විද්‍යා ප්‍රබන්ධ රචකයන් පමණයි.
ක්ලාක් ඇතුළු ප්‍රවීණ විද්‍යා ප්‍රබන්ධ රචකයන් බොහෝ දෙනෙකු තම සාහිත්‍යාංගය දුටුවේ අනාවැකි කීමක් ලෙස ද? නැත්නම් වෙනත් විදියකට ද?
මුල් විද්‍යා ප්‍රබන්ධ ලියැවුණේ අභ්‍යවකාශ යුගය ආරම්භ වීමට බොහෝ කලකට පෙරයි. ඒවා බොහෝ දුරට අභ්‍යවකාශ ගමන් පිළිබඳ ඒවා වූ නිසා අනාගතය දැකීමක් ලෙස සැලකිය හැකියි. ඒත් විද්‍යා ප්‍රබන්ධ එයට සීමා වූයේ නැහැ. ඇත්ත වශයෙන්ම විද්‍යා ප්‍රබන්ධයේ කාර්යභාරය වන්නේ විද්‍යාවේ හා තාක්ෂණයේ වේගවත් දියුණුවත් සමග අපට අනාගතයේ මුහුණ පෑමට සිදුවන සමාජීය, මානසික හා සදාචාරාත්මක ප්‍රශ්නවලට අප හුරුපුරුදු කිරීමයි.
විද්‍යා ප්‍රබන්ධකරුවන් අනාගතය ගැන අනාවැකි කියන්නන් නොව අයහපත් හෝ බියකරු අනාගතයන් වළක්වා ගන්නට අනතුරු අඟවන්නන් යයි ලේඛක රේ බ්‍රැඞ්බරි (Ray Bradbury) වරක් කියා සිටියා. මේ ගැන ඔබේ අදහස?
එය සත්‍යයක්. බියකරු අනාගතයන් පිළිබඳ අනතුරු අඟවා ඒවා වළක්වා ගැනීමට විද්‍යා ප්‍රබන්ධ සහාය වනවා පමණක් නොව අනාගත තාක්ෂණයට අප හුරුපුරුදු කරනවා. ඒ වගේ ම විද්‍යා ප්‍රබන්ධ මගින් අපේ සමාජයට නව අදහස් හා ආකල්ප හඳුන්වා දෙනවා. සමාජය සූදානම් කරනවා යයි ද කිව හැකියි.■