රාවය

නීතිඥ සංගමය බළල් අතක්ද?

නීතිඥ සංගමය  බළල් අතක්ද?

කේ ඩබ්ලිව් ජනරංජන

ප්‍රශ්නය කෙළින්ම ඇසිය යුතුය. ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැන් රාජපක්‍ෂවරුන්ගේ බළල් අතක්ද? මේ සාධාරණ ප්‍රශ්නය පැනනගින්නේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන නීතිඥ සංගමයේ පසුගිය සඳුදා (23) පැවැති රැස්වීමෙන් පසු නිකුත්කරන ලද නිවේදනය කියවූ විටය.
අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන නීතිඥ සංගමය හදිසි කවුන්සිල රැස්වීමක් කැඳවූයේ පසුගිය 23 වැනි සඳුදාය. සාමාන්‍යයෙන් සඳුදා දින යනු නීතිඥවරුන්ට කාර්ය බහුල දිනයකි. ඒ නිසා බොහෝ නීතිඥවරු මේ රැස්වීමට නොආහ. රැස්වීමට සහභාගි වූ පිරිස 45ත් 50ත් අතර විය. එහෙත්, අවසානයේ නීතිඥ සංගමය හැටියට නිවේදනයක් මාධ්‍ය වෙත නිකුත්කොට තිබුණි. එයින් අරුම පුදුම ප්‍රශ්න ටිකක් රජයෙන් අසා තිබුණි. රජයෙන් කිව්වාට රජයේ කාගෙන්දැයි කියාද පැහැදිලි නැත. ඒ ප්‍රශ්න මෙසේය.
1. නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව කුමක්ද? 2. (අ) ශ්‍රී ලංකාව තවදුරටත් ඒකීය රාජ්‍යයක් වන්නේද? (ආ) එසේ නම්, ඒකීය රාජ්‍යය යන සංකල්පය කෙටියෙන් පැහැදිලි කරන්න. 3. පළාත්වලට කුමන බලතල පවරන්නේද? 4 (අ) මධ්‍යම රජයට හෝ පාර්ලිමේන්තුවට අවශ්‍ය නම් එම බලතල ආපසු ලබා ගැනීමට හැකියාවක් තිබෙන්නේද? (ආ) එසේ නම්, ඒ කුමනාකාරයෙන්ද? 5. යම් සුදුසු තත්වයන් යටතේදී ජනාධිපතිවරයාට තම බලය සෘජුව පළාත් තුළ ක්‍රියාත්මක කිරීමට හැකියාවක් ඇද්ද? 6. විධායක ජනාධිපතිධුරය අහෝසි කරන්නේද? 7. (අ) අධිකරණ ව්‍යුහය කුමක්ද? (ආ) ව්‍යවස්ථා අධිකරණයක් තිබේද? (ඇ) එසේ නම්, අධිකරණ සඳහා විනිසුරුවරුන් පත්කරන්නේ කෙසේද? 8. (අ) ශ්‍රේෂ්ඨාධිකරණයට හා අභියාචනාධිකරණයට විනිසුරුවරුන් පත්කරන්නේ කෙසේද? (ආ) 1. එම පත්කිරීම් සඳහා යම් ක්‍රමවේදයක් තිබේද? 2. එසේ නම්, ඒ ක්‍රමවේදය කුමක්ද? 9. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් ඉවත් කරන්නේ කෙසේද? 10. දිවයින පුරා ඇති දිසා අධිකරණ හා මහේස්ත්‍රාත් අධිකරණවල විනිසුරුවරුන් පත්කරන්නේ, ඔවුන් ස්ථාන මාරුකිරීම් හා විනය පියවර ගනු ලැබීම අධිකරණ සේවා කොමිසමෙන් පමණක් සිදු කරනු ලබන්නේද? 11. (අ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලාත්මක කළ හැකි මූලික අයිතිවාසිකම් මොනවාද? (ආ) එම මූලික අයිතිවාසිකම් බලාත්මක කරන්නේ කුමන අධිකරණවලින්ද? 12. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල පනත් සීමාසහිත කාලයක් තුළ විමර්ශනය කිරීමේ බලය අධිකරණයන්ට ඇත්ද?
මෙහි 7 සිට 11 දක්වා ප්‍රශ්න, ව්‍යවස්ථා කෙටුම්පතක් සමඟ සාකච්ඡා කළ යුතු, නීතිඥ සංගමයටද ඒ ගැන යෝජනා අදහස් ඉදිරිපත් කිරීමට හැකි ආකාරයේ ක්‍ෂෙත්‍රයන්ට අදාළය. ඇත්ත වශයෙන්ම ඒ ප්‍රශ්න කේක් ගෙඩියක අයිසින් වැනිය. වැදගත් ප්‍රශ්න වන්නේ 1 සිට 6 දක්වා ප්‍රශ්නයි. ඒවා ගැන කල්පනාවෙන් සිතන කෙනකුට පැහැදිලි වන්නේ, මෙහි තිබෙන්නේ මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ව්‍යවස්ථා විරෝධී අන්තවාදීන් මේ කාලයේ හැම තැනම කියන ‘පිළිතුරු’වලට අදාළ ‘ප්‍රශ්න’ බවයි. අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය නැති බව ඒ අන්තවාදීන් කියන විට, නීතිඥ සංගමය එය ප්‍රශ්නයක් බවට පෙරළා, නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව කුමක්ද?’යි අසයි. ලංකාවේ ඒකීයභාවය නව ව්‍යවස්ථාවකින් නැතිවෙනවාය කියා අන්තවාදීන් පිළිතුරු දෙන විට නීතිඥ සංගමය, ලංකාව තවදුරටත් ඒකීය රාජ්‍යයක් වන්නේද? කියා අසයි. ඉතිරි ප්‍රශ්නත් ඒ විදියටම ඒ අන්තවාදීන්ගේ මතය දෙස බලාගෙන නිර්මාණය කරන ලද ප්‍රශ්නය.
අලුත් ව්‍යවස්ථාව ගැන බොරු මැවීම මෙපමණ කල් කරගෙන ආවේ 2015දී පරාජිත දේශපාලන බලවේග හා සිංහල බෞද්ධ අන්ත ජාතිකවාදීනුත්, ඔවුන් සමග එක පෙළට සිටගත් විවිධ සංඝ පාර්ශ්වත්, සංඝ සභාත්, නිකායනුත්ය. ව්‍යවස්ථාවක් ගැනවත් ආණ්ඩු ක්‍රමයක් ගැනවත් හරි හැටි නොදැන, කවුරු හරි ලියා දෙන දේවල් මත පදනම්ව මේ හිමිවරු, පසුගිය දිනවල ඇති තරම් බොරු හා අර්ධ බොරු ව්‍යවස්ථා ක්‍රියාවලිය සම්බන්ධයෙන් වැපිරූහ. දැන් ඒ පෙරහරට අලුතෙන්ම එකතුවී තිබෙන්නේ නීතිඥ සංගමයයි. ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය, ව්‍යවස්ථාව, ආණ්ඩුක්‍රමය ගැන භික්‍ෂූන් වහන්සේලා හා අනෙක් අන්තවාදීන්ට ඇති දුප්පත් දැනුම ගැන සලකා ඔවුන්ගේ ළාමක තර්ක ඉවසාගෙන සිටියත්, නීතිඥ සංගමය වැනි ව්‍යවස්ථා නීතිය, ආණ්ඩුක්‍රමය, ආණ්ඩුක්‍රම ඉතිහාසය, බල හවුල්කාරිත්වය යනාදි විෂයයන් ගැන පරතෙරට ගිය දැනුමැති පුද්ගලයන් ඒකරාශිවී සිටින ප්‍රබුද්ධ වෘත්තික සංගමයක් මෙවැනි පක්‍ෂග්‍රාහී, එමෙන්ම ළාමක හා නිශේධනීය ප්‍රශ්න අසන විට කනගාටුවක් දැනෙන්නේ, මේ ලිපිය ආරම්භයේදීම ඇසූ ප්‍රශ්නය පැනනගින නිසාය. ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැන් රාජපක්‍ෂවරුන්ගේ බළල් අතක් වෙලාද?
පසුගිය නිලවරණයට සභාපති අපේක්‍ෂකයා හැටියට එහි වත්මන් සභාපති යූආර් ද සිල්වා ඉදිරිපත් වූ විට, කිසිම දේශපාලන කාරණයක් ගැන නොබලා විශාල පිරිසක් ඔහුගේ සහායට පැමිණියා පමණක් නොව, ඔහුට ඡන්දය ද දුන්නෝය. ඔවුන් අතර, පසුගිය ජනවාරි 8 වැනිදා මහින්ද රාජපක්‍ෂ රෙජිමය පරදවන්නට මුල් තැන ගෙන කටයුතු කළ නීතිඥ ප්‍රජාවේ විශාල පිරිසක්ද වූහ. ඒ සිල්වා මහතා ඉතාමත් ජනප්‍රිය හා නිහතමානී, නීතිඥවරුන්ගේ සුබසාධනය ගැන විශාල උනන්දුවක් දක්වන, කනිෂ්ඨ හා ආධුනික නීතිඥවරුන්ට මෙන්ම නීති ශිෂ්‍යයන්ටද අසීමාන්තිකව උදව් උපකාර කරන, වචනයේ පිරුණු අරුතෙන්ම මහත්මයකු නිසාය. එහෙත්, 2015 ජනවාරි මාසයේදී පරාජය කරන ලද පරණ දේශපාලන බලවේගවල ඉතුරුබිතුරු ඒ නිලවරණයේදී සිල්වා මහතා වටා රොද බැඳ සිටිනු දුටු සමහරුන්, අනාගතයේ නීතිඥ සංගමයට විය හැකි අබග්ගය ගැන සැක පළනොකළාද නොවේ. අද ඒ සැකය තහවුරු වෙමින් තිබේ. ඇත්ත වශයෙන්ම නීතිඥ සංගමය අද මෙහෙයවන්නේ එහි උපසභාපති, ගෝඨාභය රාජපක්‍ෂගේ නීතිඥවරයාද වන, රාජපක්‍ෂ ආණ්ඩුව කාලයේ තානාපතිකමක් දැරුවා වූද, ජනාධිපති නීතිඥ අලි සබ්රි හා ඔහු සමඟ සිටින රාජපක්‍ෂ අවතාර විසින්ද යන සැකය පැනනැගී තිබේ. රාජපක්‍ෂ පාලනය අවසාන කාලයේ අගවිනිසුරු ධුරයේ සිටි නීතිඥ මොහාන් පීරිස්ගේ සමීපතමයෝද ඒ අවතාර අතර වෙති. යළිත් රාජපක්‍ෂ පවුලට බලය ඩැහැගැනීමේ බළල් අතක් ලෙස ඔවුහු අද නීතිඥ සංගමය සාමූහිකව පාවිච්චි කරමින් සිටිති. වර්තමාන සභාපතිවරයා මේ පිරිසගේ ග්‍රහණයට හසුවී සිටින්නේද? අද සභාපතිවරයාට, තමන් සභාපති ධුරයට ඔසොවා තැබූ සියලු පාර්ශ්වවල ඕනෑ එපාකම් ගැන සලකා බැලීමට අවශ්‍ය සාධාරණ මනස හා එළැඹ සිටි සිහිය අහිමිවී තිබේද? ඒ වෙනුවට රාජපක්‍ෂවරුන්ට වුවමනා දේ, ඔවුන්ගේ නීතිඥවරයා වන උපසභාපතිවරයා හරහා නීතිඥ සංගමයේ මුද්‍රාව යටතේ ඉටුකෙරෙන්නේද?
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට එරෙහිව පසුගිය දිනවල නීතිඥ සංගමය ඉදිරියට පැමිණ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කළ පැමිණිල්ලද එවැනි රාජපක්‍ෂ පන්නයේ වැඩකි. නීතිඥ සංගමය මෑත කාලයේ එවැනි සිල්ලර වැඩ පස්සේ ගිය සංගමයක් නොවේ. ඒ වෙනුවට රටේ නීතියට, අධිකරණයට, අධිකරණයේ ස්වාධීනත්වනයට අදාළ වැදගත් ප්‍රශ්න ඕනෑ තරම් සංගමයට තිබේ. එවැනි ප්‍රශ්න බහුලවම තිබුණු, මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේත්, සරත් නන්ද සිල්වා අපකීර්තිමත් අගවිනිසුරුවරයාගේත් ග්‍රහණයට අධිකරණය හසුවී තිබුණු කාලයේ අධිකරණයේ ස්වාධීනත්වයට හෝ නීතිඥවරුන්ගේ ගරුත්වයට සිදුවුණු හානි ගැන කතාකරන්නට අද සංගමයේ සිටින ප්‍රබල නිලධාරීන් එදා ආවේ නැත. උදාහරණයක් හැටියට, හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව කැලෑ නීතිය යටතේ කැලෑ උසාවියකින් නඩු අසා අගවිනිසුරු ධුරයෙන් ඇය අසාධාරණ ලෙස පහකෙරෙන විට, අද උපසභාපති ඇතුළු අනෙකුත් අය හිටියේ රාජපක්‍ෂවරුන්ගේ අත්තනෝමතික ක්‍රියා සාධාරණය කරමිනි. ගෝඨාභය රාජපක්‍ෂ මහතා, සන්ඬේ ලීඩර් පුවත්පතට එරෙහිව දැමූ නඩුව ගල්කිස්ස් අධිකරණයේ කැඳවූ කාලයේ, ගෝඨාභය රාජපක්‍ෂ උසාවියට එනවිට ඔහුගේ ආරක්‍ෂාව සඳහායැයි කියමින් ගල්කිස්ස උසාවියේ කිසිම නීතිඥවරයකුගේ වාහනයක් උසාවි භූමියට ඇතුළු කරන්නට ආරක්‍ෂක අංශ දුන්නේ නැත. සියලු නීතිඥවරුන්ට එදින සිටින්නට සිදුවුණේ ගෝඨාභයගේ රැස්වළලල්ටත් ආරක්‍ෂක නිලධාරීන්ගේ අණටත් යටහත්ව කීකරුවය. ඒ වේලාවේ ගෝඨාභයගේ නීතිඥවරුන් හැටියට සිටි කිසිවෙකු, ගල්කිස්ස උසාවියේ නීතිඥවරුන්ගේ අභිමානය හා ගෞරවය ආරක්‍ෂා කරගන්නට කතාකළ බවක් අප දන්නේ නැත.
78 ව්‍යවස්ථාව වෙනුවට අලුත් ව්‍යවස්ථාවක් හදාගත යුතුයැයි එන්එම් පෙරේරා වැනි විද්වතුන් 1978 සිටම කී බවද, 2015 ජනවාරි 8වැනිදා මේ රටේ බහුතර ජනතාවක් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා ඡන්දය දුන් බවද. චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්‍ෂ, මෛත්‍රීපාල සිරිසේන යන ජනාධිපතිවරුන් සිය ජනාධිපතිවරණවලදී විධායක ජනාධිපති ක්‍රමය නැති අලුත් ව්‍යවස්ථාවක් හදන බවට පොරොන්දුවූ බවද, වර්තමාන ජනාධිපතිවරයා හා අගමැතිවරයා පත්වුණු දා සිට හැම අවස්ථාවකදීම, අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන බව පුනපුනා කියන බවද, 2016 මාර්තු 9වැනිදා මුළු පාර්ලිමේන්තුවම ඒකමතිකව අලුත් ව්‍යවස්ථාවක් සඳහා යෝජනාවක් සම්මත කළ බවද අමතක කොට, නීතිඥ සංගමය ‘නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව කුමක්ද?’ යන ප්‍රශ්නය අසන විට, සංගමය සිය මතකය අහිමි කරගත් කාගේ හෝ රූකඩයක් බව තවත් පැහැදිලි වෙයි.
නීතිඥ සංගමය දේශපාලනයෙන් තොරවූවක් නොවේ. 1987-89 එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව කාලයේ සිදුකළ තිරශ්චීන අතුරුදන්කිරීම්වලට එරෙහි වන විටත්, රාජපක්‍ෂ ආණ්ඩුව කාලයේ ආචාර්ය බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගයට විරුද්ධ වන විටත් ඊට දේශපාලනයක් තිබුණි. ඒ ඒ කාලයේ සිටි සභාපතිවරුන් ඇතුළු නිලධාරීන් අදත් පක්‍ෂ භේදයෙන් තොරව ගෞරවයට පාත්‍රවන්නේ රාජ්‍ය හිතුවක්කාරකම්වලට එරෙහිව නීතියේ හා ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම මත පිහිටා සටන් කළ නිසාය. ඒවා අද නීතිඥ සංගමය කරන්නාක් වැනි සිල්ලර පක්‍ෂ දේශපාලන වැඩ නොවේ.

සංගමය කමිටුවට කරුණු ඉදිරිපත් කළා
නීතිඥ ලාල් විජේනායක
අලුත් ව්‍යවස්ථාව පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවේ සභාපති

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන යෝජනා ඉදිරිපත්වී ඇති අවස්ථාවක නීතිඥ සංගමය තුළ ඉන්නා ව්‍යවස්ථා පිළිබඳ ඉතා ප්‍රවීණයන්ගේ අදහස් මේ ගැන ඉදිරිපත් කිරීම වැදගත්. නීතිඥ සංගමයේ ඉතිහාසයේම නොයෙකුත් පනත් පිළිබඳව පවා අනුගමනය කළ පිළිවෙතක් තිබුණා. ඉස්සෙල්ලා ඒ විෂය පිළිබඳ ප්‍රවීණයන්ගේ කමිටුවක් පත්කරලා, ඒ අය ඒ ගැන අධ්‍යයනය කරලා වාර්තාවක් ඉදිරිපත් කරනවා. වාර්තාව නීතිඥ සංගමය සලකා බැලීමෙන් පසුව තමයි සංගමයේ මතයක් ඉදිරිපත් කරන්නේ. සංගමයේ ප්‍රශ්නාවලියේ මුලින්ම අහලා තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යද කියලා. ඒක අහන්න තිබුණේ මීට පෙර. ව්‍යවස්ථාව පිළිබඳ මහජන මතය විමසීමේ අපේ කමිටුව ඉදිරියට නීතිඥ සංගමයත් ආවා. ව්‍යවස්ථා පිළිබඳ ප්‍රවීණයන්ගේ කාරක සභාවක් පත්කරලා, සෑහෙන කාලයක් අරගෙන ඒ කාරක සභා වාර්තාව සාකච්ඡා කරලා ගන්නා ලද තීරණ රැසක් සමගයි ඒ ආවේ. එතැනදී සංගමය ප්‍රශ්න කළේ නැහැ ව්‍යවස්ථාවක් අවශ්‍යද කියලා. තනි පුද්ගලයන් හැටියට ආ නීතිඥයනුත් ඉතාමත් වැදගත් කරුණු කමිටුවට ඉදිරිපත් කළා. විශේෂයෙන්ම අතිරේක සොලිසිටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ ඉතාම වැදගත් අදහස් ඉදිරිපත් කළා. 2016 මාර්තු 9 වැනිදා පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මත කළා අලුත් ව්‍යවස්ථාවක් හදන්න මුළු පාර්ලිමේන්තුවම සම්පාදක මණ්ඩලයක් හැටයට කටයුතු කළ යුතුයි කියලා. ඒ අවස්ථාවේදීවත් මේ ප්‍රශ්නය ඇහුවේ නැහැ. ව්‍යවස්ථාවක් පිළිබඳව මෙතෙක් නීතිඥ සංගමය ගත් තීන්දු හා ස්ථාවරයන්ට පටහැනිව කඩිමුඩියේ කැඳවන ලද විධායක සභාවේ රැස්වීමකදියි මේ තීරණ අරගෙන තියෙන්නේ. සංගමයේ ශාඛාවලින්වත් අදහස් විමසුවේ නැහැ. මෙයින් පෙනන්නේ රටේ වෙනත් ආයතන වගේම නීතිඥ සංගමයේ නායකත්වයත් දැඩි පිරිහීමකට ලක්වෙලාය කියලායි.

නීතිඥ සංගමයේ මතය නෙවෙයි
නීතිඥ ජේසී වැලිඅමුණ

අද නීතිඥ සංගමය පාලනය කරන්නේ ඒකාබද්ධ විපක්‍ෂයත් එක්ක සම්බන්ධ කණ්ඩායමක්. බාර් කවුන්සිල් එකෙන් සීයට දහයක්වත් ආවේ නැති රැස්වීමකදී තමයි මේ තීරණය අරගෙන තියෙන්නේ. ඒ නිසා බාර් කවුන්සිලයේ ඉන්න ඒකාබද්ධ විපක්‍ෂයේ අතකොළුවල තීරණයක් මේ. නීතිඥ ප්‍රජාව රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව, නීතියේ පාලනය පිළිබඳව ඕනෑ තරම් ඉදිරිපත් වෙලා තියෙනවා. නමුත් මේ විදියට දේශපාලන පක්‍ෂයක අත්අඩංගුවේ තිබුණේ නැහැ මීට ඉස්සෙල්ලා. අලුත් ව්‍යවස්ථාවක් ගැන මතය සෝභිත හාමුදුරුවන්ගෙන් ඉදිරියට ඇවිත් ලක්‍ෂ හැට දෙකක් ඒකට පක්‍ෂව ඡන්දය දුන්නාම නීතිඥයන් පනහකට ඒකට විරුද්ධව තීරණයක් ගන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. ව්‍යවස්ථාව නිතිමය ලියවිල්ලක් ලෙස පෙනුණාට ඒක සමාජ ආර්ථික ආදි නොයෙකුත් අංශවල එකතුවක් වන ලියවිල්ලක්. මේක නීතිමය ලියවිල්ලක් පමණක් හැටියට නීතිඥවරු හිතනවා නම් වැරදියි. ආණ්ඩුක්‍රමය වෙනස් නොවිය යුතුය කියන අන්තගාමි ස්ථාවරයේ ඉන්න කීපදෙනෙක් අද නීතිඥ සංගමය පටු තැනකට තල්ලු කරනවා. මේ පනස් දෙනකුගේ පමණ මතය නීතිඥ සංගමයේ මතය නෙවෙයි.