රාවය

‘එක්සත්’ ශ්‍රී ලංකාවක් සහ ‘ඒකීය’ ශ්‍රී ලංකාවක්

‘ඒකීය’ ’ ශ්‍රී ලංකාවක් යන්න දකුණේ ජනයා තේරුම් ගන්නේ, ‘එක්සත්’ ශ්‍රී ලංකාවට පර්යාය/සමාන පදයක් වශයෙනි. අතීතයේදී, තනි රජෙකු යටතේ මුළු රටම පාලනය වීම යන අරුත ඊට තිබුණි. ‘රාජාධිරාජ’ සහ ‘චක්‍රවර්ති’ වැනි හැඳින්වීම් යෙදුණේ ඒ අර්ථයෙනි. කෙසේ වෙතත් එවැනි ඒකීය (එක්සත්) රාජ්‍යයක් අතීතයේදී පවා පැවතී ඇත්තේ ඉතා කෙටි කාලයකි. විජයගේ පැමිණීමෙන් පටන් ගැනිණැ යි කියන ලංකාවේ වසර 2500 කට වඩා පැරණි ඉතිහාසය තුළ මුළු රටම එක රජෙකුගේ බලාධිකාරය යටතේ පාලනය වී ඇත්තේ වසර 199 ක් වැනි කෙටි කාලයක් පමණක් බව ඉතිහාසයේ සඳහන් ය. එයද කඩින් කඩ සාක්ෂාත් කර ගත් එක්සත්භාවයකි. (දුටුගැමුණු අවුරුදු 24 යි. දෙවැනි සේන අවුරුදු 35 යි. පළමුවැනි විජයබාහු අවුරුදු 55 යි. මහා පරාක්‍රමබාහු අවුරුදු 33 යි. හය වැනි පරාක්‍රමබාහු අවුරුදු 52 යි). හයවැනි පරාක්‍රමබාහුට පවා ලංකාව ‘ඒකීය’ කොට තබාගත හැකිව ඇත්තේ අවුරුදු 52 ක් වැනි කෙටි කාලයක් පමණක් බව පෙනේ. ඒ අනුව ගත් විට, වැඩිම කාලයක් ලංකාව අඛණ්ඩව ‘ඒකීය’ වී ඇත්තේ, සුද්දාගේ පාලනය යටතේ, 1832 සිට ය. එම ඒකීයත්වය අද වන තෙක් වසර 185 ක් වැනි දීර්ඝ කාලයක් තිස්සේ අඛණ්ඩව පැවතී තිබේ. ලංකාවට එවැනි තිරසාර සහ අඛණ්ඩ ඒකීයත්වයක් ලබා දීම සම්බන්ධයෙන් අපේ පැරණි සිංහල රජවරුන්ට වඩා නූතන සුද්දා සමත්ව තිබීම පිළිබඳ කාරණය ‘ඒකීය-සිංහල දේශප්‍රේමියාගේ’ මොළයට කාන්දු නොවීම, මෝහය නිසා නොව අමු ජාතිවාදී පිස්සුව නිසා සිදුවන්නකි.

කෙසේ වෙතත් නූතන ‘ඒකීය’ යන්න තුළ පවා අනිවාර්ය එක්සත්භාවයක් පිළිබඳ අර්ථයක් ගැබ් නොවේ. මන්ද යත්, ඒකීය යන නූතන දේශපාලනික පදයෙන් අවධාරණය කෙරුණේ වෙනත් කාරණයක් වන බැවිනි. ඒ අදහස කුමක්ද? බලය ජනනය කරන්නේ තනි මූලාශ්‍රයකින් සහ එම බලයේ අවසාන හිමිකාරත්වය පැවරෙන්නේ තනි මූලාශ්‍රයකට යන්නයි. උදාහරණයක් වශයෙන්, ලංකාවේ ආණ්ඩු ක්‍රමය තුළ ස්වෛරී බලය දරන්නා ජනතාව වන අතර, එම ස්වෛරී බලය ජනතාව වෙනුවෙන් උපරිමයෙන් අභ්‍යාස කරන්නා පාර්ලිමේන්තුව වන්නේය. ඉතිරි සහ අවශේෂ බල කේන්ද්‍ර, උදාහරණයක් වශයෙන් පළාත් සභා ගතහොත්, පාර්ලිමේන්තුව පරිද්දෙන්ම ඒවා පත්කර ගැනෙන්නේත් ජනතා ඡන්දයෙන් වෙතත්, ඒවාට අවසාන වශයෙන් බලය පැවරෙන්නේ පාර්ලිමේන්තුව හරහා ය. එසේම, අවශ්‍ය විටක දී එම බලය ආපසු ලබා ගැනීමේ අවසාන බලයත් පාර්ලිමේන්තුවට ඇත්තේය. ඒකීය රාජ්‍යයක් යන්නෙහි දළ අදහස එයයි. ඒ අර්ථයෙන් ගත් විට ලංකාව ‘ඒකීය’ රාජ්‍යයකි.

කෙසේ වෙතත්, ගුණදාස අමරසේකර වැනි අය ලංකාව දැනටමත් ෆෙඩරල් රාජ්‍යයක් යැයි කියති. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පළාත් සභා ඇති කර ගත් දා සිට ලංකාව ෆෙඩරල් රාජ්‍යයක් බවට පරිවර්තනය වූ බව ඒ අයගේ අදහසයි. දැන්වත් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කොට ලංකාව නැවතත් ඒකීය කළ යුතු බව ගුණදාස අමරසේකර වැන්නෝ කියති.
පසුගිය දා ඉදිරිපත් කෙරුණු 20 වැනි සංශෝධනය ව්‍යවස්ථාවට අනුකූල වීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ ඡන්දයක් පමණක් නොව, ජනමත විචාරණයක් ද අවශ්‍ය කරන බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලවා විනිශ්චයක් ලබා ගැනීමේදී කරුණු දැක්වූ අමරසේකරගේ චින්තනයේ නීතිවේදියෙකු වන මනෝහර ද සිල්වාගේ තර්කය වුණේ ද එවැන්නකි. ඔහුට අනුව, පළාත් සභා යනු ස්වෛරී ව්‍යවස්ථාදායක බලයක් අභ්‍යාස කරන ආයතනයකි. එසේ හෙයින් (20 වැනි සංශෝධනය යටතේ) එකී පළාත් සභා මැතිවරණ කල් දැමීම යනු අර කියන ස්වෛරීත්වය හිමි ජනතාවගේ අයිතිය උදුරා ගැනීමක් වන හෙයින්, ඒ සඳහා ජනතාවගේ වැඩි කැමැත්ත හෙවත් ජනමත විචාරණයකින් 20 වැනි සංශෝධනය සම්මත විය යුතුය යනුවෙන් ඔහු කරුණු දැක්වීය. එම කරුණු දැක්වීමට අනුකූල විනිශ්චයක් 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැන් ලැබී ඇති නිසා, ලංකාව වචනයේ පරිසමාප්ත අර්ථයේ ‘ඒකීය’ රාජ්‍යයක් නොවන බවත් කෙනෙකුට පිළිගැනීමට සිදුවෙයි.

කෙසේ වෙතත්, ඒකීය රාජ්‍ය සංකල්පය ජාත්‍යන්තර වශයෙන් ගත් විට දීර්ඝ කාලයක් තිස්සේ විවිධ පරිවර්තනයන්ට භාජනයව ඇත්තේය. ඉහත කී බලය සහ බල මූලාශ්‍රය සතු ‘පරම’භාවය ඒ කාලය තුළ බොහෝ සෙයින් දියවී ගොස් තිබේ. උදාහරණයක් වශයෙන්, ඒකීය රාජ්‍යයේ මව් රට වශයෙන් සැලකෙන මහා බි්‍රතාන්‍යය ගතහොත්, ලෝකයේ වෙනත් බොහෝ ෆෙඩරල් රාජ්‍යයන් තුළ පවා නැති බල විසාරණයක්/හවුල්කාරීත්වයක් එම රටේ දක්නට ලැබේ. ස්කොට්ලන්තය යනු මහා බි්‍රතාන්‍යයේ එක් කොටසකි. මහා බි්‍රතාන්‍යයෙන් වෙන් වීම සඳහා මීට වසර කිහිපයකට පෙර එක් ජනමත විචාරණයක් ස්කොට්ලන්තයේ පවත්වා තිබේ. එහෙත් ඒ අවස්ථාවේ, එනම් ජනමත විචාරණය පැවැත්වීමට සතියකට පමණ කලින්, තවදුරටත් ස්කොට්ලන්තය වෙත බලය බෙදා හැරීමට මහා බි්‍රතාන්‍යය පොරොන්දුවක් දීමෙන් පසුව, ස්කොට්ලන්තයේ වෙසෙන වැඩි ජනතාවක් බි්‍රතාන්‍යයෙන් වෙන් වීම ප්‍රතික්ෂේප කළහ. දැන් බ්‍රෙක්සිට් ජනමත විචාරණයෙන් පසු නැවත වරක් ස්කොට්ලන්ත ජනතාව පූර්ණ ස්වාධීනත්වය සඳහා තවත් ජනමත විචාරණයක් පැවැත්වීමට අරඅඳිති. යම් හෙයකින් එවැනි ජනමත විචාරණයක් පැවැත්වුවහොත් සහ එහිදී වෙන් වීම අනුමත වුවහොත්, මහා බි්‍රතාන්‍යයෙන් ස්කොට්ලන්තය වෙන්වීම වැළැක්විය නොහැකිය. එයින් පෙනී යන්නේ, ‘ඒකීය’ යන්නෙන්, ඒකීය මව් රට වන බි්‍රතාන්‍යයේ පවා, අනිවාර්ය ‘එක්සත්’ භාවයක් සහ නොබෙදීමක් පිළිබඳ සහතිකයක් නොසැපයෙන බව ය.

අනිත් පැත්තෙන්, අපට වඩා බලය විමධ්‍යගත කොට ඇති තවත් ඒකීය රාජ්‍යයක් වන ස්පාඤ්ඤයේ, කැටලෝනියාව යන ප්‍රදේශය ස්පාඤ්ඤයෙන් වෙන් වීම සඳහා පසුගිය සතියේ ඒකපාර්ශ්වීය ජනමත විචාරණයක් පැවැත්වීය. එම ජනමත විචාරණයෙන් සියයට 92 ක් වෙන් වීමට පක්ෂපාතිත්වය දැක්වූහ. එහෙත්, ස්පාඤ්ඤ මධ්‍යම ආණ්ඩුව එම තීරණය මේ වන විට එකහෙළා ප්‍රතික්ෂේප කොට තිබේ. එයින් පෙනී යන්නේ, අපට වඩා බලය විමධ්‍යගත කොට ඇති ස්පාඤ්ඤය වැනි ‘ඒකීය’ රාජ්‍යයක් වුවත්, තමන්ගේ රටෙන් කොටසකට වෙන්ව යාමට එසේ මෙසේ ඉඩ නොදෙන බව ය.

මේ තත්වය තුළ, ‘ඒකීය’ යන්නෙන් එක්සත්භාවයක් ඇති වෙතැයි සිතීමත්, ෆෙඩරල් වීමෙන් කැඩී වෙන් වීමක් ඇති වෙතැයි සිතීමත් මුලාවකි. පවතින රාජ්‍යයකින් කැඩී වෙන් වීමට ඇති හැකියාව හෝ නොහැකියාව පිළිබඳ කාරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළ ගලේ කෙටූ අකුරක් සේ ලියූවත්, බි්‍රතාන්‍යය වැනි දියුණු දේශපාලනික හා ව්‍යවස්ථාමය සංස්කෘතියක් ඇති රටක මිස, කැඩී වෙන් වීම හෝ නොවීම පිළිබඳ කාරණය අවසානයේදී තීරණය වන්නේ, රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මත නොවන බව අප තේරුම් ගත යුතුය. බි්‍රතාන්‍යය නැමැති මහා රාජ්‍යයත්, ස්කොට්ලන්තය නැමැති එම රාජ්‍යයේ ඒකකයත්, පොදු එකඟත්වයක සිටින තාක්, ජනමත විචාරණයක් වැනි සාමකාමී මාවතක් හරහා ව්‍යවස්ථානුකූලව මහ රාජ්‍යයෙන් කැඩී වෙන් වීමට ස්කොට්ලන්තයට හැකියාව තිබේ. එහෙත්, එවැනි දියුණු දේශපාලන සංස්කෘතියක් නැති රටක, එම රට ෆෙඩරල් රාජ්‍යයක් වේවා, ඒකීය රාජ්‍යයක් වේවා, එම ප්‍රශ්නය නිරාකරණය කර ගනු ඇත්තේ පවතින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක ඇති ප්‍රතිපාදන හරහා නොව, හුදෙක් තුවක්කු බටයක ශක්තිය හරහා ය. තවත් විදිහකින් කිවහොත්, වෙන් වීමකට හෝ එය වැළැක්වීමට අදාළව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක වලංගුභාවය පවතින්නේ පළමු වෙඩිල්ල පත්තු වන තෙක් පමණක් වන බව ය.
නූතන රාජ්‍ය ක්‍රමය තුළ, පවතින රාජ්‍යයකින් වෙන්වීම පිළිබඳ ප්‍රශ්නය ප්‍රචණ්ඩකාරීව මුලින්ම පැන නැගුණේ 1861 දී ය. ඒ ෆෙඩරල් රාජ්‍යයක් වන ඇමරිකා එක්සත් ජනපදයේ ය. පවතින රාජ්‍යයකින් වෙන්වීම පිළිබඳ ප්‍රශ්නය ප්‍රචණ්ඩකාරීව අවසාන වශයෙන් පැන නැගුණේ, ඒකීය රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවේ ය. මේ රටවල් දෙකේදීම, ප්‍රශ්නය නිරාකරණය කර ගැනුණේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක පැවති වගන්ති හරහා නොව, යුද්ධ පිටියේ පැවති විනාශකාරී තරගයක් හරහා ය. ඇමරිකාවේ සිවිල් යුද්ධය තුළ, බෙදුම්වාදය එදා වළක්වා ගැනුණේ ජීවිත 700000 ක් විනාශ කිරීමෙනි. ලංකාවේ සිවිල් යුද්ධය තුළ බෙදුම්වාදය වළක්වා ගැනුණේ අඩු වශයෙන් ලක්ෂයක්වත් ජීවිත විනාශ කිරීමෙනි.
එසේ නම් රටකට තුවක්කුවක් මිස ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය නැත්දැයි කෙනෙකු ප්‍රශ්න කළ හැකිය.

අත්‍යන්තයෙන්ම අවශ්‍යයි. මුලින්ම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු, ව්‍යවස්ථානුකූලව වෙන් වීමේ නිදහස දීම හෝ නොදීම යන අතුරු කාරණයට අමතරව, රටකට සහ සමාජයකට අත්‍යවශ්‍ය රාජ්‍ය පාලනය සහ සමාජ සැකැස්ම පිළිබඳ සමස්තය අන්තර්ගත උත්තරීතර ලියවිල්ලයි. මේ ලියවිල්ල තුළ, නූතනයේ මූලික පදනම වන්නේ නිදහස සහ සමානාත්මතාවයි. මේ නිදහස සහ සමානාත්මතාව පරිපූර්ණ වන තරමට තුවක්කුවේ අභ්‍යන්තරික අවශ්‍යතාව (සෑම පාර්ශ්වයක් සම්බන්ධයෙන්ම) අවම වෙයි. 1975-2009 අතර කාලයේ උතුරු-නැගෙනහිර සම්බන්ධයෙන් ගත් විට, මේ කියන නිදහස සහ සමානාත්මතාව පිළිබඳ ධර්මතාවන් පිරිහීමේ ප්‍රචණ්ඩකාරී ප්‍රකාශිත අවධියක් වශයෙන් හඳුනාගත යුතුව තිබේ.

මේ නිසා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයේදී රටක් කළ යුත්තේ, ‘ඒකීය’ හෝ ‘ෆෙඩරල්’ වැනි වචන, සංකල්ප හෝ ඊට අදාළ අරුත් සහ නිරුක්ති අස්සේ අනවශ්‍ය සේ රස්තියාදු වීම නොව, හැකි තාක් නිදහස සහ සමානාත්මතාව ව්‍යවස්ථාව තූළින් ස්ථාපනය කිරීම සහ ඒවා ක්‍රියාත්මක කිරීමයි.
වර්තමාන ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සහ ඉදිරිපත්ව ඇති අතුරු වාර්තාව පිළිබඳව අප සලකා බැලිය යුත්තේ ඒ පසුබිම් දැනුම කල්පනාවේ තබාගෙන ය. රාජපක්ෂලා බොරුවට කෙතරම් කෑගැසුවත්, අතුරු වාර්තාව තුළ ලංකාව හැඳින්වෙන්නේ ‘ඒකීය’ රටක් වශයෙනි. ඊටත් වඩා, වර්තමාන ව්‍යවස්ථා සම්පාදකයන් සුද්දන්ටත් වඩා එහාට ගොස් ‘ඒකීය’ වීමට ගන්නා ප්‍රයත්නයක් මේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය තුළ ඇති බව ඔවුන් නොදැකීම පුදුමයකි. එනම්, ‘ඒකීය’ යන සිංහල වචනය සඳහා භාවිත වන සුද්දාගේ ‘යුනිටරි’ යන පාරිභාෂික වචනය, ලංකාවේ ව්‍යවස්ථාවේ සුද්දාගේම භාෂාව තුළ පවා ප්‍රතික්ෂේප කර තිබීමෙනි. අලුත් ව්‍යවස්ථා යෝජනාවලියේ ඉංග්‍රීසි පරිවර්තනය තුළ සඳහන් වන්නේ ‘යුනිටරි’ යන ඉංග්‍රීසි වචනය නොව, ‘ඒකීය’ යන සිංහල වචනයමයි. එසේ කිරීමෙන් නොනැවතී, ඉහත කී ස්කොට්ලන්තය පිළිබඳ වෙන් වීමේ ‘අවදානමට’ ඔසුවක් වශයෙන් දෝ, ‘නොබෙදුණු සහ බෙදිය නොහැකි’ යන විශේෂණ යෙදුම් දෙකකුත් ඊට එක් කොට තිබේ. එසේ තිබියදීත්, මේ අලුත් ව්‍යවස්ථාව වනාහී බෙදුම්වාදයට උඩගෙඩි දීමකැ යි රාජපක්ෂලා ඇතුළු ‘ඒකාබද්ධ විපක්ෂය’ කීම අමු මුසාවකි. එසේම සාපරාධී කතාවකි. ඒ වෙන කිසිවක් නිසා නොව, ‘නොබෙදුණු සහ බෙදිය නොහැකි’ වැනි විශේෂණයකට පවා ප්‍රධාන ප්‍රවාහයේ දෙමළ දේශපාලන නායකයන් එකඟත්වය පළ කොට ඇති තත්වයක් තුළ සිංහල ජාතිවාදී අන්තයක සිට ඉහත සඳහන් පරිදි වචනවල අවස්ථාවාදීව සහ වංචනිකව එල්ලෙන මිනිසුන් කරන්නේ, කේ.එම්.පී. රාජරත්න වැනි අතීත ජාතිවාදීන් කළාටත් වඩා සාහසික අපරාධයක් වන බැවිනි.■