රාවය

සින්නයියාට වෙන්නේ මොකක්ද?

සින්නයියාට  වෙන්නේ මොකක්ද?

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

අගෝස්තු 22 දින මෙරට නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා පත්වන්නේ 2015 වසරේ ජනවාරි 8වැනි දා සිදුවූ වෙනස නැවතත් සිහි ගන්වමිනි. එහෙත් අගෝස්තු මස 26 වැනි දින වයස අවුරුදු 55 සපිරීම හේතුවෙන් ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි සේවා දිගුව වෙනුවෙන් ජනාධිපතිවරයා ඔහුට ලබාදෙන්නේ ඔක්තෝබර් 26 වනදා දක්වා වන සේවා දිගුවක් පමණි. ඒ අනුව වත්මන් නාවික හමුදාපතිවරයාගේ ධුර කාලය එදිනට නිමා වේ නම් මෙරට හමුදාපතිවරයෙකුගේ කෙටිම ධුර කාලය ලෙස එම දෙමසක ධුර කාලය ඉතිහාසගත වනු ඇත. බොහෝ විට ත්‍රිවිධ හමුදාපති ධුර සඳහා යමෙකු පත්වන්නේ වයස අවුරුදු 55 ආසන්නයේ ජ්‍යෙෂ්ඨත්වයට පත්වය. සාමාන්‍ය ලෙස නම් එම ධුරය හිමි වී වයස 55 සපිරුණු පසු මාස හයක්, වසරක් ආදි ලෙස සේවා දිගු කීපයක් ලබාදීම සිදුවිය. එහෙත්, යහපත් යැයි සිතිය හැකි වෙනසක් සනිටුහන් කරමින් ජනාධිපතිවරයා ලබා දුන් වත්මන් නාවික හමුදාපතිවරයාගේ පත්වීම ඉතා කෙටි කාලයකට සීමා කරන්නේ නම් එය යහපත් වෙනසක් ලෙස පිළිගත හැකිද? ඒ සම්බන්ධව රාවය කළ විමසුමක සටහනකි මේ.

යහපත් වෙනසක් වෙනුවෙන් දුන් ප්‍රතිඥා ඝාතනය කිරීමක්
මහාචාර්ය සරත් විජේසූරිය
නාවික හමුදාපති ධුරයට ට්‍රැවිස් සින්නයියා පත් කිරීම අපේ රට පිළිබඳව ජාත්‍යන්තරයේ තිබුණු කිසියම් අප්‍රසාදයක් තුනී කිරීමටත් ඉවහල් වුණා. ඔහු වැනි කීර්තිමත් දක්ෂ නිලධාරියෙකු පත් කිරීම නීතිගරුක පුරවැසියෝ සැලකුවේ නාවික හමුදාවේ අනාගත අභිවෘද්ධියට ආශීර්වාදයක් හැටියටයි. ඒක ආණ්ඩුවෙන් සිද්ධ කෙරුණු ඉතාම වැදගත් පත්වීමක්. අලුත් යුද හමුදාපතිවරයා පත් කළා වගේම වැදගත් වගකීමක් තමයි නාවික හමුදාපතිවරයා පත් කිරීම. එහෙත් අපට අදහාගන්නට බැරි විධියට ඔහුව පත් කළ වහාම විශ්‍රාම ගැන්වීමේ තීරණයකුත් ක්‍රියාත්මක වෙලා තියනවා. ඒක ඉතාමත්ම කනගාටුදායක කාරණාවක්. එය ශිෂ්ටසම්පන්න නීතිගරුක පුරවැසියෝ ඉතාමත්ම කනගාටුවෙන් හෙළා දකිනවා. ඒ විධියට නාවික හමුදාපතිවරයෙක් හෝ හමුදාපතිවරයෙක් ඉතිහාසයේ මීට පෙර විශ්‍රාම ගන්වලා නැහැ.
මේ පිළිබඳ කරුණු සොයා බලන විට අපට අනාවරණය වැදගත් දෙයක් තමයි මේ රටේ නීතිගරුක පුරවැසියෝ ජනවාරි අට වෙනිදා කිසියම් ආකාරයක සීලාචාර නීතිගරුක සමාජයක් අපේක්ෂා කළා නම් අන්න ඒ සමාජය ගොඩනැගීම වෙනුවෙන් මේ නාවික හමුදාපතිවරයා සාධනීය පියවර කීපයක් ගැනීම තමයි මේ විශ්‍රාම ගැන්වීමට මුල්වෙලා තියෙන්නේ. උදාහරණයක් හැටියට කියනවා නම් යෝෂිත රාජපක්ෂ කියන පුද්ගලයා බලය අවභාවිත කරමින් නාවික හමුදාවට බඳවා ගත්තා. ඔහු කිසියම් දූෂණ චෝදනාවකට ලක් වෙලා රිමාන්ඞ් බන්ධනාගාරගත වෙලා ඇප පිට නිදහස්ව ඉන්නා පුද්ගලයෙක්. එහෙම පුද්ගලයෙකුට නාවික හමුදාව විනය ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. ඔහු සේවය හැර ගියා ද අස් වුණාද කියන එක නෙමෙයි, එම පුද්ගලයා නාවික හමුදාව තුළ සේවය කළ කාලය පිළිබද විමර්ශනයක් සිදු කරන්නට අවශ්‍යයි. එහෙත් හිටපු නාවික හමුදාපතිවරයා එය මගහැරියා. මේ විශ්‍රාම යන නාවික හමුදාපතිවරයා ඒ නීතිගරුක විමර්ශනය සිදුකිරීමට අවශ්‍ය අනුමැතිය ලබා දී තිබෙන බව අපට දැනගන්නට ලැබෙනවා. ඒ වගේම තමයි නාවික හමුදාව තුළ කිසිම හේතුවක් නැතිව යුද්ධයෙන් පසු අහිංසක තරුණයෝ එකොළොස් දෙනෙක්ව සාපරාදී ලෙස ඝාතනයට ලක් කළා. ඒ ඝාතනය පිළිබඳ රහස් පොලීසිය යම් යම් විමර්ශන සිදු කළා. ඒ විමර්ශනවලින් හිටපු නාවික හමුදාපතිවරයෙක් යම් කිසි ආකාරයකට චෝදනා ලබන තත්ත්වයක් උද්ගත වෙලා තියනවා. ඒ නාවික හමුදාපතිවරයා මොන ආකාරයෙන් හෝ තමන්ගේ බලය පරිහරණය කර වර්තමාන නාවික හමුදාපතිවරයාව විශ්‍රාම ගැන්වීමේ ක්‍රියාවලිය සිදු කර තිබෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබෙනවා. මේ විධියට නම් මේ රටේ කටයුතු සිද්ධ වන්නේ ජනවාරි අට වන දා මේ රටේ යහපත් වෙනසක් වෙනුවෙන් ලබා දුන් ප්‍රතිඥා අමු අමුවේ තිරශ්චීන ලෙස සාපරාධී ලෙස ඝාතනය කරන බව තමයි අපට පෙනී යන්නේ. මේ නාවික හමුදාපතිවරයා මේ ආකාරයට විශ්‍රාම ගැන්වීම කියන දේ අපි කිසිසේත් අපේක්ෂා කළ දෙයක් නොවෙයි. මේ පිළිබඳ කරුණු ගවේෂණය කරන විට අපට පෙනෙනවා එක්තරා පුද්ගලයෙක් තමන්ගේ ගජමිතුරන් හෝ ගජමිතුරෙකු ආරක්ෂාකර ගැනීමේ ක්‍රියාවලියක් උදෙසා එක්තරා හිටපු නාවික හමුදාපතිවරයෙක්ව ඉවහල්කර ගෙන තියනවා. මෙන්න මේ නාවික හමුදාපතිවරයාගේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් හැටියටයි සින්නයියා කියන නාවික හමුදාපතිවරයාට තමන්ගේ දැනුමෙන් කුසලතාවන්ගෙන් පළපුරුද්දෙන් මේ රටට සේවයක් කිරීමට ලැබුණු අවස්ථාව මගහැරිලා ගිහිල්ලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි නාවික හමුදාවට උසස් අභිමානවත් ගෞරවයක් ලබා ගැනීමට ඔහුගේ සේවය ඔස්සේ තිබුණු අවකාශය ඇහිරී යාමක් හැටියටත් අපි මේක දකිනවා. බලවත් කනගාටුවෙන් සහ ඉතාමත්ම පිළිකුලෙන් මේ විශ්‍රාම ගැන්වීම හෙළා දැකිය යුතුයි කියා මම පුරවැසියෙක් හැටියට දකිනවා.

දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්
ගාමිණී වියන්ගොඩ
වත්මන් නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියාගේ ධුර කාලය දීර්ඝ නොකළොත් ඔහු අඩුම කාල සීමාවක් ධුරයේ සිටි නාවික හමුදාපතිවරයා බවට පත් වෙනවා. ඒ කියන්නේ මාස දෙකක් වැනි කෙටි කාලයක්. මේක අමුතු දෙයක්. හේතුව, ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමාට අවශ්‍ය නම් නාවික හමුදාපතිවරයාගේ ධුර කාලය අවුරුද්දක් වගේ කාලයක් දක්වා වුවත් දීර්ඝ කළ හැකියි. මේ ධුර කාලය දිගු නොකිරීම පිටුපස තිබිය හැකි යැයි සිතිය හැකි කාරණා මොනවාද කියලා බලන්න ඕනෑ. හුදෙක් ඔහුගේ වයස් සීමාව නිමා වීම නිසා ද එහෙම නැත්නම් වෙනත් හේතූන් නිසා ද ඔහුගේ ධුර කාලය දීර්ඝ නොකරන්නේ කියන එක ගැන සලකා බැලිය යුතුයි. මීට පෙරත් වයස පනස්පහ සම්පූර්ණ වූ හමුදාපතිවරු ඉඳලා තියෙනවා. ඒ නිසා වත්මන් නාවික හමුදාපතිවරයා සම්බන්ධව පමණක් වයස නිර්ණායකයක් ලෙස මේ අවස්ථාවේ එන්නේ කොහොමද. මගේ පුද්ගලික විශ්වාසය තමයි මේ වර්තමාන නාවික හමුදාපතිවරයා යටතේ යම් යම් විමර්ශන ක්‍රියාවලියන් පටන්ගැන්මේ විභවය තියනවා. විශේෂයෙන්ම පුද්ගලයන් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් ඔවුන්ගෙන් කප්පම් ලබාගෙන ඝාතනය කිරීමේ සිදුවීමට වගකිව යුතු යැයි සැක කරන හිටපු නාවික හමුදාපතිවරයා ඇතුළු තවත් නාවික හමුදාවේ ඉහළ නිලධාරීන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම කාලයක් තිස්සේ අඩපණ වෙලා තිබුණා. එයට හේතු වූයේ නාවික හමුදාවෙන් එයට අවශ්‍ය කරන සහාය නොලැබීමයි. වර්තමාන නාවික හමුදාපතිවරයා යටතේ ඒ සහයෝගය ලැබේවි යන විශ්වාසයක් සාමාන්‍යයෙන් තියනවා. ඒ වගේම ඔහු විසින් යම් යම් විමර්ශන පටන් අරගෙනත් තියෙනවා. එවැනි තත්ත්වයක් තුළ යම් කිසි පිරිසකට හෝ පුද්ගලයන්ට අර කියන අපරාධ එළියට පැමිණීම වැළැක්වීමට අවශ්‍ය වෙන්නට පුළුවනි. ඒ වැළැක්වීම සදහා ඔවුන්ට පුළුවන් දෙයක් තමයි මේ වර්තමාන නාවික හමුදාපතිවරයා හැකි ඉක්මනින් ගෙදර යැවීම.
මගේ පුද්ගලික විශ්වාසය වෙන්නේ මේ යහපාලන ආණ්ඩුව පහුගිය කාලයේ දූෂණ සහ අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීම් සිදු කළේ එක්තරා තේරීම් අනුක්‍රමයක් යටතේයි. ඒ කියන්නේ සමහර දූෂිතයින් ආරක්ෂා කර තිබෙනවා. තවත් සමහර අය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට පටන්ගෙන තියනවා. පසුගිය ආණ්ඩුවේ සිටි බරපතළම දූෂිතයන් ලෙස සැලකෙන මිනිස්සුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීම මේ ආණ්ඩුවෙන් පමා කරලා තියනවා. අපරාධ සම්බන්ධයෙන් ද ඒ වගේමයි. විශේෂයෙන් නාවික හමුදාව සම්බන්ධව සිදුවී තිබෙන අපරාධ සම්බන්ධයෙන් මේ යහපාලන ආණ්ඩුව අද දක්වා ගෙනයන්නේ කකුලෙන් අදින වැඩපිළිවෙළක්. මේ වත්මන් නාවික හමුදාපතිවරයාගේ කාලය දීර්ඝ නොකිරීම මම දකින්නේ අර කියන පුළුල් අභිප්‍රායන් මුල් කරගෙන ඇති වන දෙයක් මිස ඔහුගේ වයස කල් පැමිණීම නිසා සිදුවන දෙයක් ලෙස නොවෙයි. මෙය ඉතාම නරක දෙයක්. මොකද මේ යහපාලනය බලයට ආවේ ම ඒ දූෂිතයන්ව සහ අපරාධකරුවන්ව නීතිය ඉදිරියට ගෙනෙනවා කියලායි. පසුගිය කාලය තිස්සේ අපරාධ පිටුපස ඉඳලා තියෙන්නේ ත්‍රිවිධ හමුදාවට සම්බන්ධ කොටස්. නාවික හමුදාවේ වෙන්න පුළුවන්, පාබල හමුදාවේ වෙන්න පුළුවන්, පොලීසිය හෝ බුද්ධි අංශ නිලධාරීන් වෙන්න පුළුවන්. ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන යාම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ තාජුදීන් ඝාතනය යන හැම සිදුවීමකම ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ අය ඉන්නවා. මේවා පිළිබඳ විභාග කිරීමේ වගකීමක් තියනවා. ඒ නිසා වත්මන් නාවික හමුදාපතිවරයාගේ සේවය දීර්ඝ නොකිරීම එක්තරා ආකාරයක දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස මම දකිනවා. ඒ කුමන්ත්‍රණකරුවන් වෙන කවුරුවත් නොවෙයි, මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුවූ මහා පරිමාණ අපරාධ වසන්කිරීමේ වුවමනාවෙන් පෙළෙන පිරිසක් මේ ආණ්ඩුව ඇතුළේ ඉන්නවා. එය අවශ්‍ය වී තිබෙන්නේ ඒ අයටයි.

කාරණා විශාල ප්‍රමාණයක් සලකා බලලායි තීරණ ගන්නේ
දඹර අමිල හිමි
හමුදාපතිවරු පත් කිරීම, ඉවත් කිරීම හෝ ඊළඟ කෙනා පත් කිරීම කරන්න ඕනෑ විශාල තොරතුරු ප්‍රමාණයක් මතයි. ඒ කියන්නේ එක කාරණයක් නෙමෙයි ගොඩාක් කරුණු ඒකට බලපාන්න පුළුවන්. ජාතික ආරක්ෂාව පිළිබඳ කාරණා, රාජ්‍ය ස්ථාවරත්වය සම්බන්ධ කාරණා, දක්ෂතාව පිළිබඳ ප්‍රශ්න කියන ඕනෑ එකක් වෙන්න පුළුවන්නේ. ඊළඟ අනුප්‍රාප්තිකයාගෙන් විශාල වැඩ ප්‍රමාණයක් ගැනීමට නියමිතව තිබෙනවා නම් වැනි ඕනෑම කරුණක් වෙන්න පුළුවන්. එවැනි කාරණා විශාල ප්‍රමාණයක් සලකා බලලා තමයි එය සිදු කරන්නේ. ඒ නිසා හමුදාපතිවරු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එම සම්පූර්ණ අයිතිය ජනාධිපතිවරයාට දීලා තියනවා. ජනාධිපතිවරයාට ලැබුණු බුද්ධි තොරතුරු, ජාතික ආරක්ෂාව පිළිබඳ තොරතුරු, නාවික හමුදාව සම්බන්ධ අනාගත සැලසුම් ඇතුළු අනෙකුත් තොරතුරු සියල්ල සලකා බලා වෙන්න ඇති වත්මන් නාවික හමුදාපතිවරයාගේ ධුර කාලය මාසයක් පමණක් දීර්ඝ කරලා තියෙන්නේ. මීට පෙර හමුදාපතිවරුන් දීර්ඝ කාලයක් එම තනතුරේ සිටියා කියන දේ එයට අදාළ නැහැ. ඊළඟට පත්වීමට සිටින කෙනා එම තනතුරට වඩා සුදුසුයි නම් ඉක්මනින් ඒ කෙනා ගෙන එන්න ඕනෑ. නාවික හමුදාපති ලෙස සින්නයියා මහතා ගෙනඒමම ලොකු දෙයක්. පළිගැනීම්වලට ලක්වෙලා රට අත්හැරලා ඉවත් වී සිටි කෙනෙකු තමයි මේ ආණ්ඩුව ගෙන ආවේ. ඊළඟ සැලසුම් සඳහා අදාළ වෙනත් පුද්ගලයෙකු සිටිනවා නම් වත්මන් නාවික හමුදාපතිවරයාගේ ධුර කාලය දීර්ඝ කළහොත් ඔහුගේ කාලය අහිමිවීමක් සිදුවීමත් වෙන්න පුළුවන්. බොහෝ වෙලාවට අපරාධ සම්බන්ධ පරීක්ෂණ සිදුවන්නේ රජයේ ස්ථාවරය අනුවයි. මීට පෙරත් නාවික හමුදාපතිවරු සිටියත් එම පරීක්ෂණ සිදුවුණේ නැහැනේ. ඒකට හේතුව ඒ නාවික හමුදාපතිවරු ඒවාට සම්බන්ධ නිසා නෙමෙයි, එවැනි මිනීමැරුම්, පැහැරගෙන යාම් හෝ අපචාර සම්බන්ධ කාරණා පිළිබඳ පරීක්ෂණ කිරීමේ ස්ථාවරයක රජය සිටියේ නැහැ. ඒ නමුත් මේ ආණ්ඩුව සාමාන්‍යයෙන් එවැනි ස්ථාවරයක ඉන්නවා. ඒවා ප්‍රමාදවීම් වෙන්න පුළුවන් වුවත් ඒ ස්ථාවරය වෙනස් වෙලා නෑ. ඒ නිසා ඒ ඕනෑම කෙනෙකුට ඉදිරියේ දී අධිකරණවලට එන්න වෙනවා. දින වකවානු පමණයි කියන්න අමාරු, ඒත් අනිවාර්යයෙන් වෙනවා.■