රාවය

සංශෝධනයට ජනමත විචාරණයක් ඕනෑමයි

සංශෝධනයට  ජනමත විචාරණයක් ඕනෑමයි

සරත් සී. මායාදුන්නේ විශ්‍රාමික විගණකාධිපති හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී

අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය ගැන කථා කරන බොහෝ දෙනා නොදකින, එහෙත් මූලිකවම කථා කළ යුතු කරුණක් නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ මතුව ඇති ව්‍යුහගත අර්බුදය නිමා කළ යුතු බවයි. එනම් පවත්නා ව්‍යවස්ථාව යටතේ විශේෂයෙන්ම විධායකය හා ව්‍යවස්ථාදායකය අතර හෝ ඉන් එකක් තුළම හෝ ගැටුමක් ඇති වුවහොත් ඉදිරියට තබා පසුපසටවත් යා නොහැකි ව්‍යවස්ථාමය අර්බුද තිබීම ගැනයි. විසඳුමක් නොමැති අනිවාර්ය ගැටලුවක් මතු වූ දාට විසඳුමක් ලැබීමට හැකි පරිසරයක් නොතිබිය හැකි බවත්, එසේම යම් නිවැරදි කර ගැනීමක් කළ යුතු නම් එලෙස කළ හැකි සුදුසුම කාලය අද ගෙවෙමින් පවතින බවත් අප තේරුම් ගත යුතු වෙයි.

මෙම ව්‍යවස්ථාමය අර්බුදය පැහැදිලිව නිශ්චය වූයේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනා අභියෝග කළ පසු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළ තීන්දුව මගිනුයි. එම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මගින් ප්‍රකාශිත කරුණු අතර වූ පරමාධිපතිත්වය හිමි ජනතාව ජනාධිපතිවරයා වෙත විශ්වාසය තබා ලබාදුන් බලය වෙනත් අයෙකුට ලබාදෙනුයේ ජනාධිපතිවරයා විසින් නොවේ නම් එය ජනතා පරමාධිපතිත්වයට පටහැනි බවත්, එක් පාලන අවයවයක අධිකාර බලය මාරුකර, අත්හැර හෝ ඉවත්කර වෙනත් අවයවයකට හෝ ආයතනකට පැවරීම 3 ව්‍යවස්ථාව සමඟ කියවිය යුතු 4 ව්‍යවස්ථාවට පටහැනි බවත් ආදි නිගමන නිශ්චය කිරීම් එයට පාදක වුණා.
මෙම තීන්දුව ඉතාමත්ම නිවරදි වුවත් එය පැවති පොදු ජනතා අවබෝධයට බෙහෙවින්ම පරස්පර වුණා. විධායක ජනාධිපති බලය අහෝසි කිරීමට හෝ සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට පොදු මතයක් රටේ පැවතුණා. 1978 ව්‍යවස්ථාව පැනවූ මුල් යුගයේ සිටම විධායක ජනාධිපති බලය ඉවත් කරන බවට හෝ කප්පාදු කරන බවට හෝ හඬනැගූ කිසිවෙක් ජනමත විචාරණයක් සහිතව එසේ කරනවායයි කියූ බවක් අප දුටුවේ නැහැ. විධායක ජනාධිපති බලය ජනමත විචාරණයකින් තොරව කප්පාදු කරන බවට 2015 ජනාධිපතිවරණයේදී දුන් ඡන්ද පොරොන්දුවේදී එය ජනමත විචාරණයකින් තොරව කළ නොහැකියයි ඊට එරෙහිව කවුරුවත් කිසිදු ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළේ නැහැ.

මෙම පසුබිම මත පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රබලම ඡන්ද පොරොන්දුවක් වූයේ ජනමත විචාරණයකින් තොරව අගමැති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයට විධායක බලය මාරුකර ජනාධිපති ධුරය නාමික තත්වයට පත්කරන බවයි. ඒ වුණත් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට අනුව ජනමත විචාරණයකින් තොරව එක් පාලන අවයවයක අධිකාර බලය මාරුකර, අත්හැර හෝ ඉවත්කර වෙනත් අවයවයකට හෝ ආයතනකට පැවරීම 3 ව්‍යවස්ථාව සමඟ කියවිය යුතු 4 ව්‍යවස්ථාවට පටහැනි වීමෙන් ජනාධිපතිවරණයේදී දුන් ඡන්ද පොරොන්දුව අපේක්‍ෂිත පරිදි ඉටුකිරීම ව්‍යවස්ථාමය ගැටලුවක් වුණා. කෙසේ වෙතත් එම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ නීති තර්ක මගින් එම තීන්දුව තුළටම ඉහත කී නිගමනයට යම් ලිහිල්බවක්ද ඇතුළත් කළා. පැවති 42 ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු බව, පැවති 43(1) ව්‍යවස්ථාවට අනුව ජනරජයේ පාලනය හා මෙහෙයවීම හා ඒ පාලනය පිළිබඳ විධානය භාර අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවට සාමූහිකව වගකීමට හා උත්තර දීමට බැඳීසිටින බව, විධායකය යනු ජනාධිපතිවරයා පමණක් නොවන බව හා විධායකය යන්නට අමාත්‍ය මණ්ඩලයද, අමාත්‍ය මණ්ඩලය හා රාජ්‍ය සේවා කොමිසම යටතේ පවතින රාජ්‍ය සේවයද අයත් බව, 4(ආ) ව්‍යවස්ථාව කියවිය යුත්තේ කේවලව නොව සමස්ත ව්‍යවස්ථාවම සමඟ බව ආදි ව්‍යවස්ථාමය කරුණු එම ලිහිල් කිරීමට පාදක කර තිබුණා. එනිසා යෝජිත 19 වන සංශෝධනය තුළ තිබූ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත ජනාධිපතිවරයා ක්‍රියා කළ යුතු බව ඇතුළු ඇතැම් යෝජනාවලට ශ්‍රේෂ්ඨාධිකරණය බාධා කළේ නැහැ.

මූලික අයිතිවාසිකම් ශක්තිමත් කිරීම, දෙවරකට වඩා ජනාධිපති ධුරයට තරග කිරීමේ අයිතිය අහිමි කිරීම, ජනාධිපති ධුරයට හිමිව තිබූ මුක්තිය පටු කිරීම, 18 වන සංශෝධනය අහෝසි කිරීම ආදි ඉතා යහපත් ව්‍යවස්ථා සංශෝධන ගණනාවක් 19 වන සංශෝධනය මගින් සම්මත කළා. ඒ සමඟම ශ්‍රේෂ්ඨාධිකරණයට ගරුකරමින් ජනමත විචාරණයකින් තොරව කප්පාදු කළ හකි උපරිමය දක්වා විධායක ජනාධිපති බලය අඩපණ කළා. ඒ අනුව ජනමත විචාරණයක් සහිත පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් පසුව පවත්වන තෙක් ගන්නා තාවකාලික පියවරක් බවට ඉඟියක්ද සහිතව 19 වන ව්‍යවස්ථා සංශෝධනය දිගු විවාදයකින් පසු 2015.04.28 දින පක්‍ෂව ඡන්ද 212ක් ලබමින් පාර්ලිමේන්තුව තුළ සම්මත වුණා. එයින් සනාථ වන්නේ මේ ව්‍යවස්ථාමය අර්බුදය බරපතළ කරුණක් ලෙස එදවසේදීද නිශ්චිතව ප්‍රකාශ නොවූ බවයි.

මෙහිදී ව්‍යවස්ථාමය අර්බුදයක් මතුවන්නේ ව්‍යවස්ථාපිත වගවීම එක් අයෙකුටද ව්‍යවස්ථාපිත අධිකාර බලය වෙනත් අයෙකුටද පැවරීම නිසායි. මතුව ඇති අර්බුදය නම් එකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ඍජු වගවීම දරන්නාගේ වගවීම වෙනස් නොකොට වෙනත් පාර්ශ්වයන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින්ම ඍජුව අධිකාරී බලය පැවරීමයි.

මෙම මොහොතේදී අප හැමදෙනා පැහැදිලිව අවබෝධ කරගත යුත්තේ ප්‍රශ්නගත තත්ත්වයක් උදාවූ දිනකදී අද පවත්නා ව්‍යවස්ථාමය විධිවිධාන කෙතරම් ප්‍රායෝගිකව යොදාගත හැකිද යන්නයි. එහිදී වැදගත් වන්නේ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලිකම පදනමක් වන ජනමත විචාරණයක් සහිතව මිස සංශෝධනය කළ නොහැකි ජනතා පරමාධිපතිත්වය තහවුරු කරන 3 ව්‍යවස්ථාවයි. එහි ‘ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය. පරමාධිපත්‍යය අත්හළ නොහැක්කේය. පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලයද ඇතුළත් වන්නේය.’ ලෙසට දැක්වෙනවා. 3 ව්‍යවස්ථාව සමඟ කියවිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දක්වන 4 ව්‍යවස්ථාව ඇරඹෙන්නේ ‘ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක වීමද, භුක්ති විදීමද මතු දැක්වෙන ආකාරයෙන් සිදු වන්නේය. ..’ වශයෙන්. ඉන් පසු පාලන බලතල තුන වන ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය, විධායක බලය හා අධිකරණ බලය ජනතාවගේ ඡන්ද බලයෙන් තෝරාගන්නා ජනතාවගේ නියෝජිතයන් තුළින් ක්‍රියාත්මකවීමද, භුක්තිවිඳීමද සිදු විය යුතු ආකාරය පිළිබඳව පිළිවෙළින් 4(අ), (ආ) සහ (ඇ) ව්‍යවස්ථාවලින් ඉතා පැහැදිලිව නිශ්චය කර තියෙනවා.

පරමාධිපත්‍යය හිමි ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය හා අධිකරණ බලය, 4(අ) සහ (ඇ) ව්‍යවස්ථා ප්‍රකාරව ක්‍රියාත්මක කිරීම සඳහා ජනතාව තම නියෝජිතයන් ඡන්දය මගින් පාර්ලිමේන්තුවට තෝරා පත්කරගන්නා අතර ජනතාවගේ ව්‍යවස්ථාදායක බලයද, අධිකරණ බලයද නිසි ලෙස ක්‍රියාත්මක වන බවට එම ජනතා නියෝජිතයන් ජනතාවට ඍජුව උත්තර දියයුතු වෙනවා. එසේ වන්නේ, 4(අ) ව්‍යවස්ථාව අනුව ‘ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ජනතාව විසින් තෝරා පත්කර ගනු ලබන මන්ත්‍රීවරයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසින්ද, ජනමත විචාරණයකදී ජනතා විසින්ද ක්‍රියාත්මක කළ යුත්තේය.’ ලෙස දැක්වෙන නිසායි. මෙම විධිවිධානය අනුව ජනමත විචාරණයක් නොවන සෑම අවස්ථාවකදීම සම්පූර්ණ ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කිරීමේ වගවීම හා අධිකාර බලය පවරා ඇත්තේ පාර්ලිමේන්තුව වෙතයි. වගවීම එසේම තිබියදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම වෙනත් විධිවිධානයකට අනුව එම අධිකාර බලය වෙනත් බල අධිකාරයකට පවරාදීම අර්බුදයක් වෙනවා. ඒ බව ඉහත කී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව එක් පාලන අවයවයක අධිකාර බලය මාරුකර, අත්හැර හෝ ඉවත්කර වෙනත් අවයවයකට හෝ ආයතනකට පැවරීම 3 ව්‍යවස්ථාව සමඟ කියවිය යුතු 4 ව්‍යවස්ථාවට පටහැනි බව ප්‍රකාශ වීමෙන් තහවුරුවෙනවා.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදු කළ 13 වන සංශෝධනය නිසා 4(අ) ව්‍යවස්ථාවට අදාළ වගවීම හා අධිකාර බලය අතර බැරෑරුම් පරතරයක් ඇති වුණා. 13 වන සංශෝධනය මඟින් හඳුන්වා දුන් 154(උ) ව්‍යවස්ථාවට හා නව වන උපලේඛනයේ දැක්වෙන පළාත් සභා ලැයිස්තුවත් සමගාමී ලැයිස්තුවත් අනුව පළාත් සභාවලටත් ව්‍යවස්ථාදායක බලයක් හිමිකර දුන්නා. මෙහිදී මතුවන අර්බුදය නම් පළාත් සභාවලට ව්‍යවස්ථාදායක බලයක් හිමිකර දීම සුදුසුද නැත්ද යන්න නොව, පරමාධිපත්‍යය හිමි ජනතාවගේ ව්‍යවස්ථාදායක වගවීම පාර්ලිමේන්තුව විසින් දැරිය යුතු බව සම්පූර්ණයෙන්ම එසේම තිබියදී එහි අධිකාර බලය පමණක් අඩපණ කිරීමයි. පළාත් සභා ප්‍රඥප්ති අනුමතයට 154(ඌ) ව්‍යවස්ථාවට අනුව යම් සීමා පනවා ඇතත් ඒ සඳහා මැදිහත්වීමේ යම් බලයක් ඇත්තේද ජනාධිපතිවරයාට මිස ව්‍යවස්ථාදායක බලය හිමි පාර්ලිමේන්තුවට නොවේ. 2015 වර්ෂයේදී විධායක බලය හීන කිරීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මගින් පෙන්වා දුන් දෝෂය, 1987 වර්ෂයේදී සම්මත කළ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ව්‍යවස්ථාදායක බලය හීන කිරීමේ දෝෂයට සමානරූපී බවක් අද දිස්වෙනවා. පරමාධිපත්‍යය හිමි ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය පිළිබඳ වගවීම එසේම තිබියදී අධිකාර බලය වෙනත් බලඅධිකාරයට පැවරීම, 4(අ) ව්‍යවස්ථාව නොවෙනස්ව පවතින තුරු අනිවාර්ය අර්බුදයක්ව පවතිනවා.

පරමාධිපත්‍යය හිමි ජනතාවගේ විධායක බලය ක්‍රියාත්මක කිරීම හා භුක්ති විඳීම සඳහා ජනතාව විසින්ම ඡන්දය මඟින් තෝරා පත්කරගත් තනි හා එකම ජනතා නියෝජිතයා වන්නේ ජනාධිපතිවරයායි. 4(ආ) ව්‍යවස්ථාව අනුව ‘රටේ ආරක්‍ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත්කරගනු ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුත්තේය.’ යනුවෙන් ඒ බව දැක්වෙනවා. අපගේ පැවති ව්‍යවස්ථාව අනුව පරමාධිපත්‍යය හිමි ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කිරීම සඳහා තෝරාගත් නියෝජිතයන් අතරින් අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය තෝරාගැනීමට ජනාධිපතිවරයාට පවරා තිබුණේ අභිමතානුසාරී අධිකාර බලයක්. එය කිසිවෙකුගේ කිසිම ආකාරයක බලපෑමකට හෝ උපදෙස්වලට යටත්කර තිබුණේ නැහැ. එලෙස කර තිබුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වය යටතේ එතුමාට අවනත, සාමූහිකව වගකියන, තනි කණ්ඩායමක් ලෙස පරමාධිපත්‍යය හිමි ජනතාවගේ