රාවය

වසවිසෙන් තොර කෘෂි ක්‍රමවේද හා ජාතික කෘෂිකර්මයේ පරිහාණිය

වසවිසෙන් තොර කෘෂි ක්‍රමවේද හා  ජාතික කෘෂිකර්මයේ  පරිහාණිය

ආචාර්ය පරාක්‍රම වෛද්‍යනාථ

පසුගිය 6 වැනි දින සිට 12 වැනි දින දක්වා ජාතික ආහාර වැඩසටහනක් රට පුරා දියත් කිරීමට රජය කටයුතු කරන වග මාධ්‍ය මගින් ප්‍රකාශිත වී ඇත. ඊට ප්‍රථම, ගිය වසර දෙක තුළ, හරයක් නොමැති, ‘වසවිසෙන් තොර කෘෂිකර්මය’ නැමැති විශාල වියදමක් හා ශ්‍රමයක් යෙදවූ වැඩසටහනෙන් ජාතික කෘෂිකර්ම නිෂ්පාදනයට පිහිටක්වීදැයි ප්‍රශ්න කළ යුතුය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා එම අමාත්‍යාංශය පමණක් නොව රටෙහි පිළිගත් කෘෂිවිද්වතුන්ද මගහැර, කෘෂිකර්මය ගැන කිසිදු දැනුමක් නොමැති ඉංජිනේරුවෙකු ප්‍රධානියා කොට සඟනමක් හා තවත් විශාල පඩි සහිත උපදේශකවරුන් සමූහයක් සමග ‘සෙමා’ නැමැති රජයේ ආයතනය හා ජනාධිපති කාර්යාලය හරහා දියත් කරන ලද වැඩසටහන අසාර්ථක වීමට හේතු ගැඹුරින් විශ්ලේෂණය කිරීම මැනවි. එමෙන්ම යථාර්ථවාදී ප්‍රතිපත්ති මාලාවක් සහිත කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා එම අමාත්‍යාංශයද, රටෙහි බහුතර කෘෂිවිද්‍යාඥයන්ද ඇතුළත් ප්‍රායෝගික වැඩපිළිවෙළකට අවතීර්ණ වීම, අලුතෙන් දියත් කිරීමට බලාපොරොත්තු වන ජාතික වැඩසටහනේ පළමුවන පියවර විය යුතුය.
‘වසවිසෙන් තොර දේශයක්’ කෘෂිකර්ම ප්‍රතිපත්තිය අසාර්ථක වීමට කරුණු කීපයක් පාදක විය. ගොවීන් කාබනික කෘෂිකර්මයට යොමුකිරීමට විශාල ප්‍රයත්නයක් දැරුවද හෙක්ටයාර් 700,000ක් පමණ රටෙහි කුඹුරු ඉඩම් ප්‍රමාණයෙන් සියයට 1ක් වත් එම ක්‍රමයට වගාකිරීමට නොහැකි වූයේ අවශ්‍ය කාබනික පොහොර හෝ වෙනත් සාර්ථක විකල්ප තාක්‍ෂණයන් නොතිබූ බැවිනි. යොදන ලද විකල්ප තාක්‍ෂණ අසාර්ථක විය.

පිවිතුරු පොහොර ප්‍රෝඩාව
රතන ස්වාමීන් වහන්සේගේ නායකත්වය යටතේ මහවැලි ඊ කලාපයේ ක්‍රියාත්මකවූ, ‘පිවිතුරු පොහොර’ නැමැති කාබනික පොහොර සංයුතිය භාවිත කළ නමුදු ගොයම කහපාට වූ බැවින් රසායනික පොහොර (යූරියා) යෙදු වග අප හමුවූ ගොවීන් රහසේ ප්‍රකාශ කළ බව සඳහන් කළ යුතුය. එසේ කිරීමට හේතුව වූයේ ඇත්ත ප්‍රකට වූයේ නම් තම වී ‘කාබනික’ වී සේ වැඩි මිලට විකිණීමට නොහැකි වන නිසායැයිද ඔවුහු කීහ. මෙම නිදර්ශනය කාබනික ආහාරයන්ට නැඹුරු අය සැලකිල්ලට ගතයුතු වේ. පර්යේෂණයන්ට හරියාකාරව භාජනය නොකොට ගොවීන් අතර මෙම පොහොර බෙදාදීම ඔවුන් රැවටීමක් නොවේද? තවද ගිය මහ හා යල කන්න දෙකෙහි අරලගන්විල කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානයේ කරන ලද පර්යේෂණ දෙකකින්ම පිවිතුරු පොහොර යෙදීමෙන් කිසිදු ඵලදා වැඩිවීමක් දැක්වූයේ නැතැයි වාර්තාවේ.
ලාංකික ආයතනයක මහාචාර්යවරයෙකු නිපදවූ ‘බයෝ පිල්ම් බයෝ ෆර්ටිලයිසර්’ නැමැති ක්‍ෂුද්‍රප්‍රාණී පොහොර සංයුතියක්ද මහවැලි සී කලාපයේ ප්‍රචලිත කර ඇත්තේ ඔහුද සම්බන්ධ කොම්පැනියක් මගිනි. මෙම පොහොර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශකොට නොමැත්තේ පර්යේෂණයන්හිදී එයද පලදාව වැඩිවීමක් නොපෙන්වා ඇති බැවිනි. එහෙත් සෙමා ආයතනයේ වෙබ් අඩවියේ මෙම ක්ෂුද්‍රප්‍රාණී සංයුතිය ඉතා විශිෂ්ට සේ ප්‍රදර්ශනය කිරීම හා එහි භාවිතයට ගොවීන් පෙළඹවීම සාධාරණද?

දේශීය සාම්ප්‍රදායික වී ප්‍රභේද
වසවිසෙන් තොර කෘෂිකර්ම ප්‍රතිපත්තිය යටතේ තවත් විශේෂ අංගයක් වූයේ පැරණි සාම්ප්‍රදායික වී නැවත ප්‍රචලිත කිරීමයි. 1960 දශකයේ සිට ඉතා අඩු ඵලදායි පැරණි වී ප්‍රභේදවලින් ඈත්වී නව වැඩි ඵලදායී වී වර්ග අභිජනනය නොකළේ නම් අදත් එදා මෙන් සහල් පිටරටින් ආනයනය කිරීම සිදුවන්නට තිබුණි. නව වී වර්ග ඵලදාව හා ඵලදායිතාව ගිය වසර 50 තුළදී 8 ගුණයකින් වැඩිවූ අතර භාවිත ඉඩම් ප්‍රමාණය වැඩිවූයේ 3 ගුණයකින් පමණි. දේශීය වර්ගයන්හි ඵලදාව හෙක්ටයාරයකට ටොන් 2ක් පමණ වන අතර දැන් පර්යේෂණ මට්ටමේ නව වී වර්ග ටොන් 10 ඉක්මවනු ලැබේ. ජාතික ඵලදායිතාව ටොන් 4.5ක් වේ. පැරණි වී වර්ගවල ගොයම කඩාවැටීම හා සමහර පලිබෝධකයනට ඔරොත්තු නොදීම වැනි දුර්වලතා ඇති අතර නව වර්ග අභිජනනය කර ඇත්තේ ඒවාට ඔරොත්තු දීමටය. පැරණි වර්ග පෝෂණ ගුණයෙන් වැඩියැයි ප්‍රචලිත වුවද එවැනිම පෝෂණ ගුණ ඇති නව රතු වී ප්‍රභේද ඇත. කෙසේ වෙතත් ප්‍රධාන ආහාරයෙන් අප බලාපොරොත්තු වන්නේ පිෂ්ඨය නොහොත් ශක්තිය වන අතර විටමින් හා අන් ආහාර අවශ්‍යතාවන් එළවළු මස්මාංශ මගින් ලබාගත හැකිය. සමහර ගොවීහු දැන් කුඩා ඇට සහිත ඊඋ272රැ6ඊ නැමැති නව වී වර්ගය කුරුලුතුඩ නැමැති පරුණි වර්ගයට බොහෝ සමාන බැවින් එය නිෂ්පාදනය කොට විකුණා උපරිම ලාභයක් ගනිති. දේශීය වර්ග අවශ්‍ය නම් කුඩා ප්‍රමාණයක් වගාකිරීමේ වරදක් නොමැත. එහෙත් අධිකව ව්‍යාප්ත කිරීම ජාතික සහල් අවශ්‍යතාවට තර්ජනයක් විය හැකි බැවින් නව ජාතික ආහාර වැඩසටහන්දී මෙම කරුණු සැලකිල්ලට ගැනීම උචිත වේ. විශේෂයෙන්ම වසවිසෙන් තොර කෘෂිවිශේෂඥයන් මෙම කරුණු සැලකිල්ලට ගැනීම මැනවි.

යහ වල් පාලනය හා ග්ලයිෆෝසේට්
යහ වල් පාලනය සිදු නොවන්නේ නම් වල්පැල තරගකාරිත්වය හේතු කොට බෝග ඵලදාව සියයට 40-60 දක්වා අඩුවිය හැකිය. එහෙත් ගොවීන් විශාල ප්‍රමාණයක් ප්‍රපාතයකට ඇදදැමුණේ යහපාලන රජයේ වල් පාලන තීරණයෙනි.
වී හා ක්ෂේත්‍ර බෝග මෙන්ම සියලු බහුවාර්ගික බෝගයන්හි මැනැවින් වල් මර්දනය කළ හැකි ග්ලයිෆෝසේට් නමැති වල්නාශකය 2015 වසරේදී මෙම රජය තහනම් කරන ලදි. හේතුව සේ දක්වන ලද්දේ එම රසායනිකය රජරට වකුගඩු රෝගයට පාදකවේයැයි යන මතයයි. එය ලාංකික විද්‍යාඥයින් කීපදෙනෙකුගේ කල්පිතයක් පමණි. එහෙත් බහුතර ලාංකික විද්‍යාඥයන් එම කල්පිතය අදාළ රසායනික මූලධර්මවලට පටහැනියැයිද එබැවින් පිළිගත නොහැකියැයිද පෙන්වාදී ඇති අතර, ලොව කිසිදු විද්‍යාඥයෙකු හෝ විද්‍යාත්මක ලිපියක් මගින් මෙම කල්පිතය අනුමත කර නොමැත. ලෝක සෞඛ්‍ය සංවිධානය 2016 මැයි මස කොළඹදී පැවැත්වූ වකුගඩු රෝගය සම්බන්ධ විශේෂඥ සමුළුවේදී නිගමනය කරන ලද්දේ වකුගඩු රෝගයට ග්ලයිෆෝසේට් පාදක වේයැයි සාධක නොමැති වගයි. ලෝකයේ කිසිදු වෙනත් රටක් එම වල්නාශකය තහනම් කොට නොමැත. කරුණු මෙසේ වුවද ජනාධිපතිවරයා, කෘෂි රසායනිකයන් සම්බන්ධ බලධාරියා වන පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්ගේ හෝ පලිබෝධනාශක උපදේශක කමිටුවේ පමණක් නොව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හා එම අමාත්‍යාංශයේද උපදෙස් නොතකා 2015 වසරේදී ග්ලයිෆෝසේට් තහනම් කළේය.

මෙම හේතු නිසා ජාතික තේ නිෂ්පාදනය ගිය දෙවසරේ සියයට 20කින් අඩුවී ඇති අතර වෙනත් බෝගයන්හි වල් මර්දනයද අඩාලවීම හේතුකොට ඵලදාවේ හා ඵලදායීතාවේ පැහැදිලි අඩුවීමක් දක්නට ඇත. ක්‍ෂේත්‍ර බෝග නිෂ්පාදනයේ, විශේෂයෙන්ම බඩඉරිඟු නිෂ්පාදනයේ පැහැදිලි පසුබෑමක් සිදුවී ඇත්තේ, ග්ලයිෆෝසේට් නොමැතිව වල් මර්දනය වියදම තෙගුණයකින් වැඩිවීම නිසායි. ගලෙන්බිඳුනුවැව පෙදෙසේ ක්‍ෂේත්‍ර චාරිකාවේදී අප හමුවූ ගොවීන් පැවසුවේ, උදැල්ලෙන් මාන පඳුරු ගැලවීමට අධික වියදමක් යන නිසා තමන් දැන් බඩඉරිඟු වගාකරනුයේ ඉඩමෙන් අඩක් පමණ වගයි. කෙසේ වෙතත් හොරෙන් මෙරටට ගෙන්වන මෙම රසායනිකය නියම මිල මෙන් තුන් ගුණයක් වුවද ගොවීහු කළුකඩයෙන් ලබාගෙන භාවිත කරති.
කරුණු මෙසේ හෙයින් භෝග නිෂ්පාදනයට තදින් බලපාන ප්‍රධාන පලිබෝධනාශකයක් වූ ග්ලයිෆෝසේට් තහනම රජය දියත් කිරීමට යන නව කෘෂි සංග්‍රාමයට තදින් බලපානු නියතය.

ෆොස්ෆේට් පොහොර අවභාවිතය
ග්ලයිෆෝසේට් නොව වැලකිය යුත්තේ ෆොස්ෆේට් පොහොර අවභාවිතයයි. ග්ලයිෆෝසේට් හිසරදයක් නම් වාර්තාවී ඇති ෆොස්ෆේට් දූෂණය අතීසාරය වේ. විශාල පරිසර දූෂණයකට හේතුවන ෆොස්ෆේට් අවභාවිතයට මෙතෙක් කිසිදු පිළියමක් කර නොමැත. උඩරට එළවළු ගොවීන් නිර්දේශිත රසායනික පොහොර ප්‍රමාණය මෙන් 5-10 ගුණයක් යෙදීමට පුරුදු වී ඇත. ඔවුන්ගේ මතය වන්නේ වැඩි පොහොර යනු වැඩි අස්වැන්න යනුයි. රසායනික පොහොර මෙන්ම කාබනික පොහොරද පසෙහි ෆොස්ෆරස් ප්‍රමාණ වැඩිවීමට හේතුවේ. එළවළු ගොවීහු කන්නයකට කාබනික පොහොර ටොන් 5ක් 10ක් හෙක්ටයාරයකට යොදති.

ලොවම පිළිගත් නිර්දේශයන් අනුව උපරිම පසෙහි ෆොස්ෆරස් ප්‍රමාණය පස් කිලෝග්රෑමයකට මිලිග්රෑම් 30ක් නොඉක්මවිය යුතු අතර, උඩරට එළවළු බිම්වල මිලිග්‍රෑම් 60 ඉක්මවන ඉඩම් ප්‍රමාණය සියයට 50ට වැඩිවේ. එම ප්‍රමාණය පාරිසරික අවදානම් මට්ටමයැයි සඳහන් වී ඇත. එහෙත් සමහර ගොවිබිම් පසෙහි මිලිග්රෑම් 400 පවා අබිබවා ගොස් ඇතැයි වාර්තා වන අතර මෙවැනි තත්ත්වයක් ලොව කිසිදු රටක වාර්තාවී නොමැතියැයි පාංශු විද්‍යාඥයෝ පවසති. පසෙහි පාරිසරික අවදානම් මට්ටම ඉක්මවීමේදී ෆොස්ෆේට් සෝදා ගොස් ඇළ, දොළ හා ගංගා හරහා රජරට ජලාශවලට එකතුවීමෙන් ඇල්ගි උඩමණ්ඩි සෑදී ජලය දූෂණය වේ. සමහර ඇල්ගි උඩමණ්ඩි විසින් විෂකාරක දියට එකතු කරනු ලැබේ. එම සමහර විෂකාරක අක්මාවට හා වකුගඩුවලට හානිකරන අතර ඒවා රජරට වකුගඩු රෝගයට පාදකවිය හැකියැයිද විද්වතුන්ගේ මතයයි. එපමණක් නොව ෆොස්ෆේට් පොහොර සමඟ කැඞ්මියම් අපද්‍රව්‍යයක් සේ පසට එකතුවන වගද, එළවළු හරහා කැඞ්මියම් විෂකාරකය ශරීරගත විය හැකියැයිද පෙනී ගොස් ඇත. කැඞ්මියම් ස්නායු හා වකුගඩු විෂකාරකයක් බැවින් ඉදිරියේදී අධික සෞඛ්‍ය ප්‍රශ්නයක් විය හැක.

ෆොස්ෆේට් අවභාවිතය හා පලවිපාක ගැන හිටපු කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්වරයකු වූ ආචාර්ය සරත් අමරසිරි ගිය වසර කීපය තුළ රජය හා මහජනයා කීපවිටක් දැනුවත් කළ නමුදු කිසිදු ප්‍රතිචාරයක් නොමැත.

අටුකොටු පුරවමුද? පසුම්බි පුරවමුද?
ඔක්තෝබර් 6 වැනි දින ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ‘අටුකොටු පිරවීම’ සඳහා දියත් කරන ලද නව වගා සංග්‍රාමය සාර්ථක වේවායැයි අපි ප්‍රාර්ථනා කරමු. එහෙත් මෙය යථාර්ථවාදීදැයි සැලකිලිමත් විය යුතුය. මෙලෙසම 2006 වසරේ ‘අප වවමු රට නගමු’ මැයින් වූ සංකල්පය යටතේ දියත් කරන ලද වගා සංග්‍රාමයේ ප්‍රතිඵල කුමක්ද? අප දන්නා පරිදි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිෂ්පාදිත බද්ධ පැළ දහස් ගණනක් මහජනයාට නොමිලේ බෙදා දුන් නමුදු ඒවායේ වගා ප්‍රගතිය පසුවිපරම් කර නොමැත. එම ක්‍රියාව නිසා අපේ පලතුරු නිෂ්පාදනයේ ප්‍රගතියක් දැකගත හැකිද? නොමිලයේ පැල දීම කෘෂි ව්‍යාප්ති මූලධර්මයනට පටහැණි වග අදාළ බලවත්තු නොදන්නෝද? යමක් කිරීමට පෙර කරුණු ගැඹුරින් අධ්‍යයනය කොට පැහැදිලි වැඩසටහනක් සකස් කොට හරි කළමනාකරණයක් හා පසුවිපරමක් සහිතව දියත්කළ යුතුවේ. මධ්‍ය හරහා සටන් පාඨ ප්‍රකාශ කළ පළියට කර්තව්‍යයක් සාර්ථක නොවේ.

‘සෑම බිම් අඟලක්ම’ වගා කිරීමට පෙර කුඹුරු විශාල ප්‍රමාණයක් පුරන්වී ඇති හේතුව කිමදැයි අධ්‍යයනය කළ යුතුය. විශේෂයෙන්ම මෙම තත්ත්වය උද්ගත වී ඇත්තේ තෙත් කලාප වී වගාවටය. වී වගාව වියළි කලාපයේ වාරි ජලය සමග වුවද අඩු ලාභදායී බෝගයක් වේ. ගොවියා දුප්පත් කිරීමට ප්‍රධාන හේතුව මෙයයි. අප නව කෘෂි ප්‍රතිපත්ති දැක්ම විය යුත්තේ ගොවි ආදායම වැඩි කිරීමයි.
වී ඵලදාව අඩුවීම මෙන්ම ශ්‍රම හිඟය හා අධික ශ්‍රම වියදම ඉඩම් පුරන් වීමට හේතුවේ. එබැවින් විශේෂයෙන්ම නගරබද හා අධික ජනගහනය සහිත තෙත් කලාප පෙදෙස්වල කුඹුරු බෝග විවිධාංගිකරණයට හා වෙතත් වැඩි ආදායම් දෙන ඉඩම් භාවිත විකල්පයනට ඉඩ සැලසිය යුතුය. මේ සඳහා යල් පැනපු 2000 වසරේ ගොවිජන සංවර්ධන පනත සංශෝධනය කිරීම අවශ්‍ය වේ. සුදුසු පරිදි මෙම ඉඩම් තුළ ජලාපවහනය ඇතිකර වැඩි වටිනා බෝග වගා හා සංරක්‍ෂිත කෘෂික්‍රම ව්‍යාප්ත කළ යුතුය. මේ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අදාළ පළාත්වල සුදුසු ක්ෂේත්‍ර ප්‍රදර්ශන සහිත නව වැඩසටහනකට අවතීර්ණවීම අවශ්‍යවේ. කුඹුරු ඉඩම් විවිධාංගිකරණය අප ආහාර සුරක්‍ෂිතතාවට හානියක් වේයැයි තර්කයක් නැගෙනු ඇත. අද වියළි හා අන්තර් කලාපයන්හි වී වගාවන්ගෙන් අපේ සම්පූර්ණ සහල් අවශ්‍යතාව ලබාගැනීමට විභවයක් ඇත. ගිය වසර 70 තුළ අපේ වී ඵලදායිතාව හා නිෂ්පාදනය සත්ගුණයකින් වැඩිවී ඇත. අප ජනගහනය වැඩිවන්නේ සියයට 1කින් පමණ වන බැවින් නව පර්යේෂණ හා තාක්‍ෂණ මගින් තෙත් කලාපයේ කුඹුරු ඉඩම් නොමැතිව වුවද අවශ්‍ය වී ප්‍රමාණය නිපදවාගත හැකිවිය යුතුය. කෙසේ වෙතත් ආහාර සුරක්‍ෂිතතාවට, ස්වයංපෝෂිතබවට වඩා ජාතික ආදායම වැදගත්ය. ඉතා සුළු ආහාර ප්‍රමාණයක් නිපදවන සිංගප්පූරුවේ අපට වඩා ආහාර සුරක්‍ෂිතතාවක් තිබීම හොඳ නිදසුනකි.■