රාවය

අලුත් ව්‍යවස්ථාවක් පිළිබඳ ‘අතුරු කමිටු වාර්තාව’ සහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජනවරමක් ලැබුණු බව මහින්ද රාජපක්ෂ පිළිගැනීම

අලුත් ව්‍යවස්ථාවක් සඳහා වූ කාර්ය සාධනයෙහි ලා පාර්ලිමේන්තුව 2016 මාර්තු 9 වැනි දා යෝජනාවක් සම්මත කර ගත්තේය. එනම්, අලුත් ව්‍යවස්ථාවක් සඳහා කටයුතු කිරීම වෙනුවෙන් මුළු පාර්ලිමේන්තුව ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක්’ බවට පත්විය යුතු බවයි.
මේ ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය’ අලුත් ව්‍යවස්ථාවක් සඳහා සැලකිල්ලට ගත යුතු විෂයයන් 12 ක් හඳුනා ගත්තේය. එයින් විෂයයන් 6 ක් පිළිබඳව සාකච්ඡා කොට ඒවා සම්බන්ධයෙන් වාර්තා ඉදිරිපත් කිරීම සඳහා අනුකමිටු 6 ක් පත්කර ගැනුණි. ඉතිරි විෂයයන් 6 පිළිබඳ සලකා බැලීම් භාර වුණේ, ‘මෙහෙයුම් කමිටුවකටයි’.
ඉහත කී අනුකමිටු 6 ට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල සාමාජිකයන් ඇතුළත් වූ අතර, ‘මෙහෙයුම් කමිටුවට’ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල නායකයන් ඇතුළත් වුණි. අවසානයේ, අනුකමිටු හයේ වාර්තා සහ ‘මෙහෙයුම් කමිටුවේ’ සලකා බැලීම් සියල්ල එක් කොට, ‘මෙහෙයුම් කමිටුව’ විසින් පසුගිය දා ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය’ වෙත අතුරු වාර්තාවක් ඉදිරිපත් කරන ලදි. එම අතුරු වාර්තාවේ ප්‍රාරම්භයේම සඳහන් වන පරිදි, “73 වරක් රැස් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව විසින් කරන ලද සාකච්ඡා පිළිඹිබු කරන ප්‍රතිපත්ති හා සූත්‍රණයන් මෙම වාර්තාවේ අන්තර්ගත වේ”. එනම්, මේ අතුරු වාර්තාව තුළ ඇත්තේ සියලු පාර්ශ්ව විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සහ නිර්දේශත්, ඒවාට අදාළ දළ ප්‍රතිපත්ති රාමුවකුත් පමණක් වන බවයි. ඒ නිසා, මෙය මොන විදිහකින්වත්, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වන අවසාන ලියවිල්ලක් හෝ කෙටුම්පතක් හෝ නොවන බව සිහියේ තබා ගත යුතුය.
උදාහරණක් වශයෙන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තියේ සඳහන් බුද්ධාගමට හිමි ස්ථානය පිළිබඳව විකල්ප යෝජනා දෙකක් මේ වාර්තාව තුළ ඉදිරිපත් කර ඇති බව පෙන්වා දිය හැකිය. ඒවා මෙසේ ය:
1. “ශ්‍රී ලංකාව බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානය පිරිනමන්නේය. එහෙයින් 10 වැනි ව්‍යවස්ථාවෙන් සහ 14 වැනි ව්‍යවස්ථාවේ (1) අනු ව්‍යවස්ථාවේ (ඉ) ඡේදයෙන් සියලුම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර, බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය”.
2. “ශ්‍රී ලංකාව බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානය පිරිනමන්නේය. එහෙයින් සියලු ආගම් හා විශ්වාසයන්ට ගෞරවයෙන් සහ අභිමානයෙන් සලකමින් හා වෙන් කොට සැලකීමකින් තොරව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහතික කර ඇති මූලික අයිතිවාසිකම් සියලුම පුද්ගලයන්ට සහතික කරමින්, බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම වන්නේය.”
අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා යොදා ගනු ඇත්තේ මේ දෙකෙන් එකක් පමණි. සමහර විට, සියල්ලන්ගේ එකඟත්වයෙන් යුතුව, මෙහි සඳහන් මුඛ්‍යාර්ථය දැනවෙන පරිද්දෙන් එය වෙනම වාක්‍යයක් විය හැකිය. ඒ වාක්‍යය කුමක් වුවත්, ‘බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානය හිමි වන’ බවත්, ‘බුද්ධ ශාසනය සුරක්ෂිත කොට ආරක්ෂා කිරීම රජයේ වගකීමක් වන’ බවත් අවධාරණය කෙරේ.
තවත් උදාහරණයක් වශයෙන් දැනට පවතින පළාත් කිහිපයක් ඒකාබද්ධ කළ යුතුද නැද්ද යන කාරණය සම්බන්ධයෙන් වාර්තාව තුළ සඳහන් වන කාරණා ගත හැකිය. මේ සඳහා විකල්ප යෝජනා තුනක් ඉදිරිපත්ව තිබේ. ඒවා මෙසේ ය:
1. “පළාත් දෙකක් හෝ වැඩි ගණනක් එක ඒකකයක් ලෙස කටයුතු කිරීම පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (154 අ (3) වැනි ව්‍යවස්ථාවේ) දැනට පවතින ප්‍රතිපාදන, අදාළ පළාත්වල මහජනයාගේ ජනමත විචාරණයක් ද අවශ්‍ය ය යන අතිරේක අවශ්‍යතාව සමග රඳවා ගත යුතු බව”.
2. “ඒකාබද්ධ කිරීමක් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි විධිවිධාන සැලැස්වීම නොකළ යුතු බව”.
3. “ව්‍යවස්ථාවෙන් උතුරු නැගෙනහිර පළාත් එක් ඒකකයක් ලෙස පිළිගත යුතු බව”.
මේ උදාහරණවලින් සහ මෙම ‘අතුරු වාර්තාවේ’ අඩංගු තවත් බොහෝ කරුණුවලින් පෙනී යන්නේ, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ අවසාන ලියවිල්ල හෙවත් ව්‍යවස්ථා කෙටුම්පත යනු ඉදිරියේදී සකස් කරගත යුතුව ඇති දෙයක් මිස කිසි සේත්ම මේ ලියවිල්ල නොවන බවයි.
කරුණු එසේ තිබියදී වහාම මෙම ලියවිල්ල හකුලා ගත යුතුව ඇති බවට මෙරට ජාතිවාදීහු සහ ඒකාබද්ධ විපක්ෂය හඬතලති. ඒ සඳහා ඔවුන් යොදා ගන්නේ, විටෙක අභූත පදනම් සේම, විටෙක කේඬෑරි පදනම් ය. එසේ වන්නේ, මීට කලින් ද මේ කොලමේ සඳහන් කර ඇති පරිදි, මේ ‘අතුරු වාර්තාවේ’ ඇතැම් මුඛ්‍ය කාරණා මෙරට ජාතිවාදීන් පමණටත් වඩා සැනසීම අරමුණු කොට සකස් කිරීම සඳහා වගබලාගෙන ඇති තත්වයක් තුළ ය. එයට හොඳම උදාහරණය ‘ඒකීය’ යන වචනය සම්බන්ධයෙන් අනුගමනය කර ඇති ගන්දබ්බ ප්‍රතිපත්තියයි. සිංහල ජාතිවාදීන්ට කප්පම් දීම සඳහා මෙහි කර්තෘවරුන් කර ඇත්තේ, මේ ‘ඒකීය’ යන සිංහල වචනයම ඉංග්‍රීසි පිටපත සඳහාත් යොදා ගැනීමයි. ඒ සඳහා හේතු දැක්වීමකුත් කර තිබේ. එනම්, ‘ඒකීය’ සඳහා යෙදෙන ‘යුනිටරි’ යන ඉංග්‍රීසි වචනයේ අර්ථය බි්‍රතාන්‍ය වැනි රටවල් සම්බන්ධයෙන් පසුගිය කාලයේ වෙනස්ව තිබීම නිසා, එනම් ඉංග්‍රීසි භාෂාවේ ‘යුනිටරි’ වචනය තුළ (ස්කොට්ලන්තය සම්බන්ධයෙන්) වෙන් වීමටත් අයිතියක් ඇති බව පිළිගෙන තිබීම නිසා, එම වචනය ලංකාවට නොගැළපෙන බව ය. ඒ අනුව, ‘වෙන් වීමට අයිතියක් නැතැ’ යි යන අදහසක් ගෙන දෙන්නේ යැයි මේ ලියවිල්ලේ කර්තෘවරුන් විශ්වාස කරන ‘ඒකීය’ යන සිංහල වචනයම ඉංග්‍රීසි පිටපත සඳහාත් යොදාගෙන තිබේ. මේ අපභ්‍රංසය ඉන් පසු තවත් උග්‍ර වෙයි. මන්ද යත්, ‘ඒකීය’ යන වචනය තුළ, ලියවිල්ලේ කතුවරුන් විශ්වාස කරන පරිදි එවැනි වෙන් වීමේ නොහැකියාවක් අනිවාර්යයෙන් ගැබ් වෙයි නම්, ඊට පසුව, ‘නොබෙදුණු සහ නොබෙදිය හැකි’ යන විශේෂණ යෙදුමකුත් පාවිච්චි කරන්නේ කුමකටද යන්න පැහැදිලි නැති බැවිනි. ඒ, නැවතත්, අර ජාතිවාදීන්ව පිනවීමටම ය. ජාතිවාදීන් සඳහා එතරම් ‘සේවයක්’ කර තිබියදීත්, දැන් සිදු වී ඇත්තේ කුමක් ද? වඳින්න ගිය දේවාලය හිසේ කඩා වැටීමකි.
මේ අතුරු වාර්තාව ගැන මහින්ද රාජපක්ෂ විශේෂ ප්‍රකාශයක් නිකුත් කොට තිබේ. ඉහත කී ‘ඒකීය’ යන වචනය එහි සඳහන් වන ආකාරය ඔහු මෙසේ විවේචනය කරයි: “සිංහලෙන් ඒකීය යන වචනය තවදුරටත් භාවිත කරන අතර, ‘යුනිටරි’ යන ඉංග්‍රීසි වචනය හා එම සංකල්පය නව ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීම: ඒ අනුව ලංකාවේ බහුතර ජනතාව මෙය ඒකීය රටක් යැයි සිතා සිටියත්, ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ලංකාව තවදුරටත් ඒකීය නැත්නම් ‘යුනිටරි’ රටක් නොවනු ඇත. ජනතාව මුළා කිරීමට ගෙනැවිත් ඇති මේ සටකපට යෝජනාව අපි හෙළාදකිමු”.
මොන වරම් දුන්නත් ජාතිවාදියා පන්දම බිම දමන්නේ නැති බව, හැට දෙලක්ෂයක ජනතාවකගේ ශක්තියට වඩා ජාතිවාදියාගේ ඝෝෂාව ඉදිරියේ දණ නමන කවුරුත් තේරුම් ගත යුතුය. මේ හැරුණු කොට, මහින්ද රාජපක්ෂගේ විශේෂ ප්‍රකාශය, ඔහුගේ අවුරුදු දහයක ප්‍රතිපත්තියේ මූලික වෙනසක් පෙන්නුම් කරයි. ඒ මෙසේ ය: “නව ව්‍යවස්ථාවක් සඳහා යෝජනාවලියක් ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවේ සභාගත කර ඇත. පසුගිය ජනාධිපතිවරණයේදී යහපාලන පාර්ශ්වය ජනතාවට දුන් ව්‍යවස්ථාමය පොරොන්දු වූයේ, 2015 අප්‍රේල් 20 වැනි දාට පෙර මැතිවරණ ක්‍රමය වෙනස් කොට, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව පමණි. මුළු ව්‍යවස්ථාවම වෙනස් කිරීමට ජනවරමක් මේ ආණ්ඩුවට ලැබුණේ නැත.”
මෙහි සඳහන් අපුරු වෙනස වන්නේ, ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ජනවරමක් මේ ආණ්ඩුවට ලැබුණු බව හිටපු ජනාධිපතිවරයා පිළිගැනීමයි. සමස්ත ප්‍රකාශය පුරාම ඔහු විරුද්ධ වන්නේ, ‘ඒකීය’භාවය පිළිබඳ ප්‍රශ්නයට සහ ඒ ආශ්‍රයෙන් මතු වන බලතල බෙදාහදා ගැනීම පිළිබඳ ප්‍රශ්නයට පමණි. විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට තමන් විරුද්ධ බවක් ඒ ප්‍රකාශයේ කිසි තැනක සඳහන් නොකිරීමට ඔහු වගබලාගෙන තිබීම සුවිශේෂී ය.
ඉහත සඳහන් අතුරු වාර්තාව තුළ විධායක ජනාධිපති ධුරය සම්බන්ධයෙන් සඳහන් වන්නේ මෙසේ ය:
1. අද පවතින ආකාරයේ විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බවට පොදු එකඟත්වයක් තිබුණි.
2. නියම කර ඇති අවස්ථාවලදී පළාත් සභාවලට අදාල බලතල ද ඇතුළත් බලතල ජනාධිපතිවරයාට ලබා දිය යුතුය.
3. ජනාධිපතිවරයා නියමිත ධුර කාලයක් සඳහා පාර්ලිමේන්තුව මගින් තෝරා පත්කර ගත යුතුය.
18 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් පවා ඇති කරගෙන, ජනාධිපති ධුරය රජ කමක් කර ගැනීමට වෑයම් කළ මහින්ද රාජපක්ෂ ඉහත සඳහන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන වර්තමාන සංශෝධන සම්බන්ධයෙන් වචනයක විරෝධයක් නොනගන අතරේ සහ එම සංශෝධනය සඳහා ජනවරමක් ලැබී ඇතැයි ද පිළිගන්නා අතරේ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ පොරොන්දුව මත බලයට පත් මෛත්‍රීපාල සිරිසේනගේ යහපාලන ආණ්ඩුවට 2015 ජනවාරියෙන් පසුව පැමිණි, 18 වැනි සංශෝධනයට කලින් අත් උස්සා සිටි නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත සහ ඩිලාන් පෙරේරා, විධායක ජනාධිපති ක්‍රමය සම්බන්ධයෙන් ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය’ යනුවෙන් ඇමිණුමක් මේ අතුරු වාර්තාවට එක් කොට තිබේ. ඒ මෙසේ ය:
“අද පවතින ආකාරයේ විධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන් අහෝසි කිරීම ප්‍රඥාගෝචර නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතයයි… රටේ ස්ථාවරභාවය පවත්වාගෙන යාම සඳහාත්, බලතල ප්‍රමාණයක් සහිතව යම් ජනාධිපතිවරයෙකු කෙලින්ම ජනතා ඡන්දයෙන් තෝරා ගත යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතයයි.”
දැන් අපි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වෙත පරණ ප්‍රශ්නයක් අලුත් ආකෘතියක් තුළ නැවත ඉදිරිපත් කරමු.
2015 ජනවාරියේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ප්‍රධාන පොරොන්දුව මත 62 ලක්ෂයක් ජනතාව ඔබ වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එදා නායක මහින්ද රාජපක්ෂ වෙනුවෙන් 58 ලක්ෂයක් ජනතාව ඡන්දය පාවිච්චි කළහ. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ඔබ ය. දැන්, ඔබේ 62 ලක්ෂයේ ජනතාවට අමතරව, එදා 58 ලක්ෂයේ නායකයාත් ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ජනවරම පිළිගන්නා තත්වය තුළ, ඒ කියන එක් කෝටි විසි ලක්ෂයක අනුමැතියට අමතරව, මේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ඔබට තවත් අවශ්‍ය කරන්නේ කුමක් ද?■