රාවය

දූෂණ නඩුවලට මහාධිකරණ 3ක්

අරුණ ජයවර්ධන

රුපියල් මිලියන පහකට වැඩි වටිනාකමකින් යුක්ත අල්ලස්, වත්කම්, දූෂණ, මුදල් විශුද්ධිකරණය, වංචා, සාපරාධී සාවද්‍ය පරිහරණය, සාපරාධී විශ්වාසය කඩකිරීම, කූට ලේඛන සෑදීම හා වෙනත් එවැනි අක්‍රමිකතා පිළිබඳව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිශ්චය මණ්ඩල තුනක් මගින් දිනපතා නඩු ඇසීම සඳහා අවශ්‍ය පියවර මාස හයක් තුළ ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අධිකරණ ඇමතිනි තලතා අතුකෝරලට නියම කර තිබේ.
නෛතික කටයුතු (දූෂණ විරෝධී) හා මාධ්‍ය කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් සකස් කරන ලද, අපරාධ යුක්තිය පසිඳලීම කඩිනමින් හා කාර්යක්ෂමව සිදුකිරීමට අදාළ නිර්දේශ පිළිබඳ වාර්තාව එම කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් විසින් ඔක්තෝබර් 12 වැනිදා සවස ජනාධිපතිවරයාට පිළිගැන්වුණු අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ නියෝගය අධිකරණ ඇමතිනිය වෙත කර ඇත.

ඊට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (1) ඇ ව්‍යවස්ථාව යටතේ දූෂණ විරෝධී මහාධිකරණයක් පාර්ලිමේන්තුව විසින් අලුතෙන් පිහිටුවිය යුතුයැයිද කාරක සභාව සිය වාර්තාවෙන් කියයි. එම මහාධිකරණය විසින් දැනට පවතින නීති මගින් අර්ථ නිරූපණය කර ඇති වැරදි පිළිබඳව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනකුගෙන් යුක්ත විනිශ්චය මණ්ඩල තුනක් මගින් දිනපතා නඩු විභාග පැවැත්විය යුතුයැයිද කාරක සභාව නිර්දේශ කර තිබේ. මිනීමැරුම්, මිනීමැරුමට තැත්කිරීම් හා ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් මහාධිකරණ නඩු විභාග ආරම්භ වූ පසුව එම විභාගද දිනපතා පැවැත්විය යුතුයැයි වාර්තාවෙන් කියයි.
වාර්තාව පිළිගැන්වීමේ අවස්ථාවට කාරක සභිකයන් වන අජිත් පී පෙරේරා, එම්ඒ සුමන්තිරන් ඇතුළු අනෙකුත් සාමාජිකයන්ද, අධිකරණ ඇමතිනිය, නීතිපතිවරයා සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාද සහභාගිවී තිබේ.■