රාවය

සංක්‍රමණීය යුක්තිය කුමක්ද, කෙසේද, කොයිබටද යත්..

සංක්‍රමණීය යුක්තිය  කුමක්ද, කෙසේද,  කොයිබටද යත්..

සුනන්ද දේශප්‍රිය

මෙම දිනවල ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදෙන පැබ්ලෝ ඩි ග්‍රිෆ් සංක්‍රමණීය යුක්තිය පිළිබඳ අන්තර් ජාතික විද්වතෙකි. පහත සඳහන් කතාවෙහි ඔහු සංක්‍රමණීය යුක්තිය යනු කුමක්ද යන්න කෙටියෙන් ද එය ලොව පුරා ලැබ ඇති අත්දැකීම් ද විස්තර කරයි. පශ්චාත්-යුද්ධ ශ්‍රී ලංකාවද යුද්ධයෙන් ඇති කළ තුවාල සුවපත් කිරීම සඳහා තෝරාගෙන ඇත්තේ සංක්‍රමණීය යුක්තිය, එහි ප්‍රධාන කුලුනු හතර සමඟින් ක්‍රියාවට නැංවීමයි. මෙම කතාව අප රටෙහි තත්ත්වයන්ට අදාළ කරගනිමින් කියැවීම මගින් අදට අදාළ වටිනා පාඩම් ගණනාවක් ලබා ගත හැකිය.

පළමුවැනුව කිවයුත්තේ සංක්‍රමණීය යුක්ති ක්ෂේත්‍රයෙහි සතුටු විය හැකි බොහෝ ජයග්‍රහණයන් ඇති බවයි. මා සංක්‍රමණීය යුක්තිය යන පදය පාවිච්චි කරන්නේ මානව හිමිකම් සහ අන්තර් ජාතික මානුෂීය නීතිය දැවැන්ත ලෙස කෙළෙසී ඇති තත්ත්වයන්ගෙන් පසු සත්‍යය, යුක්තිය, හානිපූර්ණය සහ නිර්-පුනර්වර්තනය ක්‍රියාවට නැගීම යන තේරුමෙනි. සතුටු විය හැකි ප්‍රධාන කාරණය නම් ඉතා කෙටි කලක් තුළදී එකී කුලුනු හතර සම්බන්ධයෙන් රාජ්‍යයන්හි වගකීම නිර්වචනය කරන ප්‍රාමාණික රාමුවක් ගොඩ නැගී තිබීමයි. තිස් වසරක කාලයක් තුළදී සංක්‍රමණීය යුක්තිය, මානව හිමිකම් කෙළෙසීම් සිදුව ඇති රටවල් විසින් ක්‍රියාවට නැගිය යුතු යැයි අපේක්ෂා කැරෙන එක් ප්‍රතිපත්තියක් බවට දැන් පත්ව තිබේ. මෙය නිසැකයෙන්ම ජයග්‍රහණයකි.
අපරාධ යුක්තිය පමණක් ප්‍රමාණවත් නොවේ.

දෙවැනුව සංක්‍රමණීය යුක්තිය විසින් කරන ලද වැදගත් දායකත්වය නම්, යුක්තිය සඳහා වින්දිතයන්ගේ ඉල්ලීම් සපරනු පිණිස අපරාධ යුක්තිය පමණක් ප්‍රමාණවත් නොවේය යන්න පිළිගැනීමයි. එමෙන්ම සත්‍යය, අපරාධ නඩු විභාග, හානි පූර්ණය සහ නිර්-පුනර්වර්තනය සහතික කිරීම යන අත්‍යවශ්‍ය සහ අන්‍යොන්‍ය වශයෙන් එකිනෙක සවිමත් කරන කාණ්ඩ හතරට යුක්තිය යන සංකල්පය බෙදා දැක්වීමයි.

තෙවැනුව සියලුම කලාපයන්හි රටවල් තමන්ට අදාළ සංක්‍රමණීය යුක්ති පියවර ක්‍රියාවට නැගීම සම්බන්ධයෙන් වටිනා අත්දැකීම් එක්කරගෙන සිටින බව සඳහන් කිරීමද වැදගත් ය. සමහර කලාපයන්හි දී එය කලින් ආරම්භ වූ අතර විවිධ කලාප අතර කැපීපෙනෙන වෙනස්කම් ද තිබේ. එසේ නමුත් සිය රටට අදාළ සංක්‍රමණිය යුක්ති පියවර ක්‍රියාවට නැගීමේ අත්දැකීම් නොලබන ලද එකුදු කලාපයක් හෝ අද ලෝකයෙහි නැත. එම අත්දැකීම්හි විවිධත්වය සහ ඉන් උකහාගත හැකි පාඩම් ඒ පිළිබඳ කෙරී ඇති අධ්‍යයනයන්ට වඩා විශාල යැයි මම විශ්වාස කරමි.

වින්දිතයෝ ද අයිතීන්හි අයිතිකරුවෝය
සඳහන් කළ යුතු කරුණක් නම් මේ වනාහි වැදගත් ප්‍රගතියක් ලබා ඇති ක්ෂේත්‍රයක් බවයි.
එම ප්‍රගතීන් යම්යම් තත්ත්වයන්ට බැඳී ඇති අතරම කලින් කී සංක්‍රමණීය යුක්ති කුලුනු හතරට ද අදාළය. විවිධාකාරයෙන් වින්දිතයන් දෘශ්‍යමාන කිරීම, කලින් ඔවුන්ට නොතිබූ ස්ථානයක් පොදු අවකාශයෙහි ලබාගැනීම යනාදිය මෙම ප්‍රගතියට ඇතුළත් වෙයි. මේ වනාහි වින්දිතයන් යනු අයිතීන් හිමි පිරිසක්ය යන අදහස බරපතළ ලෙස සැලකිල්ලට ගන්නා සංක්‍රමණීය යුක්තියෙහි මෙන්ම සාර්ථක සමාජ අන්තර්ග්‍රහණයන්හි පැතිමානයකි.

ස්ත්‍රී-පුරුෂභාවී සංවේදීතාව සහ අන්තර්ග්‍රහණය
සියලු ක්ෂෙත්‍රයන්ට අදාළ තවත් ප්‍රගතියක් නම් ස්ත්‍රී-පුරුෂ සමාජභාවී සංවේදීතාව සහ අන්තර්ග්‍රහණයයි. එසේ වුවද විශේෂයෙන්ම ක්‍රියාත්මක කිරීමේ තලයෙහිදී තව බොහෝ දේ කිරීමට ඉතිරිව තිබේ. එසේ නමුත් ස්ත්‍රීන්ගේ අයිතීන් ප්‍රවර්ධනය කිරීමෙහිලා සහ ඔවුන්ගේ අවශ්‍යතාවන් සහ ළැදියාවන් ඉටු කිරීමෙහිලා සත්‍යය, යුක්තිය, හානිපූර්ණය, නිර්-පුනර්වර්තනය සහතික කිරීම කොතෙක් ප්‍රයෝජනවත්දැයි අප පැහැදිලිවම ඉගෙන ගෙන තිබේ. දඬුවම් පැමිණවිය හැකි ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අපරාධයන් ඉහළ ගොස් තිබේ. පේරුවියානු සත්‍යය සහ සංහිඳියා කොමිෂන් සභාවෙන් පටන් ගෙන තවත් සත්‍යය කොමිෂන් සභා එක්කෝ සුවිශේෂ ස්ත්‍රී-පුරුෂ සමාජභාවී ඒකකයක් පිහිටුවාගෙන ඇත. නැත්නම් සිය කටයුතුවලදී ස්ත්‍රී-පුරුෂ සමාජභාවී කාරණා පැහැදිලි කැරෙන වෙනත් පියවර ගෙන තිබේ. එමෙන්ම මොරෙක්කෝවේදී යොදාගෙන ඇති සමහර පියවරවලින්ද පෙනීයන පරිදි, හානිපූර්ණ වැඩසටහන්, එන්න එන්නම ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පිළිබඳ සවේදී වී තිබේ.

සමාව දීමේ ප්‍රශ්නය
අවසාන වශයෙන් අදාළ කරුණු ගවේෂණයේ සහ ලේඛනගත කිරීමෙහි ලා ද කිරීමේ ලා ද සංක්‍රමණීය යුක්තිය අතිවිශාල ප්‍රගතියක් ලබා තිබේ. මෙම ප්‍රගතිය සියලු සංක්‍රමණීය යුක්ති පියවරවලට වාසිදායක ය. උදාහණයක් වශයෙන් ලියැවිලි කළමනාකරණය පවා බොහෝ ඉහළ ගොස් ඇති අතර තොරතුරු වඩ වඩා මහජනයාට විවෘතවෙමින් තිබේ.
සෑම ක්ෂෙත්‍රයකටම මෙම ප්‍රගතීන් සමඟම සංක්‍රමණීය යුක්ති ක්‍රියාදාමයේ ඒ ඒ කුලුනු සම්බන්ධයෙන් ලබා ගත් ප්‍රගතීන් ද තිබේ.

සමාව දීම සම්බන්ධයෙන් විවිධාකාර මාවත් ඉදිරිපත් කරමින් නඩු විභාග පවත්වාගෙන යෑම සඳහා වැදගත් ප්‍රවිෂ්ටයන් සංක්‍රමණීය යුක්තිය විසින් ලබා දී ඇත. සමාව දීමේ නීති, එක්කෝ ව්‍යවස්ථාමය හේතූන් උඩ නැත්නම් අන්තර්ජාතික වගකීම් සමඟ එවායේ ඇති නොගැළපීම මත අවලංගු කැරෙන තර්ක වර්ධනය කරනු ලැබ ඇත. අවලංගු නොකැරෙන්නේ නම් එවැනි නීතිවලින් ඇතිවිය හැකි නරකම විපාක අවම කිරීම සඳහා විවිධ ප්‍රවේශයන්ද වර්ධනය කර තිබේ. මෙම ප්‍රවිෂ්ටයන්ට සමාව දීමේ නීති නිසි ලෙස ක්‍රියාවට නැගීම ද ඇතුළත් ය. එනම් දඬුවම් ලැබීමෙන් මුක්තිය ලැබිය හැකි වුවත් පරීක්ෂණයන් පැවැත්වීම නතර නොකිරීම, ‘එක දිගටම කරන ලද අපරාධ’ සමාව දීමේ නීති පරිමණ්ඩලයෙන් ඉවත් කිරීම යනාදියයි.
බොහෝ විට අප්‍රමාණවත් පරීක්ෂණ සහ නඩු පැවැරීමේ සම්පත් වඩා කාර්යක්ෂම සහ හේතුයුක්ත ලෙස මූලිකත්වයට ගෙනඒමට සහ නඩු පැවැරීමේ උපායමාර්ග අරභයා ද වැදගත් පාඩම් සංක්‍රමණීය යුක්තිය විසින් ලබා ගෙන තිබේ.

සත්‍යයට ඇති අයිතිය
සත්‍යය සෙවීමේ පරිමණ්ඩලයෙහි දී සංක්‍රමණීය යුක්තිය විසින් සත්‍යයට ඇති අයිතිය මුල් බැස්සවීම සඳහා කරන ලද දායකත්වය කෙරෙන් පටන්ගත හැකිය. එමෙන්ම සත්‍යය සෙවීමේ කොමිෂන් සභා හරහා මෙම අයිතිය ක්‍රියාත්මක බවට පත්කිරීමෙහිලා ලබාදෙන ලද දායකත්වය මෙම ක්ෂේත්‍රයෙහි දැකිය හැකි සිත් කාවදිනසුලු ප්‍රගතිය වේ. සත්‍යය සෙවීමේ සහ කීමේ  අනෙක් යාන්ත්‍රණයන් ද සඳහන් කිරීමට තරම් වටී. ඒවා නම් අන්තර්ජාතික පරීක්ෂණයන්, විවිධ නැගෙනහිර යුරෝපීය රටවල ඔත්තු සේවාවන්හි ලේඛන ද ඇතුළුව ලියැවිලි ආරක්ෂා කිරීම සහ ඒවා සඳහා මහජනයාට පිවිසුම් ඇති කිරීම, ජර්මනියේ සහ අනෙක් රටවල අතීත අපචාරයන් හෙළිදරව් කිරීම සඳහා ඉතිහාසඥයන් සහ පර්යේෂකයන් විසින් කරන ලද තීරණාත්මක කටයුතු යනාදියයි.
හානිපූර්ණය සම්බන්ධයෙන් ද සංක්‍රමණීය යුක්තිය එය මුල්බැසගැන්වීම සදහා මෙන්ම එය ක්‍රියාවට නැංවීම සඳහාත් දායක වී තිබේ. ඒ දසදහස් ගණනාවක් වින්දිතයන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් කාර්යක්ෂමව කටයුතු කළ හැකි විශාල පරිමාණයේ පරිපාලන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මගිනි.

පසුගිය තිස්වසර පුරා අපට වැදගත් අත්දැකීම් ඉගෙන ගැනීමට හැකිව තිබේ. සංක්‍රමණීය යුක්ති වැඩ සටහනක් සැලසුම් කිරීමේ සංකීර්ණතාවේ වැදගත්කම චිලී රටේ ඉතාම සාර්ථක වැඩසටහනින් ලබාගත හැකි අත්දැකීම් අතර වේ. ඉන් කියැවෙන්නේ අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙක සාධකයන් ඌනපූරණය කරන ප්‍රතිලාභයන් ලබා ගැනීම යි.

අභියෝග
වින්දිතයන්ට මෙන්ම සංක්‍රමණීය යුක්තිය සැබැවින්ම ක්‍රියාවට නැංවූ රටවලට ද එය විසින් වැදගත් දායකත්වයක් ලබා දී ඇත. එනමුත් එය හමුවේ අභියෝග නැතැයි ඉන් අදහස් නොවේ. අනෙක් සෑම මානව හිමිකම් සහ යුක්තියට අදාළ ක්ෂෙත්‍රයන්හිදී මෙන්ම සංක්‍රමණීය යුක්ති ක්‍රියාදාමය ද ප්‍රවණතා තුනක් විසින් බාධා පමුණුවනු ලබයි. එම ප්‍රවණතාවන් පරාජය කිරීම අවශ්‍ය ය.
ඉන් පළමුවැන්න නම් විශ්වමය නීතියට ඇති බැඳීම් ක්‍රියාත්මක කිරීමෙහිලා දිගින් දිගටම තෝරාගත් ඒවා පමණක් ක්‍රියාවට නැවීමේ ප්‍රවණතාවයි. දෙවැන්න නම් යම් යම් කාරණා ‘ආරක්ෂකකරණය’ කිරීම යි. එනම් සෑම තත්ත්වයක් යටතේදීම, මානව හිමිකම් සම්බන්ධයෙන් පවා, ආරක්ෂක හේතූන් විසින් අනෙක් සියල්ල යටපත් කිරීමයි. තෙවැන්න නම් සිවිල් අවකාශය වසා දැමීමට කැරෙන අනවරත ප්‍රවණතාවයි.

සන්දර්භ සංවේදී භාවිතය
සංක්‍රමණීය යුක්තිය අදේශ කරනු ලැබෙන්නේ සංදර්භයට සංවේදීව යැයි කියනු ලබන මුත් මගේ අදහස නම් විශේෂයෙන්ම පශ්චාත්-ඒකාධිපති සහ පශ්චාත්-ගැටුම් යන එකිනෙකට වෙනස් තත්ත්වයන් යටතේ වඩා සංවේදී වීමට තවත් අවකාශය ඇති බවයි.
එමෙන්ම වෙනත් රටවලින් ආයතන, ඒවායේ සන්දර්භය මෙන්ම අරමුණද නොසලකා පිටපත් කර ගැනීම ද දක්නට ලැබෙන දුර්වලකමකි. එවැනි උදාහණයක් නම්, මුල් රටවල දී වින්දිතයනට සහ සමාජයට සත්‍යය දැනගැනීමට ඉවහල් වූ සත්‍ය කොමිසම සංක්‍රමණීය යුක්තිය සඳහා සෑම රටකම වාගේ පිහිටුවා තිබීමයි.

තව ද දක්නට හැකි දුබලතාවක් වන්නේ තාක්ෂණික ප්‍රතිචාර පමණට වඩා අවධාරණය කිරීමයි. එමගින් සංක්‍රමණීය යුක්තිය, නිපුණ ආයතනික ඉංජිනේරු ක්‍රියාවලියක් බවට ලුහු කරනු ලැබේ. ඉන් සිදුවන්නේ ක්ෂේත්‍රයෙහි ඇති අනෙක් පැතිමානයන්ට, උදාහරණයක් වශයෙන් සංස්කෘතික මැදිහත්වීම් සහ පුද්ගල මනෝභාවයන් වෙනස් කිරීම අරමුණු කිරීම වැනි අවශ්‍යතාවන්ට, අඩු වැදගත්කමක් ලැබීමයි.

එබැවින් සංක්‍රමණීය යුක්ති ක්ෂේත්‍රයේ ලබා ඇති ජයග්‍රහණයන් සම්බන්ධයෙන් සතුටු විය හැකි සහ එය නොනැවත කරගෙන යෑම අත්‍යවශ්‍ය වන්නේ වී නමුත් කිසිවකු සංතෘප්තියට පත් නොවිය යුතු ය. මන්ද යත් සෑම තැනට ම ගැළපෙන ‘විශ්වමය ප්‍රතිපත්ති කට්ටලය’ කියා දෙයක් නැති බැවිනි.

පශ්චාත්-ගැටුම් සමාජයන්හි සංක්‍රමණීය යුක්තිය
වත්මනෙහි පෙරට වඩා අතිශයින් වෙනස් සන්දර්භයන්හි සංක්‍රමණීය යුක්තිය ක්‍රියාවට නංවනු ලැබේ. එනම් ආයතනික වශයෙන් දුර්වල පශ්චාත්-ගැටුම් සමාජයන්හි ය. ප්‍රථමයෙන් මෙම රටවල්/තත්ත්වයන් වඩා පුළුල් ආරක්ෂක සහ සංවර්ධන ඌනතාවන්ගෙන් යුතුය. එමෙන්ම පශ්චාත්-ගැටුම් රාජ්‍යයන් ආයතනික වශයෙන් බොහෝ දුබල ය. තවද ඔවුන් ආමන්ත්‍රණය කිරීමට උත්සාහ දරන හිමිකම් කෙළෙසීම් ප්‍රමාණයෙන් බරපතළ වනවා පමණක් නොව පරාසය අතින් ද පුළුල්ය. එම කෙළෙසීම්හි වගකීම දරන ප්‍රචණ්ඩත්වයේ කර්තෘකයන් ගණනින් වැඩිය. පශ්චාත්-එකාධිපති තත්ත්වයන්හිදී අතිබහුතරයක් හිමිකම් කෙළෙසීම්වලට වගකිවයුතු වන්නේ රාජ්‍යයයි. එහෙත් පශ්චාත්-ගැටුම් තත්වයන්හිදී එම කර්තෘකයෝ විවිධය.

දෙවැනිව කී තත්ත්වයන්හි දී සංක්‍රමණීය යුක්තිය ප්‍රතිඵල ලබා ගැනීමෙහි ලා වැඩි අභියෝගයන්ට මුහුණ දෙයි. ඇත්ත වශයෙන් ම නම් එය අදාළ වන්නේ සංක්‍රමණීය යුක්තියට පමණක් ම නොවේ.

ආයතන ගොඩනැගීමේ සංක්‍රමණීය යුක්ති න්‍යාය පත්‍රය
සංක්‍රමණීය යුක්ති න්‍යාය පත්‍රය ආයතන ගොඩනැගීම සහ ආයතන ශක්තිමත් කිරීමේ ක්‍රියාදාමයක් සමඟ සම්බන්ධ කිරීම වැදගත් බව මම යෝජනා කරමි. එසේ වුවත් අප සියලුදෙනා දන්නා දෙයක් නම් ආයතන ගොඩනැගීම කල් ගන්නා බවයි. අප සිතනවාට වඩා කාලයක් ඒ සඳහා අවශ්‍ය ය. මෙහිදී වැදගත් වන්නේ වෙනත් රටවලින් පිටපත් කරගන්නවා වෙනුවට සුවිශේෂ අරමුණු ඉටුකර ගැනීම පිණිස වඩාම කාර්යක්ෂම ක්‍රමෝපාය යොදාගැනීම යි. දුබල ආයතනික රටාවක් ඇති පශ්චාත්-ගැටුම් තත්ත්වයක දී වින්දිත සහභාගිත්වය සහ දේශීය සම්පත් ඉතාම වැදගත් වෙයි.
එමෙන්ම මුලිකත්වය දිය යුතු ආකාරයන් තෝරා ගැනීම ද වැදගත් ය. වැළැක්වීම සහ විසඳුම් සැපයීම එකම අවස්ථාවෙහි කළ නොහැකි නම් ගත හැකි ප්‍රයත්නයන් යුක්ති සහගත කර ගත හැකි ක්‍රම තිබේ. ඒ එකී ද්විත්ව අරමුණු කල් යත්ම මුදුන් පමුණුවාගත හැකිවන පරිද්දෙන් වැඩසටහන් ගොඩනැගීම මගිනි. එනයින් කෙළෙසීම්වලට භාජනය විය හැකි දුබල ප්‍රජාවන්හි ඉක්මනින් ආමන්ත්‍රණය කරමින් අතුරුදහන්වූවන්ට අවධානය යොමු කිරීම, පරිපූර්ණ හානි-පූර්ණ සහන ලබාදිය නොහැකි තත්ත්වයන්හි දී වින්දිතයනට සහාය දීමේ වැඩසටහන් ගැන අවධානය යොමු කිරීම සහ වින්දිතයන්ගේ අයිතිවාසිකම් සම්බන්ධ නිරන්තර අවධානය සහ අවසානයේදී සමස්ත හානිපූර්ණය ක්‍රියාවට නැංවිය හැකි ආයතන ගොඩනැගීමේ අවකාශය ලබාදීම යනාදිය වේ. අවසාන වශයෙන් සෑම තත්ත්වයකදී ම මෙන්ම විශේෂයෙන් ආයතන කැපීපෙනෙන ලෙස දුර්වල තත්ත්වයන්හි දී සිවිල් සමාජය ශක්තිමත් කිරීම ද වැදගත් ය. මන්දයත් සිවිල් සමාජයෙන් ලබන දායකත්වය මත මහත් සේ රඳා නොපැවති සාර්ථක සංක්‍රමණීය යුක්ති උදාහරණයක් නැති නිසාය.■
(පසුගිය සැප්තැම්බර් මාසයෙහි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙහි මහාචාර්ය පැබ්ලෝ ඩි ග්‍රිෆ් විසින් ඉදිරියෙහි කරන ලද කථාව ඇසුරින් සකස් කරන ලදි. ඍජු පරිවර්තනයක් නොවේ.)