රාවය

නඩු ඉක්මන් කිරීම

නඩු  ඉක්මන් කිරීම

 අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂට ඇමතිකම අත හැර යන්නට සිදුවුණේ පසුගිය ආණ්ඩුවේ දූෂිතයන්ට එරෙහි ව නඩු නොපවරා හා පැවරුණු නඩු ද ප්‍රමාණවත් වේගයකින් ඉදිරියට ගෙන නොගොස් ඔවුන් ආරක්‍ෂා කරන පිළිවෙතක සිටින්නේයැ’යි චෝදනා එල්ල වීම නිසා ය. රවි කරුණානායක මහතාට ඇමති ධුරයෙන් ඉවත් වන්නට සිදුවීම ද විජේදාස රාජපක්‍ෂ මහතාට එරෙහි ව ආණ්ඩුවෙන් ම දෝෂාරෝපණයක් එල්ල වන්නට හේතුවක් විය. කොහොම වුණත්, විජේදාස රාජපක්‍ෂ මහතාගෙන් පසු ලංකාවේ ප්‍රථම අධිකරණ ඇමතිවරිය පත් වූවා ය. දැන් ප්‍රගතිය කෙසේ ද?
තවමත් ඒ ක්‍ෂෙත්‍රයේ සැලකිය යුතු ප්‍රගතියක් වන බවක් පිටතට නොපෙනේ.

පරණ ආණ්ඩුවේ ධුර දරමින් මහජන දේපළ මංකොල්ල කෑ අයට එරෙහි ව නඩු විභාගය සඳහා වෙන ම උසාවියක් යොදා ගන්නට යෝජනාව ඇවිත් බොහෝ කල් ය. හිටපු අධිකරණ ඇමතිවරයා ඒ වගකීම ඉෂ්ට නොකර, නොවැදගත් තර්ක ඉදිරිපත් කරමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම නොකළේ ය. වර්තමාන අධිකරණ ඇමතිවරිය පත් කරන ලද්දේ ඒ අඩුව ද පුරවන්නට ය. එනම්, සිය බලය යොදා ගෙන මහා පරිමාණ මහජන දේපල මංකොල්ලකෑම්වල හා අපරාධවල යෙදුණු පුද්ගලයන්ට එරෙහිව වෙනම උසාවියකින් නඩු ඇසීම ය. කොළඹ මහාධිකරණයේ අධිකරණ ප්‍රමාණය වැඩි කිරීමෙන් පහසුවෙන් ඒ කාර්යය ඉටුකර ගත හැකි වෙතැ’යි මත පළවී තිබුණි. පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභාව ද ඒ සම්බන්ධයෙන් නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කොට තිබුණි. එම නඩු ඇසීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් පත් කිරීම ඉන් එක් යෝජනාවක් වෙයි. එවැනි මහාධිකරණ විනිසුරු මඬුල්ලක් පත් කිරීම හරහා, එක පැත්තකින් නඩු විභාග ඉක්මන් වනවා පමණක් නොව, අභියාචන අවස්ථා ද එකකට සීමා වීමෙන්, මහජනතාවට යුක්තිය ඉටුවීම ඉක්මනින් කෙරෙන බවක් ද හැඟෙනු ඇත.

මහජන මුදල් අවභාවිත කොට සිල් රෙදි බෙදාදීම සම්බන්ධ කුප්‍රකට නඩුවේ අභියාචනය දැන් අභියාචනාධිකරණය හමුවේ පවතින අතර එය විභාග කිරීම සඳහා තවත් අවුරුද්දකට වැඩි කාලයක් ගතවනු ඇත. මහාධිකරණයෙන් වැරදිකරුවන් කරන ලද දෙදෙනා ඒ කාලය තුළ සිටින්නේ බන්ධනාගාරයේ නොව සිය නිවෙස්වල ය. සිය අභියාචනය අසා නිමවන තෙක් බන්ධනාගාරගත නොවී සිටීමට ඔවුන්ට අයිතිය ඇත. අභියාචනාධිකරණය දෙන තීන්දුවට එරෙහි ව ශ්‍රේෂ්ඨාධිකරණයට ද අභියාචනයක් ඉදිරිපත් වුණොත්, ඒ සියල්ල නිමවන තෙක් වැරදිකරුවන් දෙදෙනා සිටිනු ඇත්තේ නිවෙස්වල ය. මහාධිකරණ තීන්දුවෙන් වැරදිකරුවන් වුණත්, අභියාචනයක් කිරීම නිසා නීත්‍යනුකූලව ඔවුන්ට ඇප ලැබුණත්, මහජනතාව එය දැක්කේ, වැරදිකරුවන් වුණත් ඔවුහු ඉතා ඉක්මනින් යළි සමාජයට පැමිණියෝය කියන අදහසිනි. සියල්ල නීතියට අනුකූලව සිදුවුණත්, මහජනතාවගේ මේ නිරීක්‍ෂණය නොසැලකිය යුතු එකක් නොවේ. එයින් පෙනෙන්නේ රටේ යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාදාමය ගැන ඔවුන්ගේ ඇති සැකය සහ කනස්සල්ල යි.
මේ තත්ත්වය තේරුම් ගෙන, නඩු ඇසීමේ ප්‍රමාදය වලක්වා ගැනීමට ක්‍රියා කිරීම නව අධිකරණ ඇමතිවරියගේ වගකීම යි. දැනටමත් ඒ සඳහා යම් යම් ක්‍රියාමාර්ග ඇය ගෙන තිබෙන බව දක්නට ලැබේ. එය ප්‍රශංසා කටයුතු ය. එහෙත්, සමහර කාරණා සම්බන්ධයෙන් ඇති සැකමුසු තැන් එසේ ම ය. උදාහරණයක් වශයෙන් පරණ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයකු වූ සජින් වාස් ගුණවර්ධන, වරාය අධිකාරියේ හිටපු සභාපති ප්‍රියත් බන්දු වික්‍රම වැනි අය සම්බන්ධ නඩු පෙන්විය හැකි ය. අපරාධ විමර්ශන අංශ එම පුද්ගලයන්ට අදාළ විමර්ශන අවසන්කොට නීතිපති දෙපාර්තමේන්තුවට ලිපිගොනු යවා ඉතා දීර්ඝ කාලයක් ගත වී ඇතත්, මේ දක්වා ඔවුන්ට විරුද්ධ ව නීතිපතිවරයා විසින් නඩු පවරා නැති බව දැනගන්නට ලැබේ.

මේ පුද්ගලයන් සම්බන්ධයෙන් නඩු පැවරීම්වලට බාධා කරන කිසිවෙක් වේ ද? නැතිනම්, නීතිපති දෙපාර්තමේන්තුවේ යම් හේතුවක් නිසා ඒවා ප්‍රමාද වේ ද? අධිකරන ඇමතිවරියගේ අවධානයට ඒවා ද ලක්විය යුතු ය.■