රාවය

දැන්වත් එක් විය යුතු ය

දැන්වත්  එක් විය යුතු ය

කෙළවර කුමක්දැ’යි තවමත් පැහැදිලි නැතත්, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා යන ආණ්ඩුවේ ගමන ක්‍රමයෙන් ඉදිරියට ඇදෙනු පෙනෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව සැප්තැම්බර් 21 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණු අතර, මේ මාසයේ අග දින තුනක් එම අතුරු වාර්තාව පාර්ලිමේන්තුවේ විවාදයට ලක්වීමට නියමිත ය. ඒ විවාදය පදනම් කර ගෙන මෙහෙයුම් කමිටුව සිය අවසන් වාර්තාව සකස් කරනු ඇති අතර එය පදනම් කර ගෙන අලුත් ව්‍යවස්ථාවේ කෙටුම්පත සකස් කෙරෙනු ඇත. එම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තුනෙන් දෙකක බහුතර අනුමැතියකින් සම්මත වීම ද, ජනමත විචාරණයක දී සියයට පනහකට වැඩි අනුමැතියකින් සම්මත වීම ද අවශ්‍ය ය.

ව්‍යවස්ථාවට එරෙහි අවි අමෝරා ගත යුතු සියලු පාර්ශ්ව දැන් එක පෙරමුණක සටන් කරමින් සිටිති. අන්තවාදීන්ගේ සිට නීතිඥ සංගමය හරහා සංඝ නායකයන් දක්වා පිරිසක් මේ ව්‍යවස්ථා විරෝධී පාර්ශ්වයේ පෙරමුණේ සිටිති. ඒ අතර, ව්‍යවස්ථාවට එකඟවන්නන්ට දිය යුතු මරණ දඬුවම් ගැන කියන්නට විශ්‍රාමික හමුදා නිලධාරීහු ද පෙරට පැමිණ සිටින්නෝ ය.
විශේෂයෙන් කැපීපෙනෙන දෙය නම්, සියලු පෞද්ගලික මුද්‍රිත හා විද්‍යුත්මාධ්‍ය පාහේ ව්‍යවස්ථාවට විරුද්ධ මතයක සිටීම ය. ආණ්ඩුවේ වගකිවයුත්තන්ගෙන් මෙන් ම ව්‍යවස්ථාවට පක්‍ෂවූවන්ගෙන් ද ඔවුන් අසන ප්‍රශ්න, මාධ්‍ය හමුවලදී නගන ප්‍රශ්න සියල්ල ම කේන්ද්‍රගත වී තිබෙන්නේ ව්‍යවස්ථා විරෝධී තැනක ය. සමහර මාධ්‍යවේදීන්, ව්‍යවස්ථාවකින් විසඳන්නට තරම් දෙමළ ජනතාවට තිබෙන ප්‍රශ්නය කුමක්දැ’යි අසන තරමට තත්ත්වය ආපස්සට ගොස් ය. අලුත් ව්‍යවස්ථා ක්‍රියාවලියට තමන් හෝ තමන්ගේ අදහස් එකතු කරගත්තේ නැතැ’යි මැසිවිලි නගන ප්‍රගතිශීලී කඳවුරේ සමහරුන් ද ඒ අරෝව පිරිමසා ගන්නා බව පෙනෙන්නේ ව්‍යවස්ථාවට විරුද්ධ මතයක සිට අදහස් දක්වීමෙනි.

අඩුවැඩි වශයෙන් මේ සියලු අදහස් කැටිකොට ගතහොත්, ඉන් පෙනෙන්නේ ඔවුන් නියෝජනය කරන්නේ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී මතය ම බවය.
එහෙත්, මේ ජනප්‍රිය හා ආවේගවත් සාකච්ඡාවෙන්, විශේෂයෙන් ජනමාධ්‍යවලදී, ඉවත් කොට ඇති පිරිසක් ද වෙති. ඇත්ත වශයෙන් ම ඔවුහු මේ ගැටලුවේ ඓන්ද්‍රීය පාර්ශ්වයකි. එනම්, දෙමළ ජාතික පාර්ශ්වයයි.

රටේ ඒකීයභාවය පිළිබඳ හැඳින්වීමේ ප්‍රශ්නය ඇත්තේ සිංහල ස්වෝත්තමවාදීන්ට නොවේ. දෙමළ ජනතාවට ය. ඒකීයභාවය කියන අදහස අධිනිශ්චය වීම නිසා තමන්ට ජාතියක් වශයෙන් විඳින්නට සිදුවී ඇති අකටයුතුකම් ගැන දන්නෝ ඔවුහු ය. සුළු ජාතික පක්‍ෂවලට කොයිතරම් වාසිදායකයැ’යි මහ ජාතිය කියූවත්, විධායක ජනාධිපති ක්‍රමය විසින් සුළු ජාතිකයන් තුළ ඇති කර තිබෙන පීඩනය ගැන දන්නෝද ඔවුහු පමණ ය.

එහෙත්, ඒකීය යන්න ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතුයැ’යි ඔවුහු නොකියති. ඊටත් අමතර ව, නොබෙදුණු හා නොබෙදිය හැකි රටක් යන්න ද අතුරු වාර්තාවට ඇතුළු කර ඇත්තේ දෙමළ ජාතික සන්ධානයයි. ‘යුනිටරි’ කියන වචනය ඉංග්‍රීසි කෙටුම්පතට ඇතුළත් නොකොට ඊට ද ඒකීය යන වචනය යෙදිය යුතුයැ’යි කියන්නෝ ද ඔවුහු ය.
එනිසා, ඒකීය යන්න ගැන, යුනිටරි යන්න ගැන, ඔරුමිත්තනාඩු යන්න ගැන තීන්දු තීරණ ගැනීමේදී මේ දෙමළ ජනතාවගේත්, ඔවුන් නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානයේත් මතයට සැලකිල්ලක් දැක්වීම අත්‍යවශ්‍ය ය. ව්‍යවස්ථාව සම්මත වන්නේත්, සම්මත කළ යුතු වන්නේත් මහ ජාතික සිංහල ජනතාව විසින් පමණක් නොවන බැවිනි.

ආණ්ඩුවේ නායකයන් අලුත් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මෙතෙක් පවත්වා ගෙන ආ ඇල්මැරුණු පිළිවෙත දැන් යම් වෙනසකට භාජනය වී තිබේ. ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් අඩුවැඩි වශයෙන් පසුගිය දිනවල ව්‍යවස්ථාවක අවශ්‍යතාව ගැන කතා කරන තත්ත්වයට පැමිණ සිටියහ. එහෙත්, ඒ තමන්ට අවශ්‍ය දේවල් ගැන වුවමනාවෙන් ම මෙන් වචනයක්වත් ගිලිහෙන්නට ඉඩක් නොතබමිනි.

එහෙත්, දැන් ඒ නිහඬතාව අවසන් කළ යුතු මොහොත පැමිණ තිබේ.
ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් මේ මස අග දී පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයට සහභාගි වී අලුත් ව්‍යවස්ථාව ගැනත්, අතුරු වාර්තාවේ ඇති කරුණු ගැනත්, තමන්ගේ ස්ථාවරයන් ප්‍රකාශයට පත් කළ යුතු ය. පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත්කිරීමේ දී ද සමාරම්භක දේශනය කළේ ජනාධිපතිවරයා බැවින්, අතුරු වාර්තාව ගැන ද ඔහු සාරගර්භ අදහස් දැක්වීමක් කිරීම අපට බලාපොරොත්තු විය හැකි ය.

මේ විවාදයේ දී නායකයන් දෙදෙනා ම එකම ස්ථාවරයක හිඳිමින් අදහස් දක්වා අලුත් ව්‍යවස්ථාවක් ගෙනඒමේ ප්‍රයත්නයට අවංක ව ම දායක වුවහොත්, එහි පෙරමුණ ගතහොත්, ව්‍යවස්ථා විරෝධී ජාතිකවාදීන්ගේ හා අන්තවාදීන්ගේ අන්ත පරාජයේ ආරම්භය එය ම වනු ඇත.■