රාවය

පොරොන්දු ඉටුකළේ නැතිනම් අන්තවාදීන් බලවත්වීම වළක්වන්න බෑ | නීතිඥ නිමල්කා ප්‍රනාන්දු

පොරොන්දු ඉටුකළේ නැතිනම් අන්තවාදීන් බලවත්වීම වළක්වන්න බෑ | නීතිඥ නිමල්කා ප්‍රනාන්දු

මහින්ද රත්නායක

පසුගියදා ජිනීවා නුවර පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාවට අදාළ සැසිය පිළිබඳ ඔබගේ නිරීක්ෂණය කුමක්ද?
මේ වෙනකොට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ලංකාව ආශ්‍රිතව ක්‍රියාත්මක වන බලපෑම් කණ්ඩායම් හා ඔවුන් කරන උද්ඝෝෂණ පිළිබඳව අප යම් නිරීක්ෂණයක් කරමින් ඉන්නවා. 2015 ජනවාරි 8 වෙනිදාට පෙර මානව හිමිකම් කවුන්සිලය තුළ යුද අපරාධ, අතුරුදන්වීම්, වගවීම හා අධිකරණයේ ස්වාධීනත්වය, කථාකිරීමේ නිදහස, මාධ්‍ය නිදහස යන කාරණා සම්බන්ධයෙන් බරපතළ තත්ත්වයක් තිබුණා. ඒ තත්ත්වය තුළ රට අභ්‍යන්තරයේ සිට උතුරේ දෙමළ මෙන්ම දකුණේ සිවිල් සංවිධාන ඉහත කියූ සංසිද්ධීන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වුණා. ඒ වාගේම ලංකාවෙන් පිට දෙමළ ඩයස්පෝරාවද ක්‍රියාත්මක වුණා. මීට අමතරව මානව හිම්කම් ගැන කටයුතු කරන අන්තර්ජාතික සංවිධාන ක්‍රියාත්මකවූ බවත් අපි කවුරුත් දන්නවා. ලංකාවෙන් ගිය දෙමළ සිවිල් සමාජය තමන්ටම සුවිශේෂවූ කාරණා ඒ මොහොතේ ඉදිරිපත් කළත්, ඒ හා සමාන මානව හිමිකම් කඩවීමක් දකුණේත් තිබුණා. ඒ නිසා ඒ වෙලාවේ අපි වේදිකා දෙකක සිටියත්, කියූ කාරණා එක සමානයි. ඇත්තටම 2015 වන විට මේ බලපෑම් කණ්ඩායම් අතර තිබුණු දේශපාලන සංවාදය තමයි, ‘මේ අවස්ථාවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළේ නැත්නම් අපිට මානව හිමිකම් ගැන කථා කරන්නවත් අවකාශයක් ලැබෙන්නේ නෑ’ කියන එක. ඇයිද කියනවා නම්, අතුරුදන්වූවන් සොයන අයත් මරලා දාන තත්ත්වයක් ඒ වෙලාවේ රට තුළ තිබුණේ.

ඒ වෙලාවේ දෙමළ ඩයස්පෝරාවේ අදහස වුණේ මොකද්ද?
රට ඇතුළේ නොහිට ජාත්‍යන්තරයට ගිහිල්ලා මානව හිමිකම් ගැන කථා කිරීම ලේසියි. එහෙම කථා කරලා රටට එන්නේ නැතිවත් ඉන්න පුළුවන්. නමුත් ඒ ආකාරයට ජාත්‍යන්තරව බලපෑම් කරන්නට පුළුවන්කම තියෙන්නේ ඉතාමත් කෙටි කාලයකට විතරයි. එහෙම නෙවෙයි රට ඇතුළෙන්ම එන නියෝජනය. විශේෂයෙන්ම ජාත්‍යන්තරයේ පිළිගැනීමට ලක්වෙන්නේ හා ඒ අය ආකර්ෂණය වෙන්නේ මේ රට ඇතුළේ සිට අරගලය කරමින් මැදිහත්වීමටයි. ඒක ඉතා බලවත් බවත් කියන්නට ඕනෑ. ඩයස්පෝරාවේ බලපෑම දේශපාලන කාරණා සමඟයි යන්නේ. මානව හිමිකම් පිළිබඳ රට ඇතුළේ සිට අවකාශයක් හදාගන්න කරන අරගලයට ජාත්‍යන්තරයෙන් ලැබෙන ප්‍රතිචාරය ඉහළයි. උදාහරණක් ලෙස ගතහොත් සන්ධ්‍යා එක්නැළිගොඩ, ආනන්දි ශෂිදරන් නැත්නම් සිත්ති වගේ අය මොන තත්ත්වයන් යටතේ ගියත්, ඒ අය රට ඇතුළේ ඉඳලා ගියේ. පාක්‍යසෝති සරවනමුත්තු, සුනිලා අබේසේකර හා නිදහසේ වේදිකාව හරහා මම ජීවත්වීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනීසිටින අතරේම තමයි ජිනීවා නුවරට ගියේ.

රාජපක්ෂ පාලනය අතුරුදන්වූවන් පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම මගහැර යෑම සම්බන්ධයෙන් ඊළඟට ඔබලා ගත් පියවර මොනවාද?
මේ අතරතුර තමයි රට තුළ වෙනසක් ඇතිවෙන්නේ. රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය නැතිව කිසිදෙයක් කරන්නට බෑ කියන කාරණය සම්බන්ධයෙන් ඒ මොහොතේ අපි සහ ඩයස්පෝරාව අතර කිසි මතභේදයක් තිබුණේ නෑ. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් ඇතිකර ගැනීම සඳහා ඩයස්පෝරාවෙ බොහෝ පිරිසකගේ අනුමැතියක්ද ඇතිව තමයි දෙමළ ජනතාව ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයාගේ ජයග්‍රහණයට දායක වුණේ.

පොදු අපේක්ෂකයාගේ ජයග්‍රහණයෙන් අනතුරුව උතුරේ සහ දකුණේ ක්‍රියාත්මක වන සිවිල් සංවිධාන හා දෙමළ ඩයස්පෝරාව අතර දැන් තිබෙන්නේ මොන වාගේ සම්බන්ධතාවක්ද?
දැන් අපිට පෙනෙනවා ඉතා විශාල ලෙස අන්තවාදී රැල්ලක් මානව හිමිකම් කොමිසම තුළ මතුවෙනවා. ඇත්තටම දෙමළ ඩයස්පෝරාව මධ්‍යස්ථ මතධාරී සහ අන්තවාදී ලෙස කණ්ඩායම් දෙකකට බෙදිලා දැන් තියෙන්නේ. එතකොට දකුණේ සිවිල් සමාජයේද මධ්‍යස්ථ මතධාරී කණ්ඩායම සහ සරත් වීරසේකරලාගේ කණ්ඩායම ඉන්නවා. ඒ අය අන්තවාදීන් ලෙස නම් කරනවාට වඩා මං කැමතියි රාජපක්ෂවාදීන් කියලා හඳුන්වන්න. සරත් වීරසේකර කණ්ඩායම පසුගිය මාර්තු මාසයේ තමයි ජිනීවා නුවරට ඇතුල් වුණේ. ඒ කාලයේම තමයි දෙමළ අන්තවාදී කණඩායමුත් ප්‍රබලව මතුවන්නේ. ඒ දෙගොල්ලෝ ඇත්තෙන්ම රාජ්‍ය විරෝධී කණ්ඩායම් දෙකක්. මෛත්‍රී-රනිල් විරෝධීන් ලෙස මිසක්, මානව හිමිකම් ප්‍රවර්ධකයන් හැටියට මට පෞද්ගලිකව ඔවුන්ව හඳුන්වන්නට පුළුවන්කමක් නෑ. ඒ ඇයිද කියනවා නම්, මානව හිමිකම් ක්‍රියාකාරීත්වය තුළ අපි යම් නිගමනයන්ට ඒමේදී අවශ්‍ය වන්නාවූ පරීක්ෂණ පවත්වන ක්‍රමවේද තියෙනවා. ඒ ක්‍රමවේදයන්ට එහා ගොස්, උදාහරණයක් හැටියට අපිට කිසිසේත්ම කියන්න බෑ, අපි බලයට ආවොත් මේ පුද්ගලයා මරනවා කියලා. පුද්ගලයෙක් වරදක් කරලා තියෙනවාද කියන එක අපි සොයන්නට ඕනෑ. නමුත් සරත් වීරසේකර වාගේ කෙනෙක් රූපවාහිනී නාලිකාවකට ඇවිත් කියනවා නම්, ඔබ දේශද්‍රෝහියෙක්, අපේ පාලනයක් ආවාම මරණ දණ්ඩනය දෙනවා කියලා ඒක තර්ජනය කිරීමක්. ඒ නිසා ඔහු මානව හිමිකම් ක්‍රියාධරයෙක් ලෙස අපි දකින්නේ නෑ. ඒ අනුව මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ නැවත බලයට ගෙනඒම සඳහා කටයුතු කරන සංවිධානයක් මිස සරත් වීරසේකර කණ්ඩායම මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු කරන සංවිධානයක් නොවෙයි.
අනික් පැත්තෙන් හමුදාවේ මෙන්ම කොටි සංවිධානය කළ මානව හිමිකම් උල්ලංඝනයන්ද ඇතුළත්ව පරීක්ෂණ පැවැත්විය යුතු බවයි මධ්‍යස්ථ කණ්ඩායම් කියන්නේ. නමුත් දෙමළ අන්තවාදී කණ්ඩායම් කෙලින්ම දැන් දෙමළ සන්ධානයට විරුද්ධව කටයුතු කරන්නට පටන්ගෙන තියෙනවා. ඒ අය දැන් නැවතත් දෙමළ රාජ්‍යයක් වෙනුවෙන් ඉදිරියට ඇවිත් ඉන්නවා.
මම බෙහෙවින් සන්තෝස වෙනවා, මෛත්‍රීපාල ජනාධිපතිතුමා යාපනයේදී සිවාජිලිංගම්ව කළුකොඩි අරගෙන ඉන්න විට මහපාරේදීම හමුවීම ගැන. ඒ විතරක් නෙවෙයි සාකච්ඡා කරන්නත් එන්න කිව්වා. එතකොට ඔවුන් කියනවා දුන් පොරොන්දු ඉෂ්ට කරන්න කියලා. ඒ පොරොන්දු ඉටුකිරීමේදී සාකච්ඡාව අවශ්‍යයි කියන කාරණාව ඔවුන් ප්‍රතික්ෂේප කරනවා. මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් රට තුළ කිසි දෙයක් වෙන්නේ නෑ, එනිසා වෙනම රාජ්‍යයක් පිහිටුවීම සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍ය බවයි ඔවුන් දැන් කියන්නේ. වෙනම රාජ්‍යය කියන ඒ ප්‍රවර්ධන කාර්යයේ ඉඳලා තමයි ඒ අය මානව හිමිකම් කවුන්සිලය තුළ සිට කටයුතු කරන්නේ. මේ පැත්තෙන් වීරසේකරලා කටයුතු කරන්නේ නැවතත් මහින්ද රාජපක්ෂලා බලයට ගෙනෙන්න ඕනෑ කියන අදහස ප්‍රවර්ධනය වෙන ආකාරයට. වීරසේකරට අනුව මානුෂික මෙහෙයුමේදී ඇතිවූ අහඹු සිද්ධි හැරෙන්න මානව හිමිකම් කඩවීමක් සිදුවුණේ නෑ. සුද්දාගේ කාලයේ සිට සිංහලයන්ට අසාධාරණකම් වුණා මිස දෙමළ අයට අසාධාරණයක්වී නෑ. මේ අනුව දෙපැත්තක සිට මේ දෙගොල්ලන් දෙගොල්ලන්ට සේවය කරගන්න බව ඉතාමත් පැහැදිලිව පෙනෙනවා.
මේ ආකාරයට ක්‍රියාකිරීම මානව හිමිකම් කවුන්සිලය තුළ මානව හිමිකම් කියන කාරණාව අකර්මණ්‍ය වීමට හේතුවෙනවා. මේ මගින් ලංකාව ගැන විවිධ පණිවිඩ ඔවුන් දෙනවා. පසුගිය වතාවේදී විශේෂයෙන්ම ජාතිවාදය කියන මාතෘකාව යටතේ සංවිධාන 14ක් ලංකාව ගැන කථාකර තිබුණා. ඒ සංවිධාන 14ම ලංකාවේ මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් කිසිදෙයක් වෙන්නේ නෑ කියන එකයි කිව්වේ. ලංකාව ජාතිවාදී රටක් කියන පණිවිඩය යන ආකාරයටයි දෙමළ අන්තවාදීන් හා වීරසේකර වගේ අය එතැන පෙනීහිටියේ. එතැන හිටිය අප වැනි මධ්‍යස්ථ අය එහෙම නෑ, මානව හිමිකම් ප්‍රවර්ධනය වෙනුවෙන් ලංකාවේ මේ මේ දේවල් සිද්ධවෙනවා කියන තැන ඉඳලා තමයි අපි මැදිහත්වුණේ. විශේෂයෙන්ම අතුරුදන්වූවන්ගේ කාර්යාලයක් ඇතිකිරීමට පියවර ගැනීම හා අතුරුදන් කිරීමට එරෙහි පනත් ගෙනඒමට ඇති සූදානම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සාධනීය ලකුණු බව අපි පෙන්වා දුන්නා.

ඔබ හිතන ආකාරයට මොන වාගේ හේතු නිසාද මේ විධියට දෙපැත්තේම සිටින අන්තවාදීන් බලවත් වෙන්නේ ?
මේ ආණ්ඩුවට, මධ්‍යස්ථ මතධාරීන් නිරන්තරයෙන්ම ඉල්ලූ සහ පහසුවෙන්ම ඉටුකරන්නට පුළුවන් දේවල් ගොඩාක් තිබුණා. විශේෂයෙන්ම දීර්ඝ කාලයක් සිරගතවී සිටින සිරකරුවන්ගේ ලැයිස්තුව දිහා බලලා චෝදනා නැති සිරකරුවන් නිදහස් කරන්න තිබුණා. ඒ ගැන හිටපු අධිකරණ ඇමති කරුණු කාරණා සහිතව දැනගෙන සිටියා. නිරන්තරයෙන් ඔහුට ඇතිකළ බලපෑම තමයි චෝදනා තියෙනවා නම් වහාම චෝදනා ගොනුකර නඩු දමන්න, නැත්නම් ඔවුන් පොදු සමාවක් යටතේ නිදහස් කරන්න කියන එක. හිටපු අධීකරණ ඇමති මේ ගැන නිසි අවධානයක් යොමුකරන්නේ නැතිව යම් බලවේගයන්ට අවනත වෙමින්, ත්‍රස්තවාදීන් තවම හිරගෙදර සිටිනවා කියන කාරණාව මතයක් ලෙස ගෙනගිය බවයි පෙනෙන්නට තියෙන්නේ.
දැන් අලුත් අධිකරණ ඇමතිතුමිය ඒ ගැන අවධානය යොමුකර ජනාධිපතිතුමාට දැනුම් දෙයි කියලායි අපි හිතන්නේ. අනික, ජනාධිපති කොමිෂන් අනික් ඒවාට දාන්න පුළුවන් නම් මේ ප්‍රශ්නය විසඳන්නත් ජනාධිපති කොමිසමක් දාන්න පුළුවන්. ආණ්ඩුව විසින්ම නිරාකරණය කරගත යුතු දේවල් ආණ්ඩුව විසින්මයි අවුල්කරගෙන තියෙන්නේ. අනික් කාරණාව තමයි හමුදාවට, නැතිනම් ආණ්ඩුවට භාරදුන්නු පුද්ගලයන් අතුරුදන්ව තිබීම. ඒ අයට මොනවාද වුණේ කියන එක දැනගැනීමේ අයිතියක් ඒ වින්දිතයන්ගේ දෙමාපියන්ට හා ඥාතීන්ට තිබෙනවා. එයින් අදහස් කරන්නේ මේකට වගකිව යුතු අයට දඬුවම් කිරීම නොවෙයි, රාජ්‍යයට බාරවූ අය ගැන වගකීමක් රජයකට තියෙනවා කියන එකයි. ඒකත් ඉටුකළ යුතුයි. අනික ඉඩම් ප්‍රශ්නය. ඒක ටිකක් දිර්ඝකාලීනව හෙමින් හෙමින් විසඳෙමින් තිබෙන බව අපි පිළිගන්නවා. අධිආරක්ෂිත කලාප මෙන්ම හමුදාවේ වාණිජ කටයුතු සඳහාද ඉඩම් තියාගෙන ඉන්නට බෑ. ඒ ඉඩකඩම් නිරවුල් කර අයිතිකාරයන්ට ලබාදිය යුතුයි.

ඉටුකළ යුතු එහෙත් අන්තවාදීන් බලවත් වීමට හේතුවන, පොරොන්දු ප්‍රකාරව ආණ්ඩුව ඉටු නොකර සිටින තවත් දේ තිබෙනවාද?
ඔව්. සිංහල, දෙමළ, මුස්ලිම් ප්‍රධාන සියලු ජනවර්ග අතර නිදහස සහ සමානත්වයේ මූලධර්මයෙන් තොරව හැබෑ සමගියක් ගොඩනගන්නට බෑ. ජනගහනය අනුව සමානත්වයක් ගැන නෙවෙයි මං මේ කියන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වැදගත් වෙන්නේ මෙතැනදී. නිදහස හා සමානාත්මතාව ඇත්තටම තහවුරු කරන්නට පුළුවන් රාජ්‍ය ව්‍යුහයේ ඇතිකරන වෙනසක් තුළ පමණයි. විධායක ජනාධිපති ධුරයට මා පෞද්ගලිකව විරුද්ධ වෙන්නේ මහින්ද රාජපක්ෂගේ ප්‍රශ්නයක් නිසා නොවෙයි, 1978 සිටම අපි ඒකට විරුද්ධ වුණු අය බව මතක් කරන්න ඕනෑ. ලංකාව වගේ රටක මහින්ද රාජපක්ෂ තමයි උපරිමයට බලකේන්ද්‍රයට ආවේ. එතැනින් එහාට එන්නේ රජෙක්. 2015දී අපි නවත්වා ගත්තේ ඒ රාජාණ්ඩුව.
මීට අමතරව, රජයේ නියෝජිතයන් ජිනීවා නුවර සිට කරන මැදිහත්වීම ප්‍රමාණවත් නැති බවත් කනගාටුවෙන් නමුත් කියන්නට වෙනවා.
අවසාන වශයෙන් මට කියන්නට තියෙන්නේ ජනවාරි 08 ජයග්‍රහණයට පදනම් වු පොරොන්දු ජනාධිපති හා ආණ්ඩුව ප්‍රමාද නොවී ඉටුකළ යුතු බවයි. ඒවා ඉටුකිරීම ප්‍රමාදවන තරමට උතුරේ මෙන්ම දකුණේද අන්තවාදීන් බලවත් වෙන එක වළක්වන්න බෑ. ඒ නිසායි මධ්‍යස්ථවාදීන් හැටියට අප ඔවුන්ට කියන්නේ ඇති කරගත් සමාජ ගිවිසුමට අනුව ප්‍රමාද නොවී කටයුතු කරන්න කියලා.■