රාවය

අලුත් ව්‍යවස්ථාව ඕනෑ

අලුත්  ව්‍යවස්ථාව  ඕනෑ

බලාපොරොත්තු වුණු විදියට ම, මල්වතු අස්ගිරි කාරක සංඝ සභා දෙක අලුත් ව්‍යවස්ථාවක් එපායැ’යි ද, තිබෙන ව්‍යවස්ථාව හොඳයැ’යි ද කියා තිබේ. මේ අලුත් ප්‍රවෘත්තියක් නොවේ.
අලුත් ව්‍යවස්ථාවක් එපායැ’යි ද, කේන්ද්‍රය හා පරිධිය අතර කිසිම බලය බෙදාහදා ගැනීමක් එපායැ’යි ද, අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවන්නට එපායැ’යි ද, අතුරුදන් කිරීම්වලින් පුද්ගලයන් ආරක්‍ෂා කිරීමේ පනත ගෙන එන්නට එපායැ’යි ද පසුගිය කාලය පුරා ම මේ සංඝ සභාවල භික්‍ෂූහු කියමින් සිටියෝ ය. අන්තවාදී භික්‍ෂුවක මුස්ලිම් විරෝධී වෛරී හැසිරීමක යෙදෙන විට, ඒ අන්තවාදී භික්‍ෂුව කියන විධියේ අවුලක් තිබුණත්, කියන දෙය අනුමත කළ හැකියැ’යි කීවේත් මේ භික්‍ෂූන් පිරිස ම ය. දළදා මාලිගාව ඉදිරිපිට ඒ26 මාර්ගය විවෘත කිරීමට විරෝධය පාන්නේත් මේ පිරිස ම ය.
ඔවුන්ගේ මේ හැසිරීම අමුත්තක් නොවන්නේ පසුගිය කාලය පුරා ම, විශේෂයෙන් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ පරාජයෙන් පසුව මේ පන්සල්වල කාරක සංඝ සභා කටයුතු කළේ අලුත් පාලනයට පසමිතුරු ප්‍රවේශයකින් නිසා ය. මහින්ද රාජපක්‍ෂ පාලනය නැවත ස්ථාපනය කිරීමේ අධ්‍යාශයෙන් නිසා ය. එනිසා ඔවුන්ගේ විරෝධය කිසියම් දෙයක හොඳ නරක, ඉන් රටට යහපතක් අයහපතක් වේ ද, ජාතීන් අතර සාමය සංහිඳියාව සඳහා හේතු වේ ද, මහජනතාවගේ සෞඛ්‍යයට යහපතක් වේ ද යනාදිය කිරාමැන, එළඹ සිටි සිහියෙන් යුතු ව ගන්නා, කෙටියෙන් කිවහොත්, කාලාම සූත්‍රයේ ඉගැන්වීම් අනුව ගන්නා තීන්දු තීරණ නොවේ. මහින්ද චින්තනයෙන් මෝහයට පත් වීමෙන් හෙවත් මුලා වීමෙන් ගන්නා තීන්දු තීරණ ය. රට ආපස්සට යැවීම සිය දෛනික මෙහෙවර කර ගත් මාධ්‍යවලට මේ තීන්දු තීරණ රට හොල්ලන ‘බිග් ස්ටෝරි’ වුණත් මේ ආචීර්ණ කල්පික සංඝ ක්‍රියාකාරිත්වය ගැන දන්නා කිසිවකුට මේ භික්‍ෂූන්ගේ හැසිරීම් අලුත් කම්පනයක් ඇති කරන්නේ නැත.
අලුත් ව්‍යවස්ථාවක් ගැන රට කතා කරන මොහොතක, ඒ ව්‍යවස්ථාවේ හොඳ නරක ගැන, දියුණු හා නොදියුණු තැන් ගැන සාකච්ඡා කරන්නට, වාද විවාද කරන්නට ඕනෑ ම කෙනකුට අයිතියක් තිබේ. අලුත් ව්‍යවස්ථාවට පක්‍ෂවන්නන්ට මෙන් ම ඊට විරුද්ධවන්නන්ට ද සිය අදහස් නිදහසේ පළකරන්නට අවස්ථාව සැලසිය යුතු ය. අලුත් ව්‍යවස්ථාවක් එපා කියන්නට ද කිසිවකුට අයිතිය තිබිය යුතු ය.
එහෙත්, අලුත් ව්‍යවස්ථාවක් එපා ද ඕනෑ ද යන්න අවසාන වශයෙන් තීන්දු කරන්නේ මේ රටේ පරමාධිපත්‍යය හිමි මහජනතාවයි. අලුත් ව්‍යවස්ථාවක් එපායැ’යි කියමින්, විධායක ජනාධිපති ධුරයේ බලය හා කාලය වැඩි කර ගනිමින්, තමාගේ ජීවිත කාලය පුරා රජකු හැටියට සිටීම සඳහා ව්‍යවස්ථාව වෙනස් කර ගත් මහින්ද රාජපක්‍ෂ මහතා 2015 ජනවාරි 8 වැනිදා පරාජය කළ ඒ මහජනතාව, විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට පොරොන්දු වුණු මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට ඔසොවා තැබූහ. විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්නට නම්, අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය ය. ඒ නිසා, අලුත් ව්‍යවස්ථාවකට මේ රටේ ජන අනුමැතියක් තිබේ. මේ කියන කාරක සංඝ සභා ඒ ජන අනුමැතිය දුන් ජනතාව අතර සිටියේ නැත. ඒ මොහොතේ මේ කියන කාරක සංඝ සභාවල භික්‍ෂූන් හිටියේ මහින්ද රාජපක්‍ෂ මහතා යාවජීව ජනාධිපති කරවීමේ ප්‍රයත්නයක යෙදී ය.
තමන්ට ලැබුණු අනුමැතිය අනුව කටයුතු කිරීම ජනාධිපතිවරයාගේත්, ආණ්ඩුවේත් වගකීමයි. ඒ ක්‍රියාවලියේ දී මල්වතු අස්ගිරි පාර්ශ්ව කාරක සංඝ සභා මෙන්ම තවත් සංඝ සභා ද, මහා නායක හිමිවරුන් ද විරුද්ධ විය හැකි ය. මාධ්‍ය හා අන්තවාදීන් විසින් ඔසොවා තබනු ලැබූවත්, මේ පිරිස ගණන් ගත නො යුතු තරම් සුළුතරයකි. අස්ගිරි මල්වතු කාරක සංඝ සභා යනු වත්මන් මුළු බුද්ධ ශාසනය ද නොවේ. ඔවුන්ට බාහිර ව අතිවිශාල භික්‍ෂු සංඝයක් රටේ තිබේ. මේ සංඝ සභා කුමක් කියූවත්, මල්වතු මහ නාහිමියන් පවා සිටින්නේ, රටට නොබෙදන අලුත් ව්‍යවස්ථාවක් ඕනෑ ය කියන ස්ථාවරයේ ය.
එනිසා, මේ සුළු පිරිසක් විරුද්ධ වූ පමණින්, ඔවුන්ගේ පුහු ඝෝෂාවන්ට රැවටී රටේ ලක්‍ෂ හැට දෙකකට අධික ජනතාවකට වූ පොරොන්දු ඉටු කිරීමෙන් බැහැර වීමට ජනාධිපතිවරයාටවත් ආණ්ඩුවටවත් බැරි ය.■