රාවය

කොළඹ නගරයේ විසිදාහකට වැසිකිළි නැහැ ඒත් අපි අධිවේගී මාර්ග හදනවා | ජාතික හෙළ උරුමයේ ලේකම්, අමාත්‍ය පාඨලි චම්පික රණවක

කොළඹ නගරයේ විසිදාහකට වැසිකිළි නැහැ  ඒත් අපි අධිවේගී මාර්ග හදනවා | ජාතික හෙළ උරුමයේ ලේකම්, අමාත්‍ය පාඨලි චම්පික රණවක

තරිඳු උඩුවරගෙදර

පහුගිය අවුරුදු තුනක් ඇතුළේ යහපාලන ආණ්ඩුවේ ඔබ දුටු සතුටුදායක තැන් සහ සතුටුවිය නොහැකි තැන් මොනවාද?
ආණ්ඩුව පිහිටුවීම සඳහා දේශපාලන පක්ෂවල ඡන්ද ලැබුණත් වැඩිපුරම මේ රටේ මධ්‍යම පන්තියේ ක්‍රියාකාරීත්වය නිසා තමයි මේ ආණ්ඩුව බලයට පත්වුණේ. හොඳම උදාහරණය තමයි ඊට කලින් තිබුණු පළාත් සභා ඡන්දවල ප්‍රතිඵල. එජාපය, මුස්ලිම් කොංග්‍රසය, ජවිපෙ ඇතුළු රාජපක්ෂ රජයට එරෙහිව හිටපු සියලු පක්ෂ එකතුකළාම ඡන්ද ලක්ෂ තිස්හයයි තිබුණේ. එජනිසයට ලක්ෂ 50ක් තිබුණා. ලක්ෂ 36ක් ලක්ෂ 62 කරා ගියා. ලක්ෂ 50ක් තමයි 58 දක්වා ගියේ. එතකොට පැහැදිලිව පෙනෙනවා විශාල පිරිසක් ඡන්දෙ දෙන්න ඇවිල්ලා තියෙනවා. බොහෝ අය අලුත් ඡන්ද සහ නිර්පාක්ෂික මධ්‍යම පන්තික ඡන්ද. ලෝක දේශපාලනයේ වුණත් නිර්පාක්ෂික මධ්‍යම පන්තික ජනතාවගේ නැඟීඒම ලක්ෂණයක් වෙලා. ඉතින් ඒ විදියට එක්වුණ නිර්පාක්ෂික මධ්‍යම පන්තික ජනතාවගේ අපේක්ෂාවන් ඉෂ්ටවෙලා නැහැ. විශේෂයෙන් දූෂණය සම්බන්ධ කාරණයේදී නීතිය ඉෂ්ටවෙලා නැහැ. වර්තමානයේත් ඒවා සිද්ධවෙනවා. ඒ වගේම අනාගතයේදී ඒවා සිදු නොවන බවට සහතිකයක් ලැබිලා නැහැ. නීතිමය ප්‍රතිපාදන සකස් වෙලා නැහැ. ඒක තමයි පළවැනි සහ ලොකුම ප්‍රශ්නය.

අධිකරණය ස්වාධීනයි කිව්වත් අධිකරණ ක්‍රියාමාර්ග පවා මන්දගාමී වීම දූෂණ වංචා පරීක්ෂණ කල් යන්න හේතුවක් වෙලා නේද?
අධිකරණය ස්වාධීන වෙලා විතරක් බැහැ. අධිකරණය අපක්ෂපාතී වෙන්න ඕනෑ. දැන් බලන්න එන්ට්‍රස්ට් කියන ආයතනය රුපියල් බිලියන 12ක් වංචා කළා. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළා, දවස් දෙකෙන් ඇප හම්බවුණා. හැබැයි දැව සංස්ථාවේ කෙනෙක් ලී කොටයක් පාස් කරන්න ලක්ෂයක් ගත්තා කියලා අවුරුදු දහයකට හිරේ ගියා. විසිපන්දාහක් ගත්තා කියලා අවුරුදු අටකට හිරේ ඇරියා. පොල් ගෙඩියක් හොරකම් කරලා හිරේ දානවා. ඒත් මිලියන ගණන්, බිලියන ගණන් හොරකම් කළ අය දවස් දෙකෙන් ඇප ගන්නවා. මෙහෙම රටක නීතිය විශ්වාස කරන්න පුළුවන්ද? යුක්තිය ඉෂ්ට නොවීමේ කලකිරීම බිමටම තියෙනවා.

විසඳුමක් විදියට මහා පරිමාණ දූෂණ වංචා නඩු අහන්න අධිකරණයෙන් කොටසක් වෙන්කරන්න බලාපොරොත්තුවක් තියෙනවා නේද?
දැන් ඔය ඔක්කොම පරක්කු වැඩියි. කරුණු තුනක් නිසා මේවා කල් ගියා. එකක් විමර්ශන අංශවල දුර්වලකම් නිසා රාජපක්ෂලාගේ සියලු හොරකම් අල්ලාගන්න බැරිවුණා. අනෙක ලංකාවේ අධිකරණ පද්ධතියේ ආවේණික දුර්වලතා නිසා මේක විහිළුවක් වුණා. හැබැයි භයානකම ප්‍රශ්නය තුන්වැනි කාරණය. මහින්ද, ගෝඨා ආරක්ෂා කරන්න මේ ආණ්ඩුව ගේමක් ගැහුවා. පැහැදිලිවම මම ඒක කියනවා. ඒක මේ ආණ්ඩුව කළ මාරාන්තික වරදක්. ඒකෙන් තමයි ආණ්ඩුව ඇතුළේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර මේ කඹ ඇදීම් තත්ත්වය ඇතිවුණේ. කවුරු හරි හිතුවා නම් ශ්‍රීලනිපය දෙකඩ කිරීමෙන් යූඇන්පියට ඡන්ද දිනන්න පුළුවන් කියලා ඒක වෙන්නේ නෑ. දූෂණයට විරුද්ධව ඡන්දය දුන්න මධ්‍යම පන්තික ජනතාව කිසිදා මේකට සමාව දෙන්නේ නෑ. අපි සමාව දෙන්නෙත් නෑ.

ආණ්ඩුවේ අනෙක් ගැටලුව මොකක්ද?
අනෙක් බරපතළ ප්‍රශ්නය තමයි, මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගෙනගිය ආර්ථිකයේම දිගුවක් මිස වෙනසක් නොවීම. නවෝත්පාදන ආර්ථිකයක් ගොඩනඟනවා කියලා කිව්වා. හැබැයි කළේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ අධිවේගී මාර්ග වගේ ආදායම් උපදවන්නේ නැති මතුපිටින් පෙනෙන සංවර්ධනය පසුපස්සේ හඹාගියා විතරයි. මම උදාහරණයක් කියන්නම්. 1994 ඉඳන් 2014 වෙනකන් අධිවේගී මාර්ග 175ක් ඉදිවුණා. ඒ සියල්ලට රුපියල් බිලියන 200කට අධික ප්‍රමාණයක් වැයවුණා. මේ රජය යටතේ 2015 ඉඳන් අපි වගකීම් අරගෙන තියෙනවා අධිවේගි මාර්ග කිලෝමීටර් 190කට. අපි අමුතුවෙන් රුපියල් බිලියන 600ක් ණය බරට එකතු කරලා තියෙනවා. මහින්දගේ ප්‍රමාණය මෙන් තුන්ගුණයක්. අපි අධිවේගී මාර්ග ගැන මහින්දට දොස් කියන අතරේ එම මාර්ගයේම ඉස්සරහට ගිහිල්ලා තියෙනවා.

ආර්ථික වශයෙන් රජය කළ යුතුව තිබුණේ මොන වාගේ වෙනසක්ද?
අද ලෝකයේ ආර්ථිකය යන්නේ අලුත් ක්‍රියාකාරීත්වයක් එක්ක. ඒ නවෝත්පාදනය සහ හතරවැනි කාර්මික විප්ලවය. ඒ දෙසට වූ වැදගත් ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ, මෙගාපොලිස් අමාත්‍යාංශයෙන් හදපු තාක්ෂණ නගරය හැරෙන්න. ඒත් ඒක රජයක් හැටියට ප්‍රධාන උපාය මාර්ගයක් හැටියට ගත්තේ නෑ. හැත්තෑහතේ කළ පරණ උපක්‍රමයම පාවිච්චි කරමින් විදේශ ආයෝජන එනතුරු හිටියා. මම අද බය නැතිව කියන්නම්, එකම ආයෝජනයක්වත් එන්නේ නැහැ. ලංකාවට එන්න හේතුවකුත් නෑ. මොකද හැත්තෑහතේ ලාබ ශ්‍රමය තිබුණා. බටහිර වෙළෙඳපොළ අපට විවෘත වෙලා තිබුණා. අද ඒ කිසිවක් අපට නැහැ. වියට්නාමයට, බංග්ලාදේශයට අපට වඩා බලගතු කොන්දේසිවලට යනවා. 1990 දී වියට්නාමයත් ලංකාවත් අපනයනයෙන් එක තැන හිටියේ. ඩොලර් බිලියන 5යි දෙගොල්ලන්ගෙම අපනයනය. අද අවුරුදු 27කට පස්සේ අපේ බිලියන 5 බිලියන 10ක් වෙලා. වියට්නාමයේ බිලියන 5 බිලියන 175ක් වෙලා. ඒකෙන්ම පෙනෙනවා අපි මේ මාර්ගයේ මොනතරම් අසාර්ථක විදියටද යන්නේ කියලා.

ජනවාරි අටට කලින් පොදු අපේක්ෂකයාගේ කණ්ඩායම දිගටම කිව්වා රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කරලා, අනවශ්‍ය පාඩු නැතිකරනවා කියලා. ඉන්පස්සේ අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය වගේ පොදු අවශ්‍යතාවන්වලට ඒ මුදල් යොදවලා රට දියුණු කරයි කියලා බලාපොරොත්තුවක් තිබුණා. ඒත් ඒ කිසිවක් වෙලා නැහැ නේද?
මේ ආණ්ඩුවත් මහින්දගේ ඒවාමයි කරන්නේ. අධ්‍යාපනය සංවර්ධනය කරනවා කියලා පාසල් ගොඩනැඟිලි, ඩෙස්පුටු හදනවා. ටැබ් දෙනවා. ඒත් අධ්‍යාපනයේ ඉතාමත් වැදගත් දේ විෂය නිර්දේශය මොකක්ද, අධ්‍යාපන ක්‍රමවේදය මොකක්ද, ගුරුවරයා කවුද කියන දේවල්. අපි දැන් කරගෙන යන්නේ ජර්මනියේ කයිසර් අධිරාජ්‍යයා හදපු ක්‍රමය. ෆැක්ටරි මොඩලය. භාණ්ඩ හදනවා වගේ ඉංජිනේරුවා, වෛද්‍යවරයා, කළමනාකාරයා හද හද දානවා. මේ ක්‍රමය සෑහෙන්න අභියෝගයට ලක්කළා පින්ලන්තය. එතැන ෆැක්ටරි මොඩලය නෑ. එතැන විෂයන් විදියට ඉෂූස් උගන්වනවා. පන්ති කාමරවල ළමයි වෙලාව අනුව, වයස් අනුව ගාල් කරලා නෑ. මම ඉංජිනේරුවෙක් විදියට, අපි මුලින්ම විෂයන් ඉගෙනගන්නවා. එක් එක් මූලධර්ම. හැබැයි අපි පාරට ගියාම කසළ ප්‍රශ්නය විසඳන්න තියෙනවා. ඒක විසඳන්න දැනුම ලබලා නෑ. ඉතින් ලංකාවේ මම කාලයක් තිස්සේ කසළ ප්‍රශ්නය ගැන කතාකළත් එක් විශේෂඥයෙක්වත් නෑ මේ ගැන කතාකරන්න. ඉතින් මම කියන්නේ අපට ඕනෑ ප්‍රශ්න මුල් කරගත්ත අධ්‍යාපන ක්‍රමයක් මිස විෂයන් මුල් කරගත්ත අධ්‍යාපන ක්‍රමයක් නෙවෙයි. අනෙක් පැත්තෙන් ගුරුවරු. අද ගුරු වෘත්තියට යන්නෙ අනෙක් කිසිවක් කරගන්න බැරිවුණ අය. දොස්තර වෙන්න බැරිවුණාම, ඉංජිනේරුවෙක්, පරිපාලන නිලධාරියෙක් වෙන්න බැරිවුණාම ඔක්කොම නැතිවුණාමයි ගුරු වෘත්තියට එන්නේ. අපි මේ ගොඩනැඟිලිවලට, ටැබ්වලට කරන වියදම් පාවිච්චි කරන්න ඕනෑ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න. ආකර්ෂණීය සහ බුද්ධිමත් ගුරුවරු පිරිසක් ගේන්න ඕනෑ.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේත් එච්චරයි. අපේ ප්‍රතිපත්තිය පුළුවන් තරම් වියදම් කරලා ඉස්පිරිතාල හදන එක. හැබැයි වෛද්‍යවරයා හෝ, බෝනොවන රෝග වැළැක්වීම පැත්තෙන් හෝ වෙනසක් වෙලා නැහැ. රජයේ වියදම්වල ප්‍රමුඛතාවක් ඇතිකරගන්න ඕනෑ. දැන් අපි මුහුණදෙනවා ගිය ආණ්ඩුව මුහුණ නොදුන්න ප්‍රශ්නයකට. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියනවා, අවුරුද්දකට අපිට වසරකට වියදම් කරන්න පුළුවන් මෙච්චරයි කියලා. අපි නිසි ප්‍රමුඛතාව දෙමින් පරෙස්සමෙන් වියදම් කරන්න ඕනෑ. උදාහරණයක් විදියට මේ දවස්වල කුරුණෑගල ඉඳන් ගලගෙදරට අධිවේගී මාර්ගය හැදෙනවා. මේක ගොඩනැගීමේ ඉංජිනේරු ගාස්තුව බිලියන 103යි. මම කියන්නේ මේක බිලියන 200කින්වත් ඉවර කරන්න අමාරුයි. ඒකේ ප්‍රශ්නය මේකයි. අයිඑම්එෆ් කන්ඩිෂන් එක නිසා දැන් බිලියන 200 මේකට දානකොට වෙන තැනකින් කපන්න වෙනවා. අපි කොතැනින්ද කපන්නේ? කොළඹ නගරයේ විසිදාහකට වැසිකිළි නැහැ. ෂොපින් බෑග්වලට මලමුත්‍රා කරලා ඇළට දාන අය ඉන්නවා. මේ විසිදාහටම වැසිකිළි හදන්න වැයවෙන්නේ අධිවේගී මාර්ගවලට යන වියදමින් එක කිලෝමීටරයක මිලයි. ඒ වගේම වෛද්‍ය පීඨයක් හදන්න අපට සල්ලි නැහැ කියලා කියනවා. වෛද්‍ය පීඨයක් හදන්න යන්නෙ අධිවේගී මාර්ගයක කිලෝමීටර් එකක මිල විතරයි. අනෙක් පැත්තෙන් ගැමි පාරවල්. අපි හදන්න ඕනෑ පොදු මාර්ග. කුරුණෑගල-ගලගෙදර පාර මං තීරු හතරට හදන්න බිලියන අටක් පමණයි වැයවෙන්නේ. ඒ වෙනුවට බිලියන 200ක් වියදම් කරනවා. අඩුගාණේ මේක නුවරට යන්නේ නෑ. ගලගෙදරින් පස්සේ සාමාන්‍ය පාරේ යන්න ඕනෑ. අනෙක අපි මධ්‍යම පන්තික මනුස්සයාට වාහනය ගෙදර දාලා වැඩට යන්න පුළුවන් විදියට බස් දාහක් පාරට දාලා තියෙනවාද? කෝච්චි නවීකරණයට කීයක් වියදම් කරලා තියෙනවාද? අනෙක් විශාල ප්‍රශ්නය, ජල ප්‍රශ්නය. දැන් ගංවතුර ඇති කරමින් ගංගා කීයක් ගලනවාද? අපි මහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න ඕනෑ මේ ගංගාවලින් නිකං මුහුදට වැටෙන ජලය වතුර නැති පැතිවලට යවන්න. කලටුවාවයි ලබුගමයි හැදුවාට කොළඹට වතුර ගෙනෙන්න එක ව්‍යාපෘතියක් නෑ අවුරුදු 40ක් තිස්සේ. දැන් ජල සම්පාදන මණ්ඩලයෙන් අලුත් ගෙදරකට වතුර සම්බන්ධතාව ඉල්ලුවාම අවුරුදු දෙකක් විතර යනවා දෙන්න. කොළඹ ජලය යන්නේ සුද්දා දාපු යකඩ බටවල. හැම තැනම වගේ ලීක්. මේවා හදන්න සල්ලි නැහැ, ඒත් අධිවේගී මාර්ග හදනවා.

සාපේක්ෂව නිදහස් පරිසරයක් මේ ආණ්ඩුව ආවාට පස්සේ ඇතිවුණා නේද?
හොඳ පැත්තක් කියලා විග්‍රහ කරන්න පුළුවන් දෙයක් තමයි ලැබුණු නිදහස. ඒ නිදහස එක්ක හරි විදියට හෝ වැරදි විදියට කලින් නොතිබුණු විදියේ විවේචන එනවා. හැබැයි මේ තත්ත්වයට මුහුණදෙන්නට ආණ්ඩුවට නොහැකිවීම ගැන අපට ලොකු විවේචනයක් තියෙනවා. වර්තමාන තාක්ෂණ ලෝකය එක්ක ඇතිවෙලා තියෙන තත්ත්වයට ඉංග්‍රිසීයෙන් කියනවා පෝසට් ටෲත් කියලා. මේක අපි තීරණාත්මකව සැලකිල්ලට ගන්න ඕනෑ. ඒකේ තේරුම තමයි බුද්ධිමය කරුණු වෙනුවට හැඟීම් සහ වෙනත් ජනකාන්ත දේවල් මත පුද්ගලයන් ඉදිරියට එනවා. උදාහරණයක් තමයි බ්‍රෙක්සිට් එක. ඒ වෙලාවේ හැමෝම කරුණු විදියට පෙන්වුවා මේකෙන් වෙන හානිය. හැබැයි මිනිස්සු ඊට වඩා කල්පනා කළා පරණ බි්‍රතාන්‍ය රාජ්‍යය ගේන්න පුළුවන් කියලා. දැන් හිරවෙලා. අනෙක් උදාහරණය ඇමෙරිකාවේ ඉන්න පිස්සු ජනාධිපති. කැනඩාව, ප්‍රංශය, ජර්මනිය වගේ රටවලත් මේ වගේ අත්දැකීම් ලැබුවා.
මේක ලෝක ප්‍රවණතාවක්. මේකට බැනලා වැඩක් නෑ. ෆෙස්බුක් එකට, ට්විටර් එකට බණිමින් ඒක වෙනස් කරන්න උත්සාහ කරලා වැඩක් නෑ. හතරවැනි කාර්මික විප්ලවයේ තත්ත්වය අපි තේරුම් ගන්න ඕනෑ. හැබැයි හැත්තෑව අසූව දශකයේ ජීවත්වෙන දේශපාලනඥයෝ අලුත් තත්ත්වයට බැන බැන ඉන්නවා. අපි අසූව දශකයේ විදියට පත්තර බල බලා පත්තරේට ප්‍රතිචාර දක්වමින් ඉන්නකොට තරුණයෝ ෆෙස්බුක් එකේ අලුත් ගමනක් යනවා නම් කරන්න දෙයක් නෑ. දැන් පත්තර වෙනුවට අන්තර්ජාලයේ වේගයෙන් ඉක්මනින් ප්‍රතිචාර දක්වන ආණ්ඩුවක් ඕනෑ. බලන්න දැන් ඩොනල්ඞ් ට්‍රම්ප්. තුන්වැනි ලෝක යුද්ධය පටන්ගන්න යන්නෙත් ට්විටර් එකෙන්.

අපි තාම ප්‍රවෘත්ති සාකච්ඡා තියනවා. අපි වෙන ලෝකෙක ඉන්නෙ. අද ලෝකයේ ලොකුම ටැක්සි සේවය උබර්. අද ලෝකයේ ලොකුම හෝටල් ව්‍යාපාරය කරන්නේ එයාබීඑම්බි. ඒකෙ එක හෝටල් කාමරයක් නෑ. අද ලෝකයේ ලොකුම මාධ්‍ය ව්‍යාපාරය කරන්නෙ ෆෙස්බුක්. ඒකේ කර්තෘවරුන් නෑ. මාධ්‍යවේදීන් නෑ. මේ අලුත් ලෝක තත්ත්වයට ගැළපෙන ආණ්ඩු හැදෙන්න ඕනෑ.

ආණ්ඩුව දේශපාලන ප්‍රතිසංස්කරණ පැත්තෙන් ජයග්‍රහණ කිහිපයක් අත්පත් කරගත්තා නේද?
අපි ව්‍යවස්ථා සංශෝධන කිහිපයක් කරගත්තා. ඡන්ද ක්‍රමය වෙනස් කළා, ප්‍රජාතන්ත්‍රවාදී සංශෝධන ටිකක් කළා. හැබැයි මෙහෙම එකක් තියෙනවා. අපි ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කරද්දී එකිනෙකට වෙනස් අන්ත දෙකක් ගැන බලලා ඒ දෙක බැලන්ස් කරන්න ඕනෑ. එකක් ස්ථාවරභාවය, අනෙක් එක ප්‍රජාතන්ත්‍රවාදය. දැන් සම්මත කරගත්ත ඡන්ද ක්‍රමය අත්හදා බලද්දී එක් පක්ෂයකටවත් ආණ්ඩු හදාගන්න බැරි පළාත් පාලන ආයතන බිහිවෙලා මහා අලකලංචියක් වෙනවා. අපි ස්ථාවරභාවයට බර නොතියා ප්‍රජාතන්ත්‍රවාදය ගැන වැඩිපුර හිතලා. හැබැයි පොදුවේ ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් සමස්තයක් විදියට මේ දේවල් හොඳයි කියලා හිතනවා. විශේෂයෙන් සහජීවනය, මිනිස් නිදහස පැත්තෙන් හොඳ පියවර ගණනාවක් අරගෙන තියෙනවා.

ආණ්ඩුව ඇතුළේ ඉන්න පාර්ශ්වයන්ගෙන් අලුත් ව්‍යවස්ථාව ගැන වෙනස්ම යෝජනාවක් ඉදිරිපත් කරලා තිබුණේ ජාතික හෙළ උරුමය. ඔබට ව්‍යවස්ථාසම්පාදන ක්‍රියාවලිය ගැන විවේචනයක් තියෙනවා නේද?
ව්‍යවස්ථාවකින් රට හරියට පාලනය කරන්න පුළුවන් කියන එක හැටගණන්වල හිටපු නූතනවාදීන්ගේ අදහසක්. දැන් ලෝකය ටැක්සි නැති ටැක්සි සේවාවන් තියෙන, මාධ්‍යවේදීන් නැති මාධ්‍ය තියෙන ලෝකයක්. ඉදිරි කාලයේදී මේ ලෝකය ගොඩනැගෙන්නේ නගර අතර ඇතිවෙන අන්තර් සම්බන්ධය උඩ. රාජ්‍යය කියන එක දැන් වෙනස්වෙලා. අපි මේ ව්‍යවස්ථා ආලවට්ටම කරන්න යන්නේ පරණ රාජ්‍යය ඔළුවේ තියාගෙන. මේක ප්‍රජාතන්ත්‍රවාදයට බර තැබූ, ස්ථාවරත්වය අමතක කළ ව්‍යවස්ථාවක්. මේකෙන් වෙන්නේ රට දුර්වල වෙන එක. දැන් මේ ව්‍යවස්ථාවට උතුරේ විරෝධය පළකරලා තියෙනවා මදි කියලා. දකුණේ විරෝධය පළකරලා තියෙනවා වැඩියි කියලා. දෙපැත්තේම සහයෝගය නෑ. මේ ආණ්ඩුවට මේක ක්‍රියාත්මක කරන්න සමාජ දේශපාලන හයියකුත් නෑ. අනෙක් කාරණය ආණ්ඩුව ඇතුළේ එකඟතාවකුත් නෑ. ඒකනේ ආණ්ඩුවෙන්ම යෝජනාවලි නවයක් එන්නේ. මම මේ ආණ්ඩුවේ බලගතුම නායකයෙක් එක්ක ජයම්පති වික්‍රමරත්න මහත්තයාගේ දේශනයක් අහගෙන ඉන්න ගමන් ඒ නායකයා මගේ කණට කරලා කිව්වා මේකෙන් තියෙන ඡන්ද ටිකටත් කෙළවෙනවා කියලා. මෙතැන එකඟතාවයෙන් කරගන්න පුළුවන් එකම දේ මැතිවරණ සංශෝධනය. ඊට වඩා දේවල් කරලා වැඩක් නෑ.■