රාවය

පියසිරි එළවීමේ විමල්ගේ තැත පරදී

තරිඳු උඩුවරගෙදර

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ වංචා දූෂණ, අදහස් දැක්වීම් සහ හැසිරීම සම්බන්ධයෙන් පක්ෂය අභ්‍යන්තරයේ විරෝධය පළ කළ පක්ෂයේ ජාතික සංවිධායක පියසිරි විජේනායක එම තනතුරෙන් ඉවත් කිරීමට ගත් උත්සාහයක් පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජිකයන්ගේ විරෝධය නිසා ව්‍යර්ථ වී තිබේ.

පසුගිය 25 වැනිදා මාධ්‍ය සාකච්ඡාවකදී පියසිරි විජේනායක මහතා විසින් පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීම සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතා සිදුකළ ප්‍රකාශයක් විවේචනය කර තිබුණි. ඒ සම්බන්ධයෙන් පසුගිය 26 වැනිදා රැස්ව ඇති ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය සාකච්ඡා කර ඇති අතර එම අවස්ථාවේදී විමල් වීරවංශ මහතාට හිතවත් කණ්ඩායම විසින් පියසිරි විජේනායක මහතා ජාතික සංවිධායක තනතුරෙන් ඉවත් කිරීමට යෝජනා කර ඇත.

එම රැස්වීමට පක්ෂයේ ලේකම් ප්‍රියන්ජිත් විතාරණ මහතා පැමිණ නොමැති අතර එම සාකච්ඡාවේදී ලේකම්රයාට දුරකතනයෙන් දැනුම් දී ඇත්තේ පියසිරි විජේනායක මහතා ඉවත් කරන බව මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම් දෙන ලෙසයි.
කෙසේ වෙතත් ප්‍රියන්ජිත් විතාරණ මහතා සහ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් පිරිසක් පියසිරි විජේනායක මහතා ඉවත් කිරීමට විරුද්ධ වී ඇති අතර පක්ෂ ලේකම් ප්‍රියන්ජිත් විතාරණ විසින් මැතිවරණ කොමිසමට ලිඛිත දැනුම්දීම කිරීමට විරෝධය පළකර ඇත.
කෙසේ වෙතත් මේ පිළිබඳව කළ විමසීමකදී ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික අනුරුද්ධ බණ්ඩාර පැවසුවේ පක්ෂයේ දේශපාලන මණ්ඩලය ඔක්තෝබර් 26 වැනිදා කිසිදු නිල සාකච්ඡාවක් නොපැවැත්වූ බවයි. එදින පක්ෂයේ ප්‍රාදේශීය අපේක්ෂකයන් රැස්වූ බවත් දේශපාලන මණ්ඩල සභිකයන් පිරිසක්ද පැමිණ සිටි බවත් සාමාන්‍ය සාකච්ඡාවක් පමණක් පැවති බවත් ඔහු පැවසීය.
කෙසේ වෙතත් අප සමඟ අදහස් දැක්වූ සභිකයෝ ඔක්තෝබර් 26 වැනිදා දේශපාලන මණ්ඩල රැස්වීමක් පැවති බව තහවුරු කළෝය.
විමල් වීරවංශ මහතාට එල්ල වී ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් කලෙක පටන් පක්ෂය අභ්‍යන්තරයේ පියසිරි විජේනායක මහතා ඇතුළු පිරිසක් විරෝධය දක්වා ඇත. මේ වනවිට පක්ෂය අභ්‍යන්තරයේ මෙම චෝදනා නිසා පුළුල් බෙදීමක් හටගෙන තිබෙන අතර ඉදිරියේදී විමල් වීරවංශ මහතාට එරෙහිව ඔවුන් ප්‍රසිද්ධියේ අදහස් දැක්වීමට බලාපොරොත්තු වන බව වාර්තා වේ.■