රාවය

සිල්රෙදි නඩුවේ පණිවුඩය නොසලකා මතුපිටට කථාකිරීම

සිල්රෙදි නඩුවේ පණිවුඩය නොසලකා මතුපිටට කථාකිරීම

රෝහණ හෙට්ටිආරච්චි

ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය දෙස බැලීමේදී රාජ්‍ය බලය හා දේපළ මැති වරණවලදී අවභාවිතාව එක්සත් ජාතික පක්ෂ පාලනය තුළත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාලනය තුළත් ඉතා සුලබව දක්වට ලැබෙන පොදු ලක්ෂණයකි. එහෙත් 2015 ජනාධිපතිවරණය යනු රාජ්‍ය බලය හා රාජ්‍ය දේපළ අවභාවිතය ඉතා බරපතළ ලෙස භාවිත වූ මැතිවරණයකි. කැලැන්ඩරයේ සිට මහන මැෂිම දක්වා වූ බොහෝ ද්‍රව්‍යමය ආධාර ද, බොහෝ සුබසාධක ව්‍යාපෘතින් ද මෙම කාලය තුළ ක්‍රියාත්මක විය. එමෙන්ම ඉතාම පහළම රාජ්‍ය නිලධාරියාගේ සිට ඉහළම රාජ්‍ය නිලධාරියා දක්වා රාජ්‍ය නිලධාරීන් සැලකිය යුතු පිරිසකට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් දේශපාලන ක්‍රියාවලියට ඍජුවම හෝ වක්‍රව දායක වීමට සිදුවිය.

මැතිවරණ කාලය තුළ මෙම බඩු බෙදාදීමේ ක්‍රියාවලියේ ආන්දෝලනාත්මක සහ ලජ්ජා සහගත ක්‍රියාවලිය වූයේ සිල්රෙදි බෙදාදීමයි. මේ පිළිබඳව පැමිණිලි මැතිවරණ දෙපාර්තමේන්තුවට ද (අද කොමිසම) මැතිවරණ නිරීක්ෂණ සංවිධානවලට ද ගලාඑන්නට විය. මේ ගැන පැෆරල්, කැෆේ, සීඑම්ඊවී, ට්‍රාන්ස්පේරන්සි ශ්‍රී ලංකා ආයතන ඒකාබද්ධව මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කළෙමු. ඉන් නොනවතින ට්‍රාන්ස්පේරන්සි ශ්‍රී ලංකා ආයතනය පුවත්පත් දැන්වීම් මගින් මෙම නීති විරෝධී සිල්රෙදි ප්‍රතික්ෂේප කරන ලෙස මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටි අතර බොහෝ නායක ස්වාමින් වහන්සේලා සිල්රෙදි ප්‍රතික්ෂේප කළෝය. භාරගත් පිරිසද මැතිවරණය අවසන් වන තෙක් බෙදාහැරීම් අත්හිටුවූහ. ඒ, සැබැවින්ම මෙය මැතිවරණ දූෂණයක් ලෙස ඔවුන් සැලකූ නිසාවෙනි.
මෙවැනි ක්‍රියාවලීන් හරහා මැතිවරණයක නිදහස් හා සාධාරණභාවය විශාල ලෙස අභියෝගයට ලක්වන බැවින් පැෆ්රල් සංවිධානය 2015 අප්‍රේල් මාසයේදී මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරනු ලැබීය. එමගින් සහන තුනක් අපේක්ෂා කරන ලදි.
1. ජනාධිපතිවරණ සමයේ රාජ්‍ය බලය හා දේපළ අවභාවිත කළ ලලිත් වීරතුංග මහතා ඇතුළු පිරිසට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නීතිපතිවරයාට නියෝග කිරීම 2. එමගින් රජයට වූ පාඩුව ගණනය කිරීම සඳහා විගණකාධිපතිවරයාට නියෝග කිරීම 3. නැවත මෙවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමට ක්‍රියාමාර්ග ගැනීම.

නඩුවේ අතරමගදී පැෆරල් ඉල්ලූ සහන ලබාදීමට විගණකාධිපතිවරයා සහ නීතිපතිවරයා ක්‍රියාකිරීමට එකඟ වූ බැවින් එනම් අදාළ පාර්ශ්වයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ බව දැන්වීමෙන් පසු අපගේ නඩුව ඉල්ලා අස්කරනු ලැබිණි. ඒ අනුව නීතිපතිවරයා මහාධිකරණයේ ගොනුකළ නඩුවට අදාළව මේ වන විට ඓතිහාසික නඩු තීන්දුවක් ලැබී තිබේ. මෙය මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් මෑත කාලයේ හොඳම නඩු තීන්දුව බව කිව හැකිය. එහෙත් එම නඩු තීන්දුව මගින් ලබාදෙන වටිනා පණිවුඩය නොසලකා හරිමින් සහ ආගමික සළුවකින් එය වසාදැමීමට සමහර පාර්ශ්වයන් දරන උත්සාහයක් පෙනෙයි.

විනිශ්චය මතුකරන වැදගත් කාරණා
1. එවකට රාජ්‍ය නායකයාගේ ලේකම්වරයා ලෙස මැතිවරණය 2015 ජනවාරි මාසයේ පවත්වන බව ලලිත් වීරතුංග මහතා හොඳින් දැනුවත්ව සිටි බව සහ ඒ අනුව සද්භාවයෙන් ක්‍රියා කළේ නම් ඔහුට සිල්රෙදි බෙදාදීම මැතිවරණයට පෙරාතුව හෝ මැතිවරණයෙන් පසුව කළ හැකිව තිබූ බව.
2. සිල්රෙදි වැනි ද්‍රව්‍ය බෙදාහැරීම මැතිවරණ කාලය තුළ නොකළ යුතු, නොකළ හැකි ක්‍රියා බව ජ්‍යේෂ්ඨතම රාජ්‍ය නිලධාරියෙකු වන ලලිත් වීරතුංග මහතා මනාව දැන සිටිය යුතු බව.
3. ජනාධිපතිවරණය 2014.11.20 දින ප්‍රකාශයට පත් වූ අතර 2014 නොවැම්බර් මස 22 වන දින රාජ්‍ය දේපළ භාවිතය සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාගේ චක්‍රලේඛ නිකුත් වී තිබූ බව.
4. එම චක්‍රලේඛය තම මේසය මත තබා ගනිමින් 2014 දෙසැම්බර් මස 05 වන දින තමා සභාපතිත්වය දැරූ ටීආර්සී ආයතනයේ මුදල්, අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියෙන් තොරව මිලියන 600ක් ලබාගැනීම
5. ටීආර්සී ආයතනයේ සමාජ සත්කාරක ගිණුමෙන් ඒ වසර සඳහා මිලියන 100ක් පමණක් වෙන් කරන තිබෙන තත්ත්වයක් තුළ සහ එම මුදල් අවසන්ව තිබියදී හදිසියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අවසරයකින් තොරව ඊට මිලියන 600ක් වෙන්කර ගැනීම.

අධිකරණයේ ප්‍රශ්න
1. මෙසේ එකී මුදල් නීතියට පිටින් යමින් ලබාගෙන මැතිවරණ කොමසාරිස්වරයාගේ චක්‍රලේඛ නොසලකා හදිසියේ සිල්රෙදි බෙදීමට තිබූ අවශ්‍යතාව කුමක්ද?
2. ලංකාවේ බෞද්ධයන් වැඩිපුර සිල් සමාදන් වනුයේ සිල්රෙදි බෙදාහරින ලද ජනවාරියේද? වෙසක් සහ පොසොන් මාසවලද?
3. සිල්රෙදි නොමැතිවීම නිසා ලංකාවේ බෞද්ධයන්ට සිල් ගැනීමට නොහැකි වූ අවස්ථා වාර්තා වී තිබේද?
4. එවැනි තත්ත්වයක් තුළ ජනවාරි මුල් සතිය තුළම සිල්රෙදි බෙදීමට තිබූ අවශ්‍යතාව කුමක්ද?
5. ටීආර්සී ආයතනයේ අරමුදල්වලට කිසිසේත්ම සම්බන්ධයක් නැති අරමුණක් වෙනුවෙන් මෙතරම් හදිසියේ මුදල් ලබාගැනීමට හේතු කවරේද?
මේ පිළිබඳව සාධාරණ උත්තරයක් ලබාදීමට ලලිත් වීරතුංග මහතා අපොහොසත් වී ඇත.

රාජ්‍ය ප්‍රතිපත්තිය
මෙම සිල්රෙදි ව්‍යාපෘතිය රාජ්‍ය ප්‍රතිපත්තියක් යටතේ කරනු ලැබූ ව්‍යාපෘතියක් බවට ඒත්තු ගැන්වීමට විත්ති පාර්ශ්වය උත්සාහ දරා ඇතත් විනිශ්චයකාරතුමාගේ විශ්ලේෂණය තුළින් පැහැදිලි වන්නේ රාජ්‍ය ප්‍රතිපත්තියක් වුවද මැතිවරණ කොමසාරිස්වරයාගේ චක්‍රලේඛ නොසලකා ඊළඟ වර්ෂයේ මුදල් අනුමත කරගැනීම තෙක් නොසිට ටීආර්සී ආයතනයේ සීඑස්ආර් ගිණුමෙහි නොතිබූ මුදලක් එම ගිණුමට එක දිනයකින් ලබාගෙන, එදිනම ජනාධිපති ලේකම්වරයාගේ ගිණුමට බැර කරගෙන, එදිනම සිල්රෙදි මිලදී ගැනීමට එම රාජ්‍ය ප්‍රතිපත්තියේ තිබූ හදිස්සිය කුමක්ද යන්නයි. මෙම සිල්රෙදි බෙදීම මැතිවරණ කාලයක සිදු නොකළේ නම් ජනාධිපති අරමුදලට මුදල් අනුමත වීමෙන් අනතුරුව එම මුදල් වැයකළේ නම් කිසිවෙකු ලලිත් වීරතුංග මහතාට එරෙහිව අධිකරණයට නොයනු ඇත.

සිල්රෙදි බෙදීම කළ නොහැකිද?
මෙම නඩු තීන්දුවෙන් අනතුරව, ව්‍යවස්ථාවෙන්ම බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදී ඇති බෞද්ධයන් බහුතරයක් සිටින රටක උපාසක උපාසිකාවන්ට සිල් රෙද්දක් වත් බෙදිය නොහැකිය යන මතය දේශපාලනඥයන් විසින් පතුරුවා ලීමට උත්සාහ දැරීම දැකිය හැකිවිය. මෙය සම්පූර්ණයෙන්ම නඩු තීන්දුවේ පදනම දේශපාලන වාසි සඳහා බැහැර කිරීමකි. ඕනෑම කෙනෙකුට හෙට දවසේ ද අපගේ බෞද්ධ උපාසක උපාසිකාවන්ට තම මුදලින් සිල්රෙදි හෝ ඕනෑම දෙයක් ලබාදිය හැකිය. මෙහිදී පදනම වූයේ රාජ්‍ය මුදල්, නොඑසේ නම් ජනතාවගේ මුදල් මිලියන 600ක් එක් දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීම සඳහා මැතිවරණ නීති නොසලකා මැතිවරණ කාලය තුළ බෙදාහැරීමයි. මෙය බෙදාහැරියේ අපේක්ෂකයකුගේ පණිවුඩයක් ද සමගයි. එපමණක් ද නොව එය බෙදාහැරීම අදාළ අපේක්ෂකයාගේ පවුලේ උදවිය හා එම දේශපාලන පක්ෂයේ ප්‍රාදේශීය නායකයන්ගේ අතින් සිදුවීමයි. රටේ ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක විය යුත්තේ රාජ්‍ය නායකයාගේ පවුලේ උදවියගේ හෝ ප්‍රාදේශීය දේශපාලනඥයාගේ මැදිහත් වීමෙන්ද?
මෙම නඩු තීන්දුව නිසා හදිසි අවස්ථාවල රාජ්‍ය නිලධාරීන්ට තීන්දු ගත නොහැකිද? ජනතාවට කඩිනම් සහන සැලසිය නොහැකිද?
හදිසි ගංවතුර නායයාම් වැනි අවස්ථාවලදී රාජ්‍ය නිලධාරීන්ට කඩිනමින් තීන්දු ගැනීමට නොහැකිවනු ඇතැයි සමහර කොටස් තර්ක කරන ලදි. එය කිසිසේත්ම සත්‍ය නොවේ. රාජ්‍ය නිලධාරීන්ට නීතිමය රාමුව මූල්‍ය රෙගුලාසිවලට යටත්ව ඕනෑම තීරණයක් ගත හැකිය. එපමණක්ද නොව තමන්ට සාධාරණ යයි හැඟෙන්නේ නම් එය බාහිර පාර්ශ්වයන්ට ද ඔප්පු කළහැකි සීමාවේ නම් මූල්‍ය රෙගුලාසිවලින් බැහැරව ද තීන්දු ගත හැකි විය යුතුය. මෙහිදී පදනම වනුයේ සද්භාවය යන කරුණයි. සිල්රෙදි නඩුවේදී ප්‍රශ්න කෙරෙන ප්‍රධාන කරුණ වන්නේ, මුදල් නොමැති තත්ත්වයක් තුළ ඊළඟ වර්ෂයේ ප්‍රතිපාදන ලැබෙන තෙක් නොසිට අදාළ නොවන ආයතනයකින් විධිමත් පටිපාටියෙන් බැහැරව මැතිවරණ කොමසාරිස්ගේ චක්‍රලේඛවලට ද පටහැනිව සිල්රෙදි මිලදී ගැනීමට හා බෙදාහැරීමට තිබූ හදිස්සිය කුමක්ද යන්නයි. එයට සාධාරණ පිළිතුරක් දීමට ලලිත් වීරතුංග මහතා අපොහොසත් වේ. ඔහු හොරෙකු යයි කිසිවෙකු කියනු මා අසා නැත. ඔහු කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙකු ලෙස බොහෝ දෙනා හඳුන්වන තත්ත්වයක් තුළ ඔහු ඔහුට කිසිසේත්ම සාධාරණ කිරීමට නොහැකි කරුණක් සම්බන්ධයෙන් තමාගේ සියලු සීමාවන් නොසලකා තම ස්වාමියාගේ ජයග්‍රහණ අරභයා ජනතාවගේ මුදල් මිලියන 600 අවභාවිත කර ඇත.
තීන්දුව රාජ්‍ය නිලධාරීන්ට අභියෝගයක්ද ආශීර්වාදයක්ද?
අවංක කාර්යක්ෂම දූරදර්ශී රාජ්‍ය නිලධාරියෙකුට මෙය කිසිසේත්ම අභියෝගයක් හෝ කම්පනයට හේතුවක් නොවනු ඇත. එවැන්නන්ට මෙය අමුතු ආශීර්වාදයක් ද නොවේ. එහෙත් වර්තමානයේ සැම ක්ෂේත්‍රයකම දේශපාලනීකරණයේ ස්වභාවය අනුව රාජ්‍ය නිලධාරීන්ට, නීතියට හා මූල්‍ය රෙගුලාසිවලට එරෙහිව දේශපාලනඥයන් සිදුකරන බොහෝ නියෝග ප්‍රතික්ෂේප කිරීම සඳහා මෙය මෙවලමක් වනු ඇත. මෑත කාලය තුළ රාජ්‍ය නිලධාරීන් ගණනාවක් අමාත්‍යවරයාගේ නීති විරෝධී නියෝග ප්‍රතික්ෂේප කර ඇත. එහෙත් ඒ සඳහා කොන්දක් හා පෞරුෂයක් තිබිය යුතුය. දේශපාලනඥයන් ගනු ලබන තීන්දුවල හරිවැරදි පෙන්වාදීමට ලේකම්වරයාට හැකියාව තිබිය යුතුය. අදාළ අමාත්‍යාංශ ගණන් ගැනීමේ නිලධාරියා ලෙස එය ඔහුගේ/ඇයගේ වගකීමද වේ.■