රාවය

ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ දේශපාලනය

ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ  දේශපාලනය

ජයදේව උයන්ගොඩ

ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ පිළිබඳ විවාදය ඉතා තියුණු ලෙස ඉදිරියට යද්දී ලංකාවේ දේශපාලනයේ පොදුවේත්, මෛත්‍රී-රනිල් ආණ්ඩුවේ විශේෂයෙනුත්, ඇති ගැටලු සහ දුබලතා ගණනාවක්මද අනාවරණය වෙමින් පවතී. බොහෝවිට ඉඩ තිබෙන්නේ, ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන්, ජනාධිපති සහ අගමැතිතුමා දක්වන ඇල්මැරුණු උනන්දුවත්, විශේෂයෙන් ඉදිරිපත් වන සංවිධානාත්මක විරෝධයත් ඉදිරියේ, ඉදිරියට යානොහැකිව ඇනහිටීමය.
ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ පිළිබඳ දැන් සිදුවන මහා විවාදය සහ දිනෙන් දින තියුණු වන ප්‍රතිසංස්කරණ විරෝධය, එක් අතකින් නරක දෙයක් නොවේ. එයින් පෙනෙන්නේ ලාංකික සමාජය දේශපාලන වශයෙන් ඉතා අවදියෙන් සිටින, තම විරෝධය පළකිරීමට දේශපාලන සහ මතවාදී කණ්ඩායම් නිර්භයව ඉදිරිපත් වන, දේශපාලන වශයෙන් සජීවී සමාජයක්ය යන්නයි. රටේ පාලක ආණ්ඩුවකට හිතුවක්කාර ලෙස ක්‍රියාකිරීමට අපේ රටේ තිබෙන්නේ මඳ ඉඩකඩක් බවද එයින් පෙනේ. එය ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් බලන විට නරක දෙයක් නොවේ. හොඳ දෙයකි. ඔවුන් ඉදිරිපත් කරන දේශපාලන අදහස් කොතරම් පසුගාමී සහ ලංකාවේ වර්තමානයට නොගැළපෙන ඒවා වුවත්, ඒවා දේශපාලන විවාදය තුළ පළවීමට අවකාශය තිබිය යුතුය.
එහෙත්, ප්‍රශ්නය වී තිබෙන්නේ මෙම දේශපාලන විවාදයට ආණ්ඩුව පැත්තෙන් වන සහභාගිත්වය දුර්වල එකක් වීමයි. ඒකාබද්ධ විපක්ෂයෙන් සහ භික්ෂු නායකත්වයෙන් ඉදිරිපත් කරන විවේචනවලට ප්‍රමාණවත් පිළිතුරු ආණ්ඩුවේ නායකත්වයෙන් ලැබෙන්නේ නැත. ඒ පිළිතුරු දීම කරතැයි ආණ්ඩුව අපේක්ෂා කරන්නේ, ආණ්ඩුවේ පහළ කොටස්වලිනි; නැත්නම් ආණ්ඩුවට ඍජු ලෙස සම්බන්ධ නැති සමාජ-දේශපාලන ක්‍රියාකාරිකයන්ගෙනි. රාජ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳ මහා විවාදයක්, දෙබරයකට ගල් ගැසුවාක් මෙන් ඇවිස්සූ ආණ්ඩුව, පැත්තකට වී අහක බලාගෙන මෙන් සිටීම, මේ ආණ්ඩුව දේශපාලන වශයෙන් කරන ඉතාම වගකීම් රහිත දෙයකි.
1980 ගණන්වල සිට ලංකාවේ දේශපාලනයේ තිබුණු එක් ප්‍රහේළිකාවක් වී තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ප්‍රතිසංස්කරණවල වාස්තවික අවශ්‍යතාවත්, සිංහල සමාජයේ දේශපාලන සහ මතවාදී බලවේග ඒ සඳහා සූදානම් නොවීමත් අතර ඇති පරස්පරයයි. මේ පරස්පරය ජයගැනීමට ජේ.ආර්. ජයවර්ධන මහතා කෙළේ, රාජ්‍ය බලය ඉතාම මර්දනකාරී ලෙස යොදාගනිමින්, එම ප්‍රතිසංස්කරණ බලහත්කාරයෙන් කිරීමයි. 1987 සිදුවූ 13 වැනි සංශෝධනයේ අත්දැකීම එයයි. ඊට පසුව ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා 1995-2000 කාලයේදී චන්ද්‍රිකා කුමාරණතුංග ජනාධිපතිවරිය ගත් ප්‍රයත්නය අසාර්ථක වූයේ, රාජ්‍ය මර්දනය සහ බලහත්කාරය නොයොදා ඒ සඳහා උත්සාහ ගැනීම නිසාය.
මේ අතර, 1987න් පසු සාර්ථක වූ රාජ්‍ය ප්‍රතිසංස්කරණය නම්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2010දී 18 වැනි සංශෝධනය මගින් සිදුකළ නිර්-ප්‍රජාතන්ත්‍රවාදී, අධිකාරවාදී සහ ලංකාවේ නොකළ යුතුවූ ප්‍රතිසංස්කරණයයි. වර්තමාන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට බරපතළ ලෙස විරෝධය පළ කරන සංඝ බලවේග, එම ප්‍රතිසංස්කරණයට විරෝධය පළකෙළේ නැත. 18 වැනි සංශෝධනය වෙනස් කළ 19 වැනි සංශෝධනයේදී එම බලවේග දැක්වූ ප්‍රතිචාරය එතරම් උනන්දුසහගත එකක් නොවේ.
මෙයින් ලංකාවේ රාජ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳ තවත් බරපතළ ප්‍රහේළිකාවක් මතුවේ: එය නම් උපාංග තුනකින් සමන්විත ප්‍රහේළිකාවකි.
(අ) ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා කැක්කුමක් සහ ඒ සඳහා ප්‍රබල ඉල්ලීමක් මතුවන්නේ සුළු ජන ප්‍රජාවන් වෙතිනි; විශේෂයෙන් දෙමළ ප්‍රජාව වෙතිනි.
(ආ) සිංහල සමාජයේ දේශපාලන, මතවාදී, සංස්කෘතික සහ බුද්ධිමය බලවේග අතරින් වඩාත්ම කැක්කුමක් සහ කැමැත්තක් තිබෙන්නේ, නිර්-ප්‍රජාතන්ත්‍රවාදී සහ අධිකාරවාදී රාජ්‍ය ප්‍රතිසංස්කරණ සඳහාය.
(ඇ) සිංහල සමාජයේ දේශපාලන නායකත්වය වෙතින්, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති වරින් වර මතු වුවත්, එම ව්‍යාපෘති සාර්ථක ලෙස ඉදිරියට ගෙනයෑමට අවශ්‍ය දේශපාලන සූදානම, අධිෂ්ඨානය සහ නායකත්වය ඔවුන් සතුව නැත.
ලංකාවේ දේශපාලනයේ අද තිබෙන ඉතාම වැදගත්, බරපතළ සහ හදිසි කර්තව්‍යය වන්නේ මෙම ප්‍රහේළිකාව ජයගැනීමයි. එය කළ හැක්කේ මෛත්‍රී-රනිල් දේශපාලන නායකත්වය තමන් දේශපාලන වශයෙන් අලුතෙන් නිර්මාණය කරගතහොත් පමණි. එනම් රු-සබඩැබඑ කරගතහොත් පමණි. එතුමන්ලා එසේ කරන බවට සාධක නම් නැත.
මේ අතර අපේ අවධානය යොමු කළයුතු තවත් වැදගත් කරුණක් තිබේ. එය අප රටේ දේශපාලන යථාර්ථයක් මෙන්ම, ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ පිළිබඳ මෙම ආණ්ඩුවේ ප්‍රවේශයේ ඇති අතිමූලික දුර්වලතාවක්ද අනාවරණය කරන්නකි. එම කරුණ නම්, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් ඉදිරිපත් වූ සෑම අවස්ථාවකම ලංකාවේ විවිධ දේශපාලන සහ මතවාදී බලවේග එම ප්‍රතිසංස්කරණ ගැන භීතියට පත්වීමයි. ‘රට බෙදීමේ’ භීතිය වෙතින් දැනට ප්‍රකාශවන්නේ මෙම රාජ්‍ය ප්‍රතිසංස්කරණ භීතියයි. මෙම භීතිය වනාහි අවස්ථාවාදී දේශපාලන පක්ෂ සහ නායකයන් (ශ්‍රීලනිපයේ මෙන්ම එජාපයේද) තම පටු දේශපාලන න්‍යාය පත්‍රවල වාසියට, අයුතු ලෙස ප්‍රයෝජන ගෙන ඇති දේශපාලන හැඟීමකි. එමෙන්ම, එම භීතියේ සටන්කාමී ප්‍රකාශකයන් වන්නේ සිංහල සමාජයේ සිටින ඉතාම පසුගාමී සහ වැඩවසම්වාදී මතවාදී සහ සංස්කෘතික බලවේගයි. මල්වත්ත, අස්ගිරියේ සිට කෝට්ටේ සහ මහරගම දක්වා මධ්‍යස්ථාන තිබෙන්නේ මෙම වැඩවසම්වාදී සහ පසුගාමී බලවේගවලටය. මහින්ද රාජපක්ෂ මහතා අද පිටුපසින් සිටින්නේත්, රනිල් වික්‍රමසිංහ මහතා එදා පිටුපස සිටියේත් මේ බලවේගවලය.
පසුගාමී බලවේග දේශපාලන විවාදයේ ඉදිරියට ඒම, ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිවලදී දක්නට ලැබුණු පොදු ප්‍රතිචාරයකි. 1995 අගෝස්තු මාසයේ සිට 1999 දක්වා ජී.එල්. පීරිස් ඇමතිතුමාට සිදුවූයේ මේ මතවාදී බලවේගවලට, ඔවුන්ගේ පසුගාමීත්වයේ තරම, උපාධි අපේක්ෂකයන්ට කරන පන්තිවලදී මෙන් ඉවසීමෙන් පැහැදිලි කරදීමටය. එහෙත් අද එතුමා කරන්නේ එම බලවේගවලින් ටියුෂන් ගැනීමය!
මේ කාරණයෙන් උගත යුතු දේශපාලන පාඩම කුමක්ද? ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් සාර්ථක වන්නට නම් එය පාර්ලිමේන්තුවේ කරන ක්‍රියාවලියට අමතරව, ඉන් පිටතදී සිදුකරන මතවාදී අරගලයක්ද විය යුතුය. ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ප්‍රශ්නය යනු හුදෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ප්‍රශ්නයක්ම නොවේ. එය රාජ්‍යය සහ රාජ්‍ය බලය පිළිබඳ ප්‍රශ්නයකි. මෙම ප්‍රශ්නය, සිංහල සමාජයේ, 1950 ගණන්වල සිට ගොඩනැගී ඇති සිංහල අධිපතිවාදී මතවාදී නූල් බෝලයේ පැටලී තිබේ. රාජ්‍ය ප්‍රතිසංස්කරණ කාර්යය වසාගෙන ඇති මෙම මතවාදීමය කොන්ක්‍රීට් ආවරණය කඩා ඉවත් කළ යුතුය. ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ දේශපාලනය තුළ තිබෙන, මගහැරිය නොහැකි කර්තව්‍යයක් වන්නේ මෙම මතවාදී අරගලයද ඒ ක්‍රියාවලිය සමඟ බද්ධ කිරීමයි.
ආණ්ඩුව දැනට නොකරන්නේත් මෙම කාර්යයයි.■