රාවය

රාවය මුලින්ම හෙළිදරව් කළ කළු සල්ලි සුදු කළ නාමල්ගේ සමාගම්

රාවය මුලින්ම හෙළිදරව් කළ කළු සල්ලි සුදු කළ  නාමල්ගේ සමාගම්

ලසන්ත රුහුණගේ

බටපොළ ආරච්චිගේ ඔනෙර්ලා ඉරේෂා සිල්වා ජනමාධ්‍යවල මාතෘකාවක් බවට අද පත්වී ඇත. ඒ පසුගිය ඔක්තෝබර් 09 දින ශ්‍රී ලංකාවට පැමිණිවිට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ඇය අත්අඩංගුවට ගැනීමත් ඉන්පසු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ඇය බාරදීමත්, පසුව ඔක්තෝබර් 10 දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇය ඇප මත මුදා හැරීමේ සිද්ධි දාමය නිසාය.

ඇය චෝදනා ලබා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂට අයත් ගවර්ස් කෝපරේට් සර්විසස් පෞද්ගලික සමාගමේ අධක්‍ෂවරියක හා නාමල් රාජපක්‍ෂගේ ලේකම්වරියක ලෙස කටයුතු කරමින් රුපියල් මිලියන 30ක මුදලක් අයුතු ලෙස උපයාගැනීමට සම්බන්ධ සිද්ධියකටය. ඒ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ වූ වරදවල් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ, ඉන්දික ප්‍රභාත් කරුණාජීව, පවිත්‍රිකා සුජානි බෝගොල්ලාගම, නිත්‍යා සේනානි සමරනායක හා බටපොළ ආරච්චිගේ ඔනෙර්ලා ඉරේෂා සිල්වා මහාධිකරණය හමුවේ චෝදනා ලබා තිබුණි. එම අයථා මුදල් ඉපැයීමෙන් ‘හෙලෝ කෝප්’ සමාගම මිලදී ගැනීම නඩුවට නිමිත්ත වී තිබුණි.

මෙහිදී ඉන්දික ප්‍රභාත් කරුණාජීව හා බටපොළ ආරච්චිගේ ඔනෙර්ලා ඉරේෂා සිල්වා නොමැතිව අදාළ නඩුව විභාගයට ගැනුණු අතර එම දෙදෙනාට එරෙහිව වරෙන්තු නිකුත් කර තිබුණි. මෙම නඩුව නැවත නොවැම්බර් 01 වැනිදා කැඳවීමට නියමිත අතර වරෙන්තුකාර ඉන්දික ප්‍රභාත් කරුණාජීව තවමත් අත්අඩංගුවට ගැනීමට හැකිවී නැත.

ජාත්‍යන්තර රතු වරෙන්තුවක් අනුව බටපොළ ආරච්චිගේ ඔනෙර්ලා ඉරේෂා සිල්වාව ඩුබායිහිදී අත්අඩංගුවට ගත් බවත් ඇය ශ්‍රී ලංකාවට රැගෙන එමින් පවතින බවත් සමහර මාධ්‍ය පුවත් පළකළ අතර තවත් මාධ්‍ය කීවේ ඇය ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන නැති බවත් ඇය සාමාන්‍ය ලෙස ඩුබායිහි ගුවන්තොටුපලින් කොළඹ බලා ඒමට පිටත්වූ බවත්ය. එමෙන්ම ඇය අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ රතු වරෙන්තුවද කල් ඉකුත් වූ එකක් බව සමහර මාධ්‍ය පළ කළේය. සමහර වාර්තාවන්ට අනුව ලංකාවේ පොලිසිය ඉන්ටර්පෝල් වෙතින් කළ ඉල්ලීමට අනුව ඇය එරටින් පිටුවහල් කොට තිබුණි.

කෙසේ වෙතත් ඇය නිල වශයෙන් කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත්තේ ආගමන හා විගමන නිලධාරීන් වන අතර පසුව පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයට බාරදී තිබුණි. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 5ක මුදල් හා රුපියල් ලක්ෂ 50ක ශරීර ඇප මත ඇය මුදා හළ අතර මසකට වරක් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පෙනී සිටීමට නියෝග කර රටින් පිටවීමද තහනම් කළේය. විශේෂත්වය වූයේ ඇයට ඇප දීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව විරුද්ධත්වයක් ප්‍රකාශ නොකිරීමය. අධිකරණය මඟ හැරීමට නිදහසට කරුණු වශයෙන් ඇය කියා තිබුණේ මැද පෙරදිග රැකියාවක ඇය නිරතවී සිටි බවත් එහි රැකියා ගිවිසුම අවසන්වීමෙන් පසු නඩුවට ඉදිරිපත් වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි බවත්ය.

කෙසේ හෝ ඇය ඩුබාහිදී අත්අඩංගුවට ගැනීම හෝ නොගැනීම ශ්‍රී ලංකාවට පැමිණීම, කටුනායකදී අත්අඩංගුවට ගැනීම නඩුවට ඉදිරිපත් වීම හා ඇප ලබාදීමට විරුද්ධ නොවීම යන එකිනෙකට සම්බන්ධ කරුණු අතර පෙනෙන මතුපිට දෙයට වඩා වෙනත් යම් දෙයක් සිදුවී ඇතිය යන සැකයද එම සිද්ධි දාමය ආශ්‍රයෙන් මතුවේ.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂගේ සමාගම් සැක සහිත ගනුදෙනුවල යෙදෙන බව ‘රාවය’ හෙළිදරව් කරන ලද්දේ පසුගිය 2015 වසරේ අවසන් කාලයේ හා 2016 වසරේ මුල් කාලයේදීය. ඒ ‘නාමල්ගේ සමාගම සැක ගනුදෙනුවල’ යනුවෙන් 2015 දෙසැම්බර් 27 දින හා ‘නාමල්ගේ සමාගම විකුණා කළු සල්ලි සුදු කළාද? ස්ථාවර ගිණුමට ඩොලර් 58000ක් ආවේ කෙහෙන්ද?’ යනුවෙන් 2016 ජනවාරි 03 දිනදීය.

එහිදී අප හෙළිදරව් කළේ නාමල් රාජපක්‍ෂගේ එන්ආර් කන්සල්ටන්ට්ස් පෞද්ගලික සමාගම පිළිබඳවය. 2011 දෙසැම්බර් 15 වැනිදා නීතිඥයකු වශයෙන් දිව්රුම් දුන් නාමල් රාජපක්‍ෂ ඉන් මාසයක් ඉකුත් වීමටත් පෙර 2012 ජනවාරි 16 දින සහිතව සමාගම් රෙජිස්ට්‍රාර් වරයාගෙන් එම සමාගමට ලියාපදිංචිය ලබා ගැනීම වූ කලි ඔහු නීතිඥයෙකු වශයෙන් දිව්රුම් දීමටත් පෙර එවැනි සමාගමක් ගැන කටයුතු කරමින් සිටි බවට සාක්ෂියකි. අද මහාධිකරණ නඩුවට මුහුණ දී සිටින නිත්‍යා සේනානි සමරනායක එම සමාගමේද පළමු අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකාවකි.
මේ ළදරු එන්ආර් කන්සල්ටන්ට්ස් සමාගමට, අංක 30/51ඒ, ලොන්ඩන් පෙදෙස, කොළඹ 07 ලිපිනයේ ලියාපදිංචි ‘බොස්ටන් කැපිටල් සමාගම,’ 2012 ජුලි සිට 2013 පෙබරවාරි දක්වා මාස කිහිපයේදී පමණක්, ලබාගත්තේ යැයි කියන උපදේශන සඳහා රුපියල් එක්කෝටි හැත්තෑ හත් ලක්ෂ අනූ අටදහස් හයසීයක (17,798,600) මුදලක් ගෙවා ඇත.

මීට අමතරව එස්එච්එස් කන්ස්ට්‍රක්ෂන් සමාගමද 2012 ජුලි 05 දින රුපියල් 225,000ක් හා 2012 අගෝස්තු 23 රුපියල් 500,000ක් වශයෙන් රුපියල් හත් ලක්ෂ විසිපන් දහසක මුදලක් උපදේශන සේවා වෙනුවෙන් එන්ආර් කන්සල්ටන්ට්ස් සමාගමට ගෙවා ඇත. එහි විශේෂත්වය වන්නේ එස්එච්එස් කන්ස්ට්‍රක්ෂන් සමාගමේ අධ්‍යක්ෂවරියක වන පවිත්‍රිකා සුජානි බෝගොල්ලාගම නාමල් රාජපක්‍ෂගේ එන්ආර් කන්සල්ටන්ට්ස් සමාගමේ එවක සාමාන්‍යාධිකාරිනී වීමත්, මේ වනවිට අධිකරණයේ විභාග වන නඩුවට අදාළ ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගමේ චෝදනා ලත් අධ්‍යක්‍ෂවරියක වීමත්ය.

තවද කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ බටහිර කුලුනේ හතරවන මහලේ පිහිටි ඔබසප්ං සමාගමද 2012 ඔක්තෝබර් 18 දින ඇමරිකානු ඩොලර් 5000ක මුදලක් උපදේශන සේවා ගාස්තු වශයෙන් නාමල් රාජපක්‍ෂගේ එන්ආර් කන්සල්ටන්ට්ස් සමාගමට ගෙවා ඇති අතර, 2013 ජනවාරි මාසයේදී නාමල් රාජපක්‍ෂගේ ඥාති සොහොයුරාට අයත් (හිමාල් ලලීන්ද්‍ර හෙට්ටිආරච්චි නම් වන මහින්ද රාජපක්‍ෂගේ සහෝදරියගේ පුත්‍රයාට අයත්) චෙස්මි කොන්සොලි ඬේටඞ් සමාගමද උපදේශන සේවා සඳහා රුපියල් 5959000ක මුදලක් ගෙවා ඇත.

ඒ අනුව ‘රාවය’ එදා වාර්තා කළේ එම කාලයේදී පමණක් උපදේශන සේවා සඳහා නාමල් රාජපක්‍ෂලාගේ එන්ආර් කන්සල්ටන්ට්ස් සමාගමට ලැබී ඇති මුදල (ඩොලර් 5000 සමඟ) රුපියල් දෙකෝටි පනස් ලක්ෂයකට අධිකය. එය මිලියනවලින් රුපියල් මිලියන 25කට අධිකය. වත්මන් නඩුවේ මුදල් විශුද්ධිකරණයට අදාළ චෝදනා එල්ලවී ඇති මුදල රුපියල් මිලියන 30 හා සැසඳීමේදී රුපියල් මිලියන 5ක පමණ මිල අඩුවකි.

මේ කියන නාමල් රාජපක්‍ෂගේ එන්ආර් කන්සල්ටන්ට්ස් සමාගම රුපියල් මිලියන 50ක මුදලකට බංගලාදේශ ජාතිකයෙකු වන අහමඞ් අල් සමාන් නමැත්තෙකුට ලියකියවිලි අනුව විකුණා ඇති බවද අපි හෙළිදරව් කළෙමු. සුප්‍රකට කැසිනෝ ව්‍යාපාරික ධම්මික පෙරේරාට අයත් පෑන් ඒෂියා බැංකුවේ ඇති නාමල් රාජපක්‍ෂලාට අයත් ගිණුමකට අදාළ මුදල බැරවී ඇති බවත්, විදේශිකයෙකු සමග සිදුවන ගනුදෙනුවකදී සිදුවිය යුතු පියවර එහිදී අනුගමනය කර නැති බවත් අපි පෙන්වා දුන්නෙමු.

එමෙන්ම ලියවිලි අනුව කොටස් අයිතිය එම බංගලාදේශ ජාතිකයාට හිමිවුවද එන්ආර් කන්සල්ටන්ට්ස් සමාගමේ ලේකම්වරුන් ලෙස ප්‍රශ්නගත ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගමට අනුබද්ධ ගවර්ස් සෙක්‍රටේරියල් සර්විසස් නමැති සමාගමක් පත්වන බවත්, එන්ආර් කන්සල්ටන්ට්ස් සමාගමේ එක් අධ්‍යක්ෂවරියක වන සුදර්ශා බණ්ඩාර ගනේගොඩගේ ලිපිනය අංක 175/2, පරණ කැස්බෑව පාර, මිරිහාන නුගේගොඩ යන මහින්ද රාජපක්ෂගේ ලිපිනය බවත්, ඒ නිසාම රාජපක්‍ෂවරුන්ගේ අයිතිය පිළිබඳ ප්‍රශ්න සැක නැගිය නොහැකි බවත් අපි පෙන්වා දුන්නෙමු.
කෙසේ වෙතත් අප වැඩිදුරටත් අනාවරණය කළේ එන්ආර් කන්සල්ටන්ට්ස් සතුව තිබූ ඇමරිකානු ඩොලර් 58000ක ස්ථාවර තැන්පතුවත් ප්‍රශ්නගත ගවර්ස් කෝපරේට් සමාගමේ ඇමරිකානු ඩොලර් ස්ථාවර තැන්පතුවට මාරු කරන ලෙසට එන්ආර් කන්සල්ටන්ට්ස් සමාගම විසින් පෑන් ඒෂියා බැංකුවට කරන ලද ලිඛිත දැනුම්දීමක් පිළිබඳවය.

පෑන් ඒෂියා බැංකුවේ ඇති අදාළ සමාගම්වලට අයත් බැංකු ගිණුම් කිහිපයක අංක ද ඉදිරිපත් කරමින් අප එම අනාවරණයන් තුළදී කීවේ ඒ පිළිබඳව දූෂණ අක්‍රමිකතා පිළිබඳව සොයා බලන ආයතනවල හා පරීක්‍ෂණ කණ්ඩායම්වල දැඩි අවධානය යොමු විය යුතු බවය.

ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගම පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිලි ඉදිරිපත් වූයේ ඉන්පසුවය. එපමණක් නොව රාජපක්‍ෂවරුන් හා ඔවුන් වටා සිටි පිරිසගේ නම් කියවෙන බොහෝ සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන ආයතනවලට පැමිණිලි ඉදිරිපත් වූයේ අපගේ අනාවරණයන්ගෙන් පසුය. වත්මන් යහපාලන ආණ්ඩුවේ දූෂණ වංචා ක්‍රියාකාරිත්වය සම්බන්ධ යෙන්ද තත්ත්වය එසේමය. ඒකාබද්ධ විපක්ෂය විසින් පැමිණිලි කර ඇති ටොප් ටෙන් දූෂණ අක්‍රමිතා මාලාවේ බොහෝ සිද්ධීන්ද ‘රාවය’ හෙළිදරව් කිරීම්ය. පැමිණිලි ඉදිරිපත් කිරීම සිදුවූයේ හා ඒ පිළිබඳ කථාබහ ඇතිවූයේ ‘රාවය’ හෙළිදරව් කිරීම්වලින් පසුවය.

අපට අවශ්‍ය වන්නේ අප හෙළිදරව් කළද, පැමිණිලි ඉදිරිපත් කළේ කවුද යන්න නොව ජනතා මුදල් මංකොල්ල කන එවුන්ට එරෙහිව ජනතා හඬක් ඉස්මතු කරලීමය. විමර්ශන අංශවල ඇස ඒ කෙරෙහි යොමුකරලීමය. අවසානයේ හොරකමට තිත තැබෙන රටක් අප කාටත් උදාකර ගැනීමය.■