රාවය

අයාලේ යන බල්ලන්ට කුමක් කරමුද?

අයාලේ යන බල්ලන්ට  කුමක් කරමුද?

නිමල් අබේසිංහ

බලපිටිය ජාතික පාසලට ඇතුළු වූ අයාලේ යන බල්ලකු එම පාසලේ දරුවන් පස් දෙනකු සපා කා ඇති බවට පුවතක් 2017 ඔක්තෝබර් 11 වැනිදා දිනමිණ පත්‍රය පළ කොට තිබුණි. දෙක වසරේ සිට පහ වසර දක්වා පන්තිවල සිසුන් මෙම සපා කෑමට ලක් වී ඇත. අයාලේ යන බල්ලන්ගෙන් ජල භීතිකාව වැළඳීම සුලබ කරුණක් වුවත් මේ බල්ලා ජලභීතිකාව රෝගයෙන් පෙළෙන්නේද යන්න වැඩි සඳහනක් එම පුවතේ නොවීය.
මෙලෙස දඩාවතේ යන සුනඛයන් නිසා වන අයහපත විශාල වුවත් රජයක් විදියට ඊට එරෙහිව ගෙන ඇති පියවර මෙතෙක් පැහැදිලි වී නැත.
කෙසේ වුවත් මෙවැනි සිද්ධීන් එනම් සුනඛයන් සපාකෑම්වලට බඳුන්වන පිරිස දිගින් දිගටම සංඛ්‍යාත්මකව වැඩෙන බවට තොරතුරු ඇත. එම තොරතුරු ලැබෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛනවලිනි.
එම තොරතුරු අනුව වර්ෂ 2013 සිට 2015 දක්වා වසර තුනක කාලය තුළ සුනඛයන්ගේ සපාකෑමට ලක් වූ පිරිස්වල සංඛ්‍යා ලේඛන මෙලෙසය.
වසර 2015 දී සුනඛයන් සපාකෑමට ලක්ව රජයේ රෝහල්ගත වූවන්ගේ සංඛ්‍යාව 81,081 කි. මෙයින් 47,207ක් පිරිමි වන අතර කාන්තාවන්ගේ සංඛ්‍යාව 33,874කි. ජලභිතිකා රෝගය වැළඳුණ සංඛ්‍යාව 141ක් වන අතර මින් 91ක් පිරිමි වන අතර කාන්තාවන්ගේ ප්‍රමාණය 50කි. මිය ගිය ගණන 24කි.
මෙම කාර්යාංශයේ සංඛ්‍යා ලේඛන අනුව 2014 දී සුනඛයන්ගේ සපා කෑමට ලක්වූ පිරිස 75,186කි. ඉන් 43,830ක් පිරිමි වන අතර ස්ත්‍රීන්ගේ ගණන 31,356කි. 2013 දී සමස්ත ගණන 72,152ක් වන අතර එයින් පිරිමින්ගේ ගණන 41,705කි. 30,447ක් කාන්තාවෝය.
ඉහත සංඛ්‍යාලේඛන දෙස බලන විට සුනඛයන්ගේ සපාකෑම්වලට බඳුන්වන පිරිස වසරින් වසර ඉහළ නඟින බව පැහැදිලිවම පෙනෙයි. එයද දහස් ගණනින්ය. මේ අනුව 2013 වසරට වඩා 2014 වසරේදී සුනඛයන්ගේ සපාකෑම් 3,034 කින් වැඩිය. 2015 වසරේදී 2014 වසරට වඩා එකී වැඩි වීම 5,995කි. ඒ අනුව 2015 දී දෙගුණයකට ආසන්න සංඛ්‍යාවකට වර්ධනය වී ඇති බව පෙනෙයි.
අනෙක් විශේෂිත කරුණ වනුයේ මෙම සංඛ්‍යාලේඛනවල අඩංගු වන්නේ රෝහල්ගතව ප්‍රතිකාර ලැබුවන් පමණක් වීමය. රෝහලෙහි බාහිර ප්‍රතිකාර අංශවලින්, පෞද්ගලික අංශයෙන් ප්‍රතිකාර ලැබුවන්ගේ සංඛ්‍යාව මේ සංඛ්‍යා ලේඛනවල අන්තර්ගතව නැත. එසේම ගෙදර දොරේදී ප්‍රතිකාර ලැබුවන්ගේ ගණන් මිනුම් ද මෙහි ඇතුළත්ව නැත. ඒ අනුව කල්පනා කළහොත් රටේ සමස්ත සුනඛ සපාකෑම්වල ගණන මෙයට වඩා දෙගුණයක් විය හැකිය.
ජලභීතිකා රෝගය වැළඳී මියගියවුන්ගේ සංඛ්‍යා ලේඛන සටහන් වන්නේ මෙපරිදිය.
2015 දී මියගිය ගණන 24කි. 2014 දී 19කි. 2103දී 28 කි. ඊට පෙර වසරවලදී එනම් 2012දී 41ක්, 2011දී 49ක්, 2010දී 4ක්, 2009දී 58ක් වශයෙන් ජලභීතිකා රෝගයෙන් මියගොස් ඇත. මේ අනුව ජලභීතිකා රෝගය වැළඳී මිය යන සංඛ්‍යාවේ වෙනසක් එනම් අඩුවීමක් සිදු වුවද සුනඛ සපාකෑම්වල සංඛ්‍යාව විමසන විට පැහැදිලි වර්ධනයක් පෙන්නුම් කරයි.
සුනඛ සපා කෑම්වලට ලක්ව රෝහල්ගත ප්‍රතිකාර ලැබුවන් හා රෝහල්වල බාහිර ප්‍රතිකාර අංශවලින් ප්‍රතිකාර ලැබුවන් වෙනුවෙන් අතිවිශාල ධනස්කන්ධයක් වැය කරන බව අවිවාදිතය. සැබැවින්ම මෙය වළකාගත හැකි විසඳුමක් නොවන්නේද? අයාලේ යන සුනඛයන් පාලනය කිරීම හෝ විනාශ කිරීම මඟින් එය නවතාගත නොහැකිද?
සුනඛයන් සම්බන්ධ නීති රීති මෙරට පනවා තිබෙන්නේ යටත්විජිත සමයේ සිටය. ඒ සඳහා උදාහරණය වර්ෂ 1894 අංක 13 දරන ජලභීතිකා රෝගය පිළිබඳ ආඥා පනතය. මෙම පනත 1941දී සහ 1957දී සංශෝධනයන් සිදුකර අදටත් බලාත්මකය.
පනත ප්‍රකාරව පොලිසියට, නගර සභාවට, සුළු නගර සභාවලට, දිසාපතිවරුන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට බලය පැවරේ. එහි හතර වන වගන්තිය වන්නේ ‘ස්වකීය බල ප්‍රදේශය ඇතුළත සිටින සියලුම දඩාවතේ යන බල්ලන් අල්ලා දීමට සෑම ප්‍රාදේශික බලධරයකු විසින්ම විධිවිධාන සැලැස්විය යුතුය.”
පැරණි නීතියේ තිබූ සුනඛයන් මරා දැමීම මේ වන විට නතර කර ඇතත් අයාලේ යවන ලද සුනඛයාගේ හිමිකරුවන්ට දඬුවම් පැමිණවීමට තවමත් ඉඩකඩ තිබේ. එපමණක් ද නොව කිසියම් පුද්ගලයකු බල්ලකු විසින් සපා කෑවහොත් එම බල්ලා මරාදැමීමට වුව එම පුද්ගලයාට නීතියෙන් ඉඩක් තිබේ. පනතේ එය සඳහන් වන්නේ මෙලෙසය.
“තමා සපාකන කිසියම් බල්ලෙකු එතැනම මරාදැමීමත් රෝගී යැයි විශ්වාස කිරීමට සෑහෙන හේතු ඇති, එසේම ආරක්ෂා සහිත ලෙස බැඳ නැති හෝ වෙනත් අයුරකින් රඳවා තබා නැති කවර බල්ලෙකු වුවද ලුහු බැඳ මරාදැමීමත් කවර තැනැත්තෙකුට වුවද නීත්‍යනුකූලව කළ හැක්කේය. (පනතේ 6 වගන්තිය)”
සුනඛයන්ගේ සපාකෑම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නත් වෙනුවෙන් වසරකට රුපියල් මිලියන 300ක් වැයවෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශ තොරතුරුවලින් හෙළිවේ. එලෙසම සුනඛයන් එන්නත් කිරීම සඳහා වසරකට රුපියල් මිලියන 50ක් වැයවෙයි. සුනඛයන් පාලනය කිරීමේ නීති රීති නිසි ලෙස ක්‍රියාත්මක වේ නම් ප්‍රතිකාර සඳහා වැයවෙන රුපියල් මිලියන 300 ඉතිරි කර ගැනීමට හැකිය. ඇත්ත වශයෙන්ම එය නිස්කාරණ වියදමකි.
සපා කෑම ජලභීතිකා රෝගය බෝ කිරීම වැනි දේවලට අමතරව සුනඛයන්ගෙන් චර්ම රෝග, පණු රෝග වැනි රෝගද බෝ විය හැකිය. එයට අමතරව මේ සතුන්ගේ වසුරු පරිසරයට එකතු වීමෙන් පරිසර විනාශයක්ද සිදුවෙයි. එංගලන්තය ඕස්ටේ්‍රලියාව වැනි රටවල සුනඛයන් ඇතිකිරීම සම්බන්ධයෙන් දැඩි නීති රීති පනවා ඇති අතර එම රටවල සුනඛයෙකු ප්‍රසිද්ධ මාවතක රැගෙන යන්නේ නම් සුනඛයා බැහැර ලන වසුරු එකතු කිරීමට බඳුන් පවා උගේ හිමිකරුවා රැගෙන යා යුතුය.
එක අතකින් බැලූ කල ලංකාවේ සුනඛයන් පාලනය කිරීම සම්බන්ධ නීති රීති තිබුණද ඒවා ක්‍රියාත්මක කිරීමට අදාළ බලධාරීන් කටයුතු නොකිරීම හේතුවෙන් එම නීති අභාවයට ගොස් තිබෙන බව පෙනෙයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය පශූ වෛi සේවාවේ වැඩබලන අධ්‍යක්ෂිකා වෛi රුවිනි පිඹුරගේ දැක්වූ පහත අදහස්වලින් එය සනාථ වෙයි.
‘බල්ලන් සපා කෑ පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම සඳහා වාර්ෂිකව සෞඛ්‍ය අමාත්‍යාංශය රුපියල් මිලියන 300ක් වියදම් කරනවා. ඊට අමතරව සතුන් එන්නත් කිරීමට වියදම් වන්නේ මිලියන 50යි. බල්ලෙක් සපා කෑවොත් අනිවාර්යයෙන්ම ප්‍රතිකාරවලට යොමුවෙන්න ඕනෑ. රජයේ රෝහලකට ඇතුළත් වෙන්න ඕනෑ කියන එකයි අපේ උපදේශය.
සතුන් ප්‍රකෝප කරවීම, යතුරුපැදි පාපැදිවලින් ගමන් ගනිද්දී සුනඛයන් හඹා ආවොත් උන්ට ප්‍රතිචාර දක්වන්නට යෑම වැනි හේතු නිසාත් සුනඛයන්ගේ සපාකෑමට ලක්විය හැකියි. එවැනි අවස්ථා මඟහරවා ගත හැකියි. සුනඛයන් අයාලේ යෑමට නම් වග කියන්න ඕනෑ මිනිස්සුමයි. මිනිස්සු උනන්දු වෙනවා නම් ඒක නවතා ගන්න පුළුවන්. ගෘහස්ථව හදන සතුන්ගෙනුත් 30%ක් වැනි ප්‍රමාණයක් අයාලේ යනවා. සතුන්ගේ අයිතිකරුවන් එකට වගකියන්න ඕනේ.
ජලභීතිකා රෝගය පිළිබඳ ආඥාපනතට අමතරව සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත තිබෙනවා. මේ පනත අනුව සැම බල්ලෙකුටම අයිතිකාරයෙක් සිටිය යුතුයි. උදාහරණයකට ගත්තොත් කිසියම් පාසලක බල්ලෝ ඉන්නවා නම් පාසලේ විදුහල්පතිවරයා වගකිවයුත්තා වෙනවා. රෝහලක වුණත් බල්ලෝ ඉන්නවා නම් රෝහල භාර වෛiවරයා. එය තමයි නීතිය. මෙවැනි තැන්වල බල්ලෝ රැඳෙන්නේ ආහාර තිබෙන නිසායි. ආහාර නොදී සිටියොත් උන් එන්නේ නැහැ.
ජලභීතිකා රෝගය ගැන කියනවා නම් මේ වනවිට රෝගය බෝවීම ඉතාම අවමයි. වසරින් වසර බල්ලන් එන්නත් කරවා ගන්නවා නම් ඒ තත්ත්වය තවත් අඩුකරගන්න පුළුවන්කම තිබෙනවා. මේවාට මහජනතාවගේ පැත්තෙන් සහයෝගය දෙන්න ඕනෑ. ඒ වාගේම අභාවයට යමින් තිබෙන නීති ක්‍රියාත්මක කරන්නත් වගකිව යුතු ආයතන කටයුතු කිරීමත් වැදගත්.’■