රාවය

තමන් කවුදැයි පෙන්වමින් සිටින ජනපතිවරයා

තමන් කවුදැයි පෙන්වමින් සිටින ජනපතිවරයා

ලසන්ත රුහුණගේ

යහපාලන පොරොන්දු දී බලයට පැමිණි පුද්ගලයාද, නැතහොත් තමා ඇත්තටම කවුදැයි යන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නැවත වරක් ඔප්පු කර ඇත. ඒ නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා මාස දෙකකුත් දින තුනක කාලයකින් එම ධුරයෙන් විශ්‍රාම ගැන්වීමත් සමඟය. මෙය ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ අඩුම කාලයකින් ගෙදර යැවූ නාවික හමුදාපතිවරයාට හිමි වාර්තාවට හිමිකම් කියන්නකි. එමෙන්ම යුද, ගුවන් හා නාවික යන ත්‍රිවිධ හමුදා ඉතිහාසයේම අඩුම කාලයකින් ගෙදර යැවූ හමුදාපතිවරයාව හිමි වාර්තාවටද හිමිකම් කියන්නකි.
අප මීට පෙර පෙන්වා දුන් පරිදි පසුගිය කාලය පුරා ධුර දැරූ යුද හා නාවික හමුදාපතිවරුන් සියල්ලන්ම වාගේ එම ධුරයන්ට පත්වී ඇත්තේ ඔවුන්ට වයස අවුරුදු පනස්පහ සැපිරීමට ආසන්න අවස්ථාවලදී වන අතර ඔවුන් සේවා දිගුවක් ලබමින් එම ධුරවල වසරක් හෝ ඊට වැඩි කාලයක් ගතකර ඇත.

ඒ අනුව හිටපු නාවික හමුදාපතිවරුන් වන රවීන්ද්‍ර විජේගුණරත්න, ජයන්ත පෙරේරා, ජයනාත් කොළඹගේ, සෝමතිලක දිසානායක, තිසර සමරසිංහ, වසන්ත කරන්නාගොඩ හා දයා සඳගිරි යන දෙදාහ දශකය ආරම්භය දක්වාම දිවෙන නාවික හමුදාපතිවරුන් එම ධුර දරා ඇත්තේ ඔවුන්ගේ වයස අවුරුදු පනස්පහ සැපිරීමෙන් පසු සේවා දීර්ඝ ලබමින්ය.
ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසය ගත් කලද එහි වෙනසක් නැත. හිටපු යුද හමුදාපතිවරුන් වන ක්‍රිෂාන්ත ද සිල්වා, දයා රත්නායක, සරත් ෆොන්සේකා, ශාන්ත කෝට්ටේගොඩ හා ලයනල් බලගල්ල යන යුද හමුදාපතිවරුන් එම ධුර දරා ඇත්තේ ඔවුන්ගේ වයස අවුරුදු පනස් පහ සැපිරීමෙන් පසු සේවා දීර්ඝ ලබමින්ය.

මේ යුද හා නාවික හමුදාපතිවරුන් අතරිනුත් යුද හෝ නාවික හමුදාපති ධුරය දැරීමට පෙර වයස අවුරුදු පනස්පහ සැපිරූ අයද සිටියහ. ඒ යුද හමුදාපතිවරුන් වූ ලයනල් බලගල්ල දයා රත්නායක හා නාවික හමුදාපතිවරයෙකු වූ ජයන්ත පෙරේරාය. මේ අතරින් ලයනල් බලගල්ලට හා ජයන්ත පෙරේරාට ඔවුන් යුද හා නාවික හමුදාපති ධුර දැරීමට පෙරම සේවා දිගු ලැබී තිබුණු අතර දයා රත්නායක තානාපති සේවයට අනුයුක්ත කර සිටියදී ගෙන්වා හමුදාපති ධුරයට පත් කරනු ලැබීය.
යුද හෝ නාවික හමුදාවේ අවශ්‍යතාව මත හෝ පෞද්ගලික හිතවත්කම් මත යුද හමුදාපති ධුරය ලැබීමට පෙර හෝ නාවික හමුදාපති ධුරය ලැබීමට පෙර එම අයට එම සේවා දිගු ලැබී තිබුණු අතර එම අවස්ථාවන් අපට කියාපාන්නේ වසර අවුරුදු පනස් පහ සැපිරීමෙන් පසුත් එම ධුරයන්ට පුද්ගලයන් පත් කර ඇති බවය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා විසින් වාර්තාගත මාස දෙකකුත් දින තුනක කාලයකින් ගෙදර යැවූ හිටපු නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා පිළිබඳ කතිකාවේදී යහපාලන පොරොන්දු වෙනුවෙන් පෙනී සිටින සමහර අය ජනාධිපතිවරයාගේ එම තීරණය සාධාරණීයකරණය සඳහා පවසන්නේ අනෙක් අයට සාධාරණය ඉටුකිරීම සඳහා එවැනි පියවරක් ගන්නට ඇති බවට වන මතවාදයය.

සාමාන්‍යයෙන් අප දන්නා කරුණ වන්නේ යුද හෝ නාවික හමුදාපති ධුර පමණක් නොව ඕනෑම නායකත්ව ධුරයක් යමෙකුට ලබා දෙන්නේ එහි ස්ථාවරව සිටිමින් සාධනීය යමක් කිරීමට බවය. මරණාධාර සමිතියක හෝ නායකත්වයට පත්වන්නන්ගේ ධුර කාලය අවමය වසරක් හෝ වන්නේ ඒ නිසාය.

ඒ ආකාරයේ අවම ධුර කාලයකට හෝ පෙර කාට හෝ පවතින බලයක් මත යමෙකු එම ධුරයෙන් ගෙදර යවනවා නම් ඒ සඳහා හේතු දෙකක් බලපෑ හැකිය. එකක් එම ධුරයට නොගැළපෙන කල් ක්‍රියාව හෝ විෂමාචාරයය. අනෙක එම ධුරයට පත් කිරීමට හෝ ඉවත් කිරීමට බලය ඇත්තාට එම ධුරධාරියා සම්බන්ධයෙන් ඇති කුමක් හෝ නොකැමැත්තය.
මෙහිදී මෙම කරුණු දෙකෙන් පළමු වැන්නකු හෙවත් හිටපු නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියාගේ කල් ක්‍රියාව පිළිබඳ හෝ විෂමාචාර පිළිබඳ ප්‍රශ්නයක් පැන නැගී ඇති බව රටට නම් වාර්තා වී නැත. එහෙත් දෙවන කරුණ වන ඔහු පත්කිරීමේ හා ඉවත් කිරීමේ බලධාරියා වන සේනාධිනායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නොකැමැත්තට ඔහු භාජනය වී ඇති බව නම් අපට සිතා ගත හැකිය. ඒ කප්පම් ලබා ගැනීම පිණිස අහිංසක සිවිල් වැසියන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් නාවික හමුදාවේ නිලධාරීන් සම්බන්ධයෙන් වූ පරීක්‍ෂණ සඳහා ඔහු සහාය ලබාදීම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ පුත් යෝෂිත රාජපක්‍ෂ සම්බන්ධයෙන් නාවික හමුදා විනය පරීක්‍ෂණ ආරම්භ කර තිබීම හා පන්සල්වල ආවතේව කිරීම සඳහා යොදවා සිටි නාවික හමුදා සාමාජිකයන් නැවත කඳවුරු වෙත ගෙන්වා ගැනීම ආදියය.

ජනාධිපතිවරයාගේ මෙම නොකැමැත්තේ අනිත් තේරුම වන්නේ ඔහු අපරාධකරුවන් ආරක්‍ෂා කිරීමට කැමති බවය. ඔහු විනයගරුක නාවික හමුදාවකට කැමති නැති බවය. ඔහු නාවික හමුදාව ඔවුන්ට හිමි නැති කටයුතුවල යෙදනවාට කැමති බවය.
එසේම අප මෙතෙක් සාකච්ඡා කළ වයස අවුරුදු පනස්පහ පිරීමෙන් පසුත් හමුදාපති ධුර කාලය දැරීමේ අතීත ක්‍රියාකාරකම් වර්තමාන යහපාලනයට අදාළ නැති බව ජනාධිපතිවරයාගේ තීන්දුව සාධාරණීකරණය කරන මතවාදය හා සැසඳූ කල ලැබෙන තොරතුරු මෙසේය.

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට වයස අවුරුදු පනස්පහ සැපිරුණේ 2017 පෙබරවාරි 22 දිනදීය. ඔහු ජනාධිපතිවරයාගෙන් වසරක සේවා දිගුවක් ඉල්ලා තිබූ අතර හම්බන්තොට වරාය පරිශ්‍රයේදී මාධ්‍යවේදියෙකුට පහරදීම සම්බන්ධ කල්ක්‍රියාව සම්බන්ධයෙන් ඔහුට එරෙහිව දැඩි විරෝධයක් තිබියදීත් ජනාධිපතිවරයා කළේ ඒ සියල්ලම නොතකා ඔහුට මාස හයක සේවා දිගුවක් ලබාදීමය. තවදුරටත් ඔහු සේවා දිගුවක් ඉල්ලා සිටි අතර එය වැළකී ගියේද නැගුණු විරෝධයන් හමුවේය. ඔහුට තවදුරටත් සේවා දිගුවක් ලැබුණේ නම් ට්‍රැවිස් සින්නයියාට මෙන්ම නව නාවික හමුදාපති සිරිමෙවන් රණසිංහටද වයස අවුරුදු පනස්පහ සැපිරීම හේතුවෙන් ගෙදර යන්නට සිදුවන්නේ නාවික හමුදාපති ධුරය පෙනි පෙනී තිබියදීය.

වත්මන් යුද හමුදාපති මහේෂ් සේනානායකටද වයස අවුරුදු පනස් පහ පිරුණේ 2017 අගෝස්තු 18 දිනදීය. ඔහුට තවත් වසරක කාලයක සේවා දිගුවක් ජනාධිපතිවරයා ලබාදී තිබේ. නව නාවික හමුදාපති සිරිමෙවන් රණසිංහට වයස අවුරුදු පනස් පහ සැපිරෙන්නේ 2017 නොවැම්බර් 19 වැනිදාටය. ඒ අනුව ඔහුට සේවා දිගුවක් නොමැතිව එම ධුරයේ කටයුතු කරන්නට හැකිවන්නේ මාසයකටත් වඩා අඩු කාලයක්ය. දැන්ම කැට තියා කිව හැක්කේ යුද හමුදාපති මහේෂ් සේනානායකට මෙන්ම නාවික හමුදාපති සිරිමෙවන් රණසිංහටද ජනාධිපතිවරයා එළඹෙන නොවැම්බර් 19න් පසු සේවා දිගුවක් ලබාදෙනු ඇති බවය.
ඒ අනුව පෙනෙන්නේ යහපාලනය යටතේ ත්‍රිවිධ හමුදාපතිවරුන්ට සේවා දිගු ලබාදී ඇති බව හා ඒ සම්බන්ධයෙන් මීට පෙර අනුගමනය කළාට වඩා වෙනස් ප්‍රතිපත්තියක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාද අනුගමනය කර නැති බවය. වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කළා නම් එසේ අනුගමනය කර ඇත්තේ ට්‍රැවිස් සින්නයියා නම් වූ නාවික හමුදාපතිවරයා සම්බන්ධයෙන් පමණක් බවය.

එහිදී අපගේ සිහියට නැගෙන්නේ අවියත් මග (වියතුන් වෙනස් අදහස් දරන්නන් ද්‍රෝහීන් ලෙස නම් කර ඝාතනය කරන්නේ නැත. එසේ කරන්නේ පැසිස්ට් ග්‍රෝතිකයන්ය) ගම්පහ රැස්වීමේදී හිටපු යුද හමුදා නිළධාරියෙකු වූ කමල් ගුණරත්න ඇසූ සිංහලයන්ට නැති දෙමලුන්ට ඇති ප්‍රශ්නය කුමක්ද යන ජනප්‍රිය ප්‍රශ්නයය. එහිදී ඔහු රජයේ ඉහළ තනතුරුවලට පැමිණි දෙමළ ජාතිකයන් පිරිසකගේ නම් ඔහුගේ ප්‍රශ්නය සාධාරණීකරණය සඳහා පැවසූ අතර ඉන් එක් නමක් වූයේ ඒ වන විට නාවික හමුදාපති ධුරය දැරූ ට්‍රැවිස් සින්නයියාය.
දැන් අපිට කමල් ගුණරත්ගෙන් මෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් අසන්නට ඇත්තේ අන් අයට නොමැති ආකාරයට දෙමළ ජාතික එහෙව් ට්‍රැවිස් සින්නයියාට මාස දෙකක ධුර කාලයකින් ගෙදර යන්නට සිදුවූයේ ඇයිද යන්නය.■