රාවය

ලංකාවේ අසමත්කම කෙරෙහි බලපා ඇති ඇතැම් සාධක

ලංකාවේ අසමත්කම කෙරෙහි බලපා ඇති ඇතැම් සාධක

වික්ටර් අයිවන්

අපේ රටේ දක්නට තිබෙන අසමත්කම හෝ කාලකණ්ණි භාවය එක හේතුවක් නිසා නොව ප්‍රබල හේතු ගණනාවක් එකට එකතුවීම තුළ ඇතිවූ අවාසනාවන්ත තත්ත්වයක් ලෙස සැලකිය හැකිය. අප අවුරුදු 2000කටත් වැඩි දීර්ඝ කාලයක් බුද්ධාගම දැනුම ලබාගැනීමට තිබෙන එකම ප්‍රභවය ලෙස සලකා ක්‍රියාකිරීම ජන ප්‍රජාවක් වශයෙන් අප අතර දක්නට තිබෙන බුද්ධිමය හීනතාව හා අවිචාරවත්භාවය කෙරෙහි බලපා තිබෙන එක් වැදගත් හේතුවක් ලෙස සැලකිය හැකිය. ප්‍රියන්ත පීරිස් කියන ආකාරයට ආහාර රටාවේදී මස් හා මාළුවලට අඩු වැදගත්කමක් ලබාදීම බත්වලට ලොකු වැදගත්කමක් ලබාදීමද ඒ කෙරෙහි බලපා තිබෙන වැදගත් හේතුවක් වනවා විය හැකිය. සතුන් මරා ආහාරයට ගැනීම ආගමික විශ්වාසයන් අනුව පාපයන් ලෙස සැලකුණද ඒ බව නොසලකා දඩ මස් ලැබුණු විටද වැව්වලින් මාළු අල්ලා ගත් විටද කලාතුරකින් මස් මාළු ආහාරයට ගත්තේය. එහෙත් මස් හා මාළු ආහාර වේලේ වැදගත් සංරචකයක් ලෙස සැලකුණේ නැත. වැව්වලින් මිස මුහුදෙන් මාළු අල්ලා ගන්නා තැනකට ගියේ නැත. මුහුදෙන් මාළු අල්ලා ගන්නා තැනකට ගියේ බොහෝ පසුකලකදීය.

අපි නැටුම් හා සංගීත කලාව, වෙළෙඳාම හා කර්මාන්ත පහත් කොට සැලකූ ජාතියක් ලෙස සැලකිය හැකිය. බෙර හා නළා හැර කිසිදු තත් භාණ්ඩයකට උරුමකම් නොකියන ජාතියක් ලෙසද සැලකිය හැකිය. නැටුමට හා සංගීතයට සම්බන්ධ කුල සලකන ලද්දේ පහත් කුල වශයෙනි. සිංහල කුල ක්‍රමය තුළ ශ්‍රේෂ්ඨ කොට සැලකුණේ ගොවියා වුවද, ගොවිතැන සඳහා නැතුවම බැරි කැත්ත, උදැල්ල වැනි ආයුධ නිපදවන්නන් සඳහා පැවති කුලය සලකන ලද්දේද පහත් කුල වශයෙනි. නැටුමට හා බෙර වාදනයට අතිරේකව ගණිතයට සම්බන්ධ කුලය සලකන ලද්දේද පහත් කුලයක් ලෙසය. ඉන් පෙනෙන්නේ අප ගණිතයද පහත් කොට සැලකූ ජාතියක් බවය. ගණිතයට තිබෙන අසමත්කම එහිම ඓතිහාසික දායාදයක් විය හැකිය. සාපෙළ විභාගයේදී ගණිතය අසමත්වන්නන්ගේ අනුපාතිකය සියයට 65ක් තරම් ඉහළ මට්ටමක පැවතුණි. එම අයහපත් දර්ශනය යහපත් කරගත්තේ සමත්වීම සඳහා යොදාගෙන ලකුණු කඩඉම ලකුණු 30 දක්වා අඩු කිරීමෙනි. ඒ නිසා දැන් සාපෙළ ගණිතය විභාගයෙන් සමත්වන්නන්ගේ අනුපාතිකය ඉහළ ගොස් තිබෙන අතර සමත්වීමට අවශ්‍ය ලකුණු සංඛ්‍යාව පහත දැමීමේ ක්‍රියාවලිය ජාතියේ විරෝධයට හේතුවූයේ නැත.
මිථ්‍යාව රජ කිරීම
ලංකාව විද්‍යාවට වඩා වැඩි වැදගත්කමක් මිථ්‍යාවට ලබාදී තිබෙන රටකි. ලංකාවේ විද්‍යාඥයන් හා විද්‍යාඥ සංගම් සිටින බව පෙනෙන්නේද මිථ්‍යාව ඉවසාගෙන සිටිය යුතු දෙයක් ලෙස සලකන තත්ත්වයකය. ගණිත විෂය සමත්වීම සඳහා අවශ්‍ය ලකුණු සංඛ්‍යාව විශාල ප්‍රමාණයකින් අඩු කරන ලද අවස්ථාවේදී ඊට එරෙහිව ඔවුන් හඬ නොනගන තත්ත්වයකට යන්නට ඇත්තේද කැලණිය විශ්වවිද්‍යාලයේ වකුගඩු රෝගයට අදාළව විද්‍යාඥයන් කණ්ඩායමක් කරන ලද පර්යේෂණයේදී පේනකාරියකගෙන් මගපෙන්වීම් ලබාගැනීමේ සිද්ධියේදී ඊට විරෝධය පළ නොකොට නිශ්ශබ්දව බලා සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට ඇත්තේද ඒ නිසා විය හැකිය.
සාමාන්‍ය මිනිසුන් පමණක් නොව ජනාධිපතිවරුද නක්ෂත්‍රය විශ්වාස කරති. ලංකාවේ ජනමාධ්‍ය මිථ්‍යා විශ්වාසයන් පතළ කරන ප්‍රධානම ආයතන ක්‍රමය ලෙස ක්‍රියා කරති. ඒවා සුබ නැකත් ගැන පමණක් නොව මරුවා සිටින දිසාවද මහජනයාට කියා දෙයි. නක්ෂත්‍රකාරයෝ ලංකාවේ විද්‍යාඥයන්ට වඩා බලවත්ය. සමාජයේ බලවත් පිළිගැනීමක් තිබෙන්නේද විද්‍යාඥයන්ට නොව නක්ෂත්‍රකාරයන්ට හා හදිහූනියම්කාරයන්ටය. තරග විභාගවලදී බාරහාරවීම පාසල් බලධාරීන්ගේද අනුමැතිය ඇතිව සිදුවන දෙයක් බවට පත්වී තිබෙන්නේ යැයි කිව හැකිය. විභාග කොමසාරිස්වරයා පවා ක්‍රියාකරන්නේ විභාගවලදී රාහු කාලය සැලකිල්ලට ගතයුතු වැදගත් සාධකයක් ලෙස සලකාය. විවාහවලදී කේන්ද්‍රය නැතිවම බැරි සාධකයක් ලෙස ක්‍රියා කරයි. වාස්තු විද්‍යාඥයන් පවා නිවාස සඳහා සැලසුම් සකස් කරන්නේ නක්ෂත්‍රයේ එන රීතිද සලකාය. දෙවියන්ට පගාවක් දී තමන්ට යහපතක් උදාකරගත හැකි යැයි කල්පනා කරන අයගේ සංඛ්‍යාව අතිවිශාලය.
සිංහල වර්ගයා කෙරෙහි මිථ්‍යා විශ්වාස බලපා තිබෙන ආකාරය සමාජ විද්‍යාඥයෙකු වූ අයි. රණසිංහ පෙරේරා විසින් විස්තර කර තිබෙන්නේ මෙසේය.

“සිංහල රජ දවස මෙන්ම අදත් ජනතාවට එමගින් ලැබෙන සෙත බොහෝය. රෝග නිවාරණ අවස්ථා බොහෝය. එක් තැනක දහස්වර මැතිරූ තෙලකි. තවත් තැනක ලක්ෂ වර ජීවම් කළ නූලකි. නැතහොත් ගුලියකි. තවත් තැනෙක අරමුණු ඉටුවූ පසුව ගනුදෙනු බේරාගැනීමට යෝජනා කරන කපුවෙකි. මේ සියල්ල අබිබවා සියලු උපද්‍රවයන්ගෙන් මිනිසා බේරා ගැනීම පිණිස නිපදවූ යන්ත්‍ර රාජයෙකි. ජපනුන්, ඇමරිකානුවන් හෝ ජර්මානුවන් මෙන් ලාංකිකයෝද යන්ත්‍ර නිපදවති. ජපනුන් යන්ත්‍ර නිපදවූයේ දැනට සියවස් දෙකකට පමණ ඉහතදීය. සිංහලයන් යන්ත්‍ර නිපදවනුයේ දැනට සියවස් දහය පහළොවකට පෙර සිටය.

ජපනුන් යන්ත්‍ර සඳහා බුද්ධිමය බලයද සිංහලයන්ගේ යන්ත්‍රවලට ජීවම් බලයද යොදා ගනු ලැබෙයි. සිංහලයන්ගේ යන්ත්‍ර නිෂ්පාදනය අද දක්වාම නොකවඩා පවත්වාගෙන එනු දැකිය හැකිය. එක තැනක සීවලී යන්ත්‍රයය. තවත් තැනක රතන යන්ත්‍රයය. තවත් තැනක කන්ද කුමාර යන්ත්‍රයය. එහෙත් විදේශ විනිමය වියදම් කර ජපනුන්ගේ යන්ත්‍ර ලාංකිකයන් මිලදී ගන්නවා මිස ලාංකිකයන්ගේ යන්ත්‍ර ජපනුන් මිලදී ගන්නේ නැත. ලාංකිකයන් යන්ත්‍ර හදන්නේ බෙල්ලේ එල්ලා ගෙන ඉන්නටය. නැතිනම් ඇඟේ හෝ ඉනේ බඳින්නටය. නැතිනම් උළුවස්සේ අලවා තබන්නටය. එහෙත් ජපනුන් යන්ත්‍ර තනන්නේ බෙල්ලේ එල්ලා ගන්නට නොව මිනිසාට ප්‍රයෝජනවත් නිෂ්පාදනයක් කරන්නටය. මේ නිසා ජපනුන්ට ලංකාවේ නිපදවන යන්ත්‍රවලින් ප්‍රයෝජනයක් නැත. ඒ නිසා ඔවුන් ලාංකිකයන් නිපදවන යන්ත්‍ර ඉල්ලන්නේද නැත. එහෙත් ලාංකිකයන්ට ජපනුන්ගේ යන්ත්‍ර නැතිව ජීවත්විය නොහැකි නිසා ජපන් යන්ත්‍රවලට හොඳ වෙළෙඳාමක් ලංකාවේ තිබේ. ලාංකිකයන් මෙන් ජපන්නුද මිනිස්සුය. ඔවුන්ගෙන් බහුතරයක්ද ලාංකිකයන් මෙන්ම බෞද්ධයෝය. එහෙත් ජපනුන් නිපදවන යන්ත්‍රයකට උවමනා කරන ඇණයක්, මුරිච්චියක් නිපදවා ගන්නවටත් ලාංකිකයන්ට නොහැකිය. මක් නිසාද? ලාංකිකයන් එදා මෙන්ම අදටත් පරශක්තිය වෙත මිස ස්වශක්තිය වෙත විශ්වාසයක් නොතබන මිනිසුන් බැවිනි. නැතහොත් පරායත්ත මානසිකයකින් යුතු මිනිසුන් බැවිනි.”

විද්‍යාවට ලබාදී තිබෙන අඩු වැදගත්කම
අප ජීවත්වන්නේ විද්‍යාව රජ කරන නූතන ලෝකයක වුවත් ලංකාව විද්‍යාවට ලබාදිය යුතු ප්‍රමුඛ වැදගත්කම ඊට ලබාදී නැත. ජනමාධ්‍ය පවා විද්‍යාවට ලබාදී ඇත්තේ මිථ්‍යාවට ලබාදී තිබෙන වැදගත්කමට වඩා අඩු වැදගත්කමකි. ප්‍රශ්න අසන විමර්ශනශීලී දරුවන් සැලකෙන්නේ අකීකරු දරුවන් ලෙසය. අධ්‍යාපන ක්‍රමය පවා සකස් වී තිබෙන්නේ පාසල් දරුවන්ගේ විමර්ශනාත්මක චින්තනය වැඩි දියුණු කරන ආකාරයට නොව එය මර්දනය කෙරෙන ආකාරයටය. 1 වැනි ශ්‍රේණියේ සිට උපාධි අධ්‍යාපනය දක්වාම ක්‍රියාත්මක වන්නේ කටපාඩමට මුල්තැන දෙන ක්‍රමයකි. එය පාසල් දරුවන්ගේ විමර්ශනශීලී චින්තනය විනාශ කරන අධ්‍යාපන ක්‍රමයක් ලෙස සැලකිය හැකිය. රටේ විශ්වවිද්‍යාල රටට නව දැනුම ලබාදෙන පර්යේෂණ ආයතන පද්ධතියක් ලෙස ක්‍රියාකරන්නේ නැත. බොහොමයක් ආචාර්ය උපාධි නිබන්ධන පවා උසස් මට්ටමක නොපවතී. නව නිපැයුම් විෂයේදී ලංකාව ලෝක මට්ටමෙන් සිටිනුයේ ඉතාමත් පසුගාමී මට්ටමකය.

නව නිපැයුම්වලට ලැබෙන වැදගත්කම තවමත් ප්‍රමාණවත් තරමින් ලංකාව අවබෝධ කරගෙන ඇති බවක් පෙනෙන්නට නැත. නව නිපැයුම්කරුවන් අධෛර්යය කරන පරිසරයක් මිස ඔවුන් ධෛර්යයමත් කරන පරිසරයක්ද රටේ නැත. වනාතවිල්ලුවේ අසිස් මරික්කාර් ඒ සඳහා දැක්විය හැකි හොඳ නිදර්ශනයකි. ඩෙංගු මදුරු මර්දනය සඳහා මදුරු උගුලක් සඳහා වන යන්ත්‍රයක් නිර්මාණය කළ සිසිර බණ්ඩාර බස්නායක ඒ සඳහා දැක්විය හැකි තවත් හොඳ නිදර්ශනයකි.
වර්තමානයේ අලින් ජනාවාසවලට ඒම වැළකීම සඳහා යොදාගෙන ඇත්තේ විදුලි වැට ක්‍රමයකි. එහෙත් විදුලි වැට ක්‍රමය සාර්ථක ප්‍රතිඵල ලබාදීමට සමත් වී නැත. වනාතවිල්ලුවේ අසිස් මරික්කාර් ඒ වෙනුවට යෝජනා කළේ තල් වැට ක්‍රමයකි. තල් ගස්වල තිබෙන බූව නිසා අලියා තල් වැටට පහරදෙන්නේ නැත. අසිස්ගේ ක්‍රමය සනාථ කරන ආදර්ශ ගොවිපොළක් වනාතවිල්ලුවේම ඇත. එහි තිබෙන අක්කර 100ක් තරම් විශාල කෙසෙල් වත්තක් සඳහා අසිස්ගේ තල් වැට ක්‍රමය යොදාගෙන තිබෙනු දැකිය හැකිය. කෙසෙල් අලියා වැඩියෙන්ම ප්‍රිය කරන ආහාරයක් වුවත් මෙම කෙසෙල්වත්ත අලින්ගේ පහරදීම්වලට ලක්වී නැත. එම තල් වැට ක්‍රමය නිසා අලින්ගෙන් සිදුවන හානියකින් තොරව එම කෙසෙල් වත්ත පවත්වාගෙන යෑමට එම විශාල කෙසෙල්වත්තේ හිමිකරු සමත් වී තිබේ.

අසිස් මරික්කාර්ගේ තල් වැට ක්‍රමය ලංකාව පිළිගත්තේ නැතත්, ඉන්දියාව පමණක් නොව එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලද පිළිගත්තේය. ලංකාව එය භාර නොගන්නට ඇත්තේ එය මහා පරිමාණයේ ආයෝජන අවශ්‍ය නොවන වැඩසටහනක් වීම නිසා හා අත යට උපයාගත හැකි ලොකු ආදායමක් නැති නිසා විය හැකිය.

දෙවැනි නිදර්ශනයේ එන සිසිර බණ්ඩාර බස්නායක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකි. ඔහු සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ලෙස සේවය කරන්නේ කුරුණෑගල ගනේවත්තේය. ඔහු ඩෙංගු මදුරුවන් මර්දනය කිරීම සඳහා උගුලක් වශයෙන් නිර්මාණය කර තිබෙන උපකරණය ඉතාමත් සුවිශේෂී නිර්මාණයක් බව බැලූබැල්මට පෙනෙන්නට තිබෙන්නේය. එය මදුරු කීටයන් සඳහා සකස් කළ උගුලක් ලෙස සැලකිය හැකිය.

එම උපකරණය තුළ ඇති බැක්ටීරියා විශේෂ වායුවක් ජනනය කරන අතර එම වායුව ගැහැනු මදුරුවන්ගේ ආකර්ෂණයට හේතුවේ. ඒ නිසා ඌ මදුරු උගුල තුළට පිවිසේ. උගුල තුළ ඇති පුනීලාකාර කොටස තුළ මදුරුවන්ට බිත්තර දැමීම සඳහා වන සුදුසු කොටසක්ද පවතී. එහි මදුරුවන් දමන බිත්තර පුපුරා පිටතට පැමිණෙන කීටයන් පුනීලයේ ඇති සිදුර හරහා ජල බඳුන තුළට ගමන් කරන අතර එහි යන සියලු කීටයන් එහිදී විනාශයට පත් කෙරෙන ක්‍රමවේදයක්ද ඒ තුළ පවතී.

මෙම උගුල නිර්මාණය කරන ලද නිර්මාණකරුවාගේ මතය අනුව උගුල ස්ථාපනය කොට මාස තුනක් පමණ කාලය ගතවන විට වැඩිහිටි මදුරුවන් සිය ආයු කාලය ගෙවා මිය යනවිට උන් විසින් බිහිකළ නව පරම්පරාවද එම උගුල තුළ මියයන්නේය.

ඩෙංගු මදුරු උවදුර ලංකාවට මුහුණ දෙන්නට සිදුවී තිබෙන ලොකු අභියෝගයක් වන අතර ඩෙංගු මර්දනය සඳහා වැය කරමින් තිබෙන මුදල් ප්‍රමාණය අතිවිශාලය. ඒ සඳහාම ගොඩනගා ගත් ජනාධිපති කාර්ය සාධක බලකායක් ඇතත් එයට ඩෙංගු මර්දනය සඳහා වන ප්‍රශස්ත උපාය මාර්ගික වැඩසටහනක් තිබෙන බවක් පෙනෙන්නට නැත. එම බලකායේ ප්‍රධාන අවධානය යොමුවී තිබෙන්නේ ඩෙංගු මදුරුවන්ට බිත්තර දැමීමට ඉඩ නොලැබෙන ලෙස පරිසරය පිරිසිදුව තබා ගැනීමය. ඒ හැර ඩෙංගු මදුරුවන් උන්ගේ බිත්තර හෝ කීට නසන ප්‍රායෝගික වැඩපිළිවෙළක් එම බලකායට තිබෙන බවක් පෙනෙන්නට නැත. ඩෙංගු මර්දන කාර්යසාධක බලකායට අවංක අභිලාෂයක් තිබුණේ නම් මෙම සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නිර්මාණය ඔවුන්ගේ අවධානයට යොමුවිය යුතුව තිබුණි. ඒ ගැන විවිධ පුවත්පත්වල තොරතුරු පළවී තිබුණි. ඉතාමත් අවාසනාවන්ත දේ ලෙස සැලකිය හැක්කේ අද දක්වා ඔහුගේ නිර්මාණය ජනාධිපති කාර්ය සාධක බලකායේ අවධානයට හා පරීක්ෂාවට ලක්නොවීමය. එය එම බලකායේ අවධානයට ලක්විය යුතුව තිබුණා සේ ම එහි සාර්ථක අසාර්ථකභාවය ඔවුන්ගේ අත්හදා බැලීමට ලක්විය යුතුව තිබුණේය. එය සාර්ථක ප්‍රතිඵල ඇති කිරීමට සමත් වී නම් එම උපකරණය ප්‍රචලිත කළ යුතුව තිබුණේ ඩෙංගු මර්දන ජනාධිපති කාර්යබල සාධකය විසින්ය. එහෙත් ඔහුගේ නිර්මාණය සම්බන්ධයෙන් ඒ කිසිම දෙයක් සිදුවූයේ නැත.

මෙය අසීස් මරික්කාර් හෝ සිසිර බණ්ඩාර සම්බන්ධයෙන් පමණක් සිදුවූ අසාධාරණයක් ලෙස සැලකිය නොහැකිය. එවැනි නව නිර්මාණ බිහිකළ සියලුම නව නිර්මාණකරුවන් සම්බන්ධයෙන් රටේ ක්‍රියාත්මක වූ ප්‍රතිපත්තිය ලෙස සැලකිය හැකිය. ඉතා බලවත් සමාජ පසුබිමකින් පැමිණි රේ විජේවර්ධන සම්බන්ධයෙන් පවා ලංකාවේ ක්‍රියාත්මක වූ ප්‍රතිපත්තිය ඊට සමාන විය. එහෙත් රේ විජේවර්ධන ප්‍රභූ පසුබිමකින් පැමිණි අයෙකු වීම නිසා ලංකාව මත පමණක් නොයැපී තමාගේ නව නිර්මාණ වෙනත් රටවල් වෙත යොමු කිරීමේ හැකියාව ඔහුට තිබුණි. ඒ නිසා ඔහුගේ ජීවිතය කාලකණ්ණි කිරීමට ලංකාව සමත් වූයේ නැත. එහෙත් එවැනි බලවත් සමාජ පසුබිමකින් නොපැමිණි හැම කෙනෙකුටම තමාගේ නව නිර්මාණ මැරෙන්නට ඉඩ හැර ඒ දෙස ශෝකයෙන් බලා සිටින්නට සිදුවිය.

අලින්ගෙන් බැටකන ජනතාවට වඩා හොඳ අලි වැට ක්‍රමයක් රජය ඇති නොකරන්නේ නම් මහජනයාට අසිස් මරික්කාර්ගේ තල්වැට ක්‍රමය ක්‍රියාවට නගන තැනකට යා හැකිය. ඒ සඳහා ලොකු ප්‍රාග්ධනයක් හෝ සංකීර්ණ තාක්ෂණ දැනුමක් අවශ්‍යවන්නේ නැත. අවශ්‍යවන්නේ එක පුරෝගාමී ගමක් එම වැඩසටහන ක්‍රියාවට නගන තැනකට යාම පමණය. ඒ සමඟ අන් සියලු ගම්ද එම ක්‍රියාවලියේ කොටස්කරුවන් බවට පත්වනු නොඅනුමානය. ඒ සඳහා අසිස් මරික්කාර්ගෙන් උපදෙස් අවශ්‍ය නම් 07734877114 යන ඔහුගේ දුරකතන අංකයට කතා කළ හැකිය.
සිසිර බණ්ඩාර බස්නායකගේ මදුරු උගුලද මහජනයාට මහා පරිමාණයෙන් පරිහරණය කරන තැනකට යා හැකිය. එයට වැයවන්නේ රුපියල් 750/-ක් වැනි සොච්චම් මුදලක් පමණය. එය නඩත්තු කිරීම සඳහා කිසිම වියදමක් යන්නේ නැත. කළ යුතුව තිබෙන එකම දේ මාස තුනකට වරක් උපකරණයේ ඇති බෝතලයට ජලය පිරවීම පමණය. මෙම නිර්මාණකරුවාගේ මතය අනුව මෙම උගුල පාවිච්චි කිරීම මගින් මාස තුනක් වැනි කාලයක් තුළ මදුරුවන් නිවසේ පරිසරයෙන් මුළුමනින් පලවා හැරිය හැකිය. දින 30කින් පසුව මදුරු දැල් රහිතව නිදාගත හැකිය. ඔබට ඔහුගේ මදුරු උගුල ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් 0716281633 යන දුරකතන අංකයට කතා කරන්න. නව නිර්මාණකරුවන්ට අත හිත දෙන්න රජය පැකිළෙන්නේ නම් මහජනයා විසින්වත් ඔවුන්ට අතහිත දිය යුතුය.

සිංහලයාගේ කම්මැලිකම
සිංහල වර්ගයාට ආවේණික කම්මැලිකමද රටේ නොදියුණුව කෙරෙහි බලපා තිබෙන තවත් වැදගත් සාධකයකි. ලෝකයේ වැඩියෙන්ම රජයේ නිවාඩු ඇති රට ලංකාව විය හැකිය. මිනිසුන්ගේ ශ්‍රම ඵලදායකත්වය තිබෙන්නේද ඉතාමත් පහළ තැනකය. වී ගොවිතැනේදී කන්නයකට වැඩ කිරීම අවශ්‍ය වන්නේ දින 19ක් පමණය. ලංකාවේ මිනිසුන් විශේෂයෙන්ම සිංහල මිනිස්සු වැඩ කරන්නට කම්මැලිය. රජයේ සේවකයන්ගේ ශ්‍රම ඵලදායකත්වය මනින ක්‍රමයක් ලංකාවේ නැත. මනින ක්‍රමයක් ඇත්නම් ඔවුන් ලබාගන්නා වැටුපේ ප්‍රමාණයයට සරිලන තරමටවත් වැඩ නොකරන බව තේරුම් ගැනීම අමාරු නැත. සිංහලයන් කම්මැලි ජනවර්ගයක් බවට පත්වන්නට ඇත්තේ තෙත් කලාපයට සංක්‍රමණය වීමෙන් පසුව විය හැකිය. වියළි කලාපයේ සිටියදී ජලය ලබාගන්නේ වාරි කර්මාන්තවලින් වීම නිසා ඔවුන්ට කන්න දෙකක් වැඩ කරන්නට සිදුවූ අතර කුඹුරේ හෝ හේනේ වැඩ නොකරන දිනවල රාජකාරී ක්‍රමය යටතේ මරව මරවා වැඩ ගන්නා ක්‍රමයක්ද ක්‍රියාත්මක විය. තෙත් කලාපයට සංක්‍රමණය වීමෙන් පසු කුඹුරු වගා කරන්නට සිදුවූයේ අහස් දියෙන් නිසා වැඩ කරන්න සිදුවූයේද කන්න දෙකක් වෙනුවට එක් කන්නයක් පමණය. ඒ වටාපිටාව සාමාන්‍ය මහජනයා පමණක් නොව රාජ්‍යයද දුප්පත් කිරීමට හේතුවිය. එම වටාපිටාව මහජනයා කම්මැලි කිරීමටද හේතුවූවා විය හැකිය.

සිංහල ජනතාවගේ කම්මැලිකම ගැන විදේශ ජාතිකයන් අතින් ලියැවී තිබෙන ප්‍රමාණය විශාලය. මේ උපුටා දැක්වීම මෙට්ලන්ඞ් ආණ්ඩුකාරයාගේය.
“අතපය මෙහෙයවා වැඩක් පළක් කිරීමෙන් තම ආදායමත් සැපයත් වැඩිකර ගැනීමට වඩා තම සන්තකයේ පැවති එකම ධනය වූ පොල්ගස් දෙක තුන යටට වී මුළු අවුරුද්ද තුළම නිරාහාරව පසුවීමට ප්‍රිය නොකළ එකදු මිනිසෙක් මේ දිවයිනේ නැත.”
දෙවැනියට මෙහි ඉදිරිපත් කරන්නේ රොබට් නොක්ස්ගේ නිරීක්ෂණයකි.
“සිංහලයන්ට කම්මැලිකම මහත් ආහ්ලාහ්දයට හා ප්‍රීතියට කරුණකි. ඔවුහු තදියමක් ඇතිවන තෙක්ම වැඩ කටයුතු කිරීම පසුවට කල් දමති.

මෙය සිංහලයන්ගේ කම්මැලිකම ගැන ඔහු විසින්ම කර තිබෙන තවත් සඳහනකි.
“සිංහලයෝ වනාහී ස්වභාවයෙන්ම අලසයෝය. කම්මැලියෝය. වැඩ නොකර යාන්තම් පණ කෙන්ද ගැට ගසා ගැනීමට හැකියාව තිබෙන බව පෙනුණොත් වැඩ කිරීම පිළිකුල් කරති. ඔවුන් වැඩ කරන්නේ වැඩ නොකර බැරි නිසාය. එනම් ආහාර ලබාගැනීමත් ගෙවීම් කිරීමටත් යමක් වුවමනා නිසාය.”
මෙය පෘතුගීසි ජාතික රිබෙයිරෝ 1685දී සිංහලයන් ගැන කර තිබෙන සඳහනකි.
“මේ මිනිස්සු වගා කිරීමට බොහෝ කම්මැලිය. එහෙත් ආහාරවලට වුවමනා දේ වනාන්තරවලින් බහුලව ලැබේ. එබැවින් ඔවුන්ට හිඟ පාඩුවට තිබෙන්නේ ලුණු පමණය.”
1817 බුස්චි ලියා තිබෙන්නේ ජයගැනීමට අපහසුම බාධකය නම් සිංහලයන්ගේ කම්මැලිකම බවය.
1845 සුල්වියාන් සිංහලයන් ගැන මෙසේ ලියා තිබෙන්නේය.
“සිංහලයන් වනාහි මහත් අවාසනාවන්ත වර්ගයකි. ඔවුහු බලකිරීමක් නොමැති නම් වැඩෙහි යෙදෙන්නේ නැත. රත්තරන් හෝ මොනයම් පෙළඹවීමක් මගින් වුවද උන් වැඩට පෙළැඹිය නොහැකිය. මාගේ තේරුම් ගැනීම අනුව ඉංග්‍රීසීන්ගේ හා මලබාර් ජාතිකයන්ගේ ශ්‍රමය ඉවත් කරනු ලැබුවහොත් මේ දිවයින තුළ මෙතෙක් ගොඩනැගූ සියලු දේ වසර පහක් ගතවීමට මත්තෙන් මුළුමනින්ම අතුරුදහන්ව යන්නේය.”

මෙම නිරීක්ෂණ ඉදිරිපත් කර තිබෙන සියලු දෙනා විදේශිකයන් වුවත් ඔවුන් සිංහලයන්ගේ අලසකම පිළිබඳව ඉදිරිපත් කර තිබෙන නිරීක්ෂණ මුළුමනින්ම නිවැරදිය. එය අතීතයට පමණක් නොව වර්තමානයටද වලංගුය. අප අලස ජාතියක් වනවා පමණක් නොව, මොනම දෙයක්වත් හරියට කරන්නට නොදන්නා ජාතියක් ලෙස ද සැලකිය හැකිය. ඒ ලක්ෂණය රාජ්‍ය නායකයන් තුළද, නිලධාරීන් තුළද යුක්තිය පසිඳලන ආයතන ක්‍රමය තුළද අධ්‍යාපනය තුළද සමස්ත සමාජයේමද දක්නට තිබෙන ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. අලසකම, අකාර්යක්ෂමතාව හා පිළිවෙළක් නැතිකම ලංකාවේ හැම වැදගත් තැනකම දක්නට තිබෙන ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය.
අපි වැඩි ආදායම් ලැබෙන ශ්‍රම සූක්ෂ්ම බෝග වගාවන්ට කැමති නැත. අප වැඩියෙන් කැමති සූක්ෂ්ම ශ්‍රමයක් අවශ්‍ය නොවන පහසුවෙන් වගා කළ හැකි බෝග වගාවන්ටය. වතු වගාවේදී අප වැඩි කැමැත්තක් දැක්වූයේ පොල් වගාවටය. ආහාර බෝග වගාවේදීද වැඩි කැමැත්තක් දක්වන්නේ ශ්‍රමය අඩුවෙන්ම අවශ්‍ය වී වගාවටය. ජීවන මාර්ග තෝරා ගැනීමේදී වැඩි උනන්දුවක් දක්වන්නේද ලොකු පුහුණුවක් අවශ්‍ය නොවන අලසකමටද ඉඩක් තිබෙන ජීවන මාර්ගවලටය. ත්‍රිවීලර් එලවීම ලොකු උගත්කමක් නැති තරුණයාගේ ජනප්‍රියම රැකියා මාර්ගයක් බවට පත්වී තිබේ. ත්‍රිරෝද රථයක් එළවීම සඳහා ලොකු පුහුණුවක් අවශ්‍ය වන්නේ නැත. ත්‍රිරෝද රථය එලවන්නේ හිමිකරුවා නම් ඔහුට කැමති වෙලාවකට වැඩ කළ හැකි අතර, අකමැති වෙලාවලට වැඩ කිරීමෙන් වැළකී සිටිය හැකිය. ත්‍රිරෝද වැඩි හරියකට මීටර් නැති නිසා ගාස්තු අයකිරීමේදී හිතුවක්කාරවීමේ හැකියාවද තිබෙන්නේය. රටේ තිබෙන මුළු ත්‍රිරෝද රථ සංඛ්‍යාව දස ලක්ෂයක් පමණ වන අතර එය ලොකු උගත්කමක් නැති තරුණ පරපුරේ ජනප්‍රියම රැකියා මාර්ගය වී තිබෙන්නේ යැයි කිව හැකිය. එහි තිබෙන නරකම දේ පුහුණු කාර්මිකයන් ලෙස සැලකිය හැකි වඩු කාර්මිකයන්, මේසන් කාර්මිකයන් හා පයිප්ප කාර්මිකයන් වැනි අය තමන් කරන එවැනි රැකියා අතහැර ත්‍රිරෝද රථ එලවන්නන් බවට පත්වීමය.

කිසියම් ප්‍රමාණයකට මුදල් ඇති තරුණ පරපුරේ තවත් වැදගත් ජනප්‍රිය රැකියා මාර්ගයක් බවට පත්වී ඇත්තේ කඩ වෙළෙඳාමය. හැම ගමකම ගමේ වෙළෙඳ අවශ්‍යතාවන් ඉක්මවා ගිය කඩ සංඛ්‍යාවක් තිබෙන්නේය. ගමේ වෙළෙඳාම මේ කඩ අතර බෙදීගිය විට ප්‍රමාණවත් තරම් වෙළෙඳාමක් නැති නිසා කඩ ඉක්මනින් වැසී යන්නේය. ඊළඟට සිදුවන වැදගත්කම දේ එසේ වැසීයන කඩ, වෙළෙඳාමට එකතු වන තවත් අලුත් අය අතින් විවෘතවීමය. මේ ආකාරයට වසරකට වැසී යන කඩ සංඛ්‍යාව අතිවිශාලය. ඒ මගින් වැසීයන කඩවල ආධුනික වෙළෙඳුන්ගේ ආරම්භක ප්‍රාග්ධනය විනාශ වී ඔවුන්ගේ ජීවිතද දුක්ඛදායක හෝ කාලකණ්ණිභාවයට පත්කිරීමට හේතුවේ. එහිදී ලංකාව සැලකිල්ලට ගෙන නැති වැදගත්ම ධර්මතාවක් වනුයේ ඒ මගින් හැම වසරකටම විනාශ වන ප්‍රාග්ධනයේ ප්‍රමාණයයි. ඒ ආකාරයෙන් වාර්ෂිකව විනාශ වන ප්‍රාග්ධනයේ ප්‍රමාණය රුපියල් බිලියන සිය ගණනක් විය හැකිය. ලංකාවේ ප්‍රාග්ධන හිඟයක් තිබෙනවා සේ ම තිබෙන ප්‍රාග්ධනයේ ප්‍රශස්ත ලෙස ප්‍රයෝජනයට නොගැනීමේ ප්‍රශ්නයක්ද පවතී.

සුළු ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය තරම් ප්‍රාග්ධනය ඇති අයට විධිමත් ආයෝජනයක් සඳහා මගපෙන්වන ක්‍රමයක් රටට තිබිය යුතුය. මෙම විෂයෙහි සිදුවන ප්‍රාග්ධන විනාශය අවම කරගත හැකිවනු ඇත්තේ එවිටය.

මෙම ලිපියෙන් සාකච්ඡා කරන්නට ඉඩක් නැතත් උද්ධච්චකම හෙවත් උච්චායමය හා බොරුවට රැවටිල්ලට හා වංචාවට දක්වන ළැදියාව ලංකාවේ අසමත්කම කෙරෙහි බලපා තිබෙන තවත් වැදගත් ජාතික දුර්ගුණයන් ලෙස සැලකිය හැකිය.■