රාවය

නව්‍යකරණයේ දිශාව

නව්‍යකරණයේ දිශාව

ඒ. වික්‍රමසූරිය

නව ක්‍රීඩා සංස් කෘතියක් ගොඩනැඟි මෙහිලා විශාල මෙහෙයක් කළ යුතුව ඇත. එය ක්‍රීඩා ඇමතිවරයකුට තනිව කළ හැකි නොවේ. ඊට ක්‍රීඩාවට ඇඳුණු සැමගේ සහයෝගය අවැසිය. එහෙත් වත්මනෙහි සිදු වන්නේ ඇමති ප්‍රමුඛ සංවර්ධන ගමනකි. එය හුදු කතාවට එහා නොයන වැඩක් වී ඇත. මන්ද ඇමතිවරුන්ට කියන්නට හැකි මුත් කරන්නට ඊට වඩා විශාල මෙහෙයුමක් අවැසි බැවිනි.
හැත්තෑවේ දශකයෙන් ඇරඹී සුසන්තිකා දර්ශා යුගයෙන් අහවරවූ මලල ක්‍රීඩාව මෙරට ක්‍රීඩාව සිටින තැන පෙන්වන ප්‍රධානතම නිර්ණායකය වේ. ක්‍රීඩාවේ දරිද්‍රතාව මනින ඒකකය මලල ක්‍රීඩාව බවට පත්වී ඇත. වත්මන් මලල ක්‍රීඩා පරිපාලකයන් පරිපාලනය බාර ගත්තේ අරුම පුදුම සැලසුමක් තමන් සතු බවත් බලයට ආ පසු එය එළිදක්වන බවත් කියමිනි. අද බලයේ සිටින මුත් සැලැස්මක් ගැන සඳහනක් නොපවතී. අද බල්ලාගේ වැඬේ බුරුවා කරන්නා සේ ක්‍රීඩා අමාත්‍යාංශය දොඩං ගොඩ බදාගත්තා සේ සියලු සංගම්ද බදාගෙන ඇත. සංගම් කළ යුතුදේද ක්‍රීඩා අමාත්‍යාංශය කරමින් සිටියි.
ක්‍රීඩා ඇමතිවරුන් ලෙස වී.ඒ සුගතදාස, කේ.බී රත්නායක, නන්ද මැතිව්ගෙන් පසු කතාබහට ලක් වූයේ එස්.බී දිසානායකය. එතැනින් පසු ආ අය එස්.බී. අබිබවා යන්නට සිහින දැක්කා මිස වෙන යමක් නොවීය. එස්.බී යුගය සෑහෙන කතාවට ලක්වන මුත් අපගේ අදහස මේ විකාර ක්‍රීඩා ක්‍රමය ආරම්භ කළේ එස්.බී. බවය. එස්.බී.ගේ කාලයේ තරම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් බේදබින්න වූ කාලයක් නොවීය. ගුරු ගෝල යාලු මිත්‍ර සැවෝම ක්‍රීඩිකාවන් අඹුවන් ලෙස පාවිච්චි කළ යුගයක්ද තවත් නොවීය. මේ නිසාම ක්‍රීඩා ඇමති වෙනුවට තව අයද ඇමති පාට් එකෙන්ම ජීවත් වූහ. මේ නරක ආදර්ශයත් සමඟ ක්‍රීඩා ගමන අයාලේම යන්නක් විය. එස්.බී. වල්මත් කළ ක්‍රීඩා සංස්කෘතිය ඉන්පසු මාවතකට ගෙන ඒම දැඩි සේ අපහසු වී ඇත. ඉන්පසු ආ සියලු ක්‍රීඩා ඇමතිවරුන් කළේ බොරු කයිවාරු ගැසීමය. ඉන් බහුතරයක් ක්‍රිකට් ඇමතිවරු වූහ. ඉන් අමතරව එන එන ඇමති තමන්ට උචිත වැඩපිළිවෙළක් පටන්ගෙන එය පුම්බ පුම්බා තමන්ම ඉදිමුණේය.
වත්මනෙහි අසන්නට ලැබෙන්නේද එම තත්ත්වයේම දිගුවකි. පස් අවුරුදු නව්‍යකරණ ව්‍යාපෘතියද එවැනි මගඩියක්මය. 2013 වසරේ සිට 2017 දක්වා අලුත්ගමගේද මෙවැනි ප්‍රෝඩා වැඩසටහනක් ආරම්භ කළේය. එවා නිසි ලෙස ක්‍රියාත්මක වී නම් දැන් එහි ප්‍රතිඵල තිබිය යුතුය. මෙම වැඩසටහන්වල කියන කාරණා දෙස බලද්දී ඇති වන්නේ ජුගුප්සාවකි.
දක්ෂතා සපිරි ශ්‍රී ලංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විධිමත් පුහුණුවක් ලබාදී ජාත්‍යන්තර තරග සඳහා යොමු කිරීම, විදේශීය පුහුණුකරුවන්ගෙන් දේශීය පුහුණුකරුවන්ට විiාත්මක පුහුණුවක් ලබාදීමට කටයුතු කිරීම. මේවා හැත්තෑවේ දශකයේ සිට මේ දක්වා නොකළ දෑද? බොරු නම් දමමින් මේ කරනුයේ නියතව කළ යුතු දෑ සංදර්ශන පවත්වමින් කිරීම නොවේද? මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විධිමත් පුහුණුවක් ලබා දීම පස් වසරක සැලැස්මකට කළ යුතු වැඩක්ද? මීට පෙර ඇමතිවරයා දියත් කළ පස් වසරක සැලැස්මේ එලෙස මතු වූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ කවුද? පුහුණුකරුවන්ට විදෙස් පුහුණුකරුවන් ලවා පුහුණුව ලබාදීම මැජික් එකක්ද? පාර්ලිමේන්තුවේ අතිබහුතර පිරිස ක්‍රීඩාව ගැන සවිඥානක නැත. ඒ අය තරග ජයගැනීමත් පරාජය වීමත් ඇරුණු කොට ඉන් එහා ක්‍රීඩාව ගැන කතා නොකරති. එබැවින් සැලැස්මක් කී සැණින් අත ඔසවති. ඉතිහාසය පුරාම මෙවැනි සැලසුම් සකස් කළේය. එහෙත් ඒවායෙන් අත්වූ ප්‍රතිඵලයක් නොවීය. අභාග්‍යය එයය.
කෙසේ වෙතත් මෙම නව්‍යකරණ ව්‍යාපෘතියට රුපියල් මිලියන 309කට වැඩි මුදලක් වෙන් කර ඇත. මෙය 2018 සිට 2022 දක්වා ක්‍රියාත්මකය. යම් විදිහකට තව වසරකින් ඇමති මාරු වුවහොත් ඊළඟට එන ඇමතිවරයා නැවත පස් අවුරුදු සැලැස්මක් එතැන් සිට හදනු ඇත. අපට සැමදා මෙවැනි විජ්ජා දැක ගනිමින් සිටිය හැකිය.
දකුණු ආසියානු ක්‍රීඩා උළෙල, ආසියානු ක්‍රීඩා උළෙල, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල, ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා මේ සූදානමය. පස් වසරක ඉලක්කය ගමන් කරනුයේ ඒ දෙසටය. එය අද වන විට අපහසු වී ඇත්තේ අප අවුරුදු පහකින් ගොඩනගත හැකි ක්‍රීඩා සම්පත් ඇත්ද යන ප්‍රශ්නය හේතුවෙනි. අනෙක් අතට අකිල විරාජ් අධ්‍යාපන ඇමතිවරයා ක්‍රීඩාව වෙනම නඟා සිටුවීමේ පිඹුරු සකසන බව කටමැත දොඩවයි. හැමෝම හුදකලා අරගලවලය.
නව්‍යකරණ වැඩසටහන යටතේ පුහුණු සංචිත නඩත්තුවට රුපියල් මිලියන 80ක මුදලක් වෙන් කොට ඇත. මේ පස් වසරටය. පුහුණුකරුවන්ගේ සේවය ලබා ගැනීමට රුපියල් මිලියන 70කි. වැඩසටහන්වලට අදාළ අවබෝධතා ගිවිසුම් සඳහා රුපියල් මිලියන 35ක්ද වෙන්කොට ඇත. පුහුණු වැඩසටහන් සහ පුහුණු වැඩමුළු සඳහා රුපියල් මිලියන 30ක් වෙන්කොට ඇත.
මෙහි ඇති අපූර්වත්වය නම් යෝගා සහතික පත්‍ර පාඨමාලාවට රුපියල් මිලියන 17.50ක මුදලක් වෙන් කිරීමය. පාසල් ළමුන්ගේ පුහුණු සංවර්ධනයට රුපියල් මිලියන 4.50ක මුදලක් වෙන් කරන අමාත්‍යාංශය ක්‍රීඩාවේ තිඹිරිගෙය නඟා සිටුවන්නට ගන්නේ ළාමක උත්සාහයකි. එහෙත් යෝගා දියුණු කරන්නට පුදුම වෙහෙසක් ගනී. පාර්ලිමේන්තුවෙන් වෙන්වෙන මුදල්වලට විවිධ වැඩසටහන් සකස් කර ඇත. රුපියල් මිලියන 9.40ක්ද ශාරීරීක යෝග්‍යතා උපදේශක සහතික පත්‍ර පාඨමාලාවට රුපියල් මිලියන 6.60ක් ද ක්‍රීඩා විiා සහතික පත්‍ර පාඨමාලාවට රුපියල් මිලියන 6.70ක්ද ක්‍රීඩා ආබාධ කළමනාකරණ සහතික පත්‍ර පාඨමාලාවට රුපියල් මිලියන 4.50ක්ද ක්‍රීඩා මාධ්‍යවේදී සහතිකපත්‍ර පාඨමාලාවට රුපියල් මිලියන 4.42ක්ද වෙන්කොට ඇත. පුහුණුකරුවන් ලියාපදිංචි කිරීම සහ පරිගණකගත කිරීමට රුපියල් මිලියන 2.70ක මුදලක්ද වෙන්කොට ඇත.
නව සැලැස්මට අනුව මුදල් වෙන් කිරීමේ වැඩ සටහන් එමට ඇතත් මේ හරහා ලැබෙන ප්‍රතිලාභ ගැන ලොකු විශ්වාසයක් තැබිය නොහැක්කේ මෙවැනි ව්‍යාපෘති අද ඊයේ නොව වසර ගණනාවක සිට ක්‍රියාත්මක වූ බැවිනි.
හැම ඇමතිවරයෙක්ම ඔහුගේ පැවැත්මට වැඩ සටහන් අටවා ගන්නවා මිසක ක්‍රීඩාවට ඉන් සැබෑ අරුතක් වනවාද යන්න සලකා නොබලති. දයාසිරි ඇමතිවරයාගේ වැඩසටහන ආරම්භයේ මෙවැනි දෑ කීවේ පැරණි වැඩසටහන්වලින් ඔහු වෙනස් විය යුතු බැවිනි. එය කල් තබා කීම නුවණට හුරු බැවිනි. දෙවසරක් ගෙවුණ තැන අගමැති කියනුයේ රාජපක්‍ෂලාගේ ණය ගෙවන බවත් එය තව අවුරුදු ගාණකට ගෙවන්නට ඇති බවත්ය. එය සෙසු අමාත්‍යාංශවල ක්‍රියාකාරිත් වයට බලපානුයේ කෙසේද? ඔවුන්ට වෙන්වන මුදලට සාධාරණයක් වේද? ක්‍රීඩා අමාත්‍යාංශය කාගේ නම් ණය ගෙවන්නද?■