රාවය

ශ්‍රීලනිප- ඒකාබද්ධ සාකච්ඡා බිඳවැටේ

තරිඳු උඩුවරගෙදර

ශ්‍රීලනිපය සහ ඒකාබද්ධ විපක්ෂය එක්ව එළැඹෙන පළාත් පාලන මැතිවරණයට තරග කළ යුතු බවට පැවති සාකච්ඡා ඒකාබද්ධ විපක්ෂයේ සිටින ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් කිහිපදෙනෙකු ඉවත් කිරීම නිසා බිඳ වැටී ඇතැයි වාර්තා වෙයි.

ශ්‍රීලනිප මෛත්‍රී පාර්ශ්වයේ සාමාජිකයන් වන සුසිල් ප්‍රේමජයන්ත, ජෝන් සෙනෙවිරත්න ඇතුළු කණ්ඩායමක් ශ්‍රීලනිපය සහ ඒකාබද්ධ විපක්ෂය අතර එකමුතුවක් සඳහා සාකච්ඡා කරමින් සිටි අතර එම සාකච්ඡා සඳහා අවශ්‍ය විශ්වාසය මෙම ඉවත් කිරීම නිසා බිඳ වැටී ඇතැයි ශ්‍රීලනිප ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් පැවසීය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ දුමින්ද දිසානායක, මහින්ද අමරවීර වැන්නක් තනතුරුවල හිඳිමින් කරන ක්‍රියා නිසා සාකච්ඡා කිරීමට නොහැකි පසුබිමක් ඇතිව තිබෙන බවයි. පසුගිය 12 වැනිදා ශ්‍රීලනිප නව ආසන සංවිධායකවරුන් පත්කිරීමක් සහ ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකත්වය දරන මහින්දා නන්ද අලුත්ගමගේ සහ කුමාර වෙල්ගම යන මන්ත්‍රීවරුන් ආසන සංවිධායක ධුරවලින් ඉවත් කොට තිබුණි.
ජනාධිපතිවරයාට ඉතාම සමීප ආරංචි මාර්ග වාර්තා කර තිබුණේ ඉදිරි මැතිවරණයේද අපේක්ෂකයන් ඉදිරිපත් කරනවාද, පක්ෂයට සහයෝගය දෙනවාද යන්න පිළිබඳ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් සඳහා ඒකාබද්ධ විපක්ෂයේ ආසන සංවිධායකවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලියාපදිංචි තැපෑලෙන් ලිපි ලබාදීමට කටයුතු කරන බවයි.
කෙසේ වෙතත් අප කළ විමසීම්වලදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පැවසුවේ එවන් ලිපියක් ලැබී නොමැති බවත් එවැනි ලිපියක් ලැබුණත් ඒ සඳහා සහාභාගි නොවන බවත්ය.
මේ වනවිට ශ්‍රීලනිප ආණ්ඩු කණ්ඩායම අභ්‍යන්තරයේද බෙදීමක් හටගෙන ඇතැයි ශ්‍රීලනිප ආරංචි මාර්ග පවසයි. ආණ්ඩු පක්‍ෂ කණ්ඩායමේ සුසිල් ප්‍රේමජයන්ත, ජෝන් සෙනෙවිරත්න, ඩිලාන් පෙරේරා ඇතුළු පිරිසක් ඒකාබද්ධ විපක්ෂය සමඟ එකතුවීමේ බලාපොරොත්තුවෙන් කටයුතු කරන අතර දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, තිලංග සුමතිපාල, දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයන්ට විනය පියවර ගත යුතු බවට තර්ක කරන බව වාර්තා වෙයි.
මධ්‍යම කාරක සභාවේ අනුමැතියකින් තොරව ආසන සංවිධායකවරුන් ඉවත් කිරීම ගැන සුසිල් ප්‍රේමජයන්ත කණ්ඩායමේ විරෝධයද පළ වී ඇත.■