රාවය

චින්තනය හා හරපද්ධති ප්‍රතිනිර්මාණය කරගැනීම

චින්තනය හා හරපද්ධති ප්‍රතිනිර්මාණය කරගැනීම

වික්ටර් අයිවන්

පුනරුදය ව්‍යාපාරය සරල ආණ්ඩු වෙනසක් වෙනුවට අපේක්ෂා කරන්නේ ලොකු හා සංකීර්ණ සමාජ විපර්යාසයකි. ලංකාවේ රාජ්‍යය තිබෙන්නේ බලය අල්ලා ගැනීමකින් කිසිදු යහපත් වෙනසක් ඉටුකිරීමට බැරිතරමට කුණුවූ තත්ත්වයකය. ඒ තත්ත්වය එසේ තිබියදී රාජ්‍ය බලය අල්ලා ගැනීමකින් සිදුවිය හැක්කේ ඔවුන්ද බලය අල්ලා ගත්ත උන්ගේ තත්ත්වයකට පත්වීමය. ඊට වෙනස්ව සමාජ විපර්යාසයක් ආධ්‍යාත්මික වශයෙන් මියගිය තත්ත්වයකට පත්ව සිටින සමාජය සුවපත් කොට කුණුවූ තත්ත්වයක තිබෙන රාජ්‍යයද ප්‍රතිනිර්මාණය කිරීමට අවශ්‍ය ශක්තිමත් සමාජ දේශපාලන වටපිටාවක් ඇති කරයි. පුනරුද ව්‍යාපාරය සමාජ චින්තනයේ පමණක් නොව එම චින්තනය සමඟ බැඳී පවතින හර පද්ධතියේද ගැඹුරු විපර්යාසයක් අපේක්ෂා කරයි.

ඉතිහාසය නිවැරදි ලෙස තේරුම් ගැනීම
පුනරුදය ව්‍යාපාරය සිය විවේචන හා විචාර නමැති උණ්ඩ මගින් වෙඩි තබමින් සිටිනුයේ සමාජයේ ඉදිරි ගමනට බාධා කරන යල්පැනගිය සාම්ප්‍රදායික චින්තනයේ හා ඒ හා බැඳුණු හර පද්ධතියේ මර්මස්ථානවලටය. ඒ මගින් මිනිසුන්ගේ බුද්ධියේ හා චින්තනයේ ප්‍රබෝධයක් මතුකර ගැනීමට අපේක්ෂා කරයි. එය මහා ප්‍රමාණයෙන් විකසිත වන දෙයක් බවට පත්කර ගනිමින් සමාජ – දේශපාලනය කෙරෙහි විප්ලවකාරී ලෙස බලපාන මහා ශක්තියක් බවට පත්කර ගැනීමටත් අපේක්ෂා කරයි.

පුනරුදය ව්‍යාපාරය මීට පෙර ලංකාවේ කවර දේශපාලන ව්‍යාපාරයක් හෝ මතවාදී ව්‍යාපාරයක් විසින් අත ගැසීමට බියක් දැක්වූ තැන්වලට අත ගැසුවේය. ලංකාවේ ඉතිහාස කතාව ලියැවී ඇත්තේ වර්ග භේදවාදී හැඟීම් ඇති කිරීමට හේතුවන ආකාරයටය. බුද්ධාගම ලංකාවට පැමිණීමේ කතාව ලියැවී තිබෙන්නේද සිංහල වර්ගයා බුදුන් වහන්සේ විසින් සිය දහම පවත්වාගෙන යෑම සඳහා විශේෂ වශයෙන් තෝරාගත් ජනතාවක්ය යන හැඟීම ඇති කරන ආකාරයටය. අනුරාධපුර හා පොළොන්නරුව ශිෂ්ටාචාරය ගැන ලියැවී තිබෙන්නේද ඒවා ආදි ලෝක ශිෂ්ටාචාර අතර තිබුණු දියුණුම, ශ්‍රේෂ්ඨම හා උත්තරීතරම ශිෂ්ටාචාරය වේයැයි කියන හැඟීම ඇතිවන ආකාරයටය. ඒ කාලයේ සිදුවූ විදේශ ආක්‍රමණ ගැන ලියැවී තිබෙන්නේද වර්ගවාදී හැඟීම් ඇති කෙරෙන ආකාරයටය.

ආචාර්ය ශිරාන් දැරණියගල විසින් අනුරාධපුරයේ ඇතුළු නුවර කර තිබෙන කැණීම්වලින් විජය කතා පුවතෙන් පිළිබිඹු වන කාලයට ශත වර්ෂ දෙකකට පමණ පෙර එනම් ක්‍රි.පූර්ව 8 වන ශතවර්ෂයේදී පමණ වළං භාවිත කළ, වී වැනි ධාන්‍ය වර්ග වගා කළ කිසියම් විශාල ප්‍රමාණයකට ශිෂ්ටසම්පන්න ජීවිතයක් ගත කළ ජනතාව ලංකාවේ ජීවත් වී ඇති බව පැහැදිලිව පෙනී යයි. මහාවංශයේ එන පෙර බුදුන් වහන්සේ පිළිබඳ විස්තර, මහා සම්මත රාජවංශය, බුදුන් වහන්සේ තෙවරක් දිවයිනට වැඩම කරවීම, සිංහබාහු-විජය කතා පුවත, ඍද්ධියෙන් අහසින් වැඩම කිරීම වැනි කාරණා සත්‍ය දේවල් ලෙස ඉතිහාසඥයන් පිළිගන්නේ නැත. ලංකාවේ ආදීතම මානව වර්ගය ලෙස සැලකිය හැක්කේ වැදි ජනයාය. ලංකාවේ ආදීතමයා ලෙස සැලකිය හැක්කේ විජය නොව වැද්දෙකි. ඒ වැද්දාට තිබුණේද ස්වදේශීය සම්භවයක් නොව විදේශීය සම්භවයකි. විජය ලංකාවට එන්නට පෙර ලංකාවේ ජීවත් වූ ගෝත්‍රික ජන කණ්ඩායම්වල ජනයාගෙන් වැඩි පිරිසක් දකුණු ඉන්දියාවෙන් පැමිණි අය වන බවද පෙනේ. ශ්‍රී ලංකාවේ පූර්ව හා මූල ඓතිහාසික ස්ථාන ගණනාවකින් සොයාගෙන ඇති පරිසර ද්‍රව්‍ය හා මානවයන් මගින් යකඩ හා තඹ මුල් කරගත් කුඩා පරිමාණයේ ලෝහ වැඩ, පබලු නිෂ්පාදනය, සුසාන භූමි පිළිවෙත්, මැටි කර්මාන්තය, පිළිස්සීමෙන් පසු මැටි බඳුන්වල කුරුටු සලකුණු දැමීම යනාදිය දකුණු ඉන්දියාවෙන් ලැබී තිබෙන දේවල් බව ඒ ගැන පර්යේෂණ කර තිබෙන ඉතිහාසඥයන් පැහැදිලිව හඳුනාගෙන තිබේ. විජය එන්නට පෙර සිටම යකඩ භාවිතයක් තිබී ඇති බව හඳුනාගෙන ඇති අතර යකඩ තාක්ෂණය අපට ලැබී ඇත්තේද දකුණු ඉන්දියාවෙන් බව පැහැදිලිව හඳුනාගෙන තිබේ. ගොඩනැගෙන සිංහලකම තුළ දෙමළකමක්ද ආරම්භයේ සිට තිබූ බව ඉන් පෙනෙන්නේය.

විජය සහ පිරිස ලංකාවට එන්නේද පෘතුගීසීන් ලංකාවට පැමිණි ආකාරයටම අහම්බෙනි. විජයට තිබුණේ චෞර පසුබිමක් වුවත් බලය අත්පත් කරගන්නේ සටකපට නායිකාව තම සහකාරිය බවට පත්කර ගැනීමෙනි. විජය කුවේණිය පලවා හරින්නේ තමන්ට දාව දරුවන් දෙදෙනෙකු ඇයට ලැබීමෙන් පසුය. විජයට සුවිශේෂ වැදගත්කමක් ලබාදීම සඳහා ඔහුගේ සිංහ සම්භවය පිළිබඳව කතාව මහාවංශ කතුවරයා ණයට ගන්න ඇත්තේ පදකුසල මානව ජාතකයෙන් විය යුතුය. කුවේණි කතාව ගන්නට ඇත්තේ වලාහස්ස ජාතකයෙන් විය හැකිය. විජය කතා පුවතෙන් සංකේතවත් වන ඓතිහාසික වශයෙන් සැලකෙන එකම දේ ලෙස සැලකිය හැක්කේ ක්‍රි.පූ. හයවන ශතවර්ෂයේදී පමණ උතුරු ඉන්දියාවෙන් පැමිණි සංක්‍රමණික ජන කණ්ඩායමක් එහි සිටි දේශීය ජනයාගේ බලය යටපත් කොට බලය ලබාගෙන තිබෙන බවය.

පසුකාලෙක ඇතිවූ බාහිර ආක්‍රමණ විග්‍රහ කර තිබෙන ආකාරයද වැරදිය. ඒ කාලයේදී හැම බලවත් රාජ්‍යයක්ම අසල්වැසි දුබල රාජ්‍යයන් ආක්‍රමණය කොට ඒවා අල්ලා ගත්තේය. නැතහොත් ආක්‍රමණය කළ රාජ්‍යයේ වස්තුව කොල්ලකා ගත්තේය. ඒ කාලයේ රටවල් ආක්‍රමණය කොට අල්ලා ගැනීම සැලකුණේ අයහපත් දෙයක් ලෙස නොව රාජ්‍යයේ බලවත්කම හෝ තේජස පෙන්වන හොඳ දෙයක් ලෙසය. ලංකාව පුංචි දිවයිනක් වුවද ඒ ලක්ෂණය ලංකාවටද ආවේණික ලක්ෂණයක් වී තිබුණි. ලංකාව බලවත් වූ අවස්ථාවලදීද ඉන්දියාවේ තෝරාගත් රාජ්‍යයන් ආක්‍රමණය කළ අවස්ථා පවතී. ලංකාව බිහිකරන ලද ශ්‍රේෂ්ඨ රජු ලෙස සැලකිය හැකි 1 වන පරාක්‍රමබාහු බුරුම රාජ්‍යය පමණක් නොව, දකුණු ඉන්දියාවේ පාණ්ඩ්‍ය රාජ්‍යයද ආක්‍රමණය කළේය. ජයගත නොහැකි වූ එම දිග්ගැස්සුණු යුද්ධය වෙනුවෙන් ලංකාව ගෙවා තිබෙන වන්දිය අතිවිශාලය.
ඒ ආකාරයට ගොඩනැගෙන ලංකාවේ සභ්‍යත්වය තුළ අවුරුදු දෙදහසටත් වැඩි කාලයක් තුළ දැනුම ලබාගන්නා එකම ප්‍රභවය ලෙස ක්‍රියාකර තිබෙන්නේ බුද්ධාගමය. ඒ දීර්ඝ කාලය තුළ ආගමට හෝ භාෂාවට සම්බන්ධ පොත් හැර ලෞකික දැනුම් ගණයට වැටෙන එකුදු පොතක්වත් ලියවී නැත. ඒ ගණයෙහිලා සැලකිය හැකි වෙනත් රටක හෝ ලියැවුණු එකම පොතක්වත් සිංහල භාෂාවට පරිවර්තනය වී නැත. චින්තනය හෝ දැනුම් විෂයෙහි ලංකාව ජීවත් වී ඇති නොදියුණු බවේ තරම තේරුම්ගත හැකිය.

වර්ගය හා කුලය
පුනරුදය ව්‍යාපාරයේ පිළිගත් මතය වන්නේ ජාතිය ගොඩනගා ගැනීමට අසමත්වීම නිදහසින් පසුව ඇතිවන මහා ලේ වැගිරීම් හා ඒ ආශ්‍රයෙන් ඇතිවන මහා අශීලාචාර තත්ත්වය කෙරෙහි බලපා තිබෙන ප්‍රධාන හේතුව වන බවය. එය අපේ චින්තනයේ දුගීභාවය නිසා ඇතිවූ තත්ත්වයක් ලෙසද සැලකිය හැකිය. සාම්ප්‍රදායික දැක්ම අනුව වර්ගය ගැටුම් ඇති කිරීමට බලපෑ සාධකයක් ලෙස සැලකුණද කුලය හා ගැටුම් ඇති කිරීමට බලපෑ සාධකයක් ලෙස සැලකුණේ නැත. වර්ගයට අතිරේකව කුලයද ගැටුම් ඇති කිරීමට බලපෑ සාධකයක් ය යන මතය පළමුවෙන්ම කරළියට ගෙනාවේ පුනරුදය ව්‍යාපාරය විසිනි. මේ වනවිට එය මතවාදී තලයේ පිළිගත් මතයක් බවට පත්වී තිබෙන්නේ යැයිද කිව හැකිය. කුල ක්‍රමය මත පදනම් වූ උස් පහත් භේදයක්ද ඒ ආශ්‍රයෙන් ප්‍රසිද්ධියේ සේ ම හොර රහසේ ද ක්‍රියාත්මක වන කුල පීඩනයක් තිබුණද එවැන්නක් ඇති බව පිළිගැනුණේ නැත. පීඩනය දැනුණේ පීඩිතයන්ට මිස පිටස්තරයන්ට නොවේ.
වර්ගය ප්‍රසිද්ධියේ කැරලි ගසන විට කුලය හොර රහසේ කැරලි ගැසුවේය. ලංකාවේ සිංහල දකුණෙත්, දෙමළ උතුරේත් ඇතිවූ ප්‍රචණ්ඩ කැරලි කෙරෙහි එක් ආකාරයකට හෝ තවත් ආකාරයකට වර්ගය පමණක් නොව කුලයද බලපෑවේය. වර්ගය වර්ග අතර ගැටුම් ඇති කරන සාධකයක් ලෙස ක්‍රියාකරන විට කුලය වර්ග තුළ ගැටුම් ඇති කරන සාධකයක් ලෙස ක්‍රියා කළේය. නූතන ජාතිය ගොඩනැගීමේ අරමුණ ජයගැනීම සඳහා වර්ග භේදයට තිබෙන පිළිගැනීම පමණක් නොව කුල භේදයට තිබෙන පිළිගැනීමද නැති කොට භේදයකින් තොරව ඒ සියලුදෙනාට මනුෂ්‍ය ගෞරවය හා සමාන අයිතිවාසිකම් ලබාදිය යුතුය යන ප්‍රවේශය කරළියට ගෙනාවේද පුනරුදය ව්‍යාපාරය විසිනි.

පුනරුදය ව්‍යාපාරය කරළියට එන තෙක් ජාතිය ගොඩනැගීමේ ප්‍රශ්නය පිළිබඳව පැහැදිලි හා තර්කානුකූල අදහසක් මතවාදී තලයේ නොතිබුණි. රටේ ඇතිව තිබුණු ජාතික අර්බුදය සලකන ලද්දේ ව්‍යවස්ථාමය ප්‍රතිපාදන මගින් විසඳා ගතයුතු ප්‍රශ්නයක් වශයෙනි. එම ප්‍රවේශයට නූතන ජාතිය ගොඩනගා ගතයුතු දෙයක් යන අදහස ඇතුළත්ව නොතිබුණි.
රටේ ඇතිවූ ප්‍රචණ්ඩ ගැටුම් කෙරෙහි පමණක් නොව සමස්ත සමාජයද ආයතන ක්‍රමයෙහිද ඇතිවී තිබෙන මහා පරිහානිය කෙරෙහි ජාතිය ගොඩනගා ගැනීමට අසමත්වීම ප්‍රමුඛ සාධකයක් ලෙස බලපා තිබෙන්නේයැයි කියන පුනරුදයේ ප්‍රවේශය තුළ ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයේ නියම ස්වභාවය හා ඒ කෙරෙහි බලපා තිබෙන සැබෑ හේතු සූත්‍රගතවී තිබෙන්නේ යැයි කිව හැකිය. ජාතිය ගොඩනගා ගැනීමට අසමත්වීම නිසා ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් තුළ තිබිය යුතු සාධාරණත්වය හා සමානතාව පිළිබඳ මූලධර්මයන් ආරක්ෂා කරගනිමින් ඉදිරියට යෑමට රාජ්‍ය අසමත් විය. රාජ්‍ය එක වර්ගයකට එක කුලයකට හා එක ආගමකට බර තබා ක්‍රියාකරන තත්ත්වයකට තල්ලු විය. ඒ නිසා ඒ සියලුදෙනාගේ විශ්වාසය හා ගෞරවය ආරක්ෂා කර ගැනීමට රාජ්‍ය අසමත් විය. එම ප්‍රතිපත්තිය ප්‍රචණ්ඩ ගැටුම් ඇති කිරීමට හේතුවී ආණ්ඩුවට ඒවා අනුකම්පා විරහිතව මර්දනය වන තැනකට යන්නට සිදුවූ නිසා රාජ්‍ය පෙනුම මාංශභක්ෂක රාජ්‍යයක ස්වභාවය ගත්තේය. එම තත්ත්වය ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය කෙරෙහිද බලපෑවේය. එම තත්ත්වය පෙරළා එම ආයතන ක්‍රම දුර්වල කිරීමත්, දූෂ්‍ය කිරීමත් ජරපත් කිරීමටත් හේතුවිය. අධ්‍යාපන ක්‍රමයේ ඇතිවී තිබෙන මහා පරිහානිය කෙරෙහිද එම සාධකය බලපෑවේය.

කන්නන්ගරගේ නිදහස් අධ්‍යාපන ක්‍රමයට ඇතුළත්ව තිබූ භාෂා ප්‍රතිපත්තිය වූයේ හැම සිසු දරුවකුටම තමන්ගේ මව් භාෂාවෙන් අධ්‍යාපනය අරඹා ක්‍රමානුකූලව ඉංග්‍රීසි භාෂාවෙන්ද වැඩකිරීමට සමත් ද්විභාෂික පුද්ගලයෙකු තැනීමය. 1956 සම්මත කරගන්නා ලද සිංහල රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය අධ්‍යාපනය කෙරෙහි ඇති කරන ලද බලපෑම ඉතාමත් විනාශකාරී විය. අධ්‍යාපනය ද්විභාෂික මිනිසුන් තනන ප්‍රතිපත්තියෙන් ඉවත් වී සිංහල භාෂාවට හෝ දෙමළ භාෂාවට සීමාවූ ඒක භාෂික මිනිසුන් තනන තත්ත්වයක් ඒ නිසා ඇතිවිය. එම තත්ත්වය සමස්ත අධ්‍යාපන ක්‍රමයම මහා පරිහානියකට ඇද දැමීමට හේතුවූවා සේ ම සමාජයට නව දැනුම ලබාගැනීමට තිබෙන හැකියාව සීමා කොට සමාජයේ පැවති චින්තනමය දුගීභාවය උග්‍ර කරන සාධකයක් ලෙසද ක්‍රියා කළේය.

ඇතිවූ මහා පරිහානිය
නූතන ජාතිය ගොඩනගා ගැනීමට අසමත්වීම තුළ සිංහල දකුණේද, දෙමළ උතුරේදී, ඇතිවූ ප්‍රචණ්ඩ ගැටුම් සමාජය උපරිම මට්ටමකින් විකෘති කිරීමටද රෝගී කිරීමටද හේතුවිය. ගැටුම් පැවති කාලය දශක තුනක් තරම් දීර්ඝ විය. එම දීර්ඝ කාලය තුළ රටේ පැවතියේ උපරිම මට්ටමේ අශීලාචාර තත්ත්වයකි. රාජ්‍ය බලය සඳහා සටන් කළ සංවිධාන සේ ම එම සටන් මර්දනය කිරීම සඳහා ක්‍රියා කළ ආරක්ෂක හමුදාද උපරිම මට්ටමේ කෲරත්වයක් සමාජයට මුදාහැරියේය. දෙපාර්ශ්වයම මිනිසුන් ඝාතනය කළේ නීතිය නොසලකා හිතුවක්කාරී ආකාරයකටය. දෙපාර්ශ්වයම ඝාතනය කරන පුද්ගලයන්ගේ මළ සිරුරු ප්‍රදර්ශනය කළේය. මිනිසුන්ට කෲර ලෙස වද දෙන වධකාගාර ක්‍රමයක් රටේ ක්‍රියාත්මක විය. මෙම ගැටුම් නිසා මරණයට පත්වූ නියම සංඛ්‍යාව කොතෙක්දැයි නිල වශයෙන් ප්‍රකාශ වී නැත. ඒ ගණන ලක්ෂයකට වැඩි වන බව විචාරකයන්ගේ මතය වී තිබේ. එම දීර්ඝ කාලය තුළ රටේ පැවතියේ මරණ බියෙන් ජීවත් විය යුතු අශීලාචාර වටාපිටාවකි. එම විශේෂ වටාපිටාව තුළ ජීවත් වන සියලු මිනිසුන්ද අඩු වැඩි වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් මරණයට පත්වූ මිනිසුන් බවට පත්වූහ.

සටන් කරන දෙපාර්ශ්වයම අපරාධකරුවන්ගේ සහාය ලබා ගත්තේය. එම තත්ත්වය දේශපාලකයන් අපරාධකරුවන් මතත්, අපරාධකරුවන් දේශපාලකයන් මතත් යැපෙන තත්ත්වයක් ඇති කළේය. එම තත්ත්වය අපරාධකරුවන්ට ලොකු වැදගත්කමක් ලබාදීමට හේතුවිය. දේශපාලකයන් ඉදිරියේ උසස් පොලිස් නිලධාරීන්ට අතිරේකව ඔහු සමඟ සිටින අපරාධකාරයාටද සැලියුට් ගැසිය යුතු තත්ත්වයක් ඇති කිරීමට හේතුවිය. ඒ සමඟ දේශපාලකයන් සමඟ කල්ලි ගැසී ක්‍රියාකරන අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවන යාන්ත්‍රණයේ ක්‍රියාකාරීත්වයේද ලොකු බිඳ වැටීමක් ඇතිවිය. කැරලි මර්දනය කිරීමට ආරක්ෂක හමුදාවන්ට වැඩි වැඩියෙන් සෙබළුන් අවශ්‍ය වීම නිසා ආරක්ෂක හමුදාවල අතිවිශාල ප්‍රසාරණයක්ද ඇතිවිය. ආරක්ෂක හමුදාවලින් හා කැරලිකාර සංවිධානවලින් පැන යන සෙබළුන්ගෙන් කිසියම් පංගුවක් පාතාල ලෝකයට එකතුවීම නිසා පාතාල ලෝකයේද ලොකු ප්‍රසාරණයවීමක් සිදුවිය. රටේ සිදුවන අපරාධවලද වේගවත් වර්ධනයක් ඇතිවිය. සමහර අපරාධකරුවන්ට ලැබී තිබුණු දේශපාලන රැකවරණය නිසා නීතියට හසුවීමකින් තොරව අපරාධ කිරීමේ හැකියාව ඔවුන්ට ලැබී තිබුණේය. එවැනි අයගෙන් සමහරක් අපරාධ ක්‍රියාකාරකම්වලින් උපයන ලද ධනය ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ ආයෝජනය කොට රටේ නමගිය ධනවතුන් බවට පත්විය. මෙම විශේෂිත වටාපිටාව සමාජ පාදඩකරන ක්‍රියාවලියේ වේගවත් වර්ධනයත් සමඟ කළු ආර්ථිකයේද වේගවත් වර්ධනයක් ඇති කිරීමට හේතුවිය.

යුද්ධය අවසන් කිරීම
අභ්‍යන්තර යුද්ධය අවසන් කරන අවස්ථාව වනවිට මුළු මහත් සමාජයම තිබුණේ විකෘති වූ හා රෝගීවූ තත්ත්වයකය. රාජ්‍ය හා එහි ආයතන ක්‍රමය තිබුණේද දූෂණයෙන් කුණුවූ ජරපත් තත්ත්වයකය. රට, සමාජය රාජ්‍ය තිබුණේ ඒවා ප්‍රතිනිර්මාණය කෙරෙන තැනකට යෑමෙන් තොරව සාර්ථක ලෙස එක අඩියක්වත් ඉදිරියට යා නොහැකි තත්ත්වයකය.
සමාජය හා රාජ්‍ය ප්‍රතිනිර්මාණය කෙරෙන උපාය මාර්ගික වැඩසටහනක් හඳුනා ගැනීම සඳහා ඇතිවී තිබුණ විනාශය ගැනත් ඒ කෙරෙහි බලපා තිබෙන හේතු ගැනත් කරුණු සොයා බලන තැනකට යායුතුව තිබුණේය. එසේ කළේ නම් ජාතිය ගොඩ නගා ගැනීමට අසමත්වීමේ ප්‍රශ්නය සමස්ත අර්බුදය කෙරෙහි බලපා තිබෙන ආකාරය නිවැරදි ලෙස තේරුම් ගැනීමට සමත්වන්නට ඉඩ තිබුණි. එය එසේ වී නම් ජාතිය ගොඩනගා ගැනීමට හැකිවන ලෙස සමාජයේ හා රාජ්‍යයේ ඇතිවී තිබෙන මහා පරිහානිය ජයගැනීම සඳහා ඒවා ප්‍රතිනිර්මාණය කිරීම සඳහා යොදාගත හැකි ප්‍රායෝගික හා සාර්ථක වැඩසටහන් කරළියට ගන්නට හැකිවන්නටද ඉඩ තිබුණි. එය එසේ වී නම් පුනරුද ව්‍යාපාරයක් රටට අවශ්‍ය නොවන්නටද ඉඩ තිබුණි.

එම ඓතිහාසික අවශ්‍යතාව තේරුම් ගැනීමට අභ්‍යන්තර යුද්ධය ජයගත් පාලකයා අසමත්වූවා සේ ම එම පාලකයා පරාජය කොට බලයට පත් නව පාලකයෝද අසමත් වූහ. නූතන ජාතිය ඉබේ ඇතිවන දෙයක් නොව වැර වෑයමෙන් ගොඩනගා ගත යුතු දෙයකි. ඒ සඳහා වර්ග භේදයට, කුල භේදයට හා ආගම් භේදයට තිබෙන පිළිගැනීම නැති කළ යුතුය. වැඩවසම් කුල ක්‍රමය නූතනයට අවශ්‍ය දෙයක් නොවන අතර කුල ක්‍රමය විසින් ඇති කර තිබෙන උස් පහත් භේදයද නූතනයට අවශ්‍ය වන්නේ නැත. වර්ග භේදයට, කුල භේදයට හා ආගම් භේදයට තිබෙන පිළිගැනීම සංවිධානාත්මක මතවාදී ව්‍යාපාරයක් මගින් නැති කළ යුතුය. නූතන ජාතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් ඇති කළ නොහැකි අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් කළ හැක්කේ මතවාදී ව්‍යාපාරයක් මගින් ගොඩනගන ජාතියකට නෛතික පදනමක් ලබාදීම හා එම නූතන ජාතියේ අවශ්‍යතාවන්ට ගැළපෙන ආණ්ඩු ක්‍රමයක් ඇතිකර ගැනීම පමණය.

පරිහානියේ ඇතැම් ලක්ෂණ
අභ්‍යන්තර යුද්ධය අවසන් කිරීමෙන් පසු සමාජය හා රාජ්‍යය පමණක් නොව, කාර්මික නිෂ්පාදනය, වෙළෙඳාම, කෘෂිකර්මය, අධ්‍යාපනය, ගමනාගමනය හා සෞඛ්‍යය යන හැම අංශයක්ම තිබුණේ අවුලෙන් අවුලට ගිය තත්ත්වයකය. අශීලාචාර වටපිටාවක් පැවති දීර්ඝ කාලවකවානුව තුළ මිථ්‍යා විශ්වාසයන්ට තිබෙන පිළිගැනීමේ වේගවත් වර්ධනයක් ඇතිවී තිබුණි. මිථ්‍යා විශ්වාසයන් සඳහා ලොකු වෙළෙඳපොළක් ඇතිවී තිබුණු අතර මිථ්‍යා විශ්වාසයන් හොඳ ආදායම් උපයාගත හැකි ලොකු ජාවාරමක් බවටද පත්ව තිබුණේය. රටේ ජනමාධ්‍යද මෙම මිථ්‍යා වෙළෙඳපොළ වර්ධනය කරමින් එයින් උපරිම වාසි ලබා ගත්තේය. එම අශීලාචාර කාලයේදී ඇතිවූ බලපෑම නිසා මිනිසුන් දේවල් බලන හා විග්‍රහ කරන විදියේද මහා විකෘතියක් තිබුණි. සාමාන්‍ය මිනිසුන් පමණක් නොව උගතුන් පවා දේවල් බලන්නට උත්සාහ කළේ පිං පව් සංකල්පය මත පිහිටාය. විද්‍යාව කෙරෙහි පවා ඔවුන් බලන ලද්දේ ලොකු සැකයකින් යුතුවය.

ගැටුම් ඇතිවූ මුල් කාලයේදීම ගොවීන් අත තිබූ තුවක්කු ඔවුන්ගෙන් එකතු කරගෙන තිබුණු නිසා වන සතුන්ගේ ගහනයේ අතිවිශාල වර්ධනයක් ඇතිව තිබූ අතර උන් කෘෂිකර්මයට කරන හානියද උපරිම තත්ත්වයකට වර්ධනය වී තිබුණි. සතුන් මැරීම පාපයක් ලෙස සලකන උපාසක ආකල්පය රජය කෙරෙහිද බලපා තිබුණි. ඒ නිසා මිනිසුන්ගේ ආරක්ෂාවට වැඩි වැදගත්කමක් නොදී සතුන්ගේ ආරක්ෂාවට වැඩි වැදගත්කමක් ලබාදෙන ප්‍රතිපත්ති සමුදායක් ක්‍රියාත්මකවෙමින් තිබුණි. ඒ නිසා වන සතුන්ගෙන් පහරකන ගොවීන්ට ආරක්ෂාව සඳහා හෝ පෙරළා පහර දෙන තැනකට නොගොස් උන් කරන විනාශය ඉදිරියේ නිවට ලෙස අත්හකුළාගෙන බලා සිටින තත්ත්වයකට පත්කර තිබුණේය.

පුනරුදය ව්‍යෘපාරය ලංකාවේ ආහාර හා කෘෂිකර්මය දකින විදිය අන් අය දකින විදියට වඩා වෙනස්ය. කෘෂිකර්මයේදී ගොවිතැනට ප්‍රමුඛ වැදගත්කමක් ලබාදී තිබෙන ප්‍රතිපත්තියට එකඟ නොවනවා සේ ම ආහාර පරිභෝජනයෙදී බත්වලට ලබාදී තිබෙන ප්‍රමුඛ වැදගත්කමටද එකඟ නැත. පාලනයකින් තොරව වන සතුන්ට වර්ධනය වන්නට ඉඩදී තිබෙන ප්‍රතිපත්තියටද එකඟ නැත.
අපේ කෘෂිකර්ම රටාව පමණක් නොව අපේ ආහාර රටාවද වෙනස් කරගත යුතුය. කෘෂි රසායන අවභාවිතයෙන් සිදුවන හානිය වළකා ගත යුතුව තිබෙන්නේ ඒවා විධිමත් ලෙස භාවිත කරන තැනකට ගොවි ජනතාව යොමු කිරීමෙන් මිස, කෘෂි රසායන භාවිතයෙන් මුළුමනින් ඉවත් වී පැරණි ගොවිතැනට මාරුවීමෙන් නොවේ. වස විස නැති ධාර්මික ගොවිතැනක නාමයෙන් කරළියට ගෙනා විද්‍යා විරෝධී ප්‍රතිපත්තියට එරෙහිව බලවත් ලෙස විරෝධය පළ කළ එකම ව්‍යාපාරය පුනරුදය ව්‍යාපාරය වේයැයි කිව හැකිය. එය කෘෂිකර්මයේ අතිවිශාල විනාශයක් ඇති කිරීමට හේතුවිය හැකි බව පුනරුදය කියා සිටියේය. එම අනාවැකිය ඉක්මනින් සැබෑ වූ අතර අවසානයේ අතිවිශාල වියදමක් දරා ක්‍රියාවට නගන ලද එම වැඩසටහන අත්හැරීමට ආණ්ඩුවටද සිදුවිය.

කුඹුරු ගොවිතැන
ලංකාවේ කුඹුරු ඉඩම් අතර වගා කිරීම අත්හරින ලද කුඹුරු ඉඩම් අක්කර ලක්ෂ ගණනක් තිබෙන්නේය. එවැනි කුඹුරු ඉඩම්වලින් වැඩි ප්‍රමාණයක් තිබෙන්නේ තෙත් කලාපයේය. තෙත් කලාපයේ කුඹුරු ඉඩම් තිබෙන බොහෝ දෙනෙක් කුඹුරු වගා නොකරන්නේ ආයෝජනය කරන වියදමට සරිලන ආදායමක් වී ගොවිතැනින් උපයා ගත නොහැකි නිසාය.
වගා නොකොට අත්හැර තිබෙන ඉඩම් වගා කිරීමට කැමති අයට පවරා දෙන බවට ආණ්ඩුව ගෙන තිබෙන තීරණය නිසා කුඹුරු වගා නොකරන ගොවීන්ද තමන්ගේ ඉඩම් වෙනත් කෙනෙකු අතට පත්වීම වැළකීම සඳහා කුඹුරු වගා කරන තැනකට යොමුවී තිබෙන බව පෙනෙන්නට තිබේ. එහෙත් ඔවුන්ට තමන් කරන වියදම පියවා ගැනීමට සරිලන තරමේ ආදායමක්වත් උපයා ගැනීමට අසමත් වෙතොත් ආණ්ඩුවේ එම ප්‍රතිපත්තිය ඔවුන්ගේ බලවත් විරෝධයට හේතුවනු නොවැළැක්විය හැකිය. ග්ලයිෆොසෙට් සඳහා පනවා තිබෙන තහනමද නිෂ්පාදන වියදම් වැඩි කිරීමට හේතුවන වැදගත් සාධකයක් ලෙස ක්‍රියාකරනු නොවැළැක්විය හැකිය. එසේම ආණ්ඩුව මෙම වැඩසටහන ක්‍රියාවට නගා ඇත්තේ කෘෂිකර්මයට හානි කරන වන සතුන්ගේ ගහනය පාලනය කිරීමට අවශ්‍ය විධි විධාන ඇති කිරීමෙන් තොරවය. එම සාධකයද ආණ්ඩුවේ ඉලක්ක බොඳ කිරීමට හේතුවන වැදගත් සාධකයක් ලෙස ක්‍රියාකරනු නොවැළැක්විය හැකිය.

කොහොමටත් කුඹුරු ගොවිතැනින් ඉපැයිය හැකි ආදායම තිබෙන්නේ පහළම මට්ටමකය. වියළි කලාපය සමඟ ගත්විට තෙත් කලාපයේ තත්ත්වය ඉතාමත් නරකය. පුනරුදය ව්‍යාපාරය වී ගොවිතැන සලකන්නේ රටේ දුප්පත්කම වගා කිරීමට හේතුවන ගොවිතැනක් ලෙසය.
පුනරුදය ව්‍යාපාරයේ මතය වන්නේ වී ගොවිතැන වියළි කලාපයට සීමා කොට තෙත් කලාපයේ කුඹුරු ඉඩම් ඒවාහි පහත් බිම් ස්වභාවයද ආරක්ෂා කරගනිමින් වෙනත් ආර්ථික භෝග සඳහා හා වෙනත් ව්‍යාපාර සඳහා යොදා ගත යුතු බවය. තෙත් කලාපයේ විශාල කුඹුරු ඉඩම්වල තණකොළ වගා කොට ඒවා නවීන හරක් ගොවිපොළවල් බවට පත් කළ හැකිය. එළු ගොවිපොළවල්ද ඇති කළ හැකිය. ඉස්සන් වගා කරන ගොවිපොළවල්ද ඇති කළ හැකිය. මහජනයාට ඒ සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය නැතිනම් සමාගම්වලට හා ආයෝජන හැකියාවක් ඇති පුද්ගලයන් එම කුඹුරු ඉඩම් මිලදී ගැනීමට හෝ බදු ගැනීමට පුළුවන් තත්ත්වයක් ඇති කර දිය යුතුය.

සත්ව කර්මාන්තය ලංකාවේ දියුණු කළ නොහැකිව තිබෙන්නේ මස් සඳහා වන පිළිගත හැකි ස්ථිර ප්‍රතිපත්තියක් රටට නැති නිසාය. ලංකාව කිරිවලින් ස්වයං පෝෂිත කිරීමේ හැකියාවක් ඇතත්, එසේ කළ නොහැකි වී තිබෙන්නේ හරක් මස් සඳහා වන පිළිගත හැකි ප්‍රතිපත්තියක් නැති නිසාය. කිරි සඳහා පමණක් හරක් ඇති කළ නොහැකිය. කිරි පට්ටි පාලනය ආර්ථික වශයෙන් ලාභදායීවන්නේ කිරිවලට අතිරේකව මස් ද ප්‍රයෝජනයට ගන්නේ නම් පමණය.
තෙත් කලාපයේ කුඹුරු ඉඩම් සාධාරණ මිලකට රජය මිලදී ගෙන අක්කර 10, 25, 50, 10 වැනි ප්‍රමාණයන්ගෙන් ඒවා මිලදී ගැනීමට උනන්දුවක් දක්වන සමාගම්වලට හෝ පුද්ගලයන්ට විකුණන ප්‍රතිපත්තියකට යා හැකිය. බොහොමයක් කුඹුරු ඉඩම්වලින් කිසිදු වැදගත් ආදායමක් ඒවාහි හිමිකරුවන්ට ලැබෙන්නේ නැත. කුඹුරු වශයෙන් මිස, වෙනත් ආකාරයකින් විකිණීමේ හැකියාවද නැත. ඒ ඉඩම් රජය මිලදී ගෙන නැවත විකුණන ප්‍රතිපත්තියකට යන්නේ නම් ඒ මගින් ගම්වලට ගලා එන ධනයෙන් එම ගම්වල ලොකු දියුණුවක් ඇතිවිය හැකිවා සේ ම එම ඉඩම්වල නව ව්‍යාපාර ඇතිවීමෙන් රටේ ද ලොකු දියුණුවක් ඇතිවනු ඇත්තේය.

වන සතුන් පාලනය කිරීම
වන සතුන්ගේ ගහනය පාලනය කිරීම සඳහාද දැඩි ප්‍රතිපත්තියක් ඇතිකර ගැනීම කෘෂිකර්මයේ දියුණුව සඳහා නැතිවම බැරි කොන්දේසියක් ලෙස සැලකිය හැකිය. වනාන්තරවල හැර ගම් ප්‍රදේශවලද ජීවත් වන වන සතුන් දඩයම් කිරීමට, උන්ගේ මස් ළඟ තබාගැනීමට, ප්‍රවාහනය කිරීමට හා විකිණීමට ඉඩදෙන ප්‍රතිපත්තියක් මගින් වන සතුන්ගේ ගහනය පහසුවෙන්ම පාලනය කළ හැකිය. එවිට දඩමස් විකිණීම ජීවන මාර්ගයක් කොටගත් වෘත්තීය දඩයම්කරුවන් පිරිසක් ඇතිවනු ඇත. එය හොඳ ආදායම් උපයාගත හැකි ජීවන මාර්ගයක් බවටද පත්වනු ඇත. බොරු උපාසක ආකල්ප තිබියදීත් රටේ ජනතාව දඩ මස් කෑමට ප්‍රිය කරති. එවැනි ප්‍රතිපත්තියක් ඇති කළ විට සුපිරි වෙළෙඳ සැල්වල පවා දඩ මස් අලෙවි කරනු ඇත.

මෙම වන සතුන් අතර අප නොකන මස් වර්ග තිබේ නම් ඒ මස් වර්ග කන රටවලට ඒවා අපනයනය කිරීමෙන් රටට ලොකු ආදායමක් උපයා ගත හැකිය. අපි බලු මස් කන්නේ නැතත්, බලු මස්වලට ලොකු ඉල්ලුමක් තිබෙන රටවල්ද තිබෙන්නේය. වඳුරු මස් කන්න අපි කැමති නැතිනම් ඒවාද වඳුරු මස් කන රටවලට අපනයනය කිරීමෙන් ලොකු ආදායමක් උපයා ගත හැකිය. ඉන්දියාව හරක් මස් කන්නේ නැතත් හරක් මස් කන රටවල්වලට හරක් මස් අපනයනය කිරීමෙන් ලොකු ආදායමක් උපයා ගනී. තායිලන්තය බෞද්ධ රටකි. ජනගහනයෙන් 94%ක්ම බෞද්ධයෝය. ඒ රට සියලුම වර්ගයේ සර්පයන් ප්‍රණීත ආහාරයක් ලෙස සලකා ආහාරයට ගනී.