රාවය

බැසිල් සහ සිරස කිරුළ කාටද

බැසිල්  සහ  සිරස  කිරුළ කාටද

ටිරන්කුමාර බංගගමආරච්චි

සිරස කියන්නේ මෙරට විiුත් මාධ්‍ය කලාවේ නව පිටුවක් පෙරළපු තැනකි. ඒ අය වඩා ජනතාවට ළං වුණේ රියැලිටි කලාවත් එක්කය. මොන රටේ වැඩක් කිවුවත් ඒක කොපියක් වුවත් ලංකාවේ රියැලිටි කලාව ඇතුළේ පියා සිරසයි. පස්සේ ඊට ජාතක වුණු ළමයි හැම නාලිකාවකම ඉපදුණහ. මේ කියන්න යන්නේ ඒ රියැලිටි කලාව ගැන නොවේ. හැබැයි සිරසට ඊට පස්සේ හැමදේම රියැලිටි වීම ගැනත් නොවේ. රියැලිටි ෂෝ කරමින් ඔවුන් එය ඇත්ත යැයි කියන්නට ගන්නා වෙහෙස ගැනය.
නොබෝදා සිරස ප්‍රවෘත්ති අතරතුර බැසිල් රාජපක්‍ෂ සිරසට බණින ප්‍රවෘත්තියක් පළ විය. එය ප්‍රකාශ වූ සැණින් ප්‍රවෘත්ති අතරතුරම රොෂාන් වටවල නම් නිවේදකයා බැසිල් තම නාලිකාවට චෝදනාවක් එල්ල කර ඇති බැවින් එයට පිළිතුරු දිය යුතු යැයි කියමින් වැඬේ පටන් ගත්තේය.
ගෙදර බල්ලා ලිහා දමා ඇත. හිරිකිත ජුගුප්සාජනක අත්දැකීමකි. මාධ්‍යවල සාදාචාරයන් කතා නොකළ යුතුය. මන්ද සදාචාරය කියා අමුතු දෙයක් නැත. සැවොම තම තම රාමුවල රාමු වී ඇත. ඒවා එල්ලිය යුත්තේ ආණ්ඩුවේද? විපක්‍ෂයේද? ආණ්ඩුවේම කාමරයක ද? සාලයකද? යන ප්‍රශ්න පමණක් ඉතිරි වී ඇත.

මුලින් එළිපිටම දේශපාලනය කළේ සිරසය. දැන් දෙරණ හිරු මෙන්ම සකලවිධ චැනල්ම කරති. මේ බලන අසන ග්‍රාහකයාද දැන් ඒ කාලේ මෙන් නොව දෙරණ දේශපාලනය හඳුනයි. හිරු දේශපාලනය හඳුනයි. සෑම මාධ්‍යයකම යන දේශපාලන හඳුනයි. ඉස්සර මාධ්‍ය ජනතාවට ඉදිරියෙන් කීවාට දැන් ඒවා පසුපසිනි.

සිරස එදා සිට අද දක්වාම ආණ්ඩු හදන්නට වලිකයි. ඉන් පසු ඒවා තමන්ට අවැසි ලෙෂ ගෙන යන්නටද සැරසෙයි. ඉන් පිට පනින විට සිරසද එළව එළවා ඒ අයට බැට දෙයි. එලෙස කොන්දේසි විරහිතව බැට කන්නෙකු නම් අගමැතිය. අගමැති තරම් සතුරෙක් සිරසට තවත් නැත. සිරසට අවැසි සිරසක් අගමැති තුළ ඇති කළ නොහැකි බැවිනි.

ඔවුන් සෘජුවම දේශපාලනය කරන අතර මාධ්‍ය ආයතනය පක්‍ෂයක් ලෙසද දේශපාලකයන් නිෂ්පාදනය කරන තැනට වැටී ඇත. බුද්ධික පතිරණ, මරික්කාර්, සුසාර දිනාල්, සුසිල් කිඳෙල්පිටිය සිරස බඩුය. අද කවුරුත් ඔවුන්ට සිරස බුද්ධික, සිරස මරික්කාර් නොකියති. එහෙත් ඒ අය සිරස සුරතලුන්මය. රොෂාන් වටවල අනාගතේ පාර්ලිමේන්තු ගියද පුදුම විය යුතු නැත. මන්ද ඉදිරියට යැවීමට මෙලෙස කත් ඇදිය යුතුය.

දැන් අපි රොෂාන් ලවා බැසිල්ගේ බඩු පොඩි කරන බේබද්දා චරිතය ප්‍රවෘත්ති අතර පෙන්වනුයේ ඇයි දැයි බලමු. බැසිල් කොහෙදෝ දේශපාලන වේදිකාවක කියනුයේ මෛත්‍රීපාල ජනපති සිරසට සංඛ්‍යාත ලබා දී ඇති බවය.

රනිල් ප්‍රමුඛ යූඑන්පී නඩය මෛත්‍රී ජනපති කළද, ඔහු විශ්වාස කරනුයේ ජයග්‍රහණය ලැබුවේ තමා නිසා බවය. එයම වඩන උපදේශකයන්, ජනපතිට තනි ගමනක් යෑමට නම් සිරස වැනි නාලිකා ළං කර ගැනීම උචිත බව උපදෙස් දෙනුයේ සිරස අගමැති කම්බස් කරන නිසාය. ඒ අතර සජිත් ද නග්ගන සිරස කවදා හෝ සජිත් රටේ නායකයා කිරීමේ අනාගත දැක්මෙන්ද පසුවේ. එයට සෑහෙන කාලයක් අවැසි බැවින් ඊට පෙර නැවත මෛත්‍රී ජනපති කිරීමේ මෙහෙයුමට ඔවුන් අත ගසා ඇත.
නැවත බැසිල්ට එමු. බැසිල් කීවේ ඇත්තකි. එහෙත් සිරසේ රොෂාන් බැසිල් කී දේ ගැන වචනයක් නොකීය. බැසිල්ගේ වෙන වෙන කතාම ඇදබෑවේය. උත්තර දිය යුත්තේ බැසිල් නගන ප්‍රශ්නයට වුව සිරස කරනුයේ යන්නේ කොයිද කී විට මල්ලේ පොල් කීමය. ඇත්තටම මෙයින් සිරසට ලැජ්ජාවක් නැති විය හැකි මුත් එය බලන අයට ලැජ්ජා හිතේ.

2015 ජනවාරි 13 කිලී මහරාජා, ෂෙවාන් ඩැනියල්, ධර්ම ශ්‍රී ඒකනායක ජනපති මෛත්‍රී හමුවන අතර එදින කිලී මහරාජා, මෛත්‍රී ජනපති සමඟ වෙනම කතා කළ බවද මාධ්‍ය හරහා පළ විය. එහෙත් මේ සංඛ්‍යාත ඩීල් එක දැමුවේ ධර්ම ශ්‍රී ඒකනායක බව පසුව එළියට ආ පුවතය.
හිටපු ජනපති තම පුතුන්ගේ නාලිකාවන්ට සිරස සංඛ්‍යාත එහාමෙහා කරද්දී ප්‍රවෘත්ති අතරමැද නොව සිරස වැසිකිළියේ සිට වුව හඬක් නඟන්නට රොෂාන්ලාට නොහැකි වී තිබුණි. යෝෂිත රාජපක්‍ෂ රගර් තරගයක් අතරතුර ක්‍රීඩකයෙකුට නාවික හමුදාව ලවා පහර දෙන විට එදා එම තරගය ආවරණය කළ සිරසට එම පටිගත තැටියත් රැගෙන යන්නට නොහැකි විය. දැන් අමුතු කතාය.

සංඛ්‍යාත ලබා දීමේ පිළිවෙළක් ඇත. එම පිළිවෙතින් පිට පැන ජනපති කිලී මහරාජාට මෙගා හර්ට් 700 ඉහළ අගයක් ගන්නා සංඛ්‍යාත 8ක් දුන් බව සත්‍යයකි. එය නොදන්නා කෙනෙක් නැති තරම්ය. එදා බැසිල් කීවේ මේ කවුරුත් දන්නා පරණ කතාවය. එහෙත් සිරසට අලුත් රිදුමක් ගෙන ආවේ ඒ ගැන වැඩි කවුරුත් කතා නොකළ නිසාය. ඔවුන් මේ කියනුයේ කිසිවකු ඔවුන් ගැන වචනයක් කතා නොකළ යුතු යැයි කියාය. මේ නම් දේශපාලකයන්ට වඩා චණ්ඩින්ය.
මේ සංඛ්‍යාත ලබා දීමේ පාඩුව දරනුයේ ජනපතිද? මෙතරම් ඉහළ සංඛ්‍යාත ලබා දෙනුයේ ටෙලිවිෂන් නාලිකාවලට නොව දුරකථන නාලිකාවලට බවද පැවසේ.

මෙතරම් උපකාර සිද්ධ වන්නේ ජනපතිට ඉදිරි ගමන යෑමටය. රනිල්ට පහර දෙමින් තමා සුදනා කරනා ප්‍රතිපත්තියටය. කොහොම වුණත් කිව යුත්තේ ඒ සියල්ල ඒ ඒ අයගේ අයිතීන් බවය. එහෙත් නරක බැසිල්ලාට වඩා මෙවැනි වැඩවලදී සිරස නරකය. කුණු වී ඇතිය. රොෂාන් සෑහෙන වෙහෙසක් ගත්තද බැසිල් කී පැනයට පිළිතුරු දිය නොහැකි විය. එය සමහර විට අතපසුවීමක් විය හැක. රොෂාන් නැවත ප්‍රවෘත්ති මැද්දට පැන එදා බැසිල්ගේ වැරදි කිවූ මුත් ඔහු තමන් ගැන කී දේ ඇත්තද නැත්තද යන්න කියන්න නොහැකි වීම ගැන සමාව හෝ ගත්තේ නම් කොයිතරම් ඒ රියැලිටි වැඩසටහන අපූරු වනු ඇත්ද?■