රාවය

බුදුහිමියන් පිටමං කළ බුදුසමයක්

බුදුහිමියන් පිටමං කළ බුදුසමයක්

චන්ද්‍රරත්න බණ්ඩාර

ලංකාව නැමති කුඩා දිවයින් රාජ්‍යය පිළිබඳ අනන්‍යතාව සැකසීමේ දී සිංහල භාෂාව හා බුදුදහම විසින් ලබා දී තිබුණ ගැඹුර හා අලංකාරත්වය අවසන්වරට දුටු පරම්පරාව අපි වෙමු. සිංහල භාෂාව මාධ්‍ය පරිහාරකයන් විසින් එහි පදනමින්ම ගලවා දැමෙන අතර බුදුදහම භාරකාරයන් යයි කියන භික්ෂූන් විසින් එහි පදනමින් ගලවා දමමින් තිබේ.

මා මෙතැනදී උත්සාහ දරන්නේ භාෂාව පත්වී ඇති අනාථභාවය පිරික්සා බැලීමට වඩා බුදුදහම පත්වී ඇති අසරණභාවය පරීක්ෂා කිරීමටය.
බුදුදහම එහි සාරාර්ථයන් මිටින් ගෙන සිය හෘදය සාක්ෂිය එයට මුසු කළ අවසන් භික්ෂු සංකේතය අපවත්වී වදාළ බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහනාහිමියන් යයි සිතමි. ඉන් ඔබ්බේ අපට භික්ෂු වදන කට පුරා පැවසිය හැකි භික්ෂු ‘රත්නයන්’ හමුවන්නේ නැති තරම්ය.

අප වැනි ඌන සංවර්ධිත සමාජවල කලාවට වඩා ආගම, මිනිසුන් අමතන්නේය. කලාව සතු බහුපාර්ශ්වීය හා බහුශ්‍රැතබව වෙනුවට ආගම සතු ඒකපාර්ශ්වීය ඒකශ්‍රැත බව ඒ දුබල සමාජයේ සැකැස්ම තනයි. කාල් මාක්ස් පැවසුවා සේ පීඩිතයාට එල්ලිය හැකි අවසන් තණපත ආගම ය. තමාට තමාවත් ආගන්තුක, මිනිසාගේ අයහපතටම අදාළ දරිද්‍රතා අගයන් වේගයෙන් ඉහළ යන සමාජයක ආගමට ඇති වටිනාකම ද අතිවිශාලය.

එකිනෙකින් ස්වායත්තව පැවතිය යුතු හා පැවතිය හැකි ජාතිය හා ආගම එකක් ලෙස ගෙන ඒවාට වෙන්ව පැවතිය හැකි අලංකාර ලක්ෂණ අහිමි කරමින් ඒ මුහුමට භයංකාර ලක්ෂණද එකතු කිරීමේ කටයුත්ත සිදුකළ බලවත් ඓතිහාසික පුද්ගලයා අනගාරික ධර්මපාලය. නැගී එන වෙළෙඳ කුලයක ස්ථිරසාරභාවය උදෙසා ජාතිය හා ආගම දෙකම එයට පවරා දීමට ඔහු දැරූ තැත පිළිබඳ බුද්ධිමය කතිකාවක් සමාජයෙන් මතු නොවුණේ ධර්මපාල වෑයම විනිවිදීමට අසමත් ජනප්‍රියවාදී ආලෝක වළල්ලක් එදාමෙදා තුර ඔහු වටා කැරකුණු නිසාය.

සකලාකාරයෙන්ම ලුම්පන් ගතිලක්ෂණවලින් හෙබි ඩැන් ප්‍රියසාද් වැන්නෙකු නූතනයේ සිංහල බෞද්ධ නායකයකු වන්නේ අද පවත්නා පරිහානිගත සමාජයේ පිරිහුණු ධර්මපාල කෙනෙකු ලෙසිනි. ධර්මපාලතුමාට ඒ යුගය එළිය කළ ප්‍රඥාවන්තභාවයේම ගැඹුරට යම් තරමකට හෝ යටත්ව ක්‍රියා කිරීමට සිදු විය. එහෙයින්ම ඔහුට යම් ප්‍රමාණයකට හෝ සම්භාවනීය හැසිරීමක් පවත්වා ගැනීමටත් සිදු විය. සැබැවින්ම ඒ අවධියේ බි්‍රතාන්‍ය යටත්විජිතකරණය හා දේශීය බෞද්ධ අධ්‍යාපනික රටාව විසින් සකස් කළ නැණපහන් දැල්වෙමින් තිබිණ. එහෙත් ඩැන් ප්‍රියසාද් වැන්නෙකු මෙහෙයවන්නට, එවැනි තක්කඩියෙකු දමනය කළ හැකි ප්‍රඥාවන්තභාවයක් අද වන විට සමාජයේ ඉතිරිව නැත. ඔහුගේ නම, ගම, ඇඳුම පැළඳුම, මදාවි හැසිරීම ආදි සියල්ල ජාතියේ මුද්‍රා ලෙස අවශෝෂණය කරගත හැකි දුර්භාග්‍ය සම්පන්න තැනකට අද වන විට රට පත්වී ඇත.

බුදුදහම පමණක් නොව අන් සියලු ආගම් ද එහි මූලික පදනමින් ම ගැලවී වෙන්වූයේ බොහෝ ඈත කාලයකය. එනම් දේශපාලනය හා රාජ්‍යය සිය ආරක්ෂාව උදෙසා ආගමේ පිහිට පැතූ අවධියේ සිටය. සියලු ආගම් එහි පැවිද්දන්ට අල්පේච්ඡතාව යෝජනා කරයි. අල්පේච්ජතාවේ ඇලීගැලීමෙන් තොරව කිසිදු ආගමක ප්‍රතිපදාවන් හා සමවාය විය නොහැකිය. රාජ්‍ය උරුමයක් තිබූ කුමරුවෙකු පිඬු සිඟා වඩිමින් සියලු භෞතික දේවලට අස්වාමික වෙමින් එය බෞද්ධ න්‍යාය ලෙස වර්ධනය කළෝ භගවත් ගෞතමයාණෝය. සමාජයේ අසහනය ඇතිකරන ජාතිය කුලය ආදි සියලු බේදයන් නොසලකන ලෙස බෞද්ධයාටත්, විශේෂයෙන් බෞද්ධ භික්ෂුවටත් තිරකොට අනුදැන වදාළෝ උන්වහන්සේය. ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යන පංච මහා ගංගා ගලා විත් ගංගාමය අනන්‍යතාව අහෝසි කරගෙන මහා සමුද්‍රය නිර්මාණය වන්නා සේ වර්ග කුල ගෝත්‍ර ආගම් ගිහිජීවිතයේ කවරක් වුවත් බෞද්ධ භික්ෂුව ඒ කිසිදු උත්පත්ති සාධකයකට අයත් නොවන්නේ යයි බුදුහු වදාළහ.

එහෙත් අද ලංකාවේ තිබෙන්නේ ඒ බුදුසසුනද? බෞද්ධ ශාසන අමාත්‍යාංශ සංඛ්‍යා ලේඛන අනුව ලංකාවේ නිකායන් විසිහයක් පමණ තිබේ. ඒ සියලු නිකායන් බෙදී ඇත්තේ සිංහල වර්ගයා බෙදී ඇති ප්‍රධාන කුල හා සුළු කුල සම්භවයන් අනුවය. මල්වතු, අස්ගිරි ප්‍රධාන පාර්ශ්වයන් උඩරට ගොවිගම කුලයට වැඩි බර දෙමින් ක්‍රියාත්මක වේ. මේ බර දීමට විරුද්ධ වූ රෝහණයේ ගොවිගම වංශිකයෝ සියම් නිකායේ රෝහණ පාර්ශ්වය පිහිටුවා ගත්තෝය. ඒ ආකාරයට සියම් නිකාය පාර්ශ්ව වශයෙන් පහකට පමණ බෙදී ගොසිනි. අමරපුර නිකාය බිහිවුණේ ගොවිගම කුලයට වැඩි ඉඩක් දෙමින් සියම් නිකාය කටයුතු කිරීම නිසාය. විශේෂයෙන් වෙරළබඩ ජනයා යටත්විජිත සමයේ අධ්‍යාපනයෙන් හා ව්‍යාපාරික කටයුතුවලින් රජයට වඩා සමීප වීමෙන් ලද්දාවූ නව සමාජ තත්ත්වයට සියම් නිකායේ නොතකා හැරීම බලවත් මදිපුංචිකමක් විය. ඒ අනුව නැගීඑන ගොවිගම නොවන අනෙකුත් කුලවල ධනවතුන්ගේ උදව්වෙන් 1803දී බලපිටියේ සලාගම කුලයට අයත් අඹගහපිටියේ ඥානවිමල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් බුරුමයේ ලද උපසම්පදා කර්මයන් සහිතව අමරපුර නිකාය බිහි විය. එහෙත් පසුව කරාව, දුරාව යන අනෙකුත් ප්‍රධාන කුලයන්ද සාමූහිකව තමන්ගේ නව නිකාය හා අනන්‍යවීමට නොකැමති වීම නිසා අමරපුර නිකායද පාර්ශ්වලට බෙදී වෙන් විය. එයින් දුරාව බහුතර කුල නියෝජනයක් සහිතව මහා ධර්මරක්ෂිත නිකායද, සලාගම බහුතර නියෝජනයක්, ආධිපත්‍යයක් සහිතව ශ්‍රී සද්ධම්මවංශික නිකායද, කරාව කුල ආධිපත්‍යයක්, බහුතර එකී කුල නියෝජනයක් සහිතව ශ්‍රී සද්ධර්ම යුක්තික නිකාය ද බිහි විය.
මා දන්නා කොළඹ නගරයේ ඇති එක්තරා ප්‍රධාන දර්ශනීය පන්සලක් මෙරට පීඩිත ගණයේලා ගැනෙන කුලයකට අයත් නිකායේ මූලස්ථානයයි. එය මෙරට අධිරාජ්‍යවාදී සමයේ ජාතික වීරයෙකුගේ ප්‍රධානත්වයෙන් තැනවුණු පන්සලකි. එම පන්සලේ සියලු කටයුතු සිද්ධ වන්නේ ඒ කුලයට අයත් ප්‍රධානීන්ගෙන් සමන්විත දායක සභාවෙනි. කොටින්ම පන්සලේ පිංපෙට්ටිය විවෘත කරන්නේද පිටින් පැමිණෙන ගිහියන් විසිනි.

යටත් විජිතකරණය හරහා පැමිණි නූතනත්වය හමුවේ ගිහි සමාජය යම් නවීකරණයකට ක්‍රමයෙන් බඳුන් විය. එහිදී උගත් මධ්‍යම පංතිය හා ව්‍යාපාරික දියුණුව ලත් මධ්‍යම පංතිය සිය දියුණුව අපේක්ෂාවෙන් හෝ කුලය විස්ථාපනය කෙරෙන යම් යම් ක්‍රියාකාරකම්වල නිරත විය. එහෙත් පැවිදි දිවිය තෝරාගත් ජන කණ්ඩායමට එවැනි අභියෝග නොවීම නිසා කුලය පිළිබඳ ආචීර්ණ කල්පිත මතවාදයන් තුලම ඔවුන් එල්බී ගත්හ.

අතීතයේ බෞද්ධ භික්ෂුව සිංහල භාෂා ශාස්ත්‍රයන් වර්ධනය කිරීම උදෙසා සිය වටිනා කාලය යෙදවූහ. විශේෂයෙන් නිදහසට පෙර අවධිය මෙහි උච්චතම අවධිය සේ සැලකිය හැකිය. යටත්විජිත පාලන සමයේ උද්ඝෝෂණයන්ට ඉඩක් නොලැබී ම භික්ෂුවට සිය ආගමේ හා භාෂා ශාස්ත්‍රයන්හි දියුණුව සඳහා හෝ සැබෑ සමාජ සේවයෙහි හෝ යෙදිය යුතු විය. එහෙයින් ජනසංඝයක් ලෙස පවිත්‍ර සමාජ මෙහෙවරක යෙදීමට ඔවුනට හැකි විය. උදාහරණ ලෙස ගත් විට පැරණි සාහිත්‍ය වශයෙන් මුණගැහෙන කෘතිවල කර්තෘකයන් භික්ෂූන් වන්නේ ඒ තත්ත්වය නිසාය.

එහෙත් 1956 ජයග්‍රහණය උදෙසා භික්ෂූන්ගේ කැපවීම නිසා භික්ෂුව දේශපාලන ලෝකයේද තමන්ට භූමිකාවක් ඇතැයි සිතුවේය. එමෙන්ම එක්තරා ආකාරයක පොදුවේ දේශීය ජනයාගේ ක්‍රියාකාරිත්වයක ප්‍රතිඵල වූ එකී ජයග්‍රහණය බණ්ඩාරනායකගේම කැමැත්තෙන් භික්ෂූන්ගේ තනි අයිතියට ලියා ගන්නට ඉඩ හැරියේය. පාරමීදම් පුරමින් ලෝකෝත්තර විෂයයක කටයුතු සඳහා කැප වූ පිරිසක් ලෞකික විෂයයක මුදුනට ගෙනඒමට බණ්ඩාරනායකගේ සාර්ථක වූ කපටි වෑයම මෙලෝ වශයෙන්ම පල දුන්නේ භික්ෂුවක අතින්ම ඔහු මරණයට පත්වීම මගිනි.

භික්ෂුව පමණක් නොව ඕනෑම ආගමක පූජකවරයෙකුට දේශපාලනය සඳහා සුදුසුකම් සපුරාගත නොහැක. දේශපාලනය සම්පූර්ණයෙන්ම පාහේ ලෞකික විෂයයකි. එය සිය රාජ්‍යය අයත් භූමි ප්‍රදේශයේ සැපිරිය යුතු පින්කාර හෝ පව්කාර හෝ ඕනෑම විෂයකට ලෞකික විසඳුම් දිය යුතුය. ආගමිකත්වය පවා එදිනෙදා ලෞකික අභිවෘද්ධියට ගැළපෙන සේ පාලනය කළ හැකි අධිකාරී බලයක් දේශපාලනයට ඇත. දේශපාලනඥයෙකුගේ සුදුසුකම් ලැබීමට භික්ෂුවට හෝ අන් පූජකයෙකුට අවම සුදුසුකම්වත් සැපිරිය නොහැකිය.

විමලධර්මසූරිය රජුගෙන් පසු රජ බවට පත් සෙනරත් රජු රජවූයේ භික්ෂුවක සිට සිවුරු හැරීමෙන් අනතුරුවය. අද දේශපාලනයට මන්ත්‍රී පදවිවලට හා සහායක ආයතනවලට පත්වන හා පත්වීමට වලිකන භික්ෂූන්ගෙන් ඇසිය යුතු එක ප්‍රශ්නයක් වන්නේ ඔවුන් මහත් සේ අගය කරන සිංහල රාජාවලිය තුළ එක රජකෙනෙකු, යුවරජ කෙනෙකු තබා රාජ සභා නියෝජිතත්වයක්වත් භික්ෂුවක විසින් දැරුවේද යන්නයි. කලින් භික්ෂුවකව සිටි සෙනරත් රජු පවා අන්ත ඝාතක රජකු වූවා පමණක් නොව මව හා දියණිය එක්වර සිය ඇඹේණියන් කරගත් පව්කාරයෙක් විය.

නිර්මල නොවූ ගමන් මගක් ඔස්සේ ඉතිහාසය දිගේ දීර්ඝ ගමනක් පැමිණි නිර්මල දහමකට අත්වන ඛේදවාචකයට බුදුදහම අද වන විට පත් වී ඇත. කොටින්ම සිය ශාස්තෲවරයා විසින් අනුදැන වදාළ සියලු සාරාර්ථයන් අහිමි කරගත් දහමක් බුදුදහම වේශයෙන් අද ඉතිරිවී තිබේ. අලජ්ජි භික්ෂුන් විසින් තම නොදැනුමේ හා තක්කඩිකමේ ප්‍රමාණයට තම අලජ්ජි ක්‍රියාකාරකම් සඳහා බුදුදහමේ වචන හා යෙදුම් පාවිච්චි කෙරෙයි. බොදු බල සේනාහි ප්‍රචණ්ඩ ක්‍රියාකාරිත්වය ඔවුන් විසින්ම සාධාරණීකරණය කරන්නේ තමන් ‘මුගලන් පරපුරේ’ භික්ෂුන් ලෙස හඳුන්වාගනිමිනි. කුඩා දරුවකුට පවා වැටහෙන හොරකමක් වන සිල්රෙදි හොරකමට ලැබුණු අධිකරණමය දඩය ගෙවීමට මුදල් පිණ්ඩපාතයේ යෙදීමද එවැන්නකි.

භික්ෂූන් කුණුහරුප කියන අයුරු, ඔවුන් එකිනෙකා බැන අඬගසා ගන්නා අයුරු නිතර දෙවේලේ සමාජ මාධ්‍ය හරහා දැකිය ඇසිය හැකිය. දුරාචාරය, මත්පැනට ඇබ්බැහි වීම, අනුන් සතු දේපළ කොල්ලකෑම භික්ෂූන් බොහෝ දෙනෙකුගේ චර්යාව බවට පත්වී ඇත.
අතීත යතිවර පරපුරේ භික්ෂුන්ගේ වතගොත පරීක්ෂා කරන විට ඔවුන් බොහෝ දෙනෙකු ධර්මකාමී දෙමාපියන්ගේ කුලදරුවෝ වූහ. පවුලට බරක් වීම නිසා නොව ඒ කුලදරුවාගේ පැවිදි ධාර්මික අභිප්‍රාය ද, ශාසනය පවත්වා ගෙනයෑමට ඔවුන්ගේ ඥාතිවර්ගයාගේ තිබූ කැමැත්ත ද ඒ සඳහා බලපෑවේය. එහෙයින්ම ඔවුහු කාලයාගේ ඇවෑමෙන් පිරිපුන් භික්ෂූන් බවට පත් වුහ. පොතපත ලියැවුණේ ඔවුන් අතිනි. ශාසනය චිරස්ථායීි වූයේ ඔවුන් අතිනි. එහෙත් අද තත්ත්වය සපුරා වෙනස්ය. පවුල් පෙළන නැතිබැරිකම, හතර කේන්දරය පාළුවීම වැනි මිථ්‍යා විශ්වාස, දේපළ සිය පවුල් තුලම රඳවා ගැනීම ආදිය පැවිදි වීමට පොළඹවන කාරණා බවට පත්ව ඇත.
ප්‍රමාණාත්මකව බටහිර හා පෙරදිග අධ්‍යාපනයක් ලත්, ප්‍රගතිශීලී දේශපාලනයේ නියුක්ත ජාතිවාදී නොවන එක් භික්ෂුවකගෙන් ‘භික්ෂු බහුතරය මෙතරම් ජාතිවාදී වන්නේ ඇයිදැ’යි විමසීමි. එහිදී උන්වහන්සේ පැකිලීමකින් තොරව දුන් උත්තරය නම් ඉංග්‍රීසි දැනුම නොමැති නිසා ලෝකයට නිරාවරණය නොවීම හා නව දැනුම නොලැබීම නිසා ඇතිවූ හීනමානයත් හේතූන් ලෙස තමා දකින බවයි. අද බොහෝ භික්ෂූන් ලෝක දැනුම තබා ශ්‍රී ලංකාවේ බුද්ධාගමෙන් මෙපිට ලෝක බුදුදහමේ ව්‍යාප්තිය සිදුවන ආකාරය ගැනවත් වැටහීමක් නොමැත. දලයි ලාමා, තිචි නාත් හන් වැනි බෞද්ධ යතිවරයන් බුදුදහමේ සාරාර්ථයන් නවීනත්වය හා ගළපා ලෝක පූජිතව ඇති අයුරු ඔවුහු නොදන්නෝය. විදර්ශනා භාවනාව වැනි උත්තමාංග ලෝකයට දායාද කරමින් ලෝකය සනසන අයුරුත් එමගින් බුදුදහමේ චිරස්ථතියක් නවීන ලෝකය තුළ ඇතිවී ඇති අයුරුත් ඔවුහු නොදන්නෝය.

ලාංකීය සමාජය තුළ බුදුදහම හිමි කරගෙන ඇති තැන අහිමි නොකරගත යුත්තකි. බුදුදහම වනාහි වඩාත් නම්‍යශීලී සහනශීලී එකකි. එහෙත් ගැටුම්කාරී සමාජයක එය කෙලෙසීමට ඇති ඉඩකඩ අනෙක් ආගමකට මෙන්ම පුළුල්ය. එහෙත් ඉතිහාසය මුළුල්ලේම බුදුදහමේ යථාව, බුදුවදන හා එහි ගැඹුර මේ යැයි පෙන්වා දීමට විද්වත්තු බිහිවූහ. ඒ සඳහා පොතපත බිහිවිය. මෑත යුගයේ පහළ වූ ආනන්ද මෛත්‍රිය හිමිපාණෝ එවැන්නෙකි. එමෙන්ම ගිහි උගත්තුන් ඇතැම්විට ඒ ආකාරයට ඇතැම්විට ඊටත් වඩා සාර්ථකව ඒ කටයුත්ත ඉටුකළෝය. මහාචාර්ය කේඑන් ජයතිලක, මහාචාර්ය අදිකාරම්, මහාචාර්ය ඩබ්ඇස් කරුණාරත්න, මහාචාර්ය ගුණපාල ධර්මසිරි, මහාචාර්ය සුචරිත ගම්ලත්, ආචාර්ය මහින්ද පලිහවඩන ඒ දිගු නාමාවලියෙන් කිහිප දෙනෙකි. සැබැවින්ම ගිහි උගතුන්ට භික්ෂුන්ට තරම් තමා වටා වූ නිකාය කුල හා මහායාන ථේරවාද ආදි බාධා නොවූ නිසා පොදු දහමේ අක්ෂය සොයා පහසුවෙන් ගමන් කළ හැකි විය.

අද දවසේ කුලය හා ජාතිය පිළිබඳ කාරණා නිසා බුදුදහමේ පදනමට වන හානිය සාකච්ඡාවට ගතයුත්තකි. හීනමානීය භික්ෂූන්ට හා ගිහියන්ට රක්ෂාස්ථානයක් ලෙස බුදුදහම පත්වීම වැළැක්වීමට ක්‍රියා කළ යුතුය. බුද්ධිමය වශයෙන් නවීකෘත සමාජයක යහපත උදෙසා බුදුදහමේ සාරාංග යොදා ගන්නා සාකච්ඡාව බෞද්ධ සමාජයේ ඉස්මත්තට ගෙන ආ යුතුය.
බුදුදහමේ ප්‍රායෝගික සක්‍රියත්වය විශේෂයෙන් පීඩිත බෞද්ධයාට අත්‍යවශ්‍ය දෙයකි. එහෙත් වර්තමානයේ තමන්ගේ දහම භික්ෂුන් විසින් පිරිහෙළා ඇති තත්ත්වය ගැන ඔවුන් තුළ ඇති කළකිරීම සුවිශාලය. මේ තත්ත්වය තුළ මා නිරීක්ෂණය කළ එක දෙයක් නම් දැන් බොහෝ බෞද්ධයන් විසින් වත්මන් ශ්‍රී ලාංකික බුදුදහමේ පාර්ශ්ව දෙකක් එකවර අදහන බවයි. එනම් සිය ආත්මික සංතෝෂය සඳහා අසපු වැනි ප්‍රොතෙස්තන්ත බුදුදහමේ අලංකාර සෝබන බහුල ආයතන එක් වර්ගයකි. සාම්ප්‍රදායිකව තමන්ගේ සමාජ ජීවිතය පවත්වාගෙන යෑමට අවශ්‍ය යයි සලකා සාම්ප්‍රදායික පන්සල වෙත යෑම අනෙකයි. තමන්ගේ නිවන් දැකීම සඳහා වන පින් රැස් කිරීමාදි ආත්මීය සතුට හා තෘප්තිය පළමු කී අසපුවලින් ලබා ගනී. එතෙක් සාම්ප්‍රදායිකව පවත්වාගෙන ආ චාරිත්‍ර වාරිත්‍ර සඳහා සාම්ප්‍රදායික පන්සල පාවිච්චි කරයි. එහෙයින් දැන් ගිහි බෞද්ධයා සීලවන්ත බව බලාපොරොත්තු වන්නේ අසපු භික්ෂුවගෙන් මිස සාම්ප්‍රදායික පන්සලකින් නොවේ.
දේශපාලකයන් පසුපස ගියාට, සොරුන් වෙනුවෙන් සල්ලි පිණ්ඩපාතයේ ගියාට, මහමග පෙළපාලි යමින් කුණුහරුප කීවාට, මත්පැන් බීමාදි භික්ෂුවකට නොගැළපේ යැයි සිතූ දේ කළාට දැන් බෞද්ධයාට ගැටලුවක් නැත. දැන් ඔහුගේ ලෝකයේ බෞද්ධකම තෘප්ත කිරීමට අසපු භික්ෂුව සිටී. සාම්ප්‍රදායික භික්ෂුවකට ඕනෑම අකැප දෙයක් කිරීමට ඉඩ දීමට බෞද්ධයෝ දැන් පුරුදු වෙමින් සිටිති. මේ බව සනාථ කිරීමට හොඳම උදාහරණ වන්නේ අසපු බෞද්ධයන්ගෙන් පිරී යෑමත්, සාම්ප්‍රදායික පන්සල් වේගයෙන් ජනයාගෙන් තොරවීමත් සලකා බලන විටය.■