කුඩාබිබුලේ අහස් වියන යට සැතපුණෙමි

තරිඳු උඩුවරගෙදර

ස්වාභාවික පරිසරය සමඟ ගැටගැසුණු ඈත ගම්මානයක කුඩා පන්සලක් ද නැවුම් දිය උල්පතක් ද සර්පයන්ට ආදරය කරන තරුණ භික්ෂුවක් ද පරිසරවේදියෙක් ද ඇසුරු කරගත් නැවුම් නමුදු පරණ මතකයක් තවමත් හිසෙහි භ්‍රමණය වන්නේ පෙරදින පානය කළ අරක්කු වඩියක පල් රසයත් සමඟ මිශ්‍ර වෙමිනි. කොළඹින් එළියට ගොස් ඈත ගම්මානවලට යන හැම දිනයකම අප දකින්නේ ගස්කොළන් වලින් වටවුණු පරිසරයයි. එහෙත් බොහෝවිට එහි සුන්දරත්වය විඳිනවා මිස ඒ ගැන සුවිශේෂී විදියට සිතන්නට අප හුරු වී නැත. එහෙත් භ්‍රමණය වන හිසක් සමඟ කාෂ්ඨක කොටුවේ මිලට ගන්නට වතුර බෝතලයක් හොයන මොහොතක කුඩාබිබුලට ගිය ගමන ගැන සිහියට නැඟුණේ නිතැතිනි. නොමිලේම විඳි ඒ සැහැල්ලුව සංවර්ධනය තුළින් ඉදිව ඇති මේ කොන්ක්‍රීට් නගර තුළ මිලට ගන්නටවත් නොහැක. ඉතින් මම යළිත් ඒ මතකයට ගියෙමි.

එදා කුඩාබිබුලට අප යනවිට රාත්‍රී එකයි තිහ පමණ වී තිබුණි. තංගල්ලට බස්සෙකෙන් පැමිණි අපව කුඩාබිබුල ගමේ හේමන්තගේ ලොරියෙන් කුඩාබිබුල වෙත ගෙනගියේ රාහුල හිමියන්ගේ ඉල්ලීමක් නිසාය. තංගල්ලෙන් ජුලම්පිටියේ කුඩාබිබුල දෙසට ආ මාර්ගය වැටී තිබුණේ මැදමුලන වලව්වත් නාමල් බේබිලාගේ සීයාගේ ස්මාරකයත් තිබුණු මාර්ගය ඔස්සේය.

අප සමඟ ලොරියේ පසුපස සංඛ සහ සංජුක අපට පැත්තේ විස්තර කියන්නේයි. මේ පැත්තෙ ඉතින් මහින්ද මහත්තයාට සපෝට් කරන අය තමයි ඉන්නේ. ජේවීපී එකෙත් ටිකක් ඉන්නවා. යූඇන්පී හරි අඩුයි. පක්ෂ දෙකතුනකට බෙදී තමන්ගේ විමුක්තිය හොයන මිනිසුන් සිටින රටක ධනස්කන්ධයන් යටකරමින් තැනූ ස්මාරක පසුකරගෙන අපි ගියේ කුඩාබිබුල ගම්මානයේ රාහුල හිමියන්ගේ පන්සලටයි. පන්සලේ නම ශ්‍රී බෝධිරුක්ඛාරාමයයි.

කැලයත් එක්ක තියෙන බිබුල නිසයි මේ ගමට කුඩාබිබුල කියන්නේ. අපි නාන්න යන එන බිබුලට අමතරව තව තියෙනවා මහ බිබුලයි කහ බිබුලයි කියලා බිබුල් දෙකක්. ඊට අමතරව චූටි චූටි බිබුල් තියෙනවා. ගමේ ඔක්කොම බිබුල් හතක් තියෙනවා. කුඩා බිබුල පවුල් දෙකතුනකින් විහිදුණ ඥාතිමූල ගමක්. එකම නම තියෙන ගම්වාසීන් ගොඩක් ඉන්නවා. එයාලාට අක්කරයක් දෙකක් වගේ ලොකු ඉඩම් තියෙන්නේ. ඒ නිසා ඔය වලස්මුල්ල, වීරකැටිය පැත්ත වගේ නෙවෙයි කුඩාබිබුල හරි සිසිල්. වියළි ගතියක් නැහැ.

කුඩාබිබුලේ මිනිසුන් රාහුල හිමියන්ගේ මැදිහත්වීමෙන් තමන් අවට ලෝකය ගැන අලුතින් හිතන්නට හුරුවෙමින් සිටින පිරිසකි. ගොවියන් බහුතරයක් සිටියත් ඔවුහු නිකන්ම ගොවියන් නොවන අතර ස්වාභාවික පරිසරය ගැන අධ්‍යනයකද සිටින පිරිසකි. මේ ගම ගැන කලින් අසා තිබුණත් එහි යෑමේ කැමැත්ත හැබෑ කරගන්නට ඉඩ ලැබී තිබුණේ නැත.

නාගන්නවාද? පාන්දර එකයි තිහෙ වෙද්දී කුඩාබිබුලට පැමිණි අපෙන් රාහුල හිමියන් ඇසූහ. බුබුලට ගිහින් නාන්න පුළුවන්. හාමුදුරුවන්ගේ යෝජනාව අනුව පාන්දර එකහමාරට කුඩාබිබුල වතුර බැස්ස අපි වතුරෙන් ගොඩ ආවේ දෙකහමාරට පමණය. මහ රාත්‍රියක සතුන්ගේ හඬවල් ළඟ ළඟම අසමින් විදුලි පන්දමක්වත් නැතිව සීතල වතුරක බැස සිටීම වෙනමම අත්දැකීමකි. එය ප්‍රකෘති පරිසරය සමඟ රමණයක් වැන්න. අපට සිහිවූයේ ලාල් හෑගොඩගේ මා මිනිසෙක් ඔබ ගඟක් නිසා කවියයි. සැබැවින්ම ප්‍රකෘති සෞන්දර්යය අපෙන් කෙතරම් ඈත්වී ඇත්තේද? රාත්‍රියක වතුර පයිප්පයකින් නාගැනීමත් ප්‍රකෘති සෞන්දර්යය විඳිමින් දිය උල්පතක නාගැනීමත් අතර කෙතරම් වෙනසක් තිබේද. බිබුලෙහි අප වින්දේ ඒ ප්‍රකෘතියේ සුන්දරත්වයයි.

තුරුළු වනු මිස
ආදරයෙන් සෙමෙන්
වෙද අන් මඟක්
මා මිනිසෙක්
ඔබ ගඟක් නිසා

ලාල් හෑගොඩ ලියූ කවියෙහි වෙනස් කරන්නට තිබුණේ මා මිනිසෙක් ඔබ දිය බිබුලක් නිසා යන්න පමණකි. ඒ රාත්‍රියේ පමණක් නොව ඉන් පසුවදාත් බිබුලේ නැවුම් ජලයේ නෑම තුළින් විඳි සුවය වචනයෙන් විස්තර කරන්නේ කෙසේද යන්න මේ සටහන ලිවීමෙන් පසුව වුව මා කල්පනා කරනු ඇත. එය වැඩි වැඩියෙන් දැනෙන්නේ කාෂ්ඨක කොළඹ සිට ඒ ගැන සිහිපත් කරද්දීය.

පහුවදා හවස්වරුවේ නොගැඹුරු අතිපිරිසිදු උල්පත් වතුරෙහි වැතිර මම අහස දෙස බලාහුනිමි. අහස කෙළින්ම පෙනෙන්නේ නැත. වසර සියගණනක් තිස්සේ වැවුණු තුරුවලින් අහස් වියනක් තැනී ඇත. එහි හිදැස් අතරින් හිරුරැස් පෙරි බිබුල මතට පතිත වන්නේය. ඒ මොහොතෙහි බිබුල කෙරෙහි මෙන්ම සූර්යයා කෙරෙහිද අහස් වියන කෙරෙහිද මහත් ප්‍රේමයක් මා සිත තුළ උපන්නේය. ඇත්තටම මේ කොළඹදී නම් කිසිදා ඉර කෙරෙහි ඒ තරම් ප්‍රේමයක් උපදින්නට ඉඩක් නැත්තේය. මේ තරම් වෛර කරන උණුසුමින් දැවෙන ඉර ගැන එදා ප්‍රේමයක් උපන්නේ කෙසේදැයි දැන් ඉර දකිද්දී විටෙක සිතේ. කොටුවෙන් යද්දී බේරේ වැවේ ගඳගහන ජලය දෙස අපුලින් බලන කොටුවේ උණුසුමින් දැවෙන විට ලෝබකමින් වතුර බෝතලයක් මුදලට ගන්නා මට එදා බුබුලේ වතුර ගැන ප්‍රේමයක් ඇතිවුණේ කෙසේදැයි හිතාගන්නටම නොහැකිය. හැමදාම හවස්වරුවේ බිබුලට ගොස් නාන්නට වරම් ඇති කුඩාබිබුල ගම්වාසීන් ගැන මට උපන්නේ ඊර්ෂ්‍යාවකි. කුඩාබිබුලේ පමණක් නොව මේ සුවය විඳින්නට වරම් ඇති මිනිසුන් බොහොමයක් ලංකාවේ සිටීම ගැන ඇතිවුණේ සතුටකි. මේ සුවයෙහි අගය දැන ඒ ගැන අධ්‍යනය කරන්නේ කුඩාබිබුලේ මිනිසුන් පමණක් වීම ගැන ඇතිවුණේ කණගාටුවකි.

හිමිනමක්

ලංකාවේ සර්පයන් වර්ග 103ක් දැනට හඳුනාගෙන තියෙනවා. විස නැති සර්පයන් වර්ග 59ක් ඉන්නවා. ඉතිරි සර්පයන් විස සහිත සර්පයන් වුණත් එයිනුත් බහුතරය ඉන්නේ මුහුදේ. ගොඩබිම ඉන්න උග්‍ර විසැති සර්පයන් වර්ග හතයි ඉන්නේ. ඒත් අපේ මිනිස්සු දන්නේ නැතිව අර කීව අහිංසක සර්පයන් වර්ග 59 අයව තමයි වැඩිපුර මරන්නේ.

කුඩාබිබුල පන්සලේ සිට සර්පයන් ගැන දීර්ඝ විස්තරයක් පටන්ගත්තේ රාහුල හිමියන්ය. බෝධිරුක්ඛාරාම විහාරයේ සිටින වෑකඳවල රාහුල හිමියන් පරිසර හා සොබාදම් අධ්‍යන මධ්‍යස්ථානය සමඟ කටයුතු කරන හිමිනමකි. කොළඹ වැඩසටහන් වලදී අපව හමුවන සුහදශීලී හිමිනමකි.ඒ හාමුදුරුවෝ හරි වෙනස්. අපට රාහුල හිමියන් ගැන දැණුණේ ඒ විදියටය. සාම්ප්‍රදායික බෞද්ධ හිමිවරුන්ගෙන් රාහුල හිමියන් හරි වෙනස්ය. ඒහිමියන්ගේ ශරීර භාෂාව තුළ වෙනත් හිමිවරුන්ගේ වැනි අධිමානයක් නැත. බත් පතක් බෙදාගෙන අප සමඟම ඉඳගෙන විහළු තහළු කරමින් ආහාර ගන්නා රාහුල හිමියන් පුටුවල සුදුරෙදි එළා ඉඳගන්නේ නැත. බණ කියන්නට එන්නේ නැත. ඒ වෙනුවට සර්පයන් ගැනත් වනසතුන් විස්තර කරන්නේය. පරිසරය ගැන දැනුම හොයන්නේ ය. පිටට තට්ටුවක් දමා විහිළුවක් කර සද්දෙට සිනහසෙන්නේය. වඩින්නේ නැත. වළඳන්නේ නැත. සැතපෙන්නේ නැත. රාහුල හිමියන් හොයන්නේ අන් හිමිවරුන්ට වඩා වෙනස් ධර්මයකි. ඒ ධර්මයෙහි සොබාදහමට වැදගත්ම තැනක් උරුමය. ඇතැම් විට බුදුන් කී ධර්මයට වැඩියෙන් සමීප රාහුල හිමියන් කියන ධර්මය විය හැකිය.

එහෙත් වෙනත් සාම්ප්‍රදායික ගම්වාසීන් මෙන් කුඩා බිබුලේ මිනිසුන් මේ හාමුදුරුවෝ වෙනස් යැයි ප්‍රතික්ෂේප කර ඇත්තේද නැත. පන්සලේ අප නැවතී සිටින විට අපටත් දානය ගෙන ඒමට ගම්වාසීන් සූදානම්ය. රාත්‍රී දානයද අපට ගම්වාසීන්ගෙන් ලැබුණි. ඒ මදිවාට අප පන්සලේ නැවතී සිටි රාත්‍රීයේ ගිනිමැලයක් ගසා අප සමඟ ගී ගයන්නටද ගම්වාසීහු පැමිණියෝය. අප ගී ගයද්දී ඒවා රසවිඳිමින් හාමුදුරුවන් ළඟ සිටියත් රාහුල හිමියන් ගැන අහිතක් හිතන්නට ගම්වාසීන් පෙළඹුනේ නැත. හාමුදුරුවන්ගේ චර්යාව ගැන මුලින් මිනිස්සුන්ට අවුලක් තිබුණා. ඒත් පස්සේ ඒක තේරුම් ගියා. හාමුදුරුවන්ට ගමේ මිනිස්සු හරි ආදරෙයි. මේ ගැන අපගේ පැනයකට පිළිතුරු දෙමින් ගමේ වැඩිහිටියකු කීවේ එසේය.

මට ඒ කාලේ ඉඳන්ම පරිසරය ගැන උනන්දුවක් තිබුණා. එහෙත් මට දැනුමක් තිබුණේ නැහැ. රවී සර්ලා මාතර කරපු ඩිප්ලෝමාවට සම්බන්ධ වෙලා තමයි පරිසරය ගැන දැනුම ලබාගත්තේ. මට පරිසරවේදීන් ගණනාවක් මුණගැහිලා තිබුණත් එයාලා පරිසරය ගැන දැනුම දෙන බවක් දැකලා නැහැ. රවී සර් තමයි ඒක කළේ. පස්සේ අපි දැනුම ලබාගෙන ගමේ ගොවියන් කාන්තාවන් තරුණ තරුණියන් දහම් පාසලේ ළමයි වගේ හවසට එකතුවෙලා පරිසරය ගැන සාකච්ඡා කළා. පස්සේ මිනිස්සුත් ඒවාට හුරුවුණා. කුඹුරු අක්කර දෙකක් අපි වසවිස නැතිව මුලින් වගාකළා. සාර්ථකව ගොයම් කැපුවා. පස්සේ ගෙවතු වගාකරන්නත් අපි කටයුතු කළා. පස්සේ මිනිස්සුන්ගේ ලොකු වෙනසක් ඇතිවුණා කාලයත් එක්ක. පරිසරය ගැන විතරක් නෙවෙයි ලෝකය ගැන මිනිස්සුන්ව අළුත් විදියට හිතන්න යොමුකරන්න පුළුවන් වුණා. මිනිස්සුන්ව වෙනස් කරන්න හරි අමාරුයි තමයි. ඒත් ඉවසීමෙන් ඒක කරන්න පුළුවන්. ඒ වෑකඳවල රාහුල හිමියන්ගේ අදහස්ය.

පරිසරවේදියෙක්

මිනිසා මුලින්ම පරිසරය දෙවියන් විදියට තමයි සැලකුවේ. ගස්වැල්වල තමන්ගේ මියගිය ඥාතීන් ඉන්නවා කියලා එයාලා විශ්වාස කළා. මුලින්ම ස්වාභාවික දේවල් වන්දනාමාන කරපු මනුස්සයා පළමු වරට දෙවිවරුන් සංකල්පගත කරද්දි වුණත් ස්වභාවධර්මයම තමයි දෙවියන් විදියට සැලකුවේ. භගවාන් කියන්නේ භූමි, ආකාශ්, ගගන්, අග්නි, වායෝ, නීල් කියන සොබාදහමේ ලක්ෂණ පහේ ශබ්ද එකතුවෙලා හැදෙන වචනයක්. හින්දු සංකල්පයේ දෙවියන් හෙවත් භගවාන් කීවේ පිටින් ඉන්න දෙවියෙක් නෙවෙයි සොබාදහමටම තමයි. එතකොට මනුෂ්‍යයා සොබාදහමට හානි කරන්න බයවුණා. ඒ දෙවියන්ට හානි කිරීමක් ලෙස හිතලා. ස්වාභාවික අනතුරක් දැක්කේ දෙවියන්ගේ කෝප වීමක් විදියට. නෝවාගේ ගංවතුර ඒ වගේ සංකල්පයක්. දෙවියන් වහන්සේ කී දේවල් අනුව හිටියේ නැත්නම් දෙවියන් සොබාදහම හරහා දඬුවම් දෙන බව කීවා. ඒත් දැනුම වැඩි වෙන්නේ. කොහොම වුණත් යුරෝපයේ තවත් සාකච්ඡාවක් ගොඩනැඟුණා දෙවියන් කියන්නේ අධිමානුෂික පුද්ගලයෙක් නෙවෙයි දෙවියන් කියන්නේ ද්‍රව්‍යයක් කියලා. ඒ කියන්නේ සමස්ථ ස්වභාව ධර්මය කියන්නේ දෙවියන්ය කියලා අදහසක් පැතිරුණා. ඔය අදහස තියෙනවා විමලරත්න කුමාරගමගේ අයියනායක කියන කවියේ. බලන්න කවියේ තියෙන්නේ මම කීව ඒ සංකල්පය.

සෙවණැලි අවදි නොම වන වැව් ඉවුරු කොණේ
කාලය විසින් හෑරුව නුග ගසක බෙණේ
මළකා කළුව ගිය ආයුධ කැබලි පෙනේ
දෙවියෙක් නැතද මෙහි බලයක් තිබෙනු දැනේ

සඳරැස් ගලන විට තෙරපී සෙවණ මත
එක දෙවියෙක් නොවේ දාහක් එතන ඇත

දෙවි දේවතාවුන් සැරි සරන මහ වනේ
පවතින බලය ඇඟ ලොම් කුඩකටද දැනේ

ඔය තියෙන්නේ ඒ කවියෙන් උපුටාගත්ත කොටසක්. හැබැයි මතක තියාගන්න ඕන. පරිසරය විනාශ කරන්නත් ඒ යුගයේ දෙවියන්වම පාවිච්චි කළා. මහා දේවාල, පිරමීඞ් හැදුණේ දෙවියන්ව උඩ තියාගෙන. මහා අධිරාජ්‍ය හැදුණේ දේවවරම්වාදය ඉස්සරහින් තියාගෙන. දෙවියන් විසින් රජතුමාව පත් කළ නිසා රජවරුන් කරපු විනාශය දෙවියන්ගේ අනුමැතිය එක්ක කළ දෙයක් විදියට සැලකුවා. කොහොම වුණත් කාලයකට පස්සේ දෙවියන්ව විශ්වාස කරපු දේවවරම්වාදය ප්‍රතික්ෂේප වෙලා කාර්මික විප්ලවය එක්ක විද්‍යාව ආරම්භ වෙනවා. සියලු දේ විද්‍යාත්මක චින්තනය එක්ක විග්‍රහ කළා. මේ චින්තනය ඇතුලෙත් පරිසරය වෙනුවෙන් කවුරුත් කල්පනා කළේ නැහැ.

කුඩාබිබුල පන්සලේ සිට මේ විස්තරය කියන්නේ ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් විසින්ය. ඔහු අන් පරිසරවේදීන්ට වඩා මඳක් වෙනස්ය. පරිසරය වෙනුවෙන් සටන් කිරීමට වඩා අධ්‍යනය හා දැනුම ලැබීමත් ඒවා අන් අයට ලබාදීමත් විශ්වාස කරන්නෙකි. රැකියාව ලෙස විශ්වවිද්‍යාලයක ඉගැන්වීම කරන අතරතුර තමන්ගේ පෞද්ගලික වියදමින් පරිසරය වෙනුවෙන් සිවිල් මැදිහත්වීම් කරන්නෙකි. පරිසරය කෙරෙහි ඔහුගේ ආදරය අවශ්‍ය සීමාව ඉක්මවා ඇතිද යන්න අපි නොදන්නෙමු. ඔහු පරිසරයට ආදරය කරන්නේය. පරිසරය රකින්න විතරක් නෙවෙයි සංවර්ධනයත් කරන්න ඕන. ඔහුගේ අදහස් සමච්චලයට ගනිමින් බොහෝ දෙනකු කියන්නෝය. අපි ඇත්ත නොදන්නෙමු. කුඩාබිබුලේ ප්‍රකෘති සුන්දරත්වය පමණක් දකින්නෙමු. කුඩාබිබුලේ මිනිස්සු රවීව හඳුනන්නෝය. මේ මහත්තුරු රවී සර්ගේ යාළුවෝද? එසේ අසන ගම්වාසීහු ගමේ ඇවිදින අපට විශේෂ සැලකිල්ලක් දක්වති. රාහුල හිමියන් සමඟ කුඩාබිබුලේ මිනිසුන්ව වෙනස් කළේ පරිසරවේදියකු වීම රස්සාවක් ලෙස නොසලකන රවීන්ද්‍ර කාරියවසම්ය.

සොබාදහම

සොබාදහම දේවත්වයෙන් සලකන්නට මට නොහැකිය. කුමාරගම කීවාක් මෙන් වන්දනාමාන නොකර දෙවියන්ට හිමි ගෞරවයක් පරිසරයට දක්වන්නට කිසිදා මට නොහැකි වනු ඇත. එදා ප්‍රේමයෙන් බැඳුණත් ලාල් හෑගොඩ මෙන් පරිසරය එක්ක ආදරයෙන් බැක්‍ෂෙන්නට ද මා හුරුවී නැත. කුඩාබිබුල ගම්වාසීන්, රවීන්ද්‍ර හා රාහුල හිමියන් තරම් පරිසරය ගැන ගැඹුරින් අධ්‍යනය කරන්නටත් වෙලාවක් නැත. පරිසරය රැකීමයි සංවර්ධනයයි එකට කරන්නේ කෙසේදැයි මට නොවැටහේ. අප ලියන කඩදාසිය නිපදවෙන්නේ පරිසරයට යම් හානියක් කරමිනි. පරිගණකයත් ජංගම දුරකථනයත් බස්රියත් නිපදවෙන්නේ පරිසරයට හානියක් කරමින්ය. මිනිසා කාර්යක්ෂම වුණේ පරිසරයට හානි කරමිනි.

ඒ කෙසේ වෙතත් අප කුඩාබිබුලේදී විඳි අසීමිත සැහැල්ලුව සංවර්ධනයෙන් කිසිදා ලැබී නොමැති බවත් දනිමි. සොබාදහම දෙවියෙක් නෙවෙයි. සොබාදහම විද්‍යාවේ කියන හැටියට චලිතයේ ප්‍රතිඵලයක් නෙවෙයි. මිනිසා සමඟ කිසිදා නොපෑහෙන සොබාදහම කවියක්. මිනිසාට කිසිදා උරුම නැති කවියක්. අවසානයේ මට දැණුනේ එසේය.