රාවය

නීතිය ක්‍රියාත්මක කරනු

නීතිය ක්‍රියාත්මක කරනු

රටේ නීතිය ක්‍රියාත්මක වන ආකාරය පරීක්‍ෂාවට ලක්වන මොහොතක් යළි පැමිණ තිබේ. සෞඛ්‍ය ඇමතිවරයා සතියේ මාධ්‍ය සාකච්ඡාවේ දී ද, මුදල් හා ජනමාධ්‍ය ඇමතිවරයා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් ද කීවේ, දැන් නීතිය ක්‍රියාත්මක විය යුතු බව ය.
ඒ, ලංකාවේ නීත්‍යනුකූල ව තාවකාලික වශයෙන් වාසය කළ, බුරුමයේ රෝහින්ග්යා සරණාගතයන් සොයාගෙන ගොස්, ඔවුන්ට අඩන්තේට්ටම් කොට, බිය වද්දා, මරණ බය ඇති කිරීම හා ඒ ආශ්‍රිත තවත් අපරාධවලට එරෙහි ව ය. චුදිතයෝ වනාහි චීවරධාරියෝ සහ බෞද්ධ ආගමික අන්තවාදියෝ ය. ඉන් සමහරු හැම අතින් ම මානසික රෝගීන් වැනි ය. වරින් වර සුළුතර ජාතිකයනට එරෙහි ව ප්‍රචණ්ඩ ක්‍රියා කිරීමේ හා ඒවාට මිනිසුන් උසි ගැන්වීමේ ප්‍රතිඵලයක් හැටියට මොවුන් රක්‍ෂිත බන්ධනාගාර ගත ව සිට යළි පිටතට පැමිණෙන නමුත්, රක්‍ෂිත බන්ධනාගාරය හෝ බන්ධනාගාරය හෝ ඔවුන්ට සුවපහසු වැඩි ය. ඇත්ත වශයෙන් ම ඔවුන් ගාල් කල යුත්තේ මානසික රෝහල්වල ය. ඒ තරමින් ඔවුන්ගේ පැවතුම් විකෘති ය.

එහෙත්, නීතිය ක්‍රියාත්මක කළ යුත්තේ අප නොවේ. ඉහත කී ඇමතිවරුන් ම ධුර දරන ආණ්ඩුව විසිනි. ඒ ආණ්ඩුවේ නීතිය හා සාමය පිළිබඳ ඇමතිවරයෙක් සිටියි. ඔහු මේ ගැන මේ වන තුරු කිසිවක් කියා නැත. අපරාධය සිදුවුණු අඟහරුවාදා සිට තවමත් මේ අපරාධකාරයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නේ නැත.
වර්තමාන ආණ්ඩුව බලයට එන්නට එක් හේතුවක් වුණේ ආගමික හා ජාතික අන්තවාදයට ඉඩක් නොතබන බවට ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් මහජනතාව හමුවේ දුන් පොරොන්දු ය. පසුගිය ආණ්ඩුව කාලයේ, ආණ්ඩුවේ නිසඟ මතවාදය හැටියට ම ඇති කොට පෝෂණය කරන ලද ආගමික හා ජාතික අන්තවාදයේ පැවැත්මට කිසි ම ඉඩක් මේ ආණ්ඩුව යටතේ නොලැබිය යුතු බවට ජනතාව බලාපොරොත්තු සහගතව සිටියහ. එහෙත්, තමන් පත්වුණු දා සිට ඇති වූ සිදුවීම්වල දී මේ ආණ්ඩුව දැක්වූ ඇල්මැරුණු ප්‍රතිචාර අනුව, ඒ බලාපොරොත්තුව ද දුඹුල් වෙමින් යන සෙයක් පෙනෙයි.

රෝහින්ග්යා සරණාගතයන් මෙහි රැඳී සිටියේ ලංකාවේ නීතියට අනුකූල ව ය. ඊටත් වඩා, එක්සත් ජාතීන්ගේ සරණාගයන් පිළිබඳ මහකොමසාරිස්ගේ අනුදැනුම හා අවසරය පිට ය. ඒ නිසා අපට ඔවුන්ගේ ජීවිතවල ආරක්‍ෂාව හා සුබසිද්ධිය ගැන අපට දේශීය ව ද ජාත්‍යන්තර ව ද බැඳීමක් තිබේ. ඒ බැඳීම් කඩ කරන යමෙක් වෙද ඔහු කරන්නේ වරදකි. ඒ වරද කරමින්, පීඩාවට පත් ඒ මිනිසුන්ට මරණ බිය ඇතිකරන යමෙක් වෙද, ඔහු කරන්නේ අපරාධයකි. ඒ නිසා ඔවුන් නීතිය හමුවට ගෙන ආ යුතු ය. එහිදී දිය හැකි උපරිම දඬුවම් දිය යුතු ය.

චීවර දැරීම රටේ නීතිය නොතකා උද්දච්ච ආකාරයෙන් ක්‍රියා කරන්නට බලපත්‍රයක් ලැබීමක් නොවේ. ඊටත් අමතරව මහජනයා කුපිත කොට, තවත් මිනිසුන් පිරිසකට හානි පමුණුවන්නට බලපත්‍රයක් ද නොවේ. එහෙත්, මේ අන්තවාදීන් එය දන්නා බවක් පෙනෙන්නේ නැත. ඒ නිසා, සමාජයක් හැටියට අප ඔවුන්ට ඒ බව ඉගැන්විය යුතු ය. එය කළ හැක්කේ ඔවුන්ට එරෙහි ව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමෙනි.

මේ මොහොතේ නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවුණහොත්, තමන් සිවුරු දරන නිසා, නීතියට වඩා ඉහළින් සිටින්නට හැකි බව මේ අන්තවාදීන් සිතනු ඇත. භික්‍ෂු ප්‍රාතිමොක්‍ෂ ශීලය පසෙක තැබුවත්, රටේ සාමාන්‍ය නීතියට උඩින් කිසිවෙක් නැත.
ඉහත කී ඇමතිවරුන් දෙපළ කී දේ ගැන නීතිය හා සාමය පිළිබඳ ඇමතිවරයා වහා ම ක්‍රියාත්මක විය යුතු ය. අන්තවාදී චීවරධාරීන්ට හා තවත් කුඩා කණ්ඩායමකට වුවමනා විදියට රට කරන්නට ඉඩ නොදෙන බවත්, මේ රස්තියාදුකාරයන්ගේ තිරිසන් ක්‍රියා පිළිකෙව් කරන, හෙළා දකින හා ඒවා ලාංකික සමාජයෙන් දැන්වත් අතු ගා දැමිය යුතු බවත් සිතන හා කියන රටේ මහජනතාව ඒ සඳහා ආණ්ඩුවට තව තවත් බලපෑම් කළ යුතු ය.■