රාවය

වනසතුන් ගැන අසාධාරණ තීන්දුවක් ගැනීමට පෙර..

වනසතුන් ගැන අසාධාරණ තීන්දුවක් ගැනීමට පෙර..

ඊ එල් සමන් කුමාර

බොහෝ කාලයක සිට රාවය පුවත්පතේ පාඨකයකු වන මා, පසුගිය කාලයේ පුනරුදය ව්‍යාපාරය පිළිබඳව වික්ටර් අයිවන් මහතා විසින් ලියන ලද ලිපි කිහිපයක් කියැවීමෙන් පසු මෙය ලිවීමට සිතුවෙමි. මේ ලිපියේ අරමුණ එම ලිපි තුළින් වික්ටර් අයිවන් මහතා විසින් මතු කළ අදහස් කිහිපයක් පිළිබඳ මා තුළ පැනනැගුණු ගැටලු කිහිපයක් විසඳා ගැනීමයි. මූලිකව ලංකාවේ ජනතාව තුළ චින්තනමය වෙනසක් ඇති කිරීම පුනරුදය ව්‍යාපාරයේ අරමුණ බව මේ ලිපිවලින් පැහැදිලිය. මේ අරමුණ පිළිබඳව කොන්දේසි විරහිතව එකඟ වුවද, මේ ලිපි තුළ සාකච්ඡා වූ කරුණු කිහිපයක් මා තුළ යම් ගැටලුකාරී බවක් ඇති කළ බව කිව යුතුය. ඒ පිළිබඳව කෙටියෙන් සහ සංක්ෂිප්තව දක්වන අතර, මාගේ අදහසද ඒ සමඟම දක්වමි.

මුලින්ම ලංකාවේ විනාශකාරී වන ජීවීන් පිළිබඳ මේ ලිපිවල පැවති අදහස ගනිමු. පොදුවේ ගත් විට අලින්, රිලවුන්, වඳුරන්, වල් ඌරන් හා මොනරුන් ආදි සතුන් විසින් ලාංකිකයන්ගේ ගොවිතැන් කටයුතුවලට හා ජීවිතවලට පවා හානි කරන තත්ත්වයක් ඇති වී ඇති බව කවුරුත් පිළිගන්නා කරුණකි. ඒ වෙනුවෙන් රජයට යහපත් වැඩපිළිවෙළක් නැතුවා මෙන්ම මේ ගැටලුව දිනෙන් දින උග්‍ර වෙමින් පවතින බවද පැහැදිලිය. මෙයට යම්කිසි පිළියමක් සෙවීම කාලෝචිත මෙන්ම අත්‍යවශ්‍ය කරුණකි. එහෙත් මේ ලිපි කිහිපය පුරාම මේ සඳහා ඇති විසඳුම ලෙස මා දකින ආකාරයෙන් ඉදිරිපත් කර තිබුණේ අලින් හැර අනික් වනසතුන් ඝාතනය කිරීම පමණකි. ලංකාවේ වනගහණයට ඔරොත්තු නොදෙන ප්‍රමාණයක් අලිඇතුන් සිටින බැවින් ඔවුන් විදේශ රටවලට විකුණා දැමිය යුතු බවද අදහසක් පළ විය. පින් පවු හෝ ආගමික සාධක කිසිවක් නොපිළිගන්නා මා පරිසරවේදියෙකුද නොවෙන බව මුලින්ම කිව යුතුය. එහෙත් මෙහිදී මා තුළ පැනනැගුණු ගැටලු කිහිපයක්ම තිබේ.
මුලින්ම මෙම ලිපිවල දැක්වෙන පරිදි ලංකාවේ අලිඇතුන් ගහනය ලංකාවේ වනාන්තර ප්‍රමාණයට ඔරොත්තු නොදෙන බැවින් අතිරික්ත සතුන් විදේශවලට අපනයනය කිරීමේ යෝජනාවක් වෙයි. මෙවැනි අදහසක් දැක්වීමේදී ඒ වෙනුවෙන් පිළිගත හැකි සංඛ්‍යා ලේඛන දැක්විය යුතු බව මාගේ අදහසයි. ලංකාවේ මේ වන විට සිටින වන අලි ප්‍රමාණය කොතෙක්ද? ඒ පිළිබඳව වික්ටර් අයිවන් මහතා හෝ පුනරුදය සමඟ සිටින විද්වතුන් සමීක්ෂණයක් කර තිබේද? ලංකාවේ ජීවත්වන වන අලියෙකුට සිය සංචරණය වෙනුවෙන් අවශ්‍ය කරන බිම් වපසරිය කොපමණද? වසරකට මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වන අලි කොපමණ මිය යනවාද? එසේම වසරකට අලින්ගේ නිජබිම් වන වන ගහණය කොතෙක් අහිමි කරනවාද? මේ සම්බන්ධ නිවැරදි සංඛ්‍යා ලේඛන රජයේ ආයතන සතුව පවා නොමැති බව මාගේ අදහසයි. පහුගිය කාලයේ සිදුකෙරුණු විකාර සහගත අලි සංගණනය හැරුණු කොට මේ දක්වා නිවැරදි අලි සංගණනයක් සිදුව තිබේදැයි නොදනිමි. මේ තර්කය අනුව ලංකාවේ මේ වන විට ජීවත් වන අලි ගහණය වනාන්තර ප්‍රමාණයට වඩා වැඩියැයි සිතමු. එසේ නම් අතිරික්ත අලි ප්‍රමාණය ඝාතනය කිරීම හෝ විකුණා දැමීමේ වරදක් නැතැයි මමද සිතමි. එහෙත් මා සිතන ආකාරයට එය ප්‍රායෝගික වන්නේ එම ක්‍රියාවලියෙන් පසුව අලින්ගේ වාසභූමි දැන් තිබෙන ප්‍රමාණයට වඩා අඩු නොවන්නේ නම් හා දැන් සිදුවන පරිදි අලින් දිගින් දිගටම අකාලයේ මිය නොයන්නේ නම් පමණි. මේ වසරේ අලි ජීවත් වූ බිම් ප්‍රමාණය සංවර්ධනය හා නොයෙකුත් මානව අවශ්‍යතා හේතුවෙන් ශීඝ්‍රයෙන් එළිකරමින් පවතින බැවින් ඊළඟ වසරේදීද මේ ආකාරයෙන්ම වන ගහණයට වඩා අලි ගහනය ඉක්ම යන බව නිසැකය. ඊළඟ වසරේ දී ද වන ගහණයේ අඩුවීමට සාපේක්ෂව තවත් ප්‍රමාණයක් ඉවත් කිරීමට සිදු වනු ඇත. අප දන්නා පරිදිම අලින්ගේ බෝවීමේ යම් අඩුවක් මේ වන විට පවතින බැවින් හා ඔවුන් අතර මරණ වැඩි බැවින් මේ ඉවත් කිරීම නිසා අලි ලංකාවෙන් වඳ වී නොයාවිද? එසේම මේ ඉවත් කිරීම නිසා සිදුවන ජාන විවිධත්වය අහිමිවීමේ ගැටලුව අලින්ගේ පැවැත්මට තර්ජනයක් නොවේද? මේ වන විට අලි ගහනය පාලනය කිරීම සඳහා නීත්‍යනුකූල දඩයම් හා ඝාතනය පාවිච්චි කරන අප්‍රිකානු රටවල අලි මිනිස් ගැටුම් නැතිද? මිනිසුන් අලි ප්‍රහාර හේතුවෙන් මියයන්නේ නැතිද?

එසේම අලියා යනු සංචාරක සත්ත්වයෙකි. දිනකට සැතපුම් ගණනාවක් දුර ඇවිද යන අලින් එය කරන්නේ හුදෙක් ආහාර සඳහා පමණක් නොවේ. උන්ගේ ජීවන චර්යාව එය බැවිනි. එසේ නම් අලි ගහනය අඩුකළ පමණින් අලින් ස්වකීය සුපුරුදු මාර්ග වෙනස් කරනු ඇතැයි සිතීම අසීරු කරුණකි. ගම්මානවලට පැමිණ, රසවත් ආහාර කෑමට හුරුව සිටින මේ සතුන් කොතෙක් විදුලිවැට ආදියෙන් සිරකර තැබුවත් එසේ පැමිණෙන බව මේ වන විට අප අත්දකින සත්‍යයයි. මෙම අලි ගහනය අඩුකිරීමේ ක්‍රියාවලිය සාර්ථක වන්නට නම් එයින් පසුවද අලි ජීවත්වන පෙදෙස් වටකළ යුතුව ඇත. අලි විකුණන මුදලින් එය කළ හැකි වුවත් ලංකාවේ ආණ්ඩුවක් අවංකව එසේ කරනු ඇතැයි වික්ටර් අයිවන් මහතා සිතන්නේද?

මෙවැනි ක්‍රියාවලියක් සිදුවිය යුත්තේ දැඩි නීතිමය රාමුවක් යටතේ බව ඔහුද පිළිගන්නවා ඇත. ලංකාවේ එවැනි විශ්වාස කටයුතු නීති පද්ධතියක් තිබේද යන්න නොඅසමි.
අනෙක් අතට මේ අදහස අනුව කටයුතු කිරීම සාර්ථක නම් පසුගිය මහින්ද රාජපක්ෂ කාලයේ සිදුකළේද එයම බැවින් එයද අනුමත කළ යුතුය. අලි රොෂාන් වැනි පුද්ගලයන් විසින් අලි පැටවුන් අල්ලාගෙන ධනවතුන්ට විකුණා දැමීම සිදුකරන ලද අතර, විහාරස්ථාන සඳහා හිතූමතයේ අලි පැටවුන් ලබාදෙන ලදි. මා දන්නා ආකාරයට ඒ කාලයේ මේ ක්‍රියාදාමය රාවයේ විවේචනයට ලක්විය. එහෙත් පුනරුදයේ අදහස හා මෙය අතර වෙනසකට ඇත්තේ නීත්‍යනුකූල නොවීම පමණකි. ක්‍රියාවලිය එකමය. විදේශයන්ට විකිණීම හැරුණු කොට රජයට යම් මුදලක් ලබාගෙන පන්සල් සහ ලාංකික ධනවතුන් සඳහා අලි පැටවුන් වනයෙන් ඇල්ලීමට අවසර දීම මේ ගැටලුවට විසඳුමක් ලෙස පුනරුදය පිළිගන්නේද? එසේම පවතින අලින්ගේ වාසභූමි ප්‍රමාණය තවදුරටත් අඩු නොවන්නේදැයි පුනරුදය විශ්වාස කරන්නේද?

මේ වන විට මොරගහකන්ද ව්‍යාපෘතිය ආශ්‍රිතව වන අලින්ගේ නිජබිම් විශාල වශයෙන් ඉවත්කරමින් පවතින අතර, මේ නිසා වන අලින් අසල ගම්මානවලට කඩාපැනීම නිසැක සිද්ධියක් වනු ඇත. අතීතයේදීත් දුරදිග නොබලා සිදුකළ මෙවැනි විනාශකාරී සංවර්ධන ව්‍යාපෘති මේ වන විට පවතින අලි ගැටුම්වලට හේතු වූ බව නොරහසකි. වෙල්ලස්සේ උක් වගාව හා මහවැලි ව්‍යාපාරය මෙයට උදාහරණය. මෙවැනි සංවර්ධන ව්‍යාපෘති නිසා අතරමං වන ජනතාව ගෙනගොස් පදිංචි කරවන්නේද අලි සිටින පෙදෙස්වලය. මා දන්නා ආකාරයට දියුණු රටවල මේ වන විට මෙවැනි මහා පරිමාණ ජලාශ ඉදිනොකරයි. ඔවුන් මේවා අසාර්ථක සහ විනාශකාරී බව හඳුනාගෙන ඇත. යමකුට හිමි නිවසට හෝ ඉඩමට ඇතුල්වන වෙනත් අයෙක් ඔහු එළවා හෝ මරාදමා එම භූමිය අත්පත් කර ගැනීම සාධාරණ නැත. වෙනසකට ඇත්තේ මෙය සිදුව ඇත්තේ අලින්ට වීමය.
වන සතුන් සම්බන්ධ ගැටලුවේදීද මා තුළ පැනනඟින්නේ මෙයට සමාන ගැටලු කිහිපයකි. යම් සතෙකු වනයෙන් පිට ගම්මානවල හැසිරෙන්නේ නම් ඌ මරා ආහාරයට ගැනීම, විකිණීම කළ යුතුය යන්න වික්ටර් අයිවන් මහතාගේ අදහසයි. එහෙත් සතෙකු මරාගත්තේ කොහෙන්දැයි තහවුරු කරන්නේ කොහොමද? කවුද? රක්ෂිතයක හෝ වනයක සිටින සතෙකු මරා දමා ගමට ගෙනා පසු එය නීත්‍යනුකූල වනු ඇත. කෑමට අවශ්‍ය විට කබර මස් තලගොයි මස් කරගන්නා ලංකාවේ මිනිසුන් හා නීතිය පිළිබඳව විශ්වාස කළ හැකිද? මෙම අවසරය ලැබීමෙන් පසුව තුවක්කු ගන්නා දඩයක්කරුවන් වනාන්තර තුළට රිංගා දඩයම් කරනු ඇත. දඩයම නීත්‍යනුකූල නොවූ මෙම කාලයේත් මේ නීති විරෝධී දඩයම් වැළැක්වීමට රජයට හෝ වගකිව යුතු ආයතනවලට හැකිවී නැත. එසේ නම් නීත්‍යනුකූල වූ කල්හි ලංකාවේ කැලෑවල සතෙක් ඉතිරි වේදැයි පුනරුදය විශ්වාස කරන්නේද? මිනිසුන් රක්ෂිත තුළ සිටින සතුන් මරා අලෙවි නොකරතැයි පුනරුදයට සහතික විය හැකිද? ලංකාවේ මිනිසුන්ගේ මස් කෑම ගැන පුනරුදයේ අදහස කුමක් වුවත් මා දන්නා පරිදි නම් දැනටත් ගම්මාන අසළ කැලෑවල තලගොයෙකුවත් ඉතිරි නොකරන මිනිස්සු ඕනෑ තරම් සිටිති. අහිංසාව කෙසේ වෙතත් පණ පිටින් හරකුන්ගේ ගාත් කපා ගන්නා, විදුලි කම්බියට පැටළුණු වවුලන්ගේ මස් කන පුද්ගලයන් පවා මම දනිමි. රිලවුන්ට හා ගංගාවල මසුන්ට කුරේටර් නමැති අධික විෂ ද්‍රව්‍යය දමා ඒ සතුන් ආහාරයට ගන්නා අය සිටිති. මෑතකදී රාජාලියෙකු හම ගසා ආහාරයට ගත් පිරිසකගේ ඡායාරූප අන්තර්ජාලයේ හුවමාරු විය. සංචාරකයන් පැමිණෙන කතරගම, දඹුල්ල, මන්නාරම මඩු ආදි ප්‍රදේශ රැසක දඩමස් ඕනෑ තරම් අදටත් ඇත. ඉල්ලුම කොතරම්ද යත් බල්ලන් පවා මරා විකුණූ බව පසුගිය කාලයේ වාර්තා විය. මේ දඩමස් ඇති බව පොලිසිය හා වනජීවි අංශ නොදන්නේද? මා දන්නා පරිදි නම් සමහර මස් සපයන්නේද මේ නිලධාරීන්මය. වනජීවී ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ විජිත් විජිතමුණි වන ආරක්ෂක නිවස්නයකට යන විට මුවමස් පිසෙමින් තිබූ බව පහුගිය කාලයේ අසන්නට ලැබුණි.

එසේම මෙම ප්‍රතිපත්තිය අනුව දැඩි ලෙස වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති ජීවීන් ආරක්ෂා කළ හැකිද? මේ වන විටත් කඳුකරයේ වරින් වර දිවියන්ගේ පහරදීම් වාර්තා වේ. එම දිවියන් මරාදැමිය යුතුයැයි පුනරුදය සිතන්නේද? එසේම තේ වතු ආශ්‍රිතව බඹර ප්‍රහාරද සුලබය. විෂ විදීමෙන් මෙවැනි බඹරුන් වඳකර දැමිය හැකිය. මෙවැනි තත්ත්වයන් පිළිබඳව පුනරුදයේ අදහස කුමක්ද?
නීතියක් නිවැරදිව ක්‍රියාත්මක වන, ප්‍රතිපත්තිගරුක පාලකයන් සහ ජනතාවක් ඇති රටක මෙවැනි ක්‍රමයක් සාර්ථක බව මම පිළිගනිමි. ලංකාව එවැනි තත්ත්වයක පවතින බව පුනරුදය විශ්වාස කරනවාද? අනෙක් අතට නිවැරදි ප්‍රතිපත්ති ඇති පාලනයක් පවතී නම් මෙවැනි ගැටලු පැන නොනගිනු ඇත. මෙවැනි පාරිසරික ගැටලු බොහෝමයකට හේතුව මිනිසාගේම වැරදි ක්‍රියාකාරකම් බව කවුරුත් පාහේ පිළිගන්නා කතාවකි. මිනිසුන්ගේ විශේෂයෙන්ම පාලකයන්ගේ වැරදිවලට සතුන් වන්දි ගෙවිය යුතුදැයි යන්න මට බරපතළ ගැටළුවකි. කාටත් සාධාරණ සමාජයක් බලාපොරොත්තු වන පිරිසක් එතැනදී යම් කිසිවෙක් අසාධාරණයට ලක් කළ යුතුද? එසේ කරන්නේ සතුන්ට නිසා අවුලක් නැතැයි සිතන්නේද?

දඩාවතේ යන බල්ලන් පිළිබඳ ගැටලුවද මෙවැනිම ප්‍රශ්නයකි. නිවෙස්වල තමුන්ගේ පුද්ගලික වුවමනාවට සතුන් ඇති කරන අය උන් බෝවන විට පාරේ හෝ පන්සලක හෝ අතහැර යාම කරති. මේ දඩාවතේ යන සතුන් වනයේ සිට පැමිණියවුන් හෝ ඉබේම බෝවූවෝ නොවෙති. කවුරුන් හෝ පාරට ගෙනැවිත් දැමූ සත්තුය. එහිදී එම සතුන් බෝවීමට ඉඩ දෙන, පාරට අතහැර දමන මිනිසුන්ගේ අත වරදක් නැතිද? මේ තරම් සුලබ සහ නොමිලේ හෝ ඉතා අඩු මුදලට ක්‍රියාත්මක වන පශු වෛද්‍ය සේවාවක් ඇති රටක තමන් ඇතිකරන සතුන් වන්ධ්‍යාකරණයට භාජන කළ නොහැක්කේ ඇයි? සතකුට වේවා අසාධාරණ වන තීන්දුවක් ගැනීමට පෙර පහසුවෙන් කළ හැකි පිළියම් කරා මිනිසුන්ගේ චින්තනය මෙහෙය වීම නොකෙරෙන්නේ ඇයිද යන්න මට ගැටලුවකි.
මේ වන විට යම් සතකු මිහිමතින් වඳ කළ යුතු බව තීරණය කරන්නේ මිනිසාය. මදුරුවන් වැනි සතුන් හමුවේ අසරණව සිටියත් වෙනත් සතුන් වඳ කිරීමේදී මිනිසා අදක්ෂයෙක් නොවේ. සියලු සතුන් හා පරිසරය නිර්මාණය කර ඇත්තේ මිනිසාගේ පරිහරණය වෙනුවෙන් පමණකි. මිනිසුන් සතුන් ආරක්ෂා කළ යුතු යැයි සිතන්නේද, සතුන් සිටිය යුතු යැයි සිතන්නේද මිනිසුන්ගේම යහපත වෙනුවෙනි. ඔවුන්ට අනුව සතුන් රැක ගත යුත්තේ අපේ අනාගත පරම්පරාවට දකින්නටය. මිනිසුන්ට බලා සතුටු වන්නටය. මිනිසුන් ස්වකීය අරමුණු වෙනුවෙන් කරන මිනිස් ඝාතනයන් හා දේපළ හානිවලින් සියයට එකක්වත් සතුන්ගෙන් සිදු නොවන බව මගේ අදහසයි.
ලංකාවේ ආහාර පරිභෝජනය පිළිබඳ අදහසද මා තුළ ගැටලු මතු කරයි. මා සිතන ආකාරයට ලංකාවේ මස් මාළු පරිභෝජනය අවම වී ඇත්තේ පින් පවු සංකල්පයකට වඩා මිල පිළිබඳ ගැටලුව නිසාය. ආගමික හේතූන් මත මස් මාළු පරිභෝජනය නොකරන අය මෙන්ම නිර්මාංශ පිළිවෙත් නිසාද මස් මාළු නොකන අය සිටින බව සැබෑවකි. එහෙත් පින් පවු ගැන සිතා මස් නොකන පිරිසට වඩා දානයට කුකුල් මස් ඉල්ලන භික්ෂුන් වැඩිය. එහෙත් ලංකාවේ මස් මාළු මිල සාමාන්‍ය මිනිසුන්ට දිනපතා ආහාරයට ගැනීමේ හැකියාවට ඔරොත්තු නොදෙන තරම් වැඩිය. රොබට් නොක්ස්ගේ එදා හෙළදිව පොතේ දක්වන පරිදි ලංකාවේ මිනිසුන් එදා සිටම දඩයමට දක්ෂයෝය. ඕනෑම මසක් බුදිති. එවැනි රටක මිනිසුන් මස් මාළු ආහාරයට ගැනීම අඩු වී ඇත්තේ වියදම් කිරීමේ නොහැකියාව නිසා බව මගේ හැඟීමයි. මස් මාළු පමණක් නොව එළවළු, පලතුරු පවා ආහාරයට ගැනීම අඩු වීමට ප්‍රධාන හේතුව එයයි. බොහෝ ලාංකිකයන් විශාල බත් තොගයක්, එක් මාළුවක් සමඟ ගිල දමන්නේ වෙනත් ආහාරයක් ගැනීමට ආර්ථික හැකියාවක් නැති බැවිනි.

මිනිසුන්ගේ බුද්ධිමය හැකියාවේ අඩුපාඩුකම්වලට පෝෂ්‍යජනක ආහාර නොගැනීම හේතුවක් බව සැබෑය. එහෙත් ඒ සමඟම ලංකාවේ ආහාර රටාව, අඩු මස් මාළු භාවිතය ලාංකික චින්තන දුගීභාවයට හේතු වේ යැයි කියන්නේ නම් මස් අධික ආහාර වේලක් ගන්නා රටවල බුද්ධිමය හැකියාව හා චින්තන හැකියාව වැඩි විය යුතුය. මුස්ලිම් සහෝදර ජනතාවට අපහාස කිරීමේ අරමුණකින් තොරව ලංකාවේ වැඩිපුර මස් පරිභෝජනය කරන ඔවුන්ගේ බුද්ධිමය හැකියාව අනෙක් ජාතීන්ට සාපේක්ෂව වැඩි විය යුතුය. එසේම මා සිතන පරිදි මේ වන විට යුරෝපීය ආහාර රටාවට දැඩි ලෙස හුරු වී ඇති ලංකාවේ ධනවත් කොටස් අතර බත් කෑම අඩුය. මිල අධික මස් මාළු බහුල චීන, ජපන්, ප්‍රංස ආහාර ගන්නා මොවුන් අනෙක් ජන කොටස්වලට වඩා බුද්ධිමය හැකියාව අතින් දියුණුවක් පෙන්වන්නේද? පසුගිය ලිපියක ලංකාවේ හා ජපානයේ ආහාරවල වෙනස ජපානයේ දියුණුවට හේතුවක් ලෙස දක්වා තිබුණි. එය සත්‍යයක් විය හැකිය. එහෙත් මා අසා ඇති පරිදි ජපානයේ යුද්ධයෙන් පසුව ඇති වූ උග්‍ර ආහාර හිඟය නිසා ඔවුන් බත් කෑම අඩු කර ඇත. සීමිත ආහාර රටාවන්ට යොමු වී ඇත. එසේම ඒ කාලයේ දැඩි නීති රීති හා දඬුවම් යටතේ ජනතාව පාලනය කරමින් ගෙන ගිය ප්‍රතිපත්ති නිසා ජපානය ශීඝ්‍ර දියුණුවක් අත්පත් කර ගත්තේය. සිංගප්පූරුව පසුගිය කාලයේ අත්කරගත් දියුණුව පිටුපස තිබුණේද දැඩි නීති රීති හා පාලන ක්‍රම යටතේ ජනතාව හුරු කිරීම බව පැවසේ. ලංකාවට වඩා බොහෝ දියුණු රටක් වුවත් ජපානයේ සිය දිවි නසා ගැනීම් නොදියුණු ලංකාව තරම්ම වැඩිය. එයට හේතුව ලෙස දක්වන්නේ අධික මානසික ආතතියයි. දියුණු චින්තනයක් ඇති රටක එසේ විය හැකිද? ජපානයේ එක්තරා සමාගමක් සිය සේවකයන් පාරේ දණගාමින් යාමට සලස්වන වීඩියෝවක් අන්තර්ජාලයේ සංසරණය විය. එවැනි ක්‍රම මඟින් ලබා ගන්නා දියුණුවක් සැබෑ දියුණුවක් ලෙස පුනරුදය සිතන්නේද?

මට සිතෙන ආකාරයට ලංකාවේ චින්තනයේ පවතින අඩුපාඩුකම්වලට ප්‍රබලතම හේතුව දැනට පවතින අධ්‍යාපන ක්‍රමයයි. මෙය නිවැරදි නොකර කොතෙක් පෝෂ්‍යජනක ආහාර කෑවත් කිසිදු ප්‍රතිඵලයක් ලැබේයයි නොසිතමි. මේ පවතින සමාජ ක්‍රමය තුළින් බිහිවී, මේ චින්තන රටාවට හුරු වූ මිනිසුන්ගේ පරම්පරාව දේශපාලනය, ආර්ථිකය, සංස්කෘතිය පාලනය කරන තුරු වෙනසක් වේ යැයි සිතිය නොහැකිය. ලංකාවේ සියලු ක්ෂේත්‍රවල බුද්ධිමය පරාසය හසුරුවන්නේ මේ අය විසින් නිසා ඔවුන්ට බත් අඩු පෝෂ්‍යජනක ආහාරවේලක් ජනතා වියදමින් ලබා දුන්නත් වරදක් නැත.
වික්ටර් අයිවන් මහතා දක්වා ඇති පරිදි ඔහු 1971 ජ.වි.පෙ. සමඟ එක්ව කැරැල්ලට සම්බන්ධ වූ කාලයේ ඔහු බත් බහුල ආහාර වේලක් ලබාගත් නිසා ඔහුගේ චින්තනය පහළ මට්ටමක තිබී ඇතැයි ද, සිරගෙදරදී අඩු ආහාර වේලකට හුරු වූ බැවින් ඔහුගේ බුද්ධිය තියුණු වී දැන් සිටින තැනට පැමිණ ඇතැයිද යන්න මට සිතෙන්නේ ඔහුට අපහාසයක් කිරීමේ අදහසින් නම් නොවේ. වරෙක මේ තර්කය සැබෑවක් බව සිතෙන්නේ සුළු වරදක් කර බන්ධනාගාරගත වන මිනිසුන් එළියට එන්නේ ලොකු ගේම්කාරයන් වී නිසාය.

මාගේ අරමුණ පුනරුදය හරහා ඇති කිරීමට තැත් කරන චින්තන විප්ලවය නොපිළිගැනීම නොවේ. මේ පිළිබඳව ලිපි කියැවීමේදී මා තුළ හටගත් ගැටලු මතුකරනවා පමණකි. ඕනෑම විප්ලවයකට පෙර පවතින තත්ත්වයට වඩා විප්ලවයෙන් පසුව ඇතිවන තත්ත්වය පිළිබඳ තක්සේරුවක් තිබීම යහපත් බව මගේ අදහසයි. නැතිනම් විප්ලවයෙන් පසුව උදාවන තත්ත්වයට වඩා තිබුණු තත්ත්වය හොඳයැයි සිතෙන්නට බැරි නැති බැවිනි. එවැනි විප්ලව ලංකාවේ ඕනෑ තරම් මා දැක ඇති බැවිනි.■